‘කතා කිරීමේ නිදහස කියන දේ තියෙන්නෙ ඔබ කැමති දේ ආරක්ෂා කිරීම නෙමෙයි. ඔබ අකමැති දේ ආරක්ෂා කිරීමටයි.’ – ලැරී ෆ්ලින්ට්

පහන්තුඩාවෙ සිද්දියත් එක්ක ගොඩක් කතාබහට ආපු කාරණයක් තමයි අසභ්‍ය කියන එක. ඉංග්‍රීසියෙන් ඔබ්සීන් කියල කියනවා. මේ අසභ්‍ය කියන කාණ්ඩයේ දේවල්,  කතා කිරීමේ නිදහස කියන මූලික මිනිස් අයිතිවාසිකම යටතේ ආරක්ෂා වෙන්නෙ නෑ.

හැබැයි ලංකාවෙ බහුතරයක් හිතන් ඉන්නෙ පෝර්න් කියන්නෙ අසභ්‍ය දේවල් කියල. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. පෝර්න් කියන්නෙ වැඩිහිටි ප්‍රකාශන කාණ්ඩයක්. පෝර්න්වල ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්න පුළුවන් අසභ්‍ය කියන දේවල්. මේ අසභ්‍යයි කියන දේ හරියට අර්ථකතනය කරන්න මානව නිදහස අගය කරන සාධාරණ නීතියට සෑහෙන අමාරු කාරණයක්.

මේ ගැන ඉතිහාසයක් පුරාම විවිධාකාරයේ අභියෝග ඇතිවෙලා තියෙනවා. ලංකාවෙ නම් අසභ්‍යයි කියල මොකක් හරි නඩුවක් දැම්‌මොත් ඒකෙ වරද පිළිඅරන් දඩයක් ගෙවලා වැඩේ එතනින් ඉවර කරන්නයි ඔ්‍න කෙනෙක් ට්‍රයි කරන්නෙ. ඒක නිසා නීතිය යාවත්කාලීන වෙන්නෙ නෑ. එක්දාස් අටසිය ගණන්වල පාදඩ නීතිවලින් අදටත් මිනිස්සු දුක් විඳිනවා.

අපේ රටේ අසභ්‍ය නීතිය ඇමරිකාවෙ අසභ්‍ය නීතියට ගොඩක් ළඟයි. ඉතින් අපිට මේ සම්බන්ධ පූර්වාදර්ශ විදිහට ඇමරිකාවෙ නීතිය අර්ථකතනය වෙලා තියෙන විදිහ බලන්න පුළුවන්. ඒ සංස්කෘතික අභියෝග එක්ක නීතිය පරිණාමය වුනු හැටි තේරුම් ගන්න පුළුවන්. ඇමරිකාව අසභ්‍ය නීතිය ක්‍රියාත්මක කරද්දි වඩාත්ම සැලකිලිමත් වෙන කාරණය තමයි පළමු සංශෝධනය හෙවත් කතා කිරීමේ නිදහස (ප්‍රකාශනයේ නිදහස)  අවහිර වෙනවද කියන එක.

(ලැරී ෆ්ලින්ට් කියන්නෙ හස්ලර් කියන පොර්නොග්‍රෆි සඟරාවෙ නිර්මාතෘ. එයා මේ අසභ්‍ය යනු කුමක්ද කියන එක අරඹයා නීතිය එක්ක දරුනුවට ගැටුනු කෙනෙක්. මං කැමති චරිතයක් හින්දම අතරින් පතර ලැරී ෆ්ලින්ට්ගෙ අදහස් කීපයකුත් එකතු කළා. පුළුවන් අය ‘people vs larry flint ෆිල්ම් එක බලන්න.)

‘මෝසස් යුදෙව්වන්ට නිදහස ලබාදුන්නා. ලින්කන් වහල්ලුන්ට නිදහස ලබාදුන්නා. මම නියුරෝසිකයන්ට නිදහස ලබා දුන්නා’ – ලැරී ෆ්ලින්ට්

අද මූලිකව ගත්තම අසභ්‍ය කියන එක තීරණය කරන්න පාදක වෙන්නෙ නූතන ප්‍රජා පිලිගැනීම්වලට එරෙහිව යන ලිංගික චර්යාවන් නිරූපණය කරනවා නම් හෝ එහි කිසිදු සාහිත්‍යමය, කලාත්මක හෝ විද්‍යාත්මක අගයක් නොමැති නම් කියන කාරණායි. මේ අර්ථකතනය අනුව බොහෝ වැඩිහිටි ප්‍රකාශන – පෝර්න් කතා කිරීමේ නිදහස යටතේ ආරක්ෂාව ලබනවා. අසභ්‍ය යැයි තීරණය කළ හැකි සහ ළමයින් යොදාගන්නා ලිංගික ප්‍රකාශන විතරයි මේ ආරක්ෂාවෙන් පිටත තියෙන්නෙ.

අපි මේ සංවාදය ආපු විදිහ බලමු. කොහොමත් මුල ඉඳන්ම අසභ්‍ය කියන නීතිය මූලික මිනිස් නිදහසත් එක්ක තදබල විදිහට ගැටුනා. 1964දි ‘ද ලවර්’ කියන ප්‍රංශ  ෆිල්ම් එක පෙන්නුවා කියල තියටර් මැනේජර්ට නඩු දානවා. එතනදි අධිකරණයේ තීන්දුව වෙන්නෙ ඒක අසභ්‍යයි කියල කියන්න බෑ කියන එක.

‘මට ඒක ගැන හරියටම කියන්න බෑ. ඒත් මට ඒක දැක්කම කියන්න පුළුවන්’

විනිසුරු පොටර් ස්ටුවර්ඩ්ට ඊට වඩා හොඳ නිර්දේශයක් අසභ්‍ය කියන එකට දෙන්න බැරි වෙනවා.

1960 ගනංවල චිත්‍රපට වර්ගීකරන මණ්ඩලය විසින් පනවපු දර්ශකයක් තිබුන ඩලස්-ටෙක්සාස් නීතිය කියල. ඒක යටතේ ඕනම චිත්‍රපටයක් අපරාධ සහ සෙක්ස් මත පදනම් වෙලා  ළමයින්ට සුදුසු සහ නැති විදිහට වර්ගීකරණය කරනවා. මේ මණ්ඩලය විසින් ලුයී මාලේගෙ ‘විවා මරියා’ ෆිල්ම් එක ළමයින්ට සුදුසු නැති ලෙස නිර්දේශ කිරීමට විරුද්ධව ඒකෙ නිෂ්පාදක නඩු පවරනවා.  එතනදි අධිකරණය  වර්ගීකරණ මණ්ඩලය විසින් නිශ්චිත නිර්දේශ දක්වා නෑ කියල  කියනවා. මෙම නිර්දේශ මගින් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වෙනවා කියල තීන්දු කරනවා. ඒ නිසා නිෂ්පාදකවරයා නඩුව දිනනවා.

මේ කාලෙදිත් සමහර අධිකරණ 1868 බ්‍රිතාන්‍යයේ හෙක්ලින් නීතිය මිනුම් දන්ඩක් විදිහට පාවිච්චි කළා. ඒක හරි අපූරු නීතියක්. ඒ අනුව, යම් ප්‍රකාශනයකින් දූෂණය වීමට ඉඩ ඇති යම් අයගේ සිත් එමගින් දූෂනය වෙනවා නම්, එම ප්‍රකාශනය එසේ දූෂනය විය හැකි සිත් ඇත්තන් අතට පත්වෙනවා නම් ඒක අසභ්‍යයි කියල තීරණය කරනවා.

මෙතනදි අසභ්‍ය කියන සීමාව පැනවෙන්නෙ යම් තෝරාගත් ජන කොටසක් මත පදනම් වෙලයි. ඒ වගේම කෘතියක් සමස්තයක් හැටියෙන් නොගෙන එහි ඇතැම් කොටස් මත පදනම්ව අසභ්‍ය බව තීරණය කෙරුනා. මේක ප්‍රකාශනයේ නිදහස දැඩි විදිහට යටපත් කිරීමක් කියලයි සැලකෙන්නෙ.

අසභ්‍ය නීතියේ පරිණාමයට වැදගත් වුනු මූලිකම සිද්ධියක් තමයි 1957 සැමුවෙල් රොත්ගෙ නඩුව. සැමුවෙල් රොත් කියන ප්‍රකාශකයා අසභ්‍ය යැයි සැලකෙන දේවල් තැපැල් කළා කියල වරදකරුවෙක් වෙනවා. මේ සිදුවීමෙදි විලියම් ජේ බ්‍රෙනන් කියන විනිසුරුවරයා අසභ්‍ය දෙයක් මනින්න නිර්ණායක තුනක් ඉදිරිපත් කරනවා. රොත් ටෙස්ට් එක කියල පස්සෙ හැඳින්වෙන්නෙ මේ නිර්ණායක. එතනදි හෙක්ලීන් නීතියට වඩා වෙනස්වන තැන් දෙකක් අවධාරණය වෙනවා. එකක් තමයි අසභ්‍ය කියන එක අර දූෂණය විය හැකි මනස් ඇති සුවිශේෂය මත තීරණය වෙන්න බෑ කියන එක. ඒ වෙනුවට සාමාන්‍ය පුද්ගලයෙක් විසින් මෙය අසභ්‍ය හැටියෙන් දකිනවද කියන කාරණය සැලකිල්ලට ගන්නවා. ඒ එක්කම ඒ කාලයට අනුරූප ප්‍රජා වටිනාකම් මත ඒක තක්සේරු කරන්න අවශ්‍ය වෙනවා. අතීත වටිනාකම් මත ඒ මොහොතේ අසභ්‍යකම තීරණය කරන්න බෑ.

දෙවෙනි කාරණය තමයි කෘතියේ කොටස් මත පදනම් වෙලා අසභ්‍යයි කියන්න බෑ. සමස්තයක් හැටියට කෘතිය අරගෙන බලන්න අවශ්‍යයි කියන එක අවධාරණය වෙනවා.

1966 ‘මෙමොයර්ස් ඔෆ් අ වුමන් ඔෆ් ප්ලෙෂර්’ නැත්තං ෆැනී හිල් කියන පොතත් එක්ක ආපහු අසභ්‍ය ප්‍රශ්නෙ මතු වෙනවා. රොත් පරීක්ෂාව හරියටම තහවුරු වෙන්නෙ මේ සිද්දියත් එක්ක. මේ පොත කිසිම සාහිත්‍යමය අගයක් නැති ලිංගික තෘප්තිය පිනිසම ලියවුනු එකක් කියන චෝදනාව එනවා.

මේ පරීක්ෂාවට ගන්න කාරණා 03 මෙහෙමයි. යමක් අසභ්‍ය වෙන්න නම්, ඒක තනිකරම සෙක්ස් වෙන්න ඕන.

වත්මන් ප්‍රජා පිලිගැනීම් අනුව පැහැදිලි වරදකාරීත්වයක් තියෙන්න ඕන. ඒ කියන්නෙ ඒ කෘතියෙ සෙක්ස් නිරූපනය කර ඇති ආකාරය වරදකාරී වෙන්න ඕන.

සමාජ වටිනාකම් බරපතල විදිහට නොසලකා හැරලා තියෙන්න ඕන.

66 පිලිගැනුනු රොත්/මෙමොයර්ස් නීතිය අනුව මේ තුනම සම්පූර්ණ වුනු එකක් තමයි අපිට අසභ්‍යයි කියල ගන්න පුළුවන් වෙන්නෙ.

ඊට පස්සෙ 1968දි මාර්වින් මිලර් සෙක්ස් පොත් හතරක් සහ ෆිල්ම් එකක් ගැන ප්‍රචාරණ දැන්වීම් තැපැල් කරලා අහුවෙනවා. මාර්වින් මිලර්ට ඒ කාලෙ කිව්වෙ කුනුහරුපවල කිංග් කියල. මෙන්න මේ නඩුවෙදි මිලර් ටෙස්ට් එක නිර්මාණය වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන අයට පහසු වෙන්න කියලයි මේ පරීක්ෂාව ඉදිරිපත් කරන්නෙ.

ඒ අනුව දෙයක් අසභ්‍ය වෙන්න නම්,

අදාල ප්‍රාන්තයේ සාමාන්‍ය පුද්ගලයෙක් විසින් අද පවතින තත්වයන්ට අනුව එම කෘතිය සමස්තයක් හැටියෙන් අරගෙන අසභ්‍යයි කියල තීරණය කරන්න ඕන.

නීතියේ දක්වා ඇති පැහැදිලි වරදකාරී ලිංගික හැසිරීම් අඩංගු වෙන්න ඕන.
සාහිත්‍ය, කලා, දේශපාලන හෝ විද්‍යාත්මක වටිනාකමකින් තොර වෙන්න ඕන.

රොත් පරීක්ෂාවෙ තිබුනු සමාජ වටිනාකම්වලට පටහැනි වීමේ කාරණය මිලර් පරීක්ෂාවෙදි ඉවත්වෙනවා. ඒ අනුව යමක් අසභ්‍ය වීමට මේ කාරණා තුනම එකවර සම්පූර්ණ කරන්න වෙනවා. ඒ යටතේ මිලර් නිදහස් වෙනවා. පැහැදිලි වරදකාරී දරුණු ලිංගික චර්යාවන් කියන වගන්තිය නිසා බොහොමයක් පෝර්න් අසභ්‍යයි කියල පිලිගන්නෙ නෑ. ඒ වගේම සාහිත්‍ය, කලා, දේශපාලන හෝ විද්‍යාත්මක වටිනාකමකින් තොර බව ඔප්පු කරන එකත් අසීරු කාරණයක්.

1973 පැරිස් වැඩිහිටි සිනමාහල් නඩුව කියල එකක් එනවා. එතනදි වෙන්නෙ වැඩිහිටි සිනමාශාලා දෙකක් අසභ්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කළා කියල නඩු පැවරීමක්. ‘මැජික් මිරර්’ සහ ‘ඉට් ඕල් කම්ස් අවුට් ඉන් දි එන්ඩ්’ චිත්‍රපටි දෙක තමයි මේ විදිහට අසභ්‍යයි කියල චෝදනා ලබන්නෙ. ඒත් මේ ප්‍රදර්ශකයො වැඩිහිටියන් වෙනුවෙන් මෙවන් චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකිය කියල අධිකරණයෙ පෙනී ඉන්නවා. එතනදි අධිකරණය ඒක පිලිගන්නවා.  මේ අවස්තාවෙ රොත් පරීක්ෂාව ඉදිරිපත් කරපු විලියම් බ්‍රෙනන්ම කියනවා තමන් ඉදිරිපත් කරපු පරීක්ෂාවෙන් ප්‍රකාශනයේ නිදහසට බාධා වෙනවා කියල.  ඔහු විරුද්ද වෙනවා මේ තහනමට.

‘මිනිමැරුමක් නීතිවිරෝදීයි. හැබැයි ඒ අවස්ථාව ඡායාරූපගත කලොත් ඔයාට සම්මාන ගන්න පුළුවන්. ඒත් සෙක්ස් නීති විරෝධී නෑ. හැබැයි ඒක ඡායාරූපගත කලොත් ඔයා හිරේ’ – ලැරී ෆ්ලින්ට්

1976 වෙද්දි එනවා ඩීප්ත්‍රෝට් නඩුව. පෝර්නොග්‍රැෆික් ෆිල්ම් එකක් කතාවක්, චරිත ගොඩනැංවීමක් සහිතව, ප්‍රධාන ධාරාවෙ ප්‍රදර්ශනය වෙන පළවෙනි වතාව මේක. මේක විවිධ ප්‍රාන්තවල තහනම් වෙනවා. තවත් ප්‍රාන්තවල නිදහස ලබනවා.

එක තැනකදි මනෝ වෛද්‍යවරයෙක් ලවා මේ ෆිල්ම් එක පරීක්ෂා කරනවා. එතනදි මනෝවෛද්‍යවරයා කියන්නෙ ඒ චිත්‍රපටියෙ කිසිදු මානසික රෝගී තත්වයක් නෑ, ඒ ලිංගික ක්‍රියා සාමාන්‍යයි කියල. සිනමා විචාරකයෙක් ඒක බලලා ඒ තුල කාන්තාවන් පිළිබඳ මානුෂික දෘෂ්ටියක් පිළිඹිඹු වෙනවා කියනවා. ඒ වුනත්  ප්‍රාන්ත 23ක චිත්‍රපටය තහනම් වෙනවා. පළවෙනි වතාවට චිත්‍රපටයේ නළුවාට විරුද්දව නඩු පැවරෙනවා. එතනදි ජැක් නිකල්සන්, නෝරා බියෙටි වගේ හොලිවුඩ් තරු හැරී රීම්ස් වෙනුවෙන් පෙරට එනවා. උසාවි තීන්දුව ආපහු හරවන්න ඔවුන්ට පුළුවන් වෙනවා. අද වෙද්දි ඩීප් ත්‍රෝට් කියන්නෙ කල්ට් ක්ලැසික් එකක්.

‘පෝර්න්වලට විරුද්ද ජාති දෙකක මිනිස්සු ඉන්නවා. එක කට්ටියක් තමන් මොනවා ගැනද කතා කරන්නෙ කියල දන්නෙ නෑ. අනිත් කට්ටිය තමන්ට මගඇරිලා තියෙන්නෙ මොනවද කියල දන්නෙ නෑ’ – ලැරී ෆ්ලින්ට්

1983දි ඉලිනොයිවල පොලිස්කාරයො දෙන්නෙක් ‘පෝප්’ කියන සේවකයා වැඩකරන කඩේට ඇවිත් වැඩිහිටි සඟරා මිළට අරගෙන ඊට පස්සෙ පෝප්ව සහ තවත් සේවකයෙකුට විරුද්දව අසභ්‍ය ප්‍රකාශන අලෙවියට නඩු පවරනවා. පළාතේ සාමාන්‍ය කෙනෙකුගේ අවබෝධය අනුව මෙය අසභ්‍යයි කියන කරුණ මුල්කරගෙන ඉලිනොයි අධිකරණයෙන් වරදකරුවන් විදිහට නියම වෙන මේ දෙන්නා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතනදි ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරනවා සාමාන්‍ය බහුතරයගේ අදහස අසභ්‍ය දේ තීරණය කිරීමට යොදා ගැනීම වැරදියි කියල. ඒ වෙනුවට තමන්ගේ මතවාදයෙන් බැහැරව, සාධාරණව සහ තාර්කිකව ඒ දෙස බැලිය හැකි කෙනෙක් එය අසභ්‍ය හැටියෙන් දකින්න අවශ්‍යයි කියල අධිකරණය කියනවා. සේවකයන් දෙදෙනා නිදහස් වෙනවා.

මෙතනදි පළවෙනි සංශෝධනයට බාධා නොවන පරිදි අසභ්‍යබව තීරණය කිරීම දුෂ්කර වෑයමක් බවත්,  වැඩිහිටියන් වෙනුවෙන් පළවෙන, ඔවුන්ගේ කැමැත්තෙන් පරිහරණය කරන ප්‍රකාශනවල අසභ්‍යබව පාලනය කිරීමට නීතිය උත්සාහ නොකල යුතු බවත් විනිසුරු බ්‍රෙනන් නැවත අවධාරණය කරනවා.

නමුත් ඇමරිකාවෙ අදාල ප්‍රාන්තය අනුව අසභ්‍යකම තීරණය කිරීම දිගටම සිද්ද වුනා. මේ නිසා 2002 දි තීරණය කරනවා අසභ්‍යබව තීරණය කිරීමේදි ප්‍රාදේශීයව නෙමෙයි ජාතික මට්ටමෙන් ප්‍රජා පිලිගැනීම කියන සාධකය සලකන්න ඕන කියල. මේ යෝජනාව ඉදිරිපත් වෙන්නෙ 1998දි දරුවන් වැඩිහිටි ප්‍රකාශන නැරඹීම වැලැක්වීමේ නීති ගෙන ඒමත් සමග. වැඩිහිටි ප්‍රකාශන අවකාශයකට අවුරුදු 17ට අඩු කෙනෙකුට පිවිසීමට ඉඩ තැබීම වරදක්. පෝර්න් සයිට්වලට ඇතුල්වෙද්දි වයස සහතික කරන්න සිද්ද වෙන්නෙ මේ හින්ද.

නමුත් අසභ්‍ය කියන කැටගරිය ඇතුලට දරුවන්ට ප්‍රචන්ඩත්වය හුරුවෙන වීඩියෝ ගේම් ආදිය ගේන්න හදන උත්සාහයට අධිකරණය එකඟ වෙන්නෙ නෑ.  ඒ හින්ද ලිංගිකමය නොවන ප්‍රචණ්ඩත්වය අසභ්‍ය දෙයක් විදිහට නීතියෙන් සැලකෙන්නෙ නෑ.

මේ ඉතිහාසය දිහා බලන කෙනෙකුට පේන්න ඕන දෙයක් තමයි ඇමරිකානු අධිකරණය හැමවිටකම ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම පැත්තෙන් වඩාත් අවධානය යොමු කරමින් අසභ්‍ය නීති හසුරුවන්න උත්සාහ කරන වග. ඒ වෙනුවට බහුතරයේ මතය පිලිගෙන, සංස්කෘතික පොලිසිය පැත්තෙ හිටගෙන, අසභ්‍ය නීතිය අර්ථකතනය කරන්න යාමෙන් සිද්ද වෙන්නෙ ප්‍රකාශනයේ නිදහස කියන මූලික අයිතිවාසිකම බාධා කරන එකයි.

‘බහුතරයේ කැමැත්ත කියන එක වැඩකරන්නෙ පුද්ගලයාගේ අයිතිය කියන කාරණය සැලකිල්ලට ගන්නවා නම් විතරයි. වෘකයො පස්දෙනෙක් එක්ක තනි බැටළුවෙක් තියා‌ගෙන රෑ කෑමට ගන්නෙ මොනවද කියල චන්දයක් විමසන්න බෑ’ – ලැරී ෆ්ලින්ට්


චින්තන ධර්මදාස