ව්ලැද්මීර් ලෙනින්ගෙ ලිංගික ජීවිතය ගැන හොයන්න මට උනන්දුවක් ඇති කළේ ෆේස්බුක් මිතුරෙක් වන බුද්ධි දිනේෂ්. ලෙනින්ගේ නොයෙක් ඕපාදූප හොයමින්, කොනිත්තමින් හිටපු මට වඩා රසවත් කලාපයක් ගැන ඔත්තුවක් ලබාදුන්නෙ ඔහුයි.
ඕනෑම විශාල ප්‍රතිරූපයක ලිංගික ජීවිතය පිළිබඳ කියවීම අතිශය වැදගත්. ඒ අතිශය පුද්ගලික ජීවිතයත්, ප්‍රසිද්ධ ජීවිතයත් අතර ගැටුම තමයි ඒ අදාල පුද්ගල චරිතය වෙන්නෙ. කෙනෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳ දැනීමක් නැතිව ඔහුගේ හෝ ඇයගේ දාර්ශනික, දේශපාලන ජීවිතය කියවීම ඔහු හෝ ඇය පිළිබඳ කියවීමක් නෙමෙයි. කර්තෘත්වයෙන් තොර සංකල්ප ගනුදෙනුවක් විතරයි.
පිරිමියෙක් ගැඹුරින් තේරුම් ගන්න නම් ඔහු කතා කරද්දි ඔහුගේ පුරුෂ ලිංගය දිහා බලන්න ඕන. ඒ කටින් පිටවෙන වචන සහ යටපත් ලිංගික ජීවිතය අතර සම්බන්ධය තේරුම් ගන්න. ගැහැණියක් ගැඹුරින් තේරුම් ගන්න නම් ඇගේ වචන දිහා නැතුව දෙතොල් දිහා බලන්න ඕන.
ඒක මං ඉගෙන ගත්තෙ සයිමන්ගෙන්. සයිමන් ගැන ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ මහජන පුස්තකාලෙ ශ්‍රවණාගාරයේ ඉස්සරහ පුටුවක තියාගෙන පියසීලි විජේගුණසිංහ විසින් සයිමන්ව පතුරු ගහපු සිදුවීමක්. සයිමන්ගේ රචනාවල ඇති පිරිමි බව, කෲර බව ආදිය කුමාරිගේ ස්ත්‍රීවාදී විවේචනයට හසුවුනා ලු. සයිමන් ඒ සියල්ල අහගෙන ඉඳලා,
‘ඔය වගේ ලස්සන තොල් දෙකකින් ඔය වගේ නපුරු කතා කියන්නෙ කොහොමද කියල මං බලාගෙන හිටියෙ…’ වගේ කතාවක් කිව්වලු. මේ කතාව කල්පිතයක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙ සයිමන් කියන කතාව වැදගත්. වචනවල නපුරු බව වෙනුවට තොල්පෙතිවල සොඳුරු බව දෙස බලා සිටීම.
ඉතිං මං ලෙනින්ගේ ලිංගික ජීවිතය ගැන කියවන්න පටන් ගත්තා. ලෙනින්ගෙ ලිංගික ජීවිතය ගැන ඔය පාක්ෂිකයො සහ ඇදහිලිවන්තයො දන්නෙ නැති තරම්. ඒත් ඉතිං මේක කියවලා මට විරුද්ධව අවි අමෝරා ගන්න එක තේරුමක් නෑ. මේ ලිපියෙ අරමුණ කොහෙත්ම අපහාසයක් නෙමෙයි. ඒ වෙනුවට ලෙනින් ගැන ප්‍රකට නොයෙක් කතා අතර එයාගෙ අප්‍රකට රහස් ජීවිතය ගැනත් කුතුහලයක් දැල්වීම විතරයි.
ලෙනින්‍ගේ ජීවිතයට බලපාන සුවිසල් ගැහැණිය වෙන්නෙ ලෙනින්ගෙ අම්මා. මරියා උල්යානොවා.
තාත්තා මැරෙද්දි ළමයි හයදෙනෙක් පවුලෙ. මේ හය දෙනාගෙම බර පැටවෙන්නෙ අර අම්මාට. මේ පවුලෙ කිසි කෙනෙක් ගොඩක් වැඩිමල් වෙලත් කිසිම ආකාරයේ ඉපැයීමක් කරන්නෙ නෑ. ඒ අය දිගටම අම්මා මත යැපෙනවා. මේ හැමෝම විප්ලවවාදීන්. ලෙනින් හැර අනිත් හැමෝම හිරෙත් ඉඳලා තියෙනවා.
ලෙනින්ගේ මුලු පවුලම ජීවත් වුනේ අම්මාගේ පැන්ෂන් එකෙන් කියල ලෙනින්ගෙ වැඩිමල් සහෝදරිය ආන්නා උල්යානොවා ලියනවා.
ලෙනින් අවුරුදු 40ක් වෙනකල් ජීවත් වෙන්නෙ අම්මාට ලැබෙන මුදලින්. අවුරුදු 17ක් ලෙනින් රටෙන් පිටවෙලා ඉන්නවා. ස්විට්සර්ලන්තෙට, පැරීසියට, ජර්මනියට යනවා. ස්විට්සර්ලන්තෙදි එයාගෙ අසනීප තත්වය නිසා සැනටෝරියම් එකක (විශේෂ සෞඛ්‍ය පරිශ්‍රයක) ඉන්න වෙනවා. එයා එතන ඉඳන් අම්මාට මෙහෙම ලියනවා, ‘මේ රිසෝර්ටයේ හිටපු දවස් කීපයට මට ලොකු ගුණයක් දැනෙනවා. හැබැයි මේ ප්‍රතිකාර හරි ගනං. දැනටමත් මගේ සල්ලි ඉවරයි. තව රූබල් සීයක් විතර පුළුවන් නම් එවන්න’ මේ 1895දි.
සති තුනකට පස්සෙ එයා බර්ලිනයට යනවා. එහේ ඉඳන් ආපහු අම්මාට ලියුමක් ලියනවා.
‘බය හිතෙන කාරණය වෙන්නෙ ආපහු මගේ සල්ලි ඉවරයි. පොත් ගන්න නිතර පෙළඹෙන නිසා සල්ලි වාෂ්ප වෙනවා. පුළුවන් නම් තව රූබල් 50ක් 100ක් එවන්න’
අම්මා හැම වෙලාවකම ලෙනින් කියන දේ කරනවා.
මරියා උල්යානොවාට පැන්ෂන් එකෙන් හැමදේම කරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. එයාට හම්බුවෙන්නෙ මාසෙකට රූබල් සීයක් විතර. ඒ කාලෙ ඒක සෑහෙන ගානක්. හැබැයි මේ වියදම කොහෙත්ම ප්‍රමාණවත් වුනේ නෑ. ලෙනින් ඒ කියල තමන්ගේ සුවපහසුව කැප කළෙත් නෑ. එයා පිටුවහල්ව ඉඳිද්දී පවා එයාගේ සහ බිරිඳගේ වැඩ පිණිස මෙහෙකාරයෙක් නඩත්තු කළා.මේ දෙන්නා නිතර පිටතට ගිහින් කැෆේ වලින් ආහාර ගත්තා (සුනිල් හඳුන්නෙත්ති දැක්කා නම් ඉඳලා හමාරයි) කෘප්ස්කයාට කුස්සියෙ උයන්න පිහන්න දැනීමක් තිබුනෙත් නෑ.
මේ හින්ද අම්මාට තාත්තලාගෙ පරම්පරාවෙන් ලැබුනු ගෙදර විකුණන්න වෙනවා. විකුණලා හම්බුවෙන සල්ලිවලින් ලොකු කොටසක් වැය වෙන්නෙ පවුලෙ ණය ගෙවන්න. ඉතිරි ටික පවුලෙ අරමුදලක දාලා ඒ පොලියෙන් දරුවන්ට ජීවත් වෙන්න හදලා දෙනවා. ලෙනින් අම්මාට ලියන හැම ලිපියකම පාහේ මේ පවුලේ අරමුදල ගැන සඳහන් කරනවා.
ලෙනින්ට යාළුවො හිටියෙ නෑ. එයාගෙ ජීවිතේ ලොකු භූමිකාවක් කළේ ගැහැණුන් විසින්. ලෙනින් ගැන විශේෂඥයෙක් වෙන ලෙව් ඩැනිල්කින් කියන විදිහට, ලෙනින්ට කිසිම යාලුවෙක් හිටියෙ නෑ කියල කියන්න පුළුවන්.
ලෙනින් කියන්නෙ එයාගෙ අම්මාගෙ අන්තිම කොපෙක් ටිකත් වියදම් කරලා රිසෝර්ට් එකකට යන ජාතියෙ පුතෙක්. ඒක නරක නෑ. ඒ තමයි ලෙනින්.
ඒ වගේම එයා විශ්වාස කළේ නෑ ගැහැණුන්ට ලිංගික ආශාවන් තියෙනවා, ඒවා තෘප්තිමත් කරන්න අයිතියක් තියෙනවා කියල.
ලෙනින්ට බිරිඳක් හිටියට තවත් පෙම්වතියකුත් හිටියා. එයා ගත කළේ පොලිගමි නැත්නම් බහුභාර්යා ජීවිතයක්.
කෘප්ස්කයා තමයි ලෙනින්ගෙ ජීවිතේ වැඩිම කාලයක් රැදුනු සහකාරිය. එයා ජීවිත කාලෙම ලෙනින් එක්ක හිටියා. ඒ දෙන්නා මුනගැහෙන්නෙ පෑන් කේක් කකා, තේ බොමින් පැවැත්වුනු මාක්ස්වාදීන්ගෙ සාදයකදි. ඊට පස්සෙ ඉඳන් ලෙනින් ඉරිදා දවල් කෑමට කෘප්ස්කයාගෙ ගෙදර යන්න පටන් ගන්නවා. මේ අතර ලෙනින් තවත් ශිෂ්‍යාවන් මුනගැහෙන්න යනවා (කෘප්ස්කයා විතරක් නෙමෙයි).
ලෙනින්ව පිටුවහල් කළාම කෘප්ස්කයා ලෙනින් එක්ක යන්න තීරණය කරනවා. ඒ දෙන්නා කසාද බඳින්නෙ එහෙදි. ඒත් සයිබීරියාවෙ සීතලට මේ දෙන්නා අතර තිබුනු ආශාවේ-අනුරාගයේ බැඳීම් මිය යන බවක් පේනවා. කෘප්ස්කයා ලියනවා, ‘අපිට සීතල කාමරේට වෙලා ඉන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ. අපි නිතර චිත්‍රපටි බලමින් නාට්‍ය බලමින් කාලය ගත කළා’.
නමුත් මේ ඇසුරෙහි වෙනස කෘප්ස්කයා තවත් ලෙනින්ට ළං කරනවා. කලින් කිව්වා වගේම ලෙනින් කිසි දවසක ගැහැණියකගේ ආශාවන් පිළිබඳ පිළිගැනීමක් තිබුන කෙනෙක් නෙමෙයි. ඒත් මේ ගැහැණුන් ඔහුට අසීමිතව ආදරය කළා.
‘ගැහැණුන්ට ලිංගික විප්ලවයක් කළ නොහැකියි. ඒ ඔවුන්‍ට ඒ ගැන ගැඹුරු සහ පුළුල් දැනුමක් නැති නිසයි’ ලෙනින් ලියනවා.
හැබැයි එයාට පැරිසීයෙ එයාගෙ (අනියම්) පෙම්වතිය සමග බැදෙන්න මේ පිලිගැනීම් බාධාවක් වෙන්නෙ නෑ. ඉනෙස්සා ආමන්ඩ් දැඩි බොල්ෂෙවික්වාදිනියක්. ලෙනින් එයා එක්ක බැඳුනත් කෘප්ස්කයා අත්හැරීම ප්‍රතික්ෂේප කරනවා. මේ ගැහැණුන් දෙදෙනා ඉතාම කුළුපඟ මිතුරියන් බවට පත් වෙනවා. පස්සෙ මේ තුන්දෙනාම එකට ජීවත් වෙන්න පවා පටන් ගන්නවා. විවෘතව නොවුනත් ඔවුන් රහසිගතව මේ පොලිගමි සබඳතාව පවත්වාගෙන යනවා. ඒ අතින් ලෙනින්ට ජීවිතේ මුනගැහෙන්නෙ ආශ්චර්යමත් ගැහැණු. එයාගෙ පක්ෂෙ සහෝදරවරුන්ට මේ ගැන යන්තම් හරි ඉවක් දැනෙන්නෙ ලෙනින් මේ දෙන්නවම මුල් නම් වලින් ආමන්ත්‍රණය කරන්න ගන්න හින්ද. සාමාන්‍යයෙන් ලෙනින් අන් අයව ආමන්ත්‍රණය කරන්නෙ ඉතාම විධිමත් ආකාරයට.
ඉනෙස්සා මිය ගිහින් අවුරුදු තුනකින් ලෙනින් මිය යනවා. කෘප්ස්කයා ලෙනින්ගෙ භෂ්මාවශේෂ ඉල්ලනවා ඉනෙස්සා සමීපයෙන් තැන්පත් කරන්න. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා.
වික්ටෝරියානු යුගය සහ රුසියානු විප්ලව යුගය සම්බන්ධයෙන් අධ්‍යයන කරන හෙලන් රැපර්පෝර්ට් කියන පරිදි,
‘ලෙනින්ගේ ජීවිතයේ මුනගැහෙන සියලු ගැහැණුන් ඔහු විසින් සූරාකනවා. නඩෙස්ඩා කෘප්ස්කයා, ලෙනින්ගේ මව මරියා, නැන්දණිය එලිසාවෙටා, සහෝදරියන් වූ ආන්නා සහ මරියා, පෙම්වතිය වූ ඉනෙස්සා ආර්මන්ඩ් යන සියල්ලන්ට ලෙනින්ගේ දේශපාලනය වෙනුවෙන් ජීවිත කාලයම වැරහැලි අඳිමින් ජීවත් වෙන්න සිද්ද වුනා’
මේ කිසිම ගැහැණියකට ඉතිහාසයේ ලැබිය යුතු ගෞරවය නොලැබුනු වග හෙලන් සඳහන් කරනවා. අද පවා වාමාංශික පක්ෂවල බැනර් පෝස්ටර් විදිහට එසැවෙන වීරයො පිරිමි විතරයි.
මේ විදිහෙ ගැහැණුන් ඇසුරෙ ජීවත් වුනු ලෙනින් ලිංගිකත්වය, එහි නිදහස ගැන බැලුවෙ කොයි විදිහටද? එයා ෆ්‍රොයිඩ්ගෙ මනෝ විශ්ලේෂණයම බුර්ෂුවා විකාරයක් විදිහට බැහැර කරනවා. ලිංගිකත්වය මිනිස් ජීවිතයේ ප්‍රධාන අංගයක් විදිහට බාරගැනීම ලෙනින් ප්‍රතික්ෂේප කරනවා. මේ තැන නම් තාම ලංකාවෙ වාමාංශිකයොත් ඉන්නවා.
‘ෆ්‍රොයිඩ්ගේ උපන්‍යාසය විද්‍යාත්මක බවක් පෙන්නන්න හැදුවත් එය ආධුනිකයෙකුගේ පොට වරද්දා ගැනීමක් විතරයි. ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් දැන් විලාසිතාවක් වෙලා. මම සෙක්ස් ගැන පොත්පත්වල පළවෙන න්‍යායන් විශ්වාස කරන්නෙ නෑ. මේ න්‍යායන් සරුවට පැලවෙන්නෙ බුර්ෂුවා සමාජය විසින් රැස්කළ ගොම ගොඩවල් මතයි. ඉන්දියානු සාන්තුවරයෙක් තමන්ගේ බුරිය දිහා බලාගෙන භාවනා කරනවා වගේ, සමාජයේ ලිංගික ප්‍රශ්න දිහා බලාගෙන ඉන්න අයව මං විශ්වාස කරන්නෙ නෑ. මේ හතු පිපෙන්නා වගේ සෙක්ස් තියරි පැන නගින්නෙ පුද්ගල උවමනාව මතයි. තමන්ගේ විපරීතභාවය හෝ අධිකාමය සාධාරනීකරණය කිරීමටයි. මේවා මගින් බුර්ෂුවා සමාජ සදාචාරයෙන් සමාව ගැනීමයි බලාපොරොත්තු වෙන්නෙ. මෙය මට සියල්ල සෙක්ස් මත පදනම් කිරීම තරම්ම පිළිකුල්සහගතයි. මේ තියරි මොන තරම් ප්‍රගතිශීලී වුනත්, විප්ලවීය වුනත් අවසාන අර්ථයෙන් ඒවා සේවය කරන්නෙ බුර්ෂුවා සමාජයටයි.
ලිංගිකත්වය ගැන න්‍යායන් බැහැර කිරීමෙන් වගේම ලෙනින් ලිංගිකත්වය සහ ආදරය ගැන දැරුවෙත් අතිශය සාම්ප්‍රදායික අදහසක්. ඒක ඇත්තටම ලෙනින් ගත කළ පොලිගමි ජීවිතයට පරස්පරයි. ලෙනින්ගෙ අදහස අනුව ආදරය නැවත සමාජ පිළිගැනීම් මත පැවතිය යුතු වෙනවා.
‘කොමියුනිස්ට් සමාජයක ආදරය සහ සෙක්ස් හරියට වතුර වීදුරුවක් බොනවා තරම් සරල, නොවැදගත් දෙයක් වෙනවා කියල කතාවක් ඔබ අසා ඇති. මේ වතුර වීදුරුවෙ කතාව අපේ මිනිස්සුන්ව පිස්සු වට්ටනවා. මේක සම්පූර්ණයෙන්ම මාක්ස් විරෝධී කතාවක්. ලිංගික ජීවිතය කියන්නෙ ස්වභාවික දෙයක් විතරක් නෙමෙයි. එහි සංස්කෘතික සාධකත් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ චර්යාව සාමාන්‍ය මනුෂ්‍යයෙක් විසින් සිදු කරයිද කියල හිතන්න වෙනවා. ඔව් තිබහ සංසිදුවන්න ඕන තමයි. ඒත් ඒකට මඩ වතුර බොනවද? සමාජයේ පිළිගැනීම් මෙතනදි ඉතාම වැදගත්. වතුර බොන එක තනි පුද්ගලයෙකුගේ වැඩක්. ඒත් ආදරය කියන්නෙ දෙන්නෙක් සම්බන්දයි. තුන්වැන්නෙක් ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඒක සමාජ කාරණයක් වගේම සමාජ වගකීමක් වෙනවා’
(මේ ප්‍රකාශය ඥානසාර වගේ කෙනෙක්ගෙ කියලා හිතාගෙන කියවන්න. එතකොට එහි ඇති අයහපත මැනවින් තේරුම් ගන්න පුළුවන්)
ලෙනින් ඉනෙස්සාට ලියන ලියුමක මෙහෙම කියනවා,
‘මං කෙලින්ම කියන්නෙ, ඔය නිදහස් ආදරය ගැන කොටස වහාම මකා දමන්න. ඒක බුර්ෂුවා ඉල්ලීමක්. කිසිම නිර්ධනයෙක් නිදහස් ආදරය ඉල්ලන්නෙ නෑ’
රුසියානු ජනමාධ්‍යවේදිනියක් වන මාෂා ගෙසොන් කියන විදිහට බොල්ෂෙවික්වාදීන්ට කවදාවත් සෙක්ස් සම්බන්ධයෙන් ප්‍රගතිශීලී දැක්මක් තිබුනෙ නෑ කියල. විශේෂයෙන් සමලිංගිකත්වය ගැන.
‘ඒ අයට තිබුනෙ සාර්ගේ රුසියාවෙ තිබුනු සමාජ ආයතන විනාශ කළ යුතුයි කියන අදහස විතරයි. ඒ හින්ද පවුල් සහ බැඳුනු නීති ඉවත් වුනා. ඒවත් එක්ක සමලිංගිකත්වය වරදක් කර තිබුනු නීතිත් අයින් වුනා. මේක බටහිර රටවල පොත් පත්වල වැරදි විදිහට සටහන් වුනා, සමලිංගිකත්වය නීතිගත කළා කියල. ඒත් ඇත්තටම සමාජය වඩාත් ගතානුගතික වෙමින්, එහි ආයතන දැඩි වෙමින්, පසුගාමීත්වයකට ඉක්මනින් ඇදී ගියා. 1930 ගනං වෙද්දි මේ පසුගාමීත්වය සම්පූර්ණ බලය අත්පත් කරගත්තා. 1934 දි සෝවියට් සමුහාන්ඩුව විසින් නැවත සමලිංගිකත්වය අපරාධයක් බවට පත්කිරීමට පියවර ගත්තා. ඒක නොවැලැක්විය හැක්කක්’
(නමුත් සාම්ප්‍රදායික සදාචාරවාදී රාජ්‍ය නීතින් ඉවත් කිරීමෙන් නව සෝවියට් ආන්ඩුව මුලිකත්වය ගත් වෙනස, මිනිසුන්ගේ පුද්ගලික සම්බන්ධතා සමලිංගික, බහු ලිංගික, සමූහ ලිංගික ආදී කවර ආකාරයක වුවත් රජයකට ඒවා සම්බන්ධයෙන් මැදිහත්වීමක් නැති බවට ලෝකය පුරා ලිංගික විමුක්තිකාමීන් ගෙන ගිය සටනට විශාල ශක්තියක් වූ බව කියන්න ඕන)
ලෙනින් කොයිතරම් සමාජ පිළිගැනීම මත ආදරය පැවතිය යුතුයි කිව්වත් ලෙනින් සමාජ රෝගවලට ගොදුරු වුනා. සමාජ රෝගයකට ගොදුරු වීම කොහෙත්ම පහත් තත්වයකට වැටීමක් නෙමෙයි. නමුත් ලෙනින් විසින් පිළිගත් ජීවිතය අනුව ගත්තොත් ලෙනින්ගේ පුරුෂ ලිංගය සැරිසරලා තියෙන්නෙ එයා විශ්වාස කළ තැන්වලම නොවන වග පේනවා.
ලෙනින්ට සිපිලිස් වැළදී තිබුනු බවට කතාවක් බොහෝ කාලයක ඉඳන් තිබුන. යුරෝපියානු නියුරොලොජි ජර්නලයට ඊශ්‍රායල් චිකිත්සකයන් තිදෙනෙක් ඉතිහාසයේ වාර්තා පරීක්ෂා කර බලමින් කියන්නෙ එය සත්‍යයක් බවයි. ලෙනින්ට මෙය වැළදී ඇත්තේ ඔක්තෝබර් විප්ලවයට කලින් යුරෝපයේදී බවත්, වරින් වර උත්සන්න වූ එය 1924 ලෙනින්ගේ මරණයට පවා හේතුවූ බවත් ඔවුන් සඳහන් කරනවා. මේ අය සාක්ෂි විදිහට ලෙනින් විසින් ප්‍රතිකාර ගත් වෛද්‍යවරුන්ගේ තොරතුරු ඉදිරිපත් කරනවා.
මේ ලෙනින් ගැන තවත් කතා විතරයි. මේවාට ප්‍රතිවිරුද්ධ තව තවත් කතා ඇති. මෙතන වැදගත් දේ වෙන්නෙ ලෙනින් කලිසමක් නැතුව හෙළුවෙන්, ඇට දෙක කහ කහා පොඩ්ඩක් අපි වගේ එහා මෙහා ඇවිදින හැටි බලාගෙන ඉන්න එකයි. මොකද අපි ඇගිල්ල උරුක් කරගත්ත මහා වීර ලෙනින් දිහා ගොඩක් කල් බලාගෙන ඉන්න හින්ද.
චින්තන ධර්මදාස