Category: Cult

  • ගෑණු පිරිමි- මල් පළතුරු – චිත‍්‍රපටි

    ගෑණු පිරිමි- මල් පළතුරු – චිත‍්‍රපටි

    මායා කියන්නෙ කොපියක්. කාංචනා කියන ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක්. කාංචනා කියන්නෙ මුනි කියල ජනප‍්‍රිය වුණු රාඝව ලෝරන්ස්ගෙ ෆිල්ම් එකේ සීක්වල් එක. ලෝරන්ස්ගෙ මේ ෆිල්ම් සීරීස් එක ඉන්දියාවෙ දිව්වෙ බොක්ස් ඔෆිස් පෙරළගෙන.
     
    මේ වැඬේ සිද්ද වෙන්නෙ හොරර්- කොමඩි කියන ජොන්රා එක ඇතුලෙ. කවුරු හරි මැරිච්ච කෙනෙකුගේ අවතාරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ආවේස වෙලා මොකක් හරි පලිගැනීමක් කරන විදිහෙ කතාවක් තමයි පාදක කරගන්නෙ. ඒත් හොලිවුඞ් ස්ක‍්‍රිප්ට් විදිහට එකම තැනකට ෆෝකස් වෙන්නෙ නැතුව මේ ප්ලොට් එක වටේ තව ගොඩක් කතා පරිකතා එලනවා. තනිකරම බර එන්ටර්ටේන්මන්ට් පොදියක් දෙන එකයි ලෝරන්ස්ගෙ අරමුණ.
     
    රාඝව ලෝරන්ස්ගෙ මේ වැඬේ කාංචනා වලට එනකොට වෙන ලේයර් එකකට පනිනවා. කොමඩි හොල්මන් කතාව ඇතුලෙ ලෝරන්ස් ට‍්‍රාන්ස් ජෙන්ඩර් ගැන පොලිටිකල් කතාවක් ගේනවා. ඒ අතරෙ ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අවුල් වගේ තැනුත් ටච් කරගෙන යනවා. එයා එක විදිහක ස්ටේට්මන්ට් එකකට මේ විනෝද පොදිය පාවිච්චි කරනවා.
     
    පේ‍්‍රක්‍ෂාගාරයේ සරලම තැනට කතා කරන්න පුළුවන් වෙන එක කොහොමත් ටැමිල් ෆිල්ම් වල සාර්ථක ගුණයක්. ඇත්තටම ඒ සිනමාව කර්මාන්තයක් විදිහට සාර්ථක වෙන්න හේතුවත් මේකයි. සිනමාව තියෙන තැනට පේ‍්‍රක්‍ෂකයා ගේන්න ට‍්‍රයි කරනවා වෙනුවට පේ‍්‍රක්‍ෂකයා ඉන්න තැනට ගිහින් ඒ අය සිනමාව කරනවා. නරඹන්නා එක්ක රියල් සම්බන්ධයක් හදාගන්නවා. අපේ මේන් ස්ටී‍්‍රම් ෆිල්ම් වල වුණත් හැංගිලා තියෙන මධ්‍යම පංතික හීනමානය හින්ද මේ නියම බැඳීම ඇති කරගන්න බැරි වෙනවා. දෙමළ ෆිල්ම් වල තියෙන ඇට දෙකන් අල්ලගන්න ගතිය ෆිල්ම් වලට ගේන්න අපි තාම දන්නෙ නෑ. අපි ඒක කරන්න හදන්නෙ සුදු හුරතල් පොඩි එවුන්, අලි පැටව් සහ නාඩගම් පෙන්නලා.
     
    කොහොමටත් ලංකාවෙ ආර්ට් ගැන සංවාදෙම හැදෙන්නෙ ජනප‍්‍රිය දේට විරුද්දව. යමක් ජනප‍්‍රිය නම් ඒකෙ මොකක් හරි අවුලක් තියෙනවා කියල. ජනප‍්‍රිය දේක තියෙන ඒ ජනප‍්‍රිය වීමේ ගුණය හොයාගෙන ඒක ඇතුලෙන් අලූත් නිර්මාණ ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට ඒක පීචං කියල යටපත් කරන්නමයි ට‍්‍රයි එක. උදාහරණයක් විදිහට අජිත් මුතුකුමාරණගේ සිංදු වලට එරෙහි ප‍්‍රබුද්ද සංවාදය ගන්න පුළුවන්. ලංකාවෙ කිසිම මාධ්‍ය ප‍්‍රචාරණයක් නැතුව, උස්සලා තියෙන ඉන්ටවිව් නැතුව,  ඕපන් ස්ටේජ් වලින් කෙලින්ම මිනිස්සු එක්ක සම්බන්ද වෙලා ලොකු මාර්කට් එකක් හදාගත්ත තැනක් කිසිම බරක් නොතියා නිකම්ම බාල්දු කරනවා. වෙන විදිහකට කිව්වොත් මේ පීචං කරන්නෙ රටේ ඉන්න මහා ජනතාවකගේ රසය. එතකොට ආර්ට් හැදෙන්නෙ ඒ මහා ජනතාවගේ රසයට ප‍්‍රතිවිරුද්දව. ඒ අයව පිටමං කරලා.
     
    මේ හින්ද සීරියස් විදිහට ජනප‍්‍රිය කලාවෙ යෙදෙන කට්ටිය ලංකාවෙ අල්පයි. කීයක් හරි හොයාගන්න පේමන්ට් විදිහට කරන වැඩවලින් තමයි අපේ ප‍්‍රධාන ධාරාව, සිනමාවෙ නම් වාණිජ සිනමාව හැදිලා තියෙන්නෙ. එක විදිහකට ගත්තොත් එහෙම පොප් වැඩක් කරන්න  ඕන කරන සිනමා තාක්‍ෂණික දැනුමත් අපිට නෑ. තාක්‍ෂණය කියන්නෙ උපකරණ සහ ඒවා පාවිච්චි කරන හැටිය විතරක් නෙමෙයි. චිත‍්‍රපටියක් ඇතුලෙ ඒක භාවයන්, කාල අවකාශයන් හසුරුවා ගැනීමත් තාක්‍ෂණික වැඩක්. හරියට කතාවක් කියාගන්න බැරි ප‍්‍රශ්නෙත් එක්ක පොරබදන අපේ සිනමාවට දෙමළ සිනමාවෙ බල්ටි හිතාගන්නවත් අමාරුයි.
     
    මායා වගේ චිත‍්‍රපටි වලින් ලොකු වැඩක් සිද්ද වෙන්නෙ මෙතනදියි. ඉන්දියාවෙ හිට් වෙච්ච ෆිල්ම් එකක් අරගෙන ඒකට නොදෙවෙනි රීමේක් එකක් හදනවා කියන්නෙ අපේ රටේ සිනමාව සම්බන්ධයෙන් කාරණා ගොඩක් වර්ධනය වෙන තැනක්.
     
    ප‍්‍රධානම එක කතාව කීම. මේක තමයි අපි සුබලබව නාගන්න තැන. ඉන්දියානු චිත‍්‍රපටිය තිබුණත් ඒක අපිට ගැලපෙන විදිහට යලි නිර්මාණය කිරීම හරියට සිද්ද වෙන්න  ඕන. උදා විදිහට කාංචනා ඔරිජිනල් ෆිල්ම් එකේ තිබුන සිංදු ගොඩ මට මාර වාතයක් වුනා. ඒ කතාවෙ මට ගෙවා ගන්න අමාරු ඇදෙන සුළු තැන් තිබුන. ඒත් මායා රීමේක් එක හොඳට ටයිට් විදිහට කතාව ගන්නවා විතරක් නෙමෙයි ඒක අපිට හුරු පුරුදු තැන් එක්ක හරියට ගලපනවා.
     
    ෆිල්ම් එක ගැන කිව්වහම ගොඩක් කාංචනා බලපු මගේ යාලූවො කිව්වෙ, මචං ඒ කැරැුක්ටර්ස් නම් ගන්න බෑ කියල. විශේෂයෙන් අතුරු චරිත. ඒත් ෆිල්ම් එක බලපු හැමෝටම කොයිතරම් සාර්ථකව මේ චරිත සිංහලට ඇවිල්ලා තියෙනවද කියන එක හිතාගන්නත් බැරි වුණා. සමහර තැන්වල මායා කාංචනාටත් වඩා ඉස්සරහින්.
    ඒ වගේම දෙබස් රචනයත් අති සුපිරියි. ඒ දෙමළ ජෝක් සිංහලට ගේන කොට අපිට දැනෙන තැන් වලින් අල්ලලා තියෙන විදිහත් ඒ පාවිච්චි වෙන අති සාමාන්‍ය වචනත් රස නොමරා රස විඳින්න ඉඩ ඉතුරු කරනවා.
    අධ්‍යක්‍ෂණයෙදි දෙබස් උච්චාරණය පවා දෙමළ චිත‍්‍රපටියෙ තැනටම ගේන්න ට‍්‍රයි කරනවා. මට හිතෙන්නෙ ඒක හොඳට ඞීටේල් ඇතුව රෙසිපිය පරීක්ෂා කිරීමක්. එක්කෙනෙක් දෙබස් කියද්දි අනෙකා එක එක විදිහට හුමිටි තියන, ඇද කරන සද්ද පාවිච්චි කිරීම හරහා ඒ කොමඩිවල තියෙන පන්ච් එක හොඳටම පවත්වාගන්නවා.
     
    චරිත නිරූපණය අතිනුත් මායා ගොඩ. පුබුදු සහ රංජන් නියමටම වැඬේ කරනවා. ෆිල්ම් එකේ ඉන්ටවල් එකෙනුත් පස්සෙ රංජන්ව ඉන්ට‍්‍රඩියුස් කරද්දි එයා දුවගෙන එන්නෙ සාරියක් ඇඳගෙන. චණ්ඩි ටිකක් එළවගෙන. එතනදි ලොකු අකුරෙන් සුපර් ස්ටාර් රංජන් රාමනායක කියල දාද්දි ඇත්තටම මූ ලංකාවෙ සුපර් ස්ටාර් නේද කියල හැ`ගීමක් එනවා. එයා මේ චරිතෙ කරන්න බාර ගත්ත එක එලියෙ සමාජය පැත්තෙන් වගේම චරිතෙ පැත්තෙනුත් ලොකු චැලෙන්ජ් එකක් ගේනවා. රංජන් වැඬේ ගොඩදානවා.
     
    පුබුදු චතුරංගත් රංජන් එක්ක කරට කර ඉන්නවා. එක එක චරිත අතරෙ මාරු වෙවී පුබුදුට ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒත් රාඝව ලෝරන්ස්ට කොහෙත්ම නොදෙවෙනි විදිහට පුබුදු කැරැුක්ටර් එක කරනවා. ලංකාවෙ නළුවො හරියට ප්ලේස් වෙන්න වගේම ඒ නළුවන්ට නිළියන්ට තමන්වම අභියෝගයක් වෙන්න මේ විදිහෙ රීමේක් හැදෙන එක ලොකු දෙයක්.
     
    මේ ෆිල්ම් එකේ අම්මා-පුතා, නැන්දා-ලේලි, සැමියා-බිරිඳ වගේම පෙම්වතා-පෙම්වතිය සම්බන්ධතාත් හොඳටම ජෝක් කරනවා. ඒ අවස්ථා අතිශය විකාර සහගත වුනත් අපි හොඳට දන්න ‘එසන්ස්’ එකකින් ඒ විකාරය ගැටගැහීම ඇතුලෙ ඒවා හොඳටම විශ්වාසනීය කරනවා. තේරෙන විදිහකට කිව්වොත් මේකෙ පුතා නිතරම ඉන්නෙ අම්මගෙ කරේ (ස්කූබි ෂැගීගේ කරේ ඉන්නවා වගේ). පුතාට චූ කරන්නත් අම්මා සිංදු කියන්න  ඕන. ඒත් මොකද්දෝ විදිහකට මේ අම්මා පුතා සම්බන්දෙ අපි දන්න එකක්. එක්සැජරේට් වුනාට එසන්ස් එක රියල්. මෙතනදි මේ අම්මගෙ චරිතෙ කරන නිළියත් ඒ චරිතෙ උපරිමයෙන්ම කරනවා.
     
    ප‍්‍රවේගය වගේ චිත‍්‍රපටි කරද්දි නාගත්ත මියුසික් පැත්තත් මායා ගොඩදාගන්නවා. ඒ දෙමළ සිංදුවල තියෙන පන්ච් එක ඒ විදිහටම තියෙන්න සිංහල වචන වලින් ලියවෙනවා. ඔරිජිනල් කෘතියෙ ජනප‍්‍රියතාවයට හේතු වන අංශුමය ලක්ෂණයන් පවා ග‍්‍රහණය කර ගැනීම මායා ලබන ජයග‍්‍රහණයක්.
     
    ලංකාවෙ ළමයින් සහ ආච්චිලා බලන පවුලේ සිනමාව තමයි ප‍්‍රධාන ධාරාව කියල තහවුරු කරගත්ත මනස්ගාතය මායා වගේ චිත‍්‍රපටි නිසා කැඩෙනවා. ඒ වගේම ලංකාවෙ ජවිපෙට සමලිංගිකත්වය පවා දරාගන්න බැරි මොහොතක මාස්  ඕඩියන්ස් එකක මායා ට‍්‍රාන්ස්ජෙන්ඩර් ගැන කතා කරනවා. හැමදාම ෆිල්ම් වල විහිළුවට ලක්කෙරුණු මේ ගැහැණු-පිරිමි චරිතය අන්ත කොමර්ෂල් හිට් එකක් ඇතුලෙ මානුෂීයකරණයක් ලබනවා. ඒ වගේ සංක‍්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් ස්ටේජ් එකක නැගලා කරන විසිල් වලින් ආචාර ලබන දේශනයක් පවා ෆිල්ම් එකට එනවා. සාමාන්‍යයෙන් චිත‍්‍රපටි ඇතුලෙ දේශන දෙන එක වාතයක් වුණත් මායා තියෙන්නෙ ඒ සියල්ල එකට ග‍්‍රහණය කරන්න පුළුවන් අවකාශයක. ඒක ඇතුලෙ  ඕන දෙයක් සිද්ද වෙන්න පුළුවන්, ජනප‍්‍රියතාවයට බිඳකුදු හානියක් නැතුව.
     
    ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අර්තය ලංකාවෙ දෙමළ සිංහල විදිහට චිත‍්‍රපටිය ඇතුලෙ පරිවර්තනය වෙනවා. මං ගොඩක් කැමති හාමුදුරුවන්ව පාවිච්චි කරන විදිහට. ලේසියෙන්ම දරුණු විරෝධයක් නැගෙන්න පුළුවන් තැනක් මායා සූක්ෂම විදිහට ජයගන්නවා. ඇමතියන් අතින් අන්ත ආසාධාරණයන්ට ලක්ව ජීවිත පවා අතුරුදන් වූ අය මළවුන්ගෙන් නැගී සිටිද්දීත් හාමුදුරුවන් ඉදිරිපත් වෙන්නෙ උන්ව බෝතල් වල දමා සාගර පත්ලට යවන්නයි. නහී වේරේන වේරානි…. එච්චරයි බුද්ධ වචනය.
     
    ඊට වඩා මානුෂිකත්වයකින් මායා දිහා බලන්න ගිහි තරුණයෙක් වුණු මාලන්ටත්, වෛරයේ දෙව`ගන වුණු කාලිටත් පුළුවන් වෙද්දි හාමුදුරුවො කරන්නෙ ‘විය යුත්තක්ම වෙයි..’ කියල අත පිහිදා ගැනීමයි.
    ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරය ගැන නැවත විශ්වාසයක් ඇති කරන්න මායාට පුළුවන් වෙනවා. සිංහල ජනතාව පුරුදු වෙලා හිටපු හිනා කතා නැති සීරියස් නැරඹීම වෙනුවට විසිල් ගහන, හිනා පලන සජීවී පේ‍්‍රක්‍ෂාගාරයක් මායා විසින් උණුසුම් කරනවා. මෙතෙක් කල් අපි අවුලක් හැටියට දැකපු නිශ්ක‍්‍රීය නැරඹීම තිරය ඉදිරියේ ප‍්‍රශ්නයක් නෙමෙයි තිරය උඩ පෙන්නන දේවල් වල ප‍්‍රශ්නයක් වග තහවුරු කරනවා.
     
    මේ රීමේක් සිනමාව ඇතුලෙ අපේ කර්මාන්තය ලබන පන්නරය විශාලයි. ඒ වගේම ඉතා දියුණු කර්මාන්තමය පසුබිමක් ඇති ඉන්දියාවෙ වගේ සිනමා ඇත්දැකීම් අපේ රටේ ඇතිවෙන්න තියෙන එකම ඉඩකඩත් මෙච්චරයි. අපි කොයිතරම් නිර්මාණශීලී වුණත් එහෙම වර්ධනය නොවුණු කර්මාන්තමය සම්බන්දතා මැද්දෙ අපේ සිතීමේ දුර සීමිත වෙනවා. ඒ අභියෝගය ජයගන්න තියෙන සාර්ථකම විදිහක් වෙන්නෙ දියුණු කොපි චිත‍්‍රපට රට ඇතුලෙ නිෂ්පාදනය වීමම විතරයි. වාණිජ හෝ ප‍්‍රධාන ධාරාවෙ සිනමාව මේ ශක්‍යතාව අත්පත් කර ගැනීම වැදගත් වෙන්නෙ ඒ අනුව අපේ ස්වාධීන සිනමාව පවතින තත්වයත් අනිවාර්යෙන්ම තීරණය වෙන හින්දයි.

    චින්තන ධර්මදාස

  • තේරුමක් නැතුව බලන් ඉන්න – ජැක්සන් හෝල් වලට එබෙන්න

    තේරුමක් නැතුව බලන් ඉන්න – ජැක්සන් හෝල් වලට එබෙන්න

    ලෝකෙ සදා නිමකල තේරුම් සහිත දේවල් ටිකෙන් ටික අර්බුදයට යමින් තියෙනවා. ඒ වෙනුවට විවිධ අය අතින් විවිධ තේරුම් නිර්මාණය කළ හැකි අවකාශයන් වඩා ව්‍යාප්ත වෙමින් තියෙනවා. මේ හින්ද ජීවිතේ සමාජීය, දේශපාලන හෝ සංස්කෘතික අර්ථයන් හොයන්න යන පිරිස් විකාර වෙන්න පටන් ගන්නවා. කලාව යනු කුමක්ද වගේ ප‍්‍රශ්න එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා. තමන් විසින් තමන්ට අදාල තේරුමක් සම්පාදනය කර ගැනීමෙන් සෑහීමට පත්වෙන්න පරණ කට්ටියට පුරුදු වෙන්න සිද්ද වෙනවා. නැත්තං පුළුවන් ඉවරයක් නැතුව බැන බැන නතර වෙලා ඉන්න. ඒත් ලෝකෙ ඉස්සරහට යනවා.
    මේ කතාව කියන්න පෙළඹුනෙ ලෝකෙ පුරා ළ`ගදි ජනප‍්‍රිය වෙමින් උන්මාදයක් විදිහට පැතිරෙන්න ගත්ත ජැක්සන් හෝල් හන්දියෙ වීඩියෝවක් නිසා. මේක ඇමරිකාවෙ දකුණු කොණට වෙන්න තියෙන වයෝමින්ග් පළාතෙ තියෙන කඳුකර මිටියාවතක්. මේ පළාතට සංචාරකයො එන එක වැඩි කරන්න හිතාගෙන ටවුමෙ හයිකරලා තියෙන කැමරා කීපයක ‘ලයිව් ෆීඞ්’ යූ ටියුබ් එකට දෙන්න පටන් ගන්නවා. ඒත් නොහිතපු විදිහට මේ එක හන්දියක කලර් ලයිට් සහිත ක්‍රොසින් එකක් ඉහලින් තියෙන කැමරාවෙ ෆීඞ් එක ලෝකෙ පුරා ජනප‍්‍රිය වෙන්න ගන්නවා. (සමහර විට කැමරාවෙ පිහිටීම බලපාන්න ඇති) හැම මිනිත්තුවකම 2000ට ආසන්න පිරිසක් මේ කැමරාවෙන් එබිලා හන්දිය දිහා බලාගෙන ඉන්නවා.
    එතන කිසි සිදුවීමක් වෙන්නෙ නෑ. අතිශය සාමාන්‍ය හන්දියක් විතරයි. වාහන එහා මෙහා යනවා. පාරෙන් එහා පැත්තෙ පොඩි ආර්ක් එකක් එහෙම තියෙනවා. ඒත් එකපාරක් මේ වීඩියෝව දිහා බලාගෙන ඉන්න කෙනෙක් ආයි ආයිත් නිවාඩු වෙලාවල ජැක්සන් හෝල්වලට එබෙන්න ඇබ්බැහි වෙනවා. උදේ එලිය වැටීගෙන එන කොට, ? බෝවීගෙන එනකොට තමන්ට කොහෙත්ම සම්බන්දයක් හෝ අදාලත්වයක් නැති කඳුකර හන්දියක් දිහා සාමූහිකව බලන් ඉන්න පිරිසක් ලෝකෙ වටේ නිර්මාණය වෙනවා.
    මේක පටන් ගන්නෙ එක්කෙනෙක් මේ ලින්ක් එක ෂෙයාර් කරමින් එයාට මේ පලාතට ගිහින් මේ කැමරාව ඉස්සරහ මොකක් හරි පිස්සුවක් කරන්න ආසයි කියල දාන කමෙන්ට් එකකින්. ඊට පස්සෙ උන්මාදයක් විදිහට මේ නැරඹීම ඇවිලිලා යනවා. මේකට වැටෙන කමෙන්ට් දැක්කම පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. කට්ටියක් නිහ`ඩව මේ නගරයේ පරිසරය නරඹනවා.
    තව කට්ටියක් අමුතුම දේවල් කියනවා. ‘ෂා මේ පැත්තෙ මාර ඉනිමං තියෙනවනෙ…’
    තවත් කට්ටියක් එක එක ඉවෙන්ට් හදා ගන්නවා. ‘අර පනුවෙක් වගේ නටන මනුස්සයා දැක්කද?’
    ඒ මොකුත්ම නැති අය එක පාරට දකින දේවල් ගැන කෑ ගහනවා. ‘අන්න රතු පාට ට‍්‍රක් එකක්….’
    ඒත් කාටවත් හිතාගන්න බෑ ඇයි මේ ලයිව් කැමරාව මේ තරම් ජනප‍්‍රිය වුනේ කියල. මෙතන මොකක් වෙන්න පුළුවන්ද? අපි චිත‍්‍රපටියක හෝ කතාවක නරඹන කියවන කිසි දෙයක් නැතුව මේ හන්දියක් දිහා බලන් ඉන්න සාමූහික ආශාව මොකක්ද? වෙන විදිහකට ඇහුවොත් ජැක්සන් හෝල් හරහා අපි මුහුණදෙන විෂුවල් රියැලිටිය මොකක්ද?
    පළවෙනි කාරනේ මේ නැරඹීම කරන්න පුළුවන් වෙබ් එකේ විතරයි. මේක අපි චිත‍්‍රපට තිරයක් ඉස්සරහ එකිනෙකා ඉඳගෙන කරන නැරඹීමකට වඩා වෙනස්. මෙතන තියෙනවා පොදු නැරඹීමක්. ඒත් එක්කම හුදකලා තනි නැරඹීමක්. ප‍්‍රයිවෙට් සහ පබ්ලික් කියන දෙක එකතු වෙන තැනක්. ත‍්‍රිල් එක තියෙන්නෙ එතන. අපි තනි තනිව වොයෙරිස්ටික් විදිහට ජැක්සන් හෝල් ජීවිතය දිහා සත්තු වත්තක් දිහා වගේ නැත්තං මාලූ ටැංකියක් දිහා වගේ බලන් ඉන්නවා. ඒ වෙලාවෙම අපි සාමූහික බෙදාහදා ගැනීමකුත් කරනවා.  එක්තරා විදිහකට පෝර්න් එකක් බලනවා වගේ.

    යම් දෙයක් දැන් දැන් සිද්ද වෙයි කියල බලාපොරොත්තුවක් අපි ළ`ග තියෙනවා. ඒත් කිසි දෙයක් සිද්ද වෙන්නෙ නැති අනන්තයක් ඒක. ඒ හින්දම යමක් සිද්ද වීමේ බලාපොරොත්තුව දිගටම ආස්වාදනීය විදිහට පවතිනවා. යම්කිසි කෙනෙකුගේ අධ්‍යක්‍ෂණයකදී යමක් සිද්ද නොවුනම අපිට වෙන බිඳ වැටීම මේ නිදහස් අවකාශයෙදි වෙන්නෙ නෑ. වෙන විදිහකට කිව්වොත් තේරුමක් සහිත දෙයක් දිහා වැඩි වෙලාවක් බලන් ඉන්න අමාරුයි. ඒත් තේරුමක් රහිත දෙයක් දිහා දිග වෙලාවක් බලන් ඉන්න පුළුවන්.

    ඕනම මොහොතක අලූතෙන් යමක් සිදුවිය හැකිය කියන පළල් දැක්මකින් අපි දෙවියන් වහන්සේ වගේ මේ ක්ෂුද්‍ර හන්දිය නරඹමින් ඉන්නවා.

    මේ හන්දියෙ මිනීමැරුමක් වගේ දෙයක් සිද්ද වුනොත් මේ ජනප‍්‍රියතාවය තවත් වැඩි වෙයිද? මං නිකමට කල්පනා කළා. ඒත් මේ වියුක්ත ආස්වාදය ඒ වගේ සංයුක්ත සිද්දියකින් ආමන්ත‍්‍රණය කරන්න බෑ කියල මට හිතෙන්නෙ. ඒ වෙනුවට මිනිස්සුන්ට තේරුමක් හිතාගන්න බැරි යමක් සිද්ද වුනොත්, හරියට අර පනුවෙක් විදිහට නටන මිනිහා වගේ, ඒකෙන් මේ ආස්වාදය ගුණනය වෙන්න පුළුවන්.
    එක්තරා විදිහකට මේක අලූත් මිනිස් සවිඥාන අත්දැකීමක් ස්පර්ශ කරනවා. අපිට කියන්න පුළුවන් මේක ‘සාමූහික-පුද්ගලික සවිඥාන අත්දැකීමක්’ collective- private consciousness (definition by Stefan Sebestian)   කියල. පුද්ගලිකව ඉන්න අතරම සාමූහිකත්වයක් දනවන මිනිස් අත්දැකීමක්. එහෙම වින්දන අවකාශයක් මෙතෙක් පැවතුනේ නෑ. ඒක මේ අලූත් වෙබ් කැමරා හරහා නිර්මාණය වෙන තත්වයක්.
    කාට හරි ලේසියෙන්ම කියන්න පුළුවන් මේක තවත් එක විපරීත තත්වයක් කියල. ඒත් ඒකෙන් කිසි දෙයක් කියවෙන්නෙ නෑ. විපරීත නොවෙන කවුද ඉන්නෙ? ලෝකෙ පුරා පැතිරී යන උන්මාදයක් විපරීතයි කියන එකම ප‍්‍රකෘතියක්ද?
    මට හිතෙන්නෙ මේ අත්දැකීම හරහා අපිට අලූත් නිර්මාණ අවකාශයන් ගැන හිතන්න පුළුවන්. උදා විදිහට මේ වෙද්දිත් ජැක්සන් හෝල් කැමරාව විවිධ අයගෙ විවිධ ජනප‍්‍රිය වීමේ උවමනා වෙනුවෙන් පාවිච්චි වෙනවා. ලෝකයක් තමන් දෙස බලා සිටින නිකම්ම එල්ල වුනු කැමරාවක්. ඒ හරහා  ඕනෑම ප‍්‍රකාශනයක් කරන්න පුළුවන්.
    අපි දන්නා සීමිත කාලයක, සීමිත කතා අවකාශයක දිවෙන සිනමාවට වඩා දැවැන්ත සදාකාලික සිනමාවක් මේ කැමරාව ඉස්සරහ නිර්මාණය වෙන්නෙ නැද්ද? තමන් නොදන්නා වූ තමන්ටම විශේෂ වූ උවමනාවකින් මේ පරාරෝපිත කැමරාව සමග බැඳුනු දැවැන්ත පේ‍්‍රක්‍ෂාගාරයක් මේ පිටිපස්සෙ නැද්ද?
    ජැක්සන් හෝල් කියන්නෙ අර්තයක් වෙනුවට තාමත් නොදන්නා මිනිස් අත්දැකීමක්. මේ ගැන මම මෙතන සපයන අර්තයන් වුනත් කැමරාවෙන් බලන් ඉඳලා කෑ ගහන තවත් කෙනෙකුගේ කමෙන්ට් එකක් විතරයි. තාක්‍ෂණය හරහා තව තවත් අපි නොදන්නා මිනිස් විශ්වයන්ට අපි ඇතුල් වෙන්න නියමිතයි. ජැක්සන් හෝල් කියන්නෙ ඒ විදිහට අපි ඇතුලට එබෙන්න වගේම අපි සහ සමාජය අතර අප‍්‍රකාශිත සම්බන්දතා හොයන්න ඇරුනු තවත් ලොකු විවරයක් විතරයි..

    චින්තන ධර්මදාස

  • හැකර් තරුණයා වැඩර් කෙනෙක්ද?

    හැකර් තරුණයා වැඩර් කෙනෙක්ද?

    මෑතකදී ජනපති වෙබ් මැදුරට හොරෙන් කඩා පැන්නා යැයි අල්ලා ගත් හැකර් තරුණයාට දිය යුතු දඩුවම ගැන ෆේස් බුක් එකේ විවිද අය විවිද මත පළ කරනවා. එක පිරිසක් මේ .තරුණයාට වෙබ් ත‍්‍රස්තවාදියෙකු ලෙස සලකා දඩුවම් කළ යුතු යැයි කියන අතර තව පිරිසක් මේ තරුණයා සම්පතක් ලෙස සලකා සංවර්ධනය කළ යුතු යැයි කියනවා.

    සමාජයේ සිදුවන  ඕනෑම පවතින නීතිය අනුව අපරාධයක්යැයි සැලකෙන සිදුවීමක් දෙස සමාජ ශෝධක ඇහැකින් බලන එක අවුල් කියලයි මට හිතෙන්නෙ. මේ අයට දඩුවම් කිරීම හරහා සමාජයට යම් හොඳ පණිවුඩයක් දීම, වඩා හොඳ සමාජයක් වෙනුවෙන් අදාල පුද්ගලයන්ට දඩුවම් පැමිණවීම වගේ එළඹුම් වලට වඩා ඒ මොහොතේ වඩා ඵලදායී සමාජ කළමනාකරණය ගැන අදහසකින් පියවර ගන්න එකයි වඩා පරිණත වෙන්නෙ.

    එතනදි සමාජයෙන් නරක තුරන් කිරීම හෝ සමාජය යහපත් කිරීමේ බොළඳ උත්සාහය වෙනුවට එය වඩා ප‍්‍රයෝජනවත් පරිදි කළමනාකරණය ගැනයි සිතීම යොමුවෙන්නෙ. හොඳ හෝ නරක යන ආචාර ධාර්මික තලයට වඩා ප‍්‍රායෝගික අවස්ථාවෝචිත එළඹුම් වලට ඒ හරහා යන්න පුළුවන්. හොඳට වගේම නරකටත් එතන ඉඩක් තියෙනවා.

    සුවිශේෂ නිර්මාණශීලීත්වයක්, ප‍්‍රකාශනයක් හා බැඳුණුථ සම්මත තත්ව යටතේ සාපරාධී යැයි සැලකෙන සිදුවීම් වලදි මේ විදිහෙ දැක්මක අවශ්‍යතාවය වඩාත් දැනෙනවා. නීතිය හෝ රජය වැනි ආයතනයක් මේ සිදුවීම් ගැන කොයිතරම් ෆ්ලැට් විදිහට, සාම්ප‍්‍රදායික විදිහට බැලූවත් නිදහස් සමාජ සිතන්නන් මේ කාරණා විෂයෙහි වඩා සබුද්දික අදහස් ගනුදෙනුවකට යන්න  ඕන කියලයි මට හිතෙන්නෙ.

    මේ හැකර් තරුණයා ගැන මෑතකදී එක අදහසක් පළවුනා හැක් කිරීම වගේ නරකට යොමුවූ නිර්මාණශීලිත්වයන් වෙනුවට නව නිපැයුම් කරන හොඳ අතට යොමුවූ නිර්මාණශීලීත්වයන් ඇගයීමට ලක් කරන්න අපි උන්නදු විය යුතුයි කියල.

    ඒත් මං දකින විදිහට මේ කියන විදිහෙ ‘හොඳ’ නිර්මාණකරුවන්ට වඩා නරක නිර්මාණකරුවන් සමාජයකට වටිනවා. ඒකට හේතුව හොඳ නිර්මාණ කියන්නෙම සමාජය විසින් නිතර අනුදැන වදාල සහ පැසසුම් ලබා දෙන ක‍්‍රමයට අනුගත දේවල්. ඒත් නරක නිර්මාණ කියන්නෙ ප‍්‍රබල පුද්ගලික ප‍්‍රකාශන. ඒවා සමස්ත සමාජයක් තමන් සමග නොසිටින බව දැන දැනම තමන්ගේ නිර්මාණ ශක්තිය මුදාහරින තැන්.

    උදා විදිහට මේ හැකර් තරුණයා ජනාදිපති වෙබ් අඩිවය හැක් කරන්නේ යම් මුදල්මය පරමාර්තයකින් නෙමෙයි. ඒක මං දකින්නෙ අධිකාරියට, රාජ්‍යයට කරන අභියෝගයක් හැටියටයි. ඒකෙ දිග පළල ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාලය තුල තමන්ට අවශ්‍ය නීතින් සහ අධිකාරීන් සම්මත කර ගනිමින් නැවත ඒ මාධ්‍යයන්ද තමන් සතු කර ගැනීමට පවතින බල අරගලයේදී හැකර්වරුන් කියන්නෙ විමුක්තිකාමීන් පිරිසක්.
    උදා විදිහට ජුලියන් අසාන්ජ් වැනි මිනිස්සු කියන්නෙ මේ හැකියාව ලෝක බලවතුන්ට එරෙහිව පාවිච්චි කරන චරිතයක්. මේ හා සමානම තවත් විශේෂයක් වන පයිරෙට්ස්ලා කියන්නෙත් නීති ප‍්‍රකාරව ද`ඩුවම් ලැබිය යුතු පිරිසක්. ඒත් අද අපි නරඹන කියවන බුක්ති විඳින ටොරන්ට් හරහා දැවැන්ත දැනුමක් ලෝකය හරහා හුවමාරු කරන්නේ ඔවුන්. කාර් හෝ මැෂින් හදන නිර්මානකරුවන් ලංකාවෙ අපි නිතර දෙවේලේ දකිනවා. ඒත් ලංකාවෙන් හැකර් කෙනෙක් බිහිවෙන්නෙ කලාතුරකින්.  මගේ අදහස නම් මේ කර්මාන්ත පුළුල් කරන නව නිර්මාණකරුවන්ට වඩා අන්තර්ජාලයේ මිනිස් නිදහස වෙනුවෙන් අධිකාරීන් අභියෝග කරන සයිබර් වැඩකරුවන් මේ යුගයේ වඩාත් අවශ්‍යයි කියන එකයි.

    මේ තරුණයා සම්බන්දයෙන් නීතිය කොයිවිදිහකට ක‍්‍රියාත්මක කළත් ලැබෙන ප‍්‍රතිඵල තරමක් සංකීර්ණයි. ඔහු නිදහස් කිරීම සහ ඔහුට අනුග‍්‍රහ දැක්වීම අනිවාර්යෙන්ම මේ වගේ කොපි ගොඩක් බිහිවෙන්න බලපානවා. ඔරිජිනල් එවුන් වගේ නෙමෙයි සමාජ පිළිගැනීම හෝ පොසිෂන් වීම අරමුණු කර ගන්නා මේ කොපි අනිවාර්යෙන්ම වාතයක් වෙනවා. ඒත් මේ තරුණයාගේ වටිනාකම පරිවාසයක් හෝ හිර කූඩුවක් ඇතුලෙ දියවෙලා යන්න දීම අපරාදයක්. අඩුම තරමෙ පුරවැසියන් විදිහට රජයෙන් මේ තරුණයා නිදහස් කරන මෙන් ඉල්ලා සිටීම සමාජය පැත්තෙන් අපිට ගන්න පුළුවන් දියුණු ස්ථාවරයක්.


    චින්තන ධර්මදාස

  • ඔබේ රෝගය ඔවුන්ගේ ලාභය

    ඔබේ රෝගය ඔවුන්ගේ ලාභය

    මේ ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල ඔප්පු කිරීමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට අපි දේව වාක්‍යයන් විදිහට පිළිගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයට බාහිර සහ එය අභියෝග කරන තවත් අදහසක් මතු කිරීමයි මගේ අරමුණ. ලිපිය ලියන්නෙ රික් කැන්ට‍්‍රල් කියල වෛද්‍යවරයෙක්. මේ පුද්ගලයා කවුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ මේ හරහා ඇතිකරන සාකච්ඡුාවයි. අපේ ශරීරය සහ අපේ සෞඛ්‍ය ගැන අධිකාරිමය බලය හිමි ඇලොපති පල්ලියේ සත්‍යය වෙනුවට වඩා මානුෂික සෞඛ්‍යය සත්‍යයන් බිහිවීමයි.

    අවශ්‍ය අයට පුළුවන් මේ කාරණා ඔස්සේ වැඩිදුර දේවල් හොයාගෙන යන්න. නැවත නැවත සංවාද කරන්න. බටහිර වෛද්‍ය විද්‍යාව තුල අපිට තියලා නැති මිනිස් අවකාශයක් විවෘත කර ගන්න. (මේ සමහර වෛද්‍යමය යෙදුම් පරිවර්තනයේ අඩුපාඩු තියෙන්න පුළුවන්)

    රික් කැන්ට‍්‍රල් දරුණු පිළිකාවකින් රෝගාතුර වෙලයි ඉන්නෙ. ඒත් එයා සාම්ප‍්‍රදායික බටහිර වෛද්‍ය විද්‍යාවට යන්න පුළුවන් උපරිම සීමාව වුණු කීමෝ- රේඩියේෂන් ආදී ප‍්‍රතිකාර ක‍්‍රමයන් පාවිච්චි කරන්නෙ නෑ. ඒ වෙනුවට එයා විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් අත්හදා බලනවා.

    පිළිකා රෝග ප‍්‍රතිකාර කියන්නෙ තනිකරම මුදල් මත පදනම් ජාවාරමක්. ඒකයි එයාගෙ අදහස.
    ‘‘මේ ලියමනේ තියෙන්නෙ 100%ක් සත්‍යය වන අතර මේ කතාව මම දැනට අවුරුදු 15ක විතර ඉඳන් මගේ රෝගීන්ට කියන දෙයක්. ඒත් කිසි කෙනෙකුට උවමනා නෑ අහන්නවත්.

    පිළිකා රෝග ප‍්‍රතිකර්ම කියන්නෙ ඇමරිකාවෙ විතරක් අවුරුද්දට බිලියන 120ක බිස්නස් එකක් වෙන අතරෙ ලෝක මට්ටමෙන් ගත්තොත් අවුරුද්දට බිලියන 600ක විතර බිස්නස් එකක්.

    ඇමරිකානු පිළිකා සංගමයට සහ ඇමරිකානු ඔන්කොලොජි සහ හෙමටොලොජි පාසැලට අනුව සාර්ථක පිළිකා ප‍්‍රතිකර්මයක් කියන්නෙ රෝගියා අවුරුදු 05ක කාලයක් ජීවත් කරවීම. ඒත් මේ ආයතන දෙකම පිළිගන්නවා පිළිකා රෝගියෙක් කිසිම ප‍්‍රතිකර්මයක් නොකර පවා අවුරුදු 07-10 දක්වා කාලයක් ජීවත් විය හැකියි කියන එක. රෝගීන් අතට පත්නොවෙන, වෛද්‍යවරුන්ට පමණක් කියවන්න ලැබෙන ස`ගරාවල  මේ තොරතුරු පළවෙනවා.

    විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් වල ට‍්‍රැක් රෙකෝර්ඞ්ස් ගත්තොත් ඒවා සාම්ප‍්‍රදායික බටහිර වෛද්‍ය ක‍්‍රමයට වඩා 10 ගුණයකින් පිළිකා සුව කිරීම් වාර්තා කරලා තියෙනවා. මං නැවත අවධාරණය කරන්නෙ මේ  කියන්නෙ ‘සුවකිරීම’ කියන කාරණය ගැන.

    තව දෙයක් මතක තියාගන්න  ඕන. ගෙඩිය හෝ ගැටිත්ත කියන්නෙ පිළිකාවෙ රෝග ලක්ෂණය විතරයි. ඒක පිළිකාවෙ රෝග හේතුව නෙමෙයි. විද්‍යාව පදනම් වෙන්නෙ හේතුව සහ ඵලය මත. හේතුව අයින් කළොත් ඒකෙ ඵලයත් නැති වෙලා යනවා.

    මම මේ වෙද්දි ඉන්නෙ පිළිකාවක් එක්ක තුන්වෙනි වතාවට සටන් කරමින්. කිසිම අවස්ථාවක සැත්කමක් හෝ, කීමෝ, රේඩියේෂන් ප‍්‍රතිකාර ක‍්‍රම මං පාවිච්චි කළේ නෑ.
    මම ලියුකේමියාවෙන් සුව වුනා.

    ‘නොන් හොජ්කින්ස් ලිම්ෆෝමා’ වලින් සුව වුනා.

    දැන් කිසිසේත්ම සුව කළ නොහැකි යැයි කියන මොළයේ ඇතිවෙන ග්ලියොබ්ලාස්ටොමා පිළිකා විශේෂයෙන් මං පීඩා විඳිනවා. මීට මාස 05ට කලින් මට කිව්වෙ තව ජීවත්වෙන්නෙ මාස දෙකයි කියල.
    මම චයිනීස් හර්බ්ස් පාවිච්චි කරනවා.

    ඒ වගේම විටමින් සී ඉහළ මාත‍්‍රාවන්, චීන කටු චික්තිසාව, චයිරොප‍්‍රැක්ටික්, හෝමියෝපති, සහ නියුටි‍්‍රෂනල් ප‍්‍රතිකාර ගන්නවා.

    මුලින්ම රෝගී තත්වය ගොඩක් දරුණු වුනා.

    මගේ වසා පද්ධතියට, පෙනහළුවලට සහ ඇටකටුවලට පිළිකාව පැතිරුනා.

    කියන්න සතුටුයි, මේ සතියේ පරීක්ෂාවලින් මගේ වසා පද්ධතියේ හෝ ඇටකටුවල තවදුරටත් කිසිදු පිළිකා ෙසෙල පැතිරීමක් නැති බව අනාවරණය වුනා.

    මගේ පෙනහළුවල ටියුමර්ස් 06ක් තිබුන. මේ වෙද්දි තියෙන්නෙ එයින් දෙකක් විතරයි. මොළයේ ටියුමර්ස් පවා වේගයෙන් හැකිලීයමින් පවතිනවා.

    මම කිසිම කීමෝ, රේඩියේෂන් තෙරපියක් හෝ සැත්කමක් සිදු කරලා නෑ.

    මගේ ළ`ග තියෙනවා හරිම කුතුහලය දනවන සුළු තොරතුරු බොහෝවිට වෛද්‍යවරුන් පමණක් දන්න.
    හැම අවුරුද්දකම පිළිකා වෛද්‍යවරුන් 1000ට අධික ගණනක් පිළිකා රෝගයට බඳුන් වෙනවා. එයින් 10%ක් පමණයි ඔවුන් විසින් රෝගීන්ට නියම කරන ප‍්‍රතිකාර ක‍්‍රමයන්ට යන්නෙ.

    මේක හරියටම ළමා වෛද්‍යවරුන්ගෙන් තමන්ගේ දරුවන්ට එන්නත් ලබා දෙන්නේ 25%ක පිරිසක් පමණක් වීම වගේමයි.  ඒ මෙම එන්නත් නිසා සිදුවිය හැකි හදිසි මරණ හෝ දැඩි අතුරු ආබාධ තත්වයන් එන්නතෙන් ආරක්ෂා කරන රෝගයට වඩා බරපතල වෙන්න පුළුවන්. මේකයි ඇත්ත තත්වය.

    බෙහෙත් කියන්නෙ සල්ලි. ඒක ඔබේ සෞඛ්‍ය සම්බන්ද කාරණයක් නෙමෙයි. මේ සිස්ටම් එක විසින් මිනිස්සුන්ව, විශේෂයෙන් මහළු, ආබාධිත සහ දුගී පිරිස් මාරාන්තික ප‍්‍රතිකාර චක‍්‍රයකට ඇතුල් කරනවා. ජීවත් කරන මුවාවෙන්  ඔවුන්ව නොමරා මරනවා. මේ අතරෙ සල්ලි තියෙන ධනවත්තු යුරෝපා රටවලට ගිහින් වැඩි මුදල් ගෙවා මේ විකල්ප වෛද්‍ය ක‍්‍රමයන්ගෙන් සුවපත් වෙනවා.

    විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් හැමවෙලාවකම හරි යනවද?
    කොහෙත්ම නෑ.

    කිසිම දෙයක් හැමවෙලාවකම හරියන්නෙ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඔබ මැරෙන වෙලාව ආවම ඔබ මැරෙන එක වළක්වන්න බෑ.

    ජීවිතේ ගුනාත්මක තත්වය කියන කාරණය අදාල වෙන්නෙ මෙතනදියි. විකල්ප වෛද්‍ය ක‍්‍රම පාවිච්චි කරන පිළිකා රෝගීන් මිය ගියත් ඒ අයට වඩා හොඳ ජීවිත තත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ අයට තමන්ගේ පවුලේ පිරිස් සමග ගත කරන්න වගේම අඩුම තරමෙන් අවසාන මොහොත දක්වා ඒ අයගෙ ඥාතීන්ව හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.

    ඔවුන් කීමෝ හෝ රේඩියේෂන් කරන අය වගේ අසාමාන්‍ය විදිහට දුර්වල වී යන්නෙ නෑ. මේ සාම්ප‍්‍රදායික ප‍්‍රතිකාරවලට යන අයගෙන් බහුතරයක් අවසාන මොහොත වන විට ඒ අයගේ කිට්ටුම පිරිස් පවා හඳුනාගත නොහැකි තරමේ දුර්වල වීමකට මුහුණ පානවා. ඒ අයගේ ශරීර ඒ අයටවත් හඳුනාගත නොහැකි විදිහට විකෘති වී යනවා. වෛද්‍යවරුන් විසින් ඔවුන් සනසන්නට ‘ආ දැන් ටිකක් සනීපයි’ වගේ කතා කිව්වත් ඇත්තටම සිද්ද වෙන්නෙ වතාවෙන් වතාවට ඔවුන් වඩාත් දුර්වල වීම සහ වැඩි මාත‍්‍රාවලින් කීමෝ සහ රේඩියේෂන් ලබා දීමට සිදුවීමත් පමණයි.

    මේ තත්වයේ ඇති සාපරාධීම කාරණය වෙන්නෙ වෛදයවරුන් මේ සියල්ල දැනගෙන නොදන්නවා මෙන් සිටීමයි. (මේ ලංකාවේ දොස්තරල නම් ඇත්තටම දන්නේ නෑ මං හිතන්නේ)

    මම වෛද්‍යවරයෙක් හැටියට දිවුරුම් දුන් කෙනෙක්. මම ඒ දිවුරුම හැම විටෙකම ආරක්ෂා කළා. ඒ නිසාම මුදල්මය අතින් සාර්ථක දොස්තර කෙනෙක් වුනේ නෑ. මොකද කිසි විටෙකත් මේ සාම්ප‍්‍රදායික ඇලොපති වෛද්‍ය මිත්‍යාව ඒ විදිහටම බාරගන්න මම ලෑස්ති වුනේ නෑ.’’

    -තවත් කොටසක් බලාපොරොත්තු වන්න-


    කැඩිච්ච පරිවර්තනය : චින්තන ධර්මදාස

  • ලයිසන් නැති ආදරේ

    ලයිසන් නැති ආදරේ

    සමීර ෆිල්ම් එකක් කළා කියල අහලා තිබුනත් සමීර මුනගැහුනු කිසිම තැනකදි මට ඒ ෆිල්ම් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියල හිතාගන්න අමාරු වුනා. වෙන විදිහකට කිව්වොත් සමීරගේ ක‍්‍රියේටිවිටි එක ගැන මට දැනීමක් ඇති කරන්න අපේ මුනගැසීම් වලට බැරි වුනා. විශේෂයෙන්ම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට සිස්ටම් එකට පත්තියං වෙලා ඉන්න කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් වෙද්දි මුහුණපාන දරුණු සීමාවන් මං දැකලා තිබුන. අපි නිතර මුනගැහුනු පෙ.බැ.චි.ස යෙ (පෙන්නා ගැනීමට බැරිවූ චිත‍්‍රපටකරුවන්ගේ සංසදයෙ) වුනත් සමීර වැඩිපුර කළේ  ඕගනයිසින් පැත්ත. අදහස් හැමතිස්සෙම උවමනාවටත් වඩා ප‍්‍රායෝගිකයි. මේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙකුගේ සුවිශේෂතා ඇතුලෙ ඩිරෙක්ටර් කෙනෙක් කියවගන්න එක අමාරු වැඩක්.
    පෙ.බැ.චි.ස කියන්නෙ අමුතු විදිහක එකතුවක්. චිත‍්‍රපටි හදලා පෙන්නගන්න තිරයක් නැතුව බලාගෙන ඉන්න ඩිරෙක්ටර්ස්ලා තමන්ගෙ ප‍්‍රශ්න වලට විසඳුම් හොයන්න ගත්ත උත්සාහයක්. විශේෂයෙන්ම සිනමා අධ්‍යක්‍ෂවරුන් විදිහට දැනට ඉන්න පිරිසට තමන්ගේ ප‍්‍රශ්නය තීරණාත්මක ලෙස අදාල නොවීම/ තමන්ගේ ඊළ`ග කෘතිය එලියට දාගැනීමේ මාරාන්තික සටනක ඒ අයද උපරිමයෙන් වැයවෙමින් සිටීම/එහෙම සිනමාව විවෘත කරන්නට මේ ප‍්‍රවීනයන් අවිඥානකව හෝ සවිඥානකව අකමැති වීම ආදී කවර හෝ කාරණාවක් මේ වෙනම එකමුතුවට බලපෑවා.
    අපේ චිත‍්‍රපටි පෙන්නා ගන්නේ කොහොමද කියන ප‍්‍රශ්නෙ ගැන කතාව පටන් ගත්තට විසඳුම් හොයන්න වෙන්නෙ සමස්ත සිනමාවෙ අර්බුදයකට. මේකෙ තියෙන කර්මාන්තමය සීමාවන් වලට. ඩිජිටල් තාක්‍ෂණය විසින් මගඅරින්න බැරි විදිහට මූන ඉස්සරහට ගෙනාපු අභියෝගය මේ ප‍්‍රතිසංස්කරණ වලට හොඳ අවස්තාවක් දෙනවා. මාස ගානක් පුරා කරුණු හොයමින්, විවිධ අය මුනගැසෙමින්, නැවත නැවත සංස්කරණය කරමින් පෙ.බැ.චි.ස ප‍්‍රධාන ධාරවෙ සිනමාව වෙනුවෙන් යම්තාක් ප‍්‍රගතිශීලී ලියවිල්ලක් සම්පාදනය කරන්න සමත් වුනා. ඒක අවධානයට ලක්වෙයිද නැත්නම් දරුණු මගහැරීමකට ලක්වෙයිද කියන එක ඉදිරියට බාර කාරනයක්. ඒ මොනවා වුනත් මේ සාකච්ඡුාව යට සමීරගේ ෆිල්ම් එක පෙන්නා ගැනීම අරගලයක් විදිහට තිබුන.
    විවිධ සම්මාන ඇගයුම් ලබද්දී පවා කර්මාන්තමය ඇහැකින් ඒ මොහොතේ මේ ෆිල්ම් එක රිලීස් කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ. තමන්ගේ වැහැරුනු සිනමා කෘතිය පොඞ්ඩකට පමා කරමින් මේ වෙනුවෙන් ඉඩක් දෙන්න ප‍්‍රවීනයෙක් හිටියෙ නෑ. සමීර සටන අත්ඇරියෙත් නෑ.
    ලංකාවෙ චිත‍්‍රපටකාරයෙක් වෙන්න නම් වැදගත්ම දේ තියෙන්නෙ එතන. චිත‍්‍රපටිය ලියන එක, ෂූට් කරන එක, එඩිට් කරන එක මේවා නතිං. ඒත් ෆිල්ම් එක රිලීස් කරන එක කියන්නෙ ඛේදවාචකයක්.
    මෝටර් බයිසිකල්  කීප සැරයක් කීප තැනක ප‍්‍රදර්ශනය වුනත් ඒ වටා ඇතිවුනු දරාගන්න බැරි හීට් එක හින්ද මට යාගන්න බැරි වුනා. ෆිල්ම් එකක විශේෂ දර්ශනවාර වලදි ඒක නරඹන්න ඇතිවෙන පොරබදය මාව ටිකක් එලියට තල්ලූ කරනවා.
    මට පස්සෙ බලන්න පුළුවන්. හදිස්සියක් නෑ…
    මං තියටර් එකට එනකංම හිටිය. සෙනසුරාදා රෑ 7.30 කියන්නෙ හෝල් එකක ෆිල්ම් එකක් බලන්න මරු වෙලාවක්. විශේෂයෙන්ම රීගල් වගේ තැනක, මෝටර් බයිසිකල් වගේ ෆිල්ම් එකක්.
    සමීර ලොකු කතාවක් කියන්න ද`ගලන්නෙ නෑ. දස්සයි සමනලීයි එක දවසක් මුනගැහිලා ලව් කරන්න හදනවා විතරයි. කතාවකට වඩා ඒක එක්ස්පීරියන්ස් එකක්. සමීර ඒක කියන්නෙත් හරිම  ඕෆ්බීට් විදිහට.
    ෆිල්ම් එකේ කතාවෙ චරිත දෙක දස්සයි සමනලීයි වුනාට ෆිල්ම් එක තියෙන්නෙ දස්සයි මෝටර් බයිසිකලෙයි ගැන. කෙල්ලට වඩා සමීර බයික් එක ඉස්සර කරනවා. හරිම මෙටීරියලිස්ටික් තැනක් ඉමෝෂනල් කරනවා. බයික් එක වඩාත් රොමැන්ටික් වෙන්නෙ සමනලීගේ ආදරෙත් එක්ක. ඒත් සමනලීට වඩා ගොඩ දුරක් බයික් එක දස්සා එක්ක එනවා.
    ෆිල්ම් එකේ සෑහෙන දුරක් අපි දස්සා එක්ක ආවම බස්හෝල්ට් එකකදි ෂාව (සමනලීව) මුනගැහෙනවා. සමීර ෂාට දෙනවා ග‍්‍රෑන්ඞ් එන්ට්රන්ස් එකක්. සෙනග අතරින් රතු ඇඳුමක් ඇඳන් ෂා එද්දි මට මං වහවැටුණු දෙමළ ෆිල්ම් පෙලක් එකදිගට මතක් වුනා.
    දස්සයි සමනලීයි ෆිල්ම් එකේ ඇක්ට් කරනවට වඩා ලොකු දෙයක් කරනවා. ලංකාවෙ අපි  ඕනතරම් දැකලා තියෙනවා ඇක්ට් කරන නළුනිළියො. ඒත් ඒ චරිතවල ජීවත් වෙන උන් අපිට මුනගැහෙන්නෙ අන්තිම කලාතුරකින්. උන් දෙන්නා මේ චරිත අතරෙ මාර කෙමිස්ටි‍්‍රයක් හදාගන්නවා. නිදහසක් බුක්ති විඳිනවා. වෙනම විදිහක ආදරයක් ගොඩනගනවා.
    ෆිල්ම් එකේ දස්සටයි සමනලීටයි උන්ම වෙන්න ඇරලා සමීර බලන් ඉන්නවා. ඒ චරිත දෙක හැදෙන්නෙ උන් දෙන්නගේ ඇත්ත ජීවිතේ කොටස් වලින්. එහෙම වෙද්දි අපිට පුළුවන් කිසි දෙයක් සිද්ද නොවුනත් තිරයක් දිහා බලන් ඉන්න.
    මේ විදිහට සිංහල සිනමාවෙ ඊළග නළුවා සහ නිළිය බිහිවෙන්නෙ සමීරගෙ චිත‍්‍රපටිය ඇතුලෙ. දසුන් සහ සමනලී අනිවාර්යෙන්ම අනාගත සිනමාවෙ  අමරසිරි සහ මාලනී වගේ වෙනවා. (රූපක දෙකක් විදිහට කිව්වට මුන් දෙන්නා ඒ පරණ දෙන්නට වඩා ගොඩක් ලොකුයි)
    සමීර ෆිල්ම් එකේ කරලා තියෙන ලොකුම ජයග‍්‍රහනය මේකයි. ගොඩක් ඇත්ත දේවල් වලට ඒ විදිහටම පවතින්න තමන්ගෙ නිර්මානෙ ඇතුලෙ ඉඩ දෙන එක. ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මේක අන්තිම අමාරු වැඩක්. හැමදේකම තමන්ගේ සළකුන තියන්න නිර්මාණකරුවෙකුට ඇතිවෙන ස්වභාවික පෙළඹවීමෙන් එලියට ගිහින් කරන්න  ඕන වැඩක් මේක.
    අජියාගේ සංගීතය වුනත් ෆිල්ම් එකේ පාවිච්චි වෙන්නෙ ඒ විදිහට. මේ කතාව හෝ චරිත අපි ඉල්ලා සිටින රිද්මයක පවතින්නෙ නෑ. මේවා හරියට සොසයටි එකේ ‘පිච්’ වෙලා නෑ. එතකොට ඒ අයව කියවන සංගීතය සමීර සම්මත ‘ලස්සනට’ අදාල නොවෙන තැනකම තියනවා.
    අම්ම මගේ…. මං අම්මගේ…
    සිංදුවල පාවිච්චි වෙන වචන වුනත් ආර්ට් කරන්න යන්තම්වත් උත්සාහයක් දරලා නෑ. ඒ අමුකමම අව්‍යාජත්වයක් එක්ක අපූර්වත්වයක් නිර්මාණය කරනවා. ඒක තමයි ක‍්‍රියේටිව් වැඩකින් වෙන්න පුළුවන් උපරිමය.
    ෆිල්ම් එකේ මං කැමතිම දෙබස් කන්ඩෙ එන්නෙ පාරෙ කුකුල්ලූ විකුනන මිනිහගෙන්. ඒක ඒ මනුස්සයා ඇත්තටම ඒවා විකුනන විදිහ. සමීර ඒක ඒ විදිහටම ෆිල්ම් එකට ප්ලග් කරනවා. කවදාවත් අපිට ලියලා දනවන්න බැරි සජීවිකමක් වගේම තේරුමක් එතනින් එකතු වෙනවා.
    එක විදිහකට මේක චිත‍්‍රපටිය කියන්නෙ කොළඹ එකලස් කිරීමක්. සරල කතාවක් ඇතුලෙ සමීර කොළඹ වටේ අපිව අරගෙන යනවා. පුංචි පුංචි ඞීටේල් ළ`ග නතර වෙලා බලන් ඉන්නවා. අපි හැමදාම දකින ඒත් ස්ක‍්‍රිප්ට් එකක් ලියන්න ගත්තම නොලියවෙන ගොඩක් සුන්දර පුංචි පුංචි ජීවිත අංශූ සමීර මෝටර් බයිසිකලේකින් එකතු කරනවා.
    කතාව ඇතුලෙ  අතුරු චරිත නිර්මාණය වෙලා තියෙන විදිහත් ගොඩක් පරිණතයි. උදා විදිහට කළණ කරන පාතාලේ චරිතය ගැන අපි කිසිම අගක් මුලක් දන්නෙ නෑ. පොඩි සිදුවීම් ටිකක් හරහා ඒ චරිතය ගැන අපිට ඇති කරන දැනීම මාර ලොකුයි. කළණ ඒක කරන විදිහත් මරු.
    සමීර මෝටර් බයිසිකල් ඇතුලෙ සම්මාන සිනමා වට්ටෝරුවට වැටෙන්නෙ නෑ (කලාපීය සම්මාන කීපයක් ලැබුනත්) . සම්මාන සිනමාව ඇතුලෙ හැදුන වියලි කලාපීය වනචර ගම වෙනුවට සමීර කොළඹ කොටුව තෝර ගන්නවා. අජීවී එකතැන පැය ගනං පැලවෙන රූපරාමු වෙනුවට සරල සජීවී චරිතවල රිද්මයට කැපෙන රූපරාමු කලාවකින් එයා කතාව කියනවා.
    ලංකාවෙ මහා පේ‍්‍රක්‍ෂාගාරය වෙනුවෙන්  ඕෆ්බීට් වැඩක් කරන්න සමීර ට‍්‍රයි කරනවා. මේ කතාව ගත්තොත් ඒක මේන්ස්ටී‍්‍රම් කතාවක්. ඒත් සමීර ඒ කතාව ගොතන්නෙ මේන්ස්ටී‍්‍රම් නොවෙන එලිමන්ට්ස් එකතු කරලා. පල්සර් එකක් වෙනුවට කොල්ලට තියෙන්නෙ කෑලි හැලෙන නයින්ටියක්. මේකෙ ගහගන්න යන, හොඳට සිංදු කියන, හැන්ඩි වීරයෙක් නෑ. කොල්ලා වෙනුවෙන් මරාගෙන මැරෙන, පාට තවරපු,, මොඞ්ල් කෙනෙක් වගේ වීරවරියෙකුත් නෑ. ඒ වෙනුවට සරල කොට ජීවිත දෙකක පාරෙ දුවන ලව් එකක්.
    පළවෙනි වතාවට චිත‍්‍රපටියක් කරන ඩිරෙක්ටර් කෙනෙක් අතින් මේ තරම් හොඳට දේවල් ගැලපෙනවා කියන්නෙ මැජික් එකක්. අපේ සිනමාව ඇතුලෙ කවදාවත් කොල්ලෙක් සහ කෙල්ලෙකුගෙ ආදරේ ඇතුලෙ පාවිච්චි නොකරපු ‘කියුට්නස්’ කියන එක මෝටර් බයිසිකල් වලින් අලූතෙන් ස්ථානගත කරන රසයක්. ඒ ඉනසන්ස් එකයි ඇත්ත සමාජ පසුතලය විසින් විනාස කරමින් ඉන්නෙ. නිශ්චිත දුෂ්ටයෙක් නෑ. මුලූ මහත් ක‍්‍රමයම මේ ආදරයට දුෂ්ටයි.  එදිනෙදා වැල්ලෙ ගල් උඩ, වික්ටෝරියා පාර්ක් එකේ විසිල් මැද්දෙ, නිදහස් චතුරශ්‍රෙ අත් අල්ලන්නවත් බැරුව විඳවන කොල්ලො කෙල්ලො ගානක් ගැන සමීර නරඹන්නාව සංවේදී කරනවා.
    ආදරේ වල්කමක්, පාදඩකමක්, හෝ තහනම් කළ යුතු දෙයක් විදිහට දකිනවට වඩා ඒ දිහා ‘ඉනසන්ස්’ කියන එක ඇතුලෙන් බලන්න මෝටර් බයිසිකල් රවුමක් සමීර තිරය උඩට අරන් එනවා.
    මේ තරම් සමූහ දර්ශන සහ අසීරු දර්ශන තල හසුරුවා ගැනීම කියන්නෙ පළවෙනි වතාවට ෆිල්ම් එකක් කරන එකෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තත්වයක්. ප‍්‍රවීනයන් පවා ඉතා හොඳින් ඇනගන්නා ප‍්‍රදේශයක මෝටර් බයිසිකලේ කිසි ගානක් නැතුව දුවනවා. ඒ හැම අතුරු චරිතයක්ම පාහේ මතක හිටින තරම් සුවිශේෂීව නිර්මාණය කරන්න සමීරට පුළුවන් වෙනවා.
    විශ්වගේ කැමරාවත් ෆිල්ම් එකට උපරිම සාධාරණයක් කරනවා. ඒ නාගරික බව කැප්චර් කරන රූප රාමු හරිම ආකර්ශනීයයි.  ඕනකරන පොප් ගතිය තමන්ගෙ රූපයේ රඳවාගන්න වගේම හරිම නිරායාසික බවක් දනවන්න විශ්වගේ සරල කැමරා ආඛ්‍යානයට පුළුවන් වෙනවා.
    ෆිල්ම් එකේ අවසානයට නම් මගේ බරපතල අකමැත්තක් තියෙනවා. ඒ නිසාම බලන නරඹන්නො ගොඩක් හිස් ගතියකට, බිඳ වැටීමකට යන්න පුළුවන්. මුල එක්ක බැලන්ස් වෙන විදිහට අමුණලා අතිසංවේදී නිමේෂයකින් කතාව කූටප‍්‍රාප්තියට ගේන්න සමීර කෘතිමව කරන ට‍්‍රයි එක ඇතුලෙ ෆිල්ම් එකේ අවසානය ලොකු හිලක් හදනවා.
    එලියට එනකොට ඉතුරු වෙන්නෙ ඒ හිස්කම වුනත් ඒක ෆිල්ම් එක ගැන ඇත්ත නෙමෙයි.
    මේක සෑම කොල්ලෙක් සහ කෙල්ලෙක්ම පංති කට් කරලා ගිහින් නරඹන්න  ඕන ෆිල්ම් එකක්. ගල් උඩ, කණු යට ලව් කරලා සෙකියුරිටි පොලිසි නලා සද්ද මතක හැම වැඩිහිටියෙක්මත් බැන බැන එන්න හරි ගිහින් නරඹන්න  ඕන ෆිල්ම් එකක්.
    රුපියල් පන්සීයක් විතර අරන් ඇවිත්, යන්න එන්න තැනක් නැතුව, විසිල් පාරවල් කමින් ගතවුණු දහඅටේ ආදරේ ආතල් එක ආයි ආයිමත් මිස් කරවන පැය එකයි විනාඩි හතලිස් පහක්.

    චින්තන ධර්මදාස

  • බල්ලො ගොඩක් මැද පූසෙක්..

    බල්ලො ගොඩක් මැද පූසෙක්..

    (රාවය පුවත්පතේ “කියනු මැන දිවි අරුත” අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි)

    මං මිනිස්සුන්ව දකිනවා ප‍්‍රධාන කොටස් දෙකක් විදිහට. පූසො සහ බල්ලො. එතනින් මං වැටෙන්නෙ පූසන්ගෙ කාන්ඩෙට. තනියි. පොකුරුවාසී ජීවිතේට අකමැතියි. තනි නිදහස ගැන උපරිමෙන් හිතනවා. ඒත් ගොඩක් වෙලාවට සමාජ දේශපාලන වැඩවලදි අපිට මුනගැහෙන්නෙ බල්ලො. සාමූහිකයි. රැලේ තීරණයට යනවා. ඉතිං මගේ බරපතල නොපෑහීමක් තියෙනවා මං ගැවසෙන විෂය ප‍්‍රදේශයත් එක්ක.
    ඇත්තටම ඇයි පූසෙක් සමාජ කාරණා ගැන උනන්දු වෙන්නෙ? එතනදි මේ අවුල අහුවෙනවා. මට සමාජය කියන්නෙ මගෙන් පිටත පවතින දෙයක් නෙමෙයි. ඒක මගේ පුද්ගලික ජීවිතය සමබන්ද කාරණයක්. මං නොදන්නා කලාපයක මගෙන් බාහිර දෙයක් වෙනුවෙන් මං පෙනී ඉන්නෙ නෑ. මගේ සාකච්ඡුාව තියෙන්නෙ මගේ අවට ගැන. මගේ නිදහස ගැන. මට හිතෙන්නෙ හැම මනුස්සයෙක්ම ඒ විදිහට තමන්ගෙ ජීවිතේට දැනෙන තැනින් ප‍්‍රශ්න ගැන කතා කළොත්, තමන්ගෙන් බාහිර ඔබ්ජෙක්ටිව් කියල මවාගත් තැනකින් නැතුව, අපිට විවාදයක් නෑ. එතන තියෙන්නෙ සංවාදයක්. මනුස්ස ජීවිත හුවමාරුවක්.
    මං නැවත නැවත පරීක්ෂා කරන්නෙ මාව. ගොගොල්ස් දෙකක් සහ ඔක්සිජන් ටැංකියක් අරගෙන සහ නැතුව මං නැවත නැවත කිමිදෙන්නෙ මගේ හිතුවිලි පතුලට. මට දේශපාලනය, දර්ශනය, විද්‍යාව, මිත්‍යාව හැමදේම මුනගැහෙන්නෙ මගේ ආත්ම පතුලෙදි. ඒක අන්තිම සාපේක්ෂයි. මං කැමතියි සාපේක්ෂ පුංචි පුංචි සත්‍යයන් දහස් ගානකින් හැදිච්ච ලෝකෙකට. අනිත් පැත්තට මං අකමැතියි එක සත්‍යයකින් ජීවිතේ ඉසව්වක්ම වහගන්න සමතල ලෝකෙකට. මං සමානකම් වලට වඩා වෙනස්කම් වලට ආසයි.
    මං ලෝකෙ සියල්ල විශ්වාස කරන කෙනෙක්. ඒ මතුපිට සත්‍යය හෝ අසත්‍යය කියන කාරනයට වඩා මං ආකර්ශනය වෙන්නෙ ඒ සත්‍යය හෝ අසත්‍යය පැන නගින උවමනාව ගැන. ඒකට සම්බන්ද පැවැත්මීය කාරණය ගැන. එතනදි මට අපේ රටේ ගොඩක් වෙලාවට මුනගැහෙන්නෙ සර්වයිවල් කියන උත්තරේ. ඒක හරිම බාල තැනක්. අපි සර්වයිවල් කියන තැනින් තීරණ ගන්නවා කියන්නෙ කිසිම දවසක මනුස්ස පැවැත්මෙ උපරිම ආනන්දයන් (ආතල්) ගන්න ලැබෙන්නෙ නෑ. ලෝක ලංකාව වගේ වුනානම් කවදාවත් කවුරුවත් අභ්‍යවකාශෙට යන්නෙ නෑ.
    තේරුම් ගැනීමේ ගැඹුරු සාධනාවක් විදිහට මං සයිකඩෙලික්ස් විශ්වාස කරනවා. එක්ස්ටී‍්‍රම් එකකට ගිහින් කියනවා නම් සයිකඩෙලික්ස් පාවිච්චි නොකරන මිනිස්සු ජීවිතේ ගැන කියන ගැඹුරු කාරණා මම සීරියස් ගන්නෙ නෑ. අපිට සයිකඩෙලික්ස් අනිවාර්යෙන්ම  ඕන වෙනවා සාමාන්‍ය පොදු පැවැත්ම විසින් අපි ඇතුලෙ හදපු ආකෘතීන් ගලවගෙන යන්න. උදා විදිහට එල්එස්ඞී වගේ සයිකඩෙලික් එකක් තමන්ගේ පැවැත්ම ගැන දෙන ගැඹුරු අවබෝධය හැම සිතීමක් සහිත මනුස්සයෙකුටම ලැබෙන්න  ඕන දෙයක්. එහෙම නැති වුනාම අපි විකාරසහගත විදිහට මනුස්ස ජීවිතය බාල්දු කරන සුළු සාමූහිකත්වයක් නඩත්තු කරමින් ඉන්නවා.
    මට පුළුවන් තාර්කිකත්වය වගේම අතාර්කිකත්වය ඇතුලෙත් ජීවත් වෙන්න. ඇත්තටම නං මට තාර්කික දේවල් සෑහෙන බෝරිං. ඒ වගේම මිත්‍යාව ඇතුලෙ මට විද්‍යාවට වඩා ගොඩක් ඇත්තවල් මුනගැහෙනවා. මට ලෝකෙ කිසි දෙයක් සැබෑ හෝ ස්වාභාවික නෑ. හැම දෙයක්ම ගොඩනැංවීම් වගේම හැම මනුස්සයෙක්ම තමන්ගෙ ජීවිතය ඇතුලෙන් ඒ ගොඩනැංවීම් යම් පමනකින් හෝ සංස්කරණය කරන්න  ඕන. ඒක තමයි ශිෂ්ටාචාරය.
    පුද්ගලික පටන් ආයතනික දේවල් දක්වා පාලනය හෝ අධිකාරිමය සියල්ල මට අවුල්. ඒ වෙනුවට මං විශ්වාස කරන්නෙ සියලූ හොඳ සහ නරක මිනිස් ආශාවන් අනෙකාට හානිකර නොවන විදිහට මුදාහැරිය හැකි සමාජ අවකාශයක් ගැන. ඒත් ඒ අවකාශය නිර්මාණය කරන්න අපිට  ඕන වෙනව සවිඳාණක පුරවැසියෙක්.
    ඒ ගැන සිද්ද වෙන සාකච්ඡුාවෙදි හැමතිස්සෙම,
    මම බල්ලො ගොඩක් මැද පූසෙක්..

    චින්තන ධර්මදාස

  • ළිදේම සිටීම මැඩියන්ගේ අයිතියකි

    ළිදේම සිටීම මැඩියන්ගේ අයිතියකි

    ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ඇතිවෙලා තියෙන සංවාදය ටිකක් නෙමෙයි ගොඩක් විකාරරූපී එකක්. ඒත් ඇත්තටම අපේ වගේ රටවල අධ්‍යාපනය හැසිරෙන්නෙ කොහොමද සහ එයින් නිෂ්පාදනය වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක හොඳ සංදර්භයක් සපයනවා. මේ සංවාදය වඩාත් ආකර්ශනීය වෙන්නෙ මේකටම ගැටගැහිලා සයිටම් එකෙන් පුද්ගලික දොස්තරලා බිහිකරනවාට එරෙහි අරගලයකුත් දියත් වෙන නිසා.
    මේ වෙනුවෙන් ‘නිදහස් අධ්‍යාපනය සුරකිනු’ කියල බෝඞ් ලෑල්ලක් ගහගෙන මං පොඩිකාලෙ ඉඳන්ම අහපු සටන් පාට කියමින් ආචාර්ය මහාචාර්ය සහ ශිෂ්‍ය අනුගාමික පිරිසක් එක පැත්තක ඉන්නවා. ‘අධ්‍යාපනයේ නිදහස සුරකිනු’ කියලා තව බෝඞ් ලෑල්ලක් ගහගෙන තවත් ආචාර්ය මහාචාර්ය ශිෂ්‍ය අනුගාමික පිරිසක් අනිත් පැත්තෙ ඉන්නවා. ඒතනදි අලූත් අදහසක් තියෙන්නෙ දෙවෙනි කට්ටියට. පලවෙනි එක ටිකක් පිළුනුයි.
    ෆේස්බුක් වගේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මීඩියා නිසා  ඕනම බුද්දිමතෙක්ගෙන් නැවත හැරිලා ප‍්‍රශ්න කිරීමේ අයිතියක් හැදිලා තියෙනවා. ඒක නිසා ‘කියවලා එන්න’‘තව හදාරන්න’ වගේ ඇකඩමික් තගවල් වැඩකරන්නෙ නැතුව යනවා. ඉස්සර නම් මාධ්‍ය කීපයකට ඇවිත් ඒ සිවිල් ආරක්ෂාව යටතේ තමන්ගෙ මතය දමා ගැසීමෙන් සහ මහජන පුස්තකාලෙ රැුස්වීමක් පැවැත්වීමෙන් තමන්ගෙ තත්වය ආරක්ෂා කරගන්න බුද්දිමතුන්ට පුළුවන් වුණා. ඒත් දැන් ඒ අය කොයිතරම් අකමැති වුනත් ඊට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් විවෘත වෙලා තියෙනවා.
    මේ විදිහට හිත හිත ඉන්නකොට එක දවසක් විශ්ව විද්‍යාල ප‍්‍රයිවෙට් කරන එක ගැන කරපු ‘විද්වත්’ වර්ගයේ සාකච්චාවක් යූටියුබ් එකේ තියෙනවා දැක්ක. ඉස්සරහට ලියන්න යන අදහස් ඇත්තටම ඉන්ස්පයර් වුනේ ඒ සාකච්චාවෙන්. (ලින්කුව පහතින්)
    අධ්‍යාපනය ප‍්‍රයිවටයිස් වෙන එකෙන් සිද්ද වෙන්න පුළුවන් මොකක්ද? මේකට විරුද්දව පෙනී ඉන්න කට්ටියට අනුව මේකෙන් අධ්‍යාපනයේ තත්වය බාල වෙන්න පුළුවන්. තරගය ඇතුලෙ කොලිටිය බාල වෙනවා කියල ඇහුවමයි මම. එතනදි අමතක කරන කාරනේ වෙන්නෙ කොලිටිය නැත්නම් ගුනාත්මකය කියන එක පටන්ගන්නෙම තරගය ඇතුලෙ කියන එකයි. සමස්තයක් හැටියට නැත්තං පුළුල්ව දෙයක් දිහා බලන්න තියෙන නොහැකියාවෙන් පෙලෙන්නෙ නැති   ඕන කෙනෙකුට තරගය හරහා  ඕනම අංශයක ඍජුව සහ වක‍්‍රව සිද්ද වෙන ගුනාත්මක වර්ධනයන් දැකගන්න පුළුවන්. බාල දේවල් ගොඩක් ප්‍රොඩියුස් වෙනවා නම් ඊළ`ග මාර්කට් එක හැදෙන්නෙ ඊට වඩා යම් පමණක් හෝ කොලිටි ප්‍රොඩක්ට් එකකට. පරිභෝජනය කළ හැකි පිරිස අඩු වෙන්න පුළුවන්. ඒත් ඒක නැවත සමස්තයේ කොලිටිය ඉහල නැංවෙන්න බලපානවා. උදා විදිහට අද අපි පාවිච්චි කරන චයිනීස් ෆෝන් එකක් වුනත් සාපේක්‍ෂව ඉහල කොලිටියක් මේන්ටේන් කරනවා.
    ආර්තික විද්‍යාව පැත්තකට දැම්මත් මේ කොලිටි ප‍්‍රශ්නෙදි සාමාන්‍ය පෘතග්ජන ජනතාවට එනවා ප‍්‍රශ්නයක්. ඒ තමයි,
    එතකොට දැනට මේ පවත්වාගෙන යන අධ්‍යාපනයේ කොලිටිය මාරයිද?
    ඒක ගොඩදාන්න ප‍්‍රයිවෙට් අරහං පිරිස නැවත යෝජනා කරන්නෙ රාජ්‍ය කළමනාකාරීත්වය. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු නොවෙන  ඕනම සාමාන්‍ය මනුස්සයෙක් දන්න කාරණයක් අපේ රටේ ඒ රාජ්‍ය කටයුතු කොයි වගේද කියන එක.
    මේ සාකච්චාවෙදිම ප‍්‍රයිවෙට් එපා කියන පැත්තට කතා කරන ආචාර්යවරයෙක් පැහැදිලිව කියනවා ලංකාවෙ ඒ ලෙවල් වලින් කැම්පස් එකට තෝර ගැනීමේ ක‍්‍රමයෙ ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා කියල. කිසිම දෙයක් කරගන්න විශාල පිරිසක් ආර්ට් ෆැකල්ටිවලට තෝරගන්නවා කියල. මේ තෝරා ගැනීමේ වැරැුද්ද කරන්නෙ ඒ කියන රාජ්‍ය ක‍්‍රමයම තමයි. මං දන්න කාලෙ ඉඳන් අහන මේ අවුලට තාම විසඳුමක් හදාගන්න බැරි රාජ්‍ය අංශයට නැවත අධ්‍යාපනය පැවරිය යුතුයි කියන එකේ සිහිබුද්දිය මොකක්ද?
    තව මාර කතා වගයක් එයා කියනවා. තොග පිටින් එලියට දාන උපාදිදාරීන්ට රැුකියා නැති වීම උපාදියෙ ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඒක ආර්තික කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රශ්නයක් කියල එයා බෝලෙ කැම්පස් එකෙන් එලියට දානවා. එතකොට ඒ ආර්තික කටයුතු අමාත්‍යංසෙ ඉන්නෙ කවුද? ඒ අය මේ විශ්ව විද්‍යාලවල උපාදිදාරීන් නෙමෙයිද? මේ රටේ ආර්තික ප‍්‍රතිපත්තිවලට උපදෙස් දෙන ඒවා සකස් කරන අය මේ කැම්පස්වලින් එලියට ආපු අය නෙමෙයිද? එතකොට මේ දැවැන්ත අර්බුදයට හේතුවම නැවත රාජ්‍ය අධ්‍යාපනයේ අවුල නෙමෙයිද?
    අධ්‍යාපනයේ ගුනාත්මක තත්වය ගැන උනන්දු වෙන මේ පිරිස කවදාවත් තොග පිටින් උපාදිදාරීන් රාජ්‍ය සේවයට බඳවාගනිද්දි ඒකට විරුද්ද වෙන්නෙ නෑ. මේ තොග පිටින් සහතිකය විතරක් හින්ද රස්සාවලට ගන්නා පිරිස් නිසා රාජ්‍ය අංශයෙන් විශාල ජනතාවකට සැපයෙන සේවාවන් පිරිසක් අර්බුදයට යාමේදී මේ අයට කොලිටිය ගැන කිසි කතාවක් නෑ.
    මේ ආචාර්යවරයා පැහැදිලිව කියනවා විශ්ව විද්‍යාල වලින් සැපයෙන්නෙ ක‍්‍රිඩෙන්ෂල් එකක් කියල. ඊට පස්සෙ කියනවා අපේ අධ්‍යාපනය ඉස්සරහින් ආර්තිකය පස්සෙන් කියල. ඒක හින්ද උපාදිදාරීන්ට රැකියා නෑ කියල. ක‍්‍රිඩෙන්ෂල් වලට දෙන අධ්‍යාපනයක් කොහොමද මර්වින් සිල්වාට දෙන ආචාර්ය උපාදියකින් වෙනස් වෙන්නෙ? එතකොට විශ්ව විද්‍යාල ඇතුලෙ අධ්‍යාපනය යනු තවදුරටත් දැනුම නෙමෙයි. අධ්‍යාපනය යනු සහතිකයක්. මොකද්ද මේ සහතිකය?
    මෙතනදි මේ ආචාර්යවරයා විසින්ම අතිශය හිරිකිත කතාවක් කියනවා. ඒ කතාව අධ්‍යාපනය පුද්ගලීකරණය ගැන සංවාදය ඇතුලෙ ඉන්න අය නැවත නැවත අහන්න  ඕන එකක්. එයා කියනවා, විශ්ව විද්‍යාල වලින් දෙන්නෙ අධ්‍යාපනයක් නෙමෙයි සමාජ සහතිකයක් කියල. ඒක ආවාට ගියාට දෙන්නත් බෑ කියල.
    ඒකයි අධ්‍යාපනය පුද්ගලීකරණයට විරුද්ද ඇත්ත තැන.
    විශ්ව විද්‍යාලවලින් අපිට සමාජ සහතික  ඕනද? මේ කියන්නෙ සමාජ තත්වය ගැන රදල වැඩවසම් කතාවක් නෙමෙයිද? මේක බමුණු කුලයක් ගැන අදහසක් නෙමෙයිද? විශ්ව විද්‍යාලවලින් අවශ්‍ය දැනුම හෝ හැකියාව වෙනුවට සමාජ තත්වයක් සහතික කිරීමේ අදහසම මේ විද්‍යාල වර්තමානයට නොගැලපෙන වගට සහතිකය නෙමෙයිද?
    අධ්‍යාපනයේ තත්වය ගැන කතා කරාට මේ ප‍්‍රයිවෙට් විරෝදී පිරිස ලෝක මට්ටමේ රෑන්කින් පිලිගන්නෙත් නෑ. අපේ කතාවෙ ප‍්‍රධාන චරිතය විදිහට එන ආචාර්යවරයා ඒ ගැන ලොකු අධ්‍යනයක් කරලා ඒ රෑන්කින් අපිට පිළිගන්න බෑ කියල ඔප්පු කරනවා. ඒක මාර සොයා ගැනීමක්.
    එතකොට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ඉන්න ඉදිරිපෙල චරිත විදිහට මේ රෑන්කින් අවුල ගැන මේ අය මොනවද කළේ? අධ්‍යාපනය කියන්නෙ ලොකු වෙළඳපොලක්. අපේ රටේ අධ්‍යාපනය අසමසම මට්ටමකින් තියෙද්දිත් ලෝකය මේ විදිහට ඒ තත්වය අවතක්සේරු කිරීමට එරෙහිව අඩු ගානෙ කලාපයටවත් එකග විය හැකි රෑන්කින් ක‍්‍රමයක් මේ අය අඳුන්නලා දීලා තියෙනවද? ඒ වගේ රෑන්කින් ක‍්‍රමයකට අඩු තරමෙ කලාපයවත් එකග කර ගන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවද? ඇකඩමික්ලා විදිහට තමන්ගෙ වගකීම මේ අය ඉටු කරලා තියෙනවද?
    මේක මහින්ද රාජපක්ෂ වර්ගයේ සිතීමක්. ලෝකෙ අඩුම බජට් මාර එෆිෂන්ට් හෙල්ත් සර්විස් එක කියල ලෝකෙ රෑන්කින් අනුව ලංකාව පිළිගනිද්දි ඒකෙ අවුලක් නෑ. රටේ ඇත්ත සෞඛ්‍ය වියදම මේ බජට් එකේ පරාවර්තනය වෙන්නෙ නෑ නේද කියල ඒ අයට මතක් වෙන්නෙ නෑ. ඒත් රජයේ කැම්පස් ටික ?න්කින් වලින් එහා කොනට විසි වෙද්දි ඒ ?න්කින් අවුල්. ඒවා විදේශීය කුමන්ත‍්‍රණ.
    තමන්ගෙ සමාජ තත්ව සහතිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ අය සටන් වැදීම ස්වබාවිකයි වගේම වෙන්න  ඕන දෙයක්. ඒත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන උවමනාව මොකක්ද? අධ්‍යාපනය පෞද්ගලීකරණය හරහා අභියෝග වෙන්නෙ ඒ සමාජ සහතිකය නම් කළ යුත්තෙ වහාම ඒ ක‍්‍රියාවලිය ඉක්මන් කරන එකයි. රදල වැඩවසම් අගයන් පුළුවන් තරම් ඉක්මනට වලදාන්න කටයුතු කරන එකයි.
    මේක චිත‍්‍රපටි වලදිත් වුනා. ලංකාවට ඩිජිටල් කැමරා ගේනකොට ඒ ක්‍ෂේත‍්‍රයේ දැනමුත්තො කිව්වෙ, දැන් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කොම ෆිල්ම් හදයි කියල. එක එක කඩතුරා වලින් වහගෙන හිටපු තමන්ගෙ වැඩවසම් ආදිපත්‍යයන් හෙල්ලෙන කොට ප‍්‍රතිවිරෝදයන් එනවා. ඒත් තාක්‍ෂණය විසින් අනිවාර්යෙන්ම පරණ සිස්ටම් එක පරාද කරනවා. උදා විදිහට ඉන්ටර්නෙට් එක විසින් රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ඔය කියන අගය දෙකේ කොලේට වට්ටනවා.
    පුද්ගලික විශ්ව විද්‍යාල හරහා තොග පිටින් උපාදිදාරීන් බිහි වුනාම මොකද වෙන්නෙ? එතකොට උපාදියට රස්සාවක් කියන කතාව ඉවර වෙලා යනවා. ඒ වෙනුවට දක්ෂතා ඇති අයට රැුකියා වෙළඳපොල විවෘත වෙනවා. උපාදිදාරීන්ට රැුකියා නැති වීම ආර්තික කටයුතු අමාත්‍යංසෙ ප‍්‍රශ්නයක් කියපු ආචාර්යවරයා නිතරම අමතක කරන්නෙ තමන් ජීවත් වෙන යුගයයි. මේ උපාදිදාරීන් ඔය කියන තරම් ගුනාත්මක නම් ආසාර්තක රාජ්‍ය යාන්ත‍්‍රනයෙන්ම රැකියා ඉල්ලන්නෙ ඇයි? තමන්ගේ හැකියාවෙන්, තමන්ගෙම අදහස් ආයෝජනයෙන් ස්ටාර්ට්-අප්ස් වගේ දේවල් පටන් ගන්නෙ නැත්තෙ ඇයි? අන්තිමට කිසිදු නිර්මාණාත්මක හැකියාවක් නැති සමාජෙන් යැපෙන්නො පිරිසක් බවට පත්වෙලා තියෙන්නෙ ඇයි?
    මේක සිතීම ගැන ප‍්‍රශ්නයක්. අභ්‍යන්තර තත්ව පාලන ක‍්‍රම හරහා තමන්ගෙ හැකියා පුහුණුව යම් මට්ටමකින් පවත්වාගෙන යන වෛද්‍ය අංශයට පවා මේ සිතීමේ බංකොලොත් බව අදාලයි. වෛද්‍යවරුන් සයිටම් එකට විරුද්ද වන්නේත් මූලිකවම මේ සමාජ තත්ව සහතිකය අර්බුදයට යාමේ වැඩවසම් ප‍්‍රශ්නය උඩයි. ඒ කිසිදු නිර්මාණාත්මක දැක්මක් වර්ධනය කරගෙන නැති නිසා තමන්ගේ හැකියාව (ස්කිල් එක) ලේසියෙන්ම තවත් කෙනෙකුට රිප්ලේස් කළ හැකි බව දන්නා නිසයි. එතකොට ජනතාවගේ පැත්තෙන් මට කියන්නෙ තියෙන්නෙ මොකක්ද?
    ‘බළලා මැට්ටෙන්ද ලීයෙන්ද කියල මට අදාල නෑ. ඌ මීයො අල්ලනවා නම්…’
    මේ මාතෘකා කරගත් යූටියුබ් වීඩියෝවෙ එක තැනකදි මේ ප‍්‍රධාන ආචාර්යවරයාට සපෝර්ට් එක පිනිස තව අචාර්යවරයෙක් උදාහරනයක් ගේනවා. ඒ උදාහරනෙ ඇත්තටම මරු තැනක් පෙන්නනවා මේ ප‍්‍රයිවෙට් විරෝදී සිතීමේ දුප්පත්කමට.
    ඔන්න එයා අහනවා,
    ‘තරගය ඇතුලෙ ගුනාත්මක තත්වය වැඩිවෙනවා නම් ඉස්සර ගුවන් විදුලි සංස්තාවෙ තිබුන ගුනාත්මක තත්වය දැන් ඔය කිසි රේඩියෝ චැනල් එකක තියෙනවද?’
    එතකොටම අනිත් ආචාර්යවරයා කියනවා, අද ටෙලි නාට්‍ය කලාවට මොකද වෙලා තියෙන්නෙ? (ඉස්සර තිබ්බ එක කොච්චර හොඳද) කියල.
    මේක අහපු ගමන් මාව ෂොක් වුනා. ලංකාවෙ ගුවන් විදුලි සංස්තාව කියන්නෙ මොකක්ද? තමන්ට උවමනා දේ බලෙන් ඇස්සවීමට පිටින් ලංකාවෙ ගුවන් විදුලිය මිනිස්සුන්ගෙ උවමනාවලට කන්දීපු මාධ්‍යයක් නෙමෙයි. මේ ආචාර්යවරුන් වගේ පිරිස් විසින් නඩත්තු කරපු සම්භාව්‍යවාදයට කඬේ ගියා මිස ගුවන් විදුලිය ජන මාධ්‍යයක භූමිකාව කළේ නෑ.
    මේ ආචාර්යවරයා විසින් කියන්නෙ සුප‍්‍රිමසි ගැන කතාවක්. තමන්ගේ ඇගයුම් පද්දතියට පිටින් බහුතරයක උවමනා වෙනුවෙන් මාධ්‍ය හැඩගැසීම ගැන චෝදනාවක්. මොකක්ද මේ ගුනාත්මක තත්වය ගැන කියන්න එයාට ගන්න පුළුවන් නිර්නායක?
    තාක්‍ෂණික උපකරණ අතින්, භාවිතාවන් අතින්, විවිධත්වය අතින්, මිනිස්සු එක්ක සම්බන්ද වීම අතින් දැන් තියෙන රේඩියෝ චැනල් හැම එකක්ම වගේ හොඳටම දියුණුයි. ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් පරණ ගුවන් විදුලි සංස්තාව එක්ක සමාන කරන්න යනවා කියන්නෙ වොල්වො එකකුයි බක්කි කරත්තෙකුයි කම්පෙයාර් කළා වගේ වැඩක්. ඒත් මේ ආචාර්යවරයාගේ ඔලූව තියෙන්නෙ තාම අර නොස්තැල්ජියාව උත්තරීතරයි කියල. පැහැදිලියි කතාව. අධ්‍යාපනයත් පරණ ගුවන් විදුලි සංස්තාව වගේ කරන එකයි මේ ප‍්‍රයිවෙට් විරෝදී උවමනාවේ ෆිලොසොෆිය.
    ලංකාවෙ ගුවන් විදුලි මාධ්‍ය මිනිස්සු ඉන්න තැනට ගෙනල්ලා ඒකෙ ගුනාත්මක තත්වය දැන් තියෙන තැනට ගේන්න මුල් වුනෙ සිරස එෆ්එම් එක. එතනදි විශ්ව විද්‍යාලෙ නොගිය නිමල් ලක්ෂපතිආරච්චිට දැක්මක් තිබුන ගුවන් විදුලියෙ ළිඳෙන් එලියට එන්න. මේ ආචාර්යවරයා කරන්නෙ ඒ නිර්මාණශීලීත්වය අවතක්සේරු කරන එක. මොකද ඒක ඇකඩමික් නෑනෙ. ප‍්‍රබුද්ද කට්ටියට සම්බාව්‍ය දේවල් රස විඳින්නත් මාධ්‍ය තියෙන්න  ඕන. ඒත් මහ ජනතාවට තමන් කැමති දේවල් කොලිටියක් ඇතුව රස විඳින්න ඊට වඩා මාධ්‍ය  ඕන.
    මේ සම්භාව්‍ය කිතිය දකිද්දි මට මතක් වුනේ චාමර ගුරුගේ ළ`ගදි දාපු පෝස්ට් එකක්. එයා 83 අවුරුදු උදාවෙදි මරියසෙල් කියන යොවුන් සිහින ලෝකෙ සිංදුව ෆේස්බුක් දාන ගමන් අහලා තිබුන, 83දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච්චර වෙනස්ද කියල. හොඳට ඇස් ඇරෙන කතාවක් ඒක. මේ සම්බාව්‍ය බලහත්කාරය නිසා අපිට මරියසෙල් මගඇරුන. ඒ වෙනුවට අපි ඇහුවෙ නන්දා කියපු දේ. ඒ පාර දිගේ අපි ආපු ගමන ගැන බලනකොට අහන්න තියෙන්නේ, ආචාර්යවරුනි ඔබට සතුටුයිද දැන්?
    ජිප්සීස් සුනිල් පෙරේරා පවා තහනම් කරපු ගුවන් විදුලි සංස්තාවක කොලිටියක් ඉල්ලා සිටින ආචාර්ය පරපුරක් අපේ ඇකඩමියාවෙන් බිහි කරලා තියෙනවා. ආඩම්බරයි තේරුමක් නැතුව.
    මේ සංවාදෙ හිටපු මහාචාර්ය සුනේත‍්‍රා වීරකෝන් ඇත්තම කාරනේ එලිපිට කියනවා.
    ”ක‍්‍රිඩෙන්ෂල්ස් කියන එක දෙන්න විතරයි අපි උත්සාහ කරන්නෙ. ළමයින්ව ටේ‍්‍රන් කරන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ ගැනයි අපි කතා කරන්න  ඕන. රටේ ක‍්‍රීම් එක අපි ගන්නවා නම් අපේ ප්‍රොඩක්ට් එක අපි හරියට දෙන්න  ඕන. මට තියෙන ප‍්‍රශ්නෙ ඒකයි. මම කියන්නෙ නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල නතර කරන්න  ඕන කියල. ඒක එතිකලි රෝන්ග්. මේක නිදහස් ලෝකයක්. මිනිස්සුන්ට  ඕන දෙයක් කරගන්න තියෙන්න  ඕන. අපේ එක අපි හදාගන්න  ඕන. මම සයිටම් එක උස්සන්නෙත් නෑ. අපේ එක පාත් කරන්නෙත් නෑ. මං දකින දේ තමයි අපේ විශ්ව විද්‍යාල වල ඔය කියන තත්වය කියන එක කාලයට ඔබින විදිහට පවතින්නෙ නෑ”
    සහතික වලින් තමන්ගෙ සමාජ තත්වෙ හදාගන්න හීනමානයක් නැති උගත් මිනිස්සු කීපදෙනෙක් හරි තාම ඉතුරුවෙලා ඉන්න එක ගැන ඒ කතාවෙන් හීනි සතුටක් ඇති වුනා.
    -චින්තන ධර්මදාස
  • ෆැන්ටසිය ගෙට ගමුද?

    ෆැන්ටසිය ගෙට ගමුද?

    රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන් දුරස්ත වීමක්  ඕනවෙනවා. නැත්තං අපි හුස්ම ගන්න අමාරු තරමට ඒ ඉමෝෂනල් ගංවතුරෙ ගිලිලා යනවා.

    ඇගේ ඇස අග කොහොමටත් නැවත නැවත නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔලූවෙ ලොකු බරක් පටවනවා වෙනුවට ජීවිතේ ගැන ගැඹුරු ආදරේකින් බැඳෙන්න පොළඹවන කෘතියක්. මට හිතෙන්නෙ එක විදිහකට මේ ෆිල්ම් එක නරඹන සුවහසක් කසාද බැම්මෙන් බැඳුනු ලාංකිකයන්ව අප‍්‍රකාශිත මානසික බරකින් නිදහස් කරනවා.

    බූපති නලින් නිතර චිත‍්‍රපටි ගැන කතා කරන කොට කියන ‘වැඩබිමක්’ කතාව මෙතනට ගොඩක් ගැලපෙනවා. ඇගේ ඇස අග කියන්නෙ ගොඩක් සමාජ-සංස්කෘතික- දේශපාලන සංවාදයන්ට හොඳ වැඩබිමක්. මේකෙ කෑලි කෑලි වෙනස් වෙනස් විෂයන් ඇතුලෙ විවිධාකාර සාකච්චා බවට පත් කරන්න පුළුවන්. හඳයා අලූත් අදහස් බිමක් යෝජනා කරනවා.

    මේ ෆිල්ම් එක ඉසබෙල් කෝක්සෙට් (ස්පාඤ්ඤ නිසා හඩ වරදින්න පුළුවන්* කියන අධ්‍යක්‍ෂවරියගෙ ‘එලිජි’ ෆිල්ම් එකේ කොපියක් කියල සේපාල් චෝදනාවක් ගෙනාවා. මේ චිත‍්‍රපටි දෙකම බලපු කෙනෙක් දන්නවා ඒක කිසි තේරුමක් නැති කතාවක් වග. රිලේටඞ් ෆිල්ම් එකක් කියන අදහසට මාත් එකගයි. ඒත් ඇමරිකානු නවකතාකාරයෙක් වන ෆිලිප් රොත්ගෙ ‘ඩයින්ග් ඇනිමල්’ පොත උඩ නිර්මාණය වෙන එලිජි ෆිල්ම් එකයි ඇගේ ඇස අගයි කියන්නෙ වෙනස්ම කතා දෙකක්. තේමා දෙකක් සහ සිනමාවන් දෙකක්.

    ඒත් සේපාල් මේ විදිහට කරන දමා ගැසීමක් මට නරක විදිහට පේන්නෙ නෑ. ඒක එක්තරා විදිහකට දියාරු  ඕලාරිකා පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරය ඉන්ටෙන්ස් කරනවා. ප‍්‍රතිවාදයක් නිර්මාණය කරනවා. අනෙක් අතට සංවාදය පුළුල් කරනවා. ඇගේ ඇස අග බලපු අයට එලිජිත් බලන්න පොළඹවනවා.

    ෆිලිප් රොත් එයාගෙ පසුකාලීන පොත් ඔක්කොම ලියන්නෙ ඇමරිකාව මුහුණ දෙන සමාජ ගැටළුවක් පාදක කරගෙන. ඒ මහළු වයස, රෝගී වීම සහ දුර්වලවීම කියන තත්වය. රොත් එකදිගට මේ විදිහෙ ඉන්ටලෙක්චුවල් මහල්ලොත් එක්ක තරුණියන් නිදිවදින කතාම ලියලා එපා වෙලා කියලත් සමහර විචාරකයො බනිනවා.

    ඒ කොහොම වුණත් එලිජි කියන්නෙ පුද්ගලික මහළු බව සහ මරණය සම්බන්ද කතාවක්. ඒ මහළුබවට ආශාව සහ තාරුණ්‍යය මුණගැසෙන තැන අභියෝගය ගැන කතාවක්. ඒක ආත්මීය ගමනක්.

    ඒත් හඳයා කරන්නෙ සමාජ දේශපාලනික වැඩක්. සමානරූපී චරිත පාවිච්චි කළ පමණින් චිත‍්‍රපටියක් කොපි කළා කියන එක චිත‍්‍රපටිය පේන්නෙ නෑ කියන එකට සමාන තත්වයක්. අනෙක් අතට කවදාවත් කිසි කෙනෙකුට කිසිම දෙයක් කොපි කරන්න බෑ කියන එකයි මගේ අදහස. අපි කොපි කරන්න උත්සාහ කරන සෑම තැනකදිම අපේ දේකුත් එතනට එකතු වෙනවා. අපි දකින්නෙ අපිට පේන දේ. ඒක හැමෝටම පේන දේ නෙමෙයි. උදා විදිහට ඇගේ ඇස අග කියල මං දකින්නෙ හඳයා නිර්මාණය කරපු දේම නෙමෙයි.

    හඳයා ඇගේ ඇස අග හරහා මධ්‍යම පාංතික විවාහ සංස්තාවේ පැවැත්ම ගැන කතා කරනවා. එක ඌනිත ආකාරයකට කියෙව්වොත් යතාර්ථය සහ ෆැන්ටසිය මුනගැහෙන තැනක් ලකුණු කරනවා.

    යතාර්ථය බෝරිං. හිස්. ඒකෙ ගන්න කිසි දෙයක් නෑ. ඒකෙ පැවැත්මට ෆැන්ටසියක් ඉල්ලා සිටිනවා. ඒත් ෆැන්ටසියේ දිශාව වෙන්නෙ (ආශාව වෙන්නෙ) යතාර්ථයක් බවට පත්වීම. ඒත් යතාර්ථයක් බවට පත්වෙන මොහොතේම ඒක ෆැන්ටසියක් නොවී යනවා. ලංකාවෙ ගැහැණියගෙ මේ අතර ගතවෙන ජීවිතය මෙච්චර කාලයක් කළමනාකරණය කළේ පන්සල.

    පන්සලේදී ආශාව කළමනාකරනය වෙන හැටි තමයි ඇගේ අස අග ෆිල්ම් එකේ තියෙන කූට ප‍්‍රාප්තිය වගේම ලස්සනම තැන. රියැලිටිය විසින් ෆැන්ටසියට ගහන්න පහන් කනුව පිටින් උස්සලා ගන්න එක ක්ලැසික්.
    ඒත් තවදුරටත් ලාංකේය මධ්‍යම පංතිය මේ විදිහට එලිමහනෙ හෙළුවෙන් නටන්න ලෑස්තිද? පන්සල වෙනුවට මේ එක්වීම නැවත ගෙදරට ගේන්න හඳයා යෝජනා කරනවා. ඒ කියන්නෙ කසාදයේ ආකෘතිය මාරු කිරීමක්. වඩා නිදහස්, සවිඥාණක සම්බන්ධතාවයක් හැටියට මිසක් තවදුරටත් මේ සංස්ථාව පවත්වාගෙන යාමේ ව්‍යාජය මතු කිරීමක් ඇගේ ඇස අගින් සිද්ද වෙනවා.

    හඳගමව මං දකින්නෙ ලංකාවෙ පරාරෝපණයේ සිනමාකරුවා විදිහට. ඒක එයාගෙ ටෙලිනාට්‍ය වල පටන්ම මං ආශක්ත කාරණයක්. ඇල්බෙයා කැමූට කැමති  ඕන කෙනෙක් හඳයාගේ මේ පිටස්තර බව එක්ක අනුරාගයෙන් බැඳෙනවා. පවතින සිනමාවෙන් හඳයාගෙ සිනමාව කියවන්න බෑ. ඒකට හේතුව හඳයා යෝජනා කරන්නෙම වෙනත් සිනමාවක්.

    ඒක සිනමාව කියන විෂය සම්බන්ධ ඊස්තටික් වලට වග කියන්නෙ නෑ. ඒ වෙනුවට හඳයා දේශපාලනික අදහසක් වෙනුවෙන් සිනමාව කියන මීඩියම් එක පාවිච්චි කරනවා. එක විදිහකට ඒක ප්‍රොපගැන්ඩා වැඩක්. හඳයා අනිත් ගොඩක් චිත‍්‍රපටකරුවො වගේ භාවමය සෞන්දර්යෙන් දියවී යන තැනක තමන්ගෙ කෘතිය අවසන් කරන්නෙ නෑ (එලිජි ෆිල්ම් එක වගේ). ඒ වෙනුවට එයා දිශානතියක් පෙන්නනවා. විසඳුමක් යෝජනා කරනවා. ඒක හින්ද හඳයාගෙ ෆිල්ම් බලලා ඉවර වෙනකොට අර මනුස්ස ආත්මය පිලිබඳ කාලකණ්ණි මුස්පේන්තු ගතිය ඉතුරු වෙන්නෙ නෑ.

    සිනමාව පැත්තෙ ඉඳලා බැලූවොත් හඳයාට සමාන වෙන තවත් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මට මතක් වෙන්නෙ කිම්-කිඩුක්. ඒත් කතා තේමාව සහ සිනමා උවමනාව පැත්තෙන් නෙමෙයි. රූප ගොඩනැංවීමේ වින්‍යාසය පැත්තෙන්. යතාර්ථයෙන් පිට රූපකමය අර්තයෙන් චරිත ගොඩනැංවීම පැත්තෙන්. ඒ වගේම හඳයාගේ සිනමාවෙ දැනෙන පරාරෝපණයත් මේ නැගෙනහිර ආසියා කලාපයට ළ`ගයි. මේ ඒකෙ අපේ මොඞ්ල් එක.

    ඇගේ ඇස අග චරිත කිසිම යතාර්ථවාදී පසුතලයක් උඩ හැසිරෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ වෙනුවට ලාංකේය සංඥාර්ථවේදයන් අඩංගු ඇබ්ස්ට‍්‍රෑක්ට් චරිත කීපයක් හඳයා නිර්මාණය කරනවා. උදා විදිහට මේ චිත‍්‍රපටියෙ අනුරාගය. නැත්තං කැම්පස් යන කෙල්ල (ෆිල්ම් එකේ කිසි චරිතයක් හඳුන්වන්න නමක් ගමක් නෑ. මේ රූපකමය බව තේරුම් ගන්න ඒකමත් හොඳ තැනක්) මේ කෙල්ල කොහේ හරි ප‍්‍රාදේශීය පළාතකින් කැම්පස් ආපු ලිහලා දාපු එකියක් වෙන අතරෙම ෆැන්ටසියේ මනුස්ස රූපයද වෙනවා. (මේ චරිතය මතු කරන්න එයා අඳින පළඳින විදිහ හොඳට ගැලපිලා තිබුණ) මේ ගති දෙක චරිතය ඇතුලෙ සියුම්ව ගොඩනගන සම්බන්දයක් කරන්න හඳයා මහන්සි වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අසම්බන්ධිත වියුක්ත බවම ඒකෙ ආර්ට් එක කරනවා.

    මේ වයස්ගත මිඞ්ල් ක්ලාස් පිරිමියාගෙ ෆැන්ටසිය වෙන්නෙ මේ ගමේ කෙල්ල. එහෙම නැතුව නාගරික පොෂ් තරුණිය නෙමෙයි. මේ පිරිමියා බීඞීඑස්එම් ඇඳුම් අන්දවා පවා රස විඳින්න කැමති වෙන්නෙ නැවත ගමේ ෆැන්ටසිය.

    හඳයා සමහර දේවල් ඉතා හොඳට කරනවා. යතාර්ථය- ෆැන්ටසිය සහ අනාගතය විදිහට මේ චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිත කඩා ගත්තොත් අනාගතය විදිහට ඉන්නෙ සඳලි ඈෂ් නිරූපනය කරන ටීනේජ් දුව. කිසිම තේරුමක් නැති කේන්ති යාම් සහ තමන්ට තමන්වම නොතේරී යාම නිසා ඇතිවෙන නව යොවුන් වියවුල හඳයා මේ චරිතෙ ඇතුලෙන් ගොඩක් ලස්සනට එලියට ගන්නවා. ලංකාවෙ සිනමාවෙ ටීනේජ් කැරැක්ටර් එකක් සමාජ මානසික පදනමකින් නිර්මාණය වුණාමද කොහෙද. ඒ වගේම වයස්ගත විවාහකයන්ගේ ඇඳ. ඒ ඇඳ මේ තරම් ළගට ගෙනාපු කෘතියක් මට මතක් වෙන්නෙ නෑ. නිවෙමින් යන ආශාවේ උණුසුමවත් රඳවා ගන්නට මේ ඇඳ උඩ ගැහැනිය දරන තේරුමක් නැති තැත ඇගට දැනෙනවා. පිටස්තරයෙක් විදිහට දකින නිසාමත් චරිත ඇතුලෙන් ආවොත් නොදැනෙන, කල්චර් එක ඇතුලෙ ජෙනරලයිස් වෙලා යන්න ඉඩ තියෙන, මේ සියුම් තැන් හඳයට අහුවෙනවා.

    ඇගේ ඇස අග ඇතුලෙ කෑම මේසෙ නියම අනියම් පේ‍්‍රමයන් සහ දියණිය එකට ඉඳගෙන කෑම ගනිද්දි නියම් බිරිඳ ජාතක පොතෙන් කතාවක් මතක් කරනවා. ඒ සද්දන්ත ජාතකය. අපේ ශාසන සංස්කෘතික අධිකාරිය විසින් අපිට නොදන්වාම බැහැර කරන බෞද්ද ජනශ‍්‍රැති උරුමයේ කොටසක් හඳයා මේසෙට ගේනවා.

    (ඡ)සද්දන්ත ජාතකයෙ එන්නෙ අපේ බෝසතුන් පෙර ආත්මයක හොඳම පෙඩිග‍්‍රියකින් එන ඇත් රජෙක් වෙලා ඉපදිලා හිටපු කතාවක්. මේ ඇතා ජීවත් වෙන්නෙ බිරින්දෑවරු (ඇතින්නියො) දෙන්නෙක් එක්ක. එක දවසක් ග`ගක් ගාව සල් ගහක් යට මේ තුන් දෙනා එකට ආදරෙන් වෙළිලා ඉන්නකොට ඇතා ලව් එක වැඩිකමට සල් ගහ හොල්ලනවා. මෙතනදි එක ඇතින්නකගෙ පිටට සල් මල් ටික වැටෙද්දි අනිත් ඇතින්නගෙ පිටට කෝටුබෝටු සහ කූඹි ටික වැටෙනවා.

    මේ තරහ හිතේ තියාගෙන මැරෙන මේ ඇතින්න වෙන ආත්මයක ඉපදිලා රජ බිසවක් වෙනවා. ඒත් හිතේ තියෙන තරහ ඉවර නෑ. දඩයක්කාරයන් කැඳවලා අර ඇතාව හොයාගෙන දළ දෙක ගේන්න නියෝග කරනවා. අවුරුදු හතකුත් මාස හතකුත් දවස් හතකුත් ගිය තැන දඩයක්කාරයෙක් මේ ඇතාව හොයාගෙන උගුල් අටවලා විෂ ඊතල විදලා මෙල්ල කර ගන්නවා. ඒත් ඇතාගෙ දළ කපන්න දඩයක්කාරයාගෙ හයිය මදි. ඇතා නැගිට ගන්නවා. ඒත් දඩයක්කාරයා ගැන අනුකම්පාවෙන් ඌ නොමරා දළ දෙක ඉල්ලපු කෙනා ගැන අහගන්නවා.

    ඊට පස්සෙ ඇතාට දුක හිතිලා එයාම දළ දෙක කපලා දඩයක්කාරයට දෙනවා. දඩයක්කාරයා විසින් මේ දළ ගෙනැත් බිසව අතට දුන් සැණින් එයාට පරණ පේ‍්‍රමය සිහිපත් වෙනවා. ඒ ගැන විස්සෝපයෙන් පපුව පැළිලා එතනම මැරුණ කියලයි කියන්නෙ.

    ඇත්තටම මේ ජාතක කතාව තුන්කොන් පේ‍්‍රමය ගැන හිතාගන්නවත් බැරි තරම් ගැඹුරු කතාවක් කියනවා. ඒ කතාවම හඳයා ඇගේ ඇස අගින් මොඩර්න් ජාතක කතාවක් විදිහට ගේනවා.

    ඇගේ ඇස අග චිත‍්‍රපටියෙ කැමරාව ගැන මට සංවාද කළ යුතු කාරණා ගොඩක් තියෙනවා. උදා විදිහ ස්වර්ණා කාමරයට එනකොට නිතර පාවිච්චි වෙන ට‍්‍රැක්බැක් එක (හෑන්ඞ් හෙල්ඞ්). එතන වෙන කිසිම තැනකට වඩා වෙනස් විදිහට මේ චරිතෙ විතරක් අභ්‍යන්තරය කැමරාවෙන් දනවන්න යනවා වගේ. එකපැත්තකින් මේ වගේ සිනමාවකදි වැදගත් වෙන්නෙ කොයිතරම් සරලව සහ ඍජුව (අලංකාරවලින් තොරව) සිදුවීම කැප්චර් කරනවද කියන එක. ඒ අතරෙ බෙඞ්ෂීට් එක ඇතුලෙන් රිංගලා ඒ ඇතුලෙ හැංගුන ෆැන්ටසියෙ චමත්කාරය අල්ලන්න ගත්ත උත්සාහය වගේ තැන් ගොඩක් අලූත්.

    සංගීතය චිටීට බාර දීපු එකත් හඳයාගෙ පරාරෝපිත මූඞ් එකට ලොකු සාධාරණයක් කරනවා. කිසිම ලාංකේය කියන හැඩයකට නොගිහින් හැ`ගීම විතරක් අල්ලගන්නත්, චිත‍්‍රපටයෙ රූපකමය අර්තය පවත්වාගෙන යන්නත් චිටීගෙ මියුසික් වැඩකරනවා. විශේෂයෙන්ම ‘ඇහැරෙන්න’ කියන තීම් සෝන්ග් එක චිත‍්‍රපටයෙ අවසානයත් එක්ක මයිල් කෙලින් වෙන අත්දැකීමක් ඉතිරි කරනවා.

    චිටී අතින් නිර්මාණය වුණු තේමා වාදනයත් ෆිල්ම් එකට අවශ්‍ය තුන්වෙනි ලේයරය නිර්මාණය කරනවා. ඒත් සමහර තැන්වලදි චිටී අතින් සිද්ධිය විස්තර කෙරෙන විදිහෙ සංගීත ඛණ්ඩ නිර්මාණය වෙනවා කියල මට හිතෙනවා. ඒ තැන්වලදි නිර්මාණයට සම්බන්ද නමුත් එයින් වියුක්ත භාවිතාවක් විදිහට සංගීතය කරන වැඩෙන් එලියට විසිවෙනවා. සංගීතය සිදුවීමෙ කොටසක් වෙනවා.
    ඒත් චිටී, හිතුවක්කාර වැඩවලට හොඳ හොයා ගැනීමක්.

    ෆිල්ම් එකේ එක තැනක වයසක ප්‍රොෆෙසර් ගෙදර තනියම ඉතුරු වෙනවා. කසාද පේ‍්‍රමයත් නැති, අනියම් පේ‍්‍රමයත් නැති, වගකීම් රහිත තමන් විතරක් වුණු, විවාහකයෙකුට අන්තිම විරල අවස්ථාවක්. එතනදි එයා තමන්ගෙ උමතුව මුදාහරිනවා. තමන් වෙත සමාජය විසින් පවරා දුන් සියලූ අනන්‍යතාවයන්ගෙන් මිදී නිදහසේ පුපුරා යනවා. ඒ වෙලාවෙදි දුවගෙ හෙඞ් ෆෝන් එකෙන් රෙඞ් සර්කිට් බෑන්ඞ් එකේ ( චිටී සින්ග් කරන) සිංදුවක් ඇහෙනවා.‘කැනොනයිස් යුර් සින්ස්’ (ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවමු). ඒක පට්ට.

    ‘ජීවිතය සුරංගනා කතාවක් නොවේ
    එය අමිහිරි යතාර්ථයක්ද නොවේ
    ඒ ඔබට පේන හැටියයි…
    පොලොව හරහා යන
    ලේ වැකි අකුණු පහරක් කියන්නේ
    ලෝකය මංමුලා වුණු වග නොවේ..

    මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න..
    හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ
    පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ…

    මේ ඒ සිංදුවෙ වැරදි සහිත සරල තේරුම සිංහලෙන්. එක විදිහකට ඒක ෆිල්ම් එක අන්තිමට ගේන තීම් සෝන්ග් එකත් එක්කත් බද්ධයි. ඇහැරෙන්න සිංදුව අහපු ෆිල්ම් එක නොබලපු සමහර මගේ යාලූවො ඇහුවා ‘ඔය කියන්නෙ ෆැන්ටසියෙන් ඇහැරෙන්න’ නේද කියල. ඒත් ඒ කියන්නෙ යතාර්ථයෙන් ඇහැරෙන්න වග කිව්වම ගොඩක් අය අන්දමන්ද වුණා.

    හඳයා විප්ලවීය පියවරක් තියන්නෙ එතන. සාමාන්‍ය හුරුපුරුදු ආපහු ගමන වෙනුවට ඇගේ ඇස අගින් යෝජනා කරන්නෙ යතාර්ථය වෙනස් කළ යුතුයි කියන එක. ෆැන්ටසියට ඉඩ දිය යුතුයි කියන එක. අවුරුදු දහයකට පස්සෙ ලාංකේය  ඕලාරික, ළදරු මානසික සිනමාවේ සිතියම එයා වෙනස් කරනවා.

    මේක වැඩිහිටි කතාවක්. ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ප‍්‍රකාශ වෙන්න අයිතියක් තියෙනවා. හඳයා ආයිමත් ලංකාවෙ වැඩිහිටියන්ට ඇඳ උඩට කතා කරනවා.

    පන්සලට වෙනුවට ඇඳ උඩට එන්න.


    චින්තන ධර්මදාස

  • සම්මානයක් කියන්නෙ ඔක්සිජන් ටිකක්

    සම්මානයක් කියන්නෙ ඔක්සිජන් ටිකක්

    මේ පාර දෙරණ සම්මාන උළෙලට ගියෙ යම්දෝ නොයම්දෝ කියල දෙපැත්තට ඇද ඇද. ඒකට හේතු වුණෙම ඉවර වෙලා ආපහු එනකොට දැනෙන කාලකණ්ණි හිස්කම. ඒක සම්මාන හින්දම ඇතිවෙන එකක් නෙමෙයි. ප‍්‍රසාංගිකත්වය පැත්තෙන් අපේ තියෙන දුප්පත්කම, තේරුමක් නැති ආටක නාටක හින්ද, පදනමක් නැති ඇගයීම් හින්ද දැනෙන තෙහෙට්ටුවක්.
    මේක දෙරණ සම්මාන උළෙලට විශේෂ වුණු තත්වයක් නෙමෙයි. ඒත් මේ පාර ඒක වෙනස්. සුපුරුදු විකාරසහගත බව වෙනුවට සැබෑ උත්කර්ෂවත් බව පැත්තට ලොකු අඩියක් තියල තිබුණ.
    එච්චර තාර්කික කතාවක් නොවුණත් මහින්දගෙ කාලෙ අපේ ආර්ට්වල තිබ්බ ගොබ්බ ගතිය වෙනුවට දැන් හැම ආර්ට් සම්බන්ද වැඩකම පාහේ පොඩි ගැම්මක් තියෙනවා.  කොයිතරම් අවතක්සේරු කළත් මං ජනවාරි 08 පුම්බන්නෙ ඒකයි. හොරා පොලිස් සෙල්ලම්, බලමාරු, පිල්මාරු, ඞීල් කොයිතරම් සමාන විදිහට සිද්ද වුණත් සංස්කෘතිය පැත්තෙන් අසමාන ඉඩක් ඇරුණා. වෙනස් කතිකා ඇතිවෙන්න ගත්තා. ප‍්‍රකාශන කලඑලි බැස්සා. ආණ්ඩු  ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. ඒත් සංස්කෘතියක් මාරු කරනවා කියන්නෙ ටිකක් බර වැඩක්.
    ජගා එක්ක සාරංග උත්සවය මෙහෙයවන එක හොඳට කළා. හැමතිස්සෙම වගේ ජෙන්ඩර් බැලන්ස් කරන්න ස්ත‍්‍රී චරිතෙකුත් පාවිච්චි කරන පුරුද්දක් තිබුණත් ගෑණුන්ට මේ වැඬේ හරියට කරන්න බෑ කියන එකයි මගේ හැ`ගීම. ඒ වෙනුවට සිනමාව ගැන යම් හැ`ගීමක් ඇති චරිත දෙකකට වැඬේ බාර දීම නිසා දැනීමක් ඇති තැනක වැඬේ සිද්ද වුණා.
    සම්මාන දෙන්න එන චරිත එක්ක වුනත් හිනානොයන ජෝක් කරනවා වෙනුවට සිනමා ඉතිහාසය සහ මතකයන් ගැන රහක් තියෙන දෙබසක් දෙකක් හුවමාරු වුණා. දිනේෂ් ප‍්‍රියසාද් එක්ක සිනමාවෙ නිළියන් විසින් පිරිමි චරිත ර`ගපෑ අවස්ථා ගැන ඇතිවුණ කතාබහ එහෙම මරු. එතනදි ප‍්‍රියසාද් අතින් තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටිය මගඇරණ. අනෝමා ජිනාදරී ඉතාමත් අරගලකාරී, මතභේදාත්මක තැනක ගෑණු පිරිමි චරිත මාරුව කරන චිත‍්‍රපටියක් ඒක.
    පොදුවෙ එතන සිද්ද වුණු හැම තෝරා ගැනීමක් එක්කම ලැජ්ජ නැතුව හිටගන්න පුළුවන් තත්වයක් තිබුණ. අපිට වෙනස් පුද්ගලික අදහසක් තිබුණා වුණත් ඒ නිර්දේශයන්වලට පදනමක් තිබුණ. ගොඩක් හොඳ චිත‍්‍රපට තමයි එකිනෙකා එක්ක තරග කරමින් හිටියෙ.  පහුගිය කාලයක් පුරාම සම්මානවලට නිර්දේශවෙන චිත‍්‍රපටි දිහා බැලූවම දැණුනෙ කණස්සල්ලක් හා සබැඳි ඔක්කාරයක්. ඒත් දැන් නැවත බලාපොරොත්තුවක් නිර්මාණය වෙමින් ඇති වග පැහැදිලියි.
    දැනෙනසුළු අවුලක් තිබුනෙ මහරජ ගැමුණුට හොඳම කලා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මාන ලැබීම. එතන තිබුනෙ ආර්ට් වලට වඩා සීජී වැඩ (කොම්පියුටර් ග‍්‍රැෆික්ස්) .මතක හැටියට දවස් 90කින් දර්ශන දෙසිය ගානක ග‍්‍රැෆික් හදනවා මේ ටීම් එක. එක පැත්තකින් උන්ට සතුටු වෙන්න පුළුවන් ඒවා ග‍්‍රැෆික් කියල සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයකටවත් හොයාගන්න බැරි තරම් සජීවී විදිහට කළා කියල. ඒත් ඒ වගේ මහන්සියක්, විශේෂයෙන්ම අපේ සිනමාවෙ අලූතෙන් නිර්මාණය වෙමින් එන අංශයක් දිරි ගැන්වීමක් නොලබා මගහැරීම දුකට කරුණක්.
    මේ ඇගයීම් අතරට සීජී හැකියාවන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානයකුත් අනිවාර්යෙන්ම එන්න  ඕන.
    මේ සම්මාන උළෙලෙ සිනමාව ගැන සංවේදී  ඕනම කෙනෙකුගේ ඇ`ග හිරිවැටෙන සම්මාන දෙකක් දුන්න. එකක් ස්වර්ණාට දීපු ලයිෆ් ටයිම් අචීව්මන්ට් එක. ඒ වෙනුවෙන් එතනදි කියැවුණු හේතු පාඨයත් මරු.
    ස්වර්ණා ඇත්තෙන්ම තිරය උඩත් තිරෙන් පිටිපස්සෙත් ස්ත‍්‍රීත්වය වෙනුවෙන් ගහපු කැරැුල්ල ලංකාවෙ තක්සේරු වුනේ අඩුවෙන්. ගැහැණිය වෙනුවෙන් නිර්මාණය වෙලා තිබුණු හතරැුස් කොටුව එහාමෙහා කරන්න ස්වර්ණා පිරිමින්ගෙ ඇස්වලට ඉඳිකටුවලින් ඇන්නා. අන්තිමට එයා නැවත මගේ ලොකුම ජයග‍්‍රහනය කියල තමන්ගෙ දුව ආඩම්බරෙන් බදාගනිද්දි මං හිතන්නෙ ඒ ප‍්‍රකාශනය පරිපූර්ණ වෙනවා.
    ‘මට  ඕන වුනේ තරුවක් වෙන්න නෙමෙයි. නිළියක් වෙන්න’
    අපේ සිනමාවෙ ස්වර්ණා වගේ නිළියක් නිර්මාණය වුනේ කොහොමද? මං තාම කල්පනා කරනවා.
    ඊළ`ග එක හොඳම නිළිය විදිහට කෞෂල්‍යාට සම්මාන දීම. ඒ සත්‍යජිත්ගෙ බොර දිය පොකුනෙ ගෝතමී විදිහට.  ඒ චිත‍්‍රපටය හරහා සත්‍යා කෞෂල්‍යා එක්ක ගොඩනගාගෙන තිබුණු මනුස්ස සම්බන්දය හරිම ගැඹුරු එකක්. මට හිතෙන්නෙ සත්‍යා චිත‍්‍රපටියෙන් එලියට ගිහින් තමන් විසින් තෝරාගන්නා නිළියගෙ ජීවිතය අධ්‍යක්‍ෂණය කරන්න ගන්නවා. ඒ හරහා ඒ නිළියට ප‍්‍රකාශ වෙන්න, එලිදරව් වෙන්න, නිදහස් වෙන්න ඉඩ විවෘත කරනවා. ඒක එක විදිහකින් සායනික වැඩක්. එහෙම ගැඹුරු අධ්‍යාත්මික- ජීවිත භාවිතාවක ප‍්‍රතිඵලයක් බොරදිය පොකුණ.
    අවුරුදු පහලොවකට පස්සෙ බොර දිය පොකුණ ඇගයීමට ලක්වෙනවා. ඒ ඇගයීම බාරගන්නවත් වේදිකාවට ගොඩනොවෙන්න තරමට සත්‍යා හිතුවක්කාර වෙනවා.
    කෞෂල්‍යා කියන්නෙ ලංකාවෙ නිළියක් කිව්වම තිබුන සායම් රාමුව වෙනස් කරපු නිළිය. පොත්තෙ ලස්සන වෙනුවට අභ්‍යන්තරයෙ හැ`ගීම් දැනීම් අතර ලස්සන අවලස්සන භේදයක් නැතුව පීනපු නිළිය. ර`ගපෑමෙන් චරිතය ජයගන්න කරන්න වුණු සටනට වඩා ලොකු සටනක් කෞෂි සම්මත නිළි ‘ලස්සනට’ එරෙහිව කරනවා. ඇත්තටම ඒ සම්මාන දෙක දෙද්දි පපුවට මොකක්ද දැනෙනවා.
    හෝ ගාන පොකුණ ජනප‍්‍රියම චිත‍්‍රපටියත් හොඳම චිත‍්‍රපටියත් විදිහට සම්මාන ගන්නවා. වාණිජ චිත‍්‍රපටි කියල වෙනම බෙදීමක් ඇතුව ඉබාගාතෙ බාල චිත‍්‍රපටි විකුණමින් එන ටෙ‍්‍රන්ඞ් එක මෙතනදි අභියෝග වෙනවා. රහ ගුණ ඇති සිනමාවකට බැරිද හොඳට විකිණෙන්න? සෝමරත්නට පස්සෙ ෆර්ඩි ඒ සත්තු එක්ක කතා කරන රහස හොයාගන්නවා.
    ෆර්ඩිගේ චිත‍්‍රපටියට හොඳම සංගීතයටත් සම්මාන ලැබෙනවා. ඒ සංගීතය කරපු දිනේෂ්  ළමා චිත‍්‍රපටියකට ඉතා හොඳ සොයා ගැනීමක්. එයා මේ සංගීතය නිර්මාණය කරන්නෙ ගෙම්බො මීයො එක්ක කතා කරලා. හරිම ලස්සන පරිකල්පනයක්නෙ කියලා හිතාගෙන මාත් අහන් හිටියා. ඊට පස්සෙ එයා ඉල්ලීමක් කරනවා. මස්මාළු කන එක නවත්තන්න කියල. ඒ ගිය ආත්මවල නෑදෑයො වෙලා හිටපු අය මේ ආත්මෙ මාළුවෙක් කුකුලෙක් හරකෙක් වෙලා මේසෙට එන්න පුළුවන් හින්ද.  අනිවාර්යෙන්ම මේ ළමා මනස ළමයින් වෙනුවෙන් ගොඩක් හොඳ වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒත් වැඩිහිටියන් අතින් නම් අතවරයට ලක්වෙන්න ඉඩ තියෙනවා. බුද්දාගම වටේ අටවගත්ත මනස්ගාත සාසන කල්ට් විසින් මේ රටේ දක්ෂතා තියෙන තරුණ පිරිස් කොයිතරම් කාබාසිනියා කරන්න පුළුවන්ද කියන එකට මේක අවාසනාවන්ත උදාහරණයක්.
    හොඳම චිත‍්‍රපටය විදිහට බොරදිය පොකුණ සහ හෝ ගාන පොකුණ කියන දෙක අතරින් මගේ පුද්ගලික කැමැත්ත වෙන්නෙ බොර දිය පොකුණ. ඒක කිසිසේත්ම හෝ ගාන පොකුණට ලැබුණු සම්මානය අවතක්සේරු කිරීමක් නෙමෙයි. ඒත් බොරදිය පොකුණ කියන්නෙ ලංකාවෙ සිනමාවෙ ඉතා කලාතුරකින් බිහිවන ලක්ෂණ ගණනාවක් සහිත කෘතියක්. ඒ වියමන වගේම වියමන හා ජීවිතය අතර සම්බන්දයත් ගොඩක් පළල්. ඒ වගේම සිනමා රීතීන්, ව්‍යාකරණ නොතකා යමින් ජීවිතේ අවංක ආත්මීය මොහොත විතරක් කැමරාවට අල්ලා ගැනීමේ දුෂ්කර පිළිවෙතින් පොහොසත්. අවුරුදු පහලොවක කාලයක් පුරා තිරයක ඉඩක් වෙනුවෙන් සටන් වැදුනු සිනමා කෘතියක් හැටියට ඒක සිනමාකරුවෙක් සතු විය යුතු දරාගැනීමේ හැකියාව ගැන ප‍්‍රකාශනයක්.
    ජැක්සන් හොඳම නළුවා වීම, මහේන්ද්‍ර විකටයා වීම සහ කමල් දුෂ්ටයා වීම ගැන එක එක අදහස් වලින් එෆ්බී එකේ පෝස්ට් හැදුන. ඒත් මට අනුව ඒක ඉතා හොඳ විනිශ්චයක්. විශේෂයෙන්ම ජැක්සන්ට හොඳම නළුවා සම්මානය හිමිවීමම ලොකු අයිරනියක්. ජැක්සන්ට ඒක හිමිවෙන්නෙ එයා හිට්ලර් විදිහට කරන රගපෑමට. හිට්ලර්ට ර`ගපාලා ඇඩ‍්‍රස් නැතිවෙන ජැක්සන් ආයිමත් පළි`ගු මැනිකෙ විජයපාල වගේ උඩු රැවුල තියලා බුරුසු කොන්ඩෙත් එක්ක ස්ටේජ් නගිද්දි ආයමත් පරණ නළුවා ඉපදුනා වගේ සතුටක් දැණුන. ජැක්සන්, ජයන්ත චන්ද්‍රසිරිගෙන් උදව් නොගෙන අවුරුදු දහයක් ආපස්සට කාලතරණය කරන්න. ඔයාට මගඇරුණු නළුවා තාම අතරමං වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.
    සම්මාන ගන්න ස්ටේජ් නැගපු හැමෝම සිනමාව ගැන එකම කතාවක් ආපහු ආපහු කිව්වා. සමහර වෙලාවට මේක ලංකාවෙ වාත රෝගයක්. එකෙක් නැගලා සිංදුවක් කිව්වම ඔක්කොම ඒ සිංදුවම බැරි නම් ඒ ළ`ගින් යන එකක් හරි ගහන එක.
    ඒ ගොල්ලො කතා කළේ පෙන්නගන්න බැරුව කොම්පියුටර් ඇතුලෙ හිරවෙච්ච චිත‍්‍රපටි ගැන. ඒවා පෙන්නන්න තිරයක් නැතිකම ගැන. සිනමාවෙ අනාගතය ගැන. මේ කතා ගොඩක් බොරු හැ`ගුම්බර වචන වෙන්න පුළුවන්. ඒත් ඒ කතා නිසා මේ උළෙල සිනමාව ගැන ස්ටේට්මන්ට් එකක් වුණා. සමහර වෙලාවට ඒ ඒවා එලියට ආපු කාලඅවකාශය වෙන්න පුළුවන්.
    ඉස්සරහට එන ඩිජිටල් දිගුවත් එක්ක මේ මහා සිනමාව අර්බුදයට යනවා. මේ මහළු පෙම්වතිය මිය යනවා. අපිට සිද්ද වෙනවා අයාලේ යන්න. ගණිකාවන් එක්ක නිදියන්න. අලූතෙන් ශෘංගාරය නිර්මාණය කරන්න. ඒ රමණය මොන විදිහෙ තිරයක් උඩ සිද්ද වෙයිද කියන එක අවිනිශ්චිතයි. ඒත් මේ සිහිනයෙන් ඇහැරෙන්න වෙනවා සත්තයි.
    ඒ නොස්තැල්ජියාවෙ ඇත්තටම ආතල් එකක් තියෙනවා.
    කමල් හොඳම දුෂ්ටයා විදිහට සම්මාන ගනිමින් කරපු කතාවෙදි එක වැදගත් කාරණයක් මතු කළා. ඒ අපේ සිනමාවට බිස්නස් ප්ලෑන් එකක්  ඕන කියල. පිටකොටුවෙ හාල් කඩ වගේ් සිනමාව කරපු කාලෙ ඉවර වෙමින් එනවා. ඉන්ඩස්ටි‍්‍ර එකක් විදිහට හිතන්න තාක්ෂණය හැමෝටම බලකරමින් ඉන්නවා.
    ටු බී  ඕර් නොට් ටු බී…
    දෙරණ හතරවෙනි සිනමා සම්මාන උළෙල දැනුවත්ව හෝ නොදැනුවත්ව පොසිෂන් වෙන්නෙ ටයිටැනික් නැව අයිස් කන්දෙ හැපෙන තැන.
    ඒක රොමාන්තික අවසානයක් වෙයි. වේදනාව අඩු මරණයක් වෙයි. අලූත් උපතක තිඹිරිගෙයක් වෙයි.

    චින්තන ධර්මදාස

     

  • ජ්‍යෙෂ්ට උතුමන්ගෙන් අවසරයි

    ජ්‍යෙෂ්ට උතුමන්ගෙන් අවසරයි

    මේ දවස්වල කැම්පස්වල රැග් ගැන කතාවක් ලොකුවට පැතිරීගෙන යනවා. හැම අවුරුද්දකම වගේ රැග් සීසන් එකට මේ විදිහෙ කතාබහ ඇවිලෙන එක සාමාන්‍යයක්. ඊට පස්සෙ කැම්පස් ඇතුලට පොලිසිය දැමීමේ ආණ්ඩුවෙ කුමන්ත‍්‍රණයක්, නිදහස් අධ්‍යාපනයට එරෙහි තව මොකක් හරි වගේ චෝදනා කැම්පස් පැත්තෙනුත් එල්ලවෙන්න ගන්නවා, හැමදාම. හරියට බැලූවොත් මේකත් රැග් එක එක්කම බැඳිච්ච සම්ප‍්‍රදායක් වගේ. කැම්පස්වලින් හැමදාම කියන්නෙ මේ එකම කතාව. 

    ඒත් කාලෙන් කාලෙට කැම්පස් සහ පිටත අතර ඇතිවෙන මේ සංවාදෙදි කැම්පස් පැත්තෙන් මේ කතාව කියන පිරිස වෙනස් වුණා. අවාසනාවන්ත විදිහට ඒකත් එක්ක පුදුමාකාර මැටිබවක් ඒ පැත්තෙන් ප‍්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා. ඉස්සර මේ කුමන්ත‍්‍රණ ගැන කියද්දි මාධ්‍ය අනිත් පැත්තට අහන හරස් ප‍්‍රශ්න වලට යම් තාර්කික සහ සබුද්ධික බවක් පේන උත්තර ගේන්න ඒ හිටපු ශිෂ්‍ය නායකයන්ට පුළුවන් වුණා. ඒත් මේ අවුරුද්දෙ මේ කතාව කියන නායක නායිකාවන්ගෙ වීඩියෝ දැකලා මාව තිගැස්සුනා. ඒ අය වෙන මොකකටවත් වඩා පෙන්වමින් හිටියෙ තමන්ගෙ බුද්ධිමය හා තාර්කිකමය දුප්පත්කම. බරපතල තත්වය තියෙන්නෙ එතන. විශ්ව විද්‍යාල අධ්‍යාපනය විසින් බිහිකරන පිරිස් පවතින සමාජීය තත්වයන්ට සාපේක්ෂ දැනුමක් නැති අය වීම සහ ඔවුන් නිකම්ම තමන්ට දුන් කතාවක් කොලයක් බලාගෙන වගේ පුනරුච්චාරණය කිරීමත්. මේ අය මෙතැනින් පස්සෙ රජයේ නොයෙක් තනතුරු වලට යනවා. සමහරු කතිකාචාර්යවරු වෙනවා. දරුණුම තත්වය වෙන්නෙ ගොඩක් අය ගුරුවරු වෙන එක. ඊට පස්සෙ මුලූ සමාජයම මේ නොදැනුවත්කමෙන්, කටපාඩම් දැනුමෙන්, සහ තේරුමක් නැති ආවේගයෙන් ආසාදනය වෙන්න ගන්නවා. එතනදි වහාම මේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කරන්න හරි, පෞද්ගලීකරණය කරන්න හරි, වෙන කොයියම්ම හෝ ප‍්‍රායෝගික, තාර්කික ක‍්‍රමවේදයක් මේ වෙනුවෙන් නිර්මාණය කරන්න රජයේ බලධාරීන් මැදිහත් වෙන්න සිද්ද වෙනවා. තොග පිටින් මේ නිෂ්පාදනය කරමින් ඉන්නෙ දැවැන්ත සමාජ හානියක්.
    සරලවම මේ අදහස විශ්ව විද්‍යාල පෞද්ගලීකරණයට සහයෝගය දැක්වීමක් විදිහට පේන්න පුළුවන්. ඒත් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට වඩා තාමත් රජයේ විශ්ව විද්‍යාල සංස්කෘතියෙ පවතින සාධනීය කාරණා තියෙනවා. මේ දකිමින් ඉන්න හීනතාවය- දිළිඳුකම ඒ විදිහටම තිබුණත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උපාධිධාරීන්ට සාපේක්ෂව රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවන අයගෙ යම් සුවිශේෂතාවයන් තියෙනවා. ඒවා හොඳ සහ නරක වෙන්න පුළුවන්. මගේ අත්දැකීමේ හැටියට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින්න බිහිවෙන අයගෙ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, නැත්තම් එම්පති වගේ සමාජ-බුද්ධිමය හැකියාවන් පැත්තෙන් ලොකු හිඩැසක් තියෙනවා. ඒ අය වඩා විවෘත, ලෝකය සමග සාපේක්ෂ සිතීමක්- දැනුමක් පළ කලත් අනෙකාව තේරුම් ගැනීම, පිරිසක් ලෙස සංවිධානය වීම, සන්නිවේදනය ආදී පැති වලින් රජයේ විශ්ව විද්‍යාල අයට වඩා දුර්වලයි (මේක අඩුලූහුඩුතා සහිත ප‍්‍රකාශයක්). මේක සාමාන්‍ය තත්වයක් විදිහට මං මෙතන ලිව්වත් මේ ගැන විධිමත් සමීක්ෂණයක් කිරීම වටිනවා. රජයේ විශ්ව විද්‍යාල වලින් තෝරාගත් පිරිසක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් තෝරා ගත් පිරිසක් අතර සියුම් බුද්ධිමය සහ මනෝමය වෙනස්කම් හඳුනාගත හැකි ආකාරයේ පර්යේෂණයක් මධ්‍යස්ථව පවත්වන්න පුළුවන් නම් අපිට මේ දෙපැත්තෙම සුවිශේෂතා සහ දුබලතා අඳුරගන්න පුළුවන්. ඒ විදිහෙ විධිමත් උපකරණයකින් අධ්‍යාපනයේ වෙනස්කම් මැනලා බලන එක අනිවාර්යෙන්ම සිද්ද වෙන්න  ඕන.
    රජයේ විශ්ව විද්‍යාල වලින් එලියට එන පිරිස් ඉතාමත් අඩු මට්ටමේ දැනුමක්, සිතීමක් සහ අලූත් දෙයක් වෙනුවෙන් බෙහෙවින් මැලි බවක්, විරෝධයක් පළ කලත් ඒ සංස්කෘතිය විසින් ලබා දෙන වෙනත් සියුම් ශක්‍යතාවයන් ගොඩක් තියෙනවා. මම දන්න ඇඞ්වර්ටයිසින් කලාපයේ වුණත් මොරටුවෙන් බිහිකරන නිර්මාණ ශිල්පීන් සහ ඒ ඕඞී වගේ ආයතනයකින් බිහිකරන නිර්මාණ ශිල්පීන්ගේ කැපී පෙනෙන වෙනස්කම් දකින්න පුළුවන්. වඩා හොඳින් සමාජය තේරුම් ගනිමින්, පවතින තත්වයන්ට ඉක්මණින් අනුගත වෙමින් වඩා ප්‍රොඩක්ටිව් දෙයක් කරන්න රජයේ විශ්ව විද්‍යාලවල අයට පුළුවන් (මේක ඉතාමත් නරක විදිහටත් ඉතාමත් හොඳ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්). අනෙක් පැත්තෙන් ‘අවුට් ඔෆ් ද බොක්ස්’ වර්ගයේ වැඩ කරන්නත්, ඒ හරහා අලූත් දිශානතීන් නිර්මාණය කරන්නත් ප‍්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් වල අය දක්ෂයි. ඒත් ගැලපීම, අනුගත වීම සහ සාමාන්‍ය තත්වයන් තේරුම් ගැනීම පැත්තෙන් තියෙන හි`ගකම නිසා ඒ අයගෙ අදහස් පාවෙන සුළුයි. බද්ධ වීම අඩුයි. (නැවතත් මගේ පුද්ගලික නිරීක්ෂණයක් විතරයි).
    මේකට හේතුව මේ කලාපයන් දෙකට බෙදී වෙන්වෙන සමාජ පංතිවල වෙනස වෙන්නත් පුළුවන්. ඒ ආයතන ඇතුලෙ සංස්කෘතිය වෙන්නත් පුළුවන්. ඉගැන්වීමේ රටාව වෙන්නත් පුළුවන්. ඒත් පැහැදිලිවම මේ ශක්‍යතාවන් දෙකොටස අතර මුහුවීමක් අපිට හොයන්න වෙනවා. ස්ටුඩන්ට් ලෝන් ක‍්‍රමයක් නිර්මාණය කරලා ඒ හරහා තමන් කැමති විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීමේ හැකියාව සහ අයිතිය ශිෂ්‍යයන්ට පැවරුවොත් මේ සීමාවන් ඉක්මවා හොඳ නරක ශක්‍යතාවයන් මුහුවෙන පරිසරයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙයි.
    ආයිමත් කතාව පටන් ගන්න තැනට ආවොත් මේ ලියන්න හේතුවෙච්ච රැග් එක ගැන ඇත්තටම මට තියෙන්නෙ පොසිටිව් අදහසක්. කොයිතරම් ප‍්‍රතිගාමී අදහසක් විදිහට පේන්න ඉඩ තිබුණත් රැග් එකට විරුද්ද සියලූ ප‍්‍රගතිශීලී අදහස්වලට ගරු කරමින් මං මේ අදහසත් මේසෙට ගේනවා.
    පාරෙ යන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද, සිංදු කියන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද, දත් මදින්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද වගේ බොළඳ අදහස් කීපයකුත් කැම්පස් ගිය අය අතින් රැග් එකට පක්ෂව ෂෙයාර් වෙන්න ගත්ත. ඒවා ගැන කොහොම වුණත් රැග් එක ඇතුලෙ සිද්ද වෙන හොඳ දේවල් ටිකක් මං දකිනවා. එක එක දේශපාලන පක්ෂවලට තෙල් ගහන වැඩකට වඩා රැග් එක වගේ දේවල් හොඳ සමාජ-මනෝ අභ්‍යාස විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවකාශ.
    එක පැත්තකින් මේ ජවිපෙට බර වමේ තෙල් ගැහිල්ල වුණත් කැම්පස් එන බහුතරය පැත්තෙන් ධනාත්මක වෙන්න පුළුවන්. (මං මේ කියන අදහස් මගේ කැම්පස් ජීවිතේ ගතවුණු කාලෙට සාපේක්ෂ වෙනවා) එක එක දුර පළාත් වලින් කැම්පස් වලට එන බහුතරය ඇත්තටම අපිට හිතාගන්න බැරි තරම් දුරස්ත, හුදකලා තැන් වල හිරවෙච්ච ජීවිත. පුද්ගලික නිදහස, අයිතිය වගේ නාගරික දියුණු කාරණා පැත්තෙන් රැග් එක වගේ දේවල් වලට එල්ල වෙන විවේචනවලට වඩා ඒවායේ ෆන්ක්ෂනල් කාරණා ගැන සාවධානව බලන්න  ඕන කියල මට හිතෙනවා.
    නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේ නඩත්තු වෙන යල් පැන ගිය ක‍්‍රමවේදයන් හරහා හුදෙක් කටපාඩමින් හෝ වෙනයම් අනියම් බුද්ධිය හා සම්බන්ධ නොවෙන ක‍්‍රම වලින් වැඩි ලකුණු දාගත් බහුතරයක් කැම්පස් වලට සිලෙක්ට් වෙනවා. මේ බහුතරය කප්පාදු කළ යුතුයි කියල මං නොකියන්නෙ මේක රටක මානව සම්පතක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සහ අවශ්‍යයි කියල හිතන හින්ද. මේ බහුතරය අතිශය අතාර්කික, වියුක්ත, විවිධ කර්කශ වටපිටාවලට අනුගත පිරිස්. මේ අයගේ බුද්ධිමය හැකියාව කට පාඩමෙන් එහාට එච්චර වර්ධනය වෙලා නැති වුණත් ජීවිතය තුල දේවල් දරාගැනීමේ හැකියාව අසාමාන්‍ය විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒ එන්ඩියුරන්ස් එක කොහෙත්ම සුළුවෙන් තකන්න පුළුවන් ශක්‍යතාවයක් නෙමෙයි.
    ජවිපෙ හෝ අන්තරය විසින් මේ ගහන පොලිටිකල් තෙල නාගරික සුළුතරයක් ශිෂ්‍යයන්ට දිරවන්න අමාරු වීම ස්වභාවිකයි. ඒ ගැන මතුවෙන විරෝධයත් ඇත්තටම ධනාත්මකයි. ඒත් රැග් එක පිළිබඳ කාරණය විශ්ව විද්‍යාල අභ්‍යන්තරයෙ කතිකාවක්, කෙළගැනීමක් ඇතුලෙන්ම විසඳිය යුතු කාරණයක් මිසක් ඉහළින් හෝ පහළින් අත දැමිය යුතු කාරණයක් නෙමෙයි කියලයි මං හිතන්නෙ. රජයේ විශ්ව විද්‍යාල වලින් ලැබෙන අධ්‍යාපනයට වඩා වැදගත් ශක්‍යතාවයන් නිර්මාණය වෙන්නෙ මේ විදිහෙ අවිධිමත් උපසංස්කෘතික අභ්‍යාස හරහායි. උදා විදිහට පිකට් එකක් කිරීම, පෝස්ටර් ගැහීම, පොලිසිය සමග ගැටීම, කණ්ඩායම් විදිහට සංවිධානය වීම වගේ ගොඩක් දේවල් විශ්ව විද්‍යාල ජීවිතේ තියෙනවා. ඒවා පෙනී ඉන්න දේශපාලනික කාරණා අතිශය නොදියුණු බව ඇත්ත. ඒවා සළකන්න වෙන්නෙ යම් යම් ප‍්‍රායෝගික පුහුණු අභ්‍යාස විදිහට කියලයි මං දකින්නෙ. අනිවාර්යෙන්ම ඒ දේවල් හරහා සාමූහිකත්වය, සංවිධානය, එකිනෙකා තේරුම් ගැනීම වගේ හැකියා බන්ඩලයක් නොදැනීම වර්දනය කරනවා.
    රැග් එක පැත්තෙන් කිව්වොත් අපේ යම් යම් සීමාවන් ප‍්‍රසාරණය වීමට (ඉලාස්ටිසිටි) වැදගත් අවස්ථා රැග් එක ඇතුලෙදි මුණගැහෙන්න පුළුවන්. (රැග් එක ගැන ලාංකේය සීමාවෙන් මිදිලා ලෝක මට්ටමේ වින්දනයක් ගන්න රිචර්ඞ් ලැන්ක්ලැටර්ගේ ඬේස්ඞ් ඇන්ඞ් කන්ෆියුස්ඞ් බලන්න). මගේ අත්දැකීමකින් කිව්වොත්, අපේ රැුග් සීසන් එකේදී කැන්ටිමෙන් බිත්තර හෝ මාළු වගේ (ඒවට කිව්වෙ ස්පෙෂල්) දේවල් ගන්න තහනමක් තිබුණ. සාමාන්‍ය බත් එක විතරයි කන්න කැප. ඒ අතරෙ කවුරු හරි කෙනෙක් බිත්තරයක් අරගෙන අහුවුනොත් ෆ්‍රෙෂාලා පෝලිමේ ඉන්දවලා එකඑකාගෙ කටින් කටට බිත්තර කහමදේ මාරු කරන ද`ඩුවමක් දුන්නා. ඒක පට්ට අප්පිරිය වැඩක්. අන්තිමට කහමදේ දියවෙලා දියවෙලා දෙතුන් දෙනෙකුට වමනෙ යනවා. ඒත් ඒ රැග කෑවට පස්සෙ මගේ අප්පිරියාව ගැන තියෙන සීමාව වෙනස් වුණා. ඒක මහ ලොකු කාරණයක් නෙමෙයි. ඒත් සමහර විට නියුරො ලින්ග්විස්ටික් වගේ ප්‍රෝග‍්‍රෑම් වල සල්ලි ගෙවලා ඉගෙනගන්න සිද්ද වෙන දේවල් කැම්පස් රැුග් ඇතුලෙ නොදැනිම ඉබේ ලැබෙනවා.
    ඒත් පුද්ගලික සීමාවන් එක්ක, එරියස් එක්ක රැග් ඇතුලෙ දරුණු තත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරන ශිෂ්‍යයන් වගේ අතිශය පටු මානසිකත්වයන් ඇති අය අතින් මේ වගේ දේවල් වැරදි විදිහට පාවිච්චි වෙන්න ඉඩ වැඩියි. අනෙක් පැත්තෙන් රැුග් වෙන්න අකමැති හෝ ඊට විරුද්ධ මතයන් වලටත් නිදහසක් හා ඉඩක් තියෙන්න  ඕන (අලයෙක් වීමට තෝරා ගැනීමේ පුද්ගලික අයිතිය)
    අන්තරේ තෙල් ගැහිල්ල වුණත් පොදු අර්තයෙන් ඒ තරම් නරක දෙයක් විදිහට මං දකින්නෙ නෑ. විචාරයක් සහිත අය ඒ අදහස් ගැන විවේචනාත්මක වෙද්දි විචාරයක් නැති අය ඒ දේවල් ඒ විදිහටම බාර ගන්නවා. ඒත් බහුතරය පැත්තෙන් ගත්තොත් කිසි අදහසක් නැතුව හිටපු පිරිසක් යම් අදහසකට සංවිධානය කිරීමක්, යම් සමාජ-දේශපාලන අත්දැකීමක් ලබා දීමක් මේ තෙල හරහා සිද්ද වෙනවා. ලංකාවෙ අපි හැමෝම වගේ ගත්තොත් දේශපාලනයේ පටන් ගැන්ම සිද්ද වෙන්නෙ ජවිපෙට හුරු අදහස් මාලාවක් හරහා. කාට වුණත් ඒ වගේ රතු මතක තියෙනවා. මට හිතෙන්නෙ ඒක හරියට තීන්ත ගාද්දි පළවෙනි කෝටින් එක වගේ. එතන කියවෙන අදහස් වලට වඩා එතනින් ඇති කරන හුරුව, න්‍යායික සංවාදය වැදගත් වෙනවා (පොලිටිකල් හෝඩිය). ඒක හරියට ඉස්කෝලෙ ගිය සහ නොගිය වෙනස වගේමයි. ඉස්කෝල ක‍්‍රමය විසින් කොයිතරම් සිරගත මානසික තත්වයන් ඇති කරනවා වුණත් ඒ හරහා සුවිශේෂ සමාජ-මානසික හැකියාවන් ටිකක් වර්ධනය වෙනවා. බෙසික් ඩිසිප්ලින් එකක් නිර්මාණය කරනවා. ක‍්‍රමය බිඳහරින නිදහස් මතධාරීන් සුළුතරයක් අවශ්‍ය වුනත් ක‍්‍රමය පිළිගන්නා බහුතරයක් ප‍්‍රායෝගික පැවැත්මට  ඕන වෙනවා.
    රැග් එක වධයක ස්වරූපයෙන් ඉවත් කරන්න දරන උත්සාහයට වඩා ඒක නිර්මාණාත්මක නියුරො ලින්ග්විස්ටික් අභ්‍යාසයක් විදිහට දියුණු කරන එකයි වැදගත්. ඒකට දේශපාලනික ව්‍යාපෘති ඒ හරහා දියත් වීම හෝ ඒ හරහා සිද්ද වෙන වාත තත්ව වළක්වා ගැනීම වගේම එයින් සිදුවන හොඳ තත්වයන් ගැනත් මැදිහත්ව බලන්න වෙනවා. විශේෂයෙන්ම සම්ප‍්‍රදායක් හැටියෙන් ප‍්‍රජාවන් තුලින් ඇතිවුණු තත්වයක් ගැන බලහත්කාරී තීරණවලට එළඹෙනවට වඩා ඒ හරහා සිද්ද වෙන කෘත්‍යමය වටිනාකම් ගැන සබුද්දික තක්සේරුවකට එන්න වෙනවා.
    මේක ටිකක් විවාදාත්මක මාතෘකාවක්. එතකොට විශ්ව විද්‍යාලෙ නොගිය අයට මේ විශේෂ සමාජ කුසලතාවයන් නැද්ද කියල ප‍්‍රශ්න කරන්න පුළුවන්. ඒත් ඒකෙන් විශ්ව විද්‍යාල ඇතුලෙ මේ කුසලතාවයන් නිර්මාණය වෙන්න යම් උදව්වක් තියෙනවා කියන එක නිශේධනය වෙන්නෙ නෑ. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන තීරණ ගනිද්දි අපි එතන ඉන්න බහුතරය ගැන හරි වැටහීමක් ඇති කරගන්න  ඕන. විශ්ව විද්‍යාල කාලෙ පුරාම කෙල්ලන්ට ඩෙනිම් අන්දවන්න, ටීෂර්ට් ඇඳගෙන ලෙක්චර්ස් යන්න, රබර් සෙරෙප්පු දාන්න වගේ නොයෙක් බොළඳ නිදහසවල් ගැන වලිදාපු මට අන්තිමට බැචෙක් මෙහෙම කතාවක් කිව්වා.
    ‘මචං මං කැම්පස් එනකොට දන්නෙ කුඹුරෙ පඹයො හිටවන්නයි කුරුල්ලො එලවන්නයි විතරයි. සපත්තු දාන්න, ටයි අඳින්න, ටොයිලට් යන්න පවා මං පුරුදු වුනේ කැම්පස් එකෙන්. උඹලට ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒත් අපිට කැම්පස් එක කියන්නෙ ජීවිතේ ලොකු වෙනසක් මචං. ඒ ගැනත් කල්පනා කරපං’’ (දැන් තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්)
    අපිට මේ ගැන දාහකුත් විවේචන තියෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නෙ අපිට ඌව ඇහෙනවද කියන එකයි.

    චින්තන ධර්මදාස