Author: admin

  • The Story of O

    The Story of O

    අවුරුදු හැටකට විතර කලින් පැරීසියෙ ලියවෙනවා අද්විතීය පොර්නොග්‍රෆි නවකතාවක්. ඒක ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත්වෙනවා. ඒකෙ ලියවුනු ලිංගික ජවනිකා ඉතාම තියුණුයි. බොන්ඩෙජ් සහ වයලන්ස් කියන කාරනා ගැන ලියවුනත් ඒ පොතේ භාෂාව අලංකාරයි. අව්‍යාජයි. මාංචු කස අතර වුනත් ඒ කතාව ආසාවෙන් කියවන පෙළඹවීම වුනේ ඒකයි.

    ඒක ලියලා තිබුනෙ පෝලින් රෙයාජ් කියන්නෙ අනවර්ත නාමයකින්. ඒ හින්දම මිනිස්සු හිතුවෙ ඒක ලියන්න ඇත්තෙ පිරිමියෙක් කියල. අසූ ගනං විතර වෙනකල් මේ පොත ලියපු කෙනාගෙ ඇත්ත නම එලිදරව් වුනේ නෑ. බි්‍රතාන්‍ය ජනමාධ්‍යවේදියෙක් එක්ක සාකච්ඡාවකදි අවුරුදු 86ක කාන්තාවක් පලවෙනි වරට එලිදරව් කරනවා ඒ වෙස්මූනු, මන්දිර පිටුපස ෆැන්ටසිය නිර්මාණය වුනේ තමන්ගෙ මනසෙ කියල. ඒ තමයි ඩොමිනික් ඕරි.

    ඕරි ප්‍රංශ සාහිත්‍යකරුවන් අතර ප්‍රමුඛ චරිතයක්. අවුරුදු 47දි ස්ටෝරි ඔෆ් ඕ ලියන විට පවා එයා සංස්කාරකවරියක්, පරිවර්තිකාවක් වගේම සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩල පවා හොබවන චරිතයක්. ඒ වගේම එයා හරිම තැන්පත් විච්චූර්න නැති බුද්ධිමත් භාවප්‍රභාව දක්වන කාන්තාවක්.

    ප්‍රංශ රජය ස්ටෝරි ඔෆ් ඕ එක්ක තිබ්බෙ සරල සුගම සම්බන්දයක් නෙමෙයි. ඒත් 2004දි රජය මේ පොත ජාතික සාහිත්‍ය කෘතියක් හැටියට අගය කරන්න තීරනය කරනවා. ඩොමිනික් ඕරි අවුරුදු 90ක් වයසෙදි මිය යනවා. ඒ 1998. ඒත් ඒ පොත තාමත් හුස්ම ගන්නවා. ඒ පොත වටේ තියෙන රහස ඇමරිකානු චිත්‍රපටිකාරිනියක් වන පෝලා රැපපෝර්ට් ඩොකියුමෙන්ටි්‍රයකට ගේනවා.

    1950 ගනංවල මේ වගේ පොතක් ලියවෙන්න පුළුවන්කම තිබුනෙම ප්‍රංසෙ විතරයි. වාරණ නීතිවල හිරවෙලා හිටපු ඇමරිකාවෙ එංගලන්තෙ නම් කීයටවත් මේ පොත ප්‍රකාශයට පත්වෙන්නෙ නෑ. ඒත් වර්තමාන තත්වෙ ගොඩක් වෙනස්. මේ වෙද්දි කාන්තාවන්ට පුළුවන් තමන්ගෙ ඕනම ෆැන්ටසියක් ගැන, අත්දැකීමක් ගැන එලිපිට ලියන්න, කතා කරන්න.

    ඒත් 1980දි ඇමරිකානු විශ්ව විද්‍යාලවල ෆෙමිනිස්ට්ලා ස්ටෝරි ඔෆ් ඕ පොත් ගිනි තිබ්බා. හැබැයි පැහැදිලිවම විදිහට ඒ දේශපාලන ව්‍යාපාරවලින් කාන්තා නිදහස සම්බන්ධයෙන් ඇති කරපු බලපෑම මේ පොතෙන් ඇති කරපු බලපෑම ලගින් තියන්නවත් බෑ.

    තරුණ කෙල්ලෙක් වෙන ඕ තමන්ගේ පෙම්වතා රෙනේගෙ අණකිරීම අනුව කාර් එකට නගිනවා. වාහනේ ඇතුලෙදි එයාගෙ යටඇඳුම් ගලවන්න නියෝග ලැබෙනවා. ඊට පස්සෙ එයාව මන්දිරයකට එක්කගෙන යනවා. එතනදි රහස් සමාජයකට ඕව අඳුන්වාදෙනවා. කිසි කෙනෙක් එක්ක කතා කිරීම හෝ කෙලින් ඇස් දිහා බැලීම එයාට තහනම්. එයාගෙ පියයුරු නිරාවරනය වෙන ඇඳුමක් තමයි අඳින්න ලැබෙන්නෙ. ලෙදර් කොලර් එකක් සහ මාංචු පැළදෙනවා. ඕනම පිරිමියෙකුට එයා එක්ක ලිංගික ක්‍රියාවල යෙදෙන්න අවසර තියෙනවා. ඕ මේ හැම දෙයක්ම කැමැත්තෙන් බාරගන්නවා. පිලිවෙත දුෂ්කර වෙන තරමට ආදරය දැඩිවෙන වග එයා විශ්වාස කරනවා.

    මේ කතන්දර ඕරි ලියන්නෙ ඇඳේ වැතිරිලා. එයාගෙ නෝට්පොත්වල පැන්සලකින්. කිසිම ආයාසයකින් තොරව. කැපීමකින් කෙටීමකින් හෝ නැවත ලිවීමකින් තොරව. එයා හුස්ම ගන්න තරම් ලේසියෙන් හීන දකිනවා තරම් පහසුවෙන් දිගටම ලියාගෙන යනවා. පහුවෙනිදා එලිවෙනකලුත් එයා එක දිගට ලියනවා.

    ඕරි මේ කතාව ලියන්නෙ පබ්ලිෂ් කරන්න බලාගෙන නෙමෙයි. ඒක ලියන්නෙ එයාටම අභියෝගයක් විදිහට. එයාගෙ පෙම්වතාව ශෘංගාරයෙන් අවදි කරන්න. ඒ පෙම්වතා තමයි ෂොන් පුලියොන්. මේ දෙන්නා මුනගැහෙන්නෙ සංස්කෘතික වෙනසක් වෙනුවෙන් පෙනී හිටපු, ෂොන් සංස්කාරකාරකත්වය දරපු ලෙටර්ස් ඩි ෆ්‍රොන්සුවා සගරාව ඕරි විසින් බෙදාහරින කාලෙදි.

    පුලියොන් කියන්නෙ ඒ කාලෙ නැගීගෙන ආපු සාහිත්‍ය ප්‍රතිරූපයක්. කඩවසම් තරුනයෙක්. මේ ගැන ඕරි 1986දි කරන ඩොකියුමෙන්ටි්‍රයෙ කතා කරනවා. ඒ ෆිල්ම් එක එයා මැරෙන කල් ප්‍රදර්ශනය කරන්න බෑ කියන කොන්දේසිය මතයි එයා ඒ වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒකෙදි ඕරි මතක් කරනවා පෝලන් ගැන. උස, පලල් උරහිස් ඇති, රෝමන් මූනක් තිබුනු, නිතර උපහාසාත්මක සිනාවක් රැඳවුනු තරුනයෙක් විදිහට.
    මේ ෆිල්ම් එක කරද්දි පුලියොන් මැරිලා අවුරුදු විස්සක් ගත වුනත් ඕරි ඒ ගැන කතා කරන කොට තාමත් ඒ මතකවල අතරමං වෙනවා.

    ‘පැවැත්ම එයාව පුදුමයෙන් පුරවලා තිබුන. ආකර්ශනීය වගේම අප්‍රසන්න අත්දැකීම්වලිනුත් එයාව පරිපූර්න කළා’ ඕරි පුලියන් ගැන කියනවා. ඕරි කියන්නෙ බුද්ධිමත්බව එක්ක ශෘංගාරයෙන් වෙළෙන චරිතයක්. පුලියොන්ගෙ ඒ හැකියාව ගැන කතා කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලො ශරීරයෙන් වගේම මනසිනුත් සෙක්ස් කළා. ඕරි බය වුනා එයාට පුලියොන්ව කවදා හරි නැති වෙයි කියල. ඒක හින්ද එයා නැවත නැවත අදහස්වලින් රමණය කරමින් පුලියොන්ව දිනාගන්න උත්සාහ කළා. එක හරිම ආකර්ශනීය සම්බන්ධතාවයක්.

    පුලියොන් ඕරිට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල්. ඕරි ස්ටෝරි ඔෆ් ඕ ලියද්දි පුලියොන් ඉන්නෙ එයාගෙ හැටගනංවල. ඒ වෙද්දි දෙපාරක් කසාද බැඳලා. දෙවෙනි කසාද බිරිඳ පාකින්සන්වලින් පෙලෙනවා. ඕරිට අමතරව පුලියොන්ට තවත් ප්‍රේම සම්බන්ධතා තිබුනා. එයා කොහොමත් ස්ත්‍රී ආකර්ශනයෙන් උතුරා යන පිරිමියෙක්.

    ඒත් 1950 ගනංවලදි ඕරිට හිතෙනවා පුලියොන්ව අහිමි වෙයි කියල. එයාට ඕන වෙනවා පුලියොන් ආසම දෙයක් කරලා එයාව තමන් වෙතම තියාගන්න. පුලියොන් ඒ වෙද්දි සාද්ගෙ සොඩොමයේ දින 120ක් පොතට විශිෂ්ට පෙරවදනක් ලියලා තිබුන. ඕරි පුලියොන්ට කියනවා එයා ඉරොටිකාවක් ලියනවා කියල. ඒත් පුලියොන් කියන්නෙ ගැහැනියකට කවදාවත් ඉරොටිකා ලියන්න බෑ කියල. ඕරි අභියෝගය බාරගන්නවා. එයා ලියනවා.

    ‘මට ඕන වුනේ එයාව ආකර්ශනය කරගන්න.
    එයාව බැඳලා තියාගන්න. මං ඒ වෙද්දි තරුණ නෑ.
    ඒ තරම් ආකර්ශනීයත් නෑ. ඉතින් මට ඕන වුනා
    එයා වගේ මිනිහෙක් ආසවෙන දෙයක් කරන්න.’

    ඕරි ඕ ගෙ කතාව ලියන්නෙ පැන්සලෙන්. ඒ ඇයි කියල ඇහුවම එයා දඟකාර විදිහට කියනවා, ඇඳේ ෂීට්වල පැල්ලම් වදින්නෙ නැති වෙන්න කියල.

    මේ නෝට් පොත් පුලියොන්ට හම්බුනාට පස්සෙ එයාට දැනෙනවා මේක පබ්ලිෂ් නොකර ඉන්න බැරි පොතක් කියල. එයා ඕරිගෙන් ඉල්ලනවා ඒක නවකතාවක් විදිහට සම්පූර්ණ කරන්න. ඕරි එයාගෙ ජීවිතේ තියෙන බයිසෙක්ෂුවල් අත්දැකීම් කතාව ඇතුලට ගේනවා. ඒ වගේම සර් ස්ටීවන් වගේ චරිත හරහා කෙනෙකුට තමන්ගේ තාත්තා ගැන ඇතිවෙන රාගී හැඟීම් ගේන්න උත්සාහ කරනවා.

    ඕරි මේ ලියන දේවල් පුලියොන්ට කියවනවා. ඒක හරිම නුහුරු දෙයක්. මොකද ඒවා තනියම හිතෙන් කියවන්න මිස හඬ නගා කියවන්න ලියපු කතන්දර නෙමෙයි.

    ඕරිගෙ කතාවෙ ඕ වේදනාව හා පීඩාව තුලින් පාරිශූද්ධත්වයට පත්වෙනවා. ඒ හැම දේකින්ම තමන්ගෙ ඇතුලෙ මමත්වය දියවී යාමක් ඕ අත්විඳිනවා. ඉහල අධිකාරියකට තර්කයක් නැතිව අවනත වීමේ ශෘංගාරය ඕරි දරුනුවට මතු කරනවා.

    පුලියොන් මේ පොතට පෙරවදනක් ලියනවා. ඒක කිසි කෙනෙකුට තේරෙන්නෙ නෑ. ඕරි කියන විදිහට එයාටවත් ඒකෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ.

    පොත පබ්ලිෂ් කරන්න පුලියොන් බාරදෙන්නෙ පූවර්ට් ට. එයා බලපු ගමන්ම දැනගන්නවා මේක ඕරිගෙ ලිවිල්ලක් කියල. පුලියොන්ට බෑ මේ වගේ එකක් ලියන්න. එයාගෙ ලියන ශෛලිය පුවර්ට් හොඳින්ම අඳුරනවා.පොත ඉංග්‍රීසියෙන් හා ප්‍රංස භාෂාවෙන් දෙකෙන්ම ප්‍රින්ට් කරන්න තීරනය වෙනවා. ඒක පබ්ලිෂ් කරන්නෙ ඔලිම්පියා ප්‍රෙස් එකෙන්. ලොලිටා පොත ගහන්නෙත් ඒ ප්‍රෙස් එකමයි.

    1954දි එලියට ආවට මේ පොතට ඒ තරම් අවධානයක් ලැබෙන්නෙ නෑ. ඒත් මේකට ඩියු මාගො ප්‍රී සාහිත්‍ය සම්මානය ලැබීමත් එක්ක අපරාධ පරීක්ෂන අධිකාරීන්ගෙ ඇහැ මේ පොත දිහාට යොමුවෙනවා. මේ වෙද්දිත් ඒ වගේ ආන්දෝලනාත්මක ප්‍රකාශන නිසා 17 වතාවක් නඩු වැටිලා තියෙන පූවර්ට්ට මේක ගානක්වත් නෑ.

    ඕරි ඉරොටිකා කියවන්නෙ එයාගෙ තාත්තාගෙ කලෙක්ෂන් එකෙන්. වැඩිවිය පත් වයසෙ ඉඳන්ම ඕරිට මේ සාහිත්‍ය කලාපය හුරුයි. එයාගෙ අම්මා පිරිමින්ට කැමති නෑ. ගෑනුන්ට කැමතිත් නෑ. එයා මාංශය කියන එකම සහමුලින්ම පිලිකුල් කරනවා.

    ඕ එලියට එද්දි ඕරිගෙ කෙටි කසාදයකින් ඉපදුනු පුතාට අවුරුදු විසි ගානක්. එයා සෑහෙන කාලයක් යනකල් දැනගන්නෙ නෑ මේ පොත ලිව්වෙ එයාගෙ අම්මා කියල. ඒත් ඒ දැනගන්න කාලෙ වෙද්දි එයා ඒ පොත විශිෂ්ට නිර්මාණයක් විදිහට අගය කරනවා.

    60 ගනං වලදි ළගම කීපදෙනෙක් දැනගන්නවා මේක වෙන කවුරුවත් නෙමෙයි ඕරි ලියපු කතාවක් කියල. 70 ගනං වෙද්දි මේ දන්න පිරිස ටික ටික විශාල වෙනවා. ඒත් මේ රහස ඒ ආර්ට් එලීට් එක ඇතුලෙම ආරක්ෂා වෙනවා.

    ඕරි කියන විදිහට එයා මුලින්ම එයාගෙ දෙමව්පියො මැරෙනකල් ඉන්නවා මේ රහස එලිකරන්න. ඊට පස්සෙ එයා තව ටිකක් වයසට යනකල් ඉන්නවා. නාකි ගෑනියෙක් මේ කතාව ලිව්වා කිව්වම ඒකෙන් ඇතිවෙන ගින්න සෑහෙන්න අඩුවෙයි කියල ඕරි හිතනවා.

    මේ ගින්න පත්තුවෙන්නෙ අගෝස්තු පලවෙනිදාවක. ඒක නිවාඩු දවසක්. නිවාඩුව ඉවර වෙලා මිනිස්සු ආපහු පැරීසයට ආපු ගමන් මේක ඇවිලිලා යනවා. ටැබ්ලොයිඞ් පත්තර, ඉන්ටවිව් වැහිවහිනවා. ස්ටෝරි ඔෆ් ඕ කියන්නෙ ප්‍රංශයෙන් පිටත පවා මිලියන ගානක් මිනිස්සු කියවපු ඉරොටිකාව. කවදාවත් ප්‍රින්ට් එකෙන් නතර නොවුනු තාමත් එක දිගට ප්‍රින්ට් වෙන නවකතාව. ඒ නවකතාව පිටිපස්සෙ තියෙන ශෘංගාරය කොල උඩ අකුරු වුනු ශෘංගාරයට වඩා උනුවට අලෙවි වෙනවා.

    ඕරි අවුරුදු 11ක් පුලියොන් එක්ක ජීවත් වෙනවා. පුලියොන් මැරුනට පස්සෙ එයාගෙ ජීවිතෙත් ඉවර වුනා කියල එයා අන්තිමට සාකච්ඡාවක් කරපු ෆිල්ම් එකට කියනවා.

    ‘මගේ ඇතුලෙන් මං මැරුනා. 
    මගේ ඇතුලෙ ජීවත් වුනු පැවැත්ම ඉවර වුනා. 
    ඊට පස්සෙ මං හැමදෙයක්ම නැවැත්තුවා.’

    පුලියොන් මරනාසන්නව ඉස්පිරිතාලෙ ඉඳිද්දි ඕරි ඒ කාමරේ ඉඳන් රෑට රෑට ස්ටෝරි ඔෆ් ඕ ලියපු කතාව තුන්වෙනි ඇහැකින් බලලා තව පොතක් ලියනවා. ගර්ල් ඉන් ලව් කියන්නෙ ඒ පොත. පුලියොන්ගෙ මරනෙන් පොඩි කාලෙකට පස්සෙ ඒ පොත පබ්ලිෂ් වෙනවා. ඒ පොතේ ස්ටෝරි ඔෆ් ඕ වලින් මුද්‍රණයෙදි ඉවත් කරපු අවසන් පරිච්ඡේදයත් පලවෙනවා. ඒක ඕරි මොකක් නිසා නැවත ඇතුල් කළාද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒත් එයා ඒකෙ මෙහෙම සටහනක් තියනවා.

    ‘මේ කොටස හිතාමතාම පරණ පොතෙන් වෙන් කර තැබුවක්.
    මේක කිසිම හේතුවකට නැවත ඒ පොතට එක් නොකළ යුතුයි.’

    ස්ටෝරි ඔෆ් ඕ ලියලා එච්චර දිග කාලයක් තමන්ගේ අනන්‍යතාව හංගගෙන ඉන්න ඕරිට පුළුවන් වෙන්නෙ එයා කිසිම විදිහකින් ඒ වගේ ප්‍රචන්ඩ කෘතියක් කරයි කියල හිතන්න බැරි චරිතයක් හින්දමයි. ඒ ආචාරශීලී වැදගත් පැවැත්ම කිසිම විදිහකින් ඕගේ කතාව ලියපු කර්තෘ රූපයක් එක්ක ගලපගන්න බැරි එකක්.

    අදටත් ස්ටෝරි ඔෆ් ඕ කියන්නෙ ප්‍රබලම සාහිත්‍ය කෘතියක්. ඒක කියවීමෙන් ඇතිවෙන බලපෑම එදා තරම්ම අදත් දරුනුයි. කාන්තාවක් විසින් මේ ඉරොටිකාව ලිව්වා කියන එක ඊටත් වඩා ඓතිහාසිකයි. ඕරි කියන්නෙ සෙක්ස්වල බලය හොඳටම දන්න ගැහැනියක්. පෙනුමෙන් ඉතාම චාම්, කිසිදාක ආභරන නොපලඳින, විනීත පැවතුම් ඇති මේ ගැහැනිය, මවක් දියනියක් හැටියට හිඳිමින්ම මිනිස් සන්තානයේ අඳුරු ගැඹුරු නොදැමුනු ආශාවන් එලියට අදින හැටි විශ්මයජනකයි.

  • On Instagramming

    On Instagramming

    By Nadeesha Paulis

  • Sigmund Freud1856-1939

    Sigmund Freud1856-1939

    සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් ගැන කිසි කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ. මොකද අපි ජීවත්වෙන්නෙම ෆ්‍රොයිඩියානු විශ්වයක. අපි දැන්වීම්, විලාසිතා සහ කලාවන් විදිහට දකින්නෙම ෆ්‍රොයිඩියානු සංකල්ප. කොටින්ම අපේ අවිඥානය සොයාගත් මහා මනස් ගවේෂකයා වෙන්නෙ ෆ්‍රොයිඞ්.

    ෆ්‍රොයිඞ් ඔස්ටි‍්‍රයානු ස්නායුවේදියෙක්. එයා තමයි මනෝ විශ්ලේෂණවාදය ලෝකයට හඳුන්වාදෙන්නෙ. ඒ හරහා මිනිස් පෞර්ෂය කියවන්නෙ අලූත්ම එළඹුමක් ෆ්‍රොයිඞ් අරන් එනවා. විසිවෙනි සියවසේ වඩාත් බලපෑම්කාරී චරිතයක් විදිහට ෆ්‍රොයිඞ්ව ගැනෙන්නෙ මේ හින්ද.

    මිනිසාට අවිඥානයක් තියෙනවා කියල මුලින්ම හොයාගන්නෙ එයා. ඒ අවිඥානයේ සැගවුනු ලිංගික සහ අවේගකාරී හැගීම් නිරන්තරයෙන් ඒවා මත යෙදවෙන තෙරපුම්වලට එරෙහිව සටන්කරමින් ඉන්න වග එයා එලිකරනවා. ෆ්‍රොයිඞ් එයාවමත් ගැඹුරු විශ්ලේෂණ විෂයයක් විදිහට පාවිච්චි කරනවා. සිහින විශ්ලේෂණය හරහා අපේ අවිඥානයට කවුළුවක් නිර්මාණය කරනවා.

    ඒ කාලෙ ස්ථාපිත වෛද්‍ය සංස්ථාව ෆ්‍රොයිඞ්ගෙ අදහස් පිලිගන්නෙ නෑ. ඒත් එයා වටේට ශිෂ්‍ය පරම්පරාවක් සහ අනුගාමිකත්වයක් නිර්මාණය වෙන්න ගන්නවා. 1910 ෆ්‍රොයිඞ් කාල් යුංග් එක්ක ජාත්‍යන්තර මනෝවිශ්ලේෂණ සංගමය ආරම්භ කරනවා. යුංග් තමයි මේ සංගමයෙ සභාපති වෙන්නෙ. කාල් යුංග් කියන්නෙ සාමුහික අවිඥානය ගැන අදහස ලෝකෙට ඉදිරිපත් කරපු මනුස්සයා.

    පලවෙනි ලෝක යුද්දෙන් පස්සෙ ෆ්‍රොයිඞ් සායනික වැඩවලින් දුරස්වෙලා එයාගෙ තියරි ඉතිහාසය, කලාව, සාහිත්‍ය, මානව විද්‍යාව ආදී විෂයයන් ඇතුලෙ හොයන්න පටන් ගන්නවා. 1923 එයා ඉගො සහ ඉඞ් පිලිබඳ අදහස සමාජගත කරනවා. ඒ හරහා මනස ඉඞ් ඉගො සුපර් ඉගො හැටියෙන් බෙදලා වෙනම ආකෘතිගත කිරීමක් කරනවා.

    මිනිස් ලිංගිකත්වයේ අවධීන් ෆ්‍රොයිඞ් විස්තර කරනවා. මුඛ අවධිය, ගුද අවධිය, ෆැලික අවධිය, ගුප්ත අවධිය සහ ලිංග අවධිය හැටියෙන් මිනිසෙක් ලිංගිකව වර්ධනය වෙන හැටි වයස් අනුව බෙදා දක්වනවා. ඉතාම කුඩා අතදරුවා පටන් මිනිසා මෙහෙයවන ආශාවක් හැටියෙන් ෆ්‍රොයිඞ් ලිංගිකත්වය දකිනවා. මේ මනෝ ලිංගිකත්වය ලිබිඩො කියල නම් කරනවා.

    පිරිමි දරුවන් තමන්ගේ මව පිළිබඳ ලිංගික ආශාවකින් පසුවන බවත්, ඊඩිපස් සංකීර්ණය, ගැහැණු දරුවන් තමන්ගේ පියා පිළිබඳ එවැනිම ආශාවකින්, ඉලෙක්ට‍්‍රා සංකීර්ණය, පෙලෙන බවත් ෆ්‍රොයිඞ් එලිදරව් කරනවා. මේ සොයාගැනීම් ඒ කාලෙ සමාජය මත බෝම්බ වගේ පතිත වෙනවා.
    1933 නාසි විසින් ෆ්‍රොයිඞ්ගෙ පොත් ප‍්‍රසිද්දියෙ පුච්චනවා. කෙටිකාලෙකින් නාසීන් ඔස්ටි‍්‍රයාව යටත් කර ගනිද්දි ෆ්‍රොයිඞ් වියනාවලින් ලන්ඩනයට පලා යනවා.

    මිනිසාගේ මනෝ ලිංගික විෂයෙහි පතුල ස්පර්ශ කරමින් ලෝකය හිතමින් සිටි සෑම දෙයක්ම උඩුයටිකුරු කළ ලිංගික විප්ලවවාදියෙක් විදිහට ෆ්‍රොයිඞ් නොමැකෙන ජීවිත සටහනක් තියනවා.

  • Alfred Kinsey 1894-1956

    Alfred Kinsey 1894-1956

    ඩොක්ටර් කින්සි 1920 දි ඉන්දියානා විශ්ව විද්‍යාලයට එන්නෙ හාවඞ් විශ්ව විද ්‍යාලයෙන් ආචාර්ය උපාධිය අරගෙන අවුරුද්දකින්. එයා එතන ඉඳන් අවුරුදු 20ක් බඹරුන් ගැන අධ්‍යයන කරනවා. 1938දි කින්සි කසාදය සහ පවුල ගැන උගන්නන්න පටන් ගන්නවා. ඒක විශ්ව විද ්‍යාලයේ ජ්‍යෙෂ්ට ශිෂ්‍යයන්ට සහ විවාහක අයට වෙන්වුනු පාඨමාලාවක්. සෙක්ස් ගැන කින්සිගෙ උනන්දුව වැඩිවෙන්නෙත් එයා විවිධ පුද්ගලයන්ගේ ලිංගික ඉතිහාසයන් එකතු කරන්න පටන්ගන්නෙත් මේ කාලෙදි.

    1947 දි කින්සි සහ එයාගෙ පර්යේෂණ කණ්ඩායම ලිංගික පර්යේෂණ ආයතනය ආරම්භ කරනවා. ලාබ නොලබන, විවිධාකාර මූල්‍ය සහයෝග මත පර්යේෂණ පවත්වන, ඒ පර්යේෂණ දත්ත රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරන, ආයතනයක් බවට කින්සි ඉන්ස්ටිටියුට් එක පත්වෙනවා. කින්සි එයාගෙ පර්යේෂන තොරතුරු ඔක්කොම මේ ආයතනයට ඩොලර් එකක මුදලට ලබාදෙනවා. එතෙක් එයා මේ පර්යේෂණ කරන්නෙ එයාගෙම සල්ලි වලින්.

    1948දි මේ ලිංගික පර්යේෂණ ආයතනය ඒ ගොල්ලොන්ගෙ පලවෙනි ප‍්‍රකාශනය නිකුත් කරනවා. සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් හියුමන් මේල් කියන්නෙ ඒ පොත. ඒක එසැනින් නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට් සෙලර් බුක් ලිස්ට් එකට වැටෙනවා. ඒ මුදල් තවදුර පර්යේෂණ වෙනුවෙන් මේ ආයතනයට බැර වෙනවා.

    1953දි සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් ෆීමේල් පොත මුදහැරෙනවා. මේ පොත් මීඩියාවල හඳුන්වන්නෙ කින්සි රිපෝර්ට්ස් විදිහට. මේ පොත් දෙකේම කින්සි එයාගෙම හඳුන්වාදීමක් වුනු කෙනෙකුගෙ හෙට්‍රොසෙක්ෂුවල් හොමොසෙක්ෂුවල් ප‍්‍රතිශතය මැනගන්න පුළුවන් කින්සි ස්කේල් එක හඳුන්වාදෙනවා.

    ඉන්දියානා යුනිවර්සිටි එකේ සභාපති හර්මන් බී වෙල්ස් නොහිටින්න කින්ස් ඉන්ස්ටිටියුට් එකක් නෑ කියලයි කියන්නෙ. කින්සිට බරපතල අර්බුද එද්දි වෙල්ස් කින්සි වෙනුවෙන් පෙනී සිටීම විසි වෙනි සියවසේ ඇකඩමික නිදහස වෙනුවෙන් පුරෝගාමී මොහොතක් විදිහට සලකනවා.

    සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් ෆීමේල් නිකුත් වීමෙන් පසු වෙල්ස් මෙහෙම කියනවා.
    ඉන්දියානා යුනිවර්සිටිය මෙතෙක් අවුරුදු 15ක් පුරා එය පෙනීසිටි ස්ථාවරයන් මත පිහිටාම අපේ කාලයේ විශිෂ්ටතම බයොලොජිස්ට් කෙනෙක් වූ ඇල්ෆ‍්‍රඞ් කින්සිගේ පර්යේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. අප ආයතනය විශ්වාස කරන්නෙ මානව වර්ගයා විසින් අත් කරගත් යම් ප‍්‍රගතියක් එසේ අත්පත් කරගත්තේම ජීවිතයේ විවිධ පැති ගවේෂණයට තිබුනු නිදහස නිසාම බවයි. ඒ වගේම සමාජයේ අපි මුහුනදෙන හැගීම්මය සහ සමාජමය අර්බුදවලට විසඳුම් සොයාගත හැක්කේ විද්‍යාත්මක දැනුම තුලින් පමණක්ම බව අපි විශ්වාස කරනවා. මං කියන්නෙ අපිට දැනුමේ වටිනාකම් ගැන විශාල විශ්වාසයක් පවතින්නා සේම නොදැනුම ගැන අල්පමාත‍්‍ර විශ්වාසයක් නැති බවයි.

    කින්සි සහ කණ්ඩායම විසින් 18000ක් දෙනාගෙ අප‍්‍රකාශික ලිංගික ඉතිහාසයන් එකතු කරනවා. සෙක්සොලොජි නැත්තම් ලිංගිකවේදය කියන්න පුළුවන් විෂයේ පුරෝගාමී චරිතයක් විදිහට කින්සිව අඳුන්වන්නෙ මේ මානව ශිෂ්ටාචාරයේ පිටුවහල් අර්ධය නැවත විවෘත කරන්නට කළ කැපකිරීම නිසාමයි.

  • Masters and Johnson 1957-1990

    Masters and Johnson 1957-1990

     

    විලියම් මාස්ටර්ස් සහ වර්ජිනියා ජොන්සන් ප‍්‍රසිද්ද වුනේ 1960 ගණන්වල ඒ දෙන්නා කරපු මිනිස් ලිංගිකත්වයේ කායික විද්‍යාත්මක පර්යේෂණ හින්ද.

    එතෙක් තිබුන මිනිස්සු එක්ක සංවාද කරමින් දත්ත එකතු කිරීම වෙනුවට මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් පර්යේෂණාගාර ක‍්‍රමවේදයන් පාවිච්චි කළා. ඒ අය ඇත්තටම මිනිස්සු ස්වයං වින්දනයේ යෙදෙන හැටි, සංසර්ගයේ යෙදෙන හැටි නිරීක්ෂණය කරමින් මේ පර්යේෂණ කළා.

    මේ දෙන්නා ගණිකාවන් සහ කාමලෝලී ගැහැනු යොදාගනිමින් පර්යේෂණ කරනවා. ඒ ඇසුරෙන් ස්ත‍්‍රීන්ගේ ෆේක් ඕගස්ම් /ව්‍යාජ සුරතාන්ත සහ මල්ටිපල් ඕගස්ම් ඒ කියන්නෙ ස්ත‍්‍රියකට සුරතාන්ත කීපයක් එක දිගට ලැබීමේ හැකියාව ගැන එලිදරව් කරනවා.

    මේ දෙන්නාගේ සොයාගැනීම් ලිංගික විද්‍යාවට, මනෝවිද්‍යාවට සහ මනෝ චිකිත්සාවට ලොකු මෙහෙවරක් කළා. මානව ලිංගික ප‍්‍රතිචාරයේ අවධීන් හතරක් තියෙන බව මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් විස්තර කලා. මේක ස්ත‍්‍රී පුරුෂ කාට වුනත් පොදුයි. ඩිසයර් නැත්තං ලිබිඩො, අරවුසල් නැත්තං පිබිදීම, ඕගස්ම් නැත්තං සුරතාන්තය, රිසොලූෂන් ඒ කියන්නෙ පසු-දැහැන විදිහට මේ අවධි හතර හඳුන්වනවා.

    මාස්ටර්ස්ලා එන්න කලින් ලිංගික ප‍්‍රශ්නයක් තියෙන කෙනෙක් එක්කො ගියෙ පූජකයෙක් ළගට. නැත්තං මනෝවිශ්ලේෂකයෙක් ළගට. ඒ වෙද්දි ෆ්‍රොයිඞ්ගෙ අදහස් ඇමරිකාව පුරා පැතිරෙමින් තිබුන කාලෙ. මාස්ටර්ස්ලා මේ වෙනුවට ශාරීරික පැත්තෙන් ලිංගික ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න උනන්දු වුනා. සෙක්ස් කරන්න ගියාම විවාහක අය මුහුන දෙන අර්බුදවල කායික විද්‍යාත්මක තොරතුරු එකතු කළා. ඒ ගොල්ලො හුස්ම වේගය, හදවතේ ගැස්ම මනින උපකරණ පවා නිර්මාණය කළා. වඳුරෙ, හාවො වෙනුවට කෙලින්ම මිනිස්සු යොදාගනිමින් පර්යේෂණ කළා. ස්ත‍්‍රී පුරුෂ ලිංගික ප‍්‍රතිචාරයන්ගේ සායනික අර්ධය තමයි මාස්ටර්ස්ලගෙ ග‍්‍රවුන්ඞ් එක වෙන්නෙ.

    මාස්ටර්ස්ලා අතින් සිද්ද වුනු වැදගත්ම දේ වෙන්නෙ ස්ත‍්‍රී ලිංගිකත්වයේ ආනුභාවය ලෝකයට එලිදරව් කරපු එක. පිරිමියෙක් එක සුරතාන්තයකින් නිශ්ක‍්‍රීය වෙලා යද්දි ස්ත‍්‍රියක් එක දිගට සුරතාන්ත පෙලක් අත්විඳින බවත් ස්ත‍්‍රියකට සුරතාන්තය සඳහා පිරිමියෙක් අවශ්‍ය නොවෙන බවත් මුලින්ම කියන්නෙ මාස්ටර්ස්ලා. හියුමන් සෙක්ෂුවල් රෙස්පොන්ස් කියන සෙක්සොලෙජි විෂය විස්තෘත කරන මාස්ටර්පීස් එක මේ දෙන්නා අතින් ලියවෙනවා.

  • ඩාලි මයි ඩාලිං

    ඩාලි මයි ඩාලිං

    මට ඕන වුනේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983 දි ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි.

    ඔව්, ගලා අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා.

    මතකයන් සහ සුන්දර මොහොතවල හොඳම පණිවුඩකරුවා.. ඩාලි පර්ෆියුම් හඳුන්වන්නෙ එහෙම. ඩාලි මේ පර්ෆියුම් එක හදන්න එයාගෙ කැමතිම මල් දෙක, එකක් එයා වැඩ කරද්දිත් කනේ ගහගෙන ඉන්න පිච්ච මල, අනෙක රෝස පාවිච්චි කරනවා. මේ තමයි ආර්ටිස්ට් කෙනෙක් අතින් ලෝකෙ නිපදවුණු පළවෙනි පර්ෆියුම් එක.

    ඉතින් මං ඒක ගැන හොය හොය හිටියෙ. එතනදි නිකංම අධිසත්තාවාදී චිත‍්‍රකරුවෙක් විදිහට වඩා වෙන විදිහකට ඩාලි ගැන බලන්න දොරක් ඇරුණ. ඩාලි අධිසත්තාවාදී චිත‍්‍රවල පියා නොවුණත් අධිසත්තාවාදී චිත‍්‍රකලාවෙ යතුර නිතරම තිබුණෙ එයාගෙ සාක්කුවෙ. එයාව මේ ගුරුකුලෙන් පිටමං කරද්දි ඩාලි කියනවා,
    ‘අධිසත්තාවාදය කියන්නෙ මම නෙ’ කියල.

    ඩාලි මේ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. ඒ කියන්නෙ සැල්වදොර් ඩාලි සහ අධිසත්තාවාදී චිත‍්‍රය කියන්නෙ දෙකක් නෙමෙයි. ඩාලි එහෙම්පිටින්ම සරියල් ප‍්‍රකාශනයක්. චිත‍්‍ර කියන්නෙ ඒ ප‍්‍රකාශනයෙ එක කෑල්ලක් විතරයි.

    ඩාලිගෙ අපි හැමෝම දන්නවා පොකට් ඔරලෝසු දියවෙලා වැක්කෙරෙන චිත‍්‍රය. සමහර ඔරලෝසු කූඹි කනවා. විචාරකයො කියන විදිහට කාලය යනු දැඩි හො නිශ්චිත යමක් නෙමෙයි කියන අදහසලූ මේ කියන්නෙ.

    චිත්‍රෙක මේ විදිහට තේරුම හොයන්න යන එක චිත්‍රෙ නැති කරන වැඩක්. මට හිතෙන්නෙ චිත‍්‍රයක් තේරුමට වඩා ගොඩක් ලොකුයි. ඒක වචන වලට වඩා වෙන අදහසක් අවිඥාණයට ඇතුල් කරනවා. අපි නොදන්නා වූ අතාර්කික සම්බන්දයකින් අපි චිත‍්‍රයක් එක්ක බැඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩාලිගේ වගේ චිත‍්‍ර. මේ තේරුම හෙවීම හැම ආර්ට් එකකම විචාරයේ ලොකු අවුලක්.

    මට අනුව ඩාලි කියන්නෙ සයිකඩෙලික් චිත‍්‍ර කලාවෙ ආරම්භය. ඒ වෙද්දි එල්එස්ඞී හොයාගෙනත් නෑ. ඒත් වැගිරෙන ඔරලෝසු තියෙනවා. අනික ඩාලිම කියන විදිහට එයා කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒත් හොඳම ‘ඇසිඞ්’ විෂුවල්ස් නිර්මාණය වෙන්නෙ එයාගෙ අතින්.

    ‘මම ඩ‍්‍රග්ස් ගන්නෙ නෑ. මොකද මං කියන්නෙම ඩ‍්‍රග්ස්’ -ඩාලි

    කලාකාරයෙක් වුණාම දුප්පත් වෙන්න ඕන, දුක් විඳින්න ඕන, කඩමාළු අඳින්න ඕන කියල ඒ කාලෙ යුරෝපෙත් බෝවෙලා තිබුණු සම්ප‍්‍රදාය ඩාලි කණපිට හරවනවා. එයා හොඳම ජේත්තුකාරයෙක්. සුඛ විහරණයට අසීමිතව ඇලූම් කළ කෙනෙක්. අනික එයා වාමාංශිකයෙක් නෙමෙයි. ඒ කාලෙත් සැබෑ කලාකාරයෙක් නම් වාමාංශිකයෙක් වෙන්න ඕන කියල එකක් තිබුණ. විශේෂයෙන්ම මේ අධිසත්තාවාදී ගුරුකුලයේ් ආන්ද්‍රෙ බ්‍රෙටෝන් වගේ හතරැුස් චරිත ඩාලිට විරුද්ද වුණා තදටම. එයා ඩාලිට කිව්වෙ අවිඩා ඩොලර්ස් (ඩොලර් පෙරේතයා) කියල.

    විලාසිතාවක් විදිහට ඒ කාලෙ ප‍්‍රබුද්ද කලාකාරයො හැමෝම හිට්ලර්ට විරුද්ද වුණා. මේක දැනුත් එහෙමයි. 2011 කාන් ෆෙස්ටිවල් එකේ ලොකු විරෝධයක් එනවා ලාර්ස් වොන් ටි‍්‍රයර් ට එයා හිට්ලර්ට පක්ෂපාත වුණා කියල. වොන් ටි‍්‍රයර්ට කාන්ස් එන්න දෙන්නෙ නැති වෙනවා. ඒ වොන් ටි‍්‍රයර් හිට්ලර්ව එයාට තේරෙනවා කියල කියපු හින්ද. හිට්ලර් මනුස්සයෙක් විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා ඉන්ටවිව් එකක කියපු කතාවකට. ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලෝකෙ දරුණුම මිනිහගේ පවා මිනිස් නිමේෂයන් එක්ක බැඳෙන්න පුළුවන් වීම මුනිවර තත්වයක්. ඒත් කාන්ස් සම්මාන උළෙලට සහ ඒ කලා නඬේට ඊට වඩා දේශපාලනික හේතු ලොකු වුණා.

    ඒත් මේ දේශපාලන අදහස් විසින් කලාව බදු ගැනීම ගැන අවුලක් ඩාලිට තිබුණ. එයාගෙ අදහස වුනේ අධිසත්තාවාදයට පවතින්න දේශපාලනය අවශ්‍ය නෑ කියන එක. අපොලිටිකල් අධිසත්තාවාදයක් තියෙන්න පුළුවන් කියන එක. මේක ඇහුවම අනිවාර්යෙන් විදර්ශනට වඩා සියදහස් ගුණයක් බ්‍රෙටෝන්ට මළ පනින්න ඇති.

    මට කරන්න දෙයක් නෑ හිට්ලර්ගෙ පස්ස දැක්කම මගේ ශෘංගාරය අවදි වෙනවා, ඩාලි තමන්ගෙ අදහස කිව්වා.
    ඩාලිගේ ආර්ට් පිටිපස්සෙ තිබුනෙ උපවිඥානයේ ප‍්‍රකාශන. මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකළට අවශ්‍ය විටෙක උපවිඥානයට යන්න පුළුවන් ටෙක්නික්ස් ඩාලි දියුණු කළා. ඒකට එයා කිව්වෙ ‘පැරනොයික් ක‍්‍රිටිකල් මෙතඞ්’ කියල. දිගවෙලාවක් ඔලූවෙන් හිටගෙන ඉඳීම සහ නැවත ප‍්‍රකෘති තත්වයට ආ විගස ඇස් යට මැවෙන රූප, නින්ද යාගෙන එන විට ඇඳෙන යතාර්ථය සහ සිහිනය අතර රූප ඩාලි චිත‍්‍ර වලට අරගෙන ආවා. මේ උපවිඥානය ඇක්සස් කරන එක තමයි එයා කිව්වෙ උපරිම ක‍්‍රියේටිවිටි එක කියල.

    මට කියන්න ඕන වුනේ ඩාලි ගැන නෙමෙයි. ඒත් ඩාලි ගැන ඕපාදූප ඒ තර්කයේ් සීමා අතික‍්‍රමණය කරපු සිතීම ටිකක් හෝ තේරුම්ගන්න ඕන කරනවා. ඩාලි තියරියක් නෙමෙයි. ඩාලි ජීවිතයක්.

    ඩාලිගේ පුනරුත්පත්ති කතාව.

    සැල්වදොර් ඩාලි ඉපදෙන්න අවුරුද්දකට කලින් ඩාලිගේ දෙමව්පියන්ට තව දරුවෙක් බිහිවෙන්න ඉන්නවා. ඒ ගොල්ලො එයාටයි මුලින්්ම නම තියන්නෙ ඩාලි කියල. ඒත් ඒ ළමයා ඉපදෙද්දිම මැරෙනවා. ඊට අවුරුද්දකට පස්සෙ ඉපදෙන්න එන දරුවටත් ඒ ගොල්ලො නම තියන්නෙ ඩාලි කියල. ඒ මදිවට අවුරුදු 5දි ඩාලිව එක්කගෙන ගිහින් කලින් මළ දරුවගේ සොහොන පෙන්නලා ඒ ගොල්ලො කියනවා ඒ ඔයා තමයි මේ ඉපදිලා ඉන්නෙ කියල. ඩාලිගේ මේ සංකීර්ණය එයාගෙ පහුකාලෙ චිත‍්‍රවල පවා හොල්මන් කරනවා. එයා විශ්වාස කරනවා එයා මැරිච්ච අයියාගේ පුනරුත්පත්තිය කියල.

    ‘අපි දෙන්නා එක වගේම වතුර බිංදු දෙකක්. ඒත් අපි දෙන්නගෙන් පෙනෙන පරාවර්තන වෙනස්’- ඩාලි

    ඩාලිගේ ලෙජන්ඩරි රැවුල.

    ජෝ්න් ලෙනන් කියන්නෙ ඩාලිගේ හොඳ යාලූවෙක්. ඒ යාලූකමට යෝකෝ ඔනෝ එකපාරක් මුණගැහුන වෙලාවක ඩාලිගෙන් රැුවුල් ගහක් ඉල්ලනවා සැමරුමක් විදිහට. ඩාලිගේ රැුවුල විශේෂ රැවුලක්නෙ. ඩාලි කියන විදිහට ඒ රැුවුලෙ අග උල්වුණු අග‍්‍ර දෙකෙන් තමයි මුලූ ලෝකෙටම අවශ්‍ය ශක්තිය සම්පේ‍්‍රෂණය වෙන්නෙ. කොහොම වුණත් ඩාලි මේ රැවුල් ගහට හිතාගන්න බැරි ගානක් ඉල්ලනවා. මට ගාන මතක නෑ. ඒත් ඒක අහපු ගමන් යෝකෝ ඔනෝ පස්සට විසි වෙනවා.

    ගොඩක් අය කියන්නෙ ඒ ඩාලිගේ සල්ලි පෙරේතකම කියල. ඒත් ළ`ගම අය දන්න ඇත්ත හේතුව ඩාලි විශ්වාස කරනවා යෝකෝ ඔනෝ එයාට හූනියං කරයි කියල රැුවුල් ගහ අරන් ගිහින්.

    ඩාලිගේ මනස තාර්කික, දේශපාලනික හෝ නූතනවාදී වගේ සීමාවක හිරවුනේ නෑ. ඒ වෙනුවට එයාට මිත්‍යාවට, අදේශපාලනයට, අතීතයට, පෙර ආත්මයට පවා යන්න නිදහස තිබුණ. ඩාලි කියන්නෙ මොඩර්න් වෙන්න ද`ගළන්න ඕන නෑ, මොකද කොහොමටත් අපිට කරන හැම දෙයක්ම මොඩර්න් වීම වළක්වන්න බැරි හින්ද කියල.

    මට කියන්න ඕන වුනේ ඩාලිගේ පේ‍්‍රමය ගැන. ඒත් කතාව කැලේ ගියා.

    ගලා කියන්නෙ රුසියානු යුවතියක්. ඩාලිට එයාව මුලින්ම මුණගැහෙද්දි එයා පෝල් එලාර්ඞ් කියන ප‍්‍රසිද්ද ප‍්‍රංශ අධිසත්තාවාදී කවියගේ බිරිඳ. ඒත් ඩාලිට කොහොම හරි ගලාව තමන්ගෙ කර ගන්න ඕන වෙනවා.

    පෝල් සහ ගලා අතරත් තියෙන්නෙ විවෘත විදිහෙ සම්බන්දයක් ( ඕපන් රිලේෂන්ෂිප්). ඔවුන් අතරෙ වෙනත් ලිංගික සම්බන්දතා වලට බාධා පැනවෙන්නෙ නෑ. ඒ විවෘතකම ඇතුලෙ ඩාලි එක්ක පෑහෙන ගලා අන්තිමට ඩාලි එක්කම නවතින්න තීරණය කරනවා. ඒ ආදරය වෙනුවෙන් ඩාලි එයාට ලොකු මන්දිරයක් තෑගි කරනවා. ගලා ඒ මන්දිරය බාරගන්නෙත් එක කොන්දේසියක් උඩ. ඒ ඩාලි වුණත්් ඒ මන්දිරයට එනවා නම් ලිඛිත දැනුම්දීමකින් පස්සෙ එන්න ඕන කියන එක.

    ඩාලි එක`ග වෙනවා. ගලාට මන්දිරය ලැබෙනවා.

    ඩාලිගේ සියලූ දේ වෙන්නෙ මේ ආදරය. මුල්කාලෙ එයා හැම චිත‍්‍රයක්ම අවසන් කළේ එයාගෙයි ගලාගෙයි දෙන්නගෙම අත්සන් එක්ක. ඒ චිත‍්‍රවලට ඉන්ස්පිරේෂන් එක වුණේ ගලාගේ ආදරය. ඒත් ඒක අපි උපකල්පනය කරන විදිහෙ සරල ලව් එකක් නෙමෙයි. පෝල් එලාර්ඞ් වගේ කවියෙක් අත්ඇරලා ඩාලි ළ`ගට එන්න තරම් හේතුවක් තියෙන්න ඕන එතන. අනික ගලා කියන්නෙ තමන්ගෙ නිදහස කිසි හේතුවක් හින්ද පාවලා නොදෙන වර්ගයේ ගැහැණියක්.

    ගලාට මුණගැහෙනකල් ඩාලි ස්ත‍්‍රියක් එක්ක වෙන කිසි ලිංගික අත්දැකීමක් ලබලා නෑ. ඒකට හේතුව ස්ත‍්‍රී යෝනිය සම්බන්ධයෙන් ඩාලිට තියෙන නොදන්නා භීතියක්. මේ හැම සවිඥාණික අවිඥාණක කඩතොළුවක්ම ආදරෙන් සිපවැළඳගනිමින් තමයි ගලා ඩාලි එක්ක ආදරේ පටන් ගන්නෙ.

    ඩාලි සහ ගලා අතර පේ‍්‍රමයෙත් කවදාවත් දොර අ`ගුළු දාලා තිබුණෙ නෑ. ගලා වරින් වර පෝල් සහ තවත් නොයෙක් කලාකාරයන් එක්ක සම්බන්්ධතා තියාගත්තා. එයාගෙ සෙක්ෂුවල් එනර්ජි එක දැවැන්තයි.

    කොහෙත්ම එක පිරිමියෙකුට ඒක දරන්න අමාරුයි. එයත් එක්ක නිදාගන්න ආර්ටිස්ට්ලා ලයිට් දාහක් එකපාර පත්තු වුණා වගේ වුණේ මේ ජෙනරේටරේ හින්ද. ඒක ආණ්ඩුවෙ කරන්ට් එක වගේ නෙමෙයි.

    ගලාට තිබුණ පිරිමින්ව හදන්න පුළුවන් විදිහෙ නිර්මාණාත්මක ශෘංගාර ආවේශයක්. එයාට පැවරිලා තිබුණෙ මේ ආර්ටිස්ටික් පිරිමින්ගෙ හැංගිලා වකුටු වෙලා තියෙන මැජික් එක කෙලින් කරන්න.

    ගලාට ලිංගිකත්වය පෙරටු කරගත් තමන්ගේ චාරිකාව යන්න ඩාලි බාධාවක් වෙන්නෙ නෑ. ඒ වගේම තමන්ගේ බිරිඳ අන් අය හා යහන්ගත කිරීමෙන් ලබන ලංකාවෙ නම් විපරීත කියන ආස්වාදයක් පුහුණු කරමින් ඉන්න ඩාලිගේ ලිංගික විශ්වයත් ඊට නොදෙවෙනිව විශාලයි.

    අජිත් කුමාරසිරි කියන විදිහට සමහර විට සැල්වදෝර් ඩාලි මිදි කකා, වයින් බිබී, කැමතිම සංගීතය විඳිමින්, සුව යහනක සැතපී, තමන්ගේ බිරිඳ අන් අය හා රමණයේ සෞන්දර්යය විඳින්න ඇති.

    ඩාලි ගලාව නොයෙක් විට සිත්තමට නගනවා. ඒ අසීමිත පේ‍්‍රමය නිසාම. එකතැනක ඇයව ඩාලි නිරූපනය කරන්නෙ කන්‍යා මරියා විදිහට. මේ සම්බන්ධය ඇතුලෙ ඩාලි ගොඩක් පරිණත වෙනවා. ගොඩක් වැඩ කරනවා. පිරිමියෙක්ගෙ හොඳම දේ අරගෙන සමාජයට දෙන්න පුළුවන් විදිහෙ ගෑනියෙක් ගලා කියන්නෙ. වාමාංශික කලා නඩය එයාට කලාකරුවන් විනාශ කරන පිළිලයක් කියද්දි එයාව ආශ‍්‍රය කරපු අය කියන්නෙ එයා තමන්ව කොයිතරම් ඉන්ස්පයර් කළාද කියල.

    ඩාලි පර්ෆියුම් එක හදන්නෙ එයාව මතක් වෙන්න. ගලා මැරුණට පස්සෙ ඩාලිට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා. කීප වතාවක්ම එයා දිවි නසා ගන්න උත්සාහ ගන්නවා. ඩාලි අසූවියැති මහල්ලෙක් විදිහටත් ආදරය කරනවා දරුණුවට.

    ඩාලිට මුණගැහෙන්න කලින් ගලා පෝල් එලාර්ඞ් කවියාගේ බිරිඳ. පෝල්ව ඇයට මුණගැහෙන්නෙ අවුරුදු දාහතේදී විතර. පෝල් ඒ කාලෙදි පෙරුම්පුරන කවියෙක්. කවියෙක් වෙන්න දුක් විඳින්න ඕන කියල පෝල් දැඩිව විශ්වාස කරනවා. කවදා හරි ඔයා ලොකු කවියෙක් වෙනවා, ගලා පෝල්ට ස්තිරව කියනවා. එයා නොකියා කියන කතාව වෙන්නෙ ‘මං ඔයාව කවියෙක් කරනවා’ කියන එක.

    පෝල්ගෙ ශක්තිය වෙන්නෙ ගලා. කවි වල හොඳ තැන් නරක තැන් තෝරලා දෙන්නෙ එයා. අඩුපාඩු හදන්නෙ එයා. පෝල් තමන්ට අවශ්‍ය තැනට එනකල්, ඒ කවියා බිහිවෙන කල් ගලා එයාගෙ අතින් අල්ලගෙනම ඉන්නවා.

    ගලා කියන්නෙ පුදුමාකාර ආදරයක් තිබුණු ගැහැණියක්.

    පෝල්ට ඕන වෙන්නෙ දුක් විඳින ජීවිතයක්. එයාගෙ හොඳම කවි ලියවෙන්නෙ යුද්දෙ කාලෙ රෝහලක මළ මිනී මැද්දෙ. දවසකට මළඋන් ගැන පවුල් සීයකට දෙසීයකට ලියුම් ලියන්න පැවරෙන්නෙ පෝල්ට. මිනී වළදාන, කුණු ගඳ ගහන අපාය මැද්දෙ පෝල් කවීත්වය පසක් කර ගන්නවා. ඒ කවියා ජීවත් කරන්න ගලා මේ අපායට වුණත්් එනවා. එයා හැමදුකක්ම විඳගෙන පෝල් එක්ක ජීවත් වෙනවා.

    ‘ඔයා ඉක්මණටම හොඳ තැනකට එනවා’ වැටෙන හැමවෙලාවකම ගලා පෝල්ව නැගිට්ටනවා.

    ගලා සහ පෝල් කියන්නෙ අයිකොනික් ආදරයක්. පෝල් එලාර්ඞ් කිව්වම කව්ද කියල දන්නෙ නැති නිසා එයාගෙ කවියකින් කොටසක් පරිවර්තනය කරන්නම් මෙතන.

    ඔබ නැගෙන විට දිය දෙබෑ වෙනවා
    ඔබ නිදන විට දියේ මල් පිපෙනවා

    පතුලෙන්ම ගලා යන දිය උල්පතයි ඔබ
    හැම දෙයක් මුල් ඇදුණු පිහිටි මහපොලොව ඔබ

    ශබ්ද කාන්තාරය මැද්දේ ඔබ නිශ්ශබ්දතාවයේ බුබුළු නගනවා
    දේදුනු පාලම මත්තේ ඔබ රාත‍්‍රී ගීතිකා ගයනවා
    ඔබයි මේ හැම තැනම.. පාරවල් ඕන නෑ ලෝකෙට
    මේ ඉන්න අතරෙදියි ඩාලි සහ ගලා අතර මුනගැහීම සිද්ද වෙන්නෙ. ඒ වෙද්දි ගලාට පෝල් එක්ක තිබ්බ මිෂන් එක ඉවරයි. පෝල් පරිණත කවියෙක්.

    ඒත් ගලා සහ ඩාලි ආදරය පටන් ගත්ත තැන ඉඳන් අවුරුදු ගානක් පෝල් ආගිය අතක් නැති වෙනවා. ඒ වේදනාව දරාගන්න එයා ලංකාවටත් ගොඩවෙනවා.

    පෝල් වෙනුවෙන් කළ දේවල් නිමා කරලා ගලා ඩාලි ළ`ගට එනවා, දෙවෙනි දරුවා හදන්න. ගලා පොඩි දරුවො හදාගන්න ගෑණියෙක් නෙමෙයි. ඇත්තටම එයා පළවෙනි කුසෙන් උපෙන් දරුවා පවා නොතකා හැරියා. එයා හදාගන්නෙ ලොකු ළමයි. එයා ලොකු අම්මා කෙනෙක්.
    ඩාලි ගලා ගැන එයාගෙ ආදරේ කියන්නෙ මේ විදිහට.

    ‘මං ගලාට උපරිමයෙන් ආදරෙයි. කොච්චර ආදරේද කිව්වොත් එයා මැරුණොත් මං එයාව කනවා.. එයා තමයි ලෝකෙ බිහිවුණු හොඳම ආර්ටිස්ට්’
    ගලා කියන්නෙ ඩාලිගේ අධිසත්තාවාදී පේ‍්‍රමය.

    මට සැල්වදොර් ඩාලි පර්ෆියුම් එකක් ගන්න ඕනි. ඒ ඩාලි වත් පෝල් වත් හින්ද නෙමෙයි. මට ගලා කියන්නෙ ඒ තරම් විශාල ගැහැණු ජීවිතයක් හින්ද. ඩාලිගේ අධිතාත්විකවාදී නාසයට ඇගේ සුවඳ දැණුනු විදිහ විඳින්න වටින හින්ද.

    මට ගලාව ඉඹින්න තියෙන එකම සජීවී විදිහ ඒක හින්ද.


    චින්තන ධර්මදාස

  • ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක චර්යාමය, බුද්ධිමය සහ හැගීම්මය කියන හැම හැඩගැහීමකටම, හරි විදිහට කිව්වොත් නිර්මාණශීලීත්වයකටම බලපානවා. ඒකෙ ඊටත් වඩා ක්‍ෂුද්‍ර තැන් තියෙනවා. ඕ-ලෙවල් කරපු සහ ඒ-ලෙවල් කරපු උන් අතරෙ වුණත් මේ හක ළග පංති දෙක අතරෙ වුණත් දැවැන්ත ජීවිතමය පරතරයක් තියෙනවා. ඒක දැනුම පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ ලෙවල් වල වැඩ හතරම ෆේල් එකෙක් වුණත් ඕ ලෙවල් වලින් නැවතුණු එකෙකුට වඩා වෙන ජීවිත කලාපයකට ඇතුල් වෙනවා. (මේක න්‍යායක් හෝ අනිවාර්යයක් නෙමෙයි, හුදු අත්දැකීම් සහ නිරීක්‍ෂණ පදනම් කර ගත්තු කතාවක් විතරයි)

    එතකොට කාට හරි හිතෙන්න පුළුවන් කොග්ගල මහා ප‍්‍රාඥයා පහේ පංතියට විතරයිනෙ ගියේ කියල. මාත් හිතන්නෙ මාර්ටින් වික‍්‍රමසිංහ මේ වෙනස ගැන හොඳ උදාහරණයක්. මාර්ටින්ගෙ පොත් කියවද්දි ඇත්තටම පේනවා එයා පහේ පංතියට විතරයි ගිහින් තියෙන්නෙ කියල. ඒ හිතීම, ඒ ගොනු කිරීම, ඒ පැවැත්ම, ඒ ගරු කිරීම් සහ දෙකට නැවීම් හැමදෙයක්ම ඒ ඉස්කෝලෙ ගිය නැති එක එලියට කියනවා. වඩාත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි මාර්ටින් එක්ක සයිමන්ගෙ වගේ කෘති තියලා බැලූවොත්. මේක හොඳටම අහුවෙන්නෙ නිර්මාණ වලදි (ප‍්‍රබන්ධ). ජීවිතේ ගැන හිතන පරාසය, ඒ ඇතුලෙන් හොයාගෙන යන දේ, ඒ මනස් සිතියමේ සීමා වගේ ගැඹුරු කාරණා මේ වචන අතරෙ කියවෙන දැනීමට වඩා ගොඩක් දේවල් කියනවා.

    මං මේ කාරණේ ගැන හිතාගෙන හිතාගෙන එන්න පටන් ගත්තෙ අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සුන්ගෙ ජීවිත පරාසවල වෙනස දිහා බලාගෙන ඉඳිද්දි. රස්සාවක් කිරීම, සල්ලි එකතු කිරීම, කසාදයක් බැඳීම, ගෙයක් හැදීම ඊට පස්සෙ ළමයි බමයි… මේ විදිහෙ තනි ඉරේ රේඛාවකට පිටින් ජීවිතේ මොනවා හරි හොයන අය සහ එහෙම කිසි ප‍්‍රශ්නයක් නැති අය කියන දෙවිදියක මිනිස්සු අපිට මුනගැහෙනවා. සීයට බර ගානක් (මගේ ගාන නම් 98ක් විතර) ඉන්නෙ ඒ මොකක් හරි ප්‍රෝග‍්‍රෑම් කරපු එක දේකට යන සෝල්ජර්ස් ලා. ඒ හැම දෙයක්ම මැද්දෙ ඒ සංස්කෘතික ජීවිතේට එලියෙන් තමන්ව තේරුම් ගන්න, තමන්ගෙ පැවැත්ම හොයා ගන්න එක එක විදිහෙ නිර්මාණශීලී දේවල් කරන සීයට කීපයක පිරිසකුත් ඉන්නවා. ඒ අයට තමන් අයිති, තමන් බෙදා හදා ගන්නා සමාජයක් තියෙනවා. අනිත් අයට තියෙන්නෙ තමන් සහ යම් ආයතනයක් (ඔෆිස් එක/පවුල) අතර යම් රේඛීය, කලින් නිර්ණය කරන ලද වැඩ කොටසක් විතරයි. අපි චිත‍්‍රපටියකට හරි, නාට්ටිකට හරි සල්ලි ටිකක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් ළ`ගට ගියොත් අපි කියන දේ එයාට නොතේරෙන්නෙ සහ එයාට ඒක නොතේරීම අපිට ගැටළුවක් වෙන්නෙ මේ කාණ්ඩ දෙකේ අර්බුදය හින්ද. එයාට එහෙම තමන් අයිති, තමන් අවංක සංවාදයක් පවත්වගන්න සමාජයක් නෑ. එයා එහෙම දෙයක් දන්නෙ නෑ.

    මට හිතෙන්නෙ මේ සොල්දාදු ජීවිත බිහි කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ දුප්පත්කම. ගඩොල් කපලා දොස්තර විභාගෙට ඉගෙන ගන්න කෙනෙක් ගොඩක් සල්ලි හම්බුකිරීමට පිටින් දොස්තරකමට තේරුමක් දන්නෙ නැත්තෙ ඒ හින්ද. ජීවිත කාලෙම ඒ දුප්පත්කම විසින් ප්‍රෝග‍්‍රෑම් කරපු ආසාව (ඔබ්සෙෂන්) එක එක මුහුණුවරින් එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ දුප්පත්කම කවදාවත් ඉවර වෙන්නෙ නෑ. මේක සිද්ද වෙන හැටි බලාගෙන යනකොට හොඳටම කැපී පේන එක පරිච්ෙඡ්දයක් තමයි ඒ-ලෙවල් සහ පළවෙනි රස්සාව අතරෙ කාලය. ඒ-ලෙවල් ඉවර කලායින් නොකළායින් රස්සාවකට යන්න වෙන ජීවිත මේ ප්‍රෝග‍්‍රෑම් එකට වැටෙනවා වැඩියි (ඒ සිද්දවීමත් කලින් ඉඳන් එන ප්‍රෝග‍්‍රෑම් එකේ කොටසක්) ඒ ගන්ධබ්බ, අයාලෙ යන, තේරුමක් නැති කාලය ගත නොවීම හින්ද ආකෘතිගත පැවැත්මට එලියෙන් මොකක් හරි තියෙනවද කියල ඒ අය දන්නෙ නෑ. ඒක අහලා තිබිලා වැඩක් නෑ. ඒ පාතාලෙට වැටෙන්න ඕන.

    බෝඩිංකාර, අසහනකාරී ඒ තරුණ වල්මත් බව අපේ ජීවිතේ වෙනස් ගැඹුරක් නිර්මාණය කරනවා. කවදාවත් පද්ධතිගත ජීවිතෙන් තෘප්තිමත් නොවෙන අසහනයකින් අපිව පුරවනවා. මං හිතන්නෙ හැම ඇත්ත සමාජ ක‍්‍රියාකාරිකයෙක් (දුප්පත් හේතු නැති) පිටිපස්සෙම මේ අයාල තාරුණ්‍යය තියෙනවා.

    ඉබාගාතෙ දිගේලි වෙච්ච අදහස් පේලියක් දිගේ රෝල් වුණත් කියන්න තිබුනෙ වෙන කතාවක්. දැන් ඒ කතාවට ක්ෂණික ඡේදනයක්.

    මං හැත්තෑ හත දිහා බලාගෙන ඉපදුනෙ. හැත්තෑව වගේ කාලෙක ඉපදුනේ නැති එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. මං ඒ තරමට 77 වෙනසට කැමති හින්ද. විවෘත ආර්තිකේ මාර අවුලක් කියාගෙන රටම වමට තල්ලූ කරගෙන ආපු 70 කට්ටිය (56 සිංහල සෙට් එක) හින්ද තමයි මං හිතන්නෙ අපි තාම මේ පරිප්පුව කන්නෙ. ඒකෙ අවසාන නිෂ්පාදන වුනේ මහින්ද රජපක්ෂ, බොදු බල සේනා වගේ තත්ව. ෆැක්චුවල් විදිහට 77 ගැන කතා නොකර මං වෙන ෆන් තැනකින් මේ කාලෙ ගැන මගේ කතාවට එන්නං.

    මට 77 කිව්වම මතක සංසිද්ධි දෙකයි. එකක් ජේ ආර් ජයවර්ධන. මං පොඩි කාලෙ හිතුවෙ ජේආර් තමයි හැමදාම ජනාධිපති කියල. අද වුණත් මට ජනාධිපති කෙනෙක් වගේ පේන්නෙ එයාව විතරයි. ඇත්තටම ඊට පස්සෙ ඒ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය තියෙන කිසි චරිතයක් රටේ නායකත්වයට ආවෙ නෑ. ඒ වෙනුවට නායකයාගේ පටන් සියලූ මැති ඇමතිවරු කිසි හිරිකිතයක් නැතුව දූෂණ, වංචා, මිනීමැරීම්, මංකොල්ල ඕන එකක් කරන්න පටන් ගත්ත. ව්‍යවස්ථාවට වඩා ආගම, ජාතිය උඩට ආවා. වාමාංශික යාලූවො මේ වෙලාවෙ කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්තාවෙ අර්බුද. ඒත් මං කතා කරගෙන යන්නෙ සමාජ ව්‍යවස්තාවෙ අර්බුද.

    ජේආර් දේශපාලනේ කරන්න ඇන්දෙ සරම. ඒත් එයාගෙ ගෙදර ඇඳුම වුනේ කලිසම. ගෙදර ගිහින් කලිසම මාරු කර ගන්න කල් ජේආර් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්. අපි මේ වෙනකොට ඉන්නෙ ඊට ප‍්‍රතිවරුද්ද පැත්තෙ. දැන් අපිට ඉන්නෙ අහම්බෙන් කලිසමක් ඇන්ඳත් සරමට මාරුවෙන කල් නොඉවසිල්ලෙන් ඉන්න නායකයො පිරිසක්. මේ අපි බුක්ති විඳිමින් ඉන්නෙ ඒ සරං සංස්කෘතිය (56න් පටන් ගත්තු)

    මගේ කතාව ජේආර් ගැන නෙමෙයි. 77 කිව්වම මට මතක් වෙන දෙවෙනි චරිතය ගැන. ඒ තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඒ මට ලංකාවෙ ඉන්න අයිකොනික් ආර්ටිස්ට් කෙනෙක් (කලාකරුවෙක් නෙමෙයි). සුනිල් පෙරේරා කියන්නෙ 77 සංස්කෘතික නිෂ්පාදනයක්.

    සුනිල් ගැන මට මතක් වුණේ මෑතක ක‍්‍රිකට් බෝර්ඞ් එකේ වෙච්ච අවුලත් එක්ක. ඒ වගේ තැනක, ඒ වගේ පිරිසක් ඉස්සරහ ‘බොන්න වතුර ඉල්ලූවාම වෙඩි තිබ්බේ මොන රටේද?’ වගේ කතා කියන්න පුළුවන් කොන්දක් සුනිල්ට හැමදාම තිබුණ. ලංකාවෙ 77ට කලින් නිර්මාණය වුණු කුහක පැවැත්ම වෙනුවට එලිය සහ ඇතුලත එකක් වුණු දියුණු පුරවැසි පැවැත්මක් වෙනුවෙන් සුනිල් සිංදු කිව්වා. මට තේනුවර අමාරුවෙන් ගොතලා කරන චිත‍්‍ර – මූර්ති ප‍්‍රදර්ශනේකට වඩා සුනිල්ගෙ ප‍්‍රකාශන දේශපාලනික හා සමාජ විරෝධතා විදිහට දැනෙනවා.

    ඒ සිංදු ඇතුලෙ එයා අ`ගහරු ලෝකෙන් එන කුරුමිට්ටො එක්ක රටේ තොටේ විස්තර කතා කරනවා. ඊට පස්සෙ කාලෙක ලූනු දෙහි ගැන කතා කියනවා. වැදි පත්තුවෙ ඔජායේ නටනවා. මේ හැම දේකින්ම එයා සමාජ පෙරලියක් කරනවා. ප‍්‍රබුද්ධයන්ට තහනං කලාපෙක සුනිල් තමන්ගෙ කලාව- දේශපාලනය- ජීවිතය විදිහට නොබෙදුණු තනි පැවැත්ම අරගෙන එලියට බහිනවා. ඒ විවෘත බව ලංකාවෙ වෙන කිසි කලාකාරයෙකුට තිබුණෙ නෑ.

    සුනිල් ගැන කියවගෙන යද්දි අහම්බෙන් ලයිෆ් ටයිම්ස් එකට කරපු ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒක ලියලා තිබුණු ජෙහාන් මෙන්ඩිස් ඉන්ටවිව් එක දවසෙ එයාගෙ කැමරාමන් එක්ක සුනිල් එනකං බලන් ඉන්නවලූ. මේ සදා පෙරලිකාර දැවැන්තයා එලියට බහිද්දි සිංහයෙක් වගේ ෆොටෝ ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔන්න එතකොට සුනිල් ඇවිත් බැස්සලූ. කොට කලිසමකුයි, ‘ට්‍රේනී ගයිනොකොලොජිස්ට්’ (පුහුණු වන ප‍්‍රසව හා නාරිවේදී) කියලා හරහට ගහපු ටීෂර්ට් එකකුයි ඇඳගෙන.

    අර බලාපොරෙත්තු වුණු දැවැන්ත ප‍්‍රතිරූපෙ එතනම හාන්සියි. මේ කැඩිල්ල, තමන් ගැන ප‍්‍රතිරූපයෙන් නැවත තමන්ම ඇඳ නොගැනීම සුනිල්ගෙ කැපී පේන ලකුණක්. තමන්ගේ ප‍්‍රකෘතිය, තමන්ගේ ජීවිතය විවෘතව ගෙනියන්න තියෙන උවමනාවම සුනිල්ගේ දේශපාලනය වෙනවා. ඒත් අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුළුවන් තරම් තමන්ව වහගන්න එක.

    මම නං ගඟේ පනිනවා – වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
    ජීවිතේ එපා කියනවා – රේල්ලට බෙල්ල තියනවා
    කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා..

    සුනිල් පෙරේරා පවතින සංගීතයේ කොටසක් වෙන්නෙ නෑ. එයා සුනිල් පෙරේරාගේ සංගීතයක් නිර්මාණය කරනවා. ඒක මට අනුව නූතන ජන සංගීතයක්. ඒක අපේ උරුමයක්. ඒ සංගීතය, ඒ පද මිනිස්සු කටින් කට අරගෙන යනවා. ඒ සිංදු වෙන වෙන අය තැන තැන කියනවා. සල්ලි හොයනවා. ඒත් සුනිල් කියන්නෙ මගේ ළමයි ඇරෙන්න වෙන අය ඒ සිංදු කියනවට මං කැමතියි කියල. නන්දලා ගාව ආරියරත්නලා ගාව නැති නිර්ලෝභී සමාජ ජීවිතයක් සුනිල්ට තියෙනවා.

    ආරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නෙ
    ආචාර්යවරු මහාචාර්යවරු ප‍්‍රබුද්දයනුත් ඉන්නේ…

    සුනිල්ගේ සිංදු වල තියෙන්නෙ උපහාසය. හාස්‍යය. සීරියස් දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත තවත් අවුල් කරන්න සුනිල් අකමැතියි. ඒ වෙනුවට හිනාවෙවී කියන්න, කිය කියා තේරුම් ගන්න සුනිල් ජන ගී කියනවා. සෞන්දර්යය ඇතුලෙ භාෂාව ඇතුලෙ කරන බොරුව එයා කරන්නෙ නෑ. පද ගැලපිලි, තාල රැකිලි වෙනුවට ඇඟට දැනෙන තාලෙට, කටට කියවෙන වචනෙට සුනිල් සිංදු හදනවා. මේ මොඩර්න් ජන සංගීතය කියල මං කියන්නෙ ඒකයි. ඒක ප‍්‍රබුද්දයින්ට අකැපයි කියල එයා කියන කතාව ඇත්ත.

    සිංදුවලට අමතරව සුනිල් කරන්නෙ රස කැවිලි හදන එක. (මං හිතන්නෙ ඒක පවුලෙ බිස්නස් එකක්) සුනිල්ගේ ග්ලූකෝරස එකෙන් තමයි අඳුන්නලා දුන්නෙ ‘ජුජුබ්ස්’. ඒ වගේම ‘ටිපි ටිප්’. සැහැල්ලූ, ඒත් මීට කලින් අත් නොවිඳි රසක් සුනිල්ගේ හැම දේකම තියෙනවා.

    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
    මං දුන්නා තව එකක් දැන් දෙකයි

    එපා යන්න- තවත් එන්න
    ඇඟේ ඇලි ඇලි ඈ යලි යලි පවසයි…

    මේ ලිපියෙ එක තැනකදි සුනිල්ගෙන් සෙක්ස් ගැන අහනවා. එතකොට එයා හරිම ලස්සන උත්තරයක් දෙනවා. ‘මේක ඉංග‍්‍රීසි මැගසින් එකකට හින්ද කියන්න පුළුවන්. ඒත් සිංහල පත්තරේකට කියන්න බෑ. මොකද සෙක්ස් කියන එක ඉංග‍්‍රීසියෙන් දැම්මම ඒකෙ කිසි නරකක් නෑ. ඒත් ඕක ‘සංසර්ගය’ හරි ‘සම්භෝගය’ හරි මොකක් හරි කියල ලිව්වොත් මිනිස්සු හිතයි මට මානසික රෝගයක් කියල’. සුනිල් සෙක්ස් ගැන කතාවට බහින්නෙ එහෙම.

    එයා සෙක්ස් වලට කොච්චර කැමතිද කියලා එළිපිට කියනවා. සෙක්ස් ගැන තියෙන ඞීවීඞී එකක් දැක්කත්, පොතක් දැක්කත් මායි මගේ වයිෆුයි අතරෙ සම්බන්දය තවත් වැඩි කරගන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියල ඒ ගැන උනන්දු වෙන වග කියන්න සුනිල් ඇඹරෙන්නෙ නෑ. තමන්ගේ අනියම් සම්බන්ධතා ගැන, ඒකෙන් වුණු වැරදීම් ගැන වෙන කිසි සම්භාව්‍ය කලාකරුවෙකුට නැති සරල, විවෘත දැක්මකින් එයා කියාගෙන යනවා.

    ‘නෝනා මට සමාවෙන්න ඕනා
    මමත් ලේ මස් වලින් හැදිච්ච මිනිහෙක්
    මගේ අතින් වැරදි වුණා තමයි
    ගිය දේවල් ගියා- ඒවා ගනං ගන්න එපා
    නෝනා මට සමාවෙන්න ඕනා‘

    ‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ – සුනිල් පෙරේරා

    සුනිල්ගේ ගෙයි උඩ තට්ටුවෙ තියෙන පොඩි උද්‍යානයක් ගැන මේ ලියුම්කරුවො දෙන්නා වර්ණනා කරනවා, ‘මේක බාබකිව් පාටියකට එහෙම මරු’ කියල. එතකොට සුනිල් කියනවා ඔව්, පාටියකටත් හොඳයි, ඒත් මෙතන පාටියකට වඩා හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්’ කියල. මේ විදිහට තමන්ගේ ජීවිතය, තමන් රස විඳින දේ ඕන මාධ්‍යයක් ඉස්සරහ කෙලින් කියන්න පුළුවන් එකම මනුස්සයා මට මුණගැහුනෙ සුනිල් පෙරේරා. මට හිතෙන්නෙ හැම වතාවකම සුනිල් ඉස්සරහ මාධ්‍ය නිරුවත් වෙනවා (වෙන කලාකාරයො මාධ්‍ය ඉස්සරහ නිරුවත් වෙද්දි*. මං හිතන්නෙ ඒ 77 හින්ද.

    ‘ඔයාගෙ හැම ෆැන්ටසියක්ම රියැලිටි එකට ගේන්න ඕන. නැත්තං ඔයා සම්පූර්ණ වෙන්නෙ නෑ. සෙක්ස් වල නරකයි කියල දෙයක් නෑ. දෙන්නම එක`ග නං එතන අසභ්‍ය හෝ විපරීත කිසි දෙයක් නෑ’
    – සුනිල් පෙරේරා

    ලිපියෙ තව තැනකදි සුනිල්ගෙන් අහනවා අන්‍යාගමිකකරණය ගැන. එයා කතාවක් කියනවා.
    ‘මගේ පුතා පොල්ගහකට වඳින්න ගත්තා කියන්නකෝ. එයා මට ඇවිත් කියනවා මේ පොල් ආගම මාර හොඳයි, මං ඒක අදහනවා’ කියලා.

    එතකොට ඔය පොල් ආගම අදහන තව අය ඉන්නවද? මං අහනවා.
    එයා කියනවා, ‘ඔව්, මේ ආගමේ කියන දේවල් හොඳටම ඇත්ත. මං විශ්වාස කරනවා. ඉතිං මං පොල්ගස් වන්දනාවට එකතු වෙනවා’ කියල.

    මං එයත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මං ඒකට විරුද්ද වෙන්න යන්නෙත් නෑ. මගේ පුතා මොකක් හරි ආගමක් අදහලා හොඳ මනුස්සයෙක් වෙනවා නං මට ඕන එච්චරයි. අදහන ආගමෙන් වැඩක් නෑ. ආගම තියෙන්නෙ මිනිහගේ යහපතට, මිනිහව ආරක්‍ෂා කරන්න මිසක් මිනිහා ඉන්නෙ ආගමක් ආරක්‍ෂා කරන්න නෙමෙයි’

    ගොඩක් කලාකාරයො හිතන්නවත් බය දේවල් සුනිල් තමන්ගේ ජීවිතේ ඇතුලෙ හෑල්ලූවෙන් කරනවා. එයා කියන සිංදු එහෙම්පිටින්ම වචන වෙනස් කරලා වෙළඳ දැන්වීම් වලට හරවනවා. එයාම ඒවා විකුණනවා. කලා කෘති වගේ කෞතුක වටිනාකම් දෙන එක වෙනුවට පාරිභෝගික භාන්ඩයක් වගේ කටින් කට පාවිච්චි වෙන නිර්මාණ ඇතුලෙන් සුනිල් තමන්ගෙ පනිවුඩය කියනවා. ඒක ජීවිතේ ඇත්ත පනිවුඩයක් නිසා නිර්මාණයේ කන්‍යාභාවය වගේ ගැටළු එයාට නෑ. තාමත් අපේ විකල්ප සංගීත තරුණයො පවා බයෙන් හැංගෙන මීඩියාවලට සුනිල් මූණ දෙන්නෙ කිසි ගානකට නැතුව. මීඩියා වලින් හදන්නවත් නැති කරන්නවත් පුළුවන් ජීවිතයක් නෙමෙයි සුනිල් පෙරේරාට තියෙන්නෙ. ඒ හින්දම විකිණෙනවා, විකුනනවා, නැති වෙනවා, දිය වෙනවා වගේ මනස්ගාත එයාට නෑ.

    ලංකාවෙ තාමත් සුනිල් පෙරේරාව දැම්මොත් ඕන ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන්. සුනිල් කියන්නෙ භාෂාව, පංතිය, ආගම, ජාතිය අතික‍්‍රමණය කරපු 77 නිෂ්පාදනයක්. තාමත් මේ දාර්ශනිකත්වය තේරුම් ගන්න අපිට කියවීමක් නෑ. මොකද අපේ කියවීම 77ට කලින් හදපු අච්චුවක් හින්ද. ආර්ට් එක, ස්ටයිල් එක, දේශපාලනය සහ ජීවිතය එකක් වුණු ආර්ටිස්ට් කෙනෙක් ගැන ලංකාවෙ මට තියෙන එකම උදාහරණය වෙන්නෙ සුනිල්.

    77 කියන්නෙ ලංකාවෙ කැරැල්ලක්. ඒ කැරැල්ල, ඒ වෙනස දරන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. සුනිල් කියන්නෙ ඒ පොප් කැරැුල්ලෙ කැඳවුම්කරුවෙක්.


    චින්තන ධර්මදාස


    Original interview from –
    Interview with Sunil Perera for lt part 1
    Interview with Sunil Perera for lt part 2

  • සත්තු එක්ක කතා කරන රහස කියන්න: ෆෙස්ටිවල් සිනමාව ගැන පේමන්ට් කතාබහක්

    සත්තු එක්ක කතා කරන රහස කියන්න: ෆෙස්ටිවල් සිනමාව ගැන පේමන්ට් කතාබහක්

    පහුගිය දවස් කීපෙකට වැනිසියේ වෙළෙන්දෙක් ලංකාවට ඇවිත් හිටියා. එයා චිත‍්‍රපටි වෙළෙන්දෙක්. ඒ කියන්නෙ වැනීසියේ සිනමා උළෙලට ආසියාතික චිත‍්‍රපටි තෝරන්නෙක්. ලංකාවට ඇවිත් හිටියෙ අපේ අලූත් චිත‍්‍රපටිකරුවන් දැනුවත් කරන්න. ඒ මාර්කට් එකට චිත‍්‍රපටි යවන හැටි ගැන.

    නෙළුම්ලගේ ගෙදර ? කෑමත් එක්ක පාවුලෝ (බර්ටොලින්) අඳුරගන්න ලැබුණට කෑම රහ වැඩි හින්ද මට පාවුලෝ අමතකම වුණා. පස්සෙ සත්‍යා පුකට පයින් ගහලා ඉන්ටර්විව් එකක් ගනින් කියල බල කළා. ඒක තිබුනෙ පාර්ක් ස්ට්රීට් හෝටලේ. එදා මං ඉන්ටර්විව් එක ගන්න යද්දි අපේ අලූත් පරම්පරාවෙ ඔක්කොම චිත‍්‍රපටි හදන කට්ටිය එතන. පාවුලෝ ඉස්සරහ සෝෆා එකකට වෙලා ඉන්ටර්නෙට් එක බල බල උත්තර දෙනවා ෆෙස්ටිවල් වලට චිත‍්‍රපටි දාන හැටි ගැන. මට එක පාරට මතක් වුනේ දොස්තර හොඳහිත. ඔක්කොම ඇවිත් හිටියෙ සත්තු එක්ක කතා කරන රහස ඉගෙන ගන්න.

    ඒක ඉවර වෙලා මට පාවුලෝව අහුවුණා ටිකක් වෙලා කතා කරන්න. මට ෆෙස්ටිවල් ගැන තිබ්බ අවුල් ටික කෙලින්ම අහන්න මං තීරණේ කළා. මේ කතාබහ කියවද්දි පේලි, පේලි අතර සහ පේලි වල නොකියවුණු කියන හැම පැත්තක් ගැනම සාවධාන වෙන්න කියල මං ඉල්ලනවා. මොකද අවසාන වශයෙන් මං කතා කරන්නෙ වැනීසියෙ වෙළෙන්දෙක් එක්ක නිසා.

    මං- මගේ ප‍්‍රශ්න සහ මම දකින විදිහ හු`ගක් පටු වෙන්න පුළුවන්. ඒත් ඒවා මට ඇත්තට දැනෙන ප‍්‍රශ්න. මං හිතනවා අපිට පුළුවන් ඒ ගැන ටිකක් කතා කරන්න කියල.

    පාවුලෝ- අනිවාර්යෙන්ම

    මං- මේ වෙනිස් ෆෙස්ටිවල් එකට පිටින් ඔයා සිනමාවට සම්බන්ධ වෙන්නෙ මොන විදිහටද?
    මම හුගක් කාලෙක ඉඳන් චිත‍්‍රපට විචාරකයෙක්. අවුරුදු දහයක් විතර. ‘ඉල් මැනිෆෙස්ටො’ ඒක අපේ රටේ චිත‍්‍රපටි ගැන ලියවෙන සගරාවක්. ඒ වගේම කොමියුනිස්ට් පත්තරයක්. ඒක තමයි සංස්කෘතික පැත්තෙන් ඉතාලියේ ගෞරවනීයම විදිහට සැලකෙන පත්තරේ. ඒක ආර්ට් වලට ලොකු ඉඩක් දෙන පත්තරයක්. මේ පත්තරේ ඇරුණම මං තවත් නොයෙක් සිනමා ස`ගරා ප‍්‍රකාශන වලට ලියනවා. අන්තර් ජාතිකව කියවෙන ප‍්‍රකාශන වලටත් මං ලියනවා. මෑතක මං අපිචත්පොන්ග් ගෙ අන්කල් බූන්මේ ගැන එහෙම ලිපියක් ලිව්වා. පසුකාලීනව මං ෆෙස්ටිවල් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. හැමතිස්සෙම මං වැඩ කළේ ආසියානු සිනමාවත් එක්ක.

    මං- ඔයා කවදාවත් චිත‍්‍රපටි හදලා නැද්ද?
    නෑ. මං කවදාවත් චිත‍්‍රපටි හදන එක සම්බන්ධව වැඩ කරලා නෑ. මං සමහර චිත‍්‍රපටිකරුවන්ට උදව් කරලා තියෙනවා මේ ව්‍යාපෘති වල ඉල්ලූම ගැන වටහලා දෙන්න. ඒ ගොල්ලොන්ගෙ ව්‍යාපෘති වෙළඳපොලක් කරා ගෙනියන්න උදව් වෙන එකයි මගේ වැඬේ.

    මං- එතකොට ඒ චිත‍්‍රපටි හැදෙන්නෙ ෆෙස්ටිවල් වලටමයි?
    පාවුලෝ- චිත‍්‍රපටිකරුවෙක් හදන්නෙ එයාට හදන්න ඕන චිත‍්‍රපටිය. ඊට පස්සෙයි එයා හිතන්නෙ ෆෙස්ටිවල් එක ගැන. මේ කාලෙ නං රෆ් කට් එකේ ඉඳන් ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරනවා..ඒක ඇත්ත.

    මං- ඔයා වීරසේතුකල්ව හොඳට බලලා තියෙනවා..

    පාවුලෝ- ඔව්..ඔව්..

    මං- විමුක්තිගෙ චිත‍්‍රපටි සහ සංජීවගේ චිත‍්‍රපටියත් බලලා තියෙනවා?

    පාවුලෝ- ඔව් ෆ්ලයින් ෆිෂ් මං බැලූවා.

    මං-ඔයා කොහොමද මේ තුන්දෙනාගෙ දකින වෙනස?

    පාවුලෝ- තුන්දෙනා හොඳටම වෙනස්. විමුක්තිගෙ චිත‍්‍රපටිය පෙන්නද්දි ගොඩක් අය කිව්වා එයා අපිචත්පොන්ග් කරන දේම කරන්නයි හදන්නෙ කියල. ඒ වගේම ෆ්ලයින් ෆිෂ් පෙන්නද්දිත් ගොඩක් අය කිව්වා සංජීව විමුක්ති කරපු දේමයි කරන්න හදන්නෙ කියල. ඒත් මං එකග නෑ ඒ අදහසට. මං දකින්නෙ නෑ ස්ටයිල් එකක් විදිහටත් ප‍්‍රකාශනයක් විදිහටත් සංජීවයි විමුක්තියි සමාන ලක්ෂණ දරනවා කියල. ඒ දෙන්නා සමාන වෙන්නෙ යුද්දෙ එක්ක සම්බන්ධ මේ රටේ මෑත ඉතිහාසය ගැන කතාවක් කියන එකෙන් විතරයි.
    යම් තරමකට මං එක
    ගයි අපිචත්පොන්ග් ගෙයි විමුක්ති ගෙයි ස්ටයිල් එක කිට්ටුයි කියන කාරණාවට. ඒ දෙන්නම යන්නෙ එක දිශාවකට. පිළිගත් සිනමා ව්‍යාකරණය විසංයෝජනය කිරීම සහ එක්ස්පෙරිමෙන්ටල් ෆිල්ම් ලක්ෂණ භාවිතා කිරීම.

    විමුක්ති අපිචත්පොන්ග් එක්ක වෙනස් වෙන කාරනේදි විමුක්තියි සංජීවයි එක ළ`ගට එනවා. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටි පිටපස්සෙ දේශපාලන න්‍යාය පත‍්‍රයක් නෑ. ඒත් විමුක්තිගෙ චිත‍්‍රපටි දේශපාලනික සමාජමය ප‍්‍රකාශනයක් කරන්නෙ. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටියක දේශපාලනය ඔයාට තේරුම් ගන්න බෑ ඔයා තායිලන්තයේ දේශපාලනය ඉතාම සමීපව ඉන්න කෙනෙක් නෙමෙයි නම්. ඒ චිත‍්‍රපටිවල මතුපිට දේශපාලනය දකින්න නෑ.

    එක දෙයක් මං පිළිගන්නවා. අපිචත්පොන්ග් සහ විමුක්ති දෙන්නගෙම කලාත්මක හුරුව ඇති කරන්නෙ බටහිර විසින්. අපිචත්පොන්ග් ඉගෙන ගන්නෙ චිකාගෝ. විමුක්ති ප‍්‍රංශෙ.

    මං- සංජීව විමුක්ති වගේ චිත‍්‍රපටි වලට සම්මාන දෙන්න අවශ්‍යයි කියල ඔයා හිතන්නෙ මොන කාරණා නිසාද?
    පාවුලෝ- දෙන්නගෙම විෂුවල් ස්ටයිල් එක ඉතා ප‍්‍රශස්තයි. කතාව පැත්තකින් තිබ්බත් මේ විෂුවල් ගලා යාම ආකර්ශනීයයි.

    මං- තර්කොව්ස්කිව කොපි කරන ගතියක් දැනෙන් නැද්ද?

    පාවුලෝ- මිනිස් රූපය පිහිටුවන තැන අතින් ගත්තොත් සංජීවයි තර්කොව්ස්කිගෙයි සමානත්වයක් තියෙනවා. ඒ වගේම ෆ්ලයින් ෆිෂ් වල ඔයාට දකින්න පුළුවන් සමහර තර්කොව්ස්කිගෙ දර්ශන රිපීට් වෙනවා වගේ. උදා විදිහට අන්ද්‍රෙයි රුබලොව්. සංජීව නිතරම කියනවා ‘කිම් කි ඩුක්’ සහ තර්කොව්ස්කි ගැන. ඒ අයගෙ බලපෑමක් තියෙන්න පුළුවන්. ඒත් වැදගත් දේ වෙන්නෙ මේකයි. එයා ඒක හොඳට කරනවද? එච්චරයි.

    මං- මේ සිනමා උළෙලවල තේරෙන චිත‍්‍රපටි දිහා බැලූවම මට පේනවා මේ තෝරන කොමිටි වල අයගෙ ඔලූවෙ කල් ඇතුව තෝරන්න ඕන චිත‍්‍රපටි ගැන අදහසක් තියෙනවා වගේ. චිත‍්‍රපටියෙ ඔරිජිනල් ගතියට වඩා මේ කලින් සකස් කර ගත් වට්ටෝරුව වැඩ කරනවා වගේ.

    පාවුලෝ- එහෙම අයත් ඉන්නවා. ඒක හොඳ තත්වයක් නෙමෙයි. මෙහෙමයි, සමහර ෆෙස්ටිවල් තියෙනවා යම් කිසි තේමාවක් අනුව චිත‍්‍රපටි තෝරන. ස්ත‍්‍රී පුරුෂභාවය ගැන වගේ. සමලිංගිකත්වය ගැන. ඒක හරි සීමිත අදහසක් සිනමාව ගැන. ඒත් වෙනිස් කාන් හෝ බර්ලින් වගේ ලොකු ෆෙස්ටිවල් වල එහෙම නෑ.

    මං- කවුරුහරි එක ෆෙස්ටිවල් එකක් අවුරුදු කීපයක් තිස්සෙ අධ්‍යනය කලොත් බැරිද හරියට ඒ ෆෙස්ටිවල් එකේ ගොඩයන චිත‍්‍රපටියක් හදන්න?

    පාවුලෝ- මට ෂුවර් නෑ. පළවෙනි පාර එහෙම තේරෙන්න පුළුවන් වෙයි. ඒත් දෙපාරක් නම් බෑ. අපි මෝඩ නෑ ඕගොල්ලො හිතන තරම්. සමහර චිත‍්‍රපටියක් අපේ බොත්තම හරියටම තද කරනවා වෙන්න පුළුවන්. ඒත් මේක හිතා මතාම කරන බොත්තම තද කිරිල්ලක් කියල තේරුම් ගන්න බැරි තරම් අපි මෝඩ නෑ.

    මං- මාත් එහෙම කරලා තියෙනවා. ඒකයි ඇහුවෙ. ෆ්ලයින් ෆිෂ් කරද්දි මං සංජීවට කියලම ලියපු තැන් තියෙනවා මේකට සම්මාන හම්බුවෙනවා කියල. ඒක වැඩ කළා.

    පාවුලෝ- එයා තේරුණේ රොටර්ඩෑම් වලට. කාන් වලට නෙමෙයි.
    ඒක හොඳ නෑ එහෙම ඔයාගෙ යාලූවා ගැන කතා කරන්න එපා. ඇත්ත, සංජීවගේ ෆිල්ම් එක හොඳ උදාහරණයක්. ඒ ෆිල්ම් එක අගය කරපු, ඒකට සහයෝගය දක්වපු හැමෝම හොඳට දැනගෙන හිටියා ඒ චිත‍්‍රපටියෙ තියෙන දුර්වලතා ගැන.
    ඒත් චිත‍්‍රපටිය හොඳට ෂූට් කරලා තියෙනවා. ඒක ලස්සනයි. එයාට විෂුවල් ටැලන්ට් එකක් තියෙනවා කියල පැහැදිලියි.

    මං- පහුගිය කාලෙම මේ විදිහට ෆෙස්ටිවල් වලින් තෝරපු චිත‍්‍රපටි ඔක්කොම වගේ යුද්ධට පසුබිම් කර ගත්ත ඒවා?

    පාවුලෝ- ඒක ප්ලොට් එක විතරයි. රොටර්ඩෑම් වල කොච්චර ලංකාවෙ චිත‍්‍රපටි පෙන්නනවද? කර්ම කියන්නෙ යුද්දෙ ගැන චිත‍්‍රපටියක් නෙමෙයි.

    මං- ඒත් කර්ම වලට ඒ තරම් පිළිගැනීමක් ලැබුනෙ නෑනෙ.

    පාවුලෝ- හරි. ඒත් යුද්දෙ ගැන හැදුවා කියලා චිත‍්‍රපටි තෝර ගන්නෙ නෑ. ඒකෙ විෂුවල් කොලිටි එකයි වැදගත්. ගොඩක්ම ලංකාවෙ බංග්ලාදේශ් වල චිත‍්‍රපටිවල නිෂ්පාදන තත්වයන් හොඳට නෑ. ෆ්ලයින් ෆිෂ් වල නිෂ්පාදන තත්වය හු`ගක් හොඳයි. ඒ තාක්‍ෂණික කාරණා ගොඩක් අදාල වෙනවා.

    මං- ඔයා දන්නවා නේද මේ ෆෙස්ටිවල් වල තේරෙන ගොඩක් චිත‍්‍රපටි ඒ රටවල ජනතාව අතින් ප‍්‍රතික්‍ෂෙප වෙනවා කියල.
    (මේ වෙද්දි පාවුලෝට ඉන්න පුටුව හු`ගක් අපහසුයි වගේ වුණා. එයා උත්තර දුන්නෙ එහාට මෙහාට ඇඹරෙමින් හරිම වෙහෙසකර හුස්ම පිටකරමින්)

    පාවුලෝ- ඔව්. ඒක සංවර්ධනය වෙමින් පවතින රටවලට සීමා වෙච්ච එකක් නෙමෙයි. කොරියාව හොංකොං වගේ හු`ගක් දියුණු ප්‍රෙක්‍ෂාගාර තියෙන රටවලත් එහෙම වෙනවා.
    ෆෙස්ටිවල් යනවා කියන එක හරියට ස්ටිග්මා එකක් කැළලක් වගේ. බෝරිං චිත‍්‍රපටි තමයි ෆෙස්ටිවල් යන්නෙ කියල හිතන්නෙ. ට්සායි මින්ග් ලියෑන් වගේ අධ්‍යක්‍ෂවරුන්ගෙ චිත‍්‍රපටි වුණත් එහෙමයි.

    මං- මං කිව්වොත් මේ කලාප වලින් තේරෙන චිත‍්‍රපටිවල සමාන ලක්ෂණ දකින්න තියෙනවා කියල. උදා විදිහට ට්සායි ගේ වීරසේතුකල්ගෙ සමලිංගික ප‍්‍රවේශය ගන්න පුළුවන්.

    පාවුලෝ- ට්සායි ගෙ එහෙම කියමු. ඒත් ‘හෝ ෂියෝ ෂියැන්’ ගෙ එහෙම නෙමෙයි. වීරසේතුකල් තරමක් දුරට ඔව්. ඒත් ට්සායිගෙ චිත‍්‍රපටි සමලිංගිකත්වයට සීමා වෙලා නෑ. ඒවා කතා කරන්නෙ පවුලෙන් ඒ පරිසරයෙන් පරාරෝපණය වුණු නූතන නාගරික ජීවිත ගැන. ඒ ගොල්ලො මනුස්ස සම්බන්ධතාවයන් හොයනවා. ඒත් කවුරුවත් තේරුම් ගන්නෙ නෑ.

    මං- ඒත් චිත‍්‍රපටියක් බලද්දිම කෙනෙකුට කියන්න පුළුවන් මේක නං ෆෙස්ටිවල් ෆිල්ම් එකක්ද නැද්ද කියල. කොහොමද ඒක වෙන්නෙ?

    පාවුලෝ- එහෙම තමයි. ඒත් විශ්වාස කරන්න ෆෙස්ටිවල් වලට කියල හදන හැම චිත‍්‍රපටියක්ම එහෙම හොඳ වෙන්නෙ නෑ. මගේ කොම්පියුටරේ තියෙනවා එහෙම ෆෙස්ටිවල් වලට හදපු චිත‍්‍රපටි තොග ගනන්. කටේ තියන්න බෑ.
    හිතන්න ඔයා ලංකාවෙන් හරි තායිවානෙන් හරි තායිලන්තෙන් හරි ඇවිත් චිත‍්‍රපටියක් හදන්න යනවා. ඔයාට හදන්න ඕන ආර්ට් ෆිල්ම් එකක්. ඒත් මේ වගේ චිත‍්‍රපටියකට නිෂ්පාදකයො එන්නෙ නෑනෙ.
    එතකොට ඒ වගේ අය ෆෙස්ටිවල් වලට චිත‍්‍රපටි හදන එක අපරාධයක්ද? ගැටළුව තියෙන්නෙ ඒ චිත‍්‍රපටිය ඇතුලෙ ඔයාට කියන්න ඕන දේ තියෙනවද කියන එක.

    මං- ෆෙස්ටිවල් කියල ජොන්ර එකක් සිනමා කාණ්ඩයක් තියෙනවා කියන එකට ඔබත් එක`ගයි.

    පාවුලෝ- ඔයාට එහෙම කියන්න පුළුවන්. ඒත් ඒකෙත් හොඳ සහ නරක චිත‍්‍රපටි තියෙනවා.

    මං- ලංකාවෙ මේ විදිහට ඇගයීම් ලබපු චිත‍්‍රපටි ගත්තොත් මේ දිග රූප රාමු, මිනිස්සු පොඩියට පේන, ලොකු ලෑන්ඞ්ස්කේප් වගේ සමාන ලක්ෂණ දකින්න පුළුවන්. ඇත්තටම මේ කෘති වල රිද්මය අපේ ඇත්ත ජීවිත වල රිද්මය නෙමෙයි. පිටින් බලන් ඉන්න සිනමාවක් මේක. ළ`ග කැපෙන, සමීප රූප තියෙන සිනමාවක් මේ ෆෙස්ටිවල් වලින් ගන්නෙ නෑ.

    පාවුලෝ- ඔයාට කියන්න පුළුවන් ඒක අන්තර් ජාතික සිනමා භාෂාව කියල. මං ඒක නෑ කියන්නෙ නෑ. මේක ලංකාවට විතරක් සීමා වෙලා නෑ.

    මං- ඒත් ඉරානෙදි වඩාත් සමීප රූප වලට ඉල්ලූමක් ලැබෙනවා. පීඩනය දක්වන විදිහෙ.

    පාවුලෝ- එහෙම නෙමෙයි. කිරොස්තාමිගේ තියෙනවා දුර රූප. මිනිස්සු පොඩියට. ඉස්සෙල්ලා ඔයා කිව්වා මේක තර්කොව්ස්කිට ළ`ගයි කියල. සමහර විට ඒක යුරෝපීය රසය වෙන්න ඇත. යුරෝපීයන් ආස ඇති ඒ විදිහෙ වේගයකට.

    මං- මේකෙදි මිනිස්සන්ට රූප රාමුව ඇතුලෙ කිසි අගයක් ලැබෙන්නෙ නෑ. පසුබිම තමයි ලොකු විදිහට දක්වන්නෙ? මේක මං කියන්නෙ මානව විද්‍යාත්මක රූප රාමුවක් කියල. මනසක් අහිමි මිනිස්සුන්ව පෙන්නන.

    පාවුලෝ- ඔව් ෆ්ලයින් ෆිෂ් ගත්තොත් ඒක හොඳට පේනවා.

    මං- මේකම දැකලා එපා වෙන්නෙ නැද්ද?

    පාවුලෝ- අනේ මං ආසයි ඒ වගේ රූප දකින්න. මට ඒකෙ තියෙන විශේෂය තමයි එතනදි ඔයාට පුළුවන් සැබෑ කාලය දනවන්න. ඒක කරන්න පුළුවන් සිනමාවෙදි විතරයි.
    ක්‍රොනන්බර්ග්ගෙ අලූත් ෆිල්ම් එකේ ෂොට් එකයි ඒකෙ රිවර්ස් ෂොට් එකයි හරියට පාවිච්චි වෙනවා. මං ඒකටත් හු`ගක් කැමතියි. ඒක ඇතුලෙ අමුතු භයංකාරත්වයක් අරන් යන්න එයාට පුළුවන් වෙනවා.

    මං- ඔයා හිතනවද ඒක කැනඩාවෙන් නැතුව අපේ වගේ රටකින් ආවා නම් ඔයා බාර ගනී කියල?

    පාවුලෝ- අනිවාර්යෙන්ම.
    හාහ්… ඕක ලංකාවට වත් ඉන්දියාවටවත් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දැන් ලතින් ඇමරිකාවෙත් මේ ෆෙස්ටිවල් සිනමාව කියන්නෙ මොකක්ද කියල ලොකු කතාවක් යනවා. මේ දිග දුර රූප රාමු ඒ රටටත් හු`ගක් නුහුරුයි.

    මං- ඉරාන සම්මාන දිනන චිත‍්‍රපටිවල ඔලූවෙ ඉඳන් වහන් ඉන්න ගෑණු දාඩියට පවන් ගහන රූප රාමු බහුලයි. ගම්බද, නූගත් පීඩිත ගැහැණු තමයි මේවායේ චරිත වෙන්නෙ. ඒත් අස්ගර් ෆර්හාඩි සෙපරේෂන් වගේ ෆිල්ම් එකක් එක්ක මේක වෙනස් කරනවා. එයා ක්ලෝස් අප් වලට යනවා. මධ්‍යම පංතිය ගැන කතා කරනවා.

    අන්තිමට සම්මාන ගනිද්දි එයාගෙන් අහනවා ඉරානෙ චිත‍්‍රපටි හදන්න තියෙන බාධාවන් ගැන. එයා කියනවා ‘මමත් ඉරානෙ කොටසක්. මට ඒකෙ අමුතු අමාරුකමක් දැනෙන්නෙ නෑ’ කියල. එයා නැවත ඇවිත් රජයෙන් සමාවක් පවා ගන්නවා. ඒත් ඔයාට හිතෙන්නෙ නැද්ද මේ පිටිපස්සෙ මොකක් හරි දේශපාලනික කතාවක් තියෙනවා කියල.

    පාවුලෝ-ඉරානෙ කියන්නෙ මං ඒ තරම් හුරුපුරුදු කලාපයක් නෙමෙයි. ඒත් සෙපරේෂන් මං ගොඩක් කැමති චිත‍්‍රපටියක්. ඒක හරියටම ඒ සීමාවන් ඇතුලෙ හිඳිමින් සිනමාව ඇතුළට ප‍්‍රවිෂ්ට වීමක්. පුහු විප්ලවකාරී උත්සාහයක් නෙමෙයි. ආන්දෝලනාත්මක වීම තමයි කතා බහට ලක්වෙන්න තියෙන ලේසි විදිහ. ඒ වෙනුවට එයා ජීවත් වෙන චරිත, ජිවිත ඇතුලෙන් කතාව කියනවා. මං හු`ගක් අගය කරනවා ඒක. මේ විදිහෙන් අර ඔයා කිව්වා වගේ ෆර්හාඩි එයාගෙ රටට එයාගෙ ජනතාවට තියෙන සැබෑ ගැඹුරු ආදරය ප‍්‍රකාශ කරනවා. එයා ගැඹුරු තැන් වලට යනවා. ඒත් එයාගෙ රටේ පේ‍්‍රක්‍ෂකයත් එක්ක ඉන්න ගමන්. හරි ලේසියි දෙයක් කරන්න සීමාවන් අභියෝග කරන. රටක පෙන්නන්න තහනම් කලාප පෙන්නන්න. එතකොට ඔයාගෙ ෆිල්ම් එක තහනම් වෙනවා. ඒකෙන් ඔයා ප‍්‍රසිද්ධ වෙනවා. මං සෙපරේෂන් වලට කැමති ඒ සීමාවන් දරාගන්න එයාට තියෙන ධෛර්ය මට පේන හින්ද. ඒක තමයි කරන්න අමාරුම දේ.

    මේ වෙද්දි පාවුලෝ හොඳටම රතු වෙලා. වටපිට බල බල නැගිටලා යන්න හු`ගක් ඕනකමෙන්.
    ‘මේ ඇති. නැත්තං අපි අනිත් අයට කරන්නෙ අසාධාරණයක්’ කතා කරන්න බලාගෙන හිටපු අනිත් අය දිහා බල බල එයා කිව්වා. මටත් මහන්සියි මේ ගුග්ලි දාන එක.

    එක අතකට ඒක එයාගෙ මාර්කට් එක. මං ඒකෙ කන්‍යාභාවය හොයන්නෙ මොකටද?

    සුබ රාත‍්‍රියක් පාවුලෝ.. මං නැගිටලා ආවා. හෘදයාංගම නොවුණු සංවාදයක හිස්කම දවස පුරාම මාව හෙම්බත් කළා.


    චින්තන ධර්මදාස