ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වල දේශනා පවත්වන්න ගියහම ශිෂ්‍යයෝ අයින්ස්ටයින්ගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තිබුන.
“ඔබ දෙවියන් අදහනවද?”

“ඔව් මම නිතරම අදහන දෙවියෙක් ඉන්නව. ඒ තමා, ස්පිනෝසා”
ස්පිනෝසා කියන්නේ,17 වන සියවසේ හිටපු ශ්‍රේෂ්ඨ හේතුවාදියෙක්.
ස්පිනෝසා දෙවියෝ ගැන කියල තියෙන්නේ මෙහෙමයි.

“මට යාඥා නොකරන්න
මම ඔබට මෙසේ පවසමි. ලෝකය වෙතට ගිහින් හොඳින් ජීවිතය විඳින්න. ගී ගයන්න. මා මවා ඇති සියලු දේ භාවිතා කරමින් ජිවිතය ප්‍රීතිමත් කර ගන්න.

අඳුරු,ශීතල ඔබ ගොඩ නැගූ එහෙත් මගේ දේවාල යැයි කියන තැන් වලට නොයන්න.
මම ගැවසෙන්නේ කඳු මත, වන බිම් තුල, ගංගා වල, විල් වල, මුහුදු වෙරළ වගේ තැන් වලයි. මම ඒ තැන වල වසමින් ඔබට ආදරය හා දයාව පතුරවමි.

ඔබේ දුක්ඛිත ජීවිතය මගේ කැමැත්ත අනුව ලැබුණු දෙයක් කියා මට දොස් නොපරවන්න. ඔබ පව් කාරයෙක් හෝ ඔබ කුමක් හෝ වරදක් කර ඇත හෝ ඔබේ ලිංගිකත්වය නරක දෙයක් හෝ කියා කිසි විටක නොකීවෙමි. ලිංගිකත්වය මම ඔබට දී තිබෙන ත්‍යාගයකි. එය හරහා ඔබට ඔබේ ආදරය ප්‍රකාශ කළ හැකිය. ඔබේ ඉහලම ආශාව,ප්‍රීතිය ප්‍රකාශ කළ හැකිය. මේ නිසා ඔවුන් ඔබව විශ්වාස කරන්නට පෙලඹවූ කිසිවක් ගැන මට දොස් නොපරවන්න.මට කිසිම සම්බන්ධයක් නැති පූජනිය ස්ත්‍රෝත්‍ර කීම නවත්වන්න. ඔබට මා හිරු නැගීම තුල,භුමි දර්ශනය තුල, ඔබගේ මිතුරාගේ දෑස් තුල දකින්නට නොහැකි නම් මා සොයා පොත් නොකියවන්න.

කරුණාකර අනේ දෙවියනි, මම මේ කාර්යය කරන්නේ කෙසේද කියා නොඅසන්න. මට භය නොවන්න. මා සමග අමනාප නොවන්න. මා ගැන කරදර නොවන්න. මගෙන් ලැබෙන්නේ පිරිසිදු ආදරයම පමණි.

මගෙන් සමාව නොයදින්න. සමාව ඉල්ලන්නට වරදක් සිදු වී නොමැත. මම ඔබව මැව්වා නම්, ඒ ජීවිතය ඔබේ ආශාවන්ගෙන්, සීමාවන්ගෙන්, හැඟීම වලින්, අවශ්‍යතාවන්ගෙන්, නොගැලපීම් වලින්, නිදහස් සිතුවිල්ලෙන් පුරවා ගන්න

මම ඔබට දුන් යමක් ගැන ඔබ දෙන ප්‍රතිචාරයකට මට ඔබට දොස් පැවරිය නොහැකිය
මම ඔබ මැව්වා නම්, ඔබ ඔබේ විදියට හැසිරුන විට මම ඔබට දොස් නගන්නේ කෙසේද?
නරක විදියට හැසිරුණු මගේම දරුවන් සදහටම දැවි දැවී සිටිනු පිණිස ස්ථානයක් මට ඇති කළ හැකිද? එසේ කරන්නේ නම්, මම මොන විදියේ දෙවියෙක්ද?ඔබේ සගයින්ට ගෞරව කරන්න. ඔබ අකමැති දෙයක බලෙන් නිරත නොවන්න. මම ඔබට කියන්නේ, ඔබ ඔබේ ජීවිතයට අවධානය යොමු කරන්න කියායි. නිතරම සෝදිසිය ඔබේ මාර්ගෝපදේශකයා කර ගන්න.

මගේ දරුවනි,මේ ජීවිතය පරීක්ෂණයක් නොවේ. මිට ඉහල ලොවකට යාමට සාදා තිබෙන පියවරක් ද නොවේ. මෙය ස්වර්ගයට යාමට පෙරහුරුවක් හෝ පුර්විකාවක් ද නොවේ. මේ ජීවිතය තනිකරම මෙතන තිබෙන්නෙකි. ඔබට ඇවැසි සියලු දේම එහි ඇත.

මම ඔබ මේ ලෝකයට මුදා හැර ඇත්තේ නිදහස් ජිවිතයක් සඳහාය. මෙහි ත්‍යාග හෝ දඬුවම් නොමැත. පව් හෝ පින් නොමැත. කිසිවකු ලකුණු නොදමයි. කිසිවකු වාර්තා පවත්වා ගෙන නොයයි. ඔබට ඔබේ ජීවිතය ඔබ අතින් නිර්මාණය කර ගැනීමට නිදහස ඇත. එය ස්වර්ගයක් හෝ අපායක් කර ගත යුත්තේ ඔබමය.

පර ලෝකයක් තිබේ යැයි කියා කීමට මට නුපුළුවන. නමුත් මට ඔබට උපදෙසක් දිය හැකිය. එනම්, එබඳු පරලොවක් නැතැයි සිතා ජිවත් වන්න. එසේම ඔබට ප්‍රීති වීමට, ආදරය කිරීමට , පිට වීමට ඇති එකම අවස්ථාව මෙයයි සිතා ජිවත් වෙන්න.

පරලොවක් කියා දෙයක් නොවේ නම් ඔබ මා ඔබට දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔබේ ජීවිතය ප්‍රීතියෙන් ගත කරනු ඇත. එසේ තිබෙනවා නම්, ඔබ මේ ලොවේ දී වැරදි කරාද, හරි දේවල් කරාද කියා නොඅසන බවට සහතික වෙමි. හැබැයි, මම මෙසේ අසමි. ‘ඔබ ඒ ජිවිතය කැමැත්තෙන් ගත කළාද ? ඔබ විනෝද වුනාද? ඔබ වැඩියෙන්ම ප්‍රීතිය ලැබුවේ කුමකින්ද? ඔබ උගත්තේ මොනවාද?

මාව විස්වාස කිරීමෙන් වලකින්න. විශ්වාස කිරීම යනු අනුමාන කිරීමයි, හිතළු මවා ගැනීමයි. මට වුවමනා ඔබ මාව විශ්වාස කිරීම නොවේ. ඔබ ඔබව විශ්වාස කරන තැනකට පත් කිරීමයි. ඔබ ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සිප ගන්නා විට, කුඩා දියණිය රෙදි පොරවා සයනයේ තබන විට, මුහුදේ නාන විටදී ඔබ ඔබේ බල්ලා ගේ ඇඟ ආදරයෙන් පිරිමදින විට මා ඒ අසල සිටින බව ඔබට දැනිය යුතුය.

මට ස්තුති නොකරන්න. තමන් ගැන උජාරුවෙන් හිතන දෙවියෙක් ලෙසද ඔබ මා ගැන සිතන්නේ?
මට මේ ස්තුති කතා අසා එපා වී ඇත. ඒවා ලැබීමෙන් වෙහෙසට ද පත්වී ඇත. ඔබට මට කෘතගුණ දක්වන්නට අවශ්‍යමද?එසේ නම්, ඔබ ගැන, ඔබේ සෞඛ්‍යය ගැන, ඔබේ සම්බන්ධතා ගැන, ලෝකය ගැන සැලකිලිමත් වීමෙන් එය ඔප්පු කරන්න. ඔබ ඔබේ ප්‍රීතිය පල කරන්න. මට ප්‍රසාදය පල කළ යුත්තේ එලෙසටය.

මා ගැන ඔබට උගන්වා තිබෙන දේවල් ගිරවකු මෙන් පුනරුච්චාරණය නොකරන්න.
ඔබට තව අශ්චර්යයන් කුමකටද? තව පැහැදිලි කිරීම් කුමකටද?

සහතික විය හැකි එකම දේ ඔබ දැන් මෙලොවේ රැඳී සිටින වගයි. ඔබ ජිවත් වෙන වගයි. ඉතින් මේ ලෝකය අශ්වර්යයන්ගෙන් පිරී පවතින බව එයින්ම සිතන්න.


උපසේන හේවගේ