ලංකාවෙ සිනමා අධ්‍යාපනය කියන එක හොඳටම අනාත විෂයක්. චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණය කරන අයමයි සිනමාව උගන්නන්න යන්නෙත්. ඒ අයගෙ මතවාදයන්, රසභාවයන් තමයි ඒ ඉගෙන ගන්න පරපුර පරම සත්‍යය  විදිහට නැවත ඉගෙන ගන්නෙ. ගොඩක්ම මේ අධ්‍යක්‍ෂවරුන්ගෙ දර්ශනවාද. චිත‍්‍රපටි ඉගෙන ගන්නවා කියන්නෙ මේ දර්ශනවාද ඉගෙන ගන්නවා කියලයි තේරුම් අරගෙනම ඉන්නෙ. ලැකාන්, ජිජැක්, රොන්සියර් වගේ එකී නොකී බරපතල තර්ක විතර්ක ලංකාවෙදි සිනමාව කියල පැටලෙනවා. මේකෙන් ඇත්තටම වෙන්නෙ ඒ ඉගෙනගන්න තරුණයා හෝ තරුණිය තවත් සිනමාවෙන් දුරස්තකරණය වෙන එක. සිනමාව එක්ක බැඳිලා, තම තමන්ගෙ පරිකල්පන ඇතුලෙන් බද්ධ වෙලා, විශාල අවකාශයක් ඇතුලෙ තමන්ගෙ ප‍්‍රකාශනය හොයා ගන්නවට වඩා එක් පරම දෘෂ්ටියක් කියන මුළාවට වැටෙනවා. බූපති කියන විදිහට, හැදෙන චිත‍්‍රපටි දිහා බැලූවම කියන්න පුළුවන් කවුරු කවුරුද උගන්නලා තියෙන්නෙ කියල. මේක බරපතල අවුලක්.

අනිත් අතට සිනමාකරණය (ෆිල්ම් මේකින්) සහ සිනමා අධ්‍යයන (ෆිල්ම් ස්ටඞීස්) කියල කිසිම වෙනසක් ලංකාවෙ නෑ. හැමෝම හැම එකම ඉගෙන ගන්නවා. ඇකඩමික් වැඩෙයි ක‍්‍රියේටිව් වැඩෙයි පැටලෙනවා. අන්තිමට නිර්මාණ කියල එලියට එන්නෙ ඇකඩමික් ලියවිලි.

ක‍්‍රාෆ්ට් එකක්, ශිල්පයක් කියන අදහසින් සිනමාව උගන්නන කිසි තැනක් තිබුනෙ නෑ. හැමෝම උත්සාහ ගනිමින් හිටියෙ ආර්ට් එකක් උගන්නන්න. ආර්ට් එකක් උගන්නන්න බෑ. ඒක නිර්මාණය වෙන්න  ඕන. ඒත් ක‍්‍රාෆ්ට් එකක් උගන්නන්න පුළුවන්. එතැනින් සමහර විට ආර්ටිස්ට්ලා බිහිවේවි. එහෙම නැතත් දක්ෂ ශිල්පීන් බිහිවේවි. ඒකෙන් හොඳ කර්මාන්තයක් ඇති වේවි. ඒත් අපිට  ඕන වෙලා තිබුණෙ එකපාරටම ආර්ටිස්ට්ලා බිහිකරන්න.

ලෝකෙ සිනමා පාසැල්වල සිනමාව උගන්නන ගොඩක් අය චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරු නෙමෙයි. චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණය කරන අයට ඒ අයගෙ නිර්මාණ තියෙනවා කරන්න. සිනමා ගුරුවරු කියල වෙනම පිරිසක් ඉන්නවා ශිල්පීය දැනුම මැදිහත්ව බෙදා ගන්න දන්න. තමන්ගෙ මතවාදය වෙනුවට මතවාද ඔක්කොම මේසෙ උඩට ගේන, නිර්මාණකරනය වෙනුවට තාක්‍ෂණය කියල දෙන, ගුරුවරුන් ඒ අය. තාක්‍ෂණය කියන්නෙ යාන්ත‍්‍රික කොටස විතරක් නෙමෙයි. සිනමාවෙ කාලය අවකාශය කලමනාකරණය කරන හැටි, ඒ හරහා එලියට පේන අදහස්, මේ හැම එකක්ම ඒ විෂයෙ තාක්‍ෂණය. සමහර විට මේ ගුරුවරු කවදාවත් චිත‍්‍රපටියක් හදලා නැති වෙන්න පුළුවන්. මං දන්න කාලෙ පෝලන්තෙ වූජ් (ලෝඞ්ස්) සිනමා පාසැලේ සිනමා අධ්‍යක්‍ෂණ අංශය බාරවෙලා තිබුනෙ එහෙම කවදාවත් චිත‍්‍රපටියක් අධ්‍යක්‍ෂණය කරලා නැති ආචාර්යවරයෙකුට. ඒත් ඒ ශිල්පය උගන්නන එකේදි එයා අතිදක්ෂයි.

‘අපි මහන්සි වෙන්නෙ එක දක්ෂ සිනමාකරුවෙක් හදන්න නෙමෙයි. ඒ වෙනුවට දක්ෂ සිනමා තාක්‍ෂණ ශිල්පීන් සිය දෙනෙක් හදන්නයි’ දවසක් එයා මට කිව්වා.

ඩිජිටල් සිනමා ඇකඩමිය එස්එල්ටීටීඅයි එකේ පටන් ගත්තම මං දැකපු වෙනස තියෙන්නෙ එතනයි. පළවෙනි වතාවට ලංකාවෙ ක‍්‍රාෆ්ට් එක උගන්නන්න පටන් ගත්තා. ධනුෂ්ක පිළිවෙලට සකස් කළ විෂය මාලාවක් ඇතුලෙ සිනමාවෙ ශිල්පීය අංශ ඇත්තට උගන්නන ආරම්භයක් ගත්ත. ඒකෙ පැහැදිලි වෙනස් ප‍්‍රතිඵල ආවා. මෙතෙක් දැකපු කෙටි චිත‍්‍රපටවල තත්වය වෙනුවට ඊට ගව්ගානක් ඉදිරියෙන් වුණු නිර්මාණ බිහිවුණා. කාලෙකට පස්සෙ සිනමාවට වැඩකට ඇති අලූත් පරපුරක් එකතු වුණා.

දේශපාලන  ඕනකම් උඩ මහින්දගෙ ආණ්ඩුව ඒ කෝර්ස් එක එස්එල්ටීටීඅයි එකෙන් එලියට දැම්මා. ඒ කාලෙ ඒක ස්වභාවිකයිනෙ. යන්න තැනක් නැතුව ඒ ශිෂ්‍යයො එක්ක ඩිජිටල් සිනමා ඇකඩමිය පදනම් ආයතනයට අරන් ගියා. එස්එල්ටීටීඅයි එකේ තිබුණු පහසුකම් වලින් අරුක්කාලක්වත් නැතුව ඇකඩමියෙ වැඩ ආපහු පටන් ගත්ත. අනිත් පැත්තෙන් එස්එල්ටීටීඅයි එකට අලූතෙන් පත්වෙලා ආපු ලොක්කො එතනත් වෙනත් පාඨමාලාවක් පටන් ගත්ත. ඒත් පදනමේ ඇකඩමියෙන් පිටවෙන අයගෙ නිර්මාණ සහ එස්එල්ටීටීඅයි අලූත් පාඨමාලාවෙ නිර්මාණ අතර වෙනස අහසට පොලොව වගේ වුණා.

කාරණය පැහැදිලියි. ලංකාවෙ පඳුරක් පඳුරක් ගානෙ, කැම්පස් එකක් කැම්පස් එකක් ගානෙ ඇරෙන සිනමා පාඨමාලා වෙනුවට එක ඇත්ත පාඨමාලාවක් බැරි බැරි ගානෙ හරි පටන් අරන් තිබුණ.

කොයිතරම් ඌනිත විදිහට දකිනවද කියල හිතෙන්න පුළුවන් වුණත් මේ කටයුත්තෙ පූර්ණ ගෞරවය යන්න  ඕන ධනුෂ්ක ගුණතිලකට. ලංකාවෙ වෙන කිසිම කෙනෙකුගෙන් නොදැකපු අවංක උවමනාවක්, කැපවීමක් මේ වෙනුවෙන් එයාට තිබුණ. ඉන්දියාවෙ පූනෙ සිනමා පාසැල එක්ක සංසන්දනය කරමින් ඒ තත්වයේ අධ්‍යාපනයක් මෙහාට ගේන්න ධනුෂ්ක තනියම ලොකු වැඩ කොටසක් කරමින් හිටියා.

සිනමාව වෙනුවෙන් කැපවීම පැත්තකට තියලා එස්එල්ටීටීඅයි එක විශ‍්‍රාමික සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සැඳෑ සමය වෙනුවෙන් කැප වුණා. යහ පාලන වෙනසෙන් පස්සෙ එතනට පත්වුනෙ ධර්මසේන පතිරාජ.

මේ වෙද්දි එස්එල්ටීටීඅයි එකේ හැම තාක්‍ෂණ උපකරණයක්ම විනාස වෙලා නැත්තං හොරකම් කරලා. ජර්මන් ආධාර මත සිනමා සහ රූපවාහිනී තාක්‍ෂණ දැනුම බෙදා දෙන්න කියල පදනමට තෑගි කරපු මේ ආයතනය මේ වෙද්දි පුද්ගලික සමාගමක්. කිසිම ඵලදායී නිෂ්පාදනයක් නැතුව දූෂණය වෙනුවෙන්ම ඇරිලා. බීබීසී වගේ අන්තර්ජාතික ආයතන වලින් පවා ගෙන්නලා ඉගැන්වීම් කරපු මේ ඓතිහාසික සිනමා පාසැල අද නිකම්ම හොර තිප්පොලක්.

නැවත එස්එල්ටීටීඅයි එක පදනමට පවරන්න කියල නුග ගහ යටින් පටන් ගත්ත අරගලය ලංකාවෙ සිනමා අධ්‍යාපනය වෙනුවෙන් නැගෙන කැරැුල්ලක් වෙන්නෙ මේ විදිහටයි. නීත්‍යානුකූලව කොහොමත් පදනමට අයිති මේ ගොඩනැගිල්ල ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ගැසට් වෙන්නෙ කොහොමද කියන එක නීතියෙන් විසඳාගත යුතු හිනා යන ප‍්‍රශ්නයක් වුණත් මේ පරිශ‍්‍රය නැවත ඩිජිටල් ඇකඩමියට ලබා දීම මේ වෙලාවෙ රටේ සිනමා අධ්‍යාපනය වෙනුවෙන් ගන්න පුළුවන් වැදගත්ම පියවරක්.

එක විදිහකට සාර්ථක සිනමා අධ්‍යාපන ප‍්‍රවේශයක් ලබා දීමේ හැකියාව මේ ඇකඩමිය විසින් ඔප්පු කරලා තියෙනවා. ඒක අතිවිරල සක්සස් ස්ටෝරි එකක්. ඒකට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් මේ අධ්‍යාපනය තවත් පුළුල් කිරීමයි වෙන්න  ඕන. අනිවාර්යෙන්ම අන්තර්ජාතික සිනමා පාසැලක් එක්ක සම්බන්ධ වෙමින් අපේ සිනමාව ගැන සිතීම දූපතෙන් එලියට අරන් යන්න මේ හරහා පියවර ගන්න  ඕන. නැත්තං ටික කාලෙකින් මේ පාඨමාලාවත් අපේ රටේ සීමිත මතවාදී අධ්‍යක්‍ෂවරුන්ට නතු වෙනවා.

එස්එල්ටීටීඅයි එක නීත්‍යානුකූල ලෙස නැවත පදනමට පවරා ගැනීම කියන්නෙ දේපොල ප‍්‍රශ්නයක්. ඒත් ලාංකේය සිනමා අධ්‍යාපනය වෙනුවෙන් එස්එල්ටීටීඅයි එක ඩිජිටල් ඇකඩමියට පවරා දීම කියන්නෙ ඇත්ත සටන් පාඨයක්.

මේක සිනමාව ගැන අල්පමාත‍්‍ර හෝ හැගීමක් ඇති  ඕන කෙනෙක් හිටගන්න තැනක්. මීට විරුද්ද වෙන්නෙ තමන්ගේ හිතවත්කම් පාවිච්චි කරමින් තවදුරටත් තත්වය හා බලය තියාගන්න දගලන පරණ ආණ්ඩුවෙ ඉතුරු කෑලි බව වටහා ගන්න අමාරු නෑ. ඒත් තේරුම්ගන්න අමාරු ධර්මසේන පතිරාජ එතන සභාපති විදිහට තාම මොකද කරන්නෙ කියන එකයි.

ලංකාවෙ සිනමාවෙ ප‍්‍රවීණයෙක් වගේම ජනතාවාදී අරගලවලත් ඉදිරියෙන්ම හිටපු පතීට මේ ආයතනය යලි පවරා දීමේ අවශ්‍යතාව නොපෙනෙන්නෙ කොහොමද? ජනවාරි 08 සටනේ පවා පුරවැසි බලය වෙනුවෙන් සටන් වැදුණු පතී අන්තිමට තමන්ගෙ වැටුප හෝ පහසුකම් පිනිස දූෂකයන් රකිමින් ඉන්න තැනකට ඇද වැටුනද? හැමදාම වගේ ලංකාවෙ සිනමාවට ගල පෙරලන්න අදත් ඉදිරිපත් වෙන්නෙ සිනමාකරුවෙක්මද?

එස්එල්ටීටීඅයි ආයතනය යලි පදනම යටතට පැවරිය යුතුයි කියන එක මේ ආයතන ඉතිහාසය කියවන  ඕන කෙනෙකුට පැහැදිලි කාරණයක්. ඒ වගේම මේ ආයතන දෙක වෙන් කිරීම පිටිපස්සෙ තියෙන පටු ජඩ දේශපාලන උවමනාවන් පවා ඉතාම පැහැදිලියි. දූෂිත ආණ්ඩුවක් ගෙදර යවලා ජනතාව විසින් යහ පාලන ආණ්ඩුවක් පත් කර ගත්තේ ආයතනගත මෙවන් දූෂණ වලට එරෙහිව කටයුතු කරන්නයි. විශේෂයෙන්ම පදනම් ආයතනය තියෙන්නෙත් කෙලින්ම ජනාධිපති යටතේමයි.

එතකොට කිසිම අකාරයකින් වෙනත් ප‍්‍රතිපාදන නොලබන, රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් පවා නොවෙන එස්එල්ටීටීඅයි එක ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතට වැටෙන්නේ කොහොමද? කාගෙ උවමනාවටද? ඒක දේශපාලන ප‍්‍රශ්නයක්.

මේ කිසි දෙයක් තේරුම් නොගන්නට තරම් පතී ළාබාලද? වහාම සිනමා අධ්‍යාපනය වෙනුවෙන් මේ ආයතනය ඩිජිටල් ඇකඩමියට භාර දී ඒ හරහා වඩා ක‍්‍රමවත්, දියුණු සිනමා පාඨමාලාවක් බිහිකරන්නැයි ඉල්ලා සිටිමින් එස්එල්ටීටීඅයි සබාපතිකමෙන් ඉල්ලා අස්වීමට පතීට බැරිවෙන්නෙ ඇයි? සදාචාරාත්මක ප‍්‍රශ්නෙ ඒකයි.


චින්තන ධර්මදාස