ජේතවනය කියන්නෙ නිකම්ම විහාරයක් නෙමෙයි. ඒක හැදෙන්නෙ තේරවාදී භික්ෂූන්ගේ ලොකුම තැන වුණ මහා විහාරය විනාශ කරලා. එක විදිහකට ඒක අපේ සංග සාසනේ කියන එකේ සදාතනික බල අරගලය ගැන හොඳ ආර්ට් පීස් එකක්.
අනිත් පැත්තට කටවහරෙ අපි ජේතවනය කියන්නෙ විශාල වණයකට, තුවාලෙකට. මාර ජේතවනයක්නෙ කියල යෙදෙන්නෙ මාර වාතයක් කියන අදහසින්. දැන් හෙළ උරුමයෙ හාදයො ටික ජේතවනය වෙනුවෙන් පෙනී ඉන්න කියල පොලිස්පතිට ලියුම් ලිවීමේ ජෝක් එක හරහා මේ විහාරෙ හරි ආර්ට් පීස් එක හරි අර තුවාලය කියන තේරුමට තල්ලූ කරගෙන යනවා.
මුවිඳු බිනෝයි මේ ඩිජිටල් කොලාජ් කියන ආර්ට් ප‍්‍රවේශය ලංකාවට අඳුන්නලා දෙන්න වැඩකරපු කීපදෙනාගෙන් කෙනෙක්. මුවිඳුගෙ වැඩවල තිබුන විශේෂත්වය වෙන්නෙ ඒවා අපේ සමාජ සංස්කෘතික දේශපාලනික සංසිද්ධි ගැන කිසිම විචාරයකට හෝ විනිශ්චයකට නොගිහින් හුදු ප‍්‍රකෘති නිරීක්ෂණයක් විදිහට ඉදිරිපත් වෙන එක. කොලාජ් කියන්නෙම තැනින් තැනින් එකතු කරගත්ත කෑලි වලින් අමුනල හදන ආර්ට් එකක් කියන අදහස. එතකොට ඒ එකතු කිරීම් නිකම්ම කොල කෑලි හෝ රෙදි කෑලි වෙනවට වඩා මුවිඳු එයාගෙ ආර්ට් එක ඇතුලෙන් කොලාජ්වලට වෙන ගැඹුරු අදහසක් ඇඞ් කරනවා. ඒවා ඇත්තටම කල්චර් කොලාජ්. එයා අමුණන්නෙ සංස්කෘතියෙ එක එක කෑලි. එකම මොහොතක එක එක තැන විසිරිලා තියෙන ඒ සංස්කෘතික කෑලි එක චිත‍්‍රයක් උඩට දැම්මම ඒකට වෙනම තේරුමක් හැදෙනවා. අපි පිනා යන්නත් හෙළ උරුමයට මළ පනින්නත් හේතු වෙන්නෙ මේ තුන්වෙනි තේරුම. නැත්තං මීතොටමුල්ල මෙහේ තිබුන, ජේතවනය අනුරාදපුරේ තිබුන. ඒත් මුවිඳු ජේතවනය උඩට මීතොටමුල්ලෙ කුණුගොඩ සමපාත කිරීම හරහා මේ සංස්කෘතික කලාප දෙක කොලාජ් කළා. ඇත්තටම කිව්වොත් කුණු ප‍්‍රශ්නය ආගමික ප‍්‍රශ්නයක්, ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්, ජාතික ප‍්‍රශ්නයක් කියන තැනට සංවාදය ලොකු කළා.
මේ කොලාජ් එක ගැන කරන හැම දේශපාලන පැත්තට බර සංවාදයකින්ම වෙන්නෙ ඒකෙ තියෙන ආර්ට් එක හෑල්ලූ වෙන එකයි. ඒක ඒ චිත‍්‍රය දුටු සැනින් හිතේ ඇතිවෙන ක්ෂනික අවබෝදය හෝ රසය කියන තැනින් ගලවලා බුද්දාගම හෝ ඊට ප‍්‍රතිවිරුද්දව ආගමික විරෝදය කියන තැනට ගෙනියන එකෙන් ආර්ට් එක මැරෙනවා. එතනින් එහාට ඒ ආර්ට් එක වැඩ කරන්නෙ මේ ප‍්‍රතිවිරුද්ද අන්තයන් දෙකේ තේරුම් අතරෙ විතරයි. ඒකට අදාල බහුවිද අර්ත රස නිරූපන හැකියාව ඒකෙන් අවලංගු වෙනවා. බෝලෙ වැටෙන්නෙ වෙන පිට්ටනියකට. මොනවා කරන්නද?
අපි හැම තැනම දාගැබ් හදහද ගිය රටක්. දැන් හන්දියක් හන්දියක් ගානෙ බුදු පිළිම හිටවනවා වගේම ඒ කාලෙ රජෙක් රජෙක් ගානෙ දාගැබ් හැදුවා. ඒක අපේ උරුමය. ඒ දාගැබ් වගේම අපි දැන් තැනින් තැන කුණු කඳු ගොඩගහනවා. ඒ කුණු කඳු නිසා සියගනං ජනතාව එකවර නිවන් යනවා. ඒක බලන් ඉඳලා තවත් ජනතාව නිවන් අවබෝද කරගන්නවා. මේ වෙද්දි වල්වැදී තියෙන ජේතවනයට වඩා මීතොටමුල්ල කුණු දාගැබ සමාජය ගඳෙන් අවදිකරනවා.
එකක් පරයා එකක් නැගෙන උස දාගැබ් වගේම එකකට පස්සෙ එකක් නැගෙන කුණු කඳු කියන්නෙ අපේ ගිල්ටිය නෙමෙයිද. අපි පව් වලින් අත්මිදෙන්න දාගැබ් හදනවා වගේම කුණු වලින් අත්මිදෙන්න කුණුකඳු හදනවා.
මං තේරුම් ගත්ත බුද්දාගම පැත්තෙන් ගත්තත් කුණු කියන්නෙ දහමට නිගාවක් නෙමෙයි. ඒ වෙනුවට කුණු තමයි දහම. ක්ලේශය. තෘෂ්ණාව. ඒක ගැන තමයි බුදුන් බණ කියන්නෙ. බුද්ද ශරීරය වුනත් කුණු ගොඩක් කියලයි බුදුන් උපමා කරන්නෙ. එතකොට මීතොටමුල්ල කුණු කන්ද ජේතවන විහාරය උඩින් තැබීමම බුදු දහම නැවත අවධාරණය කිරීමක් වෙනවා. කිසි පණක් නැතුව ඔහේ අවතැන් වෙලා හිටපු ජේතවනයට මේ චිත‍්‍රය හරහා ප‍්‍රබල ආධ්‍යාත්මික පණිවුඩයක් ඇතුල් වෙනවා. මේ තෘෂ්නා කන්ද, මේ කෙලෙස් කන්ද පිරියම් කරලා වහගෙන ඉන්නෙ නැතුව සත්‍යය අවබෝද කරගන්න කොලාජ් එක බණක් කියනවා.
මේ චිත‍්‍රය බුදුන්ගේ දහමට නිගාවක් වෙන්නෙ කොහොමද කියල හෙළ උරුමය පැහැදිලි කරන්න ඕන. බුදුන් වදාල ධර්මය, සිංහල බුද්දාගම කියල ලේබල් කරගෙන ඒ දහමෙ සතු සියලූ ආධ්‍යාත්මික ගුණයන් එහෙම්පිටින්ම වල දාපු, පන්සලේ හිටපු භික්ෂුන් පාර්ලිමේන්තුවට යවපු, අන්තිමට මිනීමරන එක පවා බුදුන්ගේ නමින් ලෙජිට් කරපු, හෙළ උරුමය, බොදු බල සේනා, රාවනා බලය වගේ සංවිදානවලට තව රකින්න ඉතුරු වෙලා තියෙන බුදුදහමෙ ගරුත්වය මොකක්ද?
ඇත්තටම නං මේ වැඩෙන් වෙන්නෙ මේ ආර්ට් පීස් එකට වැඩි පබ්ලිසිටියක් හම්බුවෙන එක. ඒක වැඩි පිරිසක් විසින් නරඹන එක. විඳන එක සහ ඒ මත පහරන එක. ඒක හොඳ දෙයක්. මුවිඳුගෙ ආර්ට් එකට කෙළවුනාට කරන්න දෙයක් නෑ. මේ තමයි අපි ආර්ට් විඳින විදිහ.
ප.ලි. ජේතවනය කුණු වලින් පුරවමු කියල මේ ආර්ට් එකේ අදහස මැටිම ලිටරල් තැනකින් ගත්තත් ඒකෙන් කියන කතාව ලොකුයි. ජේතවනය වගේ විහාර ඉස්සරහ යන තැනක අරන් යන්න කුසල් කඳු ගහන අයගෙම කසල තමයි මීතොටමුල්ලෙ නාය යන්නෙත්. ඒ කුසල් කන්ද ඉස්සරහ තමන් පුරවන කුණු කන්ද තියලා පෙන්නන එකම ලංකාවෙ බොරු උපාසකකමට හොඳ කම්මුල් පාරක්, ඇහැරෙන්න. සිහියට එළඹෙන්න.
මේ චිත‍්‍රයෙ අර්තයන් අනන්තයි. ඒ හින්දම ලියල ඉවර කරන්න අමාරුයි. ඒත් ජේතවනය වගේ මහා දාගැබ් කියන්නෙ අපේ උරුමයක අබිමානය වගේ දෙයක් නම් මීතොටමුල්ල කුණුකන්ද කියන්නෙත් ඒ තරමටම උස අපේ අවමානයේ සළකුණක් නෙමෙයිද. මේ චිත‍්‍රයට විරුද්ද පැමිනිල්ල කියන්නෙත් අපි ආගමික අතින් ඉතියෝපියාවත් එක්ක කොච්චර ළගට ඇවිත්ද කියන එක යලි මතක් කිරීමක් නෙමෙයිද.
චින්තන ධර්මදාස