Home Sex, History & Sri Lanka Raising the Skirt රෙද්ද ඉස්සීම (දෙවන කොටස)

Raising the Skirt රෙද්ද ඉස්සීම (දෙවන කොටස)

0
Raising the Skirt රෙද්ද ඉස්සීම (දෙවන කොටස)

ගේලික් සහ ග්‍රීක මිත්‍යා කතාවලට අනුව පිලිවෙලින් අයිරිෂ් හිරු දෙවියන් වන කුචුලේන් සහ ග්‍රීක වීරයෙක් වෙන බෙලරොෆොන් පරාජය කරන්න කාන්තාවන් පිරිස් එකතුවෙලා ඒ අයගෙ රෙද්ද උස්සා පෙන්නනවා. පුරාණ සහ නූතන ඉතිහාසයේ ගැහැණුන් විරෝධය පානු පිනිසත් යුධමය උපායක් පිනිසත් මේ රෙද්ද ඉස්සීමේ ප්‍රකාශනය පාවිච්චි කළ තැන් දකින්න පුළුවන්. ක්‍රිපූ 551 මෙඩියාව සහ පර්සියාව අතර යුද්ධයක ප්‍රතිඵල වෙනස් කරන්න මේ විදිහෙ සාමූහික වැජයිනා ප්‍රදර්ශනයකට පුළුවන් වෙනවා. 19 වෙනි සියවසේ චීනයේ වැඩමහල් ගැහැණු පෝලිමක් නගරයේ තාප්පය උඩ නැගලා ඒ අයගෙ වැජයිනාවන් ප්‍රදර්ශනයෙන් සතුරන් බියපත් කරනවා.

මේ උදාහරණ වලින් කියන්නෙ රෙද්ද ඉස්සීමෙන් සතුරන් තිගැස්සීමට සහ නැවත කල්පනා කිරීමට පෙළඹවීම ගැන. එතනදි මේ වැජයිනාවන් එකහඬින් කියන්නෙ, ‘දැන් ඇති. ආපහු හිතපං. උඹ කරන්න යන ක්‍රියාව වැරදියි’ කියන එක. අවුරුදු 60ට කලින්, 1958දි අප්‍රිකාවෙ වෙස්ට් කැමරූන්වල 7000ක් කාන්තාවො මේ විදිහට ආන්ඩුවට විරුද්ධව රෙද්ද උස්සා පෙන්නුවා. ඒ තමන්ගේ ගොවිතැන් කරන ආකාරය වෙනස් කරන්න ආන්ඩුවෙන් නීති පැනවීම නිසා. එතනදි මේ කාන්තා විරෝධය ජයගත්තා.
ඒත් මේ රෙද්ද ඉස්සීමේ ප්‍රකාශනය තමන්ගේ පවුල් ආරක්ෂා කිරීම, විරෝධය පෑම, සතුරා පළවාහැරීම කියන දේවල්වලට වඩා එහාට යනවා. මේක සශ්‍රීකත්වය පිළිබඳ සන්නිවේදනයකුත් වෙනවා. මිනිස්සුන්ගෙ, ගොවිබිමෙහි, ඇති කරන සතුන්ගේ සශ්‍රීකත්වය, වගේම භවභෝගවල සශ්‍රීකත්වය වෙනුවෙනුත් මේ සම්ප්‍රදාය පාවිච්චි වුනා. ඊජිප්තුවේ සහ ග්‍රීසියේ මේ රෙද්ද ඉස්සීම උත්සව චාරිත්‍රයක් වුනා. මෙම්ෆිස් පලාතේ ඒපිස් කියන ශුද්ධ ගවයාගේ බලය වැඩි කරන්න මේක ආගමික චාරිත්‍රයක් වුනා. ඊජිප්තියානු බුබාස්ටිස් උත්සවයේදීත්, තෙස්මෆොරියා සහ ෆ්ලොරාලියා වැනි ග්‍රීක උත්සවවලදීත් සශ්‍රීකත්වය වැඩි කිරීමේ අරමුනෙන් මේ චාරිත්‍රය සිදු කළා.

විසිවෙනි සියවස වෙනකල්මත් ගොඩක් බටහිර රටවල මේ සම්ප්‍රදාය තිබුන. කාන්තාවො වගාබිම්වලට ගිහින් ඒ භෝග දළුලා වැඩෙන්න ආශීර්වාද කරමින් තමන්ගේ රෙද්ද ඉස්සුවා. ‘මගේ වැජයිනාව දක්වා උසට වැඩෙන්න’ කියල ඒ ගොල්ලො ඒ පැලවලින් ඉල්ලා සිටියා. මේ සම්ප්‍රදාය අඩුතරමෙ පුරාතන ඊජිප්තුව දක්වා යනවා. එතන රෙද්ද ඉස්සීම ආගමික විශ්වාසයන්ගේ කොටසක් වුනා. ඉතිහාසඥයෙක් වගේම ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වුනු හෙරඩොටස් මේකට නමක් දෙනවා. ‘ඇනා-සුරොමායි හෝ ඇනසිර්මා, ඒ කියන්නෙ කෙනෙකුගේ ඇඳිවත උස්සා පෙන්නීම කියන තේරුම.

ඊජිප්තු, ග්‍රීක සහ ජපන් මිත්‍යාවේදයන් හැම එකකම විස්තර වෙනවා මේ ඇනා-සුරොමායි මගින් අන්ධකාරය පලවාහරිමින් සාමය සහ සශ්‍රීකත්වය ලෝකයට කැඳවීම ගැන. සතුට, ආදරය සහ ලිංගිකත්වයට අධිපති හාතර් ඇගේ වැජයිනාව ඇගේ පියාණන්වන රා නැමැති හිරුදෙවියාට ප්‍රදර්ශනය කරනවා. ඒ තාත්තාගේ කේන්තිය නිවාදමා නැවත පාලනය ආරම්භ කරවන්න.

සශ්‍රීකත්වයට අධිපති දෙවඟන ඩෙමිටර් ඇගේ දුව පර්සිෆොන් නැතිවුනු ශෝකයෙන් කිසිවක් නොකා නොබී ලෝකෙ පුරා ඇවිදින්න ගන්නවා. පර්සිෆොන්ව හේඩ්ස් විසින් පැහැරගෙන ගිහින් පාතාලයේ හිරකරලයි තියෙන්නෙ. මේ නිසා ඉඩම් නිසරු වෙනවා, වගාවන් පාළුවෙලා යනවා, සාගතය පැතිරෙනවා. මේ වෙලාවෙදි වැඩිමහල් කාන්තාවක් වන බෝබෝ ඇගේ ගවුම උස්සලා ඇගේ වැජයිනාව ඩෙමිටර්ට පෙන්නනවා. මේකට ඩෙමිටර්ට හිනායනවා. ඇය නැවත ජීවත්වෙන්න තෝරගන්නවා. ඒ නිසා ලෝකයට සශ්‍රීකත්වය උදාවෙනවා. ජපානයේත් මීට සමානම කතාවක් තියෙනවා. තරහ ගිය හිරු දෙවඟන ‘අමෙටෙරාසු-ඕ-මි-කමෙ’ ලෝකය අතෑරලා දාපු අවස්ථාවක මේ විදිහටම වැජයිනාව ප්‍රදර්ශනයෙන් නැවත තත්වය යහපත් අතට හැරීම ගැන.

ස්ත්‍රීන් රෙද්ද ඉස්සීම පිටුපස තියෙන ඓතිහාසික සහ මිත්‍යාවේදමය පොහොසත්කම ඇනා සුරොමයි කලාවන්ගෙන් පිළිඹිඹු වෙනවා. ඊජිප්තුවෙ ඇලෙක්සැන්ඩි්‍රයාවෙන් හමුවුනු ටෙරාකොටා පිළිමවල දකින්න පුළුවන් හිසෙහි විවිධ සැරසිලි කළ කාන්තාවන් ඉදිරිය බලාගෙන අභිමානයෙන් ඔවුන්ගේ ගවුම් ඔසවා නිරුවත් වැජයිනාවන් ප්‍රදර්ශනය කරන අන්දම.

සිරියානු සිලින්ඩර් සීල්වල අපිට මුනගැහෙනවා පැරණිතම රෙද්ද ඉස්සීමේ රූප. ඒ වගේම ෂින්ටො බුදු දහමෙ දෙවඟනක් වන කන්නොන්ගෙ රෙද්ද ඉස්සීමේ ප්‍රතිමාව අද පවා බුහුමන් ලබනවා. ටටෙබයාෂිවල කන්ෂොජි පන්සලට එන බැතිමත්තු මේ දෙවඟනගේ පූජනීය වැජයිනාව බැතිසිතින් ස්පර්ශ කරනවා. රතු මොට්ටුවක් තියල සශ්‍රීකත්වයේ ආශීර්වාද ලබාගන්නවා.

ඉතාලියෙ මිලාන්වල 12 වෙනි සියවසේ නිරූපනයවන රෙද්ද උස්සන්නිය මීට වඩා වෙනස් අරමුණක් නියෝජනය කරනවා. එක අතකින් රෙද්ද උස්සාගෙන සිටින ඇය අනිත් අතින් කිනිස්සක් අරන් ඒක ඇගේ වැජයිනාවට ඉහලින් අල්ලාගෙන ඉන්නවා. මේක ගලින් නෙළු ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව තනා තිබුනෙ මධ්‍යතන පෝර්ටා ටෝසා දොරටුවෙ ඉහලින්. ඒකෙ අපේක්ෂාව වුනේ නගරය ආරක්ෂා කරන එක.

වසර ගානක් පැරණි වැජයිනාවේ මේ වික්‍රමාන්විත බලය ගැන කතා ඔයාගෙ දුවට, මිණිපිරියට, යාළුවන්ට කියා දෙන්න. හැබැයි ඒ රෙද්ද ඉස්සීමේ එක කතා ප්‍රවර්ගයක් විතරයි. ඒ වගේම මේ 21 වෙනි සියවසේ ජීව විද්‍යාව, ජාන විද්‍යාව, ප්‍රජනන විද්‍යාව, ඇසුරින් කියවෙන වැජයිනාවේ පුදුම බලය ගැන කතන්දරත් ඒ අයට කියාදෙන්න. ඒ කතාවලිනුත් කියන්නෙ මේ ඇනසිර්මා ක්‍රියාවන් (ලිංගේන්ද්‍රියන් නිරුවත්ව විදහා දැක්වීම) වගේම ස්ත්‍රීත්වයේ බලය සහ අනුහස ගැනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here