ලංකාවෙ කසාදය ඇතුලෙ ගෑනියෙක් තමන්ගෙ සුරතාන්තය අහිමි වීම ගැන මීට කලින් කතා කරලා නෑ. ළමයි නැති එක වගේ සාම්ප්‍රදායික කාරණා ගැන තැන්තැන්වල  සිංදු ලියවුනත් ගෑනියෙකුගෙ සුරතාන්ත අයිතිය ගැන අපේ ගීත සාහිත්‍ය නිහඬයි. ඉන්දිකා උපමාලි පලවෙනි වතාවට සිංදුවකින් ගැහැණියකගෙ ලිංගික අයිතිය ගැන කතා කරනවා. අවාසනාවට ඒ සිංදුවෙ වචන ලියන්නෙත් පිරිමියෙක්.

රෑ මද්දහනෙ බීගෙන ගෙදර එන සැමියෙක්.

එයාගෙ උවමනාව එයාගෙ ධාතු ටික පහකර ගැනීම විතරයි. හැබැයි ඉස්සර එයා එහෙම නෙමෙයි. පීරියඩ්ස් ඉවර වෙනකල් බලන් ඉන්නෙ ඔරු පදින්න. මගදි අහම්බ මෝචනයක් වුනත් ආදරෙන් තුරුල් කරගෙන ඈවත් සුරතාන්ත ඉවුරට අරන් යන පෙම්වත් පෙම්වතෙක්.

කොයිතරම් තව රුවල් දාපු නැව් ඇසට අසුවන මානයේ යාත්‍රා කළත් ඈ තාම පතන්නෙ ඒ පෙම්වත් පරණ ඔරු කඳමයි.

ආයිමත් ඉස්සර වගේ ඔරු පදින දවසක් ඇගේ හීනයයි.

රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ

මාස් වැස්ස ඉවර වෙලා
අළුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියේ
ඔරුව පෙරලුනත් ගඟ මැද
මාව අරන් නුඹේ තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ

රුවල් නගා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නගින්න හිත නෑ තොටියෝ
නුඹේ ඔරුවෙන් යලි දවසක
කුමුදු පිපුන හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ

පද- රජී වසන්ත වෙල්ගම

 https://www.youtube.com/watch?v=M4uZwyhHu6U