හියු හෙෆ්නර් කියන්නෙ ප්ලේබෝයි සඟරාවෙ නිර්මාතෘ. 1970 ඇතිවුනු ලිංගික විප්ලවයේ පුරෝගාමී චරිතයක් විදිහට හෙෆ්නර්ව හඳුන්වනවා. 1950 ගනංවල ඇමරිකාවෙ තිබුනු දැඩි ආගමික සදාචාරවාදී සමාජයෙන් තමන් තුල ඇති කරපු පීඩනය තමයි ප්ලේබෝයි සඟරාව විදිහට පුපුරා ගියේ කියල හෙෆ්නර් කියනවා.

එයා ප්ලේබෝයි කියන බ්‍රෑන්ඞ් එක තමන්ගෙ ජීවිතයම කරගත්තා. නියම නිදහස් ඇමරිකානු ප්ලේබෝයි කෙනෙකුගේ ජීවිතය නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒ අනුරාගී ජීවිතයටම අදාල වුනු විකල්ප සංස්කෘතියක් නිර්මාණය කළා. ජීවිතය හොලිවුඞ් චිත්‍රපටියක් වගේ ගත කරන්න උත්සාහ කළා. මහා මන්දිරවල සුවිසල් සාද අතර, සුරූපී ලඳුන් වටකරගෙන, සිල්ක් පිජාමාවලින් සැරසීගෙන දුම් පයිප්පයක් කටේ රුවාගත්ත හියු හෙෆ්නර්ගෙ ජීවිතය කියන්නෙම සාම්ප්‍රදායික සමාජ වටිනාකම්වලට එරෙහි විප්ලවයක්.

අසභ්‍ය යනු කුමක්ද කියන එකත් මිනිස් ප්‍රකාශනයේ නිදහස කියන එකත් හෙෆ්නර් තමන්ගෙ කාලය පුරාම ගැටුනු ප්‍රශ්න කරපු අරමුණු දෙකක්.

“අපි කොක්ටේල්වලට කැමතියි. මූඞ් එකක් දෙන සංගීතයක් එක්ක සුන්දර කෙල්ලෙක් පිකාසො ගැන නීට්ෂ ගැන ජෑස් ගැන සෙක්ස් ගැන මේ පිටු අතරෙ සංවාද කරාවි. ඒක තමයි ප්ලේබෝයි සඟරාවෙ මූඞ් එක. හෙෆ්නර් එයාගෙ එඩිටෝරියල් එකේ ලියනවා.

හෙෆ්නර් කියන චරිතය බොහෝ විට ජේ ගැට්ස්බි, සිටිසන් කේන්, වෝල්ට් ඩිස්නි වගේ චරිත එක්ක සංසන්දනය කළත් ඇත්තටම හෙෆ්නර් කියන්නෙ එයාටම විතරයි.