“ඔය විහාර මහා දේවි යෝජනා අකුලලා ගහගනිං රනිල් උඹේ… සොරි.. සාගලගේ….”
තරිදු උඩුවරගෙදර කියන විවිධ ඇගයුම් ලත්, ඇත්තටම විශාල වශයෙන් මානව අයිතීන් සහ විශේෂයෙන්ම ලිංගික නිදහස සම්බන්ද තැන්වලදි පෙනී හිටපු මාධ්‍යවේදී මිතුරා පහුගිය දවසක මෙහෙම පෝස්ට් එකක් ෆේස්බුක් දානවා.
මේ හා සමගාමීව තවත් ගොඩක් පෝස්ට් රනිල්ගේ සමරිසි ජීවිතය පිළිබඳ ගොසිප් මත පදනම්ව වැටෙනවා.
“ගැහැනියක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ගැහැනියක් කරන්න බැරි තනතුර හදපු මාමාට ගෑනියෙක්වත් පිරිමියෙක්වත් නොවන තම බෑනාම එම තනතුරට පැමිනීම දෛවයේ සරදමකි”
මේ හැමඑකක්ම පදනම් වෙන්නෙ රනිල්ගේ සමකාමී රුචිකත්වය ගැන ප්‍රවාද මත. මම එහෙම කියන්නෙ රනිල් විසින් විවෘතව තමන් සමරිසි කියල පිළිගෙන නැති නිසා. ලංකාවේ එලිපිට බය නැතුව එහෙම තමන්ගේ වෙනස් ලිංගිකත්වය බාරගත් දේශපාලකයා මංගල විතරයි.
කෙනෙකුව දේශපාලනික වශයෙන් බිඳ වට්ටන්න බැරිම තැනකදි එල්ල කරන ග්‍රාම්‍ය චෝදනා විදිහට තමයි අපිට කෙනෙකුගේ ලිංගිකත්වය ගැන අපහාසාත්මක ප්‍රකාශ දකින්න ලැබෙන්නෙ. ඒ ලිංගික කාරණා දේශපාලනික හෝ සමාජීය වශයෙන් බලපානවා නම් ඒවා ප්‍රශ්න කරන ආකාරයක් තියෙනවා. නමුත් සමාජයේ මුල්බැසගත් පසුගාමී ලිංගික විරෝධයන් මත පදනම්ව කෙනෙකුව විවේචනය කිරීමේදී ඒ විවේචනය කරන්නා ගැන අපිට යම් කියවීමක් එනවා.
මේ ගැන මම ප්‍රශ්න කරපු වෙලාවෙදි තරිඳුගෙ පිලිතුර වුනේ මේක.
“මම ඕක කල්පනා කරල ලිව්වෙ. මම මෙතැන හාස්‍යයට ලක් කළේ සමලිංගිකත්වයම නෙවෙයි. නිශ්චිතව රනිල් කියන පුද්ගලයට තියෙන බව ප්‍රකට රිලේෂන්ෂිප් එකක්. අනෙක මගේ පෝස්ට් එකේ ඉලක්කය වුණේ ප්‍රොටෙස්ටර්ස්ලව ඉවත් කිරීමේ යෝජනාව.
ලංකාවෙ ලිංගික ප්‍රජාවන්ගේ අයිතීන් මම පිළිගන්නවද? නැද්ද කියන එක මගේ භාවිතාව ඇතුළෙ තියෙන දෙයක්.
රනිල්ගෙ සම්බන්ධතාවක් හාස්‍යයට යොදාගත්ත පළියට මගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැ.
රනිල්ව. ඔබ ඊයෙද පෙරේදද කොහෙදෝ ඩේව් චැපෙල්ව උස්සල පෝස්ට් එකක් දැම්ම. මිනිහව ඇත්තටම ෆලෝ කරනවනම් ලිංගික ප්‍රජාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම සහ හුදෙක් හාස්‍යයට යම් ලිංගික සම්බන්ධතාවක් පාවිච්චි කිරීම අතර වෙනස තේරෙන්න ඕනෙ. මම යෝජනා කරනව චැපල්ට අමතරව රිකී ජර්වේස් ෆලෝ කළොත් තවදුරටත් මේ අදහස අවබෝධ වේවි.
මම ලිංගික ප්‍රජාවගේ අයිතීන් පිළිබඳ පෙනී සිටිනවා මිස woke කල්චර් එකේ ගිලිලා මනුස්සයෙක්ට ජෝක් එකක් කරගන්න බැරි සමාජයක් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙවෙයි. මේ අදහස වෙනුවෙන් මම අනිද්දා පත්තරේ ලිපියකුත් ලීවා. චැපල් ගැන.”
උපහාසය වෙනුවෙන් හෝ හාස්‍යය වෙනුවෙන් තමන් මේ ප්‍රකාශය සටහන් කළා කියලා තරිදු කියනවා නම් අපිට එතනින් එහා ප්‍රශ්න කිරීමක් නෑ. ඒක එයාගෙ ප්‍රකාශනයේ නිදහස. මේක එතනින් එහාට ගිහින් අපහාසාත්මක තැනකින් ශබ්ද වෙන නිසයි මගේ ප්‍රශ්න කිරීම පැන නගින්නෙ. ඒ හැරුනම මේ ප්‍රකාශයට සහයෝගය පළකරමින් පලවෙන තවත් සුවහසක් හෝමෝෆෝබික් කමෙන්ට්ස්,( ලොල්ලා, පොන්නයා ආදී වශයෙන්) මෙයින් යම් බලයක්, පැවැත්මක් ලබාගන්නා වගත් පැහැදිලියි. ඒ නිසා මේක එවන් ප්‍රකාශයක සදාචාරය ගැන ප්‍රශ්න කිරීමක්.
ඩේව් චැපල් කියන්නෙ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින මං ඉතාම ගරු කරන ආර්ටිස්ට් කෙනෙක්. මෙතනදි තරිදු ඩේව් චැපල්ව උපුටා දක්වනවා. නමුත් ඩේව් චැපල් කතා කරන්නෙ තමන්ට woke කල්චර් එක නිසා අහිමි කරන්නට යෙදෙන ප්‍රකාශනයේ නිදහස වෙනුවෙනුයි . ඩේව්ගේ දරුණු විහිලු මුනිස්සම් වගේ නිකුත් වෙන්නෙ ඒ කැන්සල් කිරීමේ සංස්කෘතියට එරෙහිවයි. තරිදුගේ විහිලුවල ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ තර්ජනයකට එරෙහි වීමක් මං දකින්නෙ නෑ. ඒ වෙනුවට ඒවා කෙලින්ම සමලිංගික විරෝධයක් හා සමපාත වෙනවා අපිට පේනවා. ඩේව්ගේ විහිලුව තමන්ගේ නිදහස වෙනුවෙන් කරන පෙනීසිටීමක් වෙද්දි තරිදුගේ විහිලුව අනුන්ගේ නිදහසකට එරෙහි එකක් වෙනවා.
නමුත් තමන්ට පීඩිත ලිංගික ප්‍රජාව හාස්‍යයට හෝ පහත්කිරීමකට ලක් කිරීමේ උවමනාවක් නැතිබව තරිදු පැහැදිලිව කියනවා. අපිට ඒ ප්‍රකාශය බාරගන්න සිද්ද වෙනවා. නමුත් රංචුමය හැසිරීම ඇතුලෙ කෙනෙකුගේ තිබුණු විචාරාත්මක, වගකීම්සහගත ප්‍රකාශ ආපහු රාජපක්ෂවාදී සමරිසිවිරෝධී තත්වයක් දක්වා පිරිහෙන ආකාරය ගැන මේක හොඳ නිදර්ශනයක් වෙනවා.
කෙනෙකුගේ ලිංගිකමය හැසිරීමක් ගැන විවෘතව කතා කළ නොහැකිද කියන ප්‍රශ්නයේදි මං ඉන්නෙ එසේ කළ හැකියි කියන තැන. එවන් ප්‍රකාශයක් වාරණය කිරීමට හෝ තහනම් කිරීමට හෝ එවැන්නක් නිසා ඒ ප්‍රකාශකයාට යම් සීමා පැනවීමකට හෝ මම එකහෙලාම විරුද්ධ වග කියන්න ඕන. නමුත් ඒ හැම ප්‍රකාශයක්ම නැවත විචාරයට භාජනය වීමටද හැකියි. එසේ කළ යුතුයි.
මේ ආකාරයෙන්ම පහුගිය කාලෙ අහන්න ලැබුනු විෂම ලිංගික ජෝක් එකක් තමයි, ‘නන්දෙගෙ ඇටේ- ඥානාගේ කටේ’ කියන එක. රනිල්- සාගල කතා ගැන ප්‍රශ්න කරද්දි ඇතැම් අය ඇහුවෙ මේකත් වැරදි නැද්ද කියලයි.
මගේ පුද්ගලික අදහස අනුව මේ දෙක සමානව සලකන්න බෑ. ඒකට හේතුව අපි පරමාදර්ශී විෂම ලිංගික සමාජයක් පසුබිමේ ඇතිවග සැලකිල්ලට ගනිමින් මේවා කිරා බලනවා මිස ඒ පවතින සමාජ පසුබිම නොසලකා හරිමින් ඒක කරන්න බැරි වීම. රනිල්- සාගල කතාව විසින් සමාජය තුල පවත්නා විරෝධයක්, අපහාසයක් අවුස්සන අතර නන්දෙ-ඥානා කතාව විසින් අවුස්සන්නෙ අව්ඤානකව පිරිමිකම, උත්කර්ෂය කැටිවුනු උපහාසයක්.
‘ඥානක්කට වඩා මං හොඳයි. මාව ගන්න’ යනුවෙන් බෝර්ඩ් එකක් ඔසවා ගත් සුන්දර තරුණියක්ද මේ අරගලයේ ජනප්‍රිය වුනා.
මේක හුදු මගේ පුද්ගලික කියවීම. මීට වෙනස් කියවීම් පවතින්න පුළුවන්. වැදගත් වෙන්නෙ ඒ කියවීම් සමාජගත කරන එකයි. විෂමලිංගික බව අදහන සමාජයක බඩුකාරයා යන්නත් සමනළයා යන්නත් සමාන බරක් ඇති අපහාස/උපහාස විදිහට මට පේන්නෙ නෑ.
නමුත් යම් කෙනෙකුගේ ලිංගික සම්බන්ධයක් නිසා දේශපාලන සමාජ කාර්යයන්ට බාධා පැමිනේ නම් එය ප්‍රශ්න කළ යුතුයි. යම් අය විසින් අදහස් දක්වා තිබුනෙ රනිල්- සාගල සම්බන්ධතාවය රාජ්‍යය පාලනයට බලපානවා කියලයි. ඒක ඒ අයගෙ උපකල්පනයක් නැත්නම් ෆැන්ටසියක් වෙන්න පුළුවන්. එවැනි යමක් පැවතුනත් ඒ ගැන නිශ්චිතව දැනගන්න මගක් බාහිර කෙනෙකුට තියෙන්න ඉඩකඩ අවමයි.
අනෙක් අතට තමන්ගේ පක්ෂපාතබවක් නිසා සියල්ල ගැන අන්ධභාවයට පත්වීම සමලිංගික ආදරයකට පමණක් විශේෂ කාරණයක් නෙමෙයි. එය විෂමලිංගික ආදරයක්, පිරිමියෙකුට ගැහැනියක් වගේම යම් මතවාදයක්, ආගමක්, කුලයක්, ජාතියක් හෝ සම්බන්ධයෙන් වුනත් වෙන්න පුළුවන් දෙයක්. අපි ඒ හැමදෙයක් ගැනම මේ තීවර්තාවයෙන් ප්‍රශ්න කරනවද? අපි ප්‍රශ්න කළ යුත්තේ ඒ හැගීම්මය පුද්ගලික සම්බන්ධයද නැත්නම් එයින් සිදුවන තාර්කික අවැඩද?
රනිල් – සාගල ගැන පැතිරෙන මේ කතා මා තුල ඇති කරන්නේ සුන්දර හැගීමක් වග කියන්න ඕන. ලංකාවෙ වියපත් පිරිමි දෙදෙනෙකුගේ ආදරයක් ගැන අපි කතා කරන පළවෙනි වතාව මේක. මේ වයසෙ දෙන්නෙක් අතර බැඳීම හුදු ලිංගිකමය හෝ අනුරාගී එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි. එය ඊට වැඩි හඳුනාගැනීමක්, තේරුම්ගැනීමක් මත බොහෝ විට පදනම් වෙනවා. මට අනුව ඒක දේශපාලනයට වඩා සුන්දර තැනක්. එවන් මනුස්ස සම්බන්ධයක් කැත විදිහට ප්‍රශ්න කිරීමෙන් අපි ඇත්තටම අපේක්ෂා කරන්නේ මොකක්ද කියල ප්‍රශ්නයක් එනවා.
යම් පුද්ගලික සම්බන්ධයක් නිසා පොදු ක්‍රියාවක් අවහිර වෙනවා නම් එය ප්‍රශ්න කළ යුතුයි. ඒත් ප්‍රශ්න කළ යුත්තේ අර පුද්ගලික සම්බන්ධය නොව එය පොදු ක්‍රියාවට බලපාන ආකාරයයි. නැත්නම් අපි පුද්ගලික නිදහස සහ ගරුත්වය සම්බන්දයෙන් මිනිස් අයිතිය ප්‍රතිගාමී සමාජ පිලිගැනීම් වෙනුවෙන් නොහොත් බහුතරය වෙනුවෙන් පාවා දෙනවා.
චින්තන ධර්මදාස