පරණ සිංහල චිත්‍රපටි බලන්න මං හරි කැමතියි. ඒ චිත්‍රපටි දැන් බලද්දි ඒ චිත්‍රපටි නිර්මාණය කරද්දි අපේක්ෂා නොකළ මානයක් රස වින්දනයට එකතු වෙලා තියෙනවා. ඒ තමයි කාලය. දැන් අපි 90 ගනන්වල චිත්‍රපටියක් නරඹද්දි ඒ චිත්‍රපටිය හරියටම කාලතරණ අත්දැකීමක් වගේ. අපිට ලංකාවෙ අනූ ගනන්වල ජීවිතය ‍පේනවා. ඒ විහිලුතහලු, ඒ කාලෙ ආර්ට්, පසුතල මුනගැහෙනවා. ඒක වෙනම ට්‍රිප් එකක්.

යූටියුබ්ගත වෙලා තිබුනු දිනේෂ් ප්‍රියසාද්ගෙ දෙමෝදර පාලම බැලුවා. අනූපහේදි විතර ඒක තිරගත වෙද්දි අපි චිත්‍රපටි උන්මාදයකින් පෙලෙන වයසක හිටියත් දෙමෝදර පාලම බලන්න ගියේ නෑ. වාණිජ චිත්‍රපටි වෙනුවට සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ හෝ හයවෙනි මණ්ඩලයෙ නම් තමයි හෝල් එකට යන්නෙ. නැත්තං ඉංග්‍රීසි ඇඩල්ට්ස් ඔන්ලි විතරයි.

හැබැයි අපේ ගෙවල් පිටිපස්සෙ තිබුනු ගරාජ් එකේ කොල්ලො සෙට් එකම දෙමෝදර පාලම බලන්න ගියා. උන්ට ඒකෙන් ආපු ඇක්ෂන් රස්නෙ සෑහෙන දවසක් යනකල් තිබුන.

දෙමෝදර පාලම කියන්නෙ 1965 ආපු ටයිටස් තොටවත්තගෙ චණ්ඩියා ෆිල්ම් එකට සීක්වල් එකක්. චණ්ඩියා දෙක කියලමයි එන්නෙ. චණ්ඩියා කියන්නෙ ටයිටස් චැලෙන්ජ් එකක් අරගෙන කරපු වැඩක්. තිරය පිහියකින් ඉරාගෙන ගාමිනී එලියට එන ටීසර් එකක් මුලින් වැඩ කලේ චන්ඩියා වෙනුවෙන්.

චන්ඩියා කියන්නෙ ගැලරියත් බැල්කනියත් එකට යා කරන චිත්‍රපටියක් කියල ජයවිලාල් වි‍ලේගොඩ ලිව්වා. ඒක කුරුඳුවත්තත්. කූඹිවත්තත් යා කරන චිත්‍රපටියක් විදිහටයි දැක්කෙ. වැදගත්ම දෙයක් වුනේ චණ්ඩියා නාගරික ජීවිතයේ ප්‍රකාශනයක්. චණ්ඩියා ෆිල්ම් එකේ ෆයිට් දිග වැඩියි, බණ වැඩියි, හැමදේම ටයිටස් කරන්න ගිහින් බර වැඩියි කියල විචාර පළවුනා.

චන්ඩියා අන්තිමට චුට්ටෙ හිරේ යනවා.

95දි අවුරුදු විස්සකට පස්සෙ චුට්ටෙ නිදහස් වෙනවා. චුට්ටෙ නිදහස් කරන්නෙ දිනේෂ් ප්‍රියසාද්. ඒ තමයි දෙමෝදර පාලම. ටයිටස් වගේම ප්‍රියසාද් පිටපත, සංස්කරණය, කැමරාව, ග්‍රැෆික්ස් ඔක්කොම කරනවා.

චණ්ඩියා එකේ වගේම චුට්ටෙ තාමත් බණ කියනවා. පොත් ලියනවා. පොර එලියට එන්නෙ පණ්ඩිතයෙක් විදිහට, ආවම ආපහු වත්තෙ චන්ඩිකම ගන්න චුට්ටෙට ටිකක් හැප්පෙන්න වෙනවා. චුට්ටෙගෙ ගෝලයො විල්සන් කරූ සහ කොස්තා ආපහු බිස්නස් කරන උන්ට පාර්ට් දාලා කීය කීය හරි කප්පං අරං චුට්ටෙගෙ බලය තහවුරු කරනවා. චුට්ටෙ ෆුල් ධර්මෙන් වුනාට මේ ව‍ගේ පුංචි හොරකම්වලට ඉඩක් දෙනවා. මොකද චුට්ටෙ චන්දෙ දෙන්නෙ මාලිමාවට නෙමෙයි.

ටෙනිසන් කුරේට ආතල් චරිතයක් මේකෙ හම්බුවෙලා තියෙනවා. ජෝක්කාර චන්ඩියෙක් විදිහට. මර්වින් ජයතුංග තමන්ගෙ සුපුරුදු දුෂ්ටයාගෙ චරිතෙ මේකෙත් කරනවා. ඒත් අන්තිම වෙද්දි හමුදා ඇඳුම් ඇඳගෙන, හෙලිකොප්ටර්වල ගේම්වලට යන තත්වයේ මැරයෙක් බවට මර්වින් පත් වෙනවා.

මේ ෆිල්ම් එක අනූ ගනංවල කරනවා කියන්නෙම වැඩක්. කෝච්චිද, හොලිකොප්ටර්ද, වාහනද බයිසිකල්ද ඔක්කොම පෙරලෙන පුපුරන දර්ශන ෆිල්ම් එකේ තියෙනවා. අනික කැමරාවෙන් හැම සිද්ධියක්ම අපි මෙතෙක් දැකපු නැති තැන්වල තියලා ආවරණය කරනවා. අමුතු ෂොට් එක්ක අමුතු කැපිලි තියෙනවා. ‍හෙලිකොප්ටර් කඳුවල හැපිලා පුපුරනවා, අන්තිම වෙද්දි ආරුක්කු නමයේ පාලමත් පුපුරනවා.

හැබැයි චුට්ටෙ ඉතුරු වෙනවා. ඉතුරු සීයක් විතර මැරෙනවා.

ඒකෙත් ෆයිට් සීන් දිගයි. බණ සීන් වැඩියි. ඒත් එහෙම තමයි චණ්ඩියා.

ෆිල්ම් එකක් බලද්දි ඒකෙ වැදගත්ම දේ වෙන්නෙ අපි ලබන ආස්වාදය. ඒ ආස්වාදය එන්නෙ ඒකෙ අධ්‍යක්ෂවරයා තමන්ගෙ නිර්මාණයත් එක්ක කරලා අරන් තියෙන ආස්වාදයෙන්. ඒක විභාගයක් පාස් කරන්න වගේ අමාරුවෙන් තටමලා කරලා නම් ඒක ස්ක්‍රීන් එක උඩ පේන්න ගන්නවා.

දෙමෝදර පාලම බලද්දි අපිට පේනවා දිනේෂ් ප්‍රියසාද්ට බටහිර චිත්‍රපටි ගැන තිබුනු උන්මාදය. ඒ පිපිරෙන පෙරලෙන සිනමාවට ඇති ආශාව. ඒක තමන්ට පුළුවන් කොහොමෙන් හරි සිංහලෙන් හදන්න තියෙන පිස්සුව. කෝච්චි වලින් මිනිස්සු වැටෙද්දි දාලා තියෙන ග්‍රැෆික්ස් යතාර්ථයට ළං විය නොහැකි නිසා ඒක වහන්න කරපු වැඩ ඒ කාලෙදි. ඒත් දැන් බලද්දි ඒක ඒ විදිහටම කරන එක වෙනම ආර්ට් එකක්.

චිත්‍රපටිය පුරා ගාමිනී ප්‍රධාන ධාරාවෙ ජනතා සදාචාරය දේශනා කරනවා. ඒ කාලෙ ජනප්‍රිය පත්තර ප්‍රවෘත්ති හරහා දුෂ්ටත්වය නිර්මාණය වෙනවා. දෙමෝදර පාලමේ දුෂ්ටයා කරන්නෙ ළමයි පිටරට යවන එක. කෝච්චියක් පිටින්ම එකපාර ළමයි පිටරට යවන්න ගිහින් තමයි දුෂ්ටයාට වැඩේ වරදින්නෙ.

ඒ කාලෙ තිබුනා ළමයි පිටරට යැවීම සහ කරවල වාඩිවල වැඩ කරන්න පැහැරගෙන යාම් කියල අදහස් දෙකක්. ඒ දෙකම මිනිස්සු මවා ගත්ත ප්‍රවෘත්ති මිස ඇත්ත ඒවා වෙන්න ඉඩ අඩුයි. හැබැයි දෙමෝදර පාලම පුපුරුවාගෙන චුට්ටෙ මේ පාර එන්නෙ ඒ දරුවන් බේරගන්න.

ෆිල්ම් එක පුරාම කෝච්චි ඇතුලෙ, හෙලිකොප්ටර් ඇතුලෙ ත්‍රාසජනක සටන් පිරිලා. සොමී රත්නායකව ස්කොට්ලන්ඩ් යාඩ්වල ඉඳන් ගෙන්නනවා හරියට ජේම්ස් බොන්ඩ් වගේ. හෙලිකොප්ටර්වල ‍එල්ලිලා යන, බිමට පනින මාරක පිමි අසූහාර දාහට. චිත්‍රපටියෙ ඒ ස්ටන්ට්, සටන් නළුවන්ට වැඩ දාන්න ලොකු අවකාශයක් දීලා තියෙනවා.

ගාමිනී ඉන්න හින්ද පෙම්වතා වුනත් ශශී විජේන්ද්‍ර මතු වෙන්නෙම නෑ. ඇත්තට‍ම උන් උන්නද මළාද කියලවත් දැනෙන්නෙ නෑ. ගාමිනී අතීතයෙන් ඇවිත් ඒ වර්තමාන පෙම්වතුන් පරද්දලා ආපහු පවුලේත් රටේත් චන්ඩියා වෙනවා. මේ සැරේ එයා අතින් පයින් ‍වගේම දැනුමෙනුත් චන්ඩියෙක්.