පින්ක් කියන්නෙ අනිරුද්ධ රෝයි චෞද්‍රි විසින් 2016 අන්තිම හරියෙදි රිලීස් කරන ෆිල්ම් එකක්. ඒකෙ ප‍්‍රධාන චරිතය වෙන්නෙ අමිතාබ්. ඒත් නම් ලැයිස්තුවෙ කෙල්ලො තුන්දෙනෙකුගෙ නම් තමයි කලින් දාන්නෙ.

මේක කෝර්ට් රූම් ඩ‍්‍රාමා කියන ජෝන්රා එකට වැටෙන ෆිල්ම් එකක්. ඒ කියන්නෙ චිත‍්‍රපටිය කේන්ද්‍ර වෙන්නෙ උසාවියක්, නඩුවක්, නීතිමය ප‍්‍රශ්නයක් වගේ කාරණයක් වටේට. දොලහක් කියන වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න පාදක කරගත්ත ටුවෙල්ව් ඇන්ග‍්‍රි මෙන් කියන එකත් මේ ජොන්රා එකේම තවත් චිත‍්‍රපටියක්. මේ විදිහෙ ප්ලොට් එකක ආතතිය සහ ඇදබැඳ තබා ගැනීම කියන එක අමාරු වැඩක්. ඒත් අනිරුද්ධ චෞද්‍රි ඉතාම ශූර විදිහට තමන්ගෙ කතාව  ඕගනයිස් කරගන්නවා.

ඒත් මට පින්ක් ෆිල්ම් එක පේන්නෙ ප්‍රොපගැන්ඩා මූවි එකක් විදිහට. ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය, කලින් තීරණය කරන ලද දේශපාලනික අදහසක් කාවැද්දවීම වෙනුවෙන් සිනමාව පාවිච්චි කිරීමක්. ඒක අවුල් දෙයක් නෙමෙයි. එතනදි අදාල වෙන්නෙ කොයිතරම් සාර්ථක විදිහට අධ්‍යක්‍ෂවරයා විසින් ඒක කරනවද කියන එකයි. ගොඩක් වෙලාවට තමන්ගෙ මතවාදය වෙනුවෙන් චරිත සංවිධානය කරද්දි ඒ චරිත මළවුන් වගේ වෙනවා. මොකද ජීවිතේ තියෙන අතාර්කික, අසමමිතික, සංදිග්ධතා මගහැරිලා සරල රේඛීය පැතලි චරිත නිර්මාණය වෙන්න ගන්න හින්ද.

පින්ක් ඉවර වෙද්දි පේ‍්‍රක්‍ෂාගාරය ගල්ගැහිලා නවතිනවා. ඒ තරම් කම්පනයක්, සංවේදීතාවයක් චිත‍්‍රපටිය විසින් එලියට මුදාහරිනවා. ඒ කියන්නෙ අනිරුද්ධගෙ ප්‍රොපගැන්ඩා එක සාර්ථකයි. චරිත ඉතාමත් පටු සහ සීමිත ඒවා වෙද්දිත්, ෆිල්ම් එක ඇතුලෙ ඉබාගාතේ දුවන ප්ලොට් ලයින් තියෙද්දිත්, ඒ සියල්ල ඉක්මවා මයිල් කෙලින් වෙන සුළු අත්දැකීමක් පින්ක් ඉතුරු කරනවා.

අමිතාබ් කියන්නෙ මං කැමති නළුවෙක් නෙමෙයි. විශේෂයෙන් එයා තරුණ කාලෙ ර`ගපාපු චිත‍්‍රපටි බලද්දි මට අමිතාබ් නළුවෙක් වුනේ කොහොමද කියල හිතාගන්න බැරි වුණා. ඒත් වයසට යන්න යන්න එයා දැවැන්ත ප‍්‍රතිරූපයක් විදිහට එලියෙන් සහ ඇතුලෙන් වැඩුණා. හින්දි සිනමාවෙ දැවැන්තයා හැටියට එක පැත්තකින් ඉස්මතු වෙද්දි අමිතාබ්ගෙ රංගනයත් අභ්‍යන්තරයෙන් තවත් ගැඹුරට වැඩුනා. පා, පිකූ, පින්ක් කියන්නෙ ඒක දැනෙන චිත‍්‍රපටි කීපයක්.

මේ ෆිල්ම් එකේ කාන්තාවන්ගේ නිදහසට අදාල මොඩර්න් ප‍්‍රශ්න කීපයක් ඉස්මතු කරනවා. ෆ්ලැට් එකක නිදහසේ ජීවත්වෙන කෙල්ලො තුන් දෙනෙක්. ඒ අයගෙ සම්බන්ධතා විවිධයි සහ ඇතැම්විට අසම්මතයි. මේ අතරෙ දවසක රාත‍්‍රී කොන්සර්ට් එකක් කෙලවර ඒ තුන් දෙනා එතනදි අඳුරගත්ත කොල්ලො තුන්දෙනෙක් එක්ක උන්ගෙ හෝටලේට යනවා. බොනවා. කුණුහරුප කතා සහ විහිළු කරමින් ගත කරනවා. අතපත ගානවා. ඒත් කොල්ලෙක් කාමරේට ගෙනිහින් ලිංගිකව එක්වීමට තැත් කරන තැනදි බෝතලේකින් ඔලූවට ගහනවා.

කොල්ලො ටික පස්සෙන් පන්න පන්න තර්ජන කරනවා. කෙල්ලො ටික පොලිසියට යනවා. බලය, තත්වය මත පොලිසිය කොල්ලොන්ගෙ පැත්ත ගන්නවා. සමාජය ඉස්සරහ කෙල්ලො ටික අසරණ වෙනවා.
පින්ක් එකේ කතාව මේකයි. මෙන්න මේ වෙලාවෙදි අමිතාබ්, සිනමාවේ වීරයා පැන්ෂන් ගිය ලෝයර් කෙනෙක් විදිහට පහළ වෙනවා. එයා විසින් මේ නඩුව කාන්තා විමුක්තියේ ප‍්‍රකාශනයක් දක්වා අරන් එනවා.

ෆිල්ම් එක, එක එල්ලේම කාන්තා නිදහස ගැන තිබුණත් ඊට වඩා ගැඹුරු කාරණයක් ඒ හරහා මතු කරනවා. ඒ තමයි සමාජයේ තියෙන ස්ටීරියො ටයිප් සිතීම සහ තීරණ ගැනීම කියන එක. උදා විදිහට මුලින්ම අමිතාබ් නැත්තං දීපක් කියන චරිතය අඳුන්නලා දෙන්නෙ පර්වර්ට් කෙනෙක් විදිහට. නිතර මේ කෙල්ලන් දිහා බලන් ඉන්න වයස්ගත මහල්ලෙක්… ඒත් මොහොතකින් අපි විසින් ඒ චරිතය පිළිබඳව ගත් තීන්දුව ගැන අපිම ලැජ්ජා වෙනවා. ඊට පස්සෙ විදෙස් රටවල උගත්, ඉහළ මධ්‍යම පංතියේ තරුණයන්ගේ විවෘතබව ගැන අපේ කල්පිතය, ටැටූ ගහපු කෙල්ලන් ගැන, අනියම් සම්බන්ධතා ගැන ආදී වශයෙන් නාගරික සමාජයේ අතිශයින් සුලබ ස්ටීරියෝ ටයිප් සිතීම් ගණනාවක් අනාවරණය කරමින් චිත‍්‍රපටිය දිගහැරෙනවා. අනිරුද්ධගේ දක්ෂතාවය වෙන්නේම නරඹන අපිත් ඒ සිතීම ඇතුලෙම කොටුවූ අය වග අපටම තහවුරු කරමින් තමන්ගේ කාරණයට එළඹෙන විලාසයයි.

ඒ වගේම ඉන්දියාවටත් ලංකාවටත් පොදු තවත් දෙයක් මේකෙ එලියට එනවා. ඒ තමන් අතින් යම් වරදක් හෝ බලපෑමක් සිදුවුණු යුවතියක් ඊට එදිරිව නැගී සිටි වහාම ඇයව ‘බඩුවක්’ කිරීමේ යාන්ත‍්‍රණයයි. ‘බඩුවක්’ යැයි සම්මත වූ වහාම ඇය හුදු අනුරාගයේ වස්තුවක් වන අතරම ඇයට කිසිදු මිනිස් අයිතිවාසිකමක හිමිකම අහිමිවෙයි. ඇගේ නැගී සිටීමත් තවත් පිරිමින්ගේ ලිංගය උත්තේජනය කිරීම පමණක් වෙයි. (ලංකාවෙ මෑත බට්ටිගේ කතාව හොඳ උදාහරණයක්)

චිත‍්‍රපටියෙ මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් ඉස්මතු කරනවා. ඒ සමාජයේ ගැහැණියක් ‘ක්වෙෂනබල් කැරැක්ටර්’ එකක් වීමේ වරදයි. ප‍්‍රශ්නකාරී චරිතයක් වීමම වරදකාරීත්වය සනාථ කිරීමක් වෙනවා.
චිත‍්‍රපටිය ප‍්‍රශ්න කරමින් හෝ පොයින්ට් කරමින් යන ස්ටීරියො ටයිප් තින්ක්න්ග් කියන එක, හරි හෝ වැරදි බව කියන්න අධ්‍යක්‍ෂවරයා උත්සාහ ගන්නෙ නෑ. ඒක තමයි ෆිල්ම් එක තාර්කිකව සාධනය වෙන තැන වෙන්නෙ. අධ්‍යක්‍ෂවරයා චිත‍්‍රපටිය ගේන්නෙ එක ලයින් එකකට. ‘කන්‍යාවක් වේවා, ගණිකාවක් වේවා, කවර කෙනෙකු හෝ වේවා, තැන- නොතැන, තානාන්තර හෝ චරිත අදාලත්වයකින් තොරව, එපා කීමේ අයිතිය හිමියි කියන එක. අවිනිශ්චිත කාරණා ගොඩක් අතරෙ එක නිශ්චිතයක් අනිරුද්ධ තහවුරු කරනවා.

‘එපා කියන්නෙ එපා. ඒක සම්පූර්ණ වාක්‍යයක්. ඒ තේරුමට වෙන කිසි දෙයක් අවශ්‍ය හෝ අදාල වෙන්නෙ නෑ..’

මේ කාරණා සියල්ල අතින් චිත‍්‍රපටිය විශිෂ්ටයි. ඒත් මට සිනමාවෙන් එලියෙ අතුරු ප‍්‍රශ්න කීපයක් ඉතුරු වෙනවා.

සමාජයක් කාලෙන් කාලෙට තාක්‍ෂණය, නිෂ්පාදනය ආදී කාරණා අනුව වෙනස් වෙනස් කලාපයන්ට ප‍්‍රවේශ වෙනවා. එතනදි ස්වභාවයෙන්ම අතීත සම්මතයන්, පිළිගැනීම් අභියෝගයට ලක්වෙනවා. මතවාදීමය සහ භෞතිකමය ගැටුම් ඇතිවෙනවා. ඒක තමයි සමාජ පරිණාමය කියන්නෙ. එතනදි පිරිසක් ගොදුරු බවටත් තවත් පිරිසක් අවස්ථාවාදියො බවටත් පත්වෙනවා. ඒත් මේ දෙපැත්තම එකම තත්වයක නිර්මාණ.

වැඩිය පටලව ගන්නෙ නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ලංකාවට ෆේස්බුක් අඳුන්නලා දීපු කාලෙ මතක නම්. මුලින්ම ෆේස්බුක් එක එහෙම්පිටින්ම පාවිච්චි වුනේ ලිංගික සම්බන්ධතාවලට. මිනිමරාගන්න තරමට අනියම් සම්බන්ධතා ඇවිලෙන්න ගත්ත. පෙම්වතුන් විසින් පෙම්වතියන්ට ෆේස්බුක් පාවිච්චිය තහනම් කළා. ඒත් ටිකෙන් ටික තාක්‍ෂණය පරිණත වුණා. පාවිච්චිය වෙනස් වුණා. අද වෙද්දි ෆේස්බුක් එකේ ඊට වඩා සෑහෙන දියුණු විනයක් සහ භාවිතාවක් තහවුරු වෙලා තියෙනවා.

පින්ක් ෆිල්ම් එක ඇතුලෙ කතා කරන ඉන්දියාවෙ මෑත ඇතිවුණු රේප් රැුල්ලට පාදක ඇත්ත කාරණය වෙන්නෙ මේ සමාජ වෙනසයි. මෙතන අතවරයට ලක්වන්නා සහ අතවර කරන්නා කියන දෙන්නම මේ සමාජ වෙනසෙ ගොදුරු. ඒත් ෆිල්ම් එකේ උත්සාහය ජනප‍්‍රිය ලෙස අතවරයට ලක්වුණු තරුණියන්ගේ පැත්ත ඉමෝෂනල් කරන්න. තරුණයන්ව දුෂ්ටයට අන්දන්න.

ඒක අනිරුද්ධ කරන්නෙ ටිකක් බාල විදිහට. එයා කොල්ලො ටික ඇමති කෙනෙකුගෙ පුත්තු කරනවා. උන්ව බලය හිමි තැන තියල කෙල්ලො ටික ප්ලොට් එකෙන්ම අසරණ කරනවා. ඒත් මේ කතාව එහෙම නොවුනා නම් පව් වෙන්නෙ කොල්ලො ටික පැත්තෙ කතාව. එහෙම විශේෂ බලයක් නැති කොල්ලෙක් අතින් කෙල්ලෙකුට මේ අතවරය වුනා නම් අනිවාර්යෙන් අපිට දකින්න වෙන්නෙ වරකාපොල නංගිගෙ වගේ සිද්දියක්.

එක දවසින් අඳුරගත්ත කොල්ලෙක් එක්ක, ඒ කොල්ලගෙ කාමරේට ඇවිත්, බීලා, වල්කතා කිය කිය ඉන්න කොට ඒ කෙල්ල තමන් එක්ක නිදාගන්න කැමතියි කියල හිතන එක ඒ සමාජෙ සෙමියොටික් එකක්, නැත්තං අප‍්‍රකාශිත හැ`ගවුම් ව්‍යවස්ථාවක්. පින්ක් ෆිල්ම් එකේ කොල්ලො ටික, ‘උඹලා තමයි හැමදේම පටන්ගත්තෙ’ කියල කියන්නෙ බොරුවට නෙමෙයි. උන් ඇත්තටම ඒක විශ්වාස කරනවා. වචනයෙන් කියාගන්න බැරි, කෙල්ලන්ගෙන් ප‍්‍රකාශිත කැමැත්තක් පිළිබඳ සංඥාවෙ උන් අතරමං වෙනවා.

මේ ෆිල්ම් එක විදිහකට බලය සහ වසගය අතර ගැටුමක්. වසගය කියන්නෙ සුන්දර දෙයක්. ඒත් වසගය සම්බන්ධව ඔප්පු කළ හැකි න්‍යායන් නෑ. අමිතාබ් විසින් උසාවියෙදි කෙල්ලෙන්ට සමාජයේ සුරක්ෂිතව ඉඳීමේ ඇති මැනුවල් එක ගැන තාර්කික කාරණා අහද්දි අසාධාරණ විදිහට අවතක්සේරු කරන්නෙ හෝ වසා දමන්නෙ මේ වසගය පිළිබඳ කාරණයයි.

ඒ වසගය බලහත්කාරයකට ලයිසන් දීමක් කියනවා නෙමෙයි. ඒත් මේ කතාවෙ අයිඩියොලොජිය විසින් මරා දමන ලද මානුෂික අර්ධය වෙන්නෙ ඒකයි.

අනෙක් අතට මේ චිත‍්‍රපටිය ගොඩනැගෙන්නේ උසාවි කාමරයක් ඇතුලෙ. සමාජීය අතවරයක් හෝ ප‍්‍රශ්නයක් ගැන සංවාදයක් උසාවි කාමරයක් තුල ඇහෙන එක චිත‍්‍රපටියෙ සංවිධිත අවසානයකට පහසුවක් මිස ඒ කාරණය ගැන විවිධ සමාජීය පැතිකඩයන් විවෘත කර ගැනීමට හොඳ එළඹුමක් වෙන්නෙ නෑ. සිනමාකරුවා විසින් දැනුවත් කරන්න උත්සාහ කරන කාරණය සම්බන්ධයෙන් ගත්තත් මේ උසාවියෙන් නඩුව ජයගෙන එලියට බහින යුවතියන්ට වෙන්න නියමිත මොකක්ද? සදාචාරය පිළිබඳ සමාජ අදහස පදනම් වන්නේ උසාවියේ දෙන ලද තීන්දු මත නෙමෙයි.

ඒ වගේම සමස්ත කතාවම ගොඩනැගෙන්නේ දැවැන්ත අහම්බයන් මතයි. මෙවන් පරාර්ථකාමී, ප‍්‍රගතිශීලී නීතිඥයෙක් නිකං කතා කරන්න ඉදිරිපත් වීමේ පටන් ඔහු විසින් තමන්ගේ පැත්තට නඩුව හරවාගන්නා සියලූ තැන් පාදක වෙන්නෙ අතිශය අහම්බ කාරණා උඩයි. යම් හෙයකින් අනෙක් පැත්තෙ දක්ෂ නීතිඥයෙක් හෝ ඒ පැත්තට පක්ෂපාත යම් යම් කාරණා ගොනුවීමක් තිබුනා නම් මේ නඩුව පරදින එකයි සිද්ද වෙන්නෙ. මේ අහම්බය විසින් චිත‍්‍රපටිය ඇතුලෙ තහවුරු කරන්න උත්සාහ ගන්නා ‘පරම’ කාරණය හෑල්ලූවට ලක්වෙනවා.

ඒ සියල්ලටම වඩා මේ චිත‍්‍රපටය එය විසින් විරුද්ධව නැගී සිටිනවා යැයි පෙන්නුම් කරන ප‍්‍රතිගාමී සමාජ දේහයම ආපහු ශක්තිමත් කරනවා. ෆිල්ම් එක මුල ඉඳන්ම පටන් ගන්නෙ ඉතා බිය දනවන සුළු සංගීතයක් සහ මුහුණුවරක් ඇතුව. මේ ඉතා දූෂිත අනාරක්ෂිත සමාජයකි කියන එකයි මූලික එල්බගැනීම වෙන්නෙම. අමිතාබ් පවා මුලින් උන්මත්තක චරිතයක් වගේ කියන්නෙ ‘පරිස්සම් වෙන්න.. පරිස්සම් වෙන්න..’ කියල.

කාන්තාවන්ට නිදහසේ ජීවත් වීම භයානක හෝ අනතුරුදායක බව තහවුරු කිරීමක් තමයි පින්ක් ඇතුලෙන් ඇත්තටම සිද්ද වෙන්නෙ. උදා විදිහට ඩියර් සෙන්ඩගී හෝ හයිවේ වගේ චිත‍්‍රපටියක් ගත්තොත් ඒ කතාවලින් කෙල්ලෙකුගෙ හිතුවක්කාර, ස්වාධීනත්වය උඩට උස්සලා තියනවා. බයක් වෙනුවට ඒ වගේ ජීවිතයකට ආශක්ත කරනවා. ඒත් පින්ක් චිත‍්‍රපටියෙ සාමාන්‍ය ජනතාවට දැනෙන කතාව වෙන්නෙ ‘ඔන්න  ඕක තමයි රෑ තනියම එලිපෙහෙලියට යන අද කාලෙ කෙල්ලොන්ට වෙන දේ’ කියලයි. නිදහස වෙනුවෙන් පෙනී සිටින අතරම පින්ක් වලින් කරන්නෙ ඒ නිදහසට විරුද්ධව ආරක්ෂාව පිළිබඳ බයක්, සැකයක් සමාජගත කරන එකයි.

කාන්තා නිදහස වෙනුවෙන් ප‍්‍රගතිශීලී මැදිහත් වීමක් කරනවා නම් පින්ක් පෙනී ඉන්න  ඕන ලිංගික නිදහස වෙනුවෙන්. මෙතන සමාජේ බේසික් එකක් විදිහට සෙක්ස් නරකයි. ඒත් කැමැත්තෙන් කළා නම් ඉතින් අවුලක් නෑ. සෙක්ස් වරදක් වුණු රටක  ඕනම ලිංගික සම්බන්ධයක් කියන්නෙ රේප් එකක්. සෙක්ස් කියන එක බත් කනවා වගේ නිදහස් වුන දවසක රේප් හෝ මොලෙස්ටින්ග් කියන එකට තියෙන අදහස සහ උවමනාව වෙනස් වෙනවා.

පින්ක්, කාන්තාවන්ගේ ආරක්ෂාව හෝ නිදහස තහවුරු කරන්න උත්සාහ ගන්නේ  දැඩි පිරිමි තාර්කික ආකෘතියක් ඇතුලෙයි. ගැහැණිය යනු තේරුම් ගත නොහැකි, තර්කයෙන් ඔබ්බට ගිය, ද්විකෝටිකයට හසු නොවන, වෙනස් පැවැත්මක් කියන එක අමතක කරමින් පිරිමියෙක් මෙන් සියල්ල පැහැදිලි සහ තාර්කික තැනකට ගෙන ඒම විසඳුමක් හැටියට යෝජනා කරනවා. කාන්තා නිදහස වෙනුවෙන් හැදෙන අලූත් ඉන්දියානු චිත‍්‍රපට රැුල්ලෙම තියෙන කාරණයක් මේක. උදා විදිහට දාංගල් ෆිල්ම් එකේ වුනත් අන්තිමට යෝජනා කරන්නෙ කාන්තාවක් විදිහට ඇති අභියෝග ජයගන්න පිරිමියෙක් වෙන්න කියන එකයි. කන්‍යාභාවය නැති කර ගැනීම, විවිධ අය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම ආදිය පිළිබඳව විවෘතව සියල්ලන් ඉදිරියේ හඩනගා ප‍්‍රකාශ කිරීම හරහා යෝජනා වෙන්නෙ නිදහස ලබා ගැනීම වෙනුවෙන් ස්ත‍්‍රිය එලිදරව් විය යුතු බවයි. නිරුවත් විය යුතු බවයි. ශිෂ්ටාචාරය ගොඩනැගීමේ එක තැනකදී මිනිසුන් සතු ‘ඉව’ අතුරුදන් වුනා වගේම ඊළග යුගය වෙනුවෙන් ස්ත‍්‍රිය තමන්ගේ ස්ත‍්‍රීත්වයේ වෙනස හෝ සුවිශේෂය අත්හැරිය යුතු බවයි. නිදහස වෙනුවෙන් නැවත කැමැත්තෙන් රේප් විය යුතු බවයි. ප‍්‍රශ්නය තිබෙන්නේ මේ උසාවියෙන් හෝ නීතියෙන් නිදහස ලබද්දී එතන ඉතුරු වෙලා ඉන්නෙ තවදුරටත් ගැහැණියක්ද කියන එකයි. මේ නිදහස ලබන්නේ පියයුරු දෙකක් සහ යෝනියක් හිමි පිරිමියෙක් නෙමෙයිද කියන එකයි.

ස්ත‍්‍රීත්වයේ සුවිශේෂත්වය තුලින් නූතන ස්ත‍්‍රිය මුහුණ දෙන අභියෝග ජයගන්න පාරක් පෙන්නන්න මේ කාන්තා විමුක්ති සිනමා රැල්ල අපොහොසත් වෙලා තියෙනවා.


චින්තන ධර්මදාස