2017දි ස්පාඤ්ඤයෙ පළමු වරට ලිංගික අමාත්‍යධූරයක් ඒ කියන්නෙ මිනිස්ටර් ඔෆ් සෙක්ස් කියල පදවියක් ඇති කළා. එදෙල්මිරා බැරීරා තමයි පළමු අමාත්‍යවරිය විදිහට පත්වුනෙ. මේ අමාත්‍ය ධූරය ඇති කරන්න බලපෑවෙ ස්පාඤ්ඤයෙ ජනගහනය එන්න එන්නම අඩුවෙන්න පටන් අරගෙන තිබුන හින්ද. ළමයි හදන්න ජනතාව උනන්දු කරවීම තමයි මේ ඇමතිට පැවරිලා තිබුන රාජකාරිය.

Edelmira Barreira

ස්පාඤ්ඤ තරුණයො දවසම වැඩ කරලා, රෑ වෙනකල් පාටිදාලා මහන්සි හින්ද සෙක්ස් කරනවා අඩුයි කියලයි කියන්නෙ. ස්පාඤ්ඤයට සෙක්ස් විශේෂයෙන් ප්‍රවර්ධනය කරන්න ඕන කියල තේරුනෙ 2015දි උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහල යන්න පටන්ගත්තම. ජීවිතේට වඩා මරණය ඉස්සර වුනාම. සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයෙ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 82ක්.

2018දි බැරීරා මේ තනතුරෙන් ඉවත්වෙලා ඉසොරා ලීල් ෆර්නැන්ඩස් එතනට පත්වෙනවා.

ස්පාඤ්ඤය හැමතිස්සෙම කතෝලික රටක් වුනත් ලිංගික කාරණා ගැන ඉතාම ප්‍රගතිශීලී තීන්දු තීරණ ගත්ත රටක්. ඒත් 2021දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ 40වෙනි සංවත්සරයෙදි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රො සැන්චෙස් පොරොන්දු වෙනවා ඒ රටේ ගණිකා වෘත්තිය තහනම් කරනවා කියල. මේ සමාජවාදීන් කියන්නෙ ගණිකා වෘත්තිය මගින් කාන්තාවන්ගෙ ජීවිත වහල්භාවයට ඇදදමනවා කියලයි.

සමාජවාදී කම්කරු මුහුණුවරකින් ආවත් මේ පිටුපස පැහැදිලිව පෙනෙන ආගමික, දක්ෂිනාංශික නැඹුරුව ගැන ගොඩක් අය විරෝධය පළ කරනවා. 2005දි ස්පාඤ්ඤය තමයි මුලින්ම කතෝලික රටක් විදිහට සමලිංගික විවාහය නීතිගත කරන්නෙ. සැන්චෙස් කියන්නෙත් ලිබරල් අයිතීන් වෙනුවෙන් බය නැතුව පෙරමුන ගත්ත චරිතයක්. පහුගිය අවුරුද්දෙ එයා යුතනේෂියා හෙවත් තමන්ගේ කැමැත්තෙන් ජීවිතය අත්හැරීමේ අයිතිය නීතිගත කරනවා. ඒ වගේම ලිංගික අනන්‍යතාවය පිළිබඳ වඩාත් විස්තරාත්මකම නීති සම්පාදනය කරමින් LGBTQ අයිතීන් වෙනුවෙන් ලෝකයේම පෙරමුණ ගන්නත් සැන්චෙස්ගෙ කැබිනට්ටුවට පුළුවන් වෙනවා. මේ අනුව අවුරුදු 14දි ළමයෙකුට තමන්ගේ අභිමතය පරිදි ලිංගය වෙනස් කිරීමේ සැත්කම් කරගැනීමට හැකියාව ලැබෙනවා. ඊට තිබුනු සීමාවන් ඉවත් කරනවා.

Pedro Sánchez

මෙහෙම සැන්චෙස්ගෙ ගණිකා වෘත්තිය තහනම් කිරීමේ සමාජවාදී ප්‍රවේශය ගැන දෙස් විදෙස් ගොඩක් අය කලබල වෙනවා. ස්පාඤ්ඤයේ ලිංගික ශ්‍රමිකයන් සඳහා වූ එකම වෘත්තිය සමිතියේ ලේකම්වරිය කියන විදිහට මේ තහනමෙන් සිද්ද වෙන්නෙ මාෆියාවක් නිර්මාණය කරන එකයි. ඒ වගේම ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිය වෙනුවෙන් වූ සංවිධාන 100ක පමණ එකතුවක් වන යුරෝපීය ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් සඳහා වූ සාමූහිකයේ ප්‍රකාශිකාවක් කියන්නෙ, කොවිඩ් නිසා ස්පාඤ්ඤයේ වගේ ලෝකයේම ලිංගික ශ්‍රමිකයන් බරපතල විදිහට අපහසුතාවයට පත්වුනා. ගොඩක් අයට ඉන්න හිටින්න තැන් පවා නැති වුනා. ඒ හින්ද සැන්චෙස් කළ යුත්තෙ මේ අය නියෝජනය කරන සංවිධාන සමග සාකච්ඡා කිරීමෙන් ඒ අයගේ ප්‍රශ්නවල සැබෑ විසඳුම් ලබාදෙන ප්‍රතිපත්ති සැකසීමයි.

සැන්චෙස් මුලින්ම මේ අදහස පළකළේ 2019දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ ස්ත්‍රීවාදී ප්‍රකාශනය එලිදක්වමින්.

ස්පාඤ්ඤයේ තුන්වන බලෙවේගය හැටියට නැගී එන නව දක්ෂිනාංශික පක්ෂයක් වන වොක්ස් මගින් සියලු ස්ත්‍රීවාදී දේශපාලනයන්ට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ වඩාත් කාන්තා ආකර්ශනය දිනාගැනීමේ අපේක්ෂාවෙන් සැන්චෙස් ආණ්ඩුව වාමාංශික මුහුණුවරකින් දක්ෂිනාංශික තීන්දු ගැනීමට පෙළඹිලා තියෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නෙ.