හඳුන්වාදීම

මෑතක පළවුනු දීර්ඝ කාලීන සම්බන්ධතා සහ සෙක්ස් අතර ගැටුම ගැන ලිපියෙදි හොඳ සංවාදයක් මතුවුනා. ඒ මොනොගමික විවාහය ගැන. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මොනොගමි නැත්තං ඒකභාර්යා විවාහ කියන එක පරිණාමයේ මුල් අවධියෙ ඉඳන් අපේ පැවතුනු පවුල් සම්බන්ධතා රටාව කියල. ඒ හින්ද ඒක වෙනස් කිරීම ප්‍රායෝගික නෑ කියල. අපි අමතක කරන කාරණය තමයි මොනොගමි කියන්නෙ විවාහ ක්‍රමයක් වුනාට මේටින් නැත්තං ලිංගික සම්බන්ධතා පවත්වන ආකාරයක් නෙමෙයි කියන එක. කොහොම වුනත් මොනොගමි පවුල කියන එක අපේ මානව ඉතිහාසෙ වැඩි ඈතකට යන එකක් නෙමෙයි. මේ ගැන විස්තරාත්මකව කතා කරන පොතක් තමයි සෙක්ස් ඇට් ඩෝන් කියන පොත. ඒක ලියන්නෙ ආචාර්ය ක්‍රිස්ටොෆර් රයන් සහ වෛද්‍ය කැසිල්ඩා ජෙත කියන දෙන්නා. මේ පොත කොටස් වශයෙන් පලකරන්නයි මේ ආරම්භය.

පෙරවදන

හොඳ අරමුණින් කරන විමසා බැලීමක්

අපි වානරයන්ගෙන් පැවත එනවා කියල ඔයා අහලා තියෙන කතා ඔක්කොම අමතක කරන්න. අපි වානරයන්ගෙන් පැවත එන්නෙ නෑ. අපි තමයි වානරයො. රූපකමය විදිහටත් දත්ත අනුවත් හෝමෝ සේපියන් කියන්නෙ ඉතුරුවෙලා ඉන්න මහා වානර වර්ග පහෙන් එකක්. චිම්පන්සි, බොනබොස්, ගොරිල්ලා, සහ ඔරන්ඔටන් තමයි අනිත් හතර. ගිබන් කියන්නෙ වානර මට්ටමට ටිකක් අඩු එකක්. අපි චිම්පන්සි සහ බොනබෝස්ලා එක්ක එකම මුතුන්මිත්තො පරම්පරාවක් බෙදාගත්තා අවුරුදු මිලියන 05ට කලින්. පරිණාමවාදී වචනයකින් කිව්වොත් ඒ අපේ ‘පෙරේදා’. අපිව අනිත් මහා වානරයන්ගෙන් වෙනස් කරනවා කියන නිශ්චිත සළකුන මේ කාලෙ ප්‍රිමෙටොලොජිස්ට්ලා (ආදි වානරයන් පිළිබඳ අධ්‍යනය කරන) පිලිගන්නෙ ඉතාම කෘතිම එකක් විදිහට.

අපි ස්වභාව ධර්මයට ඉහළින් ඉන්නවා කියන කතාව හරියට කකුල් වෙවුලන සර්ෆර් කෙනෙක් මුහුදට ඉහළින් ඉන්නවා වගේ එකක්. අපි ලිස්සලා වැටුනෙ නැතත් ( ඒක හැමෝටම වෙනවා) අපේ අභ්‍යන්තර ස්වභාවය විසින් ඕනම වෙලාවක අපිව ඇතුලට ඇදලා ගන්න පුළුවන්. බටහිර හැදුනු අය විශ්වාස කළා මිනිසා හරි සුවිශේෂයි කියල. අනිත් හැම ජීවත්වෙන දේකටම වඩා වෙනස් කියල. ලෝකයට වඩා ඉහලින් ඉන්නෙ කියල. සත්ව ජීවිතය සලකුණු කරන පහත් අවමන් තත්වයන්ගෙන් නිදහස් කියල. අපිට පහතින් අපිට යාබදවම තියෙන ස්වභාවික ලෝකය කියන්නෙ ලැජ්ජාවට හේතුවක්, පිළිකුල්කටයුතු, අවධානයෙන් සිටිය යුතු, ගඳ ගහන, අවුල්සහගත, වසා දොරගුළු ලා සඟවා තබාගත යුතු තත්වයක් කියල. එහෙම නැත්තං අපි ඒක ඕනවටත් වඩා ඉහළින් තබමින් පාවෙන, දිව්‍යමය, අවිහිංසක, උසස්, සමතුලිත, ප්‍රඥාවන්ත දෙයක් විදිහට සලකන්න ගත්තා.

බොනබොස්ලා චිම්පන්සි වගේම අපි අපේ කාමාතුර මුතුන්මිත්තන්ගෙන් පැවත එන කාමුක පරපුරක්. පලවෙනි වතාවට ලැජ්ජාව නිසාම ඒක වැඩිකරලා කියපු කතාවක් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක බොහෝ කාලෙකට කලින් පොදු දැනුමක් බවට පත්විය යුතුව තිබුනු දෙයක්. මොනොගමිය ගැන සාම්ප්‍රදායික මතය, මැරෙන තෙක් එකට පවතින කසාදයේ පීඩනය එන්නෙ අපි ගැන හදපු අපි නොවන මිත්‍යා ප්‍රබන්ධයක මහා බරක් එක්ක. මොකක්ද මානව ලිංගිකත්වයේ සාරය? ඒක එහෙම වුනේ කොහොමද? ඉස්සරහට එන පිටුවල අපි කතා කරන්නෙ අවුරුදු දහදාහකට පමණ කලින් ඇතිවුනු සංස්කෘතික වෙනස්කම්වල කම්පනය අපේ ඇත්ත මානව ලිංගිකත්වයේ කතාව විපරීත සහ තර්ජනාත්මක එකක් කළේ කොහොමද කියන එක ගැනයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ආගමික අධිකාරීන් විසින් එය නිශ්ශබ්ද කරමින්, විශේෂඥයන් විසින් එය රෝගයක් බවට පත්කරමින්, විද්‍යාඥයන් විසින් එය නොතකා හරිමින්, සදාචාරය කරපින්නා ගත් වෛද්‍යවරුන් විසින් එය යටපත් කරමින් සිටි ආකාරයයි.