2021 කරපු සමීක්ෂණයක් කියන්නෙ,
කසාද පිරිමි 23%ක් වෙනත් සබඳතා පවත්වනවා කියල. මේ කියන්නෙ ඒ පිරිමින් විසින් තමන් එවන් සබඳතා පවත්වනවා කියල පිළිගත් ප්‍රමාණය.
කාන්තාවන් 15%ක් ඒ විදිහට තමන් අන් සබඳතා පවත්වනවා කියල පිළිඅරන් තියෙනවා.
නමුත් විවිධ අවස්ථාවල කෙරුණු වෙනත් සමීක්ෂණවලින් කියන්නෙ විවාහයට බාහිර ලිංගික සබඳතා පවත්වන ප්‍රමාණය 46%ට වැඩියි කියල.
මෙතනදි තව දෙයක් මතක තියාගන්න ඕන. මේ දත්තවලින් එන්නෙ එහෙම සම්බන්ධතා පවත්වනවා කියලා පිළිගත් ප්‍රමාණය. ඒක රහසක් විදිහට තියාගන්න අය මේ දත්තවල නෑ.
ඒ වගේම එක එක අය තමන් cheat කරනවා කියන එක අර්ථකතනය කරන විදිහත් වෙනස්. සමහරුන්ට සෙක්ස් චැට් එකක් වුනත් cheating වෙද්දි තව කෙනෙකුට ඒක එහෙම නොවෙන්න පුළුවන්.
කායිකව එක්වීම පමණක්ම කෙනෙක් cheating විදිහට තේරුම් ගන්නවා වෙන්න පුළුවන්.
ඒ කොහොම වුනත් අපේ විවාහයෙන් හෝ ස්ථාවරයි කියන ප්‍රේම සම්බන්ධයෙන් බාහිර වෙනත් ආදරයක්, ඇල්මක් සොයා යාම අපිට ආපහු අපේ සම්බන්ධතා ඇතුලට හැරිලා බලන්න කවුළුවක් වෙන්න පුළුවන්.
හැබැයි ඒක පදනම් වෙන්නෙ අපි අපිටම කොයිතරම් අවංක වෙනවද කියන එක උඩයි.

මම ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි,
සම්බන්ධකමක කාලය යන්න යන්න,
සමාජයෙන් හරිම සැලකිල්ලක්, ගෞරවයක් ඒ සම්බන්ධකම් වලට ලැබෙනවා. පරණ වෙන්න වෙන්න සම්බන්ධතාවලට ලැබෙන වටිනාකම වැඩියි.

කෙනෙකුගෙ පළවෙනිම සම්බන්ධය කසාදයක් තැනටම ගෙනිහින් නම්,
මේ කියන පිළිගැනීම තවත් වැඩියි. ගිය ආත්මෙ ඉඳන් හොයාගෙන ආවා වගේ දැනෙන්න පුළුවන්.
‘එක පාරින්ම හරිම දේ තෝරගෙන’ වගේ ගෞරවයක් සමාජයෙනුත් ලැබෙනවා.
‘වෙනස් වෙන්නෙ නැති මිනිස්සු’ කියලා තව කෙනෙක් ගරු කරනවා.

නමුත්, වෙනස් වෙන්නෙ නැති මිනිස්සු ලෝකෙ ඉන්නවද?
වෙනස් වෙන එක නරක දෙයක්ද?

ගොඩක් වෙලාවට මට දැනිලා තියෙන දෙයක් තමයි, කාලයක් ගිය සම්බන්ධකම් කියන්නෙ,
‘සමාජය’ කියන ගෝනිබිල්ලට බයේ, මනංකල්පිත නීති රීති ටිකකට යට වෙලා,
එකම විදිහට හදපු cookie cut ගෙවල් ටිකක් වගේ කියලා.
කිසිම පෞර්ෂයයක් නැති සම්බන්ධකම්.
එකිනෙකාගෙ ආවේණිකත්වය වෙනුවට,
සමාජයෙන් පිළිගන්වපු මොඩ්ල් එකකට හිර වෙන එක සාර්ථකත්වය විදිහට දකින,
කිසිම නිර්මාණශීලීත්වයක් නැති මිනිස්සු ඒ සම්බන්ධකම් ඇතුලට වෙලා ඉන්නවා.
අපි මිනිස්සු විදිහට අපේ ඇත්ත පැවැත්ම කැප කරමින් කරන දේවල්ම සාර්ථකත්වය විදිහට දකින්නෙ ඇයි?

සම්බන්ධකමක කාලය ගියාට, ඒ ගෙවුන කාලය ඇතුලෙ,
තමන්ගෙ ඕනෑ එපාකම්, ආසාවන්, අනිත් කෙනාගෙ ආසාවන්, තේරුම් ගන්නෙ නැතුව,
දෙන්නම ඒ හැම දෙයක්ම හිර කරගෙන,
තමන් නොවෙන කෙනෙක් වෙලා ජීවිත ඔහේ ගෙවලා දාලා නම්,
පසුතැවිලි ගොඩක් එක්ක, නිකන්ම කාලය පව්කාර විදිහට ගෙවිලා ගිහින් විතරයි.

තමන්ට අවංක නොවී, තව කෙනෙක්ට අවංකව ආදරය කරනවා කියන්නෙම බොරුවක්.
අපි දවසින් දවස පරිණත වෙනවා, අපේ ආසාවන්,
අපිට ජීවිතේ ගැන තියෙන ආකල්ප වෙනස් වෙනවා,
ඒ දේවල් ගැන විවෘත කතාබහක් තමන් ජීවිතේ බෙදාගන්න කෙනා එක්ක ඇති වෙන්නෙ නැහැ කියන්නෙ,
හිතට එකඟ නොවී ජීවිතේම දුකක් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක පිටතට අසිරිමත් විදිහට පෙනුනට ඇතුලත අපායක්.

සම්බන්ධකම් රැකගන්න ඕනෙ තමයි,
තමන් එක්ක ලෝකයක් නිර්මාණය කරපු ජීවිත තියෙනවා,
ඒක නැති කරගන්න ඕනෙ කියනවා නෙමෙයි,
නමුත් හිතන්න, තමන්තට තමන්ව මඟ ඇරෙන තැන,
ජීවිතයකට සාර්ථකව පවතින්න පුලුවන්ද?

සම්බන්ධකමක කාලෙ යන්න යන්න,
ගොඩක් වෙලාවට මේ සම්බන්ධකම් ඇතුලෙ තියෙන්නෙ තමන් විසින්ම හදාගත්ත, ව්‍යාජ සැනසීමක්.
පොඩි කාලෙ ඉඳන් දන්න කෙනා,
අපි එකට ලොකු වුනා, අපි කසාද බැන්දා.

අපේ ලෝකේ දැන් ළමයි, වගේ හේතු කාරණා.
නමුත් අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි,
කාලෙත් එක්ක අපි කවුද කියන එක වෙනස් වෙනවා කියන එක.
ඒ වෙනස් වීම් එක්ක ගලායන එක තමයි මිනිස් ජීවිතේ තේරුම.
මිනිස් හිත වෙනස් වෙන්නෙ නැහැ කියලා හිතනවා කියන්නෙ,
ගඟක් එක තැන නතර වෙයි කියලා හිතනවා වගේ බොළඳ අදහසක්. එහෙම නතර වුනොත් ඒක පල්වුනු වතුර වලක්.

ලිංගික ආසාවන් කියන්නෙත්, මිනිස්සුන්ගෙ මූලිකම අවශ්‍යතාවයක්,
කෑම බීම වගේම දෙයක්,
නැති වුනොත් ලෙඩ වෙන දෙයක්.

කාලයක් ගිය සම්බන්ධකම් ඇතුලෙ sex කියන්නෙ තව දුරටත් ආසාවන් සපුරා ගැනීමට වඩා,
යුතුකමක්, වගකීමක්, පුරුද්දක්, චර්යාවක් විතරක් වෙනවා.
ගොඩක් දෙනා මේ උද්‍යෝගය දිගටම පවත්වගෙන යන්න,
නොයෙක් උත්සහයන් දරනවා.

අලුත් අලුත් විදිවලට, විවිධ ෆැන්ටසි හදාගෙන, රෝල්ප්ලේ කරගෙන සරාගී බව අල්ලගන්න උත්සාහ කරනවා. එහෙම මහන්සි වෙන්න සිද්ද වෙනවා කියන්නෙම අනුරාගය මිස් වෙන්න පටන් අරගෙන කියන එක.
sex වල උද්‍යෝගය රැඳී පවතින්නෙ නැවුම් බව, ඇඩ්වෙන්චරස් බව මත විතරයි. සෙක්ස් එහෙම බලෙන් අල්ලලා අවුලන්න පුළුවන් ආසාවක් නෙමෙයි.

හිතන්න කෙනෙක් ආසම කෑම පොල්සම්බෝලයි බතුයි කියලා,
හැමදාම රෑට ඒකම කෑවොත්,
ටික කාලයක් ගියාම පොල්සම්බෝල එපා වෙන එක සාමාන්‍යයයි නේද.
වෙන දෙයක් කන්න ඕනෙ කියලා හිතෙන එක?

ලිංගික ආසාවන් කියන්නෙත් ඒ වගේම දෙයක්.
කෙනාගෙන් කෙනාට, බැඳීමෙන් බැඳීමට, රස වෙනස් වෙන දෙයක්.
එහෙම නෙමෙයි නම්, කසාද වල ඉන්න බහුතරයක් මිනිස්සුන්ට වෙන සම්බන්ධකම් තියෙන්නෙ ඇයි?

අතිශයින් සාමාන්‍යය මේ ලිංගික ආසාවන් කියන්නෙ,
සම්බන්ධකම් විනාස කරන දෙයක් නෙමෙයි.
සම්බන්ධකම් නිසා නෙමෙයි අනෙකාව තේරුම් නොගැනීම නිසයි බැඳීමක් අසාර්ථක වෙන්නෙ.
කසාදයක් හෝ සම්බන්ධකමක් සාර්ථකයි කියන්න පුලුවන් වෙන්නෙ,
එකිනෙකාගෙ ලිංගික ආසාවන් සපුරන එකට වඩා එහාට ගිය අර්ථවත් ආත්මීය ගණුදෙනුවක් ඒ දෙන්නා අතර ගොඩනැගිලා තියෙනවා නම් විතරයි.
එහෙම අය ලිංගිකත්වය සලකන්නෙ, තවත් එක ක්‍රියාකාරකමක් විදිහට විතරයි. ඒක මත නෙමෙයි ඒ අයගෙ බැඳීම පවතින්නෙ.

මම ආදරය කරන්නෙ, අනිත් කෙනා ගැන මම හිතාගෙන ඉන්න මායාවට නම්,
එහෙම ආදරේ කරන එක හරිම ලේසි දෙයක්.
නමුත් මායාවක් කියන්නෙ, කොයි වෙලාවක හරි බිඳ වැටීමට නියමිත දෙයක්.
තමන්ගෙ ඔලුවෙන් එළියට ඇවිත්, අනිත් කෙනාව ඒ ඉන්න විදිහට පිළිඅරගෙන ආදරේ කරන්න උත්සහ කරනවා කියන්නෙම,
අභියෝගයක්.
නමුත්, එතනදි මුණගැහෙන ආදරය කොන්දේසි විරහිත, ඒ දෙන්නාටම වෙන්වුනු ආදරයක්.

හොඳ නරක සීමාවලින් එහා ඇති මිටියාවතේදී අපි මුනගැහෙමු… කියල රූමි කියන්නෙ එහෙම ආදරයක් ගැන.

ආදරය ඉදිරියෙ ආත්මය නිරුවත් කරන එක,
දුශ්කරයි නමුත් සුන්දරයි.
ඒ ගමන් මඟ අපහසුතා, හිත් රිදීම්, බිඳ වැටීම්, බහුලයි.
ගඟක් වුනත් ලස්සන, බාධා මැද්දෙ ගලනවා නම් විතරයි.
එහෙම නැති වුනොත්,
නිදහසක් ගැන නොදන්නා මිනිස්සු එකිනෙකාගේ පොලිස්කාරයන් විදිහට හිරකූඩුවක් නඩත්තු කරනවා විතරයි..


LUNA