ජාක් රන්සියර්ව කෙටියෙන් කියවන්න ගත්තට පස්සෙ මට ඒ න්‍යායික වියළි සංවාදය ඇතුලෙ දැණුනෙ එක කාරණයයි. ඒත් ඒ එක කාරණය ගොඩක් ඇත්ත දැනීමක් එක්ක ගැටගැහෙන නිසාම මට රන්සියර් කලාව ගැන කියන්න හදන කතාව ඉන්ටරෙස්ටින්. මම කියන්නම් රන්සියර්ගෙ අදහස් මගේ ඔලූව ඇතුලෙ වැදිලා පරාවර්තනය වෙන විදිහ. මේකත් එක්ක ඇත්තට රන්සියර්ගෙ කිසිම සම්බන්ධයක් නැති වෙන්නත් පුළුවන්.
රන්සියර් ගේන වැදගත් තර්කයක් තමයි කෘතියකදි හේතුඵල සම්බන්ධතාවයේ හිරවෙන්න එපා කියල. තාර්කිකත්වය ඉක්මවූ යමක් කලාව ඇතුලෙ තියෙන්න  ඕන කියන එකයි එතන අදහස. ඒ අතාර්කික පැවැත්ම වඩා විශාල වින්දන අවකාශයකට අපිව අරගෙන යනවා. එතනදි පේ‍්‍රක්‍ෂකයෙක් හෝ පාඨකයෙක් විදිහට අපි සම්බන්ධ වෙමින් අපේ විවිධ වර්ෂන්ස් නිර්මාණය කරනවා.

රන්සියර්ගෙ මේ සිතීම ඇතුලෙ මගේ කියවීම වෙන්නෙ කලා කෘතියක් පරිපූර්ණ නොවිය යුතුයි කියන එක. පරිපූර්ණත්වය කියන්නෙ මළ බව. නිශ්චිත බව. වඳ බව. හැම න්‍යායක් ඇතුලෙම තියෙන කලාවට කිසිසේත්ම අනුගත කළ නොහැකි කොටස වෙන්නෙ මේක. කලාව න්‍යායාත්මකව පැහැදිලි කරන්න බෑ. ඒ පැහැදිලි කිරීමෙන් ආපහු න්‍යායක්ම බිහිවෙනවා මිස කලාවක් බිහිවෙන්නෙ නෑ. හොඳම උදාහරණය ලංකාවෙ නම් අශෝක හඳගම කියලයි මං කියන්නෙ. හඳයට තිබුණු විශ්මිත පරිකල්පනය එක්තරා තැනකින් පස්සෙ න්‍යායික වෙන්න පටන් ගන්නවා. ඒ න්‍යායිකත්වය හරහා මළ ප‍්‍රකාශන එලියට එනවා.

මට කියන්න උවමනා වුණේ කලාවක අනිවාර්ය අංගයක් වෙන්නෙ අසම්පූර්ණත්වය කියන එකයි. ඒක තමයි කෘතියක් හුස්ම ගන්න විවරය. ඒක දෙයක් හෝ නිෂ්පාදනයකට එහා ගිහින් සජීවී බවක් ලබන්නෙ ඒ අසම්පූර්ණත්වය නිසාමයි. අසම්පූර්ණ වුණත් නිර්මාණාත්මකව ගොඩනැගෙන පැවැත්මක් ඇතුළට පාඨකයා/ පේ‍්‍රක්ෂකයා ඇතුල්වෙනවා. ඒ ඇතුල් වීම හරහා නිර්මාණය යළි යළිත් විවිධ අර්ථයන්ට පරිවර්තනය වෙනවා. බහුවිධ පැවතුම් ලබනවා. නිර්මාණයක පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා සම්බන්ධ වෙන විවරය වැහුණම ඒක බණක් වෙනවා. දේශනයක් වෙනවා. අපි නිකං බලං ඉන්නවා.

තමන් දන්නා වූ හෝ තමන් විශ්වාස කරන න්‍යායික, මතවාදීමය තැනකින් නිර්මාණයකට අවතීර්ණ වීමේ ගැටළුව එන්නෙ මෙතනදි. ඒකෙන් කෘතිය සිය සීමාවන් සළකුනු කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තට ඒකෙන් නිර්මාණකරුවාගේ සීමිත බව ලොකුවට පේන්න ගන්නවා. හුවමාරුවක්, සම්බන්ධයක්, සංසර්ගයක් තරම් කිසිම නිශ්චිත අදහසක් විශාල වෙන්නෙ නෑ. හැම න්‍යායක්ම, තේරුම් ගැනීමක්ම, අවබෝධයක්ම කියන්නෙ අනිශ්චිත, අතාර්කික පැවැත්මකට අපි හදන රාමු විතරයි. ඒත් ඒ රාමුවලින් එලියෙ පැවැත්මෙ අවිනිශ්චිතභාවය එක්ක මුහුවුණු කෘතියක් නිර්මාණය වෙනවා නම් එතන ආර්ට් සිද්ද වෙනවා. ආර්ට් එක හැමතිස්සෙම තියෙන්නෙ නිර්මාපකයාට එලියෙන්. ඒක නිර්මාපකයා විසින් ඇතුළට ගන්න ගන්න සිද්ද වෙන්නෙ ආර්ට් එක පොඩි වෙන එක විතරයි.

හැමදාම කලාව ගැන විචාර ඇතුලෙ මේ සංකීර්ණ අදහස කියන්න උත්සාහ ගත්තා කියල මට හිතෙනවා. සරලවම කිව්වොත් දෙයක් කෙලින් කියන්නෙ නැතුව උපමා රූපක ඇසුරෙන් වටෙන් කියන්න වගේ මෝඩ සාහිත්‍ය අදහස් වල වුණත් එන්නෙ මේ කතාව. තමන් දන්න විශ්වාස කරන යතාර්ථය වෙනුවට අසම්බන්ධිත වර්තන නිමේෂයන් ගැන කතා කරන්න කියන එක. ඒක හොඳ අභ්‍යාසයක් එක විදිහකට.

ජාක් රන්සියර් අසරණ වෙන තැන කියල මං දකින්නෙ මේ විඳීමක නිමේෂය න්‍යායික කරන්න හදන තැන. ඒ න්‍යාය තාර්කික කරන්න එයාට සිද්ද වෙනවා ඓතිහාසික න්‍යායන් පාවිච්චි කරන්න. ඒක න්‍යායික කතිකා ලෝකෙ ඇතුලෙ හොඳක් වෙන්න පුළුවන්. ඒත් ආර්ට් වලට ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. අතාර්කිකත්වය තාර්කිකත්වය ඇතුලෙ පැහැදිලි කරන්න බෑ.

මට  ඕෂෝගෙ කෙටි සංවාදයක් මතක් වෙනවා.

‘‘මගෙන් දවසක් කෙනෙක් ඇහුවා, මොකක්ද දර්ශනය (ෆිලොසොෆි) කියන්නෙ? කියල.
‘දර්ශනය කියන්නෙ වැරදි ප‍්‍රශ්න ඇසීමේ කලාවයි’  මං උත්තර දුන්නා.

ඇස් පේන්නෙ නැති මිනිහෙක් අහනවා, ආලෝකය කියන්නෙ මොකක්ද කියල. ඒක අයිති වෙන්නෙ දර්ශනයට. බීරි කෙනෙක් අහනවා නම් මොකක්ද සංගීතය කියල ඒක අයිති වෙන්නෙ දර්ශනයට.
ඒත් අන්ධ මනුස්සයෙක් අහනවා නම්, කොහොමද මගේ පෙනීම ආපහු ලබා ගන්නෙ කියල ඒක දර්ශනය නෙමෙයි. ඒක ආගමිකයි.

බීරි මනුස්සයෙක් එයාගෙ කන් ඇහෙන්නෙ නැති එකට අදාල විශේෂඥයෙක් මුණගැහිලා ප‍්‍රතිකාර ගන්න යනවා නම් එයා යන්නෙ දර්ශනවාදය දිහාවට නෙමෙයි ආගම දිහාවට.

දර්ශනය කියන්නෙ හිතළුව. උපකල්පනය. කිසි දෙයක් නොදන්නාකම.
කවුරු හරි හදනවා සත්‍යය නිෂ්පාදනය කරන්න. සත්‍යයන් එහෙම නිෂ්පාදනය කරන්න බෑ. එහෙම නිෂ්පාදිත දෙයක් සත්‍යය වෙන්නත් බෑ.

සත්‍යය තියෙන්නෙ සොයා ගන්න. අනාවරණය කරගන්න. ඒක කොහොමත් එතන තියෙනවා. අපිට තියෙන්නෙ ඇස් ඇරලා බලන්න. ඒක දකින්න ඇස් තියෙන්න  ඕන. ඒක විඳින්න හදවතක් තියෙන්න  ඕන. ඒකෙ පවතින්න පැවැත්මක් තියෙන්න  ඕන’’
– ඕෂෝ ධම්මපද

කල් ඉකුත් වෙච්ච මාතෘකාවක් වුණත් සන්නස්ගල ඡුන්දෙන් පරාද වුනේ ඇයි කියන එක අමතක නොකළ යුතු දෙයක්. මං හිතාගෙන හිටියෙත් සන්නාට තියෙන මීඩියා ප‍්‍රතිරූපයත් එක්ක චන්ද ගන්න එක වැඩක් නෙමෙයි කියල. ඒත් හිතාගන්න බැරි විදිහට සන්නාට චන්ද අඩු වුණා. ඒකට හේතුව එයා මාධ්‍ය වල කියපු ආන්දෝලනාත්මක කතන්දරද? මට හිතෙන්නෙ ඊට වඩා ලොකු දෙයක් ඒ අඩුවීම පිටිපස්සෙ තියෙනවා.
පළවෙනි හේතුව විදිහට මට හිතෙන්නෙ සන්නස්ගල කොළඹින් ඉල්ලපු එක. ඒක ඉතාමත් හොඳ අවස්ථාවක් වෙයි කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් මේ පාර කොළඹ එජාපෙ ලැයිස්තුවෙ වීරයො වැඩි වුණා. අනිත් පැත්තට මීඩියා වල වීරත්වය වැඩිපුරම බලපාන්නෙ කොළඹින් පිට පළාත් වලට. මේ වීරයන් අතර ගැටුමෙදි සන්නාට පොසිෂන් වෙන්න (ස්ථානගත වෙන්න) තැනක් නැති වුණා.
.
මං නිකමට රත්මලාන පැත්තෙ ‘ජනතාව’ එක්ක පොඩි කතාබහක් දාලා බැලූවා. එතනදි පැහැදිලි වෙච්ච කාරණයක් වුණේ සන්නා ලංකාවෙ චන්දෙකදි අදාල වෙන කිසිම පාර්ශ්වයකට අඩංගු නොවීම කියන එක.
උගත් බුද්ධිමත් කියන කාණ්ඩෙට ලේසියෙන්ම අයිති වෙන්නෙ අපේ කාලයේ ප‍්‍රාඥයා, හර්ෂ, ඉරාන් වගේ චරිත. ජනතාවට සමීප කියන එකට අයිති වෙන්නෙ රවී, සුජීව, මරික්කාර් වගේ චරිත. එතනදි සන්නා මේ කිසි කොටසක සලකා බැලීමට අහු නොවී යනවා. ඒ රැුඩිකල් කතා බහ ඔක්කොම කතිරයක් වැටෙන්න අදාල නොවෙන අවකාශයක ගලා යනවා.

අනිත් පැත්තට සන්නාගෙ කැම්පේන් එක ඒලෙවල් පංති මට්ටමෙන් උඩට ආවෙම නෑ. නගර සභා, පළාත් සභා ආදී රටේ දේශපාලනයට ඇතුල්වෙන දොරවල් ඔක්කොම පහු කරලා කෙලින්ම පාර්ලිමේන්තුවට ඉල්ලද්දි සිද්ද වෙන්න නියමිත අවාසිය මගඇරගන්න සන්නා උනන්දු වුනේ නෑ. ජාතික මට්ටමේ ප‍්‍රශ්න සහ ජාතික මට්ටමේ ජනතා සීතිමක් ගැන සංවාදයක් වෙනුවට කවදත් පුරුදු අපේ සීමිත සංවාද කතිකාවෙ සන්නාගෙ චන්ද කැම්පේන් එක නතර වුණා.

මේ විකල්ප කතිකාව ඇතුලෙත් සන්නස්ගලට චන්ද තිබුනෙ නෑ. පැහැදිලිම සත්‍යයක් විදිහට තේරුම් ගන්න තිබුනෙ සන්නස්ගලගෙ ජනප‍්‍රියභාවය තියෙන්නෙ අකමැත්ත ඇතුලෙ කියන එකයි. සන්නස්ගල කියන ප‍්‍රතිරූපය මිනිස්සු අතර ජනප‍්‍රිය වුණේ විරෝධය, ප‍්‍රතික්‍ෂේපය කියන කාරණා හරහාමයි. ඒත් චන්දෙකදි සිද්ද වෙනවා මේ ප‍්‍රතික්‍ෂේපය මනාපයක් කර ගන්න. ඒ ට්විස්ට් එක තීරණාත්මකයි.

සරල වටහා ගැනීමකට මට රත්මලානෙ සාමාන්‍ය මනුස්සයෙක් සන්නස්ගල ගැන කියපු දෙයක් උපුටා දක්වන්නම්.

‘ආපෝ හරියන් නෑ මහත්තයා. එයා මොනවද කියන්නෙ? එකපාරක් ඇවිත් කිව්වා, අපි අවුරුදු විස්සක් විපක්ෂයෙ හිටියා. බලය නැතුව හිටියා. ඒත් මතක තියාගන්න ඊළ`ගට එන යූඇන්පී ආණ්ඩුවෙන් වුණත් අපි අපිට කලින් රස්සාව දෙන්නෙ නිදහස් පක්ෂෙ මනුස්සයාට. ඒකයි අපේ හැටි… බම්බු ගහගන්න කියල මං ආවා එන්න. අපිට පිස්සුද මෙච්චර කල් ලොටලා ලොටලා ආයි උන්ටම පුදන්න?.’

මේ කතාවෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ. ඒත් මේවා තමයි සන්නා ගැන චන්දෙදි සාමාන්‍ය කටකතා වුනෙ. එතකොට පැහැදිලියි දරුණුතම අවුල සිද්ද වෙලා තියෙන්නෙ පොසිෂන් වීම ඇතුලෙ කියන එක. චන්ද ලැයිස්තුව ඇතුලෙ තමන්ගෙ මනාපයට ජාතික වටිනාකමක් හදාගන්න සන්නා අපොහොසත් වෙනවා. කල්ට් තැනින් මාස් තැනට එද්දි එයා ෆේල් වෙනවා.

මේ ගැන දුරට හිතන්න  ඕන වෙන්නෙ සන්නස්ගලට වැරදුනේ කොතනද කියල තේරුම් ගන්න නෙමෙයි. රටේ දේශපාලන චර්යාව ගැන මයික්‍රො ලෙවල් එකේ තේරුම් ගැනීම් විදිහට. මේ හා සමානම පොසිෂන් වීමේ අවුලක් ජවිපෙට බලපානවා.
ඒත් වඩාත් වාසිදායී විදිහට.

(ඉතිරි කොටස ලබන සතියට)