වෙන්ඩි ඩොනිගර් කියන්නෙ ඇමරිකානු ඉන්ඩුලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නෙ ඉන්දියාව පිළිබඳවම හදාරන මහාචාර්යවරියක්. එයා පොතක් ලියනවා හින්දු- විකල්ප ඉතිහාසයක් නොහොත් ශිව ඇදහීමේ තපස සහ ශෘංගාරය ගැන. ඒ පොතට දරුණු විවේචන එල්ල වෙනවා. ඩොනිගර් කියන්නෙ සෙක්ස් ඔබ්සෙස්ඩ්, ලංකාවෙ භාෂාවෙන් නම් සෙක්ස් ඇරියස්, ලෝකෙ හැමදෙයක්ම සෙක්ස් කියල හිතන ගෑනියෙක් කියල.

ඩොනිගර් මේ අපවාද මැද ඊටත් වඩා කන්න වෙන දේකට අතගහනවා. එයා වාත්ස්‍යානගේ කාමසූත්‍ර නැවත කියවනවා. the mare’s trap නැත්නම් Redeeming Kamasutra කියන්නෙ ඇය නැවත විවරණය කරන කාමසූත්‍රය.

කාමසූත්‍ර කියන්නෙ ලෝකෙ වැඩියෙන්ම වරදවා වටහාගත්ත පොත වෙන්න පුළුවන් කියල ඩොනිගර් කියනවා. ‘කාමසූත්‍රයේ සෙක්ෂුවල් ඇක්ට් එක ගැන තියෙන්නෙ එක කොටසයි. කාමසූත්‍රය ඔය මිනිස්සු කියන විදිහෙ සෙක්සි පොතක් නෙමෙයි. ඉන්දියාවෙ අනිත් ගොඩක් දේවල් සෙක්සි කාමසූත්‍රයට වඩා’

ඩොනිගර් කියන්නෙ කාමසූත්‍ර සමාජ විද්‍යාත්මක ග්‍රන්ථයක් විදිහට සලකන්න ඕන කියල. ඒක ඒ යුගයෙ ධනවත් මිනිස්සු සමාජයේ ජීවත් වුනු විදිහ ගැන කියනවා. ඒක මනෝ විද්‍යාව පැත්තෙන් අධ්‍යනය කරන්න ඕන. මොකද ඒක අපිට මානව සම්බන්ධතා ගැන කියනවා.

කාමසූත්‍ර විශේෂ ග්‍රන්ථයක් නෙමෙයි කියලයි ඩොනිගර් පෙන්වා දෙන්නෙ. ඒ යුගයෙ තිබුණු ශෘංගාර සංස්කෘතියෙ තවත් එක ප්‍රකාශනයක් විතරයි. කාමසූත්‍ර වි‍ශේෂ වෙන්නෙ ඒ කතා කරන ඉන්දියාවෙ සෙක්ස් විෂය හින්ද නෙමෙයි. ඒ දිහා බලන ගැඹුරු පරිණත ආකාරය හින්ද. සෙක්ස් ගැන කාම සූත්‍රයෙ එන මනෝවිද්‍යාත්මක දෘෂ්ටිය හින්ද.

ඩොනිගර් වාත්ස්‍යානගේ අර්ථ ශාස්ත්‍ර, ධර්ම ශාස්ත්‍ර කියන පොත් දෙකත් අතර‍ කාමසූත්‍ර පිහිටුවමින් අන්තර්පඨිතමය කියවීමක් කරනවා.

ඇය පෙන්වා දෙන්නෙ බටහිරට පරිවර්තනය වුනු රිචර්ඩ් බර්ටන්ගේ කාමසූත්‍ර ඉතාම දුර්වල පරිවර්තනයක් කියල. ඒ වෙනුවට කාම සූත්‍ර කියන්නෙ ස්ත්‍රීවාදී ප්‍රකාශනයක් කියලත්, ඒක ලිංගිකත්වය දිහා ඉතාම පුළුල් ලිබරල් දෘෂ්ටියක් ඇතුව ලියලා තියෙනවා කියලත් ඩොනිගර් කියනවා.

‘කාමසූත්‍ර සියලු ලිංගිකත්වයන් දිහා නිදහස්ව බලලා තියෙනවා. දැන් පෝර්න් පවා තහනම් කරන්න දඟලන ඉන්දියානු රජය කියන්නෙ වර්තමාන ඉන්දියාව කොයිතරම් රිප්‍රෙසිව් (ලිංගිකත්වය යටපත් කරන) සමාජයක්ද කියන එකයි. මේ ලිංගික යටපත් කිරීම විදිහට මතුවෙන්නෙ පශ්චාත් යටත්විජිතවාදයේ කම්පනයන්’

– වෙන්ඩි ඩොනිගර් –

කාන්තාව සම්බන්ධයෙන් කාමසූත්‍ර ඒ තරම් අතීතයකදී ඉතාම ප්‍රගතිශීලී දැක්මක් යෝජනා කරනවා. ඒ අනුව ගෙදරක මූල්‍ය කටයුතු භාරවෙන්නෙ බිරිඳට. තමන්ව සතුටු කරන්න බැරි පිරිමියෙක් එක්ක ඉන්න එපා කියල කියනවා. ඒ වගේම ලිංගික ක්‍රියාවකදී මූලිකම වෙන්නෙ කාන්තාවගේ සතුට කියන එක අවධාරණය කරනවා. සෙක්ස් කියන්නෙ ළමයි හදන්න කරන ක්‍රියාවක් නොවන බවත් කියනවා.

ඒ වගේම කාමසූත්‍රය කුලභේදයත් බැහැර කරනවා. ජීවිතයේ වාත්ස්‍යාන යෝජනා කරන සතුට විඳින්න කිසිම වර්ණයක කෙනෙකුට බාධාවක් නැති වග එහි කියනවා. මේකෙ තේරුම කාමසූත්‍ර ෆෙමිනිස්ට් හෝ ලිබරල් කියන එක නෙමෙයි. ඇදහිය නොහැකි තරමෙ නිදහස් දැක්මකින් ගැහැණුන්, හීන කුල මිනිසුන්, වෙනත් ලිංගිකයන් දෙස බැලීමෙන් ලියවුනු එකක් කියන එක.

ඩොනිගර් ගෙ; හින්දු- විකල්ප ඉතිහාසයක්’ පොතටත් ඉන්දියාවෙන් එල්ල වුනේ දැඩි විරෝධයක්. ඒ පොත ගිනි තියන්න පටන් ගත්තා. අන්තිමට පෙන්ගුයින් සමාගම විසින් ඒ පොත ඉන්දියාවෙන් ඉවත් කරගත්තා. කාමසූත්‍ර නැවත කියවීමටත් එලෙසම විරෝධයක් පැන නැගුනා.

කාමසූත්‍ර මගින් කරන වැදගත්ම යෝජනාව සෙක්ස් කියන්නෙ ස්වභාව ධර්මයේ ක්‍රියාවක් නෙමෙයි ඒක සංස්කෘතික ක්‍රියාවක් බව අවධාරණය කිරීමයි කියල ඩොනිගර් සඳහන් කරනවා.