ඇබ්බැහිය භාවනාවක් කරගන්න

සෙක්ස් නැත්නම් ලිංගික ආශාව කියන්නෙ ස්වභාවික ඇබ්බැහියක්. මේ ඇබ්බැහිය අපිට ඇවිත් තියෙන්නෙ අපේ වර්ගයා බෝකිරීමේ අවශ්‍යතාව පවත්වාගෙන යන්නයි. එහෙම ඇබ්බැහියක් නොවුනා නම් සෙක්ස් කරනවා වැනි අමුතු ක්‍රියාවක මේ තරම් උනන්දුවෙන් මිනිස්සු යෙදෙයි කියල හිතන්න අමාරුයි. එම ක්‍රියාවේ අරමුණ එහි අවසානයේ ඇති සුරතාන්තය අත්විඳීමයි.

ඕනෑම ඇබ්බැහියක තියෙන කාරණා සෙක්ස්වලටත් පොදුයි. ඒ තමයි ඇබ්බැහිය තුලදි ඔබව සවිඥානක බවෙන් ඈත් කිරීම. අවිඥානකව, පාලනය කළ නොහැකි ආකාරයෙන් පෙළඹවීම. සෙක්ස්වලදි මේක දෙයාකාරයකින් සිද්ද වෙනවා. එකක් බාහිර වශයෙන්. දකින දකින අයගෙ ශරීරාංගවලට ආශක්ත වෙමින් ඇස් ලොකුවී, තොල් තෙත්වී ඇතිවෙන්නෙ මේ බාහිර පෙළඹීමයි. අනෙක මනස තුල ඇති කරන පෙළඹීම. කිසිම බාහිර රූපයක් නැතිව වුනත් මනස තුල අපිට ලිංගික ආශාවෙන් නන්නත්තාර කරන්න පුළුවන්.

ලෝකෙ තියෙන ඇබ්බැහියන් අතර ප්‍රබලතම ඇබ්බැහිය බවට සෙක්ස් පත්වෙනවා. මේක කිසිසේත් යටපත් කළ නොහැකි එකක් බව එය යටපත් කරන්නට උත්සාහ ගන්නා සෑම ආගමක්ම දහමක්ම අපිට ඔප්පු කර පෙන්වනවා. මෙය යටපත් කිරීමෙන් ඇතිවෙන්නෙ ප්‍රචන්ඩත්වයයි. එය වඩාත් විකෘතියක්.

ඕනෑම ඇබ්බැහියකට කළ හැකි දේ ඒ තුලට සවිඥානකත්වය කැඳවීමයි. ඒක තමයි තාන්ත්‍රික ප්‍රවේශය වෙන්නෙ. සෙක්ස් විතරක් නෙමෙයි, වැඩියෙන් කන්න ඇති කැමැත්ත වුනත් එවැනිම ආශාවක්. රෑ මැදියම දන්නෙම නැතුව ශීතකරණය ඇරලා චොක්ලට් කේක් කෑල්ලක් කන්න හදන ඔබට පුළුවන් නම් මොහොතක් නවතින්න. පැත්තකින් ඉඳගෙන ඒ උපදින ආශාව දිහා බලාගෙන ඉන්න.

මතක තියාගන්න. සවිඥානක වීම කියන්නෙ පාලනය කිරීම නෙමෙයි. සවිඥානක වීම කියන්නෙ මැදිහත්ව බලාසිටීම. ඊට පසුවත් ඔබට ආශාව පවතින්න පුළුවන්. නමුත් ඔබ සවිඥානක බව ඒ තුලට කැඳවාගෙන තියෙනවා. සවිඥානක බවෙන් යුතු ඇබ්බැහියක් තව දුරටත් ඇබ්බැහියක් නෙමෙයි.

කෙනෙක් ගැන ඇතිවෙන ලිංගික ආශාව ගැනත් මේ විදිහට සවිඥානක වෙන්න. ඇගෙන් හෝ ඔහුගෙන් විමසීමට ඇති හදිස්සිය වෙනුවට ඒ ආශාව දිහා බලාගෙන ඉන්න. එය රසවිඳින්න. දෙදෙනෙක් එක්වීමේදී වුනත් නිරුවත් වෙන්න, උමතු වෙන්න ඇති හදිස්සිය වෙනුවට අතකින් ඇල්ලීම බඳු සියුම් ස්පර්ශයක් බොහෝ වෙලාවක් ගෙන විඳින්න හුරු වෙන්න. ස්වභාවික පෙළඹුම වන සුරතාන්තයේ අවිඥානක ගොදුරක් නොවී සෙමෙන් ඒ ආශාව තුල ගතවෙන්න.

අභ්‍යන්තරයේ රැළි නගන ආශාව ඔබට දකින්න පුළුවන් වෙයි. ඒ රැළි මතින් ඔබට යාත්‍රා කරන්න පුළුවන් වෙයි. ලෝකයේ ඇබ්බැහිය තුල සවිඥානකත්වය වර්ධනය කිරීමේ එකම ප්‍රවේශය තන්ත්‍රයි. ආශාව තුල විමුක්තිය අත්විඳීමේ, බැඳීම තුල නිදහස ලැබීමේ පුහුණුව එයයි. ඇබ්බැහිය ආර්ට් එකක් කරගන්න.


එකාර්ට් ටෝල් ගේ කතාවක් ඇසුරින්