ජීවිතය කියන්නෙ ආපහු ආපහු චැලෙන්ජ් කරන්න ඕන දෙයක්. කොයි විදිහක වුණත් අනුගත වීමක් ඒක සාධාරණ වේවා අසාධාරණ වේවා, ඇති කරන්නෙ හීලෑ වීමක්. ඒක ඉතිහාසයට වෙන්න පුළුවන් නැත්තං අති දියුණු ප‍්‍රගතිශීලී අදහසකට වෙන්න පුළුවන්. පුද්ගලික පැවැත්ම ඇතුලෙ අපේ හැම පිළිගැනීමක්ම කඩන්න බිඳින්න අපිට සිද්ද වෙනවා. ඒ ජීවිතේ අලූත් කිරීම වෙනුවෙන්. හැම නීතියක්ම සම්ප‍්‍රදායක්ම ච ැලෙන්ජ් කරන්න අපිට සිද්ද වෙනවා. නැත්තං අපේ පැවැත්ම ගල් ගැහෙනවා. ගල් ගැහුණු ජීවිතයක් කියන්නෙ මරණයක්. ජීවිතය පවතින්නෙ අවදානමේදී විතරයි. අවිනිශ්චිතයෙදි, අතාර්කිකත්වයෙදි, අන්ධකාරෙදි අපිට ජීවිතේ මුණගැහෙනවා. ඒ අවිනිශ්චිතය, අතාර්කිකය නිශ්චිතයක්, මතයක්, සම්ප‍්‍රදායක් කරන්න උත්සාහ ගන්න මොහොතෙදි ආපහු ජීවිතේ මගඇරෙනවා. කොන්දේසි විරහිත ඇඞ්වෙන්චරස් ජීවිතයක් කියන්නෙ පැවැත්ම සාක්ෂාත් කරන එකම එක විදිහ කියල මම හිතනවා.
නූතන වෙන්න හෝ පෞරානික වෙන්න ඕන නෑ. එකම අරගලය වෙන්න නියමිත අපේ ආස්ථානයට එරෙහිව අපි. මට එරෙහිව මම. ඒ අලූත් මමත්වයක් වෙනුවෙන්. පුනරුත්පත්තියක් වෙනුවෙන්. නිර්මාණශීලීත්වය වෙනුවෙන්.
එහෙම කොන්දේසි විරහිත ජීවිතයක් හානිකර වෙන්න බැරිද? අපිට ආපහු හිතන්න වෙන්නෙ කොන්දේසි සහිත ජීවිතයක් කොයිතරම් හානිකර වෙන්න පුළුවන්ද කියලයි. ජාතිය ආගම කුලය 2500ක ඉතිහාසයට එරෙහිව මම වගේම ජාතියෙන් කුලයෙන් ආගමෙන් හෝ ඉතිහාසයෙන් නිදහස් මම කියන්නෙත් මගේ පුද්ගලික නිදහස් පැවැත්මට කොන්දේසියක්. ආකෘතියක්. මම කියන්නෙ ඒ මොහොතෙ මමට එරෙහිව මගේ ඇතුලෙ පවතින කැරැුල්ලක්. සමාජය මගෙන් නිරතුරව ඉල්ලා සිටින්නෙ මා ගැන කොන්දේසියක්. කොන්දේසි සහිත පැවැත්මක්.
මට හිතෙන්නෙ පුද්ගලික විමුක්තිය ගැන තන්ත‍්‍රවල එන අදහස් ගොඩක් ගැඹුරුයි වගේම පරිණතයි.
ප‍්‍රචලිත ආයතනගත ආගම් වලට වඩා ජීවිතය, පැවැත්ම එක්ක පළල් ගනුදෙනුවකට යනවා. අවාසනාවට තන්ත‍්‍ර ගැන ආකල්පය ඒකෙ තියෙන ලිංගික නිදහස කියන කාරණය එක්ක විතරක් ගැටගැහුනා. ඒක සෙක්ස් වලදි විතරක් ඕන වෙන දෙයක් විදිහට පෙරලූනා. අපි ඕන දෙයක් බාර ගන්නෙ අපේ සීමාව ඇතුලට. අපේ හිඩැස, අහිමි තැන වෙනුවට.
ඉන්දියාවෙ වේද ගත්තම ඒකට තිබුනෙ බයිබලයට වගේ තැනක්. ඉන්දියානු දර්ශනයෙ එන න්‍යාය, වෛශෙයික, සාංඛ්‍ය, මීමංසා සහ වේදාන්ත කියන සම්ප‍්‍රදායන් හයෙන්ම වේදය කියන එක අවසානය හැටියට බාර ගත්තා. ඒ හින්දා ඒවා වේද දර්ශන හැටියට ගන්නවා. අනෙක් පැත්තෙන් බුද්ධාගම, ජෛනාගම, චාර්වක සහ ආජීවක කියන කාණ්ඩ වේදය පිළිගත්තෙ නෑ. ඒක නිසා ඒවා වේද නොවන දර්ශන හැටියට වැටෙනවා. අවුරුදු සිය ගානක් තිස්සෙ මේ දෙපැත්ත අතරෙ වාද ගියා. බුදුන් වුණත් අරයව පැරුද්දුවා මෙයාව පැරැුද්දුවා කියලා අපි කියවන්නෙ මේ වාදයන් ගැන. ඉන්දියානු දර්ශනය කියන සමස්තය ගොඩනැගෙන්නෙ මේ වාද විවාද ඇතුලෙ.
මේ අතරෙ තියෙනවා තන්ත‍්‍ර කියන කොටස. ඒ ගොල්ලො වේදය පිළිගන්නේ හෝ නොපිලිගන්නේ නැහැ. ඒ අය බුද්ධාගම, ජෛනාගම හෝ වෙන කිසිම ආගමික සම්ප‍්‍රදායක් පිළිගන්නෙත් නෑ. ඒවාය විරුද්ද වන්නෙත් නෑ. තාන්ත‍්‍රිකයො වාද වලට එළඹෙන්නෙ නෑ. ඒ ගොල්ලො තමන්ගෙ අභ්‍යන්තරය තේරුම් ගැනීමේ ගමනක නිරත වෙලා ඉන්නවා. ජීවිතයේ සියුම් සියුම් තැන් අත්දකින්න ඒ අයගෙ පුහුණුව කැපවෙනවා. මේක ඇතුලෙ තන්ත‍්‍රවල මනුස්ස සම්බන්ධතා ගැන ගවේෂනය කෙරෙනවා. මම සහ මගේ සම්බන්ධතා ගැන, මා තුල සහ මගෙන් පිටත, මම දන්නා මෙන්ම නොදන්නා පැවැත්ම ගැන අත්දකින, තර්ක නොකරන, පැවැත්මෙන් ඉගෙනගන්න එළඹුමක් තන්ත‍්‍ර වල තියෙනවා. දර්ශනයට වඩා ඔවුන් හැමතිස්සෙම පුහුණුව, පැවැත්ම බාර ගන්නවා. ඒ අය තමන්ගෙ සමහර කාරණා තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කරන්න දර්ශනවාදයන් පාවිච්චි කරනවා විතරයි. ඒ අය ඒ තුල අඩංගු වෙන්නෙ නෑ.
තාන්ත‍්‍රිකයො කියන්නෙ ස්වාධීන සිතන්නො පිරිසක්. තමන් විසින් අත්දකින ලද සත්‍යයට වඩා අන් කිසි සත්‍යයක් ඔවුන්ට ලොකු නෑ. තමන්ගේ ආචාර ධර්ම සහ සදාචාරය පිළිබඳ අදහස් පවතින කවර හෝ මතවාදයකට අනුකූලද කියන කාරණය ගැන තන්ත‍්‍ර කවදාවත් උනන්දු වෙන්නෙ නෑ. ඒ ගොල්ලො කිසිම දේකට අනුගත කරන්න බැරි රැුඩිකල් සම්ප‍්‍රදායක් වුණා. ඒ සම්ප‍්‍රදායම තමන්ගේම සහ අන් සියල්ලන්ගේම සම්ප‍්‍රදායන්ට එරෙහිව යාමක් වුණා. තාන්ත‍්‍රිකයො වේද දර්ශනවලින් මෙන්ම වේද නොවන දර්ශන වලින් තමන්ට අවශ්‍ය දේවල් ගත්තා. ඒ හින්දම අනෙක් දර්ශන වල එල්බුණු අයට තාන්ත‍්‍රිකයන්ගේ ‘ඉන්ටග‍්‍රිටි’ එක නැත්තම් සංගතභාවය, ප‍්‍රතිවිරෝධය ලොකු ගැටලූවක් වුණා. තන්ත‍්‍රික අදහස් ප‍්‍රචලිත නොවෙන්නත්, රහසිගතව පවතින්නත් හේතු වෙන්න ඇත්තෙ මේකමයි.
තන්ත‍්‍ර ඇතුලෙ තියෙන්නෙ බාර ගැනීම. තමන්ගේ ප‍්‍රතිවිරෝධයත් සමග එකට සංවාසය. ලිංගික එක්වීම ගැන රූපකාර්තය සරල ඍජු තැනින්ම සමාජගත වෙන්නෙ මේ සංකල්පයත් එක්කයි. තන්ත‍්‍ර වලදි කිසි දෙයක් හොඳ හෝ නරක වෙන්නෙ නෑ. නිවැරදි හෝ වැරදි වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ දේවල් ඒ මොහොතේ පැවැත්මට සාපේක්ෂ අර්ථ ගන්නවා.
තන්ත‍්‍ර වලදි සංසාරය කියන්නෙත් නිර්වාරණයමයි. සංසාරයෙන් ගැලවෙන්න කරන උත්සාහයක් එතන නෑ. මැක් ඩොනල්ඞ් එකේ හැම් බර්ගර් එකක් කන එක ආරණ්‍යයක කුටියක භාවනා කරන තරම්ම ගැඹුරු අත්දැකීමක් වෙන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නෙ තන්ත‍්‍ර කියන්නෙ ලෝකය තුල ලබන විමුක්තියක් මිස ලෝකයෙන් විමුක්තියක් නෙමෙයි.
හැම ආගමකින්ම උගන්වන්නෙ අපිවම බැහැර කිරීමක් ගැන. අපේ ජීවිතයම දුකක් හෝ විඳවීමක් හැටියෙන් ගැනීමක්. කර්මය හෝ පාපය හෝ වෙන කවර ආකාරයකින් හෝ අපේ ජීවිතය ස්කිසොෆ‍්‍රිනික් කරනවා. අපේ පැවැත්ම අඳුර සහ ආලෝකය සමස්තයක් හැටියෙන් ගන්න උගන්වන එකම සම්ප‍්‍රදාය ගොඩනැගෙන්නෙ තන්ත‍්‍ර වල.
මට හිතෙන්නෙ කාල් යුංග් තාන්ත‍්‍රික සම්ප‍්‍රදායෙ ඇතුලෙ නොවුනත් තන්ත‍්‍ර විග‍්‍රහ කරන ගැඹුරු කතාවක් කොටින් කියනවා.
‘ගහක අතු ස්වර්ගය ස්පර්ශ කරන්න නම්, ගහක මුල් අපාය දක්වා දිවෙන්න ඕන’ කියල.
සාකච්ඡුාව මිස විවාදය පලක් නොවෙන්නෙ මේ හින්දයි. එතනදි ගැටුමක් මිස සංවාදයක්, සුරතාන්තයක් නෑ. අදහස් හුවමාරුවක් මිස වාදයකින් ඇති පලක් නෑ. මොනම ආකාර හෝ ‘ඉසම්’ එක්ක ජීවිතය වාරණය කිරීමක්. ඒක ෆෙමිනිසම් වුණත් බුඩිසම් වුණත් වෙනසක් නෑ.
අපේ ගොඩක් සංවාද වල තියෙන අවාසනාවන්ත කාරණය වෙන්නෙ මේකයි. අනෙකාව බාර ගනිමින්, ඔහුගේ හෝ ඇයගේ පැවැත්මට ගරුත්වයක් දෙමින් කරන ආස්වාදනීය සංවාදය වෙනුවට තමන්වත් අනෙකාවත් කොටු කර ගනිමින්, සීමා පනවා ගැනීමක් දක්වායි සංවාදය යන්නෙ. එතනදි දිනුවත් පැරදුනත් දෙන්නම තමන් ගැන නිශ්චිතයකට රාමු වෙනවා. නිශ්චිත රාමුවක් වෙනුවට තවත් අලූත් රාමුවක් පැනවීම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. බුදුන් දෙවියන් වුණත්, ජාතිය, ඉතිහාසය විතරක් නෙමෙයි තමන්වම වුණත් බැඳීමක්, අරටුවක්, සීමාවක් විදිහට ගේනවා නම් ඒ සංවාදයේ ආස්වාදය කෙලවරයි. සිද්ද වෙන්නෙ අපේ රාමුව විසින් අනෙකාගේ රාමුව විතැන් කිරීමක් විතරයි.
සුගතපාලද සිල්වා හරි ලස්සන කතාවක් කියනවා මේ ගැන. තමන්ට තමන්ගෙම ජීවිතය කොට්ට උරයක් වගේ දෙකොනින් අල්ලා කණපිට ගසා වැලේ වනන්න පුළුවන් වෙන්න ඕන කියල. මේ ළ`ගදි දානෙකදි මට ගමේ පන්සලේ හාමුදුරුවො ලස්සන කතාවක් කිව්වා. ඒ මගේ දුටුගැමුණු සංග‍්‍රාමය ගැන..
‘ඕවා අපිම කාලයක් තිස්සෙ කියල කියල මිනිස්සුන්ගෙ ඔලූවලට බස්සපු අදහස්. ඔහොම තර්ක කළා කියල, කාරණා කිව්වා කියල ඒවා වෙනස් කරන්න බෑ.. ඇටමස් වලටම කාවැදිච්ච දේවල් නෙ…’
අපි ඒ තරමටම පරණ ජාතියක්. අපි නිදහස ඕන මොකටද කියල පවා නැවත ප‍්‍රශ්න කරන ජාතියක්. අපිව පාලනය කරන්න කියල අපිම නැවත නැවත ඉල්ලා සිටින වර්ගයක්. එතනදි බුදුන්ව හෝ ඉතිහාසය හෝ සම්ප‍්‍රදාය පරිස්සම් කිරීම අපි අපේ පැවැත්මේ තේරුම විදිහට දකිනවද, නැත්තං අපේ පැවැත්ම වඩා පුළුල්, නිදහස් තලයක අත්විඳීම වෙනුවෙන් සියලූ ඉතිහාසයන්, න්‍යායන් සහ නිර්වාණයන් පාවිච්චි කරනවද කියන එක අපේ පුද්ගලික තෝරා ගැනීමක්.
චින්තන ධර්මදාස