ඇත්ත කියල දෙයක් නෑ කියන එක බාරගැනීම කොහොම වුනත් ඇහුවම තාමත් ගොඩක් අය තිගැස්සෙන කාරණයක්. ඇත්ත කියන පත්තරේ, ඔබ ඔබම වෙන්න, අරකෙ ඇත්ත මේකෙ ඇත්ත, යතාර්ථයට පිවිසෙන්න, සැබෑ ඔබ දකින්න, සත්‍යවාදී වෙන්න, මේ ඔක්කොම අර ‘ඇත්ත’ වෙනුවෙන් තියෙන කතන්දර. එහෙම්පිටින්ම ෆික්ෂන් එකක් වුන සිනමාව රූපවාහිනිය වගේ මාධ්‍ය පවා මේ ‘ඇත්ත’ නඩත්තු කරන්න පුදුම මහන්සියක් ගන්නවා.

මේ ඇත්තටම ‘ඇත්තෙ’ අර්බුදයෙ සරල පැත්තක්. ඒත් ‘ඇත්ත’ අර්බුදයට යාමේ ‘ඇත්ත’ අර්බුදය මීට වඩා ගැඹුරට යනවා. මූලිකවම පැවැත්මේ ගැටලූව. හැම එකක්ම ප‍්‍රබන්ධයක්, නිර්මාණයක් වුනහම අපි අපිව නැත්තං අපේ පැවැත්ම කියල තේරුම් ගන්නෙ මොකක්ද කියන අපිව තිගැස්සෙන ප‍්‍රශ්නය එනවා. ඊළගට දැනුමේ ගැටලූව. ෆැන්ටසිය විසින් ෆැක්ට් එක විතැන් කරන්න ගන්නවා. එතකොට සාමූහික ප‍්‍රබන්ධයක් දැනුමක් අපි විදිහට විශ්වාස කරනවා. ඊළගට සදාචාරය. හොඳ නරක මොකක්ද කියල කවුරු කොහොම විනිශ්චය කරන්නද? එතකොට ලස්සන වගේ සංකල්ප. කෙනෙකුගේ ලස්සන ගැන අදහස තව කෙනෙකුගේ එකට වඩා උසස් හෝ පහත් වෙන්නෙ කොහොමද? මේ විදිහට ‘ඇත්ත’ අර්බුදයට යද්දි අපි අනන්ත ගානක් කණ්ණාඩි තියෙන කාමරයක කොටු වෙනවා වගේ එකක් වෙනවා. සමහර ඒවා අපේම ප‍්‍රබන්ද. තව ලක්ෂ ගානක් කවුරුන් කොහොම කුමක් පිනිස නිර්මාණය කළාදැයි හිතාගන්නවත් බැරි ප‍්‍රබන්ද. ඒ ප‍්‍රබන්දවලින් අපි අපිව පරාවර්තනය කරන්න තෝරගන්නේ මොන ඒවද? එක් ප‍්‍රබන්ධයක් අනෙකට වඩා ඉස්සරහට එන්න, නැත්තං ‘ඇත්ත’ වෙන්න බලපාන කාරණා මොනවද? අපේ ආදරය, අපි සුන්දරයි කියල හිතාගෙන ඉන්න දේවල්, අපි මාරයි කියල බාරගන්න සිනමාව, නැත්තං සාහිත්‍යය.. කොටින්ම දෙවියන් බුදුන් පවා මේ විදිහෙ ෆික්ෂන්ස් නැත්තං නැරටිව්ස් වුනහම ‘අපිට’ (මට) මොකද වෙන්නෙ?

අපි හිතනවා නිදහස් අධ්‍යාපනයෙන් මාර දෙයක් වෙනවා කියල.. නැත්තං කොමියුනිස්ට් ක‍්‍රමයෙදි සියලූ ප‍්‍රශ්න විසඳෙනවා කියල.. වෙන විදිහකට ධනවාදය මාරයි කියල වුනත් ෆික්ෂන් එකක් විශ්වාස කරන්න පුළුවන්. ඒකයි වැදගත් දේ. අපි ‘විශ්වාස’ කරනවා. මිනිස්සු යතාර්ථය කියල එකක් උඩ හිතන්නෙ නෑ. මිනිස්සු හිතන්නෙ විශ්වාසය උඩයි. අපි ඇත්ත කියන්නෙ අපි විශ්වාස කරන ප‍්‍රබන්ධ කට්ටලයට.

ඒත් මේ වෙද්දි මෙතෙක් පිලිගත්ත හැම ‘ඇත්තක්ම’ අභියෝග කරමින් ඒ ඇත්ත විසින් නිර්මාණය කළ ‘ෆේක්ස්’ ඇත්තෙහි තැන ගන්න පටන් ගනිමින් තියෙනවා. ප්ලාස්ටික් සර්ජරි කියන්නෙ තවදුරටත් ෆේක් එකක් නෙමෙයි. බොරු ෆේස්බුක් ප්‍රොෆයිල්, සයිකඩෙලික් ඩ‍්‍රග්ස්, ජෙනටිකලි මොඩිෆයි කරපු කෑම, ගේමින් සංස්කෘතිය, අපි වෙනුවෙන් හිතන ස්මාර්ට් කොම්පියුටර්, තවදුරටත් මේ කිසිදෙයක් ෆේක් නෑ.

අපි අලූත් ෆේක්ස් විශ්වාස කරනවා පරණ රියල් එකට වඩා. අපි ගොසිප් විශ්වාස කරනවා ටීවී එකේ නිව්ස් වලට වඩා. අපි සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නෙ මීඩියා රියැලිටියක. මිලියන ගනං අය ෆලෝ කරනවා මෑඞ්මෙන් සීරීස් එකේ ඩොන් ඩ්‍රේපර් වගේ නැත්තං ග්ලී සීරීස් එකේ සූ සිල්වෙස්ටර් වගේ හැසිරෙන ට්විටර් චරිත. මේ සෙවනැලි චරිත එක්ක ඇත්ත අය එක්ක වගේම ගනුදෙනු කරනවා. ලේඩි ගාගා වගේ චරිතයක් ගත්තොත් එයාව ගන්න වෙන්නෙ ඇත්තකට වඩා ෆික්ෂන් ගානක එකතුවක් විදිහට. මැඩෝනා ගත්තොත් එයා ලානා ටර්නර්, මැරිලින් මොන්රෝ සහ මැරලින් ඩියෙටි‍්‍රච් කියන ෆික්ෂන් තුනක එකතුවක්. රියැලිටිය කියන්නෙ අපේ තෝරාගැනීමක්.

කාලෙන් කාලෙට මේ ප‍්‍රබන්ධ විශ්වයන් මාරු වෙනවා. එක කාලෙක හරිම ඉන්ටරෙස්ටින්ග් විදිහට අපි හැමෝම ටීවී වලින් රියැලිටි ෂෝ විශ්වයකට ඇතුල් වුනා. රියැලිටි ෂෝ කියන්නෙ හරිම සංකීර්ණ විදිහට රියල්-ෆේක් සංකල්ප ගැටෙන ටි‍්‍රපී තැනක්. ටීවී වලින් අපිට රියැලිටි කියලා ෂෝ එකක් පෙන්නනවා. ඒක යතාර්ථය ගැන ප‍්‍රසංගයක්. ඒ යතාර්ථය හැදෙන්නෙ ටීවී ස්ටේෂන් එක ඇතුලෙ.  ඒත් ඒකට එන්නෙ නළුවො නොවන (අඩු තරමෙ එහෙම හිතාගෙන ඉන්න) අය. ඒකෙ පිටපතක් නෑ වගේ තමයි පේන්නෙ. ඒත් ෂෝ එක ඇතුලෙදි ඒකට අදාල වෙනම ප‍්‍රබන්ධ යතාර්ථයක් ගොඩනැගෙනවා. ඒ ෂෝ එකේ ඉන්න අය වගේම එලියෙ නරඹන අපිත් ඒක යතාර්ථයක් නැත්තං ඇත්තක් විදිහට බාරගන්නවා.

රියල්-ෆේක් බොළඳ සමීකරණයෙන් මිදිලා සියල්ල ප‍්‍රබන්ධයන් කියන එකට බය නැතුව මූනදෙන්න අපිට පුළුවන් නම්… ඒ බාරගැනීම ඇතුලෙ අඩුතරමෙ අපිට පුළුවන් වෙනවා අපි කැමති නැති තැන්වලදි පිටපත් වෙනස් කරන්න. අපි කැමති විදිහට කතාවෙ කොටස් ලියන්න. සමහරවිට පොඩි අතුරු නැරටිව් එකක් විදිහට. එහෙම සක‍්‍රීයව සවිඥානකව විශ්වයන් ප‍්‍රබන්ධ කිරීමේ පුරුද්දකදි අපි ටික කාලෙකින් තේරුම් ගන්නවා  සමහර ෆික්ෂන්ස් ෆැක්ට්ස්වලට වඩා රියල් කියල. ඒවා විසින් අපිව වඩා අවබෝදයට පත්කරනවා කියල.

ලූවි කැරොල් මෙහෙම කියනවා. මේ සිහිනමය විශ්වයෙ ‘ඇත්තක්’ කියල දෙයක් තියෙනවා කියන, ඒ ඇත්ත අනුව ජීවත්වෙන්න  ඕන කියල බාරගන්න අය තමයි ‘ෆේක්’.  මේ විශ්වයේ සියල්ල ව්‍යාජයි කියල බාරගන්න එකයි, ඒ ලෝකයේ දේවල් අපේ හදවතට දැනෙන විදිහට නැවත නිර්මාණය කරන එකයි විතරයි රියල් වෙන්නෙ.

(එරික් ජී විල්සන්ගේ පොත ඇසුරින්)