මෑතක තරුණ හාමුදුරු කෙනෙක් තවත් තරුණ කෙල්ලක් එක්ක රේල්පාරක් ළගදි අල්ලගත්ත සංස්කෘතික මැරයන් පිරිසකගේ වීඩියෝවක් ෂෙයාර් වුනා. මේ රහසේ පෙම්කරන්නට පැමිනි යුවලක් හැටියෙන් බාරගනිමින්, මේ දෙන්නාට අපහාස උපහාස කරමින් ප්‍රසිද්ධියේ ඇඳුම් පිටින් දූෂනය කිරීමක් ඒ වීඩියෝවෙ තිබුන.

ඊට පස්සෙ මේ දෙන්නා එක්කුස උපන් අයියා නංගී දෙන්නෙක් බවත් පිළිකා රෝගයකින් පෙලෙන තමන්ගේ මව බලන්නට යන ගමනක් බවත් පොලිසියෙන් වාර්තා කරන බවට තව ප්‍රවෘත්තියක් පළවුනා. මේ වයිරල් කතා දෙකෙන් මොකක් ඇත්තද මොකක් බොරුද කියල හිතාගන්න බෑ. ඇත්තටම ඒක වැදගත් දේකුත් නෙමෙයි.

හැබැයි අපි මොහොතකට අයියා නංගී ප්‍රවෘත්තිය ඇත්ත කියල හිතමු.

එතකොට අර පිරිසත්, ඒක ෆේස්බුක් එකේ ෂෙයාර් කරමින් සාසනය බේරගන්න සටනට බට පිරිසත් කරමින් ඉඳලා තියෙන්නෙ මොකක්ද? ඒ අයගෙ ඔලුව ඇතුලෙ තියෙන ලිංගික අවුලක් පිටත දෙන්නෙක් මත පටවා ඊට ප්‍රතිවිරුද්ධව සංස්කෘතිය රැකීමේ අර්ධයෙහි තමන්ම පෙනී සිට ස්වයං වින්දනයක් ලැබීම නෙමෙයිද? මේක සිද්ද වෙන්නෙ අපේ සංස්කෘතියෙ තියෙන සෙක්ෂුවල් සප්‍රෙෂන් එක නිසා. ඒ කියන්නෙ සංස්කෘතිකව කරන බරපතල ලිංගික යටපත් කිරීමක් නිසා.

අපිට හැමදේකම නිෂ්ටාව හැටියට ලිංගික කාරණය පේන්න පටන් ගන්නවා. කොච්චර ගියත් හැප්පෙන්නෙ ලිංගික තාප්පෙමයි. ඒ තමන් තුල පවතින අවුල යටපත් කරන්න ජාතිය, ආගම, සංස්කෘතිය රැකීම ඉස්සරහට එනවා. ජාතිවාදය ආගම්වාදය ප්‍රචන්ඩත්වය එනවා.

මේ ලිංගික අවුලෙන් එහාට යන්න නම් අපිට ඒ ලිංගික අවුල ඉක්මවා යන්න සිද්ද වෙනවා. ඒ කියන්නෙ සෙක්ස් කියන දේ බොහොම සාමාන්‍ය දෙයක් වෙන එක. ඊට ඔබ්බෙන් පවතින මිනිස් සම්බන්ධතා වඩා වැදගත් වෙන එක. ඒ කියන්නෙ අපි ලිංගිකව තෘප්තිමත් ජාතියක් වෙන එක.

රාජිත දිසානායක‍ගේ ජූලි මාසෙ දවසක් මං කියවන්නෙ මෙන්න මේ කවුළුවෙන්. අපි විසින් අනෙකා මතට අපේ ලිංගික අවුල දමා ගැසීම කියන එළඹුමෙන්. ඒ හරහා අනෙකාගේ ජීවිතය, හැගීම් දැනීම් සියල්ල අපචාරයකට, වල්කමකට ලඝු කිරීමේ ඛේදවාචකය කියන තැනින්.

රාජිත දිසානායකගෙ ජුලි මා‍සෙ දවසක් අගෝස්තු මාසෙ දවසක වෙන්ඩ්ට් එකේ පෙන්නුවා. මේ වගේ කාලෙක වේදිකා නාට්‍යයක් පෙන්නනවා කියන්නෙ හොඳම පරිප්පුවක්. එක පැත්තකින් තියෙන අර්බුද මැද රිහර්සල් කරලා අනංමනං කරලා මේක පෙන්නන්න විඳින්න වෙන කරදර ගොඩ. අනිත් පැත්තෙන් මෙහෙම මුස්පේන්තු කාලෙක එහෙම රසයක් බෙදාගන්න තරම් ඉමෝෂනල් ස්පේස් එකක් නැති එක. හැමෝම ඉන්නෙ උවමනාවටත් වඩා පොලිටිසයිස් වෙලා. නාට්‍ය රසිකත්වයක් තිබුනු බහුතරයක් මේ වෙද්දි රට බේරාගැනීමේ වීරත්වයක. ඉස්සර බයියන්ට තිබුණු දේශානුරාගය දැන් වම්මුන්ට සහ ටොයියන්ට බෝවෙලා තියෙනවා.

මේ ඔක්කොම මැද රාජිත දිසානායකගේ කියන්නෙ අමුතු රොමාන්තික, නොස්තැල්ජික රසයක් මුසුවුනු දේශපාලන සමාජ ප්‍රකාශන වියන්නෙක්. පිටස්තරයෙක්.

ජූලි මාසෙ දවසක් කරලා තියෙන්නෙ පාස්කු බෝම්බෙ කම්පනය උඩ. රට පු‍රා ඇතිවුනු හිජාබ් නිකාබ් භීතිකාවත් එක්ක. ඒ භීතිකාව යට නලියන අපේ කැත ජාතික මනුස්සකම් ගැන.

කතාව පටන් ගන්නෙ තමන්ගේ අතීත සරසවි පෙම්වතියක් මුනගැහෙන්න මිතුරෙකුගේ හිස්වන නිවසක් ඉල්ලා ගන්නා විවාහක සැමියෙකුගෙන්. මේ අතීත පෙම්වතිය තමන් ජීවත් වෙන මහල් නිවාස සංකීර්ණයට ඇතුල්වෙද්දි කවුරුන් හෝ අදුරාගනීවි යැයි බයෙන් ඇයට හිස වසා ෂෝල් එකක් දමා පැමිනෙන්නැයි මේ අතීත පෙම්වතා කියනවා.

එක්තරා විදිහකට මේ පෙම්වතාට මේක රහසිගත ශෘංගාරාත්මක මුනගැසීමක්. නමුත් ඒ දෙන්නා අතර එම අතීතය මිස කිසිම වර්තමාන ප්‍රේමයක් නැතිවගත් අපිට පසක් වෙනවා. තරුණියට මේ මුනගැසීම අනුරාගයක් හෝ ප්‍රේමයක් වෙනුවට තමන්ගේ ජීවිතයේ යම්කිසි ප්‍රශ්නයක්, තමන්ගේ හුදකලාවක් අසා සිටීවි යැයි හැගෙන හඳුනන මනුස්ස මුනගැසීමක් .

ඒත් අපි ප්‍රේක්ෂකයා විදිහට මේ මුනගැසීම අපේ වනචර ආශාවන්ටම නතු කරනවා. හරියටම අර රේල්පාරෙ චන්ඩි පිරිමි ටික වගේ. දෙබසින් මොනවා ඇහුනත් විවාහක පිරිමියෙක් සහ වෙනත් තරුණියක් හුදකලා නවාතැනක රහසිගත හමුවක් කියන සංදර්භය අපිව වල්- මත් කරනවා.

මේ හිස වසා ඇතුල්වීම සීසීටීවී සැකයට කාරණාවක් වෙනවා. මුලු නිවාස සංකීර්ණය පුරාම භීතිකාවක් පැතිරෙනවා. බෝම්බකාරියක් ඇතුල්වුනු වගට කතාවක් ඇවිලෙනවා. හමුදාවෙන් නිවාස පරීක්ෂාවට ලක්කරනවා. මේ අතර විවාහක සැමියාට කලබල මැද තමන්ගේ පවුල නිවන්න වහාම ගෙදර යන්න සිද්ද වෙනවා.

රාජිතගේ නාට්‍යවල නිතරම සියුම් උපහාසයට බඳුන්වන තැනක් තමයි සාම්ප්‍රදායික පවුල් ජීවිතය. මේ පවුල් ස්වභාවයෙන්ම ලිංගිකව අව‍රෝධිතයි. ඒ කියන්නෙ දරුවන්, ආර්තිකය ආදී බාහිර සමාජ ප්‍රශ්න වලින් ගැටගහගන්නවා මිස මේ ගැහැණු-පිරිමි සම්බන්ධය ඉන්ටිමේට නෑ. ඒ ඉන්ටිමසි එක නිතර පිවිසෙන්නෙ බාහිරින්, තුන්වැන්නෙක් හරහා. මේ අවරෝධිත පවුල් පවුල් අතර සම්බන්ධතාවයනුත් ඒවාට ආවේනික ඉරිසියා කුහකකම් සහ මෝඩකම් අතර ව්‍යාජයක්. එය කිසිවෙක් තව කෙනෙකුගේ ජීවිතය, කාලය බෙදා ගැනීමක් නෙමෙයි. සමාජයක් විදිහට ඒක ඇතුලෙ එකිනෙකා තනියි. ඒ තනිකම මකන්නෙ, ඔවුන්ව සම්බන්ද කරන්නෙ ජාතිය, ආගම, දේශපාලනය වගේ දෙයක්.

මේ අතර අලුත් චරිතයක් වේදිකාවට එනවා. ඒ තමයි ඔස්ට්‍රේලියාවෙ ඉඳන් එන වීර වීරෙ. මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල ජීවත්වෙන ලංකාවෙ මිනිස්සුන්ට මෙහේ ඇත්තට ජීවත් වෙන උන්ට වඩා ඉස්මුරුත්තාවෙ යන ජාතිකාලයක්, ආගමික උමතුවක්, සමහර විට ඉතිහාස රුදාවක් සමග ඇති වග සමාජ මාධ්‍යවල ගැවසෙන ඕන කෙනෙක් දන්න ඇත්තක්. මේක අපේ පෞරානික ජාතිය ගොඩනැගීමේ සිට සියලු ප්‍රශ්න විසඳන විප්ලවයක්, අරගලයක් දක්වා පරාසයක තියෙන්න පුළුවන්. ලංකාවෙ බොහොමයක් උන් මේ හැගීම් අපේ ඩයස්පෝරාවට විකුණලා ජීවත් වෙනවා.

තමන් දියුණු රටක දියුණු සංස්කෘතියක ජීවත් වෙන අතරෙ ලංකාව අතීත සංස්කෘතියක පවත්වාගෙන යාමේ අමුතු නොස්තැල්ජික ආශාවකින් මේ බොහොමයක් දෙනා පෙලෙනවා.

වීර වීරෙ එන්නෙ මේ ජාතික කැක්කුමත් එක්ක. මුස්ලිම් උන් කුමන්ත්‍රණය කරමින් අපේ ජාතිය නසන වගට සාක්ෂි රහිතව පසක් කරගත් දැනුමක් ඇතුව. මේ අතර නිවාස සංකීර්ණයේ වතුර ප්‍රශ්නෙකුත් තියෙනවා. බීමට ගත නොහැකි ටැප් වතුර වෙනුවට බෝතල් වතුර ප්‍රවර්ධනය වෙනවා. අපේ කතා නායකයා නොමිලේ වතුර ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. වීරෙ කියන්නෙ නොමිලේ වතුර ලබාගැනීමේ සටන පිටිපස්සෙ තියෙන්නෙ මුස්ලිම් කුමන්ත්‍රණයක් කියල. බොන්න වතුර නැති ජනතා ප්‍රශ්නය ව්‍යාපාරයක් බවටත් ඒ උවමනාව ජාතිය රැකගැනීමේ ව්‍යාපෘතියක් බවටත් පරිවර්තනය වෙනවා. වතුරෙ ජාතිය දිය වෙනවා. මුස්ලිම් කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව සිංහල බෝතල් වතුර බොනවා.

තමන්ගේ ජාතිය වනසන අන්තවාදය තමන් තුල පවා තමන්ට නොදැනී පවතින්න පුළුවන් කියන එකයි වීර වීරෙ ඉගැන්වීම. ජීවිතයේ ලිංගික අර්ධය නැතහොත් ඉන්ටිමසිය අහිමි ජනතාව ජාතිය ආගම රැකීම වෙනුවෙන් තමන්ටම පවා එරෙහි වෙනවා. අනෙකාව පමණක් නෙමෙයි තමන්වමත් සැක කරන්න පටන් ගන්නවා.

ජාතිවාදය සහ සෙක්ස් අතර පවතින සම්බන්ධය හරිම ආකර්ශනීය දෙයක්. ජාතිවාදය විසින් අනෙකා බැහැර කිරීම යෝජනා කරන අතර සෙක්ස් විසින් අනෙකාව වැළඳගැනීම යෝජනා කරනවා. ජාතිවාදය ප්‍රචන්ඩත්වය යෝජනා කරද්දි සෙක්ස් ආදරය යෝජනා කරනවා.

මේ සියලු කලබල මැද බටයක් දිගේ බිමට බැස පලායන්න ගිහින් අර තරුණිය ඇදන් වැටිලා මැරෙනවා. ඇය මේ විදිහට පලා යන්නෙ අපවාදයෙන් ගැලවෙන්න. පවුල් පුපුරා යාම වළක්වන්න. ලිංගිකව අවරෝධිත සමාජයකට කිසිවිටක පැහැදිලි කළ නොහැකි සෙක්ස්වලින් එපිට මිනිස් සම්බන්ධතාවය අදෘෂ්‍යමාන කරන්න. ඇද වැටී මැරෙන ඇය නිකම්ම බෝම්බකාරියක් වෙනවා. ඇගේ මිතුරියන් පවා ඇයව සැක කරනවා.

ඇය එහි පැමිනි කාරණය දන්නා එකම චරිතය අපේ කතා නායකයා ජාතික ආරක්ෂාව හමුවේ නිහඩ බවට පත් කරනවා. එක පැත්තකින් ජාතික ආරක්ෂාව අනෙක් පැත්තෙන් පවුලේ ආරක්ෂාව. අවසාන වශයෙන් මේ දෙකම එකක්.

ඇත්ත ප්‍රකාශ කරමින් ඇගේ නිර්දෝෂී බව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට ඔහුට සිද්ද වෙනවා ඇයව මුනගැසීමට යාමේ පුවත වසන් කරන්න. විවාහයෙන් පිට දෙන්නෙකු අතර හුදකලා අවකාශයක පැවතිය හැකි එකම සම්බන්ධතාවය රාගික ශාරීරික එකක් වීමේ සාපය නිසා, අසන්නාගේ/නරඹන්නාගේ වල්කම නිසා ඇගේ මරණය වෙනුවෙන් පෙනී සිටින්නෙක් නැති වෙනවා.

පාපයක් නොකළ තැනැත්තෙක් වේ නම් පළමු ගල ගසන්නැයි කියන්න කෙනෙක් නැති වෙනවා. වැදගත්ම දේ වෙන්නෙ මේ වෙද්දි ප්‍රේක්ෂකයාත් ඒ වනචර කියවීමේම කොටස්කරුවෙක් වී තිබීම. ඒ අපරාධයට අපිත් හවුල්.

මේ රහස වහන්න ඉදිරිපත් වෙන්නෙ ජාතිවාදයයි. මිනිස් ආදරය අපරාධයක් වූ තැනක ඒ අපරාධය වහන්න අපේ එකෙක් සංකල්පය පෙරට එනවා. ඒ රංචුවාදයට එරෙහි වූ තනි පුද්ගලයා යටපත් කරනවා.

රට ජාතිය ආගම ගැන කැක්කුමෙන් පෙලෙන වීරෙට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ පාර්ශ්ව එක්ක සමීප සබඳතා තියෙනවා. යම් කෙනෙක් බෝම්බකාරියක් කරන්නත් අහිංසකාවියක් කරන්නත් ජාතිවාදියාට බලය තියෙනවා. පුද්ගලික ජීවිතේ අරින්න බැරි ෆයිල් එකක් තියෙන හැම කෙනෙකුටම ප්‍රසිද්ධ ජීවිතේ ජාතිවාදය වෙනුවෙන් අකමැත්තෙන් වුනත් පෙනී ඉන්න සිද්ද වෙනවා. අපේ කතා නායකයාගේ නොමිලේ වතුර සටන එතනින් ඉවර වෙනවා.

මේ සියල්ලෙන් සිද්ද වෙන්නෙ සුන්දර මිනිස් සම්බන්ධතාවයක් කැත රංචු බලයක් වෙනුවෙන් යටපත් කිරීම. ඇත්ත කාරණය තමයි අර තරුණියට අපි නොදන්නා ඇගේ කතාව අහන් ඉන්න කෙනෙක් නැති වීම. ඇගේ මිතුරියන් පවා තමන්ගේ කාලයෙන් අවධානයෙන් කොටසක් මේ මිතුරියට දෙන්න තරම් පොහොසත් නොවීම. අපේ මිනිස් සම්බන්ධතා ඒ තරම් වියළි වීම. අ‍පේ කතා නායකයා පවා ඇය මුනගැසෙන්නෙ අතීත ප්‍රේමය සමග යම් ශෘංගාර අරමුණක් ඇතුව මිස ඇයව අසා සිටීමට නෙමෙයි. අසා සිටීමට කිසිවෙක් නැති ඇය අන්තිමට බෝම්බකාරියක් හැටියට මිය යනවා. ඇය මිනිස් බෝම්බයක් බවට අපි විසින් නිර්මාණය කරනවා.

මේ අතර මේ කාලෙ නිතර කතාවෙන රෝන්ග් ජෙනරේෂන් එකත් රාජිත වේදිකාවට ගේනවා. ඒ කියන්නෙ දෙදාහෙන් පස්සෙ ඉපදුන පරපුර. මේ අය ර‍ට ගැන හරිම ඇක්ටිව්. නමුත් ජීවිතයම පවතින්නෙ ස්මාර්ට් ෆෝන් එක ඇතුලෙ. ඒ අය ජීවත් වෙන්නෙම හැගීම් දැනීම් ඇති මිනිස් සම්බන්ධතා ලෝකයක නෙමෙයි. බෙදීම වෛරය අසහනය පතුරන සෝෂල් මීඩියා ලෝකෙක. ස්වභාවයෙන්ම මේ පරපුරට ආදරය ආගන්තුකයි.

අවසානය ඉතාම ප්‍රබලයි. අපේ කතා නායකයා බෝතල් කළ වතුර වීදුරුවක් අතින් අරන් වේදිකාවේ ඉස්සරහට එනවා. අපි පුරුදු විදිහට අපිව නිවන පාපොච්චාරණයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහුට කියන්න කිසිවක් නෑ. ඔහු සදාතනිකව නිහඩයි. එහෙම කිව්වත් අහන්නත් කවුරුවත් නෑ. ආදරයේ මොහොත සම්පූර්ණයෙන් සැකයේ මොහොතට ගොදුරු වෙලා ඉවරයි.

ජාතිවාදයේ ගොදුර වෙන්නෙ මනුස්ස සම්බන්ධතාවන්. අපි අතර ඇති සියුම් ආදර, මානවීය, අපැහැදිලි, ඉරිගසා නම් කර නැති සියලු සම්බන්ධතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා. ඒ සියලු සම්බන්ධතා කුමන්ත්‍රණ වෙනවා.

රාජිතගේ හැම නාට්‍යයක්ම සංගීතය, දෙබස් සහ ඊටම සරිලන මූඩ් එකක් ස්ථාවරව පවත්වාගෙන යන ආස්වාද කලාපයක්. ඒ පොරොන්දු රසය ලබාදීම කිසිම වෙලාවක රාජිත මගහරින්නෙ නෑ. ඒ නිසාම නාට්‍යය අවසානයේදී අපිට දැනෙන්නෙ දුකමුසු නමුත් පරිපූර්ණ මිනිස් හැගීමක්. කොයිතරම් බාධක ආවත් තමන්ගේ කලාව අවිච්චින්නව අඩුවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් රාජිත ගැන මට තියෙන්නෙ ආදරයක්.