අපි ජීවත්වෙන්නෙ මල්ටි ඩයිමෙන්ෂල් රියැලිටි එකක. මේක අපි කොහොමත් දන්න ඇත්තක් කියල හිතුනත් ගොඩක් වෙලාවට මිස්වෙන ඇත්තක්. මේ එක්කො මල්ටි ඩයිමෙන්ෂනල් වෙන නැත්තං පැරලල් රියැලිටීස් වෙන අපි එදිනෙදා දකින හැම මොහොතක්ම රස විඳලා ඉවර කරන්න බැරි තරම් විශාල විශ්වයන් පොකුරක්.
සරල විදිහට මෙහෙම කිව්වොත් ලේසි වෙයි. නාරාහෙන්පිට හන්දිය උදාහරනෙකට ගත්තොත්, මේ හන්දිය දවල් දොලහට පහු කරමින් ඉන්න පයින් යන මනුස්සයෙක් සහ ඒ වෙලාවෙම එතනින් වාහනේක යන මනුස්සයෙක් යතාර්තය කියල දකින දේ වෙනස්. එකම බෝ ගහ, එකම ට‍්‍රැෆික් ලයිට් එක, එකම කහ ඉරි, එකම දුවිල්ල, එකම අව්ව, ඒත් ඒ දෙන්නා එකම වෙලාවක පහුකරමින් ඉන්නෙ විශ්වයන් දෙකක හන්දි දෙකක්. ඒක හරිම ආතල්ජනක තත්වයක්. ඒත් අපිට එක මොහොතකදි පවතින්න පුළුවන් එක විශ්වයක විතරයි. ඒක අපේ දැනුවත් හෝ නොදැනුවත් තෝරාගැනීමක්.
අපි මොකක් හරි දෙයක් ගැන අදහස් දක්වන කොට ඒ දේ දිහා බලන දැක්ම එන්නෙ අපි පවතින විශ්වයට සාපේක්‍ෂව. ගොඩක් අප්සෙට් තත්වයක් වෙන්නෙ හැමෝම තමන් දකින යතාර්ථය හෝ තමන්ගේ දැක්ම ලෝකෙ පවතින එකම එක කියල සටන් වදින්න එන එකයි. නැත්තං හැමෝටම පුළුවන් තම තමන්ගේ විශ්වයන්වල ඉඳගෙන සාපේක්‍ෂ අදහස් අරන් එන්න. ඒ අදහස් වෙනුවෙන් වැඩ කරන්න. ඒ අදහස් ප‍්‍රචාරය කරන්න. එතකොට අදහස් අතර ගනුදෙනුවක් සිද්ද වෙනවා. ඒ හරහා විශ්වයන් අතර ගනුදෙනුවක් වෙනවා. තව තව ඇවනියුස් විවෘත වෙනවා. ඒ මොහොතේ කාලය හා අවකාශය විසින් තෝරාගන්නා යම් මතවාදයක් ක‍්‍රියාත්මක වෙනවා. බැහැර වුණු අනෙක් මතවාද සමනළ බලපෑම් ඇතිකරමින් ක්ෂුද්‍ර තත්වයේ වෙනස්කම් නිර්මාණය කරනවා. ඒක හරිම විචිත‍්‍ර මිනිස් අත්දැකීමක්. අපි සමස්ත වියමනක් වෙන්නෙ ඒ විදිහට. ඒත් අපි හැමවෙලාවකම උත්සාහ ගන්නෙ අනෙකාව වාරණය කරන්න. තමන්ගේ යතාර්ථය ලෝකෙ පවතින එකම එක කරන්න. ඒක ටිකක් නොදියුණු ගනයෙ අසහනකාරී එකක්.
මේ විදිහට සමහර කාල අවකාශවල අපි එක්ක එකම විශ්වයක පැවතුණු යාලූවො කාලෙකට පස්සෙ ආයිමත් මුනගැහෙනවා. වෙනස් විශ්වයක, වෙනස් යතාර්තයක ඉඳන්. හරියට ඈත ග‍්‍රහවස්තුවකින් එන සංඥාවක් වගේ. අපිට සංසාරික මතකයක් තියෙනවා ඒ ෆ‍්‍රීක්වන්සි එක ගැන. ඉතින් අපි අහගෙන ඉන්නවා. පරණ නොම්මර ඩයල් කරනවා.
මට ළ`ගදි මගේ කැම්පස් යාලූවෙක් කතා කළා. දැන් බැඳලා, ළමයි ලොකුවෙලා, ජීවිතේ ගතවෙලා. ටෙලිෆෝන් එකෙන් මං අහගෙන ඉන්නවා. මගේ යාලූවා කතා කරනවා.
‘මචං දැන් ඔහොම පිස්සු කරලා හරියන්නෙ නෑ නේද? අපිත් දැන් වයසයි. ලෝකෙට මොකක් හරි දෙයක් කරන්න ඕන නැද්ද?’
මට තේරෙන්නෙ නැතුව ගියා. ටික වෙලාවකට මාව රික්තකයකට පාවෙලා යනවා දැනුනා. සියවස් ගානක් ඈත තරුවකින් ආපු සියවස් ගානක් පරණ පණිවුඩයක් වගේ.
ලෝකෙට මං මොනවා කරන්නද? අනික ලෝකෙට මොනාවත් කරන්න මං කවුද? අපි අපේ ජීවිත ඒ තරම් ලොකුයි කියල හිතාගෙන පුංචියට ජීවත් වුනේ කොයිතරම් ඈත කාලෙකද?
එතකොට මට කියාගන්න දෙයක් නැති වෙනවා. අපි ජීවත්වෙමින් ඉන්නෙ යතාර්ථයන් දෙකක. අපි පවතින්නෙ සමාන්තර විශ්වයන්වල. එතකොට අපි අපේ යතාර්ථයෙන් තවකෙනෙකුට ඒ විදිහට දමලා ගැහුවම අනිකාට පොල්ලක් අතට ගැනීම හෝ ගොළුවීමකට වඩා ඔප්ෂන් එකක් ඉතුරු වෙන්නෙ නෑ.
තාමත් අපිට මුනගැහෙනවා ලෝකෙට යමක් කරන්න ජීවිතේ කාලය කැප කරන මිනිස්සු. මේක ටිකක් හොඳට තේරුම් ගන්න ඕන තැනක්. අපි, අපි කැමති යමක් කරමින් තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම සහ ඒ ඇසුරෙන් අපේ බාහිරයේ යම් යම් වෙනස්කම්වලට දායක වීම කියන්නෙ ස්වභාවික දෙයක්. ඒත් ලෝකෙට දෙයක් කරන්න ඉගෙන ගැනීම හෝ ලෝකෙ මුදවාගන්න කියල හිතන්න පටන් ගැනීම ටිකක් බයානක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන්.
අපිට ප‍්‍රශ්නයක් තියෙනවා නම් අපි විසඳගන්න ට‍්‍රයි කරනවා. අපිට ප‍්‍රකාශනයක් තියෙනවා නම් අපි ඒක එලියට දාන්න ට‍්‍රයි කරනවා. ඒත් අපිට ලෝකෙ වෙනස් කරන්න ඕනවෙනවා කියන්නෙ ඕනවට වඩා දුරදිග යාමක් කියලයි මට හිතෙන්නෙ. කොටින්ම ඒ වගේ අදහසක් ගැන මට කිසි දෙයක් හිතාගන්න බෑ, ‘එහෙනං හා’ කියනව ඇරෙන්න.
ඒත් මගේ යාලූවගේ ලෝකෙ වෙනස් කිරීමේ උවමනාවත් පවතින්න ඕන. ඒක නොතේරෙන මමත් පවතින්න ඕන. අර ටෙලිෆෝන් කෝල් එක වගේ අපේ යතාර්තයන් ක්‍රොස්වෙන තැන්වලදි අපි තේරුම්ගැනීම් ෂෙයාර් කරගන්න ඕන. ෆ‍්‍රීක්වන්සි ගොඩක් දුර යතාර්තයන් පුළුවන් තරම් මගඇරලා ඉන්න එක ඵලදායී වෙන්න පුළුවන්. නැත්තං ඒවා ඩිස්රප්ෂන්ස් විදිහට අපිව අවදි කරන්නත් පුළුවන්.
මොනවා වුනත් අපි ජීවිතේ රසවිඳිනවා කියන්නෙ මේ අනන්ත ගානක යතාර්ථයන් රස විඳින එක. හැම මිනිහෙක් කියන්නෙම චිත‍්‍රපටි සීයක හොයාගන්න බැරි තරම් සවිස්තරාත්මක අපූර්ව විශ්වයන්. ඒ විශ්වයන්ට අපි ඇතුල්වෙන්නෙ ඒ අය එක්ක කරන අදහස් ගනුදෙනු ඇතුලෙන්.
අපේ එක ලොකු කරගන්න තරම් අපි ඇකිලෙන්නෙ නැති හැම වෙලාවකම අපි වඩා ලොකු එකකට ඇතුල්වෙනවා. අපේ ලෝකෙ වෙනස්වෙනවා. ඒත් ඒකට නමක් නෑ.