(මේ ලිපියෙ කර්තෘ ඩොනල්ඩ් එස් ලෝපෙස් මිචිගන් සරසවියෙ බෞද්ධ සහ ටිබෙට් අධ්‍යයන මහාචාර්යවරයෙක්. රති නිබන්ධය- ආදරය සහ කාමය සඳහා ටිබෙටියානු මාර්ගෝපදේශ පොත ලියන්නෙ එයා.)
කිසිවෙකුට හිංසාවක් නොවන හෝ පහර දීමක් නොවන
පිහිතුඩෙන් හෙලි තුඩෙන් කළ කුරිරු සිදුරු කිරීමක් නොවන
ආශාව උරුම හැඟුම්බර මිනිසුන්ටයි
එය කුසලයක් නොවුනත් පාපයක් වනු කෙලෙස?
- ගෙන්ඩුන් චොපෙල්- රති නිබන්ධය 1967
බෞද්ධ භික්ෂුවක් විසින් පිලිපැදිය යුතු නීති බොහොමයි. එක සම්ප්‍රදායක නීති 253ක්. තව එකක 200ක්. කතාවෙ හැටියට මේ නීති බුදුන් විසින්ම පනවන ලද ඒවායි. බුදුන් මේ නීති සියල්ල එකපාර ප්‍රකාශයට පත් කළා නෙමෙයි. හරියට මෝසෙස් සිනායි කන්දෙ ඉඳන් දස පනත අරන් ආවා වගේ. මේ නීති ටිකෙන් ටික පරිණාමය වුනා. යම් ඇවතක් සිදුවුන තැනදියි නීතියක් පැනවුනෙ. බුද්ධ සාසනයෙ මුලින්ම නීති පැනවුනෙ මිනිස් ඝාතනයට විරුද්ධව නෙමෙයි. සෙක්ස්වලට විරුද්ධවයි.
හොඳම උදාහරනෙ සුදින්නගෙ කතාව. සුදින්න එයාගෙ බිරිඳ සහ මව අත්ඇරලා ගිහින් මහන වෙනවා. ටික කාලෙකට පස්සෙ එයා ආපහු ගෙදර එනවා සුවදුක් බලලා යන්න. මේ ආපු ගමනෙදි සුදින්න භික්ෂුව ඒ පැවිදිබවට පෙර බිරිඳ එක්ක ලිංගිකව එකතු වෙනවා. නමුත් මේක සිද්ද වෙන්නෙ කාමය හෝ ප්‍රේමය නිසා නෙමෙයි. සුදින්නගේ මවගෙ බලවත් ඉල්ලීම නිසා. ඒ අම්මයි වයස්ගත තාත්තයි මළ දවසක පරම්පරාවෙ උරුමක්කාරයෙක් නැතිවීමෙන් සියලු දේපොල රජා විසින් අල්ල ගනී කියන බයටයි මේ ඉල්ලීම කරන්නෙ. ඒත් සුදින්නගෙ හිතට මේක හරි නෑ. එයා ඒ හින්ද අනිත් භික්ෂුන්ට මේ ගැන කියනවා. ඒ භික්ෂුන් මේක බුදුන්ට කියල බුදුන් සුදින්නව කැඳවනවා. කැඳවලා අමතනවා සැරෙන්.
අසත්පුරුෂය, ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය විෂකුරු සර්පයෙකුගෙ කටේ එබුවා නම්. ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය කලු පොළඟකුගේ කටේ එබුවා නම්. ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය දැවෙන ගිනිඅඟුරු ගොඩක එබුවා නම්. ඒ මොකද? උඹ ඒ මොහොතේ මරණය හා සමාන වේදනාවක් වින්දත් ඒ නිසා උඹ මරණින් මතු නිරයෙහි පැසෙන්නේ නැති නිසයි.
බෞද්ධ ඉතිහාසය පුරා බෞද්ධ පොතපත වැඩිපුරම ලියවී තියෙන්නෙ බ්‍රහ්මචාරී භික්ෂුන් අතින්. අබ ඇටයක තරම් ගැඹුරට කරන ලිංගික විනිවිදයාමක් වුනත් ශාසනයෙන් සදහටම නෙරපා දැමීමට හැකි පළමු විනය උල්ලංඝනය විදිහට සලකනවා. ඒ වගේම භික්ෂුන් සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ලිංගික ජීවිතය පාලනය කරන්න උත්සාහ කළා. යෝනිය මිස අන් කොහෙන්වත් ඇතුල්වීම වරදක් කියල ඇතැම් භික්ෂුන් දේශනා කළා. දහවල් කාලයේ ලිංගිකව හැසිරීම වරදක් කියල කිව්වා. අද වුනත් සමලිංගිකත්වය ගැන භික්ෂුන් දරන මත මේ ආකාරයෙන්ම සීමාකාරීයි. ආසියාතිකව බෞද්ධ භික්ෂුව නිරූපනය වුනේ බ්‍රහ්මචර්යාවෙ ප්‍රතිමූර්තියක් හැටියටයි. ඒත් නොයෙක් බෞද්ධ රටවල නවකතා නාට්‍ය තුල භික්ෂුව මීට වඩා වෙනස් වෙනස් විදිවලට ගෙනහැර පානවා.
බෞද්ධ සම්ප්‍රදායෙ මීට ප්‍රතිවිරුද්ධ කතිකාව ගෙනාවෙ තන්ත්‍ර සම්ප්‍රදායෙන්. ඒ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දාහකට පස්සෙ. මෙතෙක් සෙක්ස් කියන එක දූෂිත වරදකාරී දෙයක් හැටියෙන් තිබුනත් තන්ත්‍ර විසින් සෙක්ස් කියන්නෙ පාරිශුද්ධත්වය කරා යන මාවත බවට පත් කරනවා. තන්ත්‍රවලදි සුරතාන්තය සමග ගමන් කළ හැකි විවිධ ආධ්‍යාත්මික තලයන් ගැන සවිස්තරාත්මකව කතා කරනවා. ඒ සුඛයේ ගැඹුරේදී දැනගත් රහස් තාක්‍ෂණයන් ගැන කියනවා. සම්භෝගය හරහා බුද්ධත්වය ලබන තාන්ත්‍රික බුදුවරුන් ඉන්නවා.
විසි වෙනි සියවස වෙනකල්ම අපිට තන්ත්‍රවලින් පිටත මේ විදිහෙ සාම්ප්‍රදායික භික්ෂු ශික්ෂාව විචාරය කරන, ලිංගික තෘප්තිය වෙනුවෙන් පෙනී ඉන්න බෞද්ධ සාහිත්‍යයක් මුනගැහෙන්නෙ නෑ. 1939දි ටිබෙට් ලේඛකයෙක්, උපැවදි වුනු භික්ෂුවක්, ගෙන්ඩුන් චොපෙල් රති නිබන්ධය ලියන්න ගන්නවා. කවි විදිහට ලියන මේ පොත තමයි ටිබෙට් බෞද්ධ සාහිත්‍යයට අයිති ශෘංගාර රචනා දෙකෙන් එකක් වෙන්නෙ.
ගෙන්ඩුන් චොපෙල් කියන්නෙ 20 වෙනි සියවසේ ප්‍රකට වගේම කුප්‍රකට ටිබෙට් බුද්ධිමතා. අවුරුදු 12දි පැවිදි වෙන ගෙන්ඩුන් 1934දි ටිබෙටයෙන් නික්මෙන කල්ම බෞද්ධ ඇකඩමියාවෙ ඉහලටම ඉගෙන ගන්නවා. එයා ඊට පස්සෙ අවුරුදු 12ක් ඉන්දියාවෙ, නේපාලෙ, ලංකාවෙ සංස්කෘත භාෂාව හදාරමින් ගත කරනවා. මේ අතර ගෙන්ඩුන් පැවිදිබව අත්හරිනවා. එයා එතන ඉඳන් චිත්‍ර අඳින්නත් ලියන්නත් පටන් ගන්නවා. කොටුවෙලා ඉන්න ටිබෙටයට නිදහස් ලෝකයක් ගැන විස්තර ලියනවා.
ගෙන්ඩුන් චොපෙල් සංස්කෘත සම්භාව්‍ය කෘතියක් වුනු කාම සුත්‍ර හදාරන්න පටන් ගන්නවා. ටිබෙටයට ශෘංගාර සාහිත්‍ය නාඳුනන කලාපයක් නිසා එයා තමන්ගෙම රති නිබන්ධය ප්‍රබන්ධ කරන්න ගන්නවා. ඒ සඳහා සංස්කෘත ලිංගිකෝපදේශ ග්‍රන්ථ වගේම කල්කටාවෙ ගණිකා මඩම්වල සහ පෙම්වතියන් සමග එයාගෙ අත්දැකීම් පාවිච්චි කරනවා. ඒ පෙම්වතියන්ට ගෙන්ඩුන් නම් සඳහන් කරමින් තමන්ගෙ පොතේ ස්තුති කරනවා.
බ්‍රහ්මචාරය අත්හැරි විගස නිසාම පළමු වරට ලිංගික අත්දැකීමක් විඳින කෙනෙකුගේ ප්‍රහර්ෂය ගෙන්ඩුන්ගෙ කවිවල දකින්න පුළුවන්. කාලයක් පුරා තහනම් වුනු රසයක් නිසාම ඒ හැමදෙයක්ම එයාට වඩාත් සුන්දර මතකයන් මවනවා. ඒ කවිවල තියෙන්නෙ පිරිමියෙකුගේ ආශාව ගැහැණියකගෙන් සන්තර්පනය කරගැනීමක් නෙමෙයි, ඒ වෙනුවට රති කෙලියේ පූර්ණ සහකරුවන් හැටියට ආස්වාදය බෙදාහදාගැනීමක්. ගෙන්ඩුන් චොපෙල් රති නිබන්ධය පුරා හොයන්නෙ තාන්ත්‍රික සමාධියේ ඇත්ත ස්වභාවය. ඒ වගේම කොහොමද ඒක සම්භෝගය එක්ක සම්බන්ද වෙන්නෙ කියල.
කඳු සහ නිම්න බිමකට අලංකාරයි
විසකුරු හැඟුම් දිවියට දෝෂකාරයි
භාවනාවෙන් තොරව නවතන්න හැඟුමන්
පෘතග්ජනයාට ඇත්තෙ රතියේ සමාධිය පමනයි.
ගෙන්ඩුන් චොපෙල් ඉන්දියාවට එන්නෙ නිදහස් අරගලයෙ කූටප්‍රාප්තියෙදි. හින්දු මුස්ලිම් දේශප්‍රේමීන් බි්‍රතාන්‍යයන්ගෙන් ගැලවෙන්න සටන් කරනවා. ගෙන්ඩුන් මේ අරගලයෙන් ගොඩක් දේවල් ටිබෙටයට අරන් ගියා. ඒ වගේම එයා තව මෙහෙයුමක හිටියා. ඒ තමයි ලිංගික නිදහස වෙනුවෙන් වූ අරගලය. එයා රාජ්‍ය සහ ආගමික ආයතන වලින් පවත්වාගෙන යන බොරු සදාචාරය ප්‍රතික්‍ෂේප කළා. ලිංගික තෘප්තිය කියන්නෙ ස්වභාව ධර්මයේ අවශ්‍යතාවයක් සහ විශ්වීය මිනිස් අයිතියක් කියල පෙනී සිටියා. කාම සූත්‍ර ලියවුනෙ ප්‍රභූන්ට. තන්ත්‍ර ආවෙ ආධ්‍යාත්මිකව දියුණු අයට. නමුත් ඒ ධර්ම ප්‍රකාශ වෙලා තියෙන්නෙ සමස්ත මිනිස් වර්ගයාම වෙනුවෙන්. රති නිබන්ධයෙන් ගෙන්ඩුන් කරන්න හදන්නෙ ශෘංගාරය පාලක පන්තියෙන් හොරකම් කරගෙන වැඩකරන ජනතාව අතරට ගේන එක.
මේ පළල් පොලෝ මත සියලු මිනිසුන්
හැඟුම් විරහිත නීතියේ බැම්මෙන් මිදේවා
නිසි අවැසි තෘප්තීන්
නිදහසේ විඳින්නට ලැබේවා
ලිංගික නිදහස අනෙක් රටවලත් ජයග්‍රහනය කළා වුනත් ඒ විප්ලවකාරීන්ට දරුණු අර්බුදවලට මුහුන දෙන්න වුනා. ඒකම ටිබෙටයේ ගෙන්ඩුන් චොපෙල්ටත් වුනා. අවුරුදු 12ට පස්සෙ 1945 එයා ලාසාවලට එනවා. මුලින්ම එයා තමයි ටවුමෙ සුවිශේෂීම චරිතය වුනේ. හැම රෑකම ප්‍රභූවරයෙක් එක්ක සාදයක් තිබුන. ඒත් ඉක්මනටම එයා සැකකාරයෙක් වුනා. බොහෝවිට ඒක වුනේ බි්‍රතාන්‍ය නියෝජිතයන්ගෙ පෙළඹවීම මත.
1948 චොපෙල්ව අත්අඩංගුවට ගන්නවා හොර සල්ලි බෙදාහැරියා කියන අභූත චෝදනා මත. එයා අවුරුදු තුනක් හිරේ ඉන්නවා. පස්සෙ වර්තමාන දලයි ලාමා එයාගෙ බහුතරය අත්පත් කරගැනීම වෙනුවෙන් ලැබුනු පොදු සමාවකින් චොපෙල් නිදහස වෙනවා. 1951 සැප්තැම්බර් ජනතා විමුක්ති හමුදා ටිබෙටය නැවත චීනයට ලැබුනු පනිවුඩය අරන් ලාසාවලට එද්දි ගෙන්ඩුන් චොපෙල්ට ඒ පැරඩ් එක බලන්න හිටගන්නවත් වාරු නෑ. එයා ඉන්නෙ මැරෙන්න වැටිලා. එයාගෙ නිබන්ධනය මුද්‍රණය වෙන්නෙ එයා මැරිලත් හුඟ කාලෙකට පස්සෙ 1967දි. ඒත් ටිබෙට්වල නෙමෙයි. ඉන්දියාවෙ. දලයි ලාමා එක්ක පිටුවහල් වුනු බොහොමයක් ටිබෙට් ජාතිකයනුත් ඒ වෙද්දි ඉන්දියාවෙ.
ගෙන්ඩුන් චොපෙල්ගෙ පොත1960 ඇති වුනු යුරෝ ඇමරිකානු ලිංගික අරගලයට දායක වුනේ නෑ. ඒත් රති ක්‍රීඩාව ගැන චොපෙල් දෙන උපදෙස් බෞද්ධ ලෝකයටත් ඉන් එපිටටත් තව බොහෝ දේ විඳින්න තියෙනවා කියල මතක් කරනවා.