මාක්ස් ගැන පහුගිය ටිකේම එක එක තැන්වල එක එක කතා ඇතිවුනා. ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට මාක්ස් බහුවිධාංගීකරණය වුනා. එක මාක්ස්වාදීන් පිරිසකට අනුව මාක්ස් තරම් ධනවාදයට ඇලූම් කළ පුද්ගලයෙක් තවත් නෑ. තව මාක්ස්වාදියෙකුට මාක්ස් තමයි වඩාත්ම පරිභෝජනවාදය වර්ණනා කරලා තියෙන්නෙ. තව කෙනෙකුට මාක්ස් කියල තියෙන්නෙ එක දෙයයි. උඩින් පේන එකක් තියෙනවා, යටින් නොපෙනෙන එකක් තියෙනවා. ඒක අහපු මගේ යාලූවෙක් කිව්වා, අපි ඔක්කොම මාක්ස්වාදියො බන්. අපිත් කොච්චරවත් ට‍්‍රයි කරන්නෙ ඔය යටින් නොපෙනෙන එක බලාගන්නනේ කියල. 
 
කොහොම හරි මාක්ස්වාදය අන්තිමට ස්විස් ආමි නයිෆ් එකක් වගේ වුනා.
 
ඒ අතරෙ මාක්ස්වාදය යළි කියවන්න පටන් ගත්ත. මේ කොයි කොයි විදිහට හරි සංවාදයක් ඇති වුනා. ඒක හොඳ දෙයක්. මං පිළිගත්තත් නොපිලිගත්තත් කවර මතවාදයක් ගැන හෝ සංවාද වෙන එකෙන් ඒ මතවාදය එක එක විදිහට වර නැගෙන්න ගන්නවා. මතවාද සිය ගානකට පරිවර්තනය වෙනවා. ඔරිජිනල් එකක් හොයාගන්න බැරි කොපි සිය ගානක් බිහිවෙනවා.
 
මාක්ස්වාදය ගැන තියරිටිකල් සාකච්ඡුා මාක්ස්වාදීන්ට බාරයි. ඒ අතරෙ මං මාක්ස්වාදය ගැන හරිම  ඕඩිනරි ලිපියක් පරිවර්තනය කරනවා. මේක  ඕෂෝ නැත්තං භගවාන් ශ‍්‍රී රාජනීශ් මාක්ස්වාදය ගැන එයාගෙ සන්‍යාසියෙක් අහන ප‍්‍රශ්නෙකට දෙන උත්තරයක්. 
 
එක වෙලාවකදි කෙනෙක්  ඕෂොගෙන් අහනවා එයා කොමියුනිසම් නැත්තං සමාජවාදෙට පක්ෂද කියල.  ඕෂො උත්තර දෙනවා.
 
ඔව් වගේම නැහැ. මං විරුද්දයි සෝවියට් ජනපදයෙ, චීනෙ සහ අනිත් කොමියුනිස්ට් රටවල තියෙන සමාජවාදෙට. මං විරුද්දයි කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටැලින් මාවෝ වගේ මිනිස්සු උප්පද්දපු සමාජවාදෙට. මොකද ඒක කොමියුනිසම් නෙමෙයි. ඒකයි මං විරුද්ද.
 
ඒ ගොල්ලො කළේ ඒකාධිපතිවාදී, අමුනුස්ස, වහල් සමාජයක් නිර්මාණය කරන්න උත්සාහ කරපු එක. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී, පුද්ගලයා පිළිබඳ ගෞරවයක් නැති, කොටින්ම පුද්ගලයාට කිසිම වටිනාකමක් නැති ක‍්‍රමයක්. පුද්ගලයා කියන්නෙ අංකයක් විතරයි. හරියට හමුදාවක වගේ. හමුදාවක කෙනෙක් මැරුනොත් අංක 08 මැරුනා කියලයි කියන්නෙ. නැත්තං අංක 08 අතුරුදන් වුනා. මෙතන තියෙනවා ලොකු මානසික වෙනසක්. මේ අංක 08ට බිරිඳක් නෑ. ළමයි නෑ. තාත්තෙක් අම්මෙක් නෑ. එයා නිකංම අංක 08. ඉල්ලක්කමක්. 
කිසි මනුස්ස වටිනාකමක් නැති. ඒත් ඒ අංක 08 වෙනුවට එයාගෙ ඇත්ත නම පාවිච්චි කළොත් එතකොට දැනෙන විදිහ වෙනස්. එතකොට ඔයා හිතන්න පටන් ගන්නවා, මේ මනුස්සයාගෙ බිරිඳට නැත්තං පවුලට මොකද වෙන්නෙ කියල. මේ හමුදා ක‍්‍රමය කියන්නෙ නොමිනිස් ක‍්‍රමයක්. ඒ වගේමයි මාක්ස්ගෙ කොමියුනිසම් කියන එකත්. පුද්ගලයාට කිසිම වටිනාකමක් නොදෙන නොමිනිස් ක‍්‍රමයක්.
 
මාක්ස් කියනවා ඔයා වෙන කිසිවක් නෙමෙයි, ද්‍රව්‍යයක්, මැටර් එකක් විතරයි. එතකොට ඔයා හිටියත් මළත් මොකද්ද තියෙන වෙනස? ඒක හින්ද ස්ටැලින්ට ගොඩක් පහසු වුනා රුසියාවෙ මිනිස්සු මිලියන ගණං මරන්න.
 
ඒත් මාක්ස් පුද්ගලයා කියන්නෙ නිකම්ම ‘මැටර්’ එකක් කියල නොතිබුනා නම් ස්ටැලින්ට ටිකක් හරි අමාරු වෙනවා ඒක. ඒත් ස්ටැලින්ගෙ හිතට පුංචිවත් ප‍්‍රශ්නයක් එන්නෙ නෑ මේ ඝාතන ගැන. එයාගෙ හෘදය සාක්ෂිය මාක්ස්ගෙ කොමියුනිසම් වලින් පදම් වෙලා තියෙන්නෙ. ඒ මැරෙන්නෙ මිනිස්සු නෙමෙයි. ඒ අයට ආත්මයක් නෑ. ඒ අය නිකම්ම ජීවී යන්ත‍්‍ර වගේ. මිනිසුන්ගෙන් මිනිස්කම කියන එක අයින් කරන ඒ වගේ මුග්ධ මතවාදයකට මං කොහෙත්ම සහයෝගය දක්වන්නෙ නෑ. සිද්ද වෙන්න  ඕන මිනිස් අගයන් තවත් වැඩි දියුණු කරන එකයි. පුද්ගලිකත්වය තවත් පැති වලට වර්ධනය කරන එකයි. ඒ වෙනුවට ඒ ගොල්ලො පුද්ගලික හැම දෙයක්ම විනාශ කරන්න ගත්ත. ඒ ගොල්ලොන්ට  ඕන වුනේ පුද්ගලයා සාමූහිකයක කොටසක්, අංශූවක් බවට පත් කරන්නයි. කරකැවෙන රෝදෙක ස්පෝක් කම්බියක් වගේ.  ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. 
 
ඒත් කිසිම මනුස්සයෙකුගේ ඉඩ වෙන කෙනෙකුට පුරවන්න බෑ. හැම මනුස්සයෙක්ම සුවිශේෂයි. මාක්ස්ගේ කොමියුනිසම් ඇතුලෙ පුද්ගලයාට ඒ ගරුත්වය නෑ. ඔවුන් මොකක්ද මේ වහලා දාන්නෙ? ඒ ඔබේම පැවැත්මට ඇතුල්වෙන දොරටුව. ඔයාගෙ පැවැත්මට ඇතුල් වෙන දොරටුවක් නෑ කියන්නෙ ඔයාගෙ පැවැත්ම එහෙම්පිටින්ම අහිමි වෙනවා කියන එක. තමන්ව තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, පැවැත්මේ සත්‍යය පිලිබඳ සියලූ කාරණා අහෝසියි. කිසිම ආත්මයක් නැති රෝදෙක ස්පෝක් කම්බියක් වෙන එක ලේසියි.
 
මාක්ස්ගෙ අදහසම අභ්‍යන්තර අවබෝධය උඩ පදනම් එකක් නෙමෙයි. ඒ මනුස්සයා පව්. මොලේ තියෙන හාදයෙක්. ඒත් නිකම්ම දැනුමට කොටුවෙච්ච පොතේ ගුරෙක්. පොත් කාවෙක්. එයා හැමදාම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරෙට ගියා. එයා තමයි හැමදාම මුලින්ම එන්නෙ. ? දොරවල් වහනකලූත් එයා ඇතුලෙ පොත් කියවනවා. සමහර දවස්වලට එයාව කෙලින්ම ස්ටෙ‍්‍රචර් එකක දාලා අරන් යන්නෙ ඉස්පිරිතාලෙට. මොකද මිනිහා දවසෙම කරන්නෙ පොත් කියවන එකයි, එකක් ඇරෙන්න තව එකක් සිගරට් උරන එකයි. අන්තිමට එයාට සිහි නැති වෙනවා. අවුරුදු 40ක් තිස්සෙ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරෙට සිද්ද වුනා මේ මිනිහ එක්ක ගනුදෙනු කරන්න. 
 
මේ මනුස්සයාගෙ ජීවිතේ එක මොහොතක් එයාට භාවනාවක් නැත්තං තමන්ගෙ අභ්‍යන්තරයට පිවිසීමක් අත්විඳින්න බැරි වුනා. එයා කිසි දෙයක් දන්නෙ නෑ මිනිසාගෙ ඇතුලාන්තය ගැන. මොනවද එයා දස් කපිටාල් වල ලියලා තියෙන්නෙ? කිසිම කොමියුනිස්ට්කාරයෙක්  ඕක කියවන්නෙ නෑ. මට මුනගැහිලා තියෙනවා සියගානක් කොමියුනිස්ට් කට්ටිය. හැමෝම බයිබලය වගේ මේක ගේ ඇතුලෙ තියාගෙන ඉන්නවා. කියවන්නෙ නෑ. ඒ ගොල්ලො මේකෙන් ශුද්ධ වූ ත‍්‍රිත්වයක් හදාගෙන ඉන්නෙ. මාක්ස්, එංගල්ස්, ලෙනින්. ශුද්ධ වූ ග‍්‍රන්ථය තමයි දස් කපිටාල්. මම  ඕක කියෙව්වා. මුල ඉඳන් අගටම, පිටුවෙන් පිටුව, වාක්‍යයෙන් වාක්‍යය. ඒක නිකම්ම හිස් වචන ගොඩක් විතරයි. කිසිම අත්දැකීමක් ඒ ලියවිල්ලෙ නෑ. අනිත් පොත පතෙන් ගත්ත උපුටාගැනීම් විතරයි. තමන්ගෙම වූ කිසි දැනීමක්වත්, මාක්ස්ගෙ කියන එක අත්දැකීමක්වත් ඒකෙ අඩංගු නෑ.
 
මාක්ස් කියන්නෙ කොයි වගේ මිනිහෙක්ද? යුදෙව්වො ලෝකෙට දීලා තියෙනවා හරිම අමුතු මිනිස්සු. මාක්ස් කියන්නෙත් එක්කෙනෙක්. එයාගෙ කොමියුනිසම්වලට හේතුව දුප්පතුන් ගැන ආපු කරුණාවක් නෙමෙයි. එයාගෙ කොමියුනිසම් හැදෙන්නෙ ධනවතුන් ගැන ඇති ඉරිසියාවෙන්. මේ කාරණය හරියටම තේරුම් ගන්න  ඕන. මොකද ඒකෙන් පුළුවන් සම්පූර්ණ ඇටිටියුඞ් එකම වෙනස් කරන්න. මාක්ස්ගෙ තාත්තා දුප්පත්. මාක්ස් දුප්පත්. එයා ජීවිත කාලෙම ජීවත් වුනේ ධනවත් යාලූවෙක් වෙච්ච එංගල්ස්ගෙ උදව්වෙන්. ෆෙඞ්රික් එංගල්ස් කියන්නෙ එහෙම බුද්ධිමතෙක් නෙමෙයි. ඒත් එංගල්ස් තමන්ට උදව් කරන හින්ද මාක්ස් එයා ලියපු හැම පොතකම එංගල්ස්ගෙ නමත් දැම්මා. ෆෙඞ්රික් එංගල්ස් කිසිම දෙයක් ඇත්තට ලිව්වෙ නෑ. ඒ මාක්ස් එයාට ගෞරවය පෙන්නපු විදිහ විතරයි. මොකද එංගල්ස් නැත්තං මාක්ස්ට වෙන්නෙ හාමතේ මැරෙන්න.
 
යුදෙව්වෙක් විදිහට දුප්පතෙක් වෙන එක දුෂ්කර වැඩක්. මං මේක හොඳට දන්නවා. මොකද මං ඉන්දියාවෙ ජෛනයෙක් විදිහට මේ තත්වෙ අත්විඳලා තියෙනවා. ඉන්දියාවෙ ජෛන හිගන්නො එක්කෙනෙක් වත් නෑ. ඔක්කොම හි`ගමන් යදින අය හින්දු. ජෛන අය හැමෝම ධනවත්. ඒ ගොල්ලො තමයි රටේ පෝසත්ම අය.
ඒ වගේම යුදෙව්වෙක් වෙලා දුප්පතෙක් වුනාම, අනෙක් හැම යුදෙව්වම පෝසත් වෙලා ඉඳිද්දි, ස්වභාවිකවම ඇතිවෙනවා ඉරිසියාවක්. ඒක දුප්පතුන් ගැන කරුණාවක් නෙමෙයි. දස් කපිටාල්, කොමියුනිස්ට් මැනිෆෙස්ටෝ හෝ මාක්ස් ලියපු කිසිම පොතක එක වාක්‍යයක්වත් මුනගැහෙන්නෙ නෑ දුප්පතුන් ගැන කරුණාවෙන් ලියවුන. ඒ හැම එකක්ම ලියවිලා තියෙන්නෙ පොහොසතුන් ගැන ඉරිසියාවෙන්.
 
ඒ හින්ද මං සංක්ෂිප්ත කරනවා නම්, මාක්ස්ගෙ කොමියුනිසම් කියන්නෙ මෙච්චරයි. ධනවතුන් විනාශ කරන්න සහ සියලූ ධනය සමානව බෙදන්න. ඒක තමයි රුසියාවෙ සහ චීනයේ වුනේ. දුප්පතුන් දිගටම දුප්පත් වෙලා හිටියා. ඒත් ධනවතුන්ගෙ ධනය බෙදී ගිය හින්ද ඒ ගොල්ලො හිතෙන් සතුටු වුනා. ධනවත් මිනිස්සුන්ව නැති කළා. සංසන්දනයක් නැති වුනා. එතකොට වෙන්නෙ මෙච්චරයි. කිසි කෙනෙක් ධනවත් නෑ තව කෙනෙකුට තමන් දුප්පත් විදිහට හිතෙන්න. දුප්පත්කමත් සමානව බෙදිලා තියෙන්නෙ. කාටවත් ඉරිසියා වෙන්න හේතුවක් නෑ. හැමෝම එකවගේ දුප්පත්. කාටවත් හිතෙන්නෙ නෑ මීට වඩා හොඳ විදිහක් තියෙන්න පුළුවන් කියලවත්.
මං එකග නෑ දුප්පත්කම සමානව බෙදාගන්න. ධනවතුන්ව විනාස කරන්න. ඒක හින්ද මං ඒ කොමියුනිසම් වලට විරුද්දයි. ඒත් මට තියෙනවා වෙනස් විදිහට අදහසක් කොමියුනිසම් ගැන. මට අනුව කොමියුනිසම් කියන්නෙ ධනවාදයේ ඉහළම හිනිපෙත්තයි.
 
කැපිටලිසම් වලට විරුද්ද වෙලා කොමියුනිසම් ඇති කරන්න බෑ. කැපිටලිසම් උපරිමයෙන් තෘප්තිමත් වෙන තැනදි කොමියුනිසම් ඇතිවෙනවා. 
 
කැපිටලිසම් තමයි ලෝකෙ ධනය උත්පාදනය කරපු පළවෙනි ක‍්‍රමය. ඊට කලින් තිබුනා වැඩවසම් ක‍්‍රමය. ඒකෙන් ධනය ඇතිවුනේ නෑ. ඒකෙන් සිද්ද වුනේ සූරාකෑම සහ මංකොල්ලය. ඉස්සර රජවරු ළ`ග තිබුන ධනය කියන්නෙ අපරාධ කරලා රැුස් කරගත්තුවා. ඒ මිනිස්සුන්ගෙන් බලෙන් රැුස්කරපු ධනයක්. ඒක ඔවුන් විසින් උත්පාදනය කරපු ධනයක් නෙමෙයි.
 
ධනය ඇති කරන්න බුද්ධිය තියෙන්න  ඕන. අපි ධනය ගොඩක් උත්පාදනය කළේ නැත්තං ඒ ධනයේ තියෙන අර්ථයම නැති වෙලා යනවා. අපිට සිද්ද වෙනවා ධනය රැුස් කරන්න දුප්පතුන් අතට පවා ඒ ධනය ගිහින් ඔවුන්ගේ දුප්පත්කම තුරන් වෙන කල්. කාටවත් බෑ සල්ලි කන්න. එතකොට මොනවද කරන්නෙ? අන්න එතනදි කැපිටලිසම් එහි කූටප‍්‍රාප්තියට එනවා. කොමියුනිසම් පටන් ගන්නවා. 
 
මම ධනවාදය ගැන විශ්වාස කරනවා. සමහර විට මම වෙන්න පුළුවන් එකම කෙනා පැහැදිලිව ධනවාදය විශ්වාස කරන බව කියන. මොකද මේ තමයි ඉතිහාසෙ එකම ක‍්‍රමය මිනිසාට විශාල ධනයක් උත්පාදනය කරන්න පුළුවන්. විද්‍යාව හා තාක්‍ෂණික දියුණුවත් අත්පත් කර ගනිමින් දුප්පත්කමක් නොපවතින තරම් ධනයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ ධනය බෙදන්න ක‍්‍රමයක්  ඕන නෑ. ඒ විසින්ම එය බෙදී යනවා. කිසිම ආඥාදායකයෙක් හෝ නායකයෙක්  ඕන වෙන්නෙ නෑ. කැපිටලිසම් වලට පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පුද්ගලිකත්වය, කතා කිරීමේ නිදහස ආදිය එක්ක සුසංයෝගීව වැඩෙන්න. ඒකෙන් කිසි දෙයක් විනාශ වී යාමේ අනිවාර්යයක් නෑ. අපි කරන්න  ඕන වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කරන ක‍්‍රම ගැන උනන්දු වෙන එක මිස ධනය බෙදී යාම ගැන කරදර වෙන එක නෙමෙයි. ප‍්‍රමානවත් විදිහට ධනය උත්පාදනය කරලවත් නැත්තං තව මොකක්ද බෙදලා දෙන්න හදන්නෙ?
 
රුසියාවෙ චීනෙ වගේ රටවල කොමියුනිසම් ඇතිවෙයි කියල මාක්ස්වත් කිව්වෙ නෑ. මොකද මේ රටවල් අන්ත දුප්පත්. මොනවා බෙදන්නද? මාක්ස් හිතුවෙත් මුලින්ම කොමියුනිසම් ඇතිවෙන්නෙ ඇමරිකාවෙන් කියල. ඒත් අවාසනාවට ඒක වුනේ රුසියාවෙ. ඒක වැරදීමක්. ඒක මිනිස්සු සතුටු කරන, ධනවත් සහ නිදහස් කරන ක‍්‍රමයක් නෙමෙයි. ඒ වෙනුවට ඉක්මණට අපි පෝසත් වෙයි කියන බලාපොරොත්තුවෙන් දුක් විඳින්න පොළඹවන ක‍්‍රමයක්. කවද්ද මේ දවස එන්නෙ? දැන් විප්ලවය වෙලා අවුරුදු හැටකුත් පහුවෙලා. විප්ලවකාරයො ඔක්කොම මැරිලා ගිහිල්ලා. හැමෝම බලාපොරොත්තු වුනා ඒ දවස එයි කියල. ඒත් රුසියාව තාම දුප්පත්.
 
ඇමරිකාවෙ දුප්පත්ම මිනිහා වුනත් රුසියාවෙ ලොකුම ධනවතාට වඩා හොඳ තැනක ඉන්නවා. රුසියානුවො ලොකු වටිනාකමක් නැති කරගත්ත. ඒ ගොල්ලොන්ගෙ නිදහස නැතිවුනා. පුද්ගලිකත්වය නැති වුනා. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නැති වුනා. ඒ අයගෙ හැමදෙයක්ම නැති වුනා. ඒ ගොල්ලො හරියට කන්සන්ටේ‍්‍රෂන් කෑම්ප් එකක ඉන්න පිරිසක් වගේ. යුක්තියක් නෑ. ඇපීල් කරන්න තැනක් නෑ. අහන්න කෙනෙක් නෑ.
 
මම මේ විදිහෙ විනාශකාරී කොමියුනිසම් ක‍්‍රමයකට අනිවාර්යෙන්ම විරුද්දයි. ඒත් වෙන විදිහක වඩා දියුණු කොමියුනිසම් ක‍්‍රමයකට මම පක්ෂයි. 
 
ධනය උපද්දන්න. පොහොසත් වෙන්න. දැන් විද්‍යාව හා තාක්‍ෂණය මේකට අවශ්‍ය හැමදේම ඔබට සම්පාදනය කරලා තියෙනවා. බෙදා හැරීම ගැන කරදර වෙන්න එපා. පුළුවන් තරම් උත්පාදනය කරලා සැචුරෙෂන් පොයින්ට් එකට එන්න. ධනවාදය එහි උපරිම ප‍්‍රතිඵල අත්කර ගන්නා දාට කොමියුනිසම් ඉබේටම ඇති වෙයි.
( ඕෂෝගෙ කතාවක්, පරිවර්තනය මගෙන්)


චින්තන ධර්මදාස