මං ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය ගැන ලියපු ලිපිය ජනක ඉනිමංකඩ ෂෙයාර් කරගෙන තිබුණ තැනකදි ලියනගේ අමරකීර්ති කමෙන්ට් එකක් දාලා තිබුණ. ‘මේ වගේ අන්තවාදී අදහස් වලින් චූන් වෙන කෙනෙකුට සාහිත්‍ය ප‍්‍රකාශන කරන්න පුළුවන්ද?’ වගේ අදහසක් එතන තිබුණෙ. අමරකීර්ති ඒක කුමක් අරබයා කාහට කියන ලද්දක්ද එක පැහැදිලි නෑ. ඒත් මං අන්තවාදය ගැන අන්තයකට හිතන්න ගත්ත.

මට හිතෙන්නෙ අන්තවාදය ලෝකෙට අවශ්‍යම දෙයක්. අන්තවාදය නැතුව ලෝකෙ එත අඩියක්වත් ඉස්සරහට යන්නෙ නෑ. අන්තවාදයක් කියන්නෙ තමන්ගෙ එක්තරා නිශ්චිත අදහසක් වෙනුවෙන් පවතින තත්වයට ප‍්‍රතිවිරුද්ධව දැඩිව හිටගැනීම. ඒ වෙනුවෙන් දරුණු විවේචන සහිතව සටන් වැදීම. උදා විදිහට ලෝකෙ පැතලියි කියල හිතන කාලෙදි ලෝකෙ ගෝලාකාරයි කියන එකා අන්තවාදියෙක්.

හැම විද්‍යාත්මක සොයාගැනීමක්ම අන්තවාදයේ නිමැවුමක්. හැම අලූත් අදහසක්ම අන්තවාදීයි. බමුණන් විසින් මහා බ‍්‍රහ්මයා ගැන දේශනා කරන කාලෙ බුදුන් එහෙම මැවුම්කරුවෙක් නෑ කියල කියද්දිම බුදුන් අන්තවාදියෙක්. අන්තවාදයක් නෑ කියන්නෙ පතෝල. පතෝල කියන්නෙ පවතින තත්වය ගැන කියන්න තමන්ට නිශ්චිත වූ අදහසක් නෑ කියන එක. එතකොට තියෙන්නෙ එක එක පද ගැලපීම් විතරයි. එකලස් කිරීම් විතරයි. හැම ඔරිජිනල් අදහසක්ම එන්නෙ අන්තවාදයකින් විතරයි.

ඒ වගේම අපිට අමතක වෙන තව කාරණයක් තියෙනවා. ඒ තමයි අන්තවාදයක් හැමතිස්සෙම සළකුණු කරන්නෙ තවත් අන්තවාදයකින් කියන එක. තවත් අන්තවාදයකින් මිස වෙනත් අන්තවාදයක් අර්තකතනය කරන්න බැරි වෙනවා. උදා විදිහට ප‍්‍රභාකරන් අන්තවාදියෙක් වෙන්නෙ සිංහල අන්තවාදී දෘෂ්ටියකට අනුවයි. අන්තවාදී නොවන්නෙකුට ප‍්‍රභාකරන් කියන්නෙ කාලයක් තිස්සෙ ආමන්ත‍්‍රණය නොකරනු ලැබූ ප‍්‍රජාවක මාරාන්තික අවශ්‍යතාවයන්ගේ ප‍්‍රකාශනයක්. සමාජ අර්බුදයක නිශ්චිත කියාපෑමක්.

ප‍්‍රබාකරන්ට විරුද්දව මහින්දව ගෙනාපු එකත් අන්තවාදීයි. මහින්දට විරුද්දව මෛත‍්‍රීව ගෙනාපු එකත් අන්තවාදීයි. ඒක වැරැුද්දක් නෙමෙයි. අලූත් තත්වයක් නිර්මාණය කරන්න නම් අන්තවාදයක් අත්‍යාවශ්‍යයි.

අර්බුදය වෙන්නෙ යම් අන්තවාදයක් නිර්මාණාත්මක (වර්චුවල්) ප‍්‍රචණ්ඩත්වයෙන් එලියෙ භෞතික ප‍්‍රචණ්ඩත්වයක් එක්ක බැඳෙනවා නම්, තග එක්ක බැඳෙනවා නම්. එතනදි ඒ අන්තවාදියා ජීවත් වෙන යුගය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙනවා. ශිෂ්ටත්වය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙනවා. අනෙකුත් අන්තවාදයන් සියල්ලද පැවතිය යුතුයි කියල පිළිගන්න අන්තවාදයක් විසින් ඉටු කරමින් ඉන්නෙ නිර්මාණාත්මක කාරණාවක්.
මම කලින් තැනකදී පවා ලිව්වා  බොදු බල සේනාව ඇතිවීම පවා ප‍්‍රගතිශීලී තත්වයක් කියන එක. ඒකෙන් ලංකාවෙ සිංහල බෞද්දකම ගැන ගැඹුරු සංවාදයක් ඇතිවුණා. නිශ්චිතව ප‍්‍රශ්න කෙරුණ. තව පැත්තකින් බැලූවොත් ප‍්‍රභාකරන් කියන අන්තවාදියා නොහිටියා නම් දෙමළ ජනතාවගේ තත්වය කොයි වගේ වෙන්න පුළුවන්ද කියල අමරකීර්තිට හිතාගන්න පුළුවන්ද?

නිර්මාණාත්මක නොවීමට බලපාන ප‍්‍රධාන කාරණාව අන්තවාදී නොවීම. පතෝලයෙකුට බැරි වෙනවා හොඳ ප‍්‍රකාශනයකට යන්න. යම් අලූත් අදහසක් නිර්මාණය කරන්න නම් ඔහුට හෝ ඇයට සිද්ද වෙනවා මෙතෙක් නොගිය අන්තයකට යන්න. එතන විකල්ප පැවැත්මක් නිර්මාණය කරන්න. ඒ හරහා පවතින පිළිගත් තත්වය අභියෝග කරන්න. මට ලංකාවෙ නිර්මාණකරුවො ගොඩක් බෝරිං වෙන්නෙ මේ කාරණය හින්දමයි. ඒ අයට ස්වීය වූ අන්තවාදයන්, විලාසයන්, පැවැත්මන් නැතිකම. ඔක්කොම එක වමේ හොද්දක පීනනවා විතරයි.

අන්තවාදයටත් වඩා නිර්මාණවලට බලපාන, ලංකාවෙ නම් තඩි හිලක් කියන්න පුළුවන් තැනක් තමයි ‘එම්පති‘ කියන කාරනේ. මේකට සිංහලෙන් තියෙන්නෙ සහනුභූතිය, සහකම්පනය වගේ අදහසක්. ඒත් එම්පති කියන වචනෙට කොහෙත්ම ළ`ගින් යන්නෙ නැති නිසා ඉංග‍්‍රීසි වචනෙ එහෙම්පිටින්ම තියාගන්න එක හොඳයි.

සමාජයක වචන හැදෙන්නෙ ඒ සමාජය ඒ තේරුම තරමට මුහුකුරා ගියහම. එහෙම නැතුව පිටින් බලලා හදපු වචන වලින් දෙන්නෙ ළමා තේරුමක්. උදා විදිහට ඉංග‍්‍රීසි වචන ගොඩකට සිංහලෙන් දීලා තියෙන තේරුම් අඳබාලයි. කොහෙත්ම ඒ සංකල්පය තේරුම් නොයාම සහ ඒක පිටින් විතරක් අල්ලා ගැනීම කියන එක පැහැදිලියි. මට හිතෙන්නෙ වෙන භාෂාවක වචනයක් පරිවර්තනය වෙනවට වඩා ඒකම සිංහලට හරවාගන්න එකයි වැඩිය සුදුසු. ඒකෙන් භාෂාවට කෙලවෙනවා වගේ කෞතුක අදහසක ඉන්න පුළුවන් ලිංමැඩි භාෂාවේදියො. ඒත් ගැඹුරෙන් හිතන්න වචන  ඕන වෙන තැන්වලදි මේ වගේ නොමග යන වචන හින්ද හිතීම බාල වෙනවා. එතකොට අර භාෂාව පරිස්සම් කරන උන් වගේ අය තව තොග පිටින් බිහිවෙනවා.

එම්පති කියන සංකල්පෙ තේරුම් ගන්න එක ටිකක් ගැඹුරු වෑයමක්. අපි රටක් විදිහට තාම ජීවත් වෙන්නෙ සිම්පති කලාපය ඇතුලෙ. සිම්පති කියන්නෙ මම මගේ මමත්වය ඇතුලෙන් අනිත් කෙනා හෝ තත්වය තේරුම් ගන්නවා කියනවා එක. ඒ තේරුම් ගැනීම සිද්ද වෙන්නෙ මගේ සීමාවන් ඇතුලෙ. මගේ දෘෂ්ටිවාදයන් හෝ විපරීතයන් ඇතුලෙ. එතකොට මට ඇතිවෙනවා දුක, කණස්සල්ල වගේ භාවයන්. මේ සිම්පතිය ඇතුලෙ කිසි දෙයක් කරන්න බෑ. මොකද ඒ හැ`ගීමෙ තේරුම වෙන්නෙම මගේ පැවැත්ම වඩා විශාල හෝ ස්ථාවර කර ගැනීම. මගේ වල්නරබිලිටි එකෙන් ගැලවීම. ලංකාවෙ ස්ත‍්‍රීවාදීන් සහ වාමාංශිකයන් වැඩකරන්නෙ මෙතන. ඒකෙන් කිසි සමාජ වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.

ඒ වෙනුවට එම්පති කියන්නෙ ටිකක් අමාරු වැඩක්. අපි අනිත් කෙනාගෙ සපත්තුවට බැහැලා බලන්න  ඕන. ඒකට තමන්ගෙ සීමාවන් ටිකක් හෝ අත්හරින්න පුහුණුවක් තියෙන්න  ඕන. අනෙකාගේ පැවැත්ම ඇතුලෙ අනෙකාව තේරම් ගැනීමේ ශික්ෂණයක් තියෙන්න  ඕන.

රෝමන් ක‍්‍රිස්නැරෙක් කියන ඉංග‍්‍රීසි ලයිෆ්ස්ටයිල් දාර්ශනිකයා මේ අදහසේ ගැඹුරට යනවා.

‘පහුගිය අවුරුදු තුන්සීයක කාලය පුරා තෝමස් හොබ්ස්ගෙ ඉඳන් සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් දක්වා සමාජයට බලපෑමක් ඇති කළ දාර්ශනිකයන් විසින් අපිට කිව්වෙ අපි ‘අපි ගැනම හිතන’ ‘අපේ පැවැත්ම වෙනුවෙන්ම තීරණ ගන්නා’ ‘අපේ ආශාවන් හඹායන’ සත්ව කොටසක් කියල. මේ අඳුරු චිත‍්‍රය ඇත්තටම බටහිර සංස්කෘතියෙ පසුබිම වුණා. ඒත් පහුගිය දශකෙ සිද්දවුණු විද්‍යාත්මක සොයාගැනීම් හින්ද මේ අදහස නොකවුට් වුණා. ඒ අපි ‘හෝමෝ එම්පතිකස්’ යනුවෙන් හැඳින්විය යුතු මානව කොටසක් බවත් එම්පති කියන කොටස අපේ නියුරො සැකැස්මෙ කොටසක් බවත් අනාවරණය වීම හරහා. නියුරො සයන්ටිස්ට්ලා හොයාගත්තා අංශ දහයකින් යුත් එම්පති සර්කිට් එකක් අපේ මොළේ ඇතුලෙ. ඒක ඩැමේජ් වුනොත් අපිට අනෙකා හිතන පතන විදිහ තේරුම් ගන්න බැරුව යනවා (ලංකාවෙ සමහරක් කලාකාරයන්ට මේක ඩිෆෝල්ට්ම ඇවිල්ලා නෑ)
පරිනාමවාදී ජෛවවේදීන් හොයා ගන්නවා අපි සමාජ ජීවීන් බවත් එම්පති සහ එකිනෙකා සහයෝගයෙන් ක‍්‍රියාකාරීම අපේ පරිණාමීය තත්වයක් බවත්. මේ අතරෙ ළමා මනෝවේදීන් විසින් අනාවරණය කරනවා අවුරුදු තුනේ ළමයෙකුට පවා තමන්ගෙන් එලියට ඇවිත් අනිත් කෙනාගේ හැ`ගීම් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියල. අපේ ආත්මාර්තය පෙරදැරි ඩ‍්‍රයිව් එක තරම්ම ප‍්‍රබල එම්පති ඩ‍්‍රයිව් එකකුත් අපිට තියෙනවා.’
-එම්පති- රෝමන් ක‍්‍රිස්නැරෙක් (පරිවර්තනය සහ වරහන් මගේ)

මේ හින්ද, ‘මම හිතනවා, ඒ නිසා මම පවතිනවා’ කියන කාර්ටීසියානු සිතුවිල්ල ‘ඔබ ඉන්නවා, ඒ නිසා මම පවතිනවා’ යනුවෙන් වෙනස් විය යුතුයි කියල ක‍්‍රිස්නැරෙක් යෝජනා කරනවා.

එම්පති කියන එක අපි එහෙම හිතුවම එකපාරටම ඔලූවට එන අදහසට වඩා වෙනස්. ‘ඔබ විසින් ඔබට සළකනු කැමති පරිද්දෙන්ම අනෙකාට සළකව’ කියන එක එම්පති නෙමෙයි. ඒක ජෝර්ජ් බර්නාඞ් ෂෝ නිවැරදි කරනවා.

‘ඔබට සළකනවාට කැමති පරිද්දෙන් අනෙකාට සලකන්න යන්න එපා. ඒ අයට වෙනස් රසයන් තියෙන්න පුළුවන්’

එම්පති කියන්නෙ ඒ වෙනස් රසයන් හොයාගෙන යන එක. මේක මේ හොඳ දේකට විතරක් සීමාවුණු අදහසක් නෙමෙයි. අතිදක්ෂ සීරියල් කිලර් කෙනෙකුට තියෙන්න පුළුවන් ලොකු එම්පතියක්. ඒ ඇතුලෙ ඔහු නිශ්චය කරනවා සහ ආදරය කරනවා වෙන්න පුළුවන් තමන්ගෙ ගොදුරට. මේ අදහස ගොඩක් තේරුම් ගන්න පුළුවන් හැනිබල් ටෙලි සීරීස් එක බලන කෙනෙකුට. ඒකෙ හැනිබල් කියන්නෙ සයිකොපැත් කෙනෙක්. අනිත් අතට ඔහුගේ අනෙකා විල් ග‍්‍රැහැම් පරිපූර්ණ එම්පත් කෙනෙක්. එයා කිසිම වෙලාවක විනිශ්චය කරන්නෙ නෑ අනෙකාව. ඒ වෙනුවට ඒ ජීවිතය ඇතුලෙ ඒ අත්දැකීම විඳලා බලනවා. කාරණයට අදාල නොවුනත් හැනිබල් තුන්වෙනි සීසන් එක කියන්නෙ මෙතෙක් මම විෂුවල් වලින් කරන්න පුළුවන් කියල අත්දැකපු විශාලතම ප‍්‍රාතිහාර්ය වග සටහන් කරන්න  ඕන. ඒක අපෙන් බාහිර කතාවක් කියාගෙන යනවා වෙනුවට අපිව ඒ අත්දැකීම ඇතුලට ගන්නවා. අන්තිමේදී අපිත් හැනිබල් ජීවිතයේ පරිච්ෙඡ්ද ගණනාවක් ගත කරලා තියෙනවා. අපිත් නොදැනීම සිද්දවෙන ගැඹුරු එම්පති අභ්‍යාසයක් හැනිබල් කියන්නෙ. ඇන්තනි හොප්කින්ස් කොයිතරම් හොඳට ර`ගපෑවත් මේ ටෙලි සීරීස් එකේ චරිත සහ වින්‍යාසය විසින් අත්පත් කර ගන්නා දාර්ශනික, ආධ්‍යාත්මික ගැඹුර අත්පත් කරගන්න ‘සයිලන්ස් ඔෆ් ලෑම්බ්ස්’ අසමත් වෙනවා.

නිර්මාණයක රස විඳිය හැකි කොටස වෙන්නෙ ඒ නිර්මාණකරුවාගේ එම්පතියේ ඇති ගැඹුරයි. මේකට මේ චරිත හෝ නිර්මාණය යතාර්ථවාදය එක්ක කරන ගණුදෙනුව කොයිතරම්ද කියන එක අදාල වෙන්නෙ නෑ. යම් කල්පිතයක් ඇතුලෙ ඒ චරිත ස්වාධීන පැවැත්මන් ලබාගන්න  ඕන. ස්වීය භාවයන් සහිත වෙන්න  ඕන. අපේ දාර්ශනිකත්වයක් හෝ දෘෂ්ටිවාදයක් විසින් මේ චරිත ගුලි කරලා අකුලවලා නිශ්චිත කරලා නැති වෙන්න  ඕන. අපේ අදහසක් තුලින් වෙනත් ජීවිතයක් වරනගන හැමවෙලාවකම තියෙන්නෙ සිම්පතියක්. සිම්පතිය අපේ ජීවිතේට වඩා කුඩයි. ඒත් එම්පතිය අපේ ජීවිතයට වඩා විශාල වෙන්න  ඕන. ඒකයි නිර්මාණයක පරිණතබව ගැන තියෙන ලොකුම සාක්ෂිය වෙන්නෙ.

කටුනායක මෑතකදි කොල්ලගෙන් ගුටිකන නංගිගෙ වීඩියෝව අපේ රටේ ෆෙමිනිස්ට්ලාට ටිකක් තදට එම්පතිය ගැන කියල දුන්නා. මට නැති ප‍්‍රශ්නයක්  ඕගොල්ලන්ට තියෙන්නෙ කොහොමද? එයා වෙනුවෙන් පෙනී ඉන්න ආපු මහත්තුරුන්ගෙන් සහ නෝනාවරුන්ගෙන් එයා පෙරලා ඇහුවා.
ඒක අපේ සිම්පති සමාජයට කරපු හොඳ හොම්බට ඇනීමක්.


චින්තන ධර්මදාස