මේ ප්‍රංශයේ ප්‍රසිද්ධම ආදර කතාවයි.

මේ දෙන්නා ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන දේශපාලන යුවළ අතරින් එකක්. තහංචි බිඳහෙලපු, වයස් පරතර බොඳ කරපු ආදර කතාවක්. එමානුවල් මැක්රොන් සහ අද ඔහුගේ බිර‍ිඳ බ්‍රිජිට්.. ඒ තමයි එමානුවල්ට වඩා අවුරුදු 24ක් වැඩිමල් එයාගෙ නාට්‍ය ගුරුවරිය. මේ නාට්‍ය ගුරුවරිය ඇගේ පළමු සැමියා සහ දරුවන් තුන්දෙනෙක් අතෑරලා මේ ශිෂ්‍යයා සමග එනවා. ඔහු කවදා හරි ප්‍රංශයේ ජනාධිපති වෙයි කියල ඇය හීනෙන්වත් හිතන්නෙ නෑ. මේ අසම්මත ආදරය ගැන දැන් පොත් පවා ලියවෙනවා. ලංකාවෙ නං නඩු යනවා. සදාචාර විනිශ්චයකරුවො මේ අයව පට්ට ගහනවා.

මේ කතාව නැවත මතක් කරන්න මුල් වුනෙත් අවුරුදු 16ක තරුණයෙක් තමන්ව අපචාරයට ලක්කළා කියල ගුරුවරියකට විරුද්ධව අවුරුදු 04ට පස්සෙ අධිකරණයට ගිය සිද්ධිය. මේක බාලාපරාධයක් හැටියට දකින්න ගොඩක් අය උත්සාහ කළා.

මේ ප්‍රංශ ප්‍රේමය පටන්ගන්න කොට එමානුවල්ට අවුරුදු 16යි. මුලින්ම එයා ගැන බ්‍රිජිට්ට කියන්නෙ ඇගේ දුව. ‘අම්මෙ ඉස්කෝලෙ ඉන්නවා මාර ළමයෙක්. එයා හැමදේම ගැන දන්නවා’. දුව ඇවිත් බ්‍රිජිට්ට කියන්නෙ එහෙම.

බ්‍රිජිට්ට එමානුවෙල් පිස්සුවෙන් වගේ ආදරෙන් කරන්න ගන්නවා. බ්‍රිජිට්ගේ කැමතිම පොත එමා බෝවරි ගැන එමානුවෙල් පාසැල් රචනා තරගෙට ලියලා ජාතික සම්මාන ගන්නවා.
‘ෆ්ලෝබෙයාර්ගේ එමා වගේ දැඩි ආදරයක කෙනෙක් ජීවත් වෙලා නැති වෙන්න පුළුවන්. ඒත් හැම කෙනෙක්ම ජීවිතේ එක මොහොතක් හරි බෝවරිසම් අත්විඳලා තියෙනවා. අඩුගානෙ තමන් ඇතුලෙම විතරක් හරි’ අනාගත ප්‍රංශ ජනාධිපති එදා ලියනවා.

මේ එමානුවල් ලියන්නෙ බ්‍රිජිට්ට. එයා දන්නවා ඇය කොයිතරම් එමා බෝවරිට කැමතිද කියල. ඒ වගේම ඒ වෙද්දි මේ පාසැල් ළමයා සහ ගුරුවරිය අතර අමුතු ඇගෑළුම්කම බොහෝ දෙනෙකුට දැනෙන්න අරන් තිබුනෙ. වාසනාවකට මේ ලංකාව නෙමෙයි.

මේ ප්‍රේමය ගැන පොතක් ලියන කර්තෘවරියක් කියන්නෙ, ප්‍රාදේශීය පළාතකින් ආපු, කන්‍යා සොයුරියන්ගෙන් ඉගෙන ගත්ත, සාම්ප්‍රදායික පරිසරයක හැදුනු බ්‍රිජිට් වගේ ගැහැණියක් කොහොමද තමන්ගේ පවුල පවා අතෑරලා ජනප්‍රිය සදාචාරයට පයින් ගහලා තමන්ට වඩා අවුරුදු 24ක් බාල තමන්ගේ ශිෂ්‍යයෙක් සමග ජීවත් වෙන්න තෝරගත්තෙ කියන එක තේරුම් ගන්න වටින සංසිද්ධියක් කියල. මැක්රන් බ්‍රිජිට්ගෙ නාට්‍ය කණ්ඩායමට එකතු වෙද්දි ඇය දශක දෙකක් තිස්සෙ සාර්ථක බැංකු නිලධාරියෙකුගේ බිරිඳක්. මේ සැමියා සමග ජීවිතය බෝරිං එකක් වග ඇය ඇසුරු කළ බෙ‍ාහෝ දෙනෙක් කියනවා. එමානුවෙල් සහ බ්‍රිජිට්ගෙ අසම්මත විවාහයෙන් පස්සෙවත් පළමු සැමියා කිසි දෙයක් නොකියා නිහඩව ඉන්න තීරණය කරනවා. බ්‍රිජිට්ගෙ දුව ටිෆනි එමානුවල්ට වඩා අවුරුදු හයක් බාලයි. එක පුතෙක් එමානුවෙල්ගෙ වයසෙමයි.

මේ සිසු-ගුරු සම්බන්දෙ දැනගත්ත ගමන් මැක්රන්ගෙ දෙමව්පියො කලබල වෙනවා. එමානුවල් බ්‍රිජිට් එක්ක නොයෙක් තැන්වල රහසේ විනෝද වෙමින් ඉන්නවා දකින්න ලැබෙනවා. ඒ ගොල්ලො වහාම එමානුවල්ව වැඩිදුර ඉගෙනීම සඳහා පැරීසියට යවනවා. ඒත් එමානුවෙල් බ්‍රිජිට් මුනගැහෙන එක නතර කරන්නෙ නෑ. විභාග අසමත් වීම ගැනත් ඔහු කියන්නෙ ආදරය ඒ තරම් විශාල නිසා පාඩම් කරන්න බැරි වුනා කියල.

සැමියා වැඩට ගොස් සිටින අතරෙදි බ්‍රිජිට් දිගටම එමානුවෙල් හම්බුවෙන්න යනවා.

අන්තිමේදි 2007දි තමන් මුලින් විවාහ වුනු ශාලාවෙම බ්‍රිජිට් එමානුවෙල් සමග විවාහ වෙනවා. කලින් විවාහයට වඩා මෙහිදී ඔවුන් සහ පැමිණි හැමෝමත් සතුටින් හිටපු වග ඒ විවාහ දෙකේ ඡායාරූප බලන අයට පේනවා. එතකොට එමානුවල්ට 29යි. බ්‍රිජිට්ට 54යි.

ආදරය කියන්නෙ කොහෙත්ම වයසෙන් නීතියෙන් සම්ප්‍රදායෙන් සීමා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ලංකාව වගේ ජීවිතයක් අහිමි දුප්පත් මිනිස්සු ඉන්න රටක ප්‍රංශ ජනාධිපති වුනත් ඇබියුස් වෙච්ච ළමයෙක් විදිහට සලකන්න පුළුවන්.