මුලින්ම කියන්න ඕන මං රස්තියාදු පදනමේ රසිකයෙක් නෙමෙයි. ඊටත් වඩා රස්තියාදු සිංදු ඇහුවත් පදනමේ සිංදුවල රහ මට තාම සෙට් වුනේ නෑ. ඒත් කොල්ලො ටිකක් මෙහෙම එකතු වෙලා මොකක් නිර්මාණයක් කරනවා කියන එක මට වටින දෙයක්. ඒකෙන් කාටවත් හානියක් හෝ අපහාසයක් නොවෙනවා නම් ඒක සභ්‍ය දෙයක්. ඒ වචන, සංගීත භාවිතය, සංස්කෘතිය වගේ දේවල් සමාජයක සංවාදයට බඳුන්වෙනවා මිස නීතියෙන් විනිශ්චය කරන්න යන එක සභ්‍ය දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම පොලිසිය විසින් තීරණය කරන එක අසභ්‍යම තත්වයක්.

රස්තියාදු පදනමේ අවුරුදු කීපයක් පරණ සිංදුවක් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙහෙම අසභ්‍යයි කියල විනිශ්චය කරලා ඒ අයව අත්අඩංගුවට ගත්තා. අද අලුත්කඩේදී මේ ගීතය වහාම ඉවත් කරගන්න කියල මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරලා මේ අයට ඇප ලබා දුන්නා. එතනදි මහේස්ත්‍රාත්වරිය විසින් කියල තිබුනෙ පාසැල් දරුවන් මේ දවස්වල ඔන්ලයින් අධ්‍යාපනය ලබන නිසා මේවගේ දේවල් වලින් ඒ අයගේ මනස් දූෂණය වෙනවා කියල.

ඒ අනුව දැන් යූටියුබ් නාලිකා හැමදෙයක්ම කරන්න ඕන දරුවන්ට සුදුසුද කියන දර්ශකය අනුවයි. සිනමාව, රූපවාහිනිය, යූටියුබ් ඇතුළු සියලු සමාජ මාධ්‍යයන් දරුවන් වෙනුවෙන් වෙන් කරලා වැඩිහිටි සමාජයක් රටේ ජීවත් වෙනවා කියන එක අමතක කරපු යුගයකයි අපි ජීවත් වෙන්නෙ. තමන්ගේ දරුවන් නරඹන්නේ මොනවද කියන එක ගැන වගකීමක් ගන්න අපොහොසත් දෙමව්පියන් නිසා ඒ ගැන තීන්දු තීරණ ගන්න වෙලා තියෙන්නෙ උසාවියට. මේ කියන ප්‍රවෘත්තියේ හැටියට දෙමව්පියන් පිරිසක් විසින් තමන්ගේ දරුවන් මේවා නරඹනවා කියල පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. තමන්ගේ දරුවන් හදාගැනීමේ වගකීමක් තමන්ට නැද්ද කියල අහන්න තරම් දැනුමක් නැති පොලිසිය විසින් අර නිර්මාණය කරපු පිරිස අත්අඩංගුවට ගන්නවා. මොකක්ද මේ සදාචාරය?

මෙතනදි රස්තියාදු පදනමේ සිංදුවට වඩා ඉරාජ්ගේ ෆිල්ටිගෙ සිංදු අසභ්‍යයි. ඒවායින් විවිධ පුද්ගලයන්ට අපහාස කරනවා. ඒ අපහාස පිණිස ලිංගික අර්ථයන් පාවිච්චි කරනවා. ඒත් ඒ වගේ සිංදු ගැන පොලිසියට පැමිණිලි එන්නෙ නෑ.

මෙතන අනියමින් ක්‍රියාත්මක වෙන්නෙ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ නීති ගෙනඒමේ උවමනාව වග පැහැදිලියි. ඒ හරහා පුරවැසි සමාජයක් ළමා සමාජයක් ලෙස පවත්වාගෙන යාමේ උවමනාව සුපැහැදිලියි. අපි අද කුණුහරුප විදිහට හඳුන්වන හැම වචනයක්ම ඉතාම හොඳ සිංහල වචන ලෙස පැවතුනු ඒවා වග ඒ බස හසුරුවන ජාතියම නොදැන සිටීම ලැජ්ජාවක් වගේම දුකක්.

උදා හැටියට හුත්තී යනු සුත්තී හෙවත් සුතන් ඇත්තී කියන එක. ඒ කියන්නෙ යහපත් වූ තන් ඇත්තී, වෙන කවුරුවත් නෙමෙයි අම්මා කියන එක. ඒ වගේම හුකනවා කියන්නෙ සුඛ නැත්තං සුකනවා, සැප ලබනවා කියන එක. සිංහල නොදැන යද්දි මේවා කුණුහරුප වගේ පේනවා.

“සිංහලේ කුණුහරුප කියල දෙයක් නෑ. දෙයක් කුණුහරුපයක් වෙන්නෙ බලන කෙනාගේ හිත කුණුහරුපයක් හින්ද. දැන් ගෑණු ළමයෙක් කොටට ඇඳන් යන එක කාටහරි අසභ්‍යයි කියල පේන්න පුළුවන්. ඒත් ඒක කොට ඇඳුමෙ අසභ්‍යකමක් නෙමෙයි බලන මිනිහගෙ හිතේ අසභ්‍යකම. ගොවියෙකුගෙ අමුඩයක් වුනත් කෙනෙකුට අසභ්‍ය ඇඳුමක් වෙන්න පුළුවන්…”

– උපුල් ශාන්ත සන්නස්ගල

අසභ්‍ය කියන දේ තේරුම හරියට දැනගත්තා නම් පොලිසිය අසභ්‍ය විදිහට දරුවො හදනවා කියල අවවාද කරන්න ඕන මේ දෙමව්පියන්ට. අධිකරණය අවවාද කරන්න තිබුනෙ පොලිසියට. ඒත් මේකෙන් වෙන්නෙ හැමදෙයක්ම කුණුහරුපයක් වෙන එක. මේ සිතීම සභ්‍ය නෑ. අපි අසභ්‍ය සමාජයක් නිර්මාණය කරමින් ඉන්නවා.

දරුවන් නොමනා වීඩියෝ බැලීම නතර කිරීමට කළ යුත්තේ දෙමව්පියන්ට බ්‍රවුසින් සීමා කිරීමේ තාක්‍ෂණය පුහුණු කිරීම මිස සියලු සමාජ මාධ්‍ය ළදරු කිරීම නෙමෙයි.


චින්තන ධර්මදාස