මේ පශ්චාත් නූතන ජීවිතේ අමාරුම දෙයක් තමයි පාස්වර්ඩ් මතක තියාගන්න එක. හැමදේකටම ඇතුල්වෙන්න තියෙන්නෙ පාස්වර්ඩ් එකක්. ඒවා එකකට එකක් වෙනස්. ඇතුල්වෙන හැම දොරටුවක්ම ඩිජිටල් එකක්. ඇත්ත මුනගැහීම් නෑ. වර්චුවල් ගනුදෙනු විතරයි.

ඒත් මං පරණ මිනිහෙක්. ඉලක්කම් මතක නොහිටින වර්ගයේ කෙනෙක්. හැමදෙයක්ම අපිලිවෙල වඳ වී යන පරණ මානවයෙක්. ඉතින් පාස්වර්ඩ් අමතක වීම මගේ සාමාන්‍යයක්. මේ පාර බැංකුවෙ ඔන්ලයින් පාස්වර්ඩ් එක. දෙතුන් පාරක් මතක් කර කර කොටලා ඒක සදහටම මාව බ්ලොක් කරලා දැම්මා. මං හොරෙක් කියල මගේ ගිණුමට සැක හිතුන. මගේ වර්චුවල් සාක්කුවට අතදාගන්න බැරුව මං අසරණ වුනා.

ඊළඟට මට වෙනවා බැංකුව කතා කරන්න. තවත් අමාරුම වැඩක්. සිංදු සහ පණිවුඩ අහමින් වටේට යන්න. සමාව ඉල්ලීම් දාහකට කන්දෙන්න. එහෙම ගන්ධබ්බ අවකාශයක විනාඩි පහක් දහයක් විතර රස්තියාදු වුනාට පස්සෙ එක්කෙනෙක් මාව බාරගන්න කැමති වුනා.

හෙලෝ.. මං කොහොමද මහත්මයාට සහාය වෙන්නෙ?
එයා ඇහුවෙ හරිම හදිස්සියෙන්. මට ඒක තේරුම් ගන්න පුළුවන්. දුරකථන ඇමතුම් දහස් ගානක් අතර මම. එයාට මම ඉලක්කමක් විතරයි. ඉලක්කම් අමතක වුනු ඉලක්කමක්. එයාට ඕන පුළුවන් තරම් මගේ ඉස්සරහ මැෂින් එකක් වෙන්න. ඒකට කියන්නෙ ප්‍රොෆෙෂනල් වෙනවා කියල. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට මගේ ඇමතුම ඉවර කරලා ඊළඟ ඇමතුමට යන්න. ඒකට කියන්නෙ ප්‍රොඩක්ටිව් වෙනවා කියල.

එයාට මාව වැදගත් නෑ. ඒත් එයාගෙ කටහඬ මට ඇහුනු ඒ පුංචි විවරය මට වැදගත් වුනා.

මට ඕන එයා තව කතා කරනවා අහන්න.
මහත්මයාගේ සම්පූර්ණ නම. හැඳුනුම්පත් අංකය කියන්න.
මං වරද්දනවා. හරියට කිව්වොත් එයා ඉක්මනට හැමදේම ඉවර කරනවා. මං දන්නවා එයාට හදිස්සියි කියල. ඒත් මං එයාට ආදරේ කරන්න අරගෙන තියෙන්නෙ. ආදරේ කියන වචනෙ මෙතනට හරියටම ගැලපෙනවද කියල මං දන්නෙ නෑ. හිස්වුන වෙලාවක හීනෙකින්වත් නොහිතපු විදිහෙ අතාර්කික බලාපොරොත්තුවක් වෙන එක නේද ආදරේ කියන්නෙ?

ඔයා කල්පනා කරලා හරියට කියන්න.
එයා මට සැර කළා. නමුත් මහත්මයා කියන තැනින් ඔයා කියන තැනට මාරු වුනා. දැන් එයාට මාව වදකාරයෙක්. හැබැයි මං දැන් අංකයක් නෙමෙයි.

අයි ඇම් සොරි. ඔයාට බැරිද ඒක බලලා කියන්න. මං හොරෙක් නෙමෙයි කියල ඔයා දන්නවනෙ.
මං ඕනවට වඩා මුරන්ඩු සහ මෝඩ වුනා. එයා මට බනිනවට මං ආසයි. බනිනකොට එයාගේ ඒ මොහොතේ වැදගත්ම වේදනාව සහ කේන්තිය මම වෙනවා. අපි දෙන්නා එකක් වෙනවා. මම එයාගේ ලොකුම හිසරදය.

අනිත් පැත්තෙන් මං එයාගෙ ගැලවුම්කාරයා. මං එයාට ෆෝන් කෝල් දහස් ගානක් අතරෙ වැරදි කරන මිනිහෙක් විදිහට මුනගැහිලා තියෙනවා. එයා මැෂින් එකක් වෙන එක මං නවත්තන් ඉන්නවා. යුනිෆෝම් එක ඇඳලා රතු වුනු මුහුනින් යුතුව එයා මගේ කටහඬ අහන් ඉන්න හැටි මට පේනවා.

ඒකෙන් මාව ප්‍රාණවත් වෙනවා. එයාගෙ හඬ අහගෙන මගේ ශිෂ්නය පිරිමදින්න මට ඕන වෙනවා. එයාට නිරුවත්ව ළංවෙන්න, එයාගෙ මායාකාරී කටහඬ ඇතුලෙ මෙතෙක් හංගන්න උත්සාහ කළ ගැහැණුකම රස විඳින්න, මට ඒ හඬ ස්පර්ශයක් කරගන්න ඕන වෙනවා.

ඒ වචන කතා කරන පොපියන දෙතොල් මගේ ශිෂ්නය වටා වෙළෙන හැටි මට මැවෙනවා.
එයා මට අන්තිමට මගේ හැඳුනුම්පත් අංකය කිව්වා. ඒක හරි ආදරණීය දෙයක්. එයා මං වෙනුවෙන් එයාගේ වෘත්තීමය සදාචාරය බින්දා. ඒකෙන් මගේ අනුරාගය වැඩිවුනා.

හුස්ම ගන්න සද්දෙ එයාට නෑහෙන්න මං පරිස්සම් වුනා. මට ඕන නෑ එයාව අපහසුතාවයට පත් කරන්න. මට ඕන එයා රැජිනක් වගේ මාව පාලනය කරන්න. මගෙන් ප්‍රශ්න කරන්න. මං මෝඩයෙක් වග මට පසක් කරන්න.

ඒ හින්ද කිසිදු සල්ලාල වචනයක් හෝ ගිණුම සක්‍රිය කරගැනීමේ මෙහෙයුමෙන් බැහැර කිසිවක් හෝ මං කතා කළේ නෑ. මං මගේ සීමාවෙ ඉන්න ඕන. සීමාව බිඳින්න අවසර තියෙන්නෙ එයාට විතරයි.

දැන් විනාඩි දෙකක් ඇතුලත පාස්වර්ඩ් එක ටයිප් කරන්න.
එයා මට විධාන කළා. මං ආයිමත් වැරදියට ටයිප් කළා.
ඔයාට මේක මතක නැද්ද? මට මෙතනින් එන්ටර් කරන්න බෑ. මං වෙන පාස්වර්ඩ් එකක් දාලා දෙන්නං ඔයා පැයක් ඇතුලත ඒක කැමති එකකට චේන්ජ් කරගන්න.

එයාට ඕන පුළුවන් තරම් ඉක්මනට මගෙන් නිදහස් වෙන්න. ඒත් දැන් එයා මං වෙනුවෙන් අංකයක් නිර්මාණය කරලා තියෙනවා. මං කිසිදවසක ඒ අංකය වෙනස් කරන්නෙ නෑ.

මං තවත් හයියෙන් මගේ අත ඉහල පහල කරගෙන ගියා. මට දැන් එයා හුස්ම ගන්න සද්දෙ පවා ඇහෙනවා. මං ගැන කේන්තිය පිටවෙන්නෙ හුස්ම විදිහට. එයාට මේ තරම් මාව වාතයක් වුනත් මට කොයිතරම් එයාව වටිනවද කියන එක මේ විශ්වයේ කිසිදවසක එයාට දැනගන්න වෙන්නෙ නෑ.
මේ අපි අතර ඇතිවෙන අන්තිම සම්බන්දෙ වෙන්න පුළුවන්.

ඔයාගෙ නම මොකක්ද?
මට ඕන එයාගෙ නම කියන ඒ අකුරු උඩ මගේ සුරතාන්තය ලබන්න.

නෑ. මං ඔයාට නම කියන්නෙ නෑ.
බලාපොරොත්තු නොවුනු විදිහට එයා හිනාවක් එක්ක කිව්වා. එයා හැමදෙයක්ම දැනගෙනද?

සුබ දවසක්..

ෆෝන් එක කට් වුනා. අන්තිම මොහොතෙදි මගේ සුරතාන්තය පමා වුනා. හරියට ආන්ඩුවෙ ලොක්ඩවුන් ඉවත් කිරීම වගේ.
නෑ. ඔයාට අවසර නෑ නිදහස් වෙන්න. ඒක වෙන්න ඕන මට ඕන වෙලාවට.

මං මෝචනයක් අහිමි වේදනාවෙන් සහ අනුරාගී සිහිනයක් හිමි උන්මාදයෙන් නතර වුනා. එයා මට දුන්නු අංකය.. ඒක නිකංම අංකයක් නෙමෙයි. ඒ හැම ඉලක්කමක්ම දිග හුස්මක් නැත්තං කෙඳිරිල්ලක්.