මෑත කාලෙදි ලංකාවෙ අධිකරණයකින් දුන්න විප්ලවීය තීන්දුවක් විදිහට ජිනා මැඩම්ගෙ නඩු තීන්දුව හඳුන්වන්න පුළුවන්. ජිනා මැඩම් කාන්තාවන් මුදලට ලිංගික ශ්‍රමිකයන් ලෙස යෙදෙව්වා කියන වරදට අවුරුදු තුනක් හිර දඬුවම් ලැබුවා. එයා සාධාරණයක් පතා අභියාචනාධිකරණයට ගියා. ඒත් අභියාචනාධිකරණය කලින් තීන්දුවම අනුමත කළා. ඊට පස්සෙ ජිනා මැඩම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ජිනා මැඩම් නිදහස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ට තීරණයක් ලබාදෙනවා.

ලිංගික ශ්‍රමිකයෙක් සේ කටයුතු කරන කෙනෙකුට විරුද්ධව තව කෙනෙක් ලිංගික ශ්‍රමයෙහි යෙදවීම ගැන දඩුවම් කරන්න බෑ කියල. ඒ කියන්නෙ ගණිකාවන් කීප දෙනෙක් සේවයේ යොදවන සාමාන්‍ය වහරින් මැඩම් කෙනෙක් එයත් ගණිකාවක් විදිහටම වැඩ කරනවා නම් මඩමක් පවත්වාගෙන යාමේ වරදට අහුවෙන්නෙ නෑ. ඒක අතිශය මානුශීය වගේම ප්‍රගතිශීලී නඩු තීන්දුවක්. 

මීට කලින් වතාවක ලිංගික ශ්‍රමිකයන් හැටියට කටයුතු කරන කාන්තාවන්ට එය වරදක් හැටියට ගනිමින් දඩුවම් කරන්න බෑ කියලත් අධිකරණයකින් තීන්දු වුනා. ඒ වෙනුවට ඒ අයව ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවයේ යොදවන පාර්ශ්වයට දඩුවම් කළ යුතු බවයි කියවුනෙ. 

ගණිකා වෘත්තිය නීතිගත කිරීම කොහොම වුනත් අඩු තරමෙ මේ විදිහෙ ඩික්‍රිමිනලයිස් කිරීමකට හරි රටක් හැටියට යන්න පුළුවන් වීම ලොකු දෙයක්. මේ හින්ද නිකරුනේ සිරගත වන, අඩන්තේට්ටම්වලට ලක්වෙන කාන්තාවන් බොහොමයකගෙ ජීවිතවලට සහනයක් ලැබෙනවා නොඅනුමානයි.