සිසිලයන් ඇමරිකන් සම්භවයක් තියෙන බොබ් ගුචියොනි කියන්නෙ හියු හෙෆ්නර්ගෙ ව්‍යාපාරික ප්‍රතිවාදියා. එයා පෙන්ට්හවුස් මැගසින් එක පටන් ගන්නෙ ප්ලෝබෝයි සඟරාවත් සෙක්ෂුවල් රෙවලූෂන් එකත් උනුසුම්ව පවතින කාලෙදි. ගුචියොනි එන්නෙම ප්ලේබෝයි සඟරාවට තව කල් දෙන්නෙ අවුරුදු පහයි කියන අභියෝගයත් එක්ක.

ගුචියොනිගෙ පෙන්ට් හවුස් සඟරාව අසභ්‍යත්වයේ සීමාව හොයාගෙන ප්ලේබෝයි නොයන තරම් දුරක් යනවා. සම්පූර්ණ නිරුවත් ඡායාරූප පලකරනවා. ප්ලේබෝයි සඟරාවෙන් අරන් එන ප්ලේමේට්ලා වෙනුවට පෙන්ට්හවුස් සගරාව පෙන්ට්හවුස් පෙට්ස්ලාව ගේනවා. පෙන්ට්හවුස් විසින් අත්පත් කරගත්ත අසභ්‍ය නිදහස, එඩිතරකම ඇත්තටම ප්ලේබෝයි සඟරාවෙ අලෙවිය බිමට ගේනවා.

බොබ් ගුචියොනිගෙ චරිතය හෙෆ්නර්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ගුචියෝනි කියන්නෙ ඇත්තටම සිත්තරෙක්. සඟරාවෙ මුල්ම ඡායාරූප ශිල්පියා වුනෙත් ගුචියොනිමයි. එයාගෙ චිත්‍ර ගැන තිබුනු දැනීම ඒ සොෆ්ට් ෆෝකස් ෆොටෝ මැජික් එක විදිහට පාවිච්චි කළා කියන්න පුළුවන්. ගුචියොනි හැමදාමත් උසස් කලාත්මක නිර්මාණ ඇසුරෙ ජීවත්වෙන්න කැමති වුනා. එයාගෙ මන්දිරය පුරාම එල්ලලා තිබුනෙත් ඩාලිගෙ, පිකාසොගෙ චිත්‍ර. එයාගෙ ආර්ට් කලෙක්ෂන් එක ලෝක ප්‍රසිද්ධයි.

ගුචියොනිගෙ උත්සාහය වුනේ පෙන්ට්හවුස් බ්‍රෑන්ඞ් එක වෙනමත් එයා වෙනමත් පවතින්න. කාන්තා නිරුවත අලෙවි කරන පිරිමි සඟරා වගේම කාන්තාවන් වෙනුවෙන් පිරිමි නිරුවත අලෙවි කරන වයිවා වගේ සඟරාත්, ඔම්නි වගේ විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනික සඟරාත් ගුචියොනි එකවිට කරගෙන යනවා. එයා හෙෆ්නර් වගේ පාර්ටි දාන ප්‍රදර්ශනකාමියෙක් නෙමෙයි. කඹයක් තරම් ලොකු මාල එල්ලගෙන ගැඹුරු අනුරාගී කටහඬකින් කතා කරන ගුචියොනි වෙනම පෞර්ෂයක්. එයා හෙෆ්නර්ට වඩා තදින් සහ කෙලින් වාරණය සහ දේශපාලනය එක්ක හැප්පෙනවා.

රජය විසින් පෙන්ට්හවුස් සඳහා සීමාවන් පනවන්න ඕනද කියල එක වෙලාවක ගුචියොනිගෙන් මාධ්‍යවේදියෙක් අහනවා. ගුචියොනිගෙ උත්තරේ ඓතිහාසිකයි.

“මං හිතන්නෙ නෑ ඩික් නික්සන් හෝ ජෙරල්ස් ෆෝර්ඞ්ට අයිතියක්, බුද්ධියක් හෝ දැනුමක්, ටැලන්ට් එකක් තියෙනවා කියල කිසි දෙයක් පාලනය කරන්න, තමන්ගෙ බඩවැල්වල චලනය මිස. ඇත්තටම ඒකවත් පුළුවන්ද කියලා විශ්වාස නෑ.”


ප්ලේබෝයි තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් මැරලින් මොන්රොගෙ නිරුවත පාවිච්චි කළා වගේම පෙන්ට්හවුස් මැඩොනාගේ සහ වෙනිසා විලියම්ස්ගෙ මුල්කාලීන නිරුවත් රූප තමන්ගේ අලෙවිය ඉහල නංවන්න පාවිච්චි කරනවා. මේ නිසාම වෙනිසා විලියම්ස්ට මිස් ඇමරිකා තරගයෙන් පවා ඉවත් වෙන්න සිද්ද වෙනවා.

අසභ්‍යත්වයේ පතුලෙ ගැලෙන අතරම පෙන්ට්හවුස් පිටු අතරෙ ශ්‍රේෂට ලේඛකයන්ගෙ සාහිත්‍යයත් මුද්‍රණය වෙනවා. ඉසාක් අසිමොව්, ෆිලිප් රොත්, ගෝර් විඩාල්, ජේම්ස් බෝල්ඞ්වින්, ජොයිස් කැරොල් ඕට්ස් වගේ ලේඛකයො පෙන්ට්හවුස් එකේ ලියනවා. ඒ වගේම පිරිමි සඟරාවක් වෙන පෙන්ට්හවුස් මැගසින් එකේ ගොඩක් ඉහළ තනතුරු දරුවෙ කාන්තාවන් වීමත් විශේෂයි.

අපි හැමෝම වගේ බලලා තියෙන ඉතාමත් කොන්ට්‍රොවර්ෂල් චිත්‍රපටියක් වුනු ටින්ටො බ්‍රාස්ගෙ කලිගියුලා නිෂ්පාදනය කරන්නෙත් බොබ් ගුචියොනි. 86දි රේගන් පෙන්ට්හවුස් එකට දැඩි පහරගැසීමක් කරනවා. ඒ ප්‍රතිචාරය නිසා සඟරාවට ලැබෙන ඇඞ්වර්ටීස්මන්ට් වගේම අලෙවියත් පහල වැටෙනවා. ගුචියොනිට මාෆියා සම්බන්දකම් තියෙනවද බලන්න එෆ්බීඅයි එක පස්සෙන් පන්නනවා. මේ අර්බුදයෙන් ගැලවෙන්න 90 ගනංවලදි පෙන්ට්හවුස් එක සොෆ්ට්පෝර්න් වලින් හාර්ඞ්කෝර් පෝර්න්වලට මාරු වෙනවා. ඒත් ඉන්ටර්නෙට් හරහා පෝර්න් අසීමිත වීමත් එක්ක පෙන්ට්හවුස් එකට පවතින්න බැරි වෙනවා. අවසානයෙදි බොබ් ගුචියොනිට පවා පෙන්ට්හවුස් එකෙන් ඉවත්වෙන්න සිද්ද වෙනවා.

මේ වෙද්දි පෙන්ට්හවුස් සියලු වත්කම් අපි හැමෝම දන්න එක්ස්වීඩියෝස්.කොම් හිමිකරුවන් මිලදී අරන්.