අද නිකං ඉන්න වෙලාවෙ ති.නා සයිට් එකෙන් ‘කවුද හරි’ ෆිල්ම් එක බැලුවා. ඒක 1969 දි එලියට එන්නෙ. ලංකාවෙ ඩිරෙක්ටර් කෙනෙකුගෙ නමක් නැතුව ආපු පළවෙනි චිත්‍රපටිය කියලත් කියනවා. ඒ වෙනුවට වැටෙන්නෙ එඩිටර් ටයිටස් තොටවත්තගෙ නම. ඒ ෆිල්ම් එක අවසන් කරදීම වෙනුවෙන් ටයිටස්ට නිෂ්පාදක මණ්ඩලය ස්තුති කරලා සටහනකුත් පළ කරනවා. මොකක්ද මේ පලහිලව්ව?
අරුණ ගුණරත්න එයාගෙ යූටියුබ් චැනල් එකේ මේ කතාව කියනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්න පැවරෙන්නෙ තිස්ස ලියනසූරියට. ඒ කියන්නෙ ගැටවරයො, සාරවිට වගේ නොමැකෙන ලකුණු තියපු ෆිල්ම් කරපු කෙනාට. ඒත් ලියනසූරියට ෆිල්ම් එක මැදදි ජාතික චිත්‍රපට අංශයෙ ප්‍රධානියා විදිහට පත්වීමක් ලැබෙනවා. එයා ෆිල්ම් එක නවත්තලා රජයේ සේවයට යනවා. ඉතින් වැඩ ඉවර කරන්න සිද්ද වෙන්නෙ ටයි මහත්තයාට. ටයි මහත්තයා ඊට කලින් රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා වෙලා ඉඳලා තියෙනවා. එයා ඒ රස්සාව දාලා තමයි චිත්‍රපටි හදන්න එලියට බහින්නෙ. දෙන්නා යන්නෙ දෙපැත්තට.
කොහොම වුනත් මේ චිත්‍රපටියෙ ටයි මහත්තයාගෙ වැඩක සළකුණු හැමතැනම මතු වෙනවා. ෆිල්ම් එක පටන් ගන්න ටයිට්ල් බෑන්ඩ් එක විතරක්ම වුනත් ඇති වැඩේ ගැන හිතාගන්න. දයා කරුණාරත්න නිර්මාණය කරන මේ නාමාවලිය ඒ කාලෙ හැටියට හිතාගන්නවත් බැරි එකක්. ලූඩො බෝර්ඩ් එකක් උඩ කාටූන් ඇනිමේෂන් එකක් දුවනවා, අරිසෙන් අහුබුදුගෙ සිංදුවක් ඒක යට වාදනය වෙනවා. ඒක ඒ කාලෙ නිර්මාණයක විශ්වාස කරන්න බැරි විදිහෙ වැඩක්.
නැගෙන වැටෙන වැටී නැගෙන
පෙරලෙන ලෝකෙ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ..
ඒ වගේම ෆීල්ම් එකේ රඟපාන අයගෙ නම් වැටෙන්නෙත් ඒ ඒ චරිත තිරයෙ මතුවෙන වෙලාවට. පිලිවෙලක් නැතුව. ඒ හින්ද චිත්‍රපටිය පුරාම නළු නිළියන් හඳුන්වාදීම සිද්ද වෙනවා. සුපුරුදු නාමාවලි බ්ලොක් එකෙන් ගැලවිලා කරන ඒ වැඩේ හරිම නූතන අත්හදාබැලීමක්.
චිත්‍රපටියෙ කතාව එහි නිෂ්පාදකාවගේ. කතාව කිව්වට කතාවෙ ඒ තරම් දෙයක් නෑ. හින්දි සිනමාවෙ ඒ කාලෙ සුපුරුදු කතන්දරයක් වුනු, මරණාසන්නයේදී අම්මා විසින් හෙලි කරන තමන්ගේ වලව්කාර උරුමය හොයාගෙන යන දිළිඳු කෙල්ලෙකුගෙ කතාවක්. හැබැයි ඒ වගේ වට්ටෝරු කතාවක් වුනත් වැඩ්ඩො අතට අහු වුනාම වෙන්න පුළුවන් දේ තමයි කවුද හරි ෆිල්ම් එකේ තියෙන්නෙ.
මේ සුපුරුදු කතාව යටපත් කරන තරමෙ අතුරු කතා චිත්‍රපටිය ඇතුලට එනවා. විශේෂයෙන් ඩී ආර් නානායක්කාර, දොන් සිරිසේන සහ තවත් කෙනෙක් විසින් සමාන්තරව වෙනම නාටකයක් අරගෙන එනවා. වලව්වල උන් ඉඩකඩම්වලට මරා ගන්න අතර ගැමියන් විසින් තුට්ටුවට දෙකට ඕනම අපරාදයක් කරන බව මේ දෙවෙනි පෙලෙන් කියවෙනවා. ටයි මහත්තයා තිරයට ගේන්නෙ පිවිතුරු අහිංසක ගම නෙමෙයි. ඕනම දේකට රැවටෙන, සදාචාරය නමින් පීඩිතයන් පෙළන, කපටි ගැමි ප්‍රජාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ මතුවෙනවා. ඒ වගේම ගැහැණියක් ලිංගිකව අපවාදයට බඳුන් කරමින් තමන් සුචරිතවාදී වෙන්න උත්සාහ කරන ගැමි කතුන්ද නාන තොටවල නිරුවත් වෙනවා. ඉහළ පාංතිකයාට ගැරහීමේ හෝ සිනහවට ලක් කිරීමේ බයිකම වෙනුවට ඉහළ පාංතික නාගරිකයාගේත්, පහළ පාංතික ගැමියාගේත් දොස් එක විදිහට දකින, ඒ දොස් මත උනුන් යැපෙන හැටි කියන දියුණු සමාජ දෘෂ්ටියක් කවුද හරි ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා. ඒක කතාවෙ චරිත අතරින් කවුද හරි කියල ප්‍රශ්න කිරීමක් විතරක් නෙමෙයි. ඒ වෙනුවට ගැමියාද, නාගරිකයාද හරි, යන ප්‍රශ්නයත් ඇතුලෙ ඇහෙනවා.
තිර පිටපත ලියන්නෙ කරුනාරත්න අබේසේකර. ඒත් ටයි මහත්තයාට හුරු වහරත්, දෙපැත්ත කැපෙන දෙබසුත් චිත්‍රපටිය පුරාම විසිරෙනවා. ගැමියා විසින් කලිසම් ඇඳීමට, ඉංග්‍රීසියෙන් ආලය කිරීමට සහ නාගරිකබවට දක්වන ලොල්ල දිගටම ටයි අතින් සමච්චලයට ලක්වෙනවා. අනෙක් පැත්තෙන් නාගරිකයා/ ඉඩම් හිමියා නැවත ගැමි සුන්දර කෙල්ලකට ආලයෙන් බැඳීමේ බොළඳ හැගුම්බර ප්‍රධාන කතාව දිවෙනවා.
චිත්‍රපටියෙ එක තැනක ඉස්කෝලෙක විවිධ ප්‍රසංගයක් එනවා. ඒක මේ කතා පිටපතට කොහෙත්ම අදාල එකක් නෙමෙයි. ඒත් වේදිකාව මත අපූර්ව විදිහට දිගහැරෙන ගීත නාටකයක් කැමරාවේ දිග වෙලාවක් අරන් සටහන් වෙනවා. ඒ චිත්‍රපටි කතාව අතරමැද තවත් අතුරු කතාවක්. අදාල නොවුනත් අපූර්ව ඕෆ්බීට් වැඩක්.
මේ චිත්‍රපටියෙ රිද්මය ඉතා විශේෂ එකක්. ඒක ටයි මහත්තයාගේ වැඩහුරු සංස්කරණය නිසා සිද්ද වෙන්නක්. ඒ වගේම සමහර දර්ශන රූගත කරලා තියෙන ආකාරයත් විස්මිතයි. එක ප්‍රේම ගීයක් ආරම්භයේ ඇසෙන කරත්ත කවියක් මත ඡේදනය වෙන පෙම්වතුන්ගෙ රූප රාමු කිසිසේත් හැට ගනංවල වැඩක් කියලා හිතාගන්න බෑ. ඒ වගේම රොබින් ප්‍රනාන්දු සහ ඩොමී ජයවර්ධන අතර ඓතිහාසික සටන් ජවනිකාවක් මේ චිත්‍රපටය හරහා සිනමාවට එනවා. දාන්න තියෙන වැඩ ඔක්කොම දාලා තියෙනවා.
මීවදයකි ජීවිතේ සිංදුව එඩිට් කරලා තියෙන ගැම්ම ඕන කෙනෙකුට යූටියුබ් එකෙන් වුනත් බලාගන්න පුළුවන්.
චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා වෙන්නෙ රගපාන්න බැරි කරු නානායක්කාර කියලා ප්‍රොඩියුසර්ගෙ හිතවතෙක්. ප්‍රධාන නිළිය මාලිනී. දුෂ්ට ජෝඩුව විදිහට ඉන්නෙ ඩොමී ජයවර්ධන සහ සන්ධ්‍යා කුමාරි. සන්ධ්‍යා කුමාරිගෙයි මාලනීගෙයි පෙනුමෙ ස්වභාවික සමීපත්වය චිත්‍රපටිය පුරාම මතුවෙනවා.
රගපාන්න බැරි නළුවෙක් ප්‍රධාන චරිතයට අරන්, ඒක වැහෙන්නත් කතාවෙ රසය නොමැරෙන්නත් වැඩේ කරලා තියෙන විදිහයි වැඩියෙන් වටින්නෙ. දුර්වල කතාවක්, දුර්වල නළුවෙක්, අතරමැදදි අධ්‍යක්ෂ අතුරුදන් වීමකුත් එක්ක වුනත් සාර්ථක චිත්‍රපටියක් කරන්නෙ කොහොමද කියන එකට මැජිකල් උදාහරණයක් කවුද හරි කියන්නෙ.
චින්තන ධර්මදාස