රොහාන් පෙරේරාගේ අවසන් කටයුතු අද සිද්ද වුනා. රොහානියානු බලපෑමට ලක්වුනු බොහොමයක් යාලුවො එතනට ආවා. ඒ ගොඩක් අය රොහාන් කියන්නෙ තමන්ගේ දේශපාලන චින්තනයේ දිශාව සළකුණු කළ ‘පියා’ හැටියෙන් බාරගත්තා. ඒ අර්ථයෙන් රොහාන්ට ලොකු දරු පරම්පරාවක් ඉන්නවා.

රොහාන් ගැන හොඳ වගේම ගොඩක් අය නරකත් කිව්වා. සමහර ඉතා කිට්ටුවන්තයො මළගෙදර පවා නොඑන තරමට රොහාන් එක්ක වෛරයෙන් හිටියා. මං රොහාන්ව ඇසුරු කළත් ඒ රොහානියානු ‘කල්ට්’ එකේ සාමාජිකයෙක් වුනේ නෑ. හැබැයි මට ඒ චරිතය ගැන තියෙන්නෙ ගෞරවයක්.

ඒ ගෞරවය තියෙන්නෙ රොහාන් හොඳ මිනිහෙක් හින්ද නෙමෙයි. රොහාන් කියන්නෙ අතිශය භයානක මිනිහෙක් කියන එකයි මගේ තේරුම් ගැනීම. මං කියවාගන්නා ආකාරයට රොහාන් කියන්නෙ ‘මනෝ ලිංගික ත්‍රස්තවාදියෙක්’.

රොහාන් කරමින් හිටියෙ ගරිල්ලා මනෝ ලිංගික කැරැල්ලක්. එයා එක එක පලාත්වල ඒ කැරැල්ල සංවිධානය කළා. එක එක වේශයන්ගෙන් ආවා. සමහරුන්ට රොහාන්ව මුනගැහෙන්නෙ කුරුල්ලො අධ්‍යනය කරද්දි. තව සමහරුන්ට මාර්ෂල් ආර්ට්වලදි. තව අයට මනෝ විශ්ලේෂණයෙදි. පියානෝ පංති, සිනමා අධ්‍යයන ආදී තවත් නොයෙක් ස්වරූපයන්ගෙන් රොහාන් ආවේශය ලැබූ අය ඉන්නවා.

මේ කවර විෂයක් මතුපිටින් තිබුණත් රොහාන් කරන්නෙ එකම දෙයක්. ඒ ස්ත්‍රිය ආයුධයක් විදිහට පාවිච්චි කරන ලිංගික කැරැල්ලක්. ස්ත්‍රිය කියන්නෙ රොහාන්ගේ විෂය විදිහට ගොඩක් අය තේරුම් අරගෙන තිබුන. ඒ වගේම එහෙම තේරුම් ගත්ත ගොඩක් අයට වැරදුනා. ස්ත්‍රිය කියන්නෙ රොහාන්ගෙ ආයුධය.

රොහාන් ස්ත්‍රිය පිරිමියාගේ දාර්ශනික සීමාවෙන් එලියෙ පවතින්නක් හැටියෙන් දේශනා කළා. ශිෂ්ටත්වයෙන් එලියෙ පවතින විදිහට විස්තර කළා. ස්ත්‍රිය විසංයෝජනය කිරීිමට දෙයක් නැති බවත් ස්ත්‍රිය කියන්නෙම විසංයෝජනය බවත් කිව්වා. මේ කාරණා මේ විදිහටම කෙනෙකුට ඕෂෝ දේශනාවලදිත් මුනගැහෙන්න පුළුවන්.

රොහාන් කියන්නෙ කල්ට් වීරයෙක්. එහෙම කියන්නෙ ඇයි කියල තේරුම් ගන්න ඕන කෙනෙකුට පුළුවන් නෙට්ෆ්ලික්ස් එකේ ‘how to be a cult leader’ සීරීස් එක බලන්න. ඒකෙ තියෙන සියලු ලක්ෂණ ‍රොහාන්ගෙ භාවිතාවෙ තිබුන.

රොහාන් ස්ත්‍රීවාදී කතිකාව ඇතුලෙන් ස්ත්‍රිය දේවත්වයක් දක්වා අරගෙන ගියා. තමන්ගේ කවයන්ට ඇතුල්වෙන සිංහල බෞද්ධ කතිකාව ඇතුලෙ ලිංගිකව බෙලහීන කළ ගැහැණු- පිරිමි සම්බන්ධතා අතරට බල දේශපාලනය ඇතුල් කළා. තමන්ගේ ස්ත්‍රීත්වය යටපත් කරගෙන සිටින්නේ තමන්ගේ දුබල පෙම්වතා/සැමියා ලෙස අර්ථ ගැන්නුවා. පෙම්වතිය/බිරිඳ යටපත් කරගෙන සිටීම ගැන පිරිමියාව/පෙම්වතාව ගිල්ටියකින් පිරෙව්වා. ආදරයේ, අනුරාගයේ අතාර්කික සම්බන්ධතා ස්වරූපයන් දේශපාලනිකව, තාර්කිකව, බිහිසුණුව ප්‍රශ්න කරන්න ගත්තා.

මේ හින්ද ආදර යුද්ධ ඇතිවුනා. රොහාන් හමුවට ආපු කිසිම යුවළක් නැවත යුවළක් හැටියෙන් පිටවෙලා ගියේ නෑ. පෙම්වතිය ඍජුවම පෙම්වතාට චෝදනා කරන, පෙම්වතාව විනිශ්චය කරන ටොක්සික් බලයක් බවට පරිවර්තනය වුනා. ආදරය තුල අනෙකා විනිශ්චය ‍නොකිරීමේ ශික්ෂාව රොහාන් දර්ශනවාදය ඇතුලෙන් ඇවිත් බිඳහෙලුවා.

ස්ත්‍රිය යටපත් කරගත් පුරුෂ කතිකාවකට එරෙහිව නිරන්තර අරගලයක යෙදෙන මනෝභාවයක් ඇතුලෙ තමන්ගේ ශිෂ්‍යයන් හිරකරද්දි එවන් පුරුෂ කතිකාවක් ඇත්නම් එය පැවතීමේ ස්ත්‍රී උවමනාව හෝ ආශාව කියන කාරණය රොහාන් උවමනාවෙන් ‍නොතකා හැරියා. නැත්නම් රෝගයක් හැටියෙන් සළකුනු කළා.

රොහාන්ගේ තිබුනෙ ආගමික ස්වරූපයක්. භෞතිකවාදය දර්ශනයක් හැටියෙන් දේශනා කළත් රොහාන් ‘නොන්-සෙක්ෂුවල්’ ආගමික නායකයෙක් හැටියෙන් පෙනී හිටියා. එයා පිරිමිකම වෙනුවට ආභරණ පැළඳීමෙන්, ගැහැණු කතා විලාසයන් ගැනීමෙන් ස්ත්‍රීත්වයක් ආරෝපණය කරගත්තා. ‘බුදුවරයන් යනු තමන් තුලටම නැඹුරු වුනු නොන්-සෙක්ෂුවල් ‍සයිකෝසිය පුද්ගලයන් බවත් ඒ අය වටා නියුරෝසියානුවන් රොක්වීම සාමාන්‍ය බවත් රොහාන් මටම කියල තියෙනවා. ලිංගික නොවීම හරහා ස්ත්‍රීන්ට රොහාන්ව වඩා සමීපව දැනුනා.

මේක මං දකින්නෙ මනෝ ලිංගික ත්‍රස්තවාදයක් විදිහට. ඒත් මං ඒකට කැමතියි. පිළිගත් සාම්ප්‍රදායික පවුල් ආකෘතිය බිඳින ක්ෂුද්‍ර විප්ලවයක් රොහාන් තමන්ගේ ඉගැන්වීම් ඇතුලෙන් කරගෙන ගියා. ඒ ලිංගික පහරදීමේ සහ ප්‍රචන්ඩ ලෙස කඩා බිඳ දැමීමේ ස්වරූපයට මං එකග නොවුනත් ඒක ලංකාවෙ මෙතෙක් නොවුනු දෙයක් විදිහට මං අගය කරනවා.

මෙතෙක් ලිංගිකත්වය යටපත් කිරීමේ වරද පැවරුනේ දෙවියන්ටයි. රොහාන් ඒ වරද දෙවියන්ගෙන් උදුරගෙන පිරිමියා මත පැටෙව්වා. විනිශ්චය කරන දෙවියන් බවට ස්ත්‍රිය පත් කළා. ඒ නිසා පැවැති සම්බන්ධතා ස්වරූපයන් බිඳ වැටුනා. පීඩකයෙක් සහ පීඩිතයෙක් අලුතෙන් නිර්මාණය වුනා.

ගැහැණිය දර්ශනයට ඔබ්බෙන් පවතිනවා කියල කිව්වට රොහාන් එයාගෙ කතිකාව ඇතුලෙ කරන්නෙ ගැහැණිය දාර්ශනික කරන එකමයි. ඒ දාර්ශනික කිරීම හරහා ගැහැණිය සතු මායාවේ, වසඟයේ සහ අනුරාගයේ බලය රොහානියානු කතිකාවෙන් අහිමි කරනවා. ඇය පිරිමියෙක් බවට පත්කරනවා. පිරිමියා නශ්ටකාමියෙක් බවට පත් කරනවා. වික්ටෝරියානු සදාචාරය සහ එයින් නිර්මාණය වුනු සිංහල බෞද්ධ සදාචාරය තුල සිද්ධ වුනු මහේක්ෂ ක්‍රියාව රොහාන් එයාගෙ කල්ට් එකේ සාමාජිකයන් අතර ප්‍රතිවිරුද්ධ අතට කළා.

මේ සියල්ල කලේ රොහානියානු විරසකබවේ දේශපාලනය ඇතුලෙයි. මං හිතන්නෙ රොහාන්ට වැරදුනු තැන වෙන්නෙත් ඒක. රොහාන් නිතරම තමන්‍ගේ පිරිස අතර බෙදා වෙන් කොට පාලනය කිරීම කරගෙන ගියා. සියලු මිත්‍රත්වයන්, සම්බන්ධයන් ප්‍රශ්න කරන්නත්, ඒවා විසංයෝජනය කරන්නත් බල කළා. ඒ ඇතුලෙ සම්බන්ධතා අර්ථ විරහිත හෝ සතුරු හැටියෙන් අර්ථ ගැන්වුනා. සම්බන්ධතා ගොඩනැගීම වෙනුවට සම්බන්ධතා බිඳ හෙලීම මූලික කරගත්තා. පාලම් ගොඩනැගීම වෙනුවට තාප්ප බැඳීම දර්ශනයේ කාර්යය කරගත්තා.

රොහාන්ගේ පංති යන යාලුවෙක් වෙනත් යාලුවෙක් මගදී මුනගැහුනොත් මනුස්සකමට සිනාවීම පවා ප්‍රතික්ෂේප කළා. සැබවින් පරීක්ෂාවට ලක් නොකල එවන් ඇසුරන් පවත්වාගෙන යාම වරදක් හැටියෙන් රොහාන් ඉගැන්නුවා.

මේ විරසක බවේ දේශපාලනය අදත් රොහානියානු දේශපාලන ධාරාව ඇතුලෙ දකින්න පුළුවන්. ඒ අය සම්මුතියකට හෝ එකගතාවයකට එනවාට වඩා වෙන්ව යාම, ප්‍රශ්න කිරීම, බැණ වැදීම, ප්‍රතික්ෂේප කිරීම ශික්ෂාවන් හැටියට පිළිපදිනවා. මේක සමහර විට වාම දේශපාලනයේ උරුමයක් වෙන්නත් පුළුවන්.

මේ කොහොම වුනත් රොහාන් කියන්නෙ සමාජය ඇතුලෙ කල්ට් විදිහට මනෝ ලිංගික පර්යේෂණයක් පවත්වාගෙන ගිය කෙනෙක්. එයින් විශාල වශයෙන් සම්මත සදාචාරවාදී පවුලට හානි කරපු කෙනෙක්. මගේ විවේචනය පවතින්නෙ රොහාන් තමන්ගේ ව්‍යාපාරය ඇතුලෙ උත්සාහ කලේ ලිංගිකත්වය නිදහස් කිරීමට නෙමෙයි කියන එකටයි. ස්ත්‍රිය ගැන කොයිතරම් කතා කළත් රොහාන් ස්ත්‍රියගේ නිදහස් ලිංගිකත්වය ධනාත්මක විදිහට බාරගන්න සූදානම් වුනේ නෑ. ඒක වෙනත් ආකාරයකට දේශපාලනය බවට හරවා විලංගු දැම්මා. සෙක්ස් පොසිටිව් පැත්තකට නෙමෙයි රොහානියානු දර්ශනය ගමන් කලේ. ඒකෙ සෙක්ස් ගිල්ට් එකම වෙනත් ආකාරයකින් පාවිච්චි කරමින් බලය පිළිබඳ පර්යේෂණයක් විදිහටයි ඒක සිද්ද වුනේ.

මං හිතන්නෙ නෑ ඒක නිරෝගී දෙයක් කියල. නමුත් රොහාන් කියන්නෙ සුවිශේෂී දැනීමක් තිබුනු තනියම ක්ෂුද්‍ර පවුල් ජීවිත ඇතුලෙන් පුපුරුවා හරිමින් සමාජ විප්ලවයක් කරපු අමුතු මනුස්සයෙක් කියන එක බැහැර කරන්න බෑ.