යෝර්ගොස් ලැන්තිමොස්ගෙ පුවර් තින්ග්ස් බැලුවා. ඒ ගැන සටහනක් තියන්න හිතුනෙ විචාරයකට වඩා එවන් උත්කෘෂ්ට නිර්මාණයකට කරන උපහාරයක් විදිහට. පුවර් තින්ග්ස් කියන්නෙ නූතන මාස්ටර්පීසස් ගණයට වැටෙන චිත්‍රපටයක්. ලැන්තිමොස් විසින් දිගටම කරගෙන ආපු මානව පැවැත්මේ ගැටලුව නැත්නම් අවුල ආකර්ශනීය ලෙස දැකීමේ නිර්මාණ ව්‍යාපෘතියෙ කූටප්‍රාප්තිය කියන්න පුළුවන්. මේ චිත්‍රපටයට ඇකඩමි සම්මාන ලැබීමෙන් ඇකඩමිය ඇගයීමට ලක්වෙනවා මිස චිත්‍රපටයේ ඇගයීමට සම්මාන උවමනා වෙන්නෙ නෑ. ඒ තරමට ඒක පරිපූර්ණයි.
ලැන්තිමොස් තමන්ගේ නිර්මාණය වෙනුවෙන් විෂුවල් පැත්තෙදි ලේයර්ස් ගණනාවක් පාවිච්චි කරනවා. එයාගෙ පිහිටීම හරි අපූර්ව එකක්. එයා තමන්ගේ නිර්මාණය සළකුනු කරන්නෙ යතාර්ථය සහ අධියතාර්ථය අතර තැනක. ඒ වෙනුවෙන් යොර්ගොස් තමන්ගේ පරිච්ඡේද බෙදීම් වගේම තමන්ගේ කලුසුදු සහ වර්ණ භාවිතය යොදාගන්නවා.
ඒක සිහිනයක්මත් නෙමෙයි. ඒත් අත්දකින සාමාන්‍ය එකත් නෙමෙයි. ඒක සුරංගනා කතාවක්. එක්තරා විදිහක ෆ්‍රැන්කන්ස්ටයින් ප්‍රතිනිර්මාණයක්. ඒත් ඒ සියල්ලටම ඉහලින් ඒක කාන්තාවක් බුද්ධත්වය සොයාගෙන යන ගමනක්.
ශිෂ්ට යැයි සම්මත සදාචාරයට අහු නොවෙන මිනිස් ගවේෂණයක් ගැන යොර්ගොස් කියනවා. තමන්වම පරීක්ෂාවට ලක් කරමින්, යක්ෂයින් ලෙස හංවඩුවට පාත්‍රවෙමින්, ජීවිතයෙන් වන්දි ගෙවමින් මේ ආධ්‍යාත්මික ගවේෂණය කරන මිනිසුන් සහ ගැහැණුන් ගැන කතාවක් තමයි පුවර් තින්ග්ස් කියන්නෙ.
සියදිවි නසාගන්නා මවකට ඇගේ කුසෙහි සිටින දරුවාගේ මොළය බද්ධ කිරීමෙන් අලුත් ජීවිතයක් ලබාදෙන විද්‍යාඥයෙක් ඉන්නවා. එයා තමයි ඇගේ දෙවියන්. ඇයට සම්මත සදාචාරයේ දොරගළු හැර දමමින් පූුර්ණ ගවේෂණයකට ඉඩකඩ මේ විද්‍යාඥ තාත්තා ලබා දෙනවා. එහිදී ඇය ලිංගිකත්වය හොයාගෙන වන්දනාවක යනවා.
ඇගේ ලිංගිකත්වය සොයාගෙන යන ගමනෙදි මුනගැහෙන පිරිමින් කුඩුපට්ටම් වෙනවා. ඔවුන් වසඟ වෙන්නෙ ඇගේ ළමාකමට. ඇය සිරුරෙන් තරුණ වුනත් මනසින් ළමයෙක්. ඇය සියල්ල දෙස බලන්නෙ ඒ කුතුහලය පිරුනු ඇස්වලින්. ඇයට සෙක්ස් කියන්නෙ සතුට වෙනුවෙන් කරන සෙල්ලමක්. රමණය ඇඳ උඩ පිස්සුවෙන් උඩ පැනීමක්.
පිරිමින් මුලින් වසඟ වෙන මේ ළමාකම, නැත්නම් ඉනසන්ස් එක පස්සෙ ඔවුන්ගේ පිරිමිකම අභියෝගයට ලක්කරනවා. අවසාන අර්ථයේදී ඇය තමන්ගේ දේපොලක් යන ආදරයේ හැගීමෙන් පෙලෙන පිරිමි වර්නාවලියක් යොර්ගොස් ඉදිරිපත් කරනවා. එක පිරිමියෙක් ඇයට ලෝකය පෙන්නන්න ඉදිරිපත් වෙනවා. ඒ පිරිමියා අවසන් වෙන්නෙ මහමග පිස්සෙක් වෙලා. ඇගේ නිදහස දරාගන්න කිසිම පිරිමියෙකුට බැරි වෙනවා.
ඇය ගණිකාවක් වෙනවා. සෙක්ස් කියන එක මහා දෙයක් නොවන මනසකින් ඇය ලිංගිකත්වයේ ගැඹුරුම, පිටුවහල් කරන ලද තැන් කරාත් ගමන් කරනවා. වික්ටිමයිස් මනසක් නැති ඇය හැම ලිංගික මොහොතකින්ම තවත් ශක්තිමත් වෙනවා. දෙපා අතර රැඳුනු සතුටෙහි කුතුහලය හඹායාම උපරිමයෙන් ආස්වාද කළ පසු ඇය දෙකන් අතර රැඳුනු ඉඩෙහි ආස්වාදය හොයන්න පෙළඹෙනවා. වඩාත් ලිංගික ඉන්ද්‍රිය මොළය බව ඇය තේරුම් ගන්නවා. ඇය හිතන්න ගන්නවා.
මහලු දාර්ශනිකයන්, ලෝකය අර්ථ විරහිත යැයි වටහා ගත් බුද්ධිමතුන්, සමාජවාදීන් සියල්ල පසුකරමින් ඇය ඇගේ ආධ්‍යාත්මය හොයාගෙන යනවා. ඇයට ආදරය මුනගැහෙනවා. ඒ තමන්ට විපරීත උපතක් ලබාදුන්, කොන්දේසි විරහිත ජීවිතයක් ලබාදුන් තාත්තා ළග. ජීවිතය පර්යේෂණයට දාලා අවබෝධයට පත්වෙන්න ඇයට ඉගැන්වුයේ ඒ විද්‍යාඥ තාත්තා.
හැම කැපුමක්ම මහා කරුණාවෙන් කළ දෙයක් විය යුතුයි..
ශල්‍ය විශේෂඥයෙක් වුනු ඔහුගේ ධර්මය වන්නේ එයයි. සිරුරක පමණක් නොව හිතක වුනත් හැම කැපුමක්ම, රිදුමක්ම මහා කරුණාවෙන්ම කළ දෙයක් වෙන්න ඕන. ඒ තමයි ආදරයේ පදනම. ඒක හැමතිස්සෙම තමා දන්නා ලෝකය ඉක්මවා යන්නක්. තමන් බියවනසුලු විනාශය කරා යන ගමනක්. මහා සමාජය බියපත් ඒ පැවැත්මේ ගැඹුර හොයාගෙන යන ගමනෙදි තමයි කෙනෙකුට තමන්ව මුනගැහෙන්නෙ.
ඇගේ ලෝකයේ පිරිමින් දෙන්නෙක් විතරක් නොමැරී ඉතිරි වෙනවා. ඒ ඇයට කිසිදු ආකාරයක සීමාවක් බාධාවක් පනවන්නේ නැති, කුතුහලයෙන් පුදුමයෙන් ඈ දෙස බලා සිටින තරුණ විද්‍යාඥයා. අනෙකා තමන්ව නිර්මාණය කොට මිය යන තාත්තා. නිදහස් ගැහැණියකට පැවැතිය හැක්කේ මේ පිරිමි අවකාශයන් අතර පමණක් බව යොර්ගොස් කියනවා.
මෙතනදි එමා ස්ටෝන් මේ දර්ශනය තමන්ගේ ශරීර කූඩුව ඇතුලට අරගෙන නරඹන අයගේ ඇටකටු කුඩුවෙන තරමෙ රංගනයක් ඉදිරිපත් කරනවා. ඇය උමතුවෙන් වගේ සෙක්ස් කරනවා. නිරුවත පිළිබඳ සියලු සදාචාර මිනුම් දඩු උනා දැමූ ගැහැණියක් නිරූපණය කිරීම ගැහැණියකට ලේසි වැඩක් නෙමෙයි. මොකද එහෙම ගැහැණියක් කිසි දවසක පැවතී නැති නිසා. නමුත් එමා අපිට ඒ ගැහැණිය මුණගස්වනවා. ඇගේ ශරීරයෙන්, ඇස්වලින්, වචනවලින්, හුස්මෙන් පවා අපිට ඒ පැවැත්ම දනවනවා.
චිත්‍රපටයක සුවිශේෂම කාරණය වන්නේ ඒ මගින් අපි මෙතෙක් නොදුටු විරූ යමක් අපිට නිර්මාණය කොට පෙන්වනවාද කියන එකයි. මෙතෙක් නොදුටු මනුෂ්‍ය නිමේෂයන්, මෙතෙක් නොදුටු සංස්කෘතික අවකාශයන්, මෙතෙක් නොදුටු ස්වභාවික අවකාශයන් ඇතුලෙ අපිව ජීවත් කරනවාද කියන එකයි. සිනමාවට අලුතෙන් යමක් එකතු වෙනවා කියන්නෙ එහෙමයි. යොර්ගොස් මෙතනදි මේ සියල්ල එක චිත්‍රපටියක් ඇතුලෙ කරනවා.
බෞද්ධයො අහලා තියෙනවා ගැහැණියක් බුද්ධත්වයට පත්වෙන්නෙ නෑ කියල කතාවක්. ගැහැණියක් බුදු කෙනෙක් බිහිකරනවා විතරයි. යොර්ගොස්ගෙ ගැහැණිය ඒ බිහිවෙන්න යන දරුවාගේ මොළය තමන්ට බද්ධ කරගෙන ලෝකය දකින බුදුවරියක්. ඇය රුදුරු මුනිවරියක්. ගැහැණියකගේ අවබෝධයේ මාර්ගය වැටී ඇත්තේ ඇගේ දෙකකුල් අතරින් බව යොර්ගොස් මතක් කරනවා. මෙතෙක් ඇයගේ ඒ ඉඩ අයිති කරගෙන ඉන්නෙ පිරිමියෙක්.
මතක තියාගන්න ඕන කාරණය වෙන්නෙ යොර්ගොස් ලැන්තිමොස් කියන්නෙ ග්‍රීකයෙක්.