සෙක්සොලොජි කියල විෂයක් ලංකාවෙ නෑ. ඒ කියන්නෙ සමස්තයක් විදිහට ලිංගිකත්වය ගැන හදාරන අවකාශයක් අපිට නෑ. ඒ තරම් ලොකු ඒවා කොහොම වුනත් අඩුගානෙ ඉස්කෝලෙ හරිහමන් ලිංගික අධ්‍යාපනයක්වත් අපිට නෑ. අපේ වගේ රටවල බහුතරයක් දෙනා සෙක්ස් ඉගෙන ගන්නෙ එක්කො පෝර්න්වලින් නැත්තං අත්දැකීම්වලින්. ජීවිතේ ලිංගික අත්දැකීම්වලදි ප්‍රශ්න ඇති වුනත් ඒ ගොඩක් ඒවා සාමාන්‍ය සමාජ පැවැත්ම වෙනුවෙන් දරාගත යුතු ඒවා වශයෙන් නිශ්ශබ්දව බාරගන්න අපි පුරුදු වෙලා තියෙනවා. සෙක්ස් ගැන කතා කරන එක ලැජ්ජාවක්. එහෙම කතා කරන අය වනචරයො නැත්තං විපරීතයො. සෙක්ස් ගැන තේරුම්ගැනීමකට යනවා නම් අපිට සිද්ද වෙනවා ප්‍රැක්ටිකල්වලට අමතරව න්‍යායත් ටිකක් දැනගන්න.
සෙක්ස් ගැන කතා කරද්දි ඒකෙ අංශයන් දෙකක් නැත්තං කලාපයන් දෙකක් ගැන අපිට දැනුමක් ඕන වෙනවා. එකක් සෙක්ස් සම්බන්ධ ජීව විද්‍යාත්මක ඒ කියන්නෙ අපේ ශරීරයේ බයොලොජිය පැත්තෙන් කතාව. අනිත් පැත්තෙන් සෙක්ස් සම්බන්ධ මනෝ විද්‍යාව, සයිකොලොජි පැත්තෙන් කතාව. සෙක්ස් කියන්නෙ ශරීරයයි මනසයි දෙකම එකක් වෙන තැනක්. මනස ශරීරයට බලපාන අතර ශරීරය මනසට බලපානවා. වෙන් කරලා කතා කළාට පවතින්නෙ තනි සමස්තයක් විදිහට. ඒක සිස්ටම් එකක් කියල අපිට කියන්න පුළුවන්.
සෙක්ස්වලදි අපිට ජීව විද්‍යාත්මක වෙනස්කම් ගොඩක් සිද්ද වෙනවා. අපි රතුවෙනවා, හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා, හදවත ගැහෙන වේගය වැඩිවෙනවා මේවා අපිට ශාරීරිකව ඇතිවෙන දැනෙන පේන දේවල්. ඒ වගේම ජානමය පදනම සෙක්ස්වලට බලපානවා. අපේ ගැහැණු පිරිමිබව පවා තීරණය වෙන්නෙ ඒ ජාන මත. අපේ ශරීර අංගයන් හැඩයන් සකස් වෙන්න ජාන බලපානවා. අනිත් පැත්තෙන් හෝමෝන. හෝමෝන කියන්නෙත් ජීව විද්‍යාත්මක බලපෑමක්. සෙක්ස්වලට කෙලින්ම බලපාන හෝමෝන තියෙනවා.
සෙක්ස් ගැන මුල්කාලීනව හිතුවෙ අනාගත පරපුර බිහිකිරීම සඳහා තියෙන ක්‍රියාවක් විදිහට. මේ අවශ්‍යතාවය මුල් කරගත්ත දැනුම අපිට ඕනම සංස්කෘතියකින් හොයාගන්න පුළුවන්. වර්ගයා බෝ කිරීම වෙනුවෙන් අපිත් අනෙක් සතුනුත් කරන ක්‍රියාවකට වඩා පිලිගැනීමක් සෙක්ස්වලට ලැබුනෙ නෑ. අපිත් අනිත් සත්තු වගේම ලිංගිකව ශරීරයෙන් ඇතිකරන උත්තේජනයකට ප්‍රතික්‍රියා දක්වනවා කියන එක තමයි මේ විශ්වාසය වුනේ.
ඒත් පස්සෙ ටික ටික වැටහෙන්න පටන්ගත්තා අපි වෙනස් කියල. එකම දෙයක් කරනවා වගේ පෙනුනට ඒ දෙක දෙකක් කියල. උදා විදිහට අපිටත් සතුන්ටත් දෙගොල්ලන්ටම මොළයක් තියෙනවා තමයි. ඒත් අපේ මොළෙයි සතෙකුගේ මොළෙයි කොහෙත්ම ගලපන්න පුළුවන් දෙකක් නෙමෙයි. දෙකම මොළ තමයි. ඒත් ව්‍යුහයෙන්ම ඒවා වෙනස්.
ව්ලද්මීර් බෙක්ටරෙට් කියන රුසියානු විද්‍යාඥයා කියනවා සෙක්ස් කියන්නෙ හරියට චූ බරක් වගේ අපිට නිදහස් කරන්න සිද්ද වෙන ආවේගයක් කියල. සෙක්ස් ග්‍රන්ථිවලින් මේ ශ්‍රාවයන් මුදාහැරෙන කොට අපිට අනිවාර්යෙන්ම සෙක්ස් කරන්න අවශ්‍ය වෙනවා කියලයි එයා හිතුවෙ.
ඒත් සෙක්ස් කියන් එහෙම රිලීස් කරගන්න තියෙන උවමනාවක්ම නෙමෙයි. ඒකෙ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
ඔන්න විසිවෙනි සියවසේ මුලදි හොයාගන්නවා සෙක්ස්වලට හෝමෝනවලින් තියෙන බලපෑම ගැන. හෝමෝනවලින් සෙක්ස් පාලනය වෙනවා කියන එක. ඇලන් ෆිෂර් ටෙස්ටස්ටෙරොන් එක්ක පර්යේෂණ පටන්ගන්නවා. ටෙස්ටෙස්ටරොන් කියන්නෙ අපේ ලිංගික ක්‍රියාවට බලපාන හෝමෝනයක්. ඒක පිරිමි වෘෂණවලත් ගැහැණු ඩිම්බකෝෂවලත් නිපදවෙනවා. ෆිෂර් මේ බලපෑම පරීක්ෂාවට ලක්කරනවා.
එයා කූඩුවක පිරිමි මීයෙකුයි ගෑණු මීයෙකුයි දාලා පිරිමි මීයාගෙ මොළේට ටෙස්ටෙස්ටරොන් ඉන්ජෙක්ට් කරනවා. එයාගෙ බලාපොරොත්තුව වෙන්නෙ මීයා ප්‍රචණ්ඩ වෙලා, ලිංගික ආතතිය වැඩිවෙලා, ගැහැණු මීයාට හිරිහැර කරයි කියල. ඒත් වෙන්නෙ අනිත් පැත්ත. පිරිමි මීයා හොඳටම ආදරනීය වෙලා ගැහැණු මීයාව රැකබලාගන්න විදිහෙ හැසිරීමක් ප්‍රකට කරනවා.
ඒ පාර ෆිෂර් මොළේ අනිත් පැත්තට ටෙස්ටෙස්ටරොන් විදිනවා. එතකොට මීයා ප්‍රචණ්ඩ වෙනවා. ලිංගික ආවේගයෙන් හැසිරෙන්න ගන්නවා.
ඊට පස්සෙ ෆිෂර් මොළේ මැද කොටසට හෝමෝනය විදිනවා. එතකොට මීයා මිශ්‍ර ගති පළකරන්න පටන් ගන්නවා.
මෙතනදි තේරුම් ගිය දේ තමයි හෝමෝන වැදගත් වුනාට සෙක්ස් කියන්නෙ හෝමෝන විතරක් නෙමෙයි කියන එක. මොළයේ එක එක තැන්වලදි හෝමෝනය විසින් ඇතිකරන බලපෑම වෙනස් වෙනවා. විද්‍යාඥයො ඉතා කැමැත්තෙන් හිටියෙ හෝමෝන පිළිබඳ දැනගැනීමෙන් පස්සෙ මිනිසාගේ ලිංගික ක්‍රියාව පාලනය කිරීමේ දැනුම තමන් සතු වෙනවා කියල. ඒත් සෙක්ස් කියන්නෙ එහෙම සරලව විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි.
සමලිංගිකත්වය කියන්නෙ රෝගයක් විදිහටයි ඉතා මෑතක් වෙනකල්ම සැලකුනෙ. මේ රෝගය හොඳ කරන්න වෛද්‍යවරු නොයෙක් උත්සාහ ගත්තා. අද වුනත් ලංකාවෙ මෙහෙම විශ්වාස කරන දොස්තරවරු ඉන්නවා.
ඇන්ඩ්‍රොජන් කියන අපේ ලිංගික ආශාව නැත්තං ලිබිඩෝ එකට බලපාන හෝමෝනය අඩු කිරීමෙන් සමලිංගිකත්වය සුව කරන්න විසිවෙනි ශතවර්ෂෙ මැද හරියෙදි විද්‍යාඥයො උත්සාහ කළා. මේවා ඉතාම නොමිනිස් අත්හදාබැලීම්. ඒත් සමලිංගිකත්වය ලෝකෙ යම් තරමක හෝ නිදහසක් අත්පත් කරගත්තෙ ඒ වගේ පීඩිත ඉතිහාසයක් පහුකරන් ඇවිත්.
මේ පර්යේෂණවලදි ඔප්පු වෙනවා අපිට හෝමෝනවලින් කෙනෙකුගෙ ලිංගික උත්තේජනයේ ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් වුනාට ලිංගිකත්වයේ දිශාව නැත්තං එයා ආශා කරන්නෙ මොනවටද කියන එක පාලනය කරන්න බෑ කියල. සෙක්ස් කියන්නෙ හෝමෝන විතරක් නෙමෙයි කියල.
අපිව ලිංගිකව උත්තේජනය වෙද්දි අපිට කායිකමානසිත වෙනස්කම් ගණනාවක් සිද්ද වෙනවා. ප්‍රාණවත් වීමේ සිට නැවත පහත වැටෙන මොහොත දක්වා කාලයට අපි කියනවා මෛථුන පරාසය කියල. ඉංග්‍රීසියෙන් කොපියුලටරි ඉන්ටර්වල්.
මේ පරාසයේ ඇතිවෙන විවිධ අවධීන් තියෙනවද?
පිරිමින්ගෙ ගැහැණුන්ගෙ සුරතාන්තයන් දෙකම එකක්ද නැත්තං දෙකක්ද?
සෙක්ස් එක්ක තියෙන ස්නායුකායික විද්‍යාත්මක සම්බන්ධතා මොනවද, ඒ කියන්නෙ සෙක්ස් සම්බන්ධ නොයෙක් ප්‍රතිචාරවලට අදාලව මොළයේ ඇතිවෙන වෙනස්කම් මොනවද කියන එක,
මේවා ගැන කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නෑ. වෛද්‍යවරුත් තමන්ගේ අත්දැකීම් සහ විවිධ රෝගීන්ගෙන් ලත් තොරතුරු මත පිහිටලා තමයි ප්‍රතිකාර කරමින් හිටියෙ.
විලියම් මාස්ටර්ස් සහ වර්ජනියා ජොන්සන් දෙන්නා එන්නෙ මෙන්න මේ හිඩැසට. ඒ ගොල්ලො මේ මෛථුන පරාසය ගැන විද්‍යාත්මකව වාස්තවික පර්යේෂණ කළා. ලිංගික සම්බන්ධයක් සිද්ද වෙන්නෙ කොහොමද කියන එක මුල්ම වරට කායික විද්‍යාත්මකව පැහැදිලි කලේ මාස්ටර්ස් සහ ජොන්සන්. ලිංගික හැසිරීමේදී දෙන්නෙකුගෙ ශරීර අතර ඇතිවෙන ජීව විද්‍යාත්මක වෙනස්කම් පියවරෙන් පියවර මාස්ටර්ස්ලා අවධීන් විදිහට වර්ග කරලා පෙන්නුවා. මාස්ටර්ස්ලා මේවා හොයන කාලෙදි සුරතාන්තය කියන්නෙ මිත්‍යාවක් කියල විශ්වාස කළ අය පවා හිටියා.
මාස්ටර්ස්ලා මේ පර්යේෂණ කරන කාලෙදි දරුවන් නොලැබීම ගැන ගැටළුවක් සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ වෛද්‍යවරයා මුනගැහෙන්නෙ දෙපාරකට. සැමියාට බෙලහීනතාවයට ප්‍රතිකාර කරන අතරෙ බිරිඳට සරුබව ලබාගැනීමට ප්‍රතිකාර කරන එකයි විදිහ. මේ ප්‍රශ්නය සඳහා දෙන්නව එකට පරීක්ෂා කරමින් ප්‍රතිකාර ලබාදීම කළ යුතුයි කියල කිසි කෙනෙකුට දැනුමක් තිබුනෙ නෑ. මුලින්ම මාස්ටර්ස් සහ ජොන්සන් තමයි සැමියා සහ බිරිඳ එකට මුනගැසීමෙන් දරුඵල සහ විවාහක ලිංගික ගැටළුවලට උත්තර හොයන්න පටන්ගත්තෙ.
සෙක්ස්වලට බයොලොජිය වැඩකරන්නෙ කොහොමද කියන එක තමයි මාස්ටර්ස්ලාගේ පර්යේෂණය වුනෙ.
ඒබ්‍රහම් මාස්ලෝ කියන ප්‍රකට මනෝවිද්‍යාඥයා මේ එළඹුමට පක්ෂ වුනා. සෙක්ස් කියන්නෙ ජීව පද්ධතීන් දෙකක්, මිනිස්සු දෙන්නෙක් අතර ඇති වෙන ක්‍රියාවක් විදිහට එයා දැක්කා. නමුත් සෙක්ස්වලදි මේ කායික අර්ධය විසින් මානසික අර්ධය කොහෙත්ම නොතකා හරින්න නරකයි කියල එයා අවධාරණය කළා. ඒ වගේම සෙක්ස්වලදි ඇත්තටම දැනෙන අත්දැකීම ඒ ක්‍රියාවේ යෙදෙන තමන් විසින්ම අවබෝධ කරගත යුතු ආගමික අත්දැකීමක් වගේ පුද්ගලික දෙයක් කියල මාස්ලෝ මතක් කළා.
ඒත් අපි තවමත් සෙක්ස් ගැන කිසි දෙයක් දන්නෙ නෑ. පිරිමි නම් තමන්ගේ ලිංගේන්ද්‍රිය එලියෙ තියෙන නිසා අතපත ගාලා ඒ ගැන යම් හෝ අවබෝධයක් ගන්නවා. නමුත් ගැහැණුන්ට තමන්ගේ වැජයිනාව ගැන එහෙම අවබෝධයක් එන්නෙ නෑ. ඒක ස්පර්ශ කිරීමවත් නොකළ යුතු ලැජ්ජාවේ කලාපයක් විදිහටයි සමාජයෙන් පොඩිකාලෙම කෙල්ලෙකුට උගන්නන ආකල්පය.
පොඩි කාලෙම අපි දරුවන්ට ලිංගික අවයව වසන් කිරීම උගන්නනවා. හෙළුවෙන් ඉන්න එක වරදක් කරනවා. ඒ වගේම ලිංගේන්ද්‍රියන් අතපත ගෑම නරක දෙයක් බවට පත් කරනවා. ඒවට කියන වචනයක්වත් හරියට කියලා දෙන්නෙ නෑ. චූටි කුරුල්ලා, චූවා වගේ විකාර නම් තමයි පොඩිකාලෙ ඒවා හඳුන්වන්නෙ.
මේ හින්ද සිද්දවුනු ඛේදනීය සිදුවීම් පවා තියෙනවා. එක දැරියකට අම්මා වැජයිනාවට කුකී කියල උගන්නනවා. මේ දැරියගේ අපචාරී පියා මෙයාට බලහත්කාරකම් කරනවා. දැරිය ඉස්කෝලෙ ටීචර්ට කියනවා තාත්තා එයාගෙ කුකී එක ඉල්ලනවා කියල. ටීචර් කියනවා කුකී තියෙන්නෙ ෂෙයාර් කරගන්න කියල. මේ දැරිය තාත්තා අතින් දිගින් දිගටම අපචාරයට ලක්වෙනවා. ඒත් අම්මා දුවට හරි වචනෙ කියල දීලා තිබුනා නම් මේ ඛේදවාචකය වළක්වගන්න ඉඩ තිබුන.
ඉතින් අර විදිහට අපි හදන ළමයි තමන්ගේ ලිංගික අවයව ගැනවත් හරි දැනීමක් නැති අය විදිහට ලොකු වෙනවා. ඒ ගැන කතා කරන්න ලැජ්ජාවෙන ඇඹරෙනවා. හොඳ ලිංගික සම්බන්ධයකට අවශ්‍ය නිදහස් නිරෝගී මනස අහිමි කරගන්නවා.
අපේ ශරීරයේ හැම තැනක්ම සුන්දරයි. මහත වුනත්, බඩ ආවත්, ස්ටේරච් මාක් තිබුනත් අපේ ශරීරය කියන්නෙ ලෝකෙ තියෙන විශ්මිතම නිර්මාණයක්. ඒ ශරීරයේ හැම කොටසක්ම මැජික් එකක්. ලැජ්ජාවෙන් නෙමෙයි ගෞරවයෙන් ඒවා බාරගන්න, විඳින්න අපි දැනගන්න ඕන.
මතු සම්බන්ධයි