Category: Features

  • ඔයා යටට ඇඳලද?

    ඔයා යටට ඇඳලද?

    රෑට ෆේස්බුක් එකේ ගොඩක් ගැහැණුන්ට අනවසරයෙන්ම මේ වගේ සෙක්ස්ට් ලැබෙනවා. ඒවායින් ඒ ගොල්ලො තිගැස්සෙනවා. ඒ අයට අප්පිරියාවක් ඇතිවෙනවා. කේන්ති යනවා . ස්ක්‍රීන්ෂොට් අරගෙන ෆේස්බුක් දානවා. බ්ලොක් කරනවා. මේ කිසි දෙයක් වැරදි නෑ. මේ තියෙන්නෙ මෑතක එහෙම කෙනෙකුට ලැබුන සෙක්ස්ට් එකක්.

    “මට කියන්න ඔයා තොන්ග් එකක් ඇඳන් ඉන්නෙ කියල.
    නෑ?
    එහෙනම් මට මෙහෙම කියන්න දෙන්න. මට ඕන ඔයාගෙ පස්ස මිරිකන්න. කියන්න ඔයා ඒකට ආසයි කියල.
    ඔයා එහෙම කරන්න. මට ඔයාගෙ පස්ස පෙන්නන්න”
    හැම ගෑහැනු හතර දෙනෙකුගෙන් තුන්දෙනෙක් මේ විදිහෙ බලහත්කාරයන්ට මුහුණ දෙනවා.

    මේ පණිවුඩවල ඇති වැරැද්දක් නෑ. ඒවා හරිම සුන්දර කතාබහ. හැබැයි අන්‍යොන්‍ය අවසරයෙන් සිද්ද වුනා නම්. අනවසරයෙන් කරන මේ විදිහෙ කඩාපැනීම් නිසා ගැහැණියකට තමන්ව නිරුවත් කළා වගේ දැනෙන්න පුළුවන්. තව කෙනෙක් කම්පනයට ආතතියට පත්වෙන්න පුළුවන්. මේ වගේ බලහත්කාරී පණිවුඩ ගැනෙන්නෙ ලිංගික අතවර විදිහට. අනවසරයෙන් සිදුකරන කවර හෝ ලිංගික පෙළඹවීමක් ලිංගික අතවරයක්.

    2019 කැනඩාවෙ මේ ගැන කරපු පර්යේෂණයක් අනුව කෙනෙක් මේ විදිහෙ බලහත්කාරී ලිංගික පණිවුඩ යවන්න කාරණා දෙකක් මුල්වෙනවා. එකක් නාසිසිසම් අනෙක සෙක්සිසම්. ඒ කියන්නෙ තමන් ගැන තියෙන ඕනවට වඩා ඇති ආත්මරාගය සහ අනෙක් ලිංගිකයා පහත් හෝ දුර්වල ලෙස දැකීමේ පෙළඹවීම. ඩිජිටල් අවකාශයේ මේ කෙරෙන බලහත්කාරයන්ට කියනවා ඩිජිටල් සෙක්සිසම් කියල.

    රෙඩිට් ෆෝරම් එක හරහා මේ පෙළඹවීම ගැන ඉතාම විවෘත සාකච්ඡාවක් ඇතිවුනා. එතනදි පේන්න තිබුනා කරුනු ගණනාවක් මේ බලහත්කාරය පිටිපස්සෙ තියෙන්න පුළුවන් කියල. ඉතාම පහලට ඇදවැටුනු ආත්ම අභිමානය යලි නගාසිටුවීම, ලිංගිකව උත්තේජනයක් ලැබීම, කොහොම හරි අවස්ථාවක් ලැබේ යැයි ඇති අපේක්ෂාව ආදිය මේ අතර තිබුන. බොහොමයක් අය මේ විදිහෙ පණිවුඩ යැවීම කරන්නෙ ගැහැණියක් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම ගැන තියෙන වැරදි අවබෝධයක් නිසා බවත් පේන්න තිබුන.

    ඇමරිකානු සායනික මනෝ වෛද්‍ය ඩේවිඩ් ලේ කියන විදිහට ප්‍රධානවම මේක පිටිපස්සෙ තියෙන්නෙ පිරිමියා විසින් ස්ත්‍රියගේ ආශාව වැරදි ලෙස තේරුම් ගැනීම. රහස්මය තැන්වලදි පිරිමින් වඩාත් ලිංගික ආවේගයන් සහිතව හැසිරෙනවා කියල ඩේවිඩ් කියනවා. ඒක පරිණාමීය විදිහට පිරිමි ලිංගික හැසිරීමේදී පාවිච්චි වුනු නිර්භීතබව සහ ප්‍රචන්ඩ බව තාමත් ඉස්සරහට ඒම නිසා වෙන්නත් පුළුවන්. තව කොටසක් මෙතනදි අකමැති වීම සහ ප්‍රතික්‍ෂේප වීම ඇතුලෙත් යම් අවධානයක් ලැබීමේ තෘප්තියක් විඳිනවා.

    නමුත් බහුතරයක් පිරිමි තමන්ගේ බලහත්කාරී ලිංගික පණිවුඩ යවලා තිබුනෙ ඒ හරහා ඇයව පොළඹවා ගන්න පුළුවන් කියන බොළඳ අදහස ඇතුව. 18%ක පිරිසක් හිටියා ඇය විසින් ප්‍රතික්‍ෂේප කිරීමෙන් තමන්ගේ ලිංගික උත්තේජනය ලබන.

    මේ විදිහෙ බලහත්කාරී ලිංගික අතපෙවීමකින් සමහර කෙනෙක් ඇය තමන්ගේ බලයට නතු කරගැනීමේ ආස්වාදයක් විඳිනවා. ඒක ස්ත්‍රී දූෂණයක් හා සමාන වර්චුවල් අත්දැකීමක්.ඒ අයට ගැහැණියගේ කලබලය, කේන්තිය ආදිය අනුරාගී විදිහට දැනෙනවා. ඒ අනුරාගය වෙනුවෙන් තමන්ගේ සිවිල් සමාජයේ සියලු පිලිගැනීම් සහ වටිනාකම් පරදුවට තියනවා. එහෙම තමන්ටත් අනුන්ටත් හානිකර තැනකට මේ තත්වය පත්වෙද්දි ඒක ප්‍රතිකාර ගත යුතු තත්වයක් හැටියෙන් තේරුම් ගන්න වෙනවා.

    මේ සෙක්ස්ට් වගේම අනිත් දේ තමයි ඩික්පික් යවන එක. මටත් හැමදාම උදේට ඩික්පික් කීපයක් එනවා. කෙල්ලෙකුට අනිවාර්යෙන්ම ඊට වඩා එනවා. ගොඩක් අය මේක නොතකා හරිනවා. ඒත් විට්නි බෙල් එයාටයි එයාගෙ යාළුවන්ටයි පිරිමි එවපු ඩික්පික් 150කින් එක්සිබිෂන් එකක් කළා.

    මට හිතෙන්නෙ ලංකාවෙ ඒ වගේ අනවසර සෙක්ස්ට් වලිනුත් අපිට පුළුවන් ප්‍රදර්ශනයක් කරන්න. ඒ බලහත්කාරය ආර්ට් ෆෝම් එකකට පෙරලන්න. ඩිජිටල් සෙක්සිසම් ගැන කතාබහක් හදන්න. අනිත් පැත්තට ඒක අපේ රහස් ලිංගික පණිවුඩ සාහිත්‍යය ගැනත් හොඳ අධ්‍යනයක් කරන්න.

  • මං හරිම කැමතියි එහෙම ගෑනුන්ට

    මං හරිම කැමතියි එහෙම ගෑනුන්ට

    මං හරිම කැමතියි සද්දෙන් හිනාවෙන ගෑනුන්ට
    කතා අතරමැද
    අමුතු විදිහෙ ඇත්ත කියන ගෑනුන්ට

    මං ආසයි කාර් ඇතුලෙ හයියෙන් සිංදු කියන්න ආසයි
    ඒ වගේම එහෙම කෙනෙක් අනිත් පැත්තෙන් තියන් යන්න.

    මං හරිම කැමතියි ගෑනුන්ට ආදරේ ගෑනුන්ට
    දත් අතර තැවරුනු ලිප්ස්ටික් පිසින,
    චූ කරන්න යද්දි උදව්වට එන එහෙම ගෑනුන්ට.

    සංසන්දනය කියන්නෙ සතුට හොරු අරං යන තැන
    කාගෙවත් ඔපයක් නැති කරන එකෙන්
    ඔයාගේ ඔපය වැඩිවෙන්නෙ නම් නෑ

    කිසිම ලැජ්ජාවක් නැතුව
    වෛර්ණ සුන්දරත්වයෙන් බබළන
    තමන් තමන් විදිහටම ඉන්න
    එහෙම ගෑනු කිසිදවසක ඇතිවෙන්නෙ නෑ.

    මං ආසයි උතුරා යන හිනාවට
    ඒ වගේම ඇස්වලින් කඳුළු බේරෙන සතුටට
    ඒ තැන්වලදි දැනෙන ජීවිතයට

    කිසිවක් විනිශ්චය නොකරන
    යාලුවෙක් එක්ක ගත කරන සොඳුරු කාලය
    තමයි මං හිතන්නෙ හොඳම මානසික ඔසුව

    කැඩෙන, බිඳෙන, වැටෙන
    ඒ අතරෙ තමන් සතු දේ බෙදන
    එකිනෙකා ඔසවා තබන
    ප්‍රීති ගෝෂා නගන
    මං හරිම කැමතියි එහෙම ගෑනුන්ට

    ලෝකයෙන් අඩක් සිටින
    ඒ අසිරිමත් ගැහැණුන්ට
    හැමෝටම සහ තනි තනිව
    මාගේ හදවතේ ප්‍රණාමය

    The Right Words
    Donna Ashworth

  • පොසොන් පෝය, රංජන් සහ දුමින්ද

    පොසොන් පෝය, රංජන් සහ දුමින්ද

    පොසොන් පෝය දවසෙ දුමින්ද සිල්වා නිදහස් කළා. රංජන් රාමනායක තාම ඇතුලෙ. දුමින්ද එලියෙ රංජන් ඇතුලෙ කියල පෝස්ට් ෂෙයාර් වෙන්න ගත්තා. මිනිස්සු තමන් විශ්වාස කරන සංකේතමය නීතියේ අශ්ශීලත්වය අමුවෙන් දැක්කා. සිංහල බෞද්ධ සදාචාර ලෝකයේ ‘හිල’ දුමින්ද සලකුණු කළා. ඒක ලංකාවට බුද්ධාගම අරන් ආපු දවසෙම ලකුනු කිරීම අයිරොනිකල්. ඒකාධිපති විරුවා සහ අපචාරී දුෂ්ටයා අතර නොබිඳෙන සම්බන්දය පොසොන් පෝය දවසෙ විදාරණය වුනා.

    දුමින්දයි රංජනුයි දෙපැත්තට දාලා සංසන්දනය කරන එකේ අසාධාරණයක් තිබුනත් මේ චරිත දෙක එකම හිරගෙයක් ඇතුලෙ අපිට කතා දෙකක් කියනවා.

    දුමින්ද වගේම රංජනුත් ඇඟ හදන්න උනන්දුයි. දෙන්නම එක වගේ ගෑනු ගැනත් උනන්දුයි. රඟපෑවෙ නැති වුනත් දුමින්දටත් තියෙනවා නළු පෙනුමක්. හැබැයි දුමින්ද තමන්ගේ ආශාව තෘප්තිමත් කරන විදිහෙයි රංජන් තමන්ගෙ ආශාව තෘප්තිමත් කරන විදිහෙයි තියෙනවා වෙනසක්. ඒක අපිට ලේසියෙන්ම දකින්න පුළුවන් දෙන්නගෙ ගැහැණු සම්බන්ධතා දිහා බැලුවම. දුමින්දගෙ ආශ්‍රයන් බොහෝ විට පීඩාකාරීයි. අපිට ඒවායෙ වින්දිතයෙක් මුනගැහෙනවා. දුමින්දගෙ ලිංගිකත්වය පිටිපස්සෙ තියෙනවා බලහත්කාරයක් සහ ප්‍රචණ්ඩත්වයක්.

    ඒත් රංජන්ගෙ ඇසුරුකිරීම්වල තියෙන්නෙ ආකර්ශනයක්. පීඩාවට ලක්වුනු වින්දිතයෙක් වෙනුවට ගොඩක් වෙලාවට අපිට අනිත් පැත්තෙ මුනගැහෙන්නෙ මිතුරියක්. ඒවා අසම්මත වුනත් පීඩාකාරී ප්‍රචණ්ඩ ඒවා නෙමෙයි.
    රංජන් පාතාලෙට කුඩුවලට විරුද්ධයි. දුමින්දට පාතාලෙ ගැන කුඩු ගැන චෝදනා තියෙනවා. රංජන් හිරේ යන්නෙ නීතිය හරි විදිහට ක්‍රියාක්මක වෙන්නෙ නෑ කියල අපහාස කිරීමේ චෝදනාවට. දුමින්ද හිරේ යන්න මිනිහෙකුට මහපාරෙ වෙඩි තියල නීතිය අමුවෙන් කැඩීමට.

    රංජන් පෙනී ඉන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත වෙනුවෙන්. දුමින්ද පෙනී ඉන්නෙ එයාගෙ කැමැත්ත වෙනුවෙන්. වෙන විදිහකට කිව්වොත් රංජන් කියන්නෙ වීරයාගෙ චරිතෙ. දුමින්ද කියන්නෙ දුෂ්ටයාගෙ චරිතෙ. එකම හිරගෙයක් ඇතුලෙ මේ දෙන්නා දෙපැත්තක්.

    නීතිය වීරයාව හිරේ දාලා දුෂ්ටයාට සමාව දෙනවා. සමාජය ට්‍රෝමැටික අත්දැකීමකට ගෙනියනවා.
    දැන් අපි ඕක මනෝවිශ්ලේෂණයේ භාෂාවට දාගමු. මනෝවිශ්ලේෂණය කියන්නෙ මහා දෙයක් හින්ද නෙමෙයි, ඒක ඇතුලෙ අපිට මේ පෙලගැස්ම ලස්සනට කියවගන්න පුඵවන් හින්ද.

    (පට්ට ගහපු කතාව නැවතත්) අපි හැමෝම අවුරුදු 3-5 අතර කාලෙදි ඊඩිපස් සංකීර්ණය ජීවිතේ දැවැන්තම අර්බුදකාරී අත්දැකීම ඇතුලෙන් යනවා. ඊට පස්සෙ අපේ සමස්ත ජීවිතයම තීරණය වෙන්නෙ ඔය අර්බුදය අපි විසඳගන්න විදිහ අනුව. සරලව කිව්වොත් අම්මා එක්ක රමණය කරන්නත් තාත්තාට මරණය අත්කර දෙන්නත් වූ රූපකමය ආශාවකින් අපි පෙලෙනවා. අපිට මුල්ම වතාවට තාත්තාව මුනගැහෙන්නෙ මෙතනදි. තාත්තා තමයි භාෂාව, ආගම, නීතිය, සදාචාරය. ලෝකෙ අපිට පිටින් තියෙන සංකේතමය අධිකාරිය. අම්මා තමයි අපේ ප්‍රකෘතිම ආශාව. අපිව පරිපූර්ණ කරන වස්තුව. තාත්තා හින්ද අපි අසම්පූර්ණ වෙනවා. අපේ හැඟීම් යටපත් කරන්න පටන් ගන්නවා. එලියෙ සම්මුතීන් එක්ක ගනුදෙනු කරන්න සිද්ද වෙනවා.

    ඔය මහා ආපදාවෙන් එලියට එනකොට අපිව ආකෘති තුනක් විදිහට හැඩගැහෙනවා. හැමෝම මේ තුනෙන් එකකට වැටෙනවා. මේ අපි ලෝකෙ එක්ක ගනුදෙනු කරන අපේ මානසිකත්වයේ රාමුව. අපේ පැවැත්මේ ස්වභාවය කියලත් ඕන නම් කියන්න පුළුවන්.

    පලවෙනි එක තමයි නියුරොසිස් කියන්නෙ. අපි ආශාවන් යටපත් කරගෙන, ඒවා වෙන දේවල් බවට පරිවර්තනය කරගෙන ඊඩිපස් අවුල විසඳගන්නවා. අපි එක්කො කීකරු යටත්පහත් දරුවෙක් වෙනවා. නැත්තං කැරලිකාරයෙක් – හිස්ටරිකයෙක් වෙනවා. හිස්ටරිකයෙක් කියන්නෙ අපහාසාත්මක අදහසක් නෙමෙයි. ලෝක ප්‍රශ්න කරන හැම මිනිහෙක්ම හිස්ටරිකයෙක්.

    මෙතනදි හිස්ටරිකයාට ලෝකෙ එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා හැබැයි එයා ඒ සංකේත ලෝකයේ මූලික සාමූහික පදනම්වලට එකඟයි. ඒ සම්මත ලෝකෙන් එයාට දෙන අයිඩෙන්ටිය ගැන එයා පෙරලා ප්‍රශ්න කරනවා. අලුත් ලෝකයක් ගැන ප්‍රාර්ථනාවක් තියෙන හැමෝම ඉන්නෙ මෙතන. සොෆොක්ලිස්ගෙ ඇන්ටිගනී කියන්නෙ මේ විදිහෙ චරිතයක්. මාර්ටින් ලුතර් කිංග් කියන්නෙ එහෙම චරිතයක්. ඒ ගොල්ලො අපි පිලිගන්න සංකේත ලෝකෙ හිල් ප්‍රශ්න කරනවා.
    රංජන් වැටෙන්නෙත් මේ ගොඩට.

    දෙවෙනි ආකෘතියට කියනවා සයිකොටික් කියල. ඒ අයට සංකේත ලෝකයක් අහිමියි. තාත්තාගෙන් වෙන්න ඕන දේ වෙලා නෑ. ඒ ගොල්ලො ඉන්නෙ ඒ අයගෙම පරිකල්පිත ලෝකයක. සාමූහික සංකේත ලෝකය එක්ක ගනුදෙනුවක් නෑ. භාෂාවක් අහිමියි කියලයි කියන්නෙ. ගොඩක් වෙලාවට ආර්ටිස්ට්ලා එහෙම වැටෙන්නෙ මේ ආකෘතියට. මේ අයට පිටතක් නෑ.

    තුන්වෙනි එක තමයි පර්වර්ස් කියන එක. මේ තියෙන්නෙ සංකේත ලෝකය දකිනවා නමුත් නොතකා හරිනවා කියන මානසිකත්වය. නීතිය දන්නවා ඒත් කඩනවා. තමන් ෆැන්ටසියේ තෘප්තිය කියන කාරණය විතරයි වැදගත්. එතනදි අනිත් පැත්තෙ ඉන්නෙ පණ නැති වස්තුවක් විතරයි. පර්වර්ට් සම්බන්ධයක් ඇතුලෙ පීඩාවට ලක්වෙන, ගොදුරු වෙන කෙනෙක් ඉන්නවා. දේශපාලකයො කියන්නෙ මේ කැටගරියෙ පිරිසක්. ඒ ගොල්ලොන්ට පුළුවන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දරන්න.

    දුමින්ද සිල්වා වැටෙන්නෙත් මෙතනට. එයා නීතිය එක්ක කරන සෙල්ලම්, ගෑණු එක්ක තියෙන සම්බන්ධතා අපිට කියන්නෙ මේ අවුල. සමාජයක සදාචාරය කියන කඩතුරාවෙන් වහපු අධිපති බලයේ කැතකම, අශ්ශීලත්වය පර්වර්ට් අය අතින් මුදහැරෙනවා. පර්වර්ට් කියන්නෙ මේ සංකේතීය පියා කියන එක නොතකා හරිමින් අම්මා නැත්තං තමන්ගේ ප්‍රකෘති ආශාව එක්ක ෆැන්ටසියක් විදිහට ගතවෙන අයට. දුමින්ද හිරෙන් නිදහස් වුන ගමන් ගෙදර ගිහින් අම්මා එක්ක දාපු පිංතූරෙ හරියටම ඒ කතාවෙ රූපකයක් වගේ.

    මේ අය නිතරම සම්බන්ධ වෙන්නෙ ඒකාධිපති ස්වරූපයන් එක්ක. ඒ අය විනෝද වෙන්නෙ අපචාරවලින්. පොදු සම්මුති ලෝකෙ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රචණ්ඩ පීඩාකාරී විනෝදය විතරයි අරමුණ.

    පර්වර්ට් කෙනෙකුට ලෝකෙ එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි එයාට ලෝකෙ කියන්නෙ අපචාරී එකක්. තමන්ව ආශාවේ වස්තුව බවට පත්කරගන්න එයා කරන්නෙ මැරවැඩ. එයාගෙ ලෝකෙ එයාට වඩා කෙරුමෙක් නෑ.

    පර්වර්ට් චරිතයක් අසීමිත තෘප්තියක් හඹා යනවා. එයාට හිතෙන්නෙ නීතිය, සමාජ සදාචාරය වගේ දේවල් රැවටිලිකාරයි, දුර්වලයි කියල. ඒක හින්දා එයාට පුළුවන් ගානක් නැතුව මට මතක නෑ කියන්න.

    හොරෙන් කෙල්ලො එක්ක කෝල් ගත්තට, ඒවා රෙකෝර්ඩ් කළාට රංජන් පර්වර්ට් කෙනෙක් නෙමෙයි. කෙනෙක් ලීක්වෙන වීඩියෝ බැලුවට ඒවා බලලා ස්වයං වින්දනය කළාට පර්වර්ට් කෙනෙක් වෙන්නෙ නෑ වගේම තමයි. ඒ වීඩියෝ එක ෂෙයාර් කරලා ඒකට අපහාස කරන තැනදියි පර්වර්ට් අඳුරගන්න පුළුවන් වෙන්නෙ. අනෙකා පීඩාවට පත් කරමින් තමන්ගේ සතුට ලැබීමේ මොහොත සලකුනු කිරීමයි ඇත්ත විපරීතභාවය.

    “පර්වර්ට් කියන්නෙ මොකක්ද? සමාජ සම්මතයන් කඩන එක හෝ සදාචාරයක් නැතිකම නෙමෙයි. පර්වර්ට් කෙනෙකුගෙත් මේ සංකේත ලෝකය රෙජිස්ටර් වෙලා තියෙනවා. පර්වර්ට් කියන්නෙ ස්වභාවික නොවෙන දේ කිරීම නෙමෙයි. ප්‍රජනනයෙන් බාහිර සෙක්ස් නෙමෙයි. පර්වර්ට් කියන්නෙ ආකෘතියෙන්ම වෙනස් දෙයක්” කියල ලැකාන් කියනවා.

    රංජන්ගෙ කෝල් ආන්ඩුවෙන් ලීක් කරලා ඒවායේ ඉන්න මිනිස්සු අපහසුතාවයට පත් කළා මිස ඒවා පටිගත කිරීම හරහා රංජන් කොයිවෙලාවකවත් ඒ අයව පීඩාවට ලක් කළේ නෑ. ඒ හැම කෝල් එකකම අනිත් පැත්තෙ මනුස්ස සම්බන්ධයක් තියෙනවා. ඒ මනුස්සයාට හානි නොකිරීමේ උවමනාවක් තියෙනවා. සම්මත සදාචාරයට එකඟ නැති වුනත් රංජන් කරන්නෙ මානව විරෝධී දෙයක් නෙමෙයි. එයා පවුල කියන ආකෘතියෙන් එලියෙ ඉඳන් යහපත් විදිහට වල්කම් කරනවා. රංජන් කියන්නෙ හොඳ වලත්තයෙක්. එයා අශ්ශීල නෑ.

    රංජන් ඇතුලෙ ඉඳිද්දි දුමින්ද සිල්වා නිදහස් වෙනවා. සම්මුතියේ රාමුව පිළිගන්න එකා ඇතුලෙ ඉඳිද්දි සම්මුතියේ රාමුව කැඩීමෙන් ප්‍රමෝදය ලබන්නා එලියට එනවා. එතකොට සමාජයේ සමස්තයට තමන් සංකේත ලෝකය කියල විශ්වාස කරපු නීතිය, යුක්තිය, සදාචාරය ගැන අවුලක් ඇතිවෙනවා. පෝය දවසෙ යහපත ගැන පොදු හැඟීම අර්බුදයට යනවා . ඒ අපි විශ්වාස කරන සංස්කෘතික පද්ධතිය අපේ සම්මුතිය අපි හිතන දේ නෙමෙයි කියල අපි දකිනවා. මේ අශ්ශීලබව සමාජය නරුම කරනවා.

    ඒකාධිපති බලය තමන්ට අභියෝග කරන අකීකරු කොල්ලට වඩා තමන්ගේ අඳුර, පාතාලය මුදාහරින පර්වර්ට් කොල්ලට කැමතියි. මොකද ඒකාධිපති බලය කියන්නෙමත් පර්වර්ස් එකක්.

    ඒක හින්ද පොසොන් පෝය, දුමින්දාගමනය, රංජන්ට ඇප නැති වීම කියන්නෙ මේ වෙලාවෙ අපේ සමාජ මනස තේරුම් කරන රූපකමය පිහිටීමක්. හිස්ටරිකයා සිරගත කොට විපරීතයා මුදාහැරීම කියන්නෙ කතන්දරයක්.

    හිස්ටරිකයා සමාජයේ අශ්ශීලබව ප්‍රතික්‍ෂේප කරනවා. විපරීතයා ඒ අශ්ශීලබව නියෝජනය කරනවා. අපි නිදහස් කරන්නෙ කාවද කියන එක මත අපේ සමාජ පිහිටීම ලකුණු කරනවා.

  • තව පෝයක් ඕන

    තව පෝයක් ඕන

    පෝය කියන දවස හරිම ලස්සන දවසක්. කාලයක් මම ආගමික පටු අර්ථයකින් පෝය දිහා බලලා මේ තේරුමක් නැති නිවාඩුව ගැන විවේචන කළා. ඒත් දැන් මට පෝය කියන්නෙ බෞද්ධ දවසක් නෙමෙයි. මිනිස්සු සිස්ටම් එකෙන් ගැලවෙන අමුතු දවසක්. සති අන්ත නිවාඩුව කියල කිව්වට සෙනසුරාදාත් දවස් පහටම ඈඳිලා ඉවරයි. ඉතුරු වුනේ ඉරිදා විතරයි. ඉරිදා කියන්නෙ අතීතයේ ඉඳන්ම සූර්ය දෙවියන්ට පූජා පිනිස වෙන් කරපු දවස. ඒක හෝලිඩේ නැත්තං ආගමික දවසක්. ඒ ආගමික දවස් තියෙන්නෙ අපේ පුංචි වෙමින් යන ජීවිතේ විශාලත්වය මතක් කරන්න. අපි ජීවිතේට වඩා බරට කරට අරන් තියෙන වැඩවලින් නිදහස් වෙලා තමන් ගැන, තමන් වටවුනු විශාල විශ්වය ගැන කල්පනා කරන්න තියෙන දවස්. ඒත් ඉරිදා කියන්නෙත් මේ වෙද්දි ඒ ආධ්‍යාත්මික අදහසින් සම්පූර්ණයෙන් බැහැර වුනු සාමාන්‍ය දවසක්. සතියෙ අනිත් දවස් හයේම ඉතුරු වැඩ ටික ඉරිදාට පැවරෙනවා.

    පෝය කියන්නෙ චන්ද්‍රයාගේ දවස. ඒක මාසෙකට වරක් අතරමැද දවසක අහම්බයක් විදිහට එනවා. සියලු බාහිර විනෝදයන් අහිමියි. කඩසාප්පු ඔක්කොම වැහෙනවා. මිනිස්සු වැඩ කරන්නෙම නෑ. අත්ඇරලා දාපු දවසක් වගේ. එකම කරදරේට තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකර් එක. එහෙම නැත්තං පෝය කියන්නෙ අපිට ඇතුලතට හැරෙන්න බලකරන දවසක්. ඒක අපිව මොහොතකට නතර කරනවා. අපිට ආධ්‍යාත්මික නිවාඩුවක් ගන්න කියල පණිවුඩයක් දෙනවා.

    එහෙම දවස් මනුස්සයන්ට ඕන. තමන් ගත කරන ජීවිතෙන් වෙන් කරන අපේ පැවැත්ම සිහිපත් කරන දවස්. අපි වෙහෙස වන කෘතිම දේවල්වලින් දවසකට හරි මිදෙන දවස්. මිනිස්සු ඉපදෙන්නෙ වැඩකරන්න නෙමෙයි. මිනිස්සු වැඩ කරන්න ඕන තමන් ඒ වැඩෙන් තෘප්තිමත් වෙනවා නම් විතරයි. ඒත් අපි වැඩකරන්නෙ වැඩේ ගැන අතෘප්තියෙන්, වැඩෙන් ලැබෙන මුදල ගැන තණ්හාවෙන්. අපි අතෘප්තියෙන් දවස් විසි නවයක් වැඩකරනවා එක පඩි දවසක තෘප්තිය වෙනුවෙන්. ඒක ජීවිතය ගැන හොඳ සැලසුමක් නෙමෙයි. අපි නොදැනුවත්ව අපේ යහපත වෙනුවෙන් කියල නිර්මාණය කරගත්ත සිස්ටම් එක අපිවම භෞතික ශ්‍රමයකට වැඩි දෙයක් නොවන තැනට ඌනනය කරලා තියෙනවා. අපිට ඒ සමාජමය සංස්කෘතිකමය ආර්ථිකමය හිරගෙයින් එලිය දකින්න තියෙන පුංචි විවරයක් තමයි පෝය කියන්නෙ.

    පෝය ඇත්තටම ආගමික අර්ථයකින් ගැලවිලා ආධ්‍යාත්මික අර්ථයකට පෙරලෙන එක වැදගත්. පෝය කියන්නෙ අපේ මිනිස් පැවැත්ම ගැන සිහිපත් කරන දවසක් වෙන්න ඕන. දානයේ, මිනිස් ඇසුරේ, ශරීර ස්පර්ශයේ, විවේකයේ, භාවනාවේ සහ පූජාවේ දවසක් විදිහට පෝය ගතවෙන්න ඕන. අපි ආගමිකව කියන්නෙ සත්‍යය හොයාගෙන යනවා කියලනෙ. ඒ සත්‍යය කියන්නෙ සමාජ ජීවිතය වෙනුවෙන් අපි යටපත් කළ, ඩයිවර්ට් කළ ආශාවන්ගේ සත්‍යය. ඒ ආශාවන්ට නිරුවත්ව සිහියෙන් යුතුව මුහුණදීම. ඒවා ගැන සවිඥානක වීම. එතනදි ඒ ආශාවන් නිදහස් කිරීම හෝ ඒ ආශාවන් දැනුවත්ව පාලනය කිරීම මාර්ගයන් විදිහට තෝරගන්න පුළුවන්. නමුත් අපි අපේ ගැඹුරු මිනිස් පැවැත්ම බාරගන්නවා. ඒ සත්‍යය වෙනුවෙන් පෝය දවස වෙන් වෙන්න ඕන.

    කෙනෙක් ඒක සංගීතයෙන් කරන්න පුළුවන්. කෙනෙක් එක්ක සිත්තමක් එක්ක කරන්න පුළුවන්. සමහර විට ආරාමයක. සමහර විට සංවාදයෙන්, සංවාසයෙන්, සයිකඩෙලික් උදව්වකින්, මේ මොනම ආකරයකින් වුනත් බාහිර ලෝකය වෙනුවට තමන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි වැදගත්.

    අපි දුප්පත් කියන්නෙ අපි කරන කැපකිරීම් වැඩියි කියන එක. අපි අපේ ජීවිතයේ ලොකු කොටසක් සමාජයත් එක්ක ජීවත්වීම වෙනුවෙන් කැපකරලා තියෙනවා. අපේ පවුල්, අධ්‍යාපනය, රස්සාව වෙනුවෙන් කැපකරලා තියෙනවා. කොයිතරම් කැපකරලා තියෙනවද කියල කිව්වොත් අපි ඒකට ජීවිතය කියලත් කියනවා. ඒ හැමදෙයක්ම කරලා අන්තිමට දරුවන්ට කියනවා අපි උඹලා වෙනුවෙන් කෙරුවා කියල. දරුවොත් ඒකම කරනවා. අපි කම්කරුවො හෝ වහල්ලු වෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක් හින්ද නෙමෙයි. අපිට ඊට වඩා දෙයක් නිර්මාණය කරගන්න බැරිවුන හින්ද. අපි අපේ තෘප්තිය හොයාගෙන යනවා වෙනුවට අනාගත තෘප්තියක් වෙනුවෙන් කැපකිරීම තෝරගත්ත හින්ද. හැමදාම වර්තමානය කැපකිරීමයි දුප්පත්කම කියන්නෙ. අනාගතය ගැන ලොකු හීන තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. පෝසත් මිනිස්සු කියන්නෙ වර්තමානය සංතෘප්තියෙන් ගතකරන අයට. බුදුන් පොහොසත් වෙන්නෙ එහෙමයි. ඒ ගතකරන මොහොත පරිපූර්ණව ගත කරන්න තෝරාගැනීම හින්ද. තමන්ගේ මිනිස් පැවැත්මේ ගැඹුර ස්පර්ශ කරන ජීවිතයක් තෝරගත්ත හින්ද. අපි වර්තමානය තෝරාගන්නා මොහොතේදී අපි කම්කරුබවෙන් නිදහස් වෙනවා. මේ මොහොතේ අත්විඳිය යුතු තෘප්තිය මේ මොහොතේ අත්විඳීමට තීරණය කරන තැනින් අපි මොහොතක හෝ පොහොසත් බවක් විඳිනවා.

    කම්කරුවෙක් හවසට බොන එක ගැන මං සතුටු වෙන්නෙ ඒ හින්ද. ඒක ඒ මනුස්සයා තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ගන්න එකම හිතුවක්කාර තීරණය හින්ද. එයාගෙ ජීවිතේ එයා ගත කරන එකම පොහොසත් මොහොත ඒක. ඒ මුදලත් නැවත අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියන එක මේ සිස්ටම් එකේ වහල්බව විසින් මතුකරන තර්කයක්. ජීවිතය තියෙන්නෙ තෘප්තිය පැත්තෙ මිස අතෘප්තිය පැත්තෙ නෙමෙයි. පැවැත්ම තියෙන්නෙ විවේකය පැත්තෙ මිස කාර්යබහුල වීම පැත්තෙ නෙමෙයි.

    මේ දේවල් ගැන හිතන්න විවේකය දෙන පොහොසත් දවසක් පෝය කියන්නෙ.

    ඒත් මං කැමතියි පෝය කැලන්ඩරයෙ ලකුණු වෙලා නොතිබුනා නම්. පෝය කියන්නෙ සැලසුම් කළ නොහැකි දවසක් වුනා නම්. මාසෙකට වරක් එන සම්පූර්ණයෙන් අහම්බ දවසක්. ඊට කලින් දවසේ රාත්‍රියේ පමණක් නිශ්චිතව කිව හැකි දවසක්. අපේ වැඩ නතර වෙන වෙලාව ගැන අපිට කිසිම සැලසුමක් නැති කරන ඩිස්රප්ෂන් එකක්. පෝය එහෙම වුනා නම් ඒකෙ ආධ්‍යාත්මික ගුණය තවත් වැඩි වෙනවා. දවස ගැන සැලසුමක් නැති තැනදි අපි අපේ පැවැත්මේ හිස්තැනට ඇදවැටෙනවා. අපිට වර්තමානය බලහත්කාරයෙන් වුනත් බාරගන්න වෙනවා. ඉර හඳ ගැන කෘෂිකාර්මික යුගයක විශ්වාස මත පදනම් වුනු ඒ ආධ්‍යාත්මික අවකාශයන් නූතන වපසරියට ගැලපෙන විදිහට නැවත නිර්මාණය කරන්න පුළුවන් වුනා නම් වටිනවා.

    එහෙම වුනා නම් අපිට තව අලුත් පෝයක් නිර්මාණය කරගන්න තිබුන. කැලන්ඩරයේ නැති අපිට ජීවිතය මුනගැහෙන පෝයක්.


    චින්තන ධර්මදාස

  • ආදරයෙන් අවබෝධයට තන්ත්‍ර යෝග

    ආදරයෙන් අවබෝධයට තන්ත්‍ර යෝග

    අද ලෝක යෝග දිනය. යෝග කියන්නෙ සම්බන්ධ වීම, ඒකත්වය කියන තේරුම. යෝග කිව්වම අපිට මුලින්ම මතක් වෙන හථයෝග වුනත් කර්ම යෝග, ඥාන යෝග, රාජ යෝග ආදී තවත් යෝග සම්ප්‍රදායන් තියෙනවා. ඒ වගේම තන්ත්‍ර පැත්තෙන් තන්ත්‍ර යෝග විදිහට හඳුන්වන විශ්වය සමග අපේ ඒකාත්මිකත්වය ඇති කරන පුහුණුවීම් තියෙනවා. හථ යෝග වලදි අපි ගොඩක් වෙලාවට එක ඉරියව්වක ආසනයක බොහෝ වේලාවක් හිඳීම පුහුණු කරන අතර තන්ත්‍රවලදි එක ඉරියව්වකින් අනෙකට චලනය ගැන අවධානය යොදනවා. ඒ වගේම භාවනා, මන්ත්‍ර, ප්‍රාණයාම ආදී සියල්ලත් මේ ශාරීරික පුහුණුව ඇතුලට ගේනවා.

    අපි තන්ත්‍ර යෝග කියපු ගමන් හිතන්න පෙළඹෙන්නෙ ලිංගික විලාසයන් ගැන. ඒ බටහිර ගොඩක් ජනප්‍රිය වුනු තන්ත්‍රවල කුඩා කොටසක්. ඒකට කියන්නෙ රක්ත තන්ත්‍ර කියල. තමන්ගේ ප්‍රේමය සමග කයින් එකතු වීමෙන් ඒ ආස්වාදය තුලින් ශාරීරික සීමාවන්ගෙන් ඔබ්බෙහි වූ ඒකත්වයක් සොයායාමේ සාධනාව. අනෙක් කොටසට කියනවා ශ්වේත තන්ත්‍ර කියල. ඒ පුහුණුව තියෙන්නෙ තනිවම. තමන් තුලින් තමන්ව සොයාගෙන යාමෙන් විශ්වය සමග ඇති ඒකත්වය අවබෝධ කරගැනීමේ සාධනාව. තමන් තුල මේ සෙවීම ප්‍රගුණ කළ කෙනෙකුටයි ප්‍රේමාන්විතයා සමග සම්භෝග සමාධියට යන්න පුළුවන් වෙන්නෙ. ශ්වේත යෝග කියන්නෙ තමන්ට ප්‍රේම කිරීමේ අභ්‍යාසයක් විදිහටත් දකින්න පුළුවන්.

    තන්ත්‍ර යෝග ගැන ගොඩක් කතන්දර සම්බන්ධ වෙන්නෙ පරිපූර්ණ විඥානය මූර්තිමත් කරන ශිවට. තන්ත්‍රවල බොහෝ පුහුණුවීම් සහ උපදෙස් ලැබෙන්නෙ ශිවගෙන් පාර්වතීට. පාර්වතී අහන ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. ඒවා ආදර සංවාද.

    ශිව පාර්වතී ආදරය ගැන කතාවත් හරිම ගැඹුරු තේමාවන් ස්පර්ශ කරන එකක්. ඒක පටන් ගන්නෙ මෙහෙම.

    ශිව ගැඹුරු ධ්‍යානයකට සමවැදිලා බොහෝ කාලයක් එකම ඉරියව්වෙන් භාවනාවේ ඉන්නවා. ඒත් ශිව කියන්නෙ මේ විශ්වයේ එක්තරා විශේෂ කාර්යයක් භාර කෙනෙක්. ලෝකයට අවශ්‍ය නොවෙන දේවල් ඉවත් කිරීම, විනාශ කිරීම සිදු කරන්නෙ ශිව. එතකොට ශිව මේ විදිහෙ උග්‍ර භාවනාවලට ගියාම ලෝකයේ සමතුලිතබව නැති වෙනවා. හැමදේකම පාලනයක් නැති වෙනවා. ඉතින් දෙවිවරු කලබල වෙනවා.

    ඒ අයට ඕන වෙනවා ශිවගේ දැහැන බිඳින්න. ඒක කරන්න පුළුවන් එක විදිහයි තියෙන්නෙ. ඒ තමයි ශිව ආදරයෙන් මුසපත් කරන එක.

    මේක කරන්න පුළුවන් එක්කෙනයි දෙවිවරු දන්නෙ. ඒ තමයි මහා මාතාව ශක්ති. එයා ඉන්නෙ එයාගෙ කඳුවැටියක. දෙවිවරු ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිනවා ශක්තිගෙන් ශිවගේ මනුෂ්‍ය පෙම්වතිය වෙන්න කියල.

    ඇය කියනවා මගේ පෙම්වතා වෙන්නෙ ශිව නම් මම ඔහු වෙනුවෙන් කාලය සහ අවකාශය අතරට යන්නම්. මම ඔහුගේ සදාතනික පෙම්වතිය වෙන්නෙම්, කියල.

    ඇය කඳුකර රජෙකුගේ දියණියක් විදිහට මනුස්ස රූපයකින් ඉපදෙනවා. කඳුකර දියණිය කියන අදහස ඇතුව ඇයට පාර්වතී නම ලැබෙනවා. අවුරුදු දාසයක් ගතවුනු තැන පාර්වතී ශිව භාවනා කරන අසපුවට යන්න ගන්නවා. එතන වතාවත් කරනවා. භාවනා කරනවා. වැඩිවෙලාවක් ශිව දෙස බලාගෙනම ඉන්නවා. ඒත් ශිව නෙමෙයි එකවරක්වත් දෑස් විවර කර බලන්නෙ.

    මේක දකින දෙවිවරු කලබල වෙනවා. මේ ආදරයට ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්න කල්පනා කරනවා. ඒ ගොල්ලො ආශාවට අධිපති කාම කැඳවනවා. කාම ළඟ තියෙනවා උක්දඬුවලින් හදපු මල් හී පහක්. ආශාව ඇති කිරීම, සිත වියවුල් කිරීම, ආශාවෙන් ඇවිලීම, පිපාසය සහ විනාශය කැඳවීම කියන්නෙ ඒ හී පහට කරන්න පුළුවන් වැඩ. එයා දෙවියන්ගේ ඉල්ලීම අනුව ශිවගේ හදවතට මල් හීයක් විදිනවා.

    ඒ හීයෙන් ශිව ආශාවෙන් පිරී යනවා. කාම ගින්නෙන් දැල්වෙනවා. එයා ඇස් ඇරලා බලද්දි සුන්දර පාර්වතී එයාගෙ ඇස් දිහා බලාගෙන ඉන්නවා.

    ඒත් මේ නිකම්ම අන්ධ වෙන පෙම්වතෙක් නෙමෙයි. ශිවට සැක හිතෙනවා මේ හැඟීම ගැන. මේක සැලසුමක් කියල හිතනවා. එතකොට එයා කාම දකිනවා.

    මුගෙ අම්මට… කියල තුන්වෙනි ඇස විවර කරන සැනින් කාම එතනම අළුවෙලා වැටෙනවා. ශිව ආපහු දැහැනට සමවදිනවා. ආදරය අමතක කරනවා.

    පාර්වතී දැනගන්නවා තමන්ට තිබුණු අවස්ථාව ගිලිහුනු බව. එයා යෝගිනියක් වෙනවා. උග්‍ර ව්‍රතයන් පුරන්න පටන් ගන්නවා. තනි පයින් සීත හිම මත අවුරුදු ගණන් හිටගෙන මන්ත්‍ර කියනවා.

    ඕම් නමහ් ශිවාය ශිවාය නම ඕම්..

    මේ ව්‍රතයේ බලයෙන් මුලු පරිසරයම උණුසුම් වෙන්න ගන්නවා. ශිවට තමන්ගේ දැහැනේ ඉන්න බැරි තරමට උණුසුම දැඩි වෙනවා. ශිව එයාගෙ ඇස් ඇරලා බලනවා. මේ උණුසුමට හේතුව පාර්වතී බව දකිනවා. ඒ ඇගේ ආදරයේ අරගලය බව තේරුම් ගන්නවා. ඇගේ හිත තවත් පරීක්ෂා කරන්න ශිවට ඕන වෙනවා.

    එයා රාජ කුමාරයෙකුගේ වෙස් අරගෙන පාර්වතී මුනගැහෙන්න යනවා. පාර්වතී දුටු ගමන් ඇගේ රුව වර්ණනා කරනවා. ඇගේ හදවත පැහැර ගත් පෙම්වතා කවුද කියල විමසනවා.
    ඇය ශිවගේ නම කියනවා.

    අයියෝ, ඔයාට අර කන්දක් උඩ ඉන්න මිනිහද? එයාට පවුලක් ගැන හැඟීමක්වත් නෑ. කොච්චර කාලයක් තිස්සෙ තනියම ඔහොම ඉන්නවද. ගොඩක් වෙලාවට හෙළුවෙනුත් ඇවිදිනවා. ඔයාට පුළුවන් නෙ විෂ්නු වගේ ඔයාව සැපෙන් සුවෙන් තියන්න පුළුවන් කෙනෙකුගෙ පෙම්වතිය වෙන්න. මේ පිස්සු හිඟන්නෙක් පස්සෙ යන්නෙ නැතුව.

    රාජ කුමාරයා කියනවා. මේකට පාර්වතීට හොඳටම තරහ යනවා. ඇගේ ඇස්වලින් ගිනි පිටවෙනවා.
    ශිවට පවුලක් නැත්තෙ ශිව සම්මතය සහ ආකෘතිය ඉක්මවා පවතින නිසයි. ශිව නිරුවතින් ඉන්නෙ ඔහු පිරිසිදු විඥානයම හැර අන් කිසිවක් නොවන නිසයි. මම ආදරය කරන්නේ ඒ කන්ද උඩ ඉන්න පිස්සාටම විතරයි.

    මෙයින් ශිවගේ ආදරය ගැන සැක හැරෙනවා. ඔවුන් පෙම්වතුන් වෙනවා. කෛලාශ කූටය ඔවුන්ගේ ප්‍රේමයේ අසපුව වෙනවා. අවුරුදු 33000ක් එක දිගට ශිව සහ පාර්වතී රමණය කරනවා. ඒ රමණය අතර තුර විරාමයේදී ඔවුන් සත්‍යය ගැන සංවාද කරනවා. තන්ත්‍ර කියන්නෙ ඒ රමණ අතර සත්‍යය සොයන සංවාදයට.

    හරියටම කිව්වොත් තන්ත්‍ර කියන්නෙ පාර්වතීගේ කොට්ටෙ උඩ වැතිරිලා මහායෝගී ශිව කියන විශ්වයේ ඒකාත්මිකතාවය ගැන කතන්දර.

    තන්ත්‍ර යෝග බිහිවුනේ අන්න එතනදි කියලයි මිත්‍යා කතාවල කියන්නෙ.

  • තාත්තා

    තාත්තා

    අද ලෝක පියවරුන්ගෙ දිනය. ඒක නිසා හැමෝම වගේ තමන්ගේ තාත්තා ගැන මතක් කරලා සුබපැතීම් කරනවා. මේ අතරෙ අපිට පුළුවන් කල්පනා කරන්න අපිට තාත්තාව මුනගැහෙන තැන. ඒ කියන්නෙ ඉපදුනු දවස නෙමෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව අපිට තාත්තාව මුනගැහෙන්නෙ අපේ ඊඩිපස් සංකීර්ණය ඇතුලෙදි. ඒ කියන්නෙ අපේ අවුරුදු 03-05 දක්වා කාලෙදි.

    අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා අපේ ළමා කාලය හරිම සුන්දර එකක් කියල. ඒත් ෆ්‍රොයිඩ් අපේ මනස ඇතුලෙන් හොයාගත්තෙ ඊට වඩා ගොඩක් වෙනස් ළමා කාලයක්. ඒ කාලෙ අපිට ඉතාම තදබල ආශාවන් තියෙනවා. ඒ වගේම ඒ ආශාවන් නිසා හටගත් බය, ආතතිය දැනෙනවා. ඊඩිපස් සංකීර්ණයත් එක්කම අපි ආදර සම්බන්ධතාවලට ඇතුල්වෙනවා. මේ ආදර සම්බන්ධතා ඇතුලෙ අපි ජීවිතේ ලොකුම ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

    මේ කාලෙදි අපිට සිද්ද වෙනවා අපි ආස කරන දේ කැප කරන්න. දේවල් අත්හරින්න. අපි කීකරු වෙනවා. කීකරු වෙනවා කියන්නෙම අපේ ආශාවන් රිප්‍රෙස් කරනවා. අපේ කීකරුබව, විනය ඇති කරන්නෙ තාත්තා විසින්. අපිට ජීවිතේ මුලින්ම මුනගැහෙන අධිකාරී බලය තමයි තාත්තා කියන්නෙ.

    පොඩි එකෙක් ඉපදෙද්දි ඌට ලෝකෙ රජා විදිහට දැනෙන්නෙ ඌව. කැමති හැමදෙයක්ම ඒ වෙලාවෙම ඉටු කරගන්නයි ඌට ඕන. විශේෂයෙන්ම අම්මව තමන්ට අයිති වස්තුවක් විදිහටයි පොඩි එකා දකින්නෙ. මේ ඊඩිපස් කාලෙදි ඌ තේරුම් ගන්නවා අම්මව තමන්ට අයිති නෑ කියල. අපිට ඕන විදිහට හැමදේම සිද්ද වෙන්නෙ නෑ කියල. මේ හරිම ප්‍රචන්ඩ අත්දැකීමක් දරුවෙකුට.

    හැම දරුවෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නෙ මේ ඊඩිපස් සංකීර්ණය තරණය කිරීමේ මහා අභියෝගය දෑතින් අරගෙන.

    සෑහෙන කාලයක් යනකල් මේ ඊඩිපස් කම්ප්ලෙක්ස් කියන එක තේරුම් අරගෙන තිබුනෙ වැරදියට. ගොඩක් අය මේ ගැන හිතුවෙ දරුවෙක් තමන්ගේ විරුද්ධ ලිංගික මව හෝ පියා වෙත ආකර්ශනය වෙමින් සමලිංගික පාර්ශ්වය සමග ගැටීමක් ඇති කරගැනීම කියල. ඒක ඊඩිපස් කම්ප්ලෙක්ස් එක සිම්ප්ලෙක්ස් එකක් කිරීමක්. සංකීර්ණයක් කියන්නෙ තත්වය ඒ තරම් සරල නෑ කියන එක.

    ෆ්‍රොයිඩ් මේක නිවැරදි කරනවා. එයා කියනවා පිරිමි වුනත් ගැහැණු වුනත් දරුවෙක් ආදරෙන් බැඳෙන්නෙ තමන්ගේ මවත් සමග කියල. පියා සමග ඇතිකරගන්නා බැඳීමට ඉලෙක්ට්‍රා සංකීර්ණය යනුවෙන් සංකල්පයක් පාවිච්චි කිරීම පවා තේරුමක් නෑ කියල ෆ්‍රොයිඩ් පසුව කියනවා.

    දරුවෙක් මව සමග ඇති කරගන්නා සම්බන්ධය ලිංගික එකක් කියල ෆ්‍රොයිඩ් පැහැදිලිව කියනවා. නමුත් ඒ ලිංගික කියන අදහස අපි වැඩිහිටි වයසෙදි ලිංගික කියන අදහස එක්ක සමපාත එකක් නෙමෙයි. ඒක අපිට හිතාගන්න බැරි විදිහක එකක්. තමන්ට හැකි හැමදෙයක්ම මේ වෙද්දිත් දෙන, හැමවෙලාවකම ළඟ රැඳෙන, තුරුලේ රඳවන මවගෙන් තවත් දේ ආශා කිරීම කියන්නෙ ඒක වෙනස් තත්වයක්. ඉරීමෙන්, සැපීමෙන්, ලිංගේන්ද්‍රට ඇතිල්ලීමෙන් ආදියෙන් දරුවෙක් මේ ආශාව තෘප්තිමත් කරගන්නවා. ඒක වෙනස් පරිමාණයක ලිංගික උවමනාවක්.

    ඊඩිපස් කාලෙදි දරුවෙක් තේරුම් ගන්නවා අම්මාගේ සම්පූර්ණ ලෝකයම තමන් නෙමෙයි කියන එක. තමන්ගෙන් බාහිර ලෝකයක් මවට පවතිනවා කියන එක. අම්මාගේ ආදරය ලබාගැනීමේ තරගය ඇති වෙනවා. ඇගේ ආදරය ලබන වෙන ඕනම කෙනෙක් එක්ක ඊර්ශ්‍යාව, තරහව ඇති වෙනවා. මෙතන බොහෝ විට ඉන්නෙ තාත්තා. නමුත් තාත්තා හෝ සහෝදර සහෝදරියක හෝ කවුරුන් හෝ මේ බාධකය වෙන්න පුළුවන්.

    දරුවෙකුට තමන්ව මවගෙන් වෙන් කරන ජීවිතයේ වේදනාකාරීම බාධකය වෙන්නෙ තාත්තා. දරුවෙකුගේ ජීවිතේ පරිපූර්ණම ප්‍රේමය අසම්පූර්ණ කරන්නෙ තාත්තා.

    දරුවෙක් තමන්ගේ ආශාව ගැන බයට පත්වෙනවා. ඒක දැනගත්තොත් මොනවා කරයිද කියල. තමන්ගේ ආදරයේ වස්තුව තමන්ට අයිති නෑ කියල දරුවෙක් තේරුම් ගන්නවා.

    තාත්තා කියන්නෙ අම්මා සහ දරුවා වෙන් කරන කවර හෝ බාධකයකට.

    ෆ්‍රොයිඩ් කියන්නෙ අපි ගැහැණු හෝ පිරිමි බවට පත්වෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙන් පස්සෙ කියල. ඒ කියන්නෙ තාත්තා මුනගැහීමෙන් පස්සෙ. තාත්තා පිරිමි විදිහටත් අම්මා ගැහැණු විදිහටත් අපිට මෙතනදි මුනගැහෙනවා. පුරුෂ ලිංගයක් හිමි දරුවා තාත්තාට වඩා පිරිමිබව මඳක් අඩුවෙනුත් පුරුෂ ලිංගයක් අහිමි දරුවා මවට වඩා ස්ත්‍රීභාවය මඳක් අඩුවෙනුත් තමන්ව පිහිටුවා ගන්නවා. ඊඩිපස් සංකීර්ණය කියන්නෙම අපිට පූර්ණ පිරිමියෙක් හෝ ගැහැණියක් විය නොහැකියාවට. අපේ අසමත් වීමට. කිසි කෙනෙක් මේ සංකීර්ණය නිවැරදිව විසදාගන්නවා කියල එකක් නෑ. හැමකෙනෙක්ම මෙතනදි ඩැමේජ් වෙනවා. අපි සමාජගත වෙන්නෙම ඩැමේජ් ජීවිත විදිහට.

    අපේ තාත්තා වඩා බලවත් වෙද්දි අපේ කීකරුබව යටත්බව වැඩිවෙනවා. සමාජයට අවනත, සම්මතය බාරගන්නාසුලු දරුවන් බිහිවෙනවා. අපි අපේ තාත්තා වීරයෙක් හැටියට දකිනවා. ඒ තාත්තා ඇතුලෙ අපේ ආරක්ෂාව රැකවරණය හොයනවා.

    තාත්තාට බයෙන් යටපත් ආශාවන් ජීවිත කාලය පුරාම අපිව බයට පත් කරනවා. අපේ සම්බන්ධතා ඇතුලෙ හොල්මන් කරනවා. ඇත්තටම මනුස්සයෙකුගේ ජීවිතය කියන්නෙ පවුල ඇතුලෙ අත්විඳි භීතීන්ගෙන් නිදහස් වෙන එකට.

    තාත්තා අපිට මුනගැහෙන්නෙ ආගමික සංස්කෘතික ආධිපත්‍යයක් විදිහට. තාත්තා තමයි සමාජය අරගෙන එන්නෙ. එයා තමයි අපේ ආශාව වාරණය කරන්නෙ. අම්මයි දරුවයි අතර තියෙන ස්වභාවික අපචාරී සම්බන්ධය බිඳින්නෙ තාත්තා මැදිහත් වීමෙන්.

    ඊට පස්සෙ අපි අපේ ඇතුලෙ වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. අපි ඇතුලෙම සදාචාරයක් අධිකාරියක් හදාගන්නවා. අම්මා අපේ ජීවමය උපත වුනාට අපේ සංස්කෘතික උපත සලකුනු කරන්නෙ තාත්තා.

    ඉතින් හැම සංස්කෘතික දුවෙක්ම පුතෙක්ම ඒ තාත්තාට සුබ පතන්න ඕන. වීරයෙක් ලෙස බාරගැනීම මිස කළ හැකි අන් කිසිවක් නොමැති ජීවිතයේ සොඳුරුතම දුෂ්ටයා වීම වෙනුවෙන්.

    සුබ පියවරුන්ගේ දිනයක් වේවා.

  • මැයි දෙසැම්බර් ප්‍රේමය

    මැයි දෙසැම්බර් ප්‍රේමය

    මේ ප්‍රවෘත්තිය දැක්කෙ අහම්බෙන්. අවුරුදු අසූවක පිරිමියෙක් එක්ක අවුරුදු 29ක ගැහැණියකගේ විවාහය. ඒක රූපවාහිනී ප්‍රවෘත්තියක් වෙනවා.

    එහෙම ප්‍රවෘත්තියක් වීම එක විදිහකට වැදගත්. මේක තෝරගන්න මූලික වෙන හේතුව නරඹන ජනතාවගේ ‘අනේ බලන්නකෝ නාකි කෝලම්’ ‘ඊයා නේද තාත්තටත් වඩා වයසයි’ ආකාරයේ සාමූහික ජාගර උපහාස රසයක් ඇතිකිරීම බව පැහැදිලියි. ඒත් අනිත් පැත්තෙන් අපි දන්නෙම නැතුව අපේ ආදර ලෝකෙ වයස් සීමාව තරමක් හරි පළල් කරන්නත් මේක හේතුවක් වෙනවා. ඊළඟට අවුරුදු 75ක ප්‍රේමවන්තයෙක් දැක්කට ඒ තරම් අපේ අපහාස උපහාස රසය ඇවිස්සෙන්නෙ නෑ.

    වැදගත්ම දෙයක් තමයි මේ වගේ ප්‍රවෘත්තියකට වැටෙන කමෙන්ට් දිහා පරීක්ෂාවෙන් බලන එක. සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් දාන්නෙ ළඟ ඉන්න කෙනෙක් එක්ක ජුගුප්සාව පළකිරීමෙනුත් තෘප්තිමත් කරගන්න බැරි තරමෙ ආශාවක් තිබුනම. ඒක එක්තරා විදිහකට සමාජයේ අවංකම අවුලක් ප්‍රදර්ශනය කරනවා.

    මේ කමෙන්ට්වල වැඩිහරියක් උපහාසයට නගන්නෙ මේ අසූ වියැති පෙම්වතා සමග මේ කාන්තාවගේ සංවාස අභ්‍යාසයි. මෙතනදි මෙවන් තරුණියකගේ පහස ලැබීමේ වාසනාව ගැනත් කතා වෙනවා. ප්‍රශංසාත්මකව හෝ ආස්වාදනීය ආකාරයකින් නෙමෙයි. හියුමිලියේෂන් ආස්වාදයකට.

    මෑතක කරපු පර්යේෂණයකින් එලිදරව් වෙනවා අවුරුදු 65 – 80 දක්වා කියන්නෙත් ලිංගිකව සක්‍රීය වයසක් කියල. ඒ වගේම ඒ අය බොහොමයක් කියනවා තමන් ලිංගිකව තෘප්තිමත් බවත්. 40%ක් මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒ වගේම මේ වයස් කාණ්ඩයෙන් අඩකටත් වඩා කියනවා සෙක්ස් කියන එක තමන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පවත්වාගෙන යන්න වැදගත් කියල.

    එතකොට වයස එක්ක සෙක්ස් ගැලපීමෙන් නගන හාස්‍යය අපේ පරණ හණමිටි දැනුමක් එක්ක ගැටගැහෙනවා. ඒ වයස කියන්නෙ පන්සලක පල්ලියක පරලොවක් වෙනුවෙන් වැඩ කළ යුතු කාලයක් කියන ඇදහිල්ලයි මේ උපහාසය පිටිපස්සෙ තියෙන්නෙ. ඒ අයට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය ආස්වාද කිරීමේ අයිතිය සමාජ සදාචාර මුහුණවරකින් අධෛර්ය කිරීමක් තමයි මේ කමෙන්ට්වල තියෙන්නෙ.

    මනෝ විද ්‍යාත්මක ගැහැණු වඩා වයස්ගත පිරිමින්ට ආශක්ත වීමේ විභවයක් තියෙනවා. මේක තමන්ගේ පියා සම්බන්ධ අවිඥානක තත්වයක් විදිහට ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ඇතුලෙ පැහැදිලි කරනවා. සංඛ්‍යාත්මක දත්ත එක්ක ගත්තත් ගැහැණු තමන්ගේ පියාගේ හිසකෙස් වර්ණය, ඇස්වල වර්ණය, සමාන ලක්ෂණ හිමි පිරිමින්ට ආකර්ශනය වීම සනාථ වෙලා තියෙනවා. ඒ වගේම වඩා වයස්ගත දෙමව්පියන් එක්ක ඉන්න කාන්තාවක් වැඩිහිටි පිරිමියෙක් විවාහ කරගැනීමේ හැකියාව වැඩි බවත් කියනවා. නමුත් මේක අවිඥානක පෙළඹවීමක් මිස සවිඥානක වුනා නම් ඒ අය කරන තෝරාගැනීමක් නෙමෙයි.

    එතකොට මේ කාන්තාව අසූවියැති පෙම්වතා සමග විවාහ වෙන්න හේතු වෙන්න ඇත්තෙ මොනවද? මුලින්ම අපේ දුප්පත් මානසිකත්වය විසින් දෙන තාර්කික හේතුව තමයි ධනය හෝ බලය කියන එක. ඒක ඒ තරම්ම මතුපිටින් නොවුනත් ස්ථාවරත්වය, ආරක්ෂාව, සුවපහසුව පැත්තෙන් කාන්තාවකගේ ආකර්ශනය වැඩිහිටි පිරිමියෙක් කරා ගෙනියන කාරණයක් වෙන්න පුළුවන්.

    මෙතනදි අපහාස උපහාස කරන බහුතරයක් පටලවා ගන්න කාරණයක් තමයි විවාහය සහ ලිංගික හැසිරීම එකම දෙයක් විදිහට සැලකීම. ඒ කියන්නෙ විවාහක පිරිමියා සමගම පමණක් ලිංගිකව හැසිරීමේ විශ්වාසය තියාගෙනයි මේ බහුතරයා මේ ප්‍රවෘත්තියට එබෙන්නෙ. ඇයට පුළුවන් ඔහු සමග විවාහ වෙන්න. ඔහුගේ ආදරය ලබන්න. ලිංගිකව හෝ ප්‍රේමනීයව හෝ තවත් පිරිමින් සමග බැඳෙන්න. ඔවුන් ඉන්නෙ විවෘත විවාහ ජීවිතයකද, සංවෘත විවාහ ජීවිතයකද යන්න ගැන ප්‍රවෘත්තියේ කිසිදෙයක් නෑ.

    අනෙක් අතට ඇය ඒසෙක්ෂුවල් වෙන්න පුළුවන්. ඇයට ලිංගික ආස්වාදයක් උවමනාම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදි ඇයට වඩාත් ගැලපෙන ප්‍රේමය මේ පෙම්වතා සතුවෙන්න පුළුවන්. ඇඳ උඩ ලිංගික ජවනිකාවෙන්ම මේ ජීවිතවලට එබෙන අයට දැනෙන ලිංගික අතෘප්තියක් විතරක්ම මේ ප්‍රතිචාර ඇතුලෙ පේනවා වෙන්න පුළුවන්. විවිධාකාර ලිංගිකත්වයන් සහිත පිරිස් අපේ සමාජයේ ජීවත් වෙනවා කියන එක අපි නිතර අමතක කරනවා. සියල්ල දිගුවෙන්නෙ විෂම ලිංගික මොනොගමික සාම්ප්‍රදායික ලිංගික පවුල් ආස්වාදයට විතරයි.සමහර විට ඇය සමලිංගික වෙන්නත් පුළුවන්. සමලිංගික විවාහයකට අවසර නැති රටක ඇයට ඇති වඩා තේරුම් ගන්නාසුලු, පහසු මාර්ගය මේ විවාහය වෙන්න පුළුවන්. ඒ විවාහය ඇතුලෙ ඇගේ සමලිංගික ප්‍රේමයකට අවසර තියෙන්න පුළුවන්. එය ඉතාම ඉහලින් අගය කළ යුතු මානුෂීය සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්.

    තව විදිහකින් මේ දෙන්නා අතර ඉතාම අනුරාගී සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. ඇය වයස්ගත පිරිමියෙකුගේ ඇසුරක අන් කිසි තැනක නොලබන තෘප්තියක් ආස්වාදයක් ලබනවා විය හැකියි. අපේ ලිංගික ආස්වාදය කියන එක අපේ පුද්ගලික ගැඹුරු මනසේ පෙළඹවීම් එක්ක සම්බන්ධයි. ඒක හුදු සම්මතයෙන් පිලිගත් වයස් කාණ්ඩයන් හෝ ලිංග කාණ්ඩයන් අතරම හැසිරෙන එකක් නෙමෙයි. ඒ විස්තෘතත්වය බාරගැනීම සහ අගය කිරීම කියන්නෙ අපේ පරිණතබව. ඒකට අපහාස උපහාස කිරීම කියන්නෙ අපේ නොමේරූ බව. වෙනස් විදිහක ශෘංගාර තෝරාගැනීමක් කියන්නෙ සෞන්දර්යයක්.

    තව පැත්තකින් මේක හුදු ලිංගික කාරණයක් නම් ඔවුන්ට විවාහය වැදගත් නොවෙන්න තිබුණ. මේ ප්‍රසිද්ධිය වැදගත් නොවෙන්න තිබුණ. ඕනම කෙනෙකුට විවාහ නොවී වුනත් ලිංගිකව එක්ව ජීවත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ විවාහය කියන්නෙම ඔවුන්ට සමාජය පැත්තෙන් දිය යුතු පණිවුඩයක් බව නිශ්චිතයි. ඒක එක්කො කෙනෙකුගේ ස්ථාවරත්වය ගැන, රැකබලාගැනීම සහ ආරක්ෂාව ගැන සහතික කිරීමක්. නැත්තම් ආදරය, විශ්වාසය සහ නිදහස ගැන සහතික කිරීමක්. මේ දෙපැත්තම කියන්නෙ හොඳ මානුෂීය ගනුදෙනුවක කතාවක්.

    නිර්මානුෂීය කතාව තියෙන්නෙ අපේ පැත්තෙ.

  • අරක්කුවලට නිදහස

    අරක්කුවලට නිදහස

    මෙතෙක් අරක්කු බීමට ලැබුනේ අපචාරයක සැලකිල්ලයි. ඕනෑම වැදගත් දවසක තේරුමක් ඇකුව හෝ නැතුව මුලින්ම වැසී යන්නේ වයින් ස්ටෝර්ස් එකයි. රට පුරා නඩත්තු කළේ දහම් පාසැල් සමාජයකුයි. ඒ මදිවාට වැඩිහිටි වුවත් ගැහැණුන්ට අරක්කු මිළදී ගත නොහැකියි. විවාහයට පමණක් නොව ජවිපෙ ආදී පක්ෂවල තනතුරු දැරීමටත් අරක්කු නොබීම සුදුසුකමකි.

    ඒත් දැන් ඉතිහාසෙ පළමු වරට අරක්කු ගෙදරටම ඩිලිවර් කරවා ගන්න පුළුවන්.

    සුපිරි වෙළඳසැල්වලින් මත්පැන් නිවෙසටම ගෙන්වා ගැනීමේ නිදහස ලබාදීම වෙනුවෙන් රජයට ප්‍රශංසා කළ යුතුමය. මෙය රජයේ අහිමිවන ආදායම ගැන සළකා බලා ගන්නා ලද තීරණයක් වුවත් මෙය රටේ ජීවත් වන්නේ වැඩිහිටි පුරවැසියන් බව පිලිගැනීමේ තීරණයක්ද වෙයි. එයින් ආර්ථිකයට මත්පැන් වලින් ලබාදෙන ප්‍රබල දායකත්වයත්, තමන්ගේ මත්විම පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස වැඩිහිටියන් සතු විය යුතු බවත් පැහැදිලිව ප්‍රකාශමාන වෙයි.

    සුපිරි වෙළඳසැල් වලට පමණක් අවසර ලබාදීම හරහා දිනකට කාලේ තුනක් පානය කරන නිර්ධන පාංතිකයා නොසලකා හැරීමක් දකින්න තිබුනත් රජය පැත්තෙන් ගත් පළමු වැඩිහිටි පියවරක් වශයෙන් මෙය වැදගත් තීන්දුවකි. බීලා සල්ලි නාස්ති කිරීම හෝ ගෘහ ප්‍රචන්ඩත්වය වැනි හේතූන් හුවා දක්වමින් දියුණු මත්වීමේ සංස්කෘතියක් නිර්මාණය වීමට අවහිර කළ අමද්‍යප සුචරිතවාදීන්ට සහ වෛද්‍යවරුන්ගේ පුහු සෞඛ්‍ය අධිකාරීමය සීමාවන්ට අභියෝග කිරීමකි. එමෙන්ම නොදැනුවත්ව වුවද ස්ත්‍රීන්ටද මත්වීමේ සම අයිතිය ලැබෙන අවස්ථාවකි.

    අනෙක් සියලු ආහාර ද්‍රව්‍ය මෙන්ම තමන්ගේ අරක්කු බෝතලයද නිවසටම ගෙන්වා ගත හැකිවීම අරක්කුද අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා සමව සැලකීමකි. එමෙන්ම මත්වීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ මානසික අයිතියක් හැටියෙන් බාරගැනීමකි.

    කොවිඩ් නිසා සිදුවුනු තවත් වැදගත්ම වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය.

  • අනුහස් නායකත්වයේ ශෘංගාර දේශපාලනය

    අනුහස් නායකත්වයේ ශෘංගාර දේශපාලනය

    ආදරේ කියන වචනය හරිම අර්බුදකාරී වචනයක්. මේ වචනෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. ඒ වචනෙ ඇහුවම අපේ පිරෙන්නෙ මොනවද කියල අපි දන්නෙත් නෑ. ඒ වචනෙ ඇතුලෙ අපේ අසනීප ගොඩක් පිරිලා තියෙන්න පුළුවන්. අපි ආදරේ කියන මීදුම ඇතුලෙ අපිට කිසිදවසක මුනනොගැහෙන අපේම ඔලුව ඇතුලෙ ඉන්න අනෙකෙක් හොයමින් ඇවිදිනවා වෙන්න පුළුවන්. ඕනම ආදරයක ගමන අපි තේරුම් ගත්තොත් ඒක ප්‍රමෝදයක ඉඳන් අතෘප්තියක් දක්වා ගමනක්. සිහිනයක ඉඳන් යතාර්ථය දක්වා ගමනක්.

    මේ ආදරේ කියන එක පුද්ගලික ආදරයක් කියන සීමාවෙ ඉඳන් දේශපාලන ආදරය වගේ පොදු තැන් දක්වාම එනවා. අපේ දේශපාලන නායකයො අපිට වීරයො වෙනවා. අපි ඒ අයට ආදරය කරනවා. ඊටත් එහා ගිහින් අපි ඒ අයව අදහනවා. එහෙම වුනාම අනුහස් නායකයො බිහිවෙනවා.

    මේ කාරණය ගැන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉතා ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. ෆ්‍රොයිඩ් එයාගෙ රෝගීන්ට ප්‍රතිකාර කරන අතරෙදි තේරුම් ගන්නවා මේ රෝගීන් එයාට දැඩි ලෙස ආදරය කරන්න පටන් අරන් කියල. ඒ වගේම ඒ ආදරේ කරන්නෙ තමන්ට නෙමෙයි ඒ අය විසින් මවා ගන්නා ලද කෙනෙකුට කියන එකත් ෆ්‍රොයිඩ් තේරුම් ගන්නවා. මේ එක එක අය තමන්ගේ ළමා කාලයේ වීරයෙකුගේ රූපයක් හැටියෙන් ෆ්‍රොයිඩ්ව දකිනවා. ඒක පරමාදර්ශී තත්වයක්. අපිට ආදරේකදි වෙන්නෙ මේක.

    අහස සේ ඔබ අනන්තයි.. පොලොව සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබව පමණයි.. ඔබ අනන්තයි..

    මේ කියන්නෙ මිනිහෙකුගේ ස්වභාවයක් ගැන නෙමෙයි. ආදරයකදි අපේ හැමදේම අනෙකාගේ රූපයෙන් පිරී යන එක. සියල්ල ඒ අනෙකා තුල පිළිඹිඹු වෙන එක.

    හැම ආදරයක්ම ළමා කාලයේ අත්දැකීමක් යළි ජීවත් කිරීමක් කියල කියන්නෙ ඒ හින්ද. නමුත් ඒ ළමා කාලය එහෙම යලි ජීවත් කරවිය හැකි එකක් නෙමෙයි. මේක දේශපාලනයෙදි නායකයෙකුට ආදේශ වෙනවා. අපේ හැමදෙයක්ම ඒ නායකයා ඇතුලෙන් පේන්න පටන් ගන්නවා. අපේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඒ නායකයා වෙනවා.

    මේකට ෆ්‍රොයිඩ් කිව්වෙ ට්‍රාන්ස්ෆරන්ස් කියල. අපේ මවාගැනීමකින් අපි ආදරය කරන කෙනාව අන්දනවා. මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත නායකත්වය ගත්තොත් එයා මුලින්ම ජනාධිපතිවරනෙට එනකොට යුද්දෙ කරනවද නැද්ද කියන එක ගැනවත් හරි අදහසක් එයාට තිබුනෙ නෑ. ඒත් එයාව යුද්දෙට තල්ලු වුනා. යුද්දෙ දින්නා. ඒ හරහා අනුහස් නායකත්වයක් නිර්මාණය වුනා. මහින්දට ලස්සන ආමන්ත්‍රණයක් හැදුනා.

    අප්පච්චි..

    මේ අප්පච්චි කියන වචනෙ අපේ ගැඹුරු සාමූහික අවිඥානයක් එක්ක සම්බන්ද එකක්. දැඩිමුන්ඩ, සූනියම් වගේ දෙවිවරුන්ට කතා කරන්නෙ අප්පච්චි කියල. අනිත් අතට ඒ තමයි අපිට ළමාකාලෙ අහිමි වුණු පියා ගැන සිහිනය. පොඩි එකෙකුට තමන්ගෙ තාත්තා පේන වීරත්වය. තාත්තා කියන වචනෙටත් එහා ගිහින් පැරණි සිංහල උරුමයේ පීතෘත්වය ස්පර්ශ කරමින් එන අප්පච්චී හැඟීම. තාත්තට වඩා අප්පච්චි ලොකුයි. ජාතියක්ම මහින්ද ඇතුලෙන් මේ අප්පච්චි දැක්කා. එතනින් නැවතුනේ නෑ. ඒ අප්පච්චිව මහ රජානෝ බවට පත් කළා. ඒ චරිතයත් එක්ක කාලතරණ අත්දැකීමක ජීවත් වෙන්න පටන් ගත්තා.

    මේක මහින්ද නිර්මාණය කරන එකක් නෙමෙයි. රෝගී ජනතාව විසින් කරන සාමූහික නිර්මාණයක්. තමන්ගේ රෝගයේ ප්‍රමාණයට වීරයා විශාල වෙනවා. ඒ රෝගයේ ඉතිහාසය දක්වාම වීරයාගේ මුල් දුවන්න පටන්ගන්නවා. මහින්ද රට වෙනුවට පවුල කියන එක ගෙනාවා. තමන්ගෙ රාජපක්ෂ පවුලට භෞතික වාසි ගැනීමේ පවුල්වාදය විතරක් නෙමෙයි රටේ සමස්තයට තමන් රාජ්‍යය කියන එකෙන් ආපහු පවුල ඇතුලට ගමන් කිරීමේ සිහිනය මහින්ද නිර්මාණය කළා. ඒ පවුලෙ අප්පච්චි තමයි මහින්ද.

    වීරයෙක් නිර්මාණය වෙන්න කාරණා දෙකක් බලපානවා. එකක් තමයි මොනයම්ම ආකාරයකින් හෝ පවතින දක්ෂතාවය. ඒක තියෙන බොහොමයක් අය ඉන්නවා. අනික තමයි මිනිස්සු තේරුම් ගැනීමේ හැකියාව. මේකට කියන්නෙ එම්පතිය කියල. අනෙකාගේ හැඟීම් දැනීම් බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීම නෙමෙයි, ඒක දැනීමේ ගුණය. මහින්දට ඒක සුවිශාලව පිහිටනවා. ඒ සමීපත්වය මහින්දගෙන් මිනිස්සුන්ට දැනෙනවා.

    මේ රටම පවුලක් වීම ඇතුලෙ අපේ සමාජ අවිඥානයේ තියෙන තවත් රෝගයක් එලියට එනවා. ඒ තමයි පවුල ඇතුලෙ ළමා කාලයේ මුහුණ දෙන ලිංගික යටපත් කිරීම. සෙක්ෂුවල් රිප්‍රෙෂන් කියන එක.

    විල්හෙල්ම් රීච් කියන මනෝ විශ්ලේෂකයා මේ කාරණය ගැන වැඩිදුරට හොයනවා. එයා පර්යේෂණය කරනවා ඇයි ඒකාධිපති ස්වරූපයේ නායකයන්ට ජනතාව පෙම් බඳින්නෙ කියල. ඒ ගැන රීච් ලියනවා මාස් සයිකොලොජි ඔෆ් ෆැසිසම් කියල පොතක්. පීතෘ මූලික පවුල ඇතුලෙ දරුවන්ගේ ලිංගික යටපත් වීම ඒකාධිපතීත්වයට ඇති ආශාව ආදරය ඇතුලෙ පිළිඹිඹු වෙනවා කියල එයා කියනවා. ඒකාධිපතියන් බිහිවන සමාජය නිර්මාණය වෙන්නෙ පීතෘමූලික පවුලෙන්. පවුල් ඇතුලෙ ළමයා කීකරු කිරීම කියන එක සිද්ද වෙන්නෙ ළමයාගේ ලිංගික ආශාවන් මර්දන කිරීම හරහා. ඒ අකීකරු කැරලිගහන ලිංගික ආශාවන් තමයි අනාගතයේ නිදහස්කාමී, ආධිපත්‍ය නොඉවසනසුලු පුරවැසියා නිර්මාණය කරන්නෙ. ඒත් දැඩි පිරිමි පෞර්ෂ උසුලන අප්පච්චිලා දරුවන්ව බෙලහීන කරනවා. මේ කීකරු ළමයා මහා නායකයෙක් ප්‍රාර්ථනා කරනවා. ඒ නායකයා නියෝජනය කරන්නෙ අර පීතෘ මූලික පවුලේ මානසික ආබාධය. අපේ රට කියන්නෙ අම්මා. අප්පච්චි කියන්නෙ මහින්ද. අපි සමාජය විදිහට පරිකල්පනය කරන්නෙ අපේ ඊඩිපස් පවුල.

    මේ පීතෘ මූලික පවුලෙන් යටපත් කරන ලිංගික ආශාවන් විකෘති ආකාරයන්ගෙන් තෘප්තිමත් වෙන්න පටන් ගන්නවා කියල විල්හෙල්ම් රීච් කියනවා. ඒවා ජාතිය රැකගැනීමේ, ආගම රැකගැනීමේ යුද්ද කෝලාහල විදිහට එලියට එනවා. යටපත් කළ ලිංගික ආශාව වෙනත් සදාචාරවාදී විකෘති හැඩවලින් තෘප්තිය හොයන්න පටන් ගන්නවා. රාජපක්ෂ ආන්ඩුවලදි චන්ඩිකම් වැඩි වෙන්නෙ මේ හින්ද. චන්ඩි පොලු අරන් එනවා බුද්ධාගම රකින්න. අපි චන්ඩි ජාතියක් වෙනවා.

    සෙක්ස් කියන එක සදාචාරය සම්බන්ධ කාරණයක් නෙමෙයි. සදාචාරය එක්ක නිතර ගැටගහන සංස්කෘතිය කියන එක ගත්තොත් සංස්කෘතිය කියන සංකල්පයට සෙක්ස් වලින් කිසිම අර්බුදයක් නෑ. ඇත්තටම සංස්කෘතියට සෙක්ස් කියන එක ධනාත්මක දෙයක්. නමුත් සෙක්ස් කියන එක ගැටගැහෙන්නෙ දේශපාලනය නැත්තං බලය කියන දේත් එක්ක. සෙක්ස් යටපත් කිරීම හරහා දේශපාලනයට ලිංගික ආර්ථිකය එකතු කරගන්න පුළුවන් වෙනවා. මේක සිද්ද වෙන්නෙ ආගම හරහා. ඕනම ආගමක් සෙක්ස් පාලනය කරනවා. ආගමෙන් කප්පාදු කරන සෙක්ස්වල බලය දේශපාලනයට හැරෙනවා. ආගම සහ දේශපාලන බලය කියන දෙක හැමවිටම එකට පවතින්නෙ මේ හින්දයි. ඒකාධිපති හිට්ලර් කෙනෙකුගෙ ඉඳන් රජකම් කරන අප්පච්චි කෙනෙක් දක්වාම යන්නෙ මේ කප්පාදු කරන ලද ලිංගිකත්වයේ ආබාධය.

    මහින්ද ගැන ආදරය ඇතුලෙ අපේ මනෝ ආබාධිත ලිංගික සංස්කෘතිය පේන්න පටන් ගන්නවා. නායකයා කියන්නෙ ජනතාවගේ යටපත් කරන ලද ආශාව. මහින්දට කලින් මේ රූපයට සමීප වුනේ ආර් ප්‍රේමදාස. ප්‍රේමදාස මේ රජාගෙ චරිතයට හොඳටම ඇඳගත්තා. ෆ්‍රොයිඩ්ගෙ භාෂාවෙන් කවුන්ටර්ට්‍රාන්ස්ෆරන්ස් එකකට ගියා. එතකොට ජනතාව මේ පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන අතරම ප්‍රේමදාස අනිත් පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන්න පටන්ගත්තා. ඒක හරිම විනාශකාරී සම්බන්ධයක් වුනා.

    මේ ට්‍රාන්ස්ෆරන්ස් එකේ දේශපාලන වාසිය වගේම අවාසියත් එනවා. ඒක දිගට පවත්වාගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. ආදරයේ අතෘප්තිකර යුගය එළඹෙන්න ගන්නවා. අපි රැවටිලා කියලා අපිට හිතෙන්න ගන්නවා. මහින්ද කියන චරිතය තේරුම් ගන්න හොඳම විදිහක් තමයි අපේ පරණ සන්නි නැටුම්. අපි ඒ ඇදහිලි ඇතුලෙ අපේ රෝගය යකෙකුගේ රූපයක් බවට පත් කරනවා. මහින්ද කියන්නෙත් ඒ වගේම ජාතියක රෝගයක් පිළිඹිඹු කරන රූපයක්. ඒක ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන.

    ජේආර් වගේ චරිතයක් ගත්තොත් මේ තියෙන විධායක බලය තිබුනත් ජේආර් අප්පච්චි කෙනෙක් හෝ දෙවියෙක් වෙන්නෙ නෑ. එයාට තියෙන්නෙ ඔතොරිටේටිව් නායකත්වයක්. තමන්ට නිලයෙන් පවරන ලද භූමිකාවේ බලය විතරයි. පවුල් බලය වගේ අතුරු කාරණා එකතු වුනත් ඒ නායකත්වය ජනතාවගේ අවිඥානයේ බලය අත්පත් කරගන්නෙ නෑ. මහින්ද ගත්තොත් එයාට තියෙන්නෙ ව්‍යවස්ථාවෙ බලය නෙමෙයි. ඒක ජාතියේ අවිඥානයක බලය.

    ලංකාවෙ දේව සංකල්ප හොඳට පරීක්ෂා කළොත් පැහැදිලිවෙන දෙයක් තමයි අපේ දෙවියා සහ යක්ෂයා දෙකම එකට පවතින අපූර්වත්වය. ඒක හොඳ විතරක් කරන සුද්දවන්ත එකක් නෙමෙයි. නපුර නරක කිරීමේ හැකියාවත් දරන එකක්. ඒ දේව සංකල්පයත් එක්ක මහින්ද හොඳටම ගැලපුනා. හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින් මහින්ද වැඩ කළා. අපේ පන්සල් ඇතුලට දේවාල එන්නෙත් මේ හින්ද. බුද්ධාගමේ තියෙන හොඳින් විතරක් අපේ ආශාව තෘප්තිමත් නොවෙන හින්ද.

    මේ වීරයාගේ චරිතය ඒ විදිහටම ගෙනැත් අපි වැඩ කරන විරුවා නිර්මාණය කරන්න හැදුවා. ඒත් ඒක දරන්න ගෝටාබයට පුළුවන් වෙන්නෙ නෑ. ප්‍රධානවම මහින්දට තිබුනු එම්පතිය, මිනිස් අඳුරේ ඉඳන් ආලෝකය දක්වා විහිදෙන පරාසය ගෝටාබය සතු වෙන්නෙ නෑ. ඒ අප්පච්චිව අපිට ගෝටාබය ඇතුලෙන් පේන්නෙ නෑ. එයා නියෝජනය කරන්නෙ ජේආර් වර්ගයේ ඔතොරිටේටිව් නායකත්වයක්. මේ හැඟීම්මය බිඳවැටීම ලක්ෂ හැටනවයක ජනතාවට දරුණුවට බලපානවා. ඒ බෙලහීන ලිංගිකත්වය රකින, පණදෙන අප්පච්චි සහ පවුල ඒ අයට අහිමි වෙනවා.

    මේක නාමල්ට එන්නෙත් නෑ. නාමල් කියන්නෙම දැවැන්ත පීතෘ චරිතයකින් පුද්ගලිකවත් යටපත් වුනු පෞර්ෂයක්. ඒක අනුහස් නායකත්වයක් බිහිකරන මනෝ ලිංගික පදනමක පිහිටන්නෙ නෑ. මහින්ද ඇතුලෙන් පරාවර්තනය වෙන රැස් වළල්ලක් විතරයි නාමල් කියන්නෙ.

    මහින්ද කියන්නෙ ඇල්ෆාමේල් පෞර්ෂයක්. ඒ කටහඬ, ඒ ශරීරය, ඒ භාවිතය හැම දෙයක්ම අපේ ප්‍රාථමිකම ලිංගික ආධිපත්‍ය දරන නායකයාගේ රූපය එක්ක ගැටගැහෙනවා. මානව පරිනාමයේ අපිට සමීපතම චිම්පන්සි ගත්තොත් ඒ නායකයා කරන ලොකුම වැඩේ වෙන්නෙ පුළුවන් තරම් ගැහැණු සමග ලිංගිකව හැසිරීම. ඒ නායකයා තමන් කැමති අයට ඒ ගැහැණු එක්ක හැසිරෙන්න දෙනවා. තමන් කැමති අයට ආහාර සහ තවත් වරප්‍රසාද දෙනවා. මේ ලිංගික ආධිපත්‍යය පිළිගන්නා යටහත් පිරිමියා අර ඇල්ෆාමේල්ට භක්තිවන්ත වෙනවා. තමන්ට නැති ලිංගික පෞර්ෂය නායකයා ඇතුලෙන් විඳිනවා.

    මේ සාම්ප්‍රදායික නායකත්වය ඇරුනම ඒකට අභියෝගාත්මක වෙන අනිත් නායකත්වය වෙන්නෙ නිදහස්කාමියා, නැත්තං අරගලකරුවා කියන පෞර්ෂය. මෙයා සාම්ප්‍රදායික නායකත්වය එක්ක, සිස්ටම් එකත් එක්ක ගැටෙනවා. සටන්කාමීයි. මර්දනය කළ ලිංගික ආශාවේ නිදහසක් මේ පෞර්ෂය විසින් ප්‍රක්‍ෂේපනය කරනවා. මේකත් අනුරාගී නායකත්වයක පිහිටීමක්.

    රංජන් රාමනායකට මේක තියෙනවා. එයාගෙ හඬපට ලීක් වීම හරහා අපිට අපේ සීමා කළ, කප්පාදු කළ ලිංගිකත්වය ඇතුලෙන් ආකර්ශනයක් වීරත්වයක් නිර්මාණය වෙනවා. රංජන්ගෙ විනෝදකාමී ජීවිතේ ඇතුලෙ අපිට තහනම් වූ නිදහසක් රස විඳිනවා. එයා බෑඩෑස්, රිබෙල් කැරැක්ටර් එකක්. රංජන්ට මේක එන්නෙ සිනමාව හරහා. සිනමාවේ අනුරාගය, විපරීතය සහ වීරත්වය රංජන් ඇත්ත ජීවිතේට අරන් එනවා.

    හැබැයි මේක මහින්දට තියෙන ආදරේ වගේ ගැඹුර සම්බන්ධයක් එක්ක සාපේක්ෂව ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ඊඩිපස් අවුල රංජන් වගේ චරිත ඇතුලෙන් තෘප්තිමත් වෙන්නෙ නෑ. මංගල සමරවීර කියන්නෙත් රංජන් හා සමාන තවත් රිබෙලියස් කැරැක්ටර් එකක්. වස්ති වීඩියෝවෙ මංගලගෙ ටික්ටොක් අරගලය දැකීමෙන් ජනතාව පිනා යන්නෙ ඒකයි. ලිංගිකත්වය, ආගම, සංස්කෘතිය වගේම ජීවන විලාසිතාව පැත්තෙනුත් මංගල ලිංගිකව යටපත් කළ පුරවැසි සමාජය කම්පනය කරනවා.

    අනුහස් නායකත්වයක් රටකට හොඳද නරකද වගේ දෙයක් කතා කරලා තේරුමක් නෑ. මොකද ඒක සමාජය විසින් නිර්මාණය කරන තත්වයක්. ආදරයකදි අපිට අතාර්කික වෙන්න පුළුවන්. ඒක පුද්ගලික සම්බන්ධයක්. නමුත් දේශපාලනය කියන්නෙ තාර්කික තීරණ ගන්න වෙන පිට්ටනියක්. ඒකට භක්තිය වගේ දෙයක් ඒ තරම් ගැලපෙන්නෙ නෑ. නමුත් අපේ රෝගය හරියටම ස්පර්ශ කරන කෙනෙක් වටා අනුහස් නායකත්වයක් බිහිවීම වළක්වන්නත් බෑ.

    ෆ්‍රොයිඩ් කියන විදිහට මේ ට්‍රාන්ස්ෆරන්ස් එකෙන් රෝගියා ඇහැරෙන්න ඕන. මේ තමන් විසින් කරන ප්‍රක්‍ෂේපනයක් බව තේරුම් ගන්න ඕන. ඒක තමා විසින්ම තේරුම් ගැනීමෙන් විතරයි රෝගියාට රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ. එතකොට ඒ වගේ ඇදහිල්ලක ඉන්න ජනතාව ඒ හීනෙන් ඇහැරවන්න පුළුවන් තරමෙ හෙල්ලීමක්, කම්පනයක් ඇති කිරීම විතරයි සවිඥානක සමාජයක් වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නෙ.

    එතකොට අනුර කුමාර වගේ කෙනෙකුට මේ විදිහෙ අනුහස් නායකත්වයක් නිර්මාණය වෙයිද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට හිතෙන්නෙ නෑ කියන එකයි. අනුර කුමාර හෝ ජවිපෙ නියෝජනය කරන්නෙ සමාජයේ හොඳ ළමයාගේ චරිතය. ඒක නැවතත් පීතෘ මූලික පවුලෙන් යටපත් කළ ලිංගිකත්වයේ ස්වරූපයමයි. ඒක නිදහස්කාමී එකක් නෙමෙයි. හොඳ ළමයා හොඳයි. ඒත් එයා අපේ ආශාව නියෝජනය කරන්නෙ නෑ. අපේ ශෘංගාරය එතන නෑ.

    සජිත් ප්‍රේමදාස වගේ චරිතයක් ගත්තොත් එයා නායකත්වය සතු සුවිශේෂ දක්ෂතාවය හෝ මිනිසුන්ව දැනෙන එම්පතිය කියන දෙකම දරන කෙනෙක් නෙමෙයි. ප්‍රේමදාසගේ අනුහස විතරක් ඒ හදවතේ නායකත්වය නිර්මාණය කරන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අනිත් අතින් චම්පික රණවක ගත්තත් එයත් පිහිටන්නෙ ජවිපෙට සමීපව. දහම් පාසැල් ළමයාගේ වැඩිහිටි රූපය. අනගාරික ධර්මපාලගේ හෙවනැල්ල. මේකට අපි කැමති වෙන්න පුළුවන්. ඒත් අපිට දෙවියා විතරක් වැඩක් නෑ. අපිව නායකයෙකුට සමීප කරන්න නායකයාගේ නරකත්, දුර්වලතාවයත් වැදගත්. එතනයි එම්පතිය හැදෙන්නෙ. චම්පික ගැන වරින් වර පැතිරෙන කාමකතා වුනත් මං හිතන්නෙ චම්පිකට උදව්වක් කියල. ඒවායින් අපිට ඒ චරිතය සමීප කරනවා. අපේ යටපත් ආශාවක නියෝජනයක් කරනවා.

    මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් චම්පික ජාතිය ගැන කතා කරන එකයි මහින්ද ජාතිය ගැන කතා කරන එකයි ගත්තොත්. චම්පිකගෙ ජාතිය බුද්ධිමය තාර්කික එකක්. මහින්දගේ ජාතිය, පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම වගේ කිසිම ලොජික් එකක් නැති ඉමෝෂනල් එකක්. මිනිස්සු චන්දෙ දෙන්නෙ හැඟීමට මිස තර්කයට නෙමෙයි.

    නායකයෙක් කියන්නෙ ජනතාවගේ ආශාවේ නිරූපණයක්. ඒක අපිව පිරිහීම කරා ගෙනයන රෝගයක් වෙන්න පුළුවන් ඒ වගේම දැනුවත්ව කළොත් ප්‍රතිඵලදායී වෙන්නත් පුළුවන්. නමුත් නායකයා ගැන අනුරාගයක් ගොඩනැගෙන්න අවිඥානික හේතු අනිවාර්යෙන්ම පවතින්න ඕන. එතනදි මතවාදය වැදගත් නෑ. චරිතයයි වැදගත් වෙන්නෙ. මිනිස්සුන් කැමති වුනේ මහින්දගේ මතවාදයට නෙමෙයි. මහින්දට.
    මහින්ද කියන්නෙ මෙතෙක් නිර්මාණය වුනු අපේ සිංහල ජාතියේ සුවිසල්ම අවිඥානක පිළිඹිඹුව කියලයි මං දකින්නෙ. ඒ හින්දම මහින්ද කියන පෞර්ෂය වඩාත් සමීපව කියවන එක අපේ සමාජයේ ගැඹුරු රෝග ලක්ෂණයන් තේරුම් ගැනීමක් වෙනවා. අපේ දේශපාලනයේ හැඩය පටන් ගන්නෙ අපේ පවුල ඇතුලෙන්. ඒ පවුල ඇතුලෙ ලිංගිකත්වය යටපත් කරන ආකාරයෙන් කියන වටහා ගැනීමේ වැදගත්කම පසක් කරනවා.

    එතකොට මහින්දගෙන් පස්සෙ පොහොට්ටුවට මොකක් වෙයිද? මගේ අදහස නම් මහින්ද නැතුව පොහොට්ටුවක් නෑ කියන එකයි. මහින්ද කියන්නෙ අපේ රටේ දේව යක්ඛ සංකල්පය එක්තැන් කළ නූතන අප්පච්චි. පක්ෂයකට වඩා ඒක ඊළඟට දේවාලයක් කියලයි මං හිතන්නෙ.

  • ගැහැනු සුරතාන්තය ගැන ගැහැනු කියවීමක්

    ගැහැනු සුරතාන්තය ගැන ගැහැනු කියවීමක්

    Female Orgasm, ගැහැනු සුරතාන්තය කියන්නෙ වැඩිය කතාබහ වෙන්නෙ නැති මාතෘකාවක්. මේ ගැන වැඩිපුරම කතා කරනවා දැකලා තියෙන්නෙත් පිරිමි. ගැහැනු කතා කරන්නෙම නැති තරම්. ඒ තරම්ම ටැබූ මාතෘකාවක්. අම්මලා මට පීරියඩ්ස් හැදෙන් නෑ, මොකද කරන්නෙ කියන එකේ ඉඳන් පවුල් ප්‍රශ්න, ගර්භණී ප්‍රශ්න, මානසික ගැටළු මේ හැම අල බෝලෙම ගැන කතා කරන ladies group වලවත් ගැහැනුන්ගෙ ලිංගික සතුට ගැන කතා කරනවා මං දැකලා නෑ. ඒ ගෲප් වල ලිංගික සතුට ගැන කතා වෙනවා නම් වෙන්නෙ ආදරය, සෙනෙහස, පවුල, සම්බන්ධතා පවත්වාගෙන යාම කියන සමාජයට මතුපිටට පේන කාරණා ගැන ඇරෙන්න වෙන ගැඹුරු අර්ථයකින් ගැහැනිය මූල්කරගෙන හරි නෙමෙයි.

    ලිංගික සතුට ගත්තම පිරිමින්ට වඩා ගැහැනු ඉදිරියෙන් ඉන්න බව කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

    ඇත්තටම කිව්වොත් පර්යේෂණ වලින් පෙන්වා දෙන්නෙ ගැහැනු සුරතාන්තය අවම වශයෙන් අංශ පහකින් ජනනය කරන්න පුළුවන් කියලා. ක්ලිටරිස්, ජී-ස්පොට්, ගැබ්ගෙල, තනපුඩු හා (විශ්වාස කළත් නැතත්) කන් පෙති කියන අංශ වලින්. සමහර කාන්තාවන්ට ඔවුන්ගේ පරිකල්පනය විතරක් පාවිච්චි කරලා වුනත් සුරතාන්තයට යන්න පුළුවන්.

    සෙක්ස් වලදි මොළයේ ස්ථාන ආලෝකමත් වෙන විදිහ පිරිමින්ගෙත් ගැහැනුන්ගෙත් එක සමාන බවයි පර්යේෂකයන්ගේ මතය. ඒත් එතනදි එක පොඩි වෙනසක් තියෙන බව ඒ අය කියනවා. සුරතාන්තයෙන් පස්සෙ පිරිමි මොළය උත්තේජනයට අඩු ප්‍රතිචාරයක් දක්වන්නෙ. ඒත් කාන්තා මොළය දිගටම ප්‍රතිචාර දක්වනවා. කාන්තාවන්ට බහුවිධ සුරතාන්ත (multiple orgasms) කරා යන්න පුළුවන් හැකියාව තියෙනවා. පිරිමින්ට නැවත සුරතාන්තයකට යන්න විවේකයක් අවශ්‍ය වෙනව.

    දැන් හිතන්න මෙච්චර වාසි තියෙද්දි ගැහැනු පිරිමින්ට වඩා අඩුවෙන් සුරතාන්තයට ළං වෙන්නෙ ඇයි කියල. විශේෂයෙන්ම විෂම ලිංගික කාන්තාවො. female orgasm ඇයි මෙච්චර සංකීර්ණ වෙන්නෙ කියල. අපේ පවුල් වල, වැඩ කරන තැන්වල ගැහැනු ඒ මොකක්ද කියලවත් සමහරවිට දන්නෙ නැත්තෙ ඇයි කියල. ගැහැනියගෙන් ගැහැනියට ඒක වෙනස් වෙන්නෙ ව්‍යාකූල වෙන්නෙ ඇයි කියල. ගැහැනියක් සතුටු කරන්න අමාරු වෙන්නෙ හරි තවත් වෙලාවකදී ගැහැනියක් ඒක fake කරන්නෙ හරි ඇයි කියල. ගැහැනුන්ට රිලැක්ස් වෙන්න ඕනෙ. මූඩ් එක හරියන්න ඕනෙ. අවධානය එක තැනකට ගන්න ඕනේ. (focused attention). මොළයෙ තාවකාලික අක්‍රිය වීමක් වෙන්න ඕනෙ (zone out). උත්තේජනයන් හරියට සිද්ද වෙන්න ඕනෙ. රිද්මය තියෙන්න ඕනෙ. මේ හැමදේම පිරිමි සුරතාන්තයටත් ඕන වෙන්න පුළුවන්. ඒත් female orgasm වලදි ඒක තව ලෙවල් එකක් ඉස්සරහට යන්න වෙනවා, සංකීර්ණ වෙනවා වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්.

    ගැහැනියක් සතුටු කරන්න පිරිමියෙකුට pornographic skills ඕනෙ වෙන්නෙ නෑ. foreplay නැත්නම් outercourse වලට වැඩි කාලයක් ගත කරන එක, ඔවුන්ගේ වඩා උත්තේජනය වෙන ප්‍රදේශ දැනගෙන ඉන්න එක, orgasm trigger කරන හොඳම ලිංගික ඉරියව් තේරුම් ගැනීම වගේ පොඩි පොඩි රිසර්ඩ් ටිකක් කරා නම් ඇති. මේක ගැහැනියකගෙන් ගැහැනියට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට foreplay වල ලොකු උවමනාවක් හැම වෙලාවකම දැනෙන්නෙ නෑ. ඒත් තව කෙනෙකුට foreplay නැතුව සෙක්ස් වලට ඔළුව හදාගන්න බැරි වෙන්න පුළුවන්. තව කෙනෙක් මෘදු විදිහට කැමති වෙන්න පුළුවන් වගේම තවත් කෙනෙක් රළු විදිහට. ඔය ඔක්කොමටම කැමති අයත් ඉන්න පුළුවන්. තවත් දෙයක්. සමහර ගැහැනුන්ට සුරතාන්තය කියන්නෙ release කියන එකම නෙමෙයි වෙන්නත් පුළුවන්. සෙක්ස් වලදි climax දක්වා යන මාවතේ high pleasure state එක නැත්නම් edging ඔවුන්ට සුරතාන්තය විදිහට විනෝදකාමී වෙන්න පුළුවන්. ඒ කැමති අකමැති කම් එක් එක් අවස්ථා අනුව වෙනස් වෙන්න පුළුවන්.
    ඒ වගේම සරළ කාරණා කීපයක් ගත්තොත් ශිෂ්නය ඇතුල් කිරීමෙන් (penetration) පමණක් සුරතාන්තයට යන්න ගොඩක් ගැහැනු අයට බෑ. climax එකට යන්න ක්ලිටොරිස් උත්තේජනය (clitoral stimulation) ගොඩක් දෙනාට ඕන වෙනවා. තවත් සමහරුන්ට ඊට වඩා යමක් ඕන වෙනවා. ශිෂ්නය ඇතුල් කිරීමෙන් විතරක් ගැහැනු සුරතාන්තය වෙනවා කියන සාම්ප්‍රදායික මුල් බැහැගත් මතය නිසා තමන්ට එසේ නොවීම තමන්ගෙ වරදක් යැයි සිතමින් ගැහැනියක් orgasm එක ෆේක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ගැහැනුන්ට සෙක්ස් කියන දේ ඔළුව ඇතුලෙ වෙන දෙයක්.

    ඒ කොහොම වෙතත් ගැහැනු සුරතාන්තය කියන්නෙ මැජික් එකක් නෙමෙයි. තවමත් ඒ ගැන පර්යේෂණ කරමින් තිබුණත් විද්වතුන් එකඟ වෙන කාරණය නම් සුරතාන්තයට වඩා ඊට පෙර වෙන දේ, ඒ කියන්නෙ ඒ කරා යන මාර්ගය එහිදි වැදගත් බවයි.

    ඉතිං තමන් එක්ක ඉන්න ගැහැණියව තේරුම් ගන්න. අනිත් පැත්තෙන් තමන්ගේ පිරිමියාව තේරුම් ගන්න. කැමති අකමැති දේ අතර සම්මුතියකට එන්න. ඒකට සන්නිවේදනය වැදගත් වෙනවා. උත්සාහ කරන්න වෙනවා. සිත් රිදීම්, වැරදීම් එක්ක ෆේල් වෙන්න සිද්ද වෙනවා. එහෙම කරලා සම්මුතියකට එන්න බැරි නම් හොඳම දේ දුක් විඳින්නෙ නැතුව තමන්ගෙ සතුට හොයාගෙන විසිර යන එකයි.


    මාලි හෙට්ටිආරච්චි