මෑතක යූටියුබ් නාලිකාවක ක්‍රොස්ඩේ‍රසින් සඳහා සහාය වන රූපලාවන්‍ය ශිල්පිනියක් කියා සිටියේ මේක අනුකම්පා කළ යුතු තත්වයක් කියල. තමන් ළඟට ගැහැණුන් හැටියට ඇඳුම් අඳින්න ආසාවෙන් එන තරුණ කොල්ලන් ඒ තත්වයට පත් කිරීම වෙනුවෙන් එයා අම්මලටත් දොස් පැවරුවා. ඇත්තටම ඇය ප්‍රදර්ශනය කරමින් හිටියෙ ක්‍රොස්ඩේ‍රසින් ඇඳුම් ඇන්දුවත් ක්‍රොස්ඩේ‍රසින් ගැන තමන්ට තියෙන නොදැනුම.

ක්‍රොස්ඩේ‍රසින් කියන්නෙ ආර්ට් එකක්. කෙනෙක් තමන්ගේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ රූපයට සමවදිමින් අනෙක් ලිංගිකත්වය ආස්වාද කිරීමේ සුන්දර වෑයමක්. ඒක අනුකම්පා කළ යුතු හෝ වළක්වාගත යුතු තත්වයක් නෙමෙයි. හැම කෙනෙක්ම ක්‍රොස්ඩේ‍රසින් කරනවා නම් හොඳයි කියන එකයි අපේ අදහස. නමුත් ඒක තමන්ගේ රුචිකත්වය අනුව කරන තෝරාගැනීමක් වෙන්න ඕන.

ලංකා එයාගෙ ක්‍රොස්ඩේ‍රසින් පිංතූර එක්ක මෙහෙම සටහනක් යොදනවා.

”ලිංගිකත්වය වර්ණාවලියක්. මම එහි එක් තැනක ඔබ එහි වෙනත් තැනක”

 අරුන්දතී රෝයිගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය මම මගේ සමාජ ජීවිතේදී නිතර මතක් කරගන්න දෙයක්.

මේ වර්ණාවලියේ අන්ත දෙකට උපතේ සිටම, සත්‍ය වශයෙන්ම කළලයක්ව අප පිළිසිඳගත් මොහොතේ සිටම තල්ලු කරලු ලැබූවායින් පසුව අප ,පරිපූර්ණ ගැහැණිය සහ පිරිමියා, යන ඓතිහාසික වංකගිරියේ සැරිසරමින් සිටින්නවුන්.  එම වර්ණාවලියේ අනෙක් වර්ණයන්ගේ ගෞරවනීය පුරවැසි අයිතිය උල්ලංඝනය කලවුන්ය. අනෙක් වර්ණයන්ගේ නිදහස් සමාජ ජීවිතය කොල්ලකනු ලැබූවන්ය.

පරිපූර්ණත්වය පිළබඳ වූ එම එෛතිහාසික හීනමානය විසින් වර්ණාවලියේ අන්ත දෙක වෙත ඇතිකරනු ලැබූ අධිකාරී බලය හමුවේ බුල්ඩෝස්  නොවූ, එම ලිංගිකත්වයේ වර්ණාවලිය සම්පූර්ණ කීරීම වෙනුවෙන් සටන් වදිමින් සිටින, දිවිදුන් සියලුම මනුශ්‍යන් වෙත මගෙන් තිලිණයක්.

මේ මගේ පලවෙනි ක්‍රොස් ඩ්‍රසින් අත්දැකීම. මේකට සිංහලෙන් “හරස් විලාසිනියන්” කියන යෙදුම භාවිතා වුනත් ඒක එතරම්ම ගැලපෙන්නේ නෑ කියලා හිතෙන නිසායි මම ඉංග්‍රීසි යෙදුමම පාවිච්චි කලේ.



ලංකාවේ ගේ, ලෙස්බියන්, ට්‍රාන්ස් වැනි ලිංගිකත්වයන් ගැන යම් සාධනීය කතා බහක් ඇතිවුනාට ක්‍රොස් ඩ්‍රසින් ගැන කතිකාව ඉතාම දුර්ලබයි. ඒ වගේම ක්‍රොස් ඩ්‍රසර්ස්ලාගේ සමාජ, දේශපාලනික ප්‍රශ්ණ සහ අයිතිවාසිකම් ගැන වුනත් සාධනීය කතිකාවක් නෑ. ඒ නිසාම ඔවුන්ට තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ විවෘත වෙන්න අපේ සමාජයේ තියෙන ඉඩ අනිත් සමලිංගික සමාජ වලට වඩා සීමා වෙලා. ඔවුන්ට ගත කරන්න සිද්දවෙලා තියෙන රහසිගත දෙබිඩි ජීවිත වලින් එලියට එන්න නම් ලංකාව ඇතුලෙ සියලු ලිංගික අනන්‍යතා පිළිබඳව වඩා පුළුල් කතිකාවක් ඇතිවිය යුතුයි.

මගේ මිත්‍රයෙක්ගේ ආරාධනයක් ලැබුනාම ක්‍රොස් ඩ්‍රසින් එකක් කරන්න මම ඉතාම කැමැත්තෙන් ඊට සහභාගී වුනේ මම ඉහත කිව්ව වර්ණාවලියේ නේක පැහැ වර්ණ වල සුන්දරත්වය මහා සමාජයේ ඇති කරන්න හෝ අඩුතරමේ මම ආදරය කරන අයට මගේ සමාජය ඇතුලේ නිදහසේ ජීවත් වෙන්න  පුංචි හරි දායකත්වයක් මගේ පැත්තෙන් දෙන්න පුලුවන් වෙන නිසයි.