Author: admin

  • SEXT

    SEXT

    ඒක වෙහෙසකර රාත්‍රියක්. ඕනවට වඩා මහන්සි කිරීම නිසා මගේ ඔලුව කැරලි ගහමින් තිබුන. ඒත් රිසර්ච් එකට ඩෙඩ්ලයින් තියෙනවා. ඒ ආතතියට මං එක විදිහකින් ආසයි. මාව වහලෙක් වගේ පාවිච්චි කරන දැනුම් පද්ධතිය.. ඒකෙන් තොරව මං කිසිවක් නෙමෙයි.

    ඊට පස්සෙ මං වොෂ් එකක් දාගන්නවා. හෙමින් ඇහෙන ජෑස් බීට් එකක්. අයිස්කැට තුනක් එක්ක විස්කි වීදුරුවක්. ජනේලෙ ළඟ ඉඳන් බලද්දි පහල පාරෙ යන ලයිට් එලි. තැන තැන නැවතුනු අඳුරු වාහන ඇතුලෙ රමණය කරන මිනිස්සු. ලයිට් නිවෙන, පත්තුවෙන ගෙවල්. ඒ හැමගෙදරක් ඇතුලෙම එක සංවාසයක් හෝ ස්වයං වින්දනයක් බැගින් ගණන් කළොත් මේ රාත්‍රිය කොයිතරම් රමණීය ද?

    ඒ මොහොත අනුරාගී එකක්. හෙම්බත් ඇඟක් එක්ක හෙළුවෙන් ජනේලෙ ළඟ විස්කි බොන්න මං ඇබ්බැහියි.

    විස්කි වීදුරුවකින් පස්සෙ කිසි හේතුවක් නැතුවත් මගේ ශිෂ්නය ප්‍රාණවත් වෙනවා. මට අන්සෙන්සර්ඩ් හැඟීම් පහලවෙනවා. දවස පුරාම වාරණය කරපු ජීවිතයට වඩා වෙනස් නිදහස් වගකීම් රහිත ජීවිතයක් රෑට ඇහැරෙන්න ගන්නවා.

    මං උදීට ටෙක්ස්ට් කළා. ඒක කෙල්ලෙකුට ටෙක්ස්ට් කරන්න නරකම වෙලාවක්.

    hi..
    උදී කියන්නෙ ඔෆිස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක්. තනතුරේ හැටියට මං එයාගෙ බොස්. එයාගෙ තිබුන මං ගැන කැමැත්තක් වගේම ගෞරවයක්. මගේ තිබුන උදී ගැන නොසන්සිඳෙන ආශාවක්. එයාගෙ පුංචි ශරීරය, ඊට නොගැපෙන තරමට විශාල පියයුරු, වැඩියෙන්ම එයාගෙ කකුල්. ඒ කකුල්වලට පුළුවන් ඕන පිරිමියෙක් පිස්සු වට්ටන්න. මං වගේ වයසට ගිය පිරිමියෙක්ව බොහොම ලේසියෙන් ආතුර කරන්න.

    hiiiiii..
    එයා මාව පිළිගත්තෙ ඕනවටත් වඩා උණුසුමෙන්. මං ඉන්නෙ හෙළුවෙන්. එයා ඉන්නෙ කොහොමද කියල දැනගන්න මට ඕන වුනා.

    hey, what are you doing?
    මං අහන්න ඕන දේ වටෙන් ඇහුවා.
    um.. right now I am doing my toes .. එයා හිනාවක් එක්ක මට කිව්වා.
    යට ඇඳුමක් විතරක් ඇඳගෙන ඇඳක් උඩ කකුලක් තියාගෙන ඉඳගෙන ඉන්න, ඒ සුන්දර නියපොතු වර්ණ කරන උදී මට මැවිලා පෙනුනා.

    she is crazy beautiful … මං මවපු රූපෙන්ම මාව මත් වුනා.

    are you wearing a thong?
    මං අවංකව මගේ ප්‍රශ්නෙ ඇහුවා.

    එකපාරට දිග නිහැඬියාවක්. මට එයාගෙ තිගැස්ම දැණුනා. ඒ තිගැස්ම තමයි මගේ ආශාව. මං දන්නවා ඒ සීතල හැඟීම එයාගෙ යෝනිය දක්වාම යනවා කියල. මොහොතකට මං ඒ කකුල් මැද්දෙන් අතදාලා එයාව ඇල්ලුවා වගේ. එයාට හිතාගන්න බැරි මොහොතක්. ශෘංගාරයෙන් අනූන කැළඹීමක්. ආශා කුණාටුවක් මැද්දෙ එයා නොසැලී ඉන්නෙ කොහොමද?

    is it black?
    මං ආයිමත් ඇහුවා.
    එයා කිසි උත්තරයක් දුන්නෙ නෑ. එයා ඒ හිස්තැන තියාගෙන හිටියා.

    එයාට තිබුන මට බනින්න. නැත්තං මාව පිටුවහල් කරන්න. ඒත් එයා ඒ හිස්තැන දිගටම පවත්වාගෙන ගියා. මට ඕනම දෙයක් එයා ගැන හිතන්න පුළුවන් හිස්තැනක් ඒක. මං දන්න අවලංම විදිහෙන් එයාව පරිකල්පනය කළා.

    එයාගෙ තිගැස්මට නියපොතුවල තවරමින් තිබුනු පාට පිට පනින්න ඇති. නොදැනුවත්වම වුනත් එයාට ඇඳන් ඉන්න යට ඇඳුම දිහා බැලෙන්න ඇති. මොහොතකට ඒ ගැන කැමැත්තෙන් උත්තර දෙනවද අකමැත්තෙන් ප්‍රතික්‍ෂේප කරනවද කියන දෙගිඩියාවෙන් පෙලෙන්න ඇති.

    තාමත් එයා මං ගැන තීරණයක් අරගෙන නෑ. මං මගේ ශිෂ්නය ඉහල පහල කරන ගමන් හිතුවා. ස්ක්‍රීන් එකේ හිස්තැන මාව ඕනවටත් වඩා ප්‍රාණවත් කළා.

    සංගීතයත් එක්ක ජනේලෙන් එන සීතල හුළඟ මගේ තට්ටම් පවා කුල්මත් කළා.
    එයාට තියෙනවා ලොකු පරාසයක් විඳින්න. කිසි දවසක බලාපොරොත්තු නොවුනු විදිහෙ අසංවර පිරිමි එළඹුමකින් ඇහැරෙන්න. ඊට යටත් වෙන්න. මට ඉඩදෙන්න.

    මගේ මේ මා නොවන හැඟීම් පවතින අතත්‍ය මොහොතේ ඒ මා නොවන මා එක්ක ශෘංගාරයෙන් වෙලෙන්න. එයාට පුළුවන්ද පැවැත්මේ මේ පළුද්ද රස විඳින්න?

    ලෝකෙ කිසිම වෙලාවක ඒ උත්කර්ෂවත් හැඟීම් කොන්දේසි විරහිතව බාරගැනීම සිද්ද වෙන්නෙ නෑ. ඒ හින්දම හැම කෙනෙක්ම විඳිමින් ඉන්නෙ තරමක් හෝ පිළුනු හැඟීම්. කලින් ගිවිසගත් සම්මත කරන ලද හැඟීම්. එහෙම නොවන වනචාරී පැවැත්මක සෞන්දර්ය විඳින්න තරම් අපි නිදහස් නෑ.

    උදී ඒ හිස්තැන පිරෙව්වෙ නෑ. ඒක හිස්තැනක් විදිහටම දිගටම පැවතීමෙන් තේරුමක් නැති වෙලා ගියා. මං මගේ ප්‍රාණවත් ශිෂ්නය අප්‍රානිකව යනතෙක් අල්ලගෙන බලන් හිටියා. අනුරාගය අපතේ ගියා කියල මට හිතුන.

    පහුවෙනිදා මං ඇහැරුනෙ ගංගා එවපු මැසේජ් එකෙන්. ගංගා කියන්නෙ මගේ පෙම්වතිය. මේ අපි තරහ වෙලා ගතවෙන දෙවෙනි සතිය. අපි කාලෙකට සැරයක් රණ්ඩු වෙලා තරහ වුනා. තේරුමක් ඇති දේවල්වලට නෙමෙයි. ඒත් නිතර නිතර ඈත්වීම කියන්නෙ දුරස්වීමක ළකුනු කීමක්.

    what the hell is this? එයා උදීගේ ෆේස්බුක් පෝස්ට් එකක් මට වට්ස්ඇප් කරලා තිබුන. ඒකෙ තිබුනෙ මං ඊයෙ රෑ යවපු ටෙක්ස්ට් එක.sick, pathetic, abusive, shame .. වගේ වචන තැන තැන ලියලා තිබුන. මට ඒවා අමුනලා කියවන්න ඕනකමක් තිබුනෙ නෑ. ඒ වෙද්දිත් ඒක ඇවිලිලා යමින් තිබුන. පිරිමි ගොඩක් තමන් යහපත් බව කියන්න ඒක ෂෙයාර් කළා. ගැහැණු ගොඩක් තමන් ශක්තිමත් බව කියන්න ඒක ෂෙයාර් කළා.

    yes that’s me.. මං ගංගාට ඇඬෙන තරම් හිනාවක ඉමෝජියක් යවලා ෆෝන් එක පැත්තකින් දැම්මා.
    උදී මාව ලිංගික බලහත්කාරයක වැරදිකාරයෙක් කරලා තියෙනවා. මගේ අනුරාගය එයා ස්ත්‍රී විමුක්තිය දක්වා අරගෙන ගිහින් තියෙනවා. සමහර විට එයාගෙ කේන්තියට පුළුවන් වෙයි මගේ රස්සාව පවා නැති කරන්න. මේ වෙද්දිත් මගේ ප්‍රේමය එයා විනාශ කරලා ඉවරයි. එයාට පුළුවන් මාව සියලු ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ අපහාසයට පිළිකුලට බඳුන් කරන්න. මං සම්පූර්ණයෙන්ම එයාට යටත්. එයාට පුළුවන් මට ඕනම දෙයක් කරන්න.

    උදී ඒ තරම්ම බලවත්. එයා ඉස්සරහ මං වනචර වැරදිකාරයෙක්.

    ආපහු මගේ ශිෂ්නය ප්‍රාණවත් වුනා. එයාගෙ වර්ණ ගැන්වූ නියපොතු සහිත ඒ සුන්දර පාදවලින් මාව චොරොප්පං වෙනතුරු පාගනවා මට දැනුනා. මං ඒ වේදනාවෙන් තවතවත් සතුටුවුනා. මං එයාගෙ. එයාට පුළුවන් මාව කඩන්න බිඳින්න. මගේ චරිතය විනාශ කරන්න.

    ලෝකයක් ඉස්සරහ එයා මං ගැන එයාට ඇති අයිතිය ප්‍රකාශ කරලා තිබුන. ලෝකාපවාදය ඉස්සරහ කුඩාවෙමින් නැතිවෙමින් යන මගේ ශිෂ්නය වඩවඩාත් විශාල වුනා.

    මට දඬුවම් කරන්න…
    හිතෙන් ඉල්ලන අතර ඊයේ රාත්‍රියේ පටන් සිරගත අරගලකාරී ධාතූන් නිදහස් වුනා.

    සාමය….
    මං ඇස් වහගෙන උදී ළඟින් හාන්සි වුනා.

  • ඔබ අන් පහසේ – තුටු වෙමි රහසේ

    ඔබ අන් පහසේ – තුටු වෙමි රහසේ

    මට වැඩිපුරම ඉල්ලීම් එන්නෙ කකෝල්ඩින්ග් ගැන ලියන්න කියල. ඒක අපි හිතනවට වඩා ගොඩක් සුලබ ෆැන්ටසියක්. අපි ඒ ෆැන්ටසියෙ එක එක තැන්වල ඉන්න පුළුවන්. ‘කක්‘ කියන වචනය අපහාසාත්මක අදහසකින් පාවිච්චි කරන එක ඇත්තටම සෙක්ස් ගැන නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක්. කකෝල්ඩින්ග් කියන්නෙ ලස්සන ෆැන්ටසියක්. ඒක ගැන ලියන්න කියලා ඉල්ලන විවෘත ඉල්ලීම් වුනත් ලස්සනයි.

    ලෝකෙ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවරයෙක් වන ඩේවිඩ් ලේ, ජස්ටින් ලේමිලර් සහ සෙක්ස් රයිටර් කෙනෙක් වුනු ඩෑන් සැවේජ් කකෝල්ඩින් ගැන පර්යේෂණ කළා. එතනදි ඒ ගොල්ලො ආපු නිගමනය වුනේ ඒක දෙන්නෙක් අතර සම්බන්ධතාවයට ධනාත්මක විදිහට වැඩකරනවා කියන එකත් කිසිම විදිහකින් ඒක දුර්වලතාවයක් විදිහට දකින්න බෑ කියන එකත්.

    13 වෙනි සියවසේ ඉඳන් විතර සාහිත්‍යයේ මේ කකෝල්ඩ් ස්වරූපයේ චරිත දකින්න තියෙනවා. මුලින් ඒවා මුනගැහෙන්නෙ වෙන පිරිමියෙකුගෙන් තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙයි කියල බයෙන් ඉන්න සැමියෙක් විදිහට. ඒත් අද කකෝල්ඩින්ග් කියන එක නිර්මාණශීලීව සහ ශක්තිමත්ව ගොඩනැගුනු සංස්කෘතියක් වෙලා තියෙනවා. මේ වෙද්දි කකෝල්ඩ් කෙනෙක් කියන්නෙ තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙකු සමග ලිංගිකව එක්වීම කියන අදහසින් ප්‍රාණවත් වෙන පිරිමියෙකුට. අතෘප්තිය අසහනය වෙනුවට අසමාන තෘප්තියක් ලබන්නෙකුට. මේ ෆැන්ටසිය බෙදාගන්නා ගැහැණුත් ඉන්නවා. හැබැයි ප්‍රතිශතයක් විදිහට පිරිමින්ට වඩා අඩුයි.

    කකෝල්ඩින් කියන ෆැන්ටසිය කසාදය තරම්ම පරණයි කියල ඩේවිඩ් ලේ කියනවා. සමහර විට මේක ඊටත් වඩා එහාට යන්න පුළුවන්. එයා මේ විදිහෙ කකෝල්ඩින්ග් ෆැන්ටසිය ඇති ජෝඩු වෙනුවෙන් පොතක් ලිව්වා. ඒකෙ නම ‘ඉන්සැටයබල් වයිව්ස්’. ඒ කියන්නෙ තෘප්තිමත් කළ නොහැකි බිරින්දෑවරුන් කියන එක. ඩේවිඩ් කියන විදිහට වර්තමානයේදි වැඩිවැඩියෙන් පෙම්වතුන් මේ ෆැන්ටසීන් අත්හදා බලනවා. ඒ ගොල්ලො පවතින සම්මත ටැබූ ගනං ගන්නෙ නෑ.

    සංඛ්‍යාත්මකව ගත්තම කකෝල්ඩින් කියන එක අපි හිතනවට වඩා සමාජයේ ගොඩක් සුලබ දෙයක් කියල ලේමිලර් කියනවා. ‘ටෙල් මී වට් යූ වොන්ට්’ කියන නමින් ලිංගික ආශාවේ විද්‍යාව ගැන පොතක් ලියන ලේමිලර් එතනදි දහස් ගාණක් ඇමරිකානුවන් පර්යේෂණයට යොදා ගන්නවා. 58%ක් පිරිමි මේ ෆැන්ටසියෙන් වින්දනය ලබනවා කියලත් ගැහැණුන්ගෙන් තුනෙන් එකක් පමණ මේක බෙදාගන්නවා කියලත් ලේමිලර් පෙන්වා දෙනවා. එයා කියන්නෙ ගැහැණුන්ගෙ කකෝල්ඩින්ග් ආශාවන් ගැන වැඩිදුර පර්යේෂණයන්ට යොමුවීම අවශ්‍යයි කියල.

    ඩෑන් සැවේජ් කියන විදිහට මේක මුලින් තිබුනෙ විෂම ලිංගික දෙයක් හැටියට.
    ‘මට ගොඩක් ලියුම් ලැබෙනවා හෙට්‍රොසෙක්ෂුවල් ජෝඩුවලින් ඒ අයගෙ කකෝල්ඩින් අත්දැකීම් ගැන. ගොඩක් වෙලාවට මේක හඳුන්වාදෙන්නෙ සැමියා විසින්. සමලිංගික විවාහ අයිතිය දිනාගන්න කල් මට සමලිංගික පෙම්වතුන්ගෙන් මේ ගැන අහන්න ලැබුනෙ නෑ. ඒත් විවාහයත් එක්ක දැන් ඒ අය අතරත් මේක කතාබහට ලක්වෙනවා’ – ඩෑන් සැවේජ්

    එයා ලේමිලර් සහ ඩේවිඩ් එක්ක සමලිංගික පිරිමි 580කගේ කකෝල්ඩින් ෆැන්ටසි සමීක්ෂණය කරන්න එකතු වුනා.

    සමලිංගික පිරිමි සහ විෂම ලිංගික පිරිමි අතර මේ ෆැන්ටසියෙ සමානතා තිබුනත් ඒ වගේම පැහැදිලි වෙනස්කම් තියෙනවා කියල ඩේවිඩ් ලේ කියනවා. විෂම ලිංගික කකෝල්ඩින්වල සුලබව මුනගැහෙන ඉන්ටරේෂල් (අන්තර්වාර්ගික) සහ බීඩීඑස්එම් තේමාවන් සමලිංගික සම්බන්ධතාවලදි දකින්න ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ වගේම මූලිකව මේ ෆැන්ටසියට ඇති පෙළඹවීමත් මේ පාර්ශ්ව දෙක අතර වෙනස්.

    විෂම ලිංගිකයන්ට කකෝල්ඩින්වල තියෙන ලොකුම රසය ඒක මොනොගමික පවුල් සම්ප්‍රදායේ තහංචියක් වුන එක. මොනොගමිය ඇතුලෙ විඳින්න පුළුවන් තහනම් රසයක් විදිහටයි මේක වර්ධනය වෙන්නෙ. ඒත් සමලිංගික පවුල් සම්බන්ධතාවයට මොනොගමික අදහස ඒ තරම් බලපෑමක් ඇති කරන්නෙ නෑ.

    හැබැයි ලේමිලර් පෙන්වා දෙන විදිහට ඒ අයට මේක වෙනත් ආකාරවලින් ආකර්ශනීය වෙනවා. උදා විදිහට වොයරිසම් සහ ගෲප් සෙක්ස් වගේ දේවල් කකෝල්ඩින් එක්ක සම්බන්ධ වෙනවා. ඒක මේ ෆැන්ටසියෙ තියෙන තියෙන විශේෂත්වයක් විදිහට එයා දකිනවා. ඒක ටැබූ එකක්, නව්‍යතාවයක්, වොයරිසම් හෙවත් නැරඹුම්කාමයක් මේ ඕනම ආකාරයක් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්.

    ඩෑන් සැවේජ් කියන විදිහට තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙකු සමග ඉන්නවා දැකීමෙන් කෙනෙකුට විශාල ලිංගික උත්තේජනයක් ඇති වෙනවා. කකෝල්ඩින්වල තියෙන අනිවාර්ය දෙයක් තමයි හියුමිලියේෂන් කියන එක. අපේ ශෘංගාර පරිකල්පනයට පුළුවන් මේ ලැජ්ජාවේ දෙහි ගෙඩිවලින් සුමිහිරි කින්කි ලෙමනේඩ් හදන්න.

    මේ පර්යේෂණයෙන් දකින්න ලැබුනෙ බලාපොරොත්තු වුනාට වඩා වෙනස් ප්‍රතිඵලයක්. කකෝල්ඩින් නිසා පවුල්වලට ඇතිවිය හැකි නෙගටිව් බලපෑම වෙනුවට ඉතාම ධනාත්මක ප්‍රතිඵල මේ අයට දකින්න ලැබුනා.

    ‘කකෝල්ඩින් කියන්නෙ බාධාවක් හෝ අහිතකර විදිහෙ සම්බන්ධයක් හෝ තමන්ගේ පෙම්වතාව නොකතා හැරීමක් හෝ කියන්න කිසිම විදිහක සාක්ෂියක් අපිට හම්බුනේ නෑ. හැබැයි කකෝල්ඩින් ෆැන්ටසියක් වඩාත් හොඳින් විඳින්න පුළුවන් පෞර්ෂමය සාධක වගයක් අපිට තේරුම් ගන්න පුළුවන් වුනා. සම්බන්ධතා ගැන බොහෝ බයෙන් සැකෙන් පසුවන, ඒවා බිඳීයාම ගැන සිතමින් තැවෙන, සමීප ඇසුරෙහි සහ සන්නිවේදනයේ දුර්වල, අප්‍රවේශම්කාරී, තදින් සැලසුම් කළ ජීවිතයක් ගෙවන අයට මේ විදිහෙ අන්‍යොන්‍ය අවසරය ලත් -මොනොගමික නොවන ෆැන්ටසියක් නෙගටිව් අත්දැකීමක් වෙන්න පුළුවන්. වෙන විදිහකින් කිව්වොත් කකෝල්ඩින් ෆැන්ටසියක් තිබුනු පලියටම හැමෝම ඒක ඇත්තට අත්විඳින්න යාම සුදුසු වෙන්නෙ නෑ’ – ඩේවිඩ් ලේ

    සමහර විට ඒ ගැන අදහස් හුවමාරුව විතරක්ම වුනත් හැඟීම් අවදිකරනසුලු වෙන්න පුළුවන්. මුලු ගමනම යාමට ඔයා තාම පරිණත නැතිවෙන්න පුළුවන්. එහෙම ෆැන්ටසිය ඇත්තක් කරන උවමනාවක් තියෙනවා නම් අඩියක් පස්සට අරගෙන මැදිහත්ව බලන්න. ඔයාගෙ සම්බන්ධතාවය හොඳ තැනක තියෙනවද, ඔයාගෙ ලිංගික දේවල් ගැන සන්නිවේදනය කිරීමේ හැකියාව කොයිතරම් දියුණුද, මේ දේවල් මතයි ඒ අත්දැකීමේ සාර්ථකත්වය තීරණය වෙන්නෙ.

    කකෝල්ඩින් කියන්නෙ අවංකත්වය, විශ්වාසය, සන්නිවේදනය සහ අන්‍යොන්‍යව පිලිගන්නා වටිනාකම් කියන දේවල් හොඳින්ම පවතින්න ඕන කලාපයක්. ගොඩක් අය උත්සාහ කරනවා තමන්ගේ බිරිඳව රැවටීමකින් මේකට පොළඹවා ගන්න. කිසිම වෙලාවක ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නෑ. ෆැන්ටසිය විනාශයකින් කෙලවර වෙනවා විතරයි.

    මේක කරන්න ඉදිරිපත් වෙන අය වුනත් පියවරෙන් පියවර හෙමින් යන්න කියලයි මේ විශේෂඥයන් උපදෙස් දෙන්නෙ. තමන්ගේ පෙම්වතිය තව කෙනෙක් සමග රමණය කිරීම බලා සිටීම හෝ ඒ ගැන දැනුවත්ව සිටීම කියන එක දරන්න පහසු අත්දැකීමක් නෙමෙයි. අපි කිසිදවසක නොදුටු, බලාපොරොත්තු නොවුනු බලවත් හැඟීම් මතුවෙලා අපේ සම්බන්ධතා පළුදු කරන්න පුළුවන්. මේ හින්ද ටිකෙන් ටික ඉතාම හොඳ කතාබහක් සහ සන්නිවේදනයක් ඇතුව කළ යුතු පුහුණුවක් මේක.

    ඩෑන් සැවේජ් කියන විදිහට එහෙම සාර්ථකව ගියොත් කකෝල්ඩින් කියන්නෙ දෙන්නෙක් අතර සම්බන්ධතා වඩා සුන්දර කරන බැඳීම් ශක්තිමත් කරන සෙක්ස් මැජික් එකක් වෙනවා.

  • ඔයා යටට ඇඳලද?

    ඔයා යටට ඇඳලද?

    රෑට ෆේස්බුක් එකේ ගොඩක් ගැහැණුන්ට අනවසරයෙන්ම මේ වගේ සෙක්ස්ට් ලැබෙනවා. ඒවායින් ඒ ගොල්ලො තිගැස්සෙනවා. ඒ අයට අප්පිරියාවක් ඇතිවෙනවා. කේන්ති යනවා . ස්ක්‍රීන්ෂොට් අරගෙන ෆේස්බුක් දානවා. බ්ලොක් කරනවා. මේ කිසි දෙයක් වැරදි නෑ. මේ තියෙන්නෙ මෑතක එහෙම කෙනෙකුට ලැබුන සෙක්ස්ට් එකක්.

    “මට කියන්න ඔයා තොන්ග් එකක් ඇඳන් ඉන්නෙ කියල.
    නෑ?
    එහෙනම් මට මෙහෙම කියන්න දෙන්න. මට ඕන ඔයාගෙ පස්ස මිරිකන්න. කියන්න ඔයා ඒකට ආසයි කියල.
    ඔයා එහෙම කරන්න. මට ඔයාගෙ පස්ස පෙන්නන්න”
    හැම ගෑහැනු හතර දෙනෙකුගෙන් තුන්දෙනෙක් මේ විදිහෙ බලහත්කාරයන්ට මුහුණ දෙනවා.

    මේ පණිවුඩවල ඇති වැරැද්දක් නෑ. ඒවා හරිම සුන්දර කතාබහ. හැබැයි අන්‍යොන්‍ය අවසරයෙන් සිද්ද වුනා නම්. අනවසරයෙන් කරන මේ විදිහෙ කඩාපැනීම් නිසා ගැහැණියකට තමන්ව නිරුවත් කළා වගේ දැනෙන්න පුළුවන්. තව කෙනෙක් කම්පනයට ආතතියට පත්වෙන්න පුළුවන්. මේ වගේ බලහත්කාරී පණිවුඩ ගැනෙන්නෙ ලිංගික අතවර විදිහට. අනවසරයෙන් සිදුකරන කවර හෝ ලිංගික පෙළඹවීමක් ලිංගික අතවරයක්.

    2019 කැනඩාවෙ මේ ගැන කරපු පර්යේෂණයක් අනුව කෙනෙක් මේ විදිහෙ බලහත්කාරී ලිංගික පණිවුඩ යවන්න කාරණා දෙකක් මුල්වෙනවා. එකක් නාසිසිසම් අනෙක සෙක්සිසම්. ඒ කියන්නෙ තමන් ගැන තියෙන ඕනවට වඩා ඇති ආත්මරාගය සහ අනෙක් ලිංගිකයා පහත් හෝ දුර්වල ලෙස දැකීමේ පෙළඹවීම. ඩිජිටල් අවකාශයේ මේ කෙරෙන බලහත්කාරයන්ට කියනවා ඩිජිටල් සෙක්සිසම් කියල.

    රෙඩිට් ෆෝරම් එක හරහා මේ පෙළඹවීම ගැන ඉතාම විවෘත සාකච්ඡාවක් ඇතිවුනා. එතනදි පේන්න තිබුනා කරුනු ගණනාවක් මේ බලහත්කාරය පිටිපස්සෙ තියෙන්න පුළුවන් කියල. ඉතාම පහලට ඇදවැටුනු ආත්ම අභිමානය යලි නගාසිටුවීම, ලිංගිකව උත්තේජනයක් ලැබීම, කොහොම හරි අවස්ථාවක් ලැබේ යැයි ඇති අපේක්ෂාව ආදිය මේ අතර තිබුන. බොහොමයක් අය මේ විදිහෙ පණිවුඩ යැවීම කරන්නෙ ගැහැණියක් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම ගැන තියෙන වැරදි අවබෝධයක් නිසා බවත් පේන්න තිබුන.

    ඇමරිකානු සායනික මනෝ වෛද්‍ය ඩේවිඩ් ලේ කියන විදිහට ප්‍රධානවම මේක පිටිපස්සෙ තියෙන්නෙ පිරිමියා විසින් ස්ත්‍රියගේ ආශාව වැරදි ලෙස තේරුම් ගැනීම. රහස්මය තැන්වලදි පිරිමින් වඩාත් ලිංගික ආවේගයන් සහිතව හැසිරෙනවා කියල ඩේවිඩ් කියනවා. ඒක පරිණාමීය විදිහට පිරිමි ලිංගික හැසිරීමේදී පාවිච්චි වුනු නිර්භීතබව සහ ප්‍රචන්ඩ බව තාමත් ඉස්සරහට ඒම නිසා වෙන්නත් පුළුවන්. තව කොටසක් මෙතනදි අකමැති වීම සහ ප්‍රතික්‍ෂේප වීම ඇතුලෙත් යම් අවධානයක් ලැබීමේ තෘප්තියක් විඳිනවා.

    නමුත් බහුතරයක් පිරිමි තමන්ගේ බලහත්කාරී ලිංගික පණිවුඩ යවලා තිබුනෙ ඒ හරහා ඇයව පොළඹවා ගන්න පුළුවන් කියන බොළඳ අදහස ඇතුව. 18%ක පිරිසක් හිටියා ඇය විසින් ප්‍රතික්‍ෂේප කිරීමෙන් තමන්ගේ ලිංගික උත්තේජනය ලබන.

    මේ විදිහෙ බලහත්කාරී ලිංගික අතපෙවීමකින් සමහර කෙනෙක් ඇය තමන්ගේ බලයට නතු කරගැනීමේ ආස්වාදයක් විඳිනවා. ඒක ස්ත්‍රී දූෂණයක් හා සමාන වර්චුවල් අත්දැකීමක්.ඒ අයට ගැහැණියගේ කලබලය, කේන්තිය ආදිය අනුරාගී විදිහට දැනෙනවා. ඒ අනුරාගය වෙනුවෙන් තමන්ගේ සිවිල් සමාජයේ සියලු පිලිගැනීම් සහ වටිනාකම් පරදුවට තියනවා. එහෙම තමන්ටත් අනුන්ටත් හානිකර තැනකට මේ තත්වය පත්වෙද්දි ඒක ප්‍රතිකාර ගත යුතු තත්වයක් හැටියෙන් තේරුම් ගන්න වෙනවා.

    මේ සෙක්ස්ට් වගේම අනිත් දේ තමයි ඩික්පික් යවන එක. මටත් හැමදාම උදේට ඩික්පික් කීපයක් එනවා. කෙල්ලෙකුට අනිවාර්යෙන්ම ඊට වඩා එනවා. ගොඩක් අය මේක නොතකා හරිනවා. ඒත් විට්නි බෙල් එයාටයි එයාගෙ යාළුවන්ටයි පිරිමි එවපු ඩික්පික් 150කින් එක්සිබිෂන් එකක් කළා.

    මට හිතෙන්නෙ ලංකාවෙ ඒ වගේ අනවසර සෙක්ස්ට් වලිනුත් අපිට පුළුවන් ප්‍රදර්ශනයක් කරන්න. ඒ බලහත්කාරය ආර්ට් ෆෝම් එකකට පෙරලන්න. ඩිජිටල් සෙක්සිසම් ගැන කතාබහක් හදන්න. අනිත් පැත්තට ඒක අපේ රහස් ලිංගික පණිවුඩ සාහිත්‍යය ගැනත් හොඳ අධ්‍යනයක් කරන්න.

  • මං හරිම කැමතියි එහෙම ගෑනුන්ට

    මං හරිම කැමතියි එහෙම ගෑනුන්ට

    මං හරිම කැමතියි සද්දෙන් හිනාවෙන ගෑනුන්ට
    කතා අතරමැද
    අමුතු විදිහෙ ඇත්ත කියන ගෑනුන්ට

    මං ආසයි කාර් ඇතුලෙ හයියෙන් සිංදු කියන්න ආසයි
    ඒ වගේම එහෙම කෙනෙක් අනිත් පැත්තෙන් තියන් යන්න.

    මං හරිම කැමතියි ගෑනුන්ට ආදරේ ගෑනුන්ට
    දත් අතර තැවරුනු ලිප්ස්ටික් පිසින,
    චූ කරන්න යද්දි උදව්වට එන එහෙම ගෑනුන්ට.

    සංසන්දනය කියන්නෙ සතුට හොරු අරං යන තැන
    කාගෙවත් ඔපයක් නැති කරන එකෙන්
    ඔයාගේ ඔපය වැඩිවෙන්නෙ නම් නෑ

    කිසිම ලැජ්ජාවක් නැතුව
    වෛර්ණ සුන්දරත්වයෙන් බබළන
    තමන් තමන් විදිහටම ඉන්න
    එහෙම ගෑනු කිසිදවසක ඇතිවෙන්නෙ නෑ.

    මං ආසයි උතුරා යන හිනාවට
    ඒ වගේම ඇස්වලින් කඳුළු බේරෙන සතුටට
    ඒ තැන්වලදි දැනෙන ජීවිතයට

    කිසිවක් විනිශ්චය නොකරන
    යාලුවෙක් එක්ක ගත කරන සොඳුරු කාලය
    තමයි මං හිතන්නෙ හොඳම මානසික ඔසුව

    කැඩෙන, බිඳෙන, වැටෙන
    ඒ අතරෙ තමන් සතු දේ බෙදන
    එකිනෙකා ඔසවා තබන
    ප්‍රීති ගෝෂා නගන
    මං හරිම කැමතියි එහෙම ගෑනුන්ට

    ලෝකයෙන් අඩක් සිටින
    ඒ අසිරිමත් ගැහැණුන්ට
    හැමෝටම සහ තනි තනිව
    මාගේ හදවතේ ප්‍රණාමය

    The Right Words
    Donna Ashworth

  • පොසොන් පෝය, රංජන් සහ දුමින්ද

    පොසොන් පෝය, රංජන් සහ දුමින්ද

    පොසොන් පෝය දවසෙ දුමින්ද සිල්වා නිදහස් කළා. රංජන් රාමනායක තාම ඇතුලෙ. දුමින්ද එලියෙ රංජන් ඇතුලෙ කියල පෝස්ට් ෂෙයාර් වෙන්න ගත්තා. මිනිස්සු තමන් විශ්වාස කරන සංකේතමය නීතියේ අශ්ශීලත්වය අමුවෙන් දැක්කා. සිංහල බෞද්ධ සදාචාර ලෝකයේ ‘හිල’ දුමින්ද සලකුණු කළා. ඒක ලංකාවට බුද්ධාගම අරන් ආපු දවසෙම ලකුනු කිරීම අයිරොනිකල්. ඒකාධිපති විරුවා සහ අපචාරී දුෂ්ටයා අතර නොබිඳෙන සම්බන්දය පොසොන් පෝය දවසෙ විදාරණය වුනා.

    දුමින්දයි රංජනුයි දෙපැත්තට දාලා සංසන්දනය කරන එකේ අසාධාරණයක් තිබුනත් මේ චරිත දෙක එකම හිරගෙයක් ඇතුලෙ අපිට කතා දෙකක් කියනවා.

    දුමින්ද වගේම රංජනුත් ඇඟ හදන්න උනන්දුයි. දෙන්නම එක වගේ ගෑනු ගැනත් උනන්දුයි. රඟපෑවෙ නැති වුනත් දුමින්දටත් තියෙනවා නළු පෙනුමක්. හැබැයි දුමින්ද තමන්ගේ ආශාව තෘප්තිමත් කරන විදිහෙයි රංජන් තමන්ගෙ ආශාව තෘප්තිමත් කරන විදිහෙයි තියෙනවා වෙනසක්. ඒක අපිට ලේසියෙන්ම දකින්න පුළුවන් දෙන්නගෙ ගැහැණු සම්බන්ධතා දිහා බැලුවම. දුමින්දගෙ ආශ්‍රයන් බොහෝ විට පීඩාකාරීයි. අපිට ඒවායෙ වින්දිතයෙක් මුනගැහෙනවා. දුමින්දගෙ ලිංගිකත්වය පිටිපස්සෙ තියෙනවා බලහත්කාරයක් සහ ප්‍රචණ්ඩත්වයක්.

    ඒත් රංජන්ගෙ ඇසුරුකිරීම්වල තියෙන්නෙ ආකර්ශනයක්. පීඩාවට ලක්වුනු වින්දිතයෙක් වෙනුවට ගොඩක් වෙලාවට අපිට අනිත් පැත්තෙ මුනගැහෙන්නෙ මිතුරියක්. ඒවා අසම්මත වුනත් පීඩාකාරී ප්‍රචණ්ඩ ඒවා නෙමෙයි.
    රංජන් පාතාලෙට කුඩුවලට විරුද්ධයි. දුමින්දට පාතාලෙ ගැන කුඩු ගැන චෝදනා තියෙනවා. රංජන් හිරේ යන්නෙ නීතිය හරි විදිහට ක්‍රියාක්මක වෙන්නෙ නෑ කියල අපහාස කිරීමේ චෝදනාවට. දුමින්ද හිරේ යන්න මිනිහෙකුට මහපාරෙ වෙඩි තියල නීතිය අමුවෙන් කැඩීමට.

    රංජන් පෙනී ඉන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත වෙනුවෙන්. දුමින්ද පෙනී ඉන්නෙ එයාගෙ කැමැත්ත වෙනුවෙන්. වෙන විදිහකට කිව්වොත් රංජන් කියන්නෙ වීරයාගෙ චරිතෙ. දුමින්ද කියන්නෙ දුෂ්ටයාගෙ චරිතෙ. එකම හිරගෙයක් ඇතුලෙ මේ දෙන්නා දෙපැත්තක්.

    නීතිය වීරයාව හිරේ දාලා දුෂ්ටයාට සමාව දෙනවා. සමාජය ට්‍රෝමැටික අත්දැකීමකට ගෙනියනවා.
    දැන් අපි ඕක මනෝවිශ්ලේෂණයේ භාෂාවට දාගමු. මනෝවිශ්ලේෂණය කියන්නෙ මහා දෙයක් හින්ද නෙමෙයි, ඒක ඇතුලෙ අපිට මේ පෙලගැස්ම ලස්සනට කියවගන්න පුඵවන් හින්ද.

    (පට්ට ගහපු කතාව නැවතත්) අපි හැමෝම අවුරුදු 3-5 අතර කාලෙදි ඊඩිපස් සංකීර්ණය ජීවිතේ දැවැන්තම අර්බුදකාරී අත්දැකීම ඇතුලෙන් යනවා. ඊට පස්සෙ අපේ සමස්ත ජීවිතයම තීරණය වෙන්නෙ ඔය අර්බුදය අපි විසඳගන්න විදිහ අනුව. සරලව කිව්වොත් අම්මා එක්ක රමණය කරන්නත් තාත්තාට මරණය අත්කර දෙන්නත් වූ රූපකමය ආශාවකින් අපි පෙලෙනවා. අපිට මුල්ම වතාවට තාත්තාව මුනගැහෙන්නෙ මෙතනදි. තාත්තා තමයි භාෂාව, ආගම, නීතිය, සදාචාරය. ලෝකෙ අපිට පිටින් තියෙන සංකේතමය අධිකාරිය. අම්මා තමයි අපේ ප්‍රකෘතිම ආශාව. අපිව පරිපූර්ණ කරන වස්තුව. තාත්තා හින්ද අපි අසම්පූර්ණ වෙනවා. අපේ හැඟීම් යටපත් කරන්න පටන් ගන්නවා. එලියෙ සම්මුතීන් එක්ක ගනුදෙනු කරන්න සිද්ද වෙනවා.

    ඔය මහා ආපදාවෙන් එලියට එනකොට අපිව ආකෘති තුනක් විදිහට හැඩගැහෙනවා. හැමෝම මේ තුනෙන් එකකට වැටෙනවා. මේ අපි ලෝකෙ එක්ක ගනුදෙනු කරන අපේ මානසිකත්වයේ රාමුව. අපේ පැවැත්මේ ස්වභාවය කියලත් ඕන නම් කියන්න පුළුවන්.

    පලවෙනි එක තමයි නියුරොසිස් කියන්නෙ. අපි ආශාවන් යටපත් කරගෙන, ඒවා වෙන දේවල් බවට පරිවර්තනය කරගෙන ඊඩිපස් අවුල විසඳගන්නවා. අපි එක්කො කීකරු යටත්පහත් දරුවෙක් වෙනවා. නැත්තං කැරලිකාරයෙක් – හිස්ටරිකයෙක් වෙනවා. හිස්ටරිකයෙක් කියන්නෙ අපහාසාත්මක අදහසක් නෙමෙයි. ලෝක ප්‍රශ්න කරන හැම මිනිහෙක්ම හිස්ටරිකයෙක්.

    මෙතනදි හිස්ටරිකයාට ලෝකෙ එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා හැබැයි එයා ඒ සංකේත ලෝකයේ මූලික සාමූහික පදනම්වලට එකඟයි. ඒ සම්මත ලෝකෙන් එයාට දෙන අයිඩෙන්ටිය ගැන එයා පෙරලා ප්‍රශ්න කරනවා. අලුත් ලෝකයක් ගැන ප්‍රාර්ථනාවක් තියෙන හැමෝම ඉන්නෙ මෙතන. සොෆොක්ලිස්ගෙ ඇන්ටිගනී කියන්නෙ මේ විදිහෙ චරිතයක්. මාර්ටින් ලුතර් කිංග් කියන්නෙ එහෙම චරිතයක්. ඒ ගොල්ලො අපි පිලිගන්න සංකේත ලෝකෙ හිල් ප්‍රශ්න කරනවා.
    රංජන් වැටෙන්නෙත් මේ ගොඩට.

    දෙවෙනි ආකෘතියට කියනවා සයිකොටික් කියල. ඒ අයට සංකේත ලෝකයක් අහිමියි. තාත්තාගෙන් වෙන්න ඕන දේ වෙලා නෑ. ඒ ගොල්ලො ඉන්නෙ ඒ අයගෙම පරිකල්පිත ලෝකයක. සාමූහික සංකේත ලෝකය එක්ක ගනුදෙනුවක් නෑ. භාෂාවක් අහිමියි කියලයි කියන්නෙ. ගොඩක් වෙලාවට ආර්ටිස්ට්ලා එහෙම වැටෙන්නෙ මේ ආකෘතියට. මේ අයට පිටතක් නෑ.

    තුන්වෙනි එක තමයි පර්වර්ස් කියන එක. මේ තියෙන්නෙ සංකේත ලෝකය දකිනවා නමුත් නොතකා හරිනවා කියන මානසිකත්වය. නීතිය දන්නවා ඒත් කඩනවා. තමන් ෆැන්ටසියේ තෘප්තිය කියන කාරණය විතරයි වැදගත්. එතනදි අනිත් පැත්තෙ ඉන්නෙ පණ නැති වස්තුවක් විතරයි. පර්වර්ට් සම්බන්ධයක් ඇතුලෙ පීඩාවට ලක්වෙන, ගොදුරු වෙන කෙනෙක් ඉන්නවා. දේශපාලකයො කියන්නෙ මේ කැටගරියෙ පිරිසක්. ඒ ගොල්ලොන්ට පුළුවන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දරන්න.

    දුමින්ද සිල්වා වැටෙන්නෙත් මෙතනට. එයා නීතිය එක්ක කරන සෙල්ලම්, ගෑණු එක්ක තියෙන සම්බන්ධතා අපිට කියන්නෙ මේ අවුල. සමාජයක සදාචාරය කියන කඩතුරාවෙන් වහපු අධිපති බලයේ කැතකම, අශ්ශීලත්වය පර්වර්ට් අය අතින් මුදහැරෙනවා. පර්වර්ට් කියන්නෙ මේ සංකේතීය පියා කියන එක නොතකා හරිමින් අම්මා නැත්තං තමන්ගේ ප්‍රකෘති ආශාව එක්ක ෆැන්ටසියක් විදිහට ගතවෙන අයට. දුමින්ද හිරෙන් නිදහස් වුන ගමන් ගෙදර ගිහින් අම්මා එක්ක දාපු පිංතූරෙ හරියටම ඒ කතාවෙ රූපකයක් වගේ.

    මේ අය නිතරම සම්බන්ධ වෙන්නෙ ඒකාධිපති ස්වරූපයන් එක්ක. ඒ අය විනෝද වෙන්නෙ අපචාරවලින්. පොදු සම්මුති ලෝකෙ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රචණ්ඩ පීඩාකාරී විනෝදය විතරයි අරමුණ.

    පර්වර්ට් කෙනෙකුට ලෝකෙ එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි එයාට ලෝකෙ කියන්නෙ අපචාරී එකක්. තමන්ව ආශාවේ වස්තුව බවට පත්කරගන්න එයා කරන්නෙ මැරවැඩ. එයාගෙ ලෝකෙ එයාට වඩා කෙරුමෙක් නෑ.

    පර්වර්ට් චරිතයක් අසීමිත තෘප්තියක් හඹා යනවා. එයාට හිතෙන්නෙ නීතිය, සමාජ සදාචාරය වගේ දේවල් රැවටිලිකාරයි, දුර්වලයි කියල. ඒක හින්දා එයාට පුළුවන් ගානක් නැතුව මට මතක නෑ කියන්න.

    හොරෙන් කෙල්ලො එක්ක කෝල් ගත්තට, ඒවා රෙකෝර්ඩ් කළාට රංජන් පර්වර්ට් කෙනෙක් නෙමෙයි. කෙනෙක් ලීක්වෙන වීඩියෝ බැලුවට ඒවා බලලා ස්වයං වින්දනය කළාට පර්වර්ට් කෙනෙක් වෙන්නෙ නෑ වගේම තමයි. ඒ වීඩියෝ එක ෂෙයාර් කරලා ඒකට අපහාස කරන තැනදියි පර්වර්ට් අඳුරගන්න පුළුවන් වෙන්නෙ. අනෙකා පීඩාවට පත් කරමින් තමන්ගේ සතුට ලැබීමේ මොහොත සලකුනු කිරීමයි ඇත්ත විපරීතභාවය.

    “පර්වර්ට් කියන්නෙ මොකක්ද? සමාජ සම්මතයන් කඩන එක හෝ සදාචාරයක් නැතිකම නෙමෙයි. පර්වර්ට් කෙනෙකුගෙත් මේ සංකේත ලෝකය රෙජිස්ටර් වෙලා තියෙනවා. පර්වර්ට් කියන්නෙ ස්වභාවික නොවෙන දේ කිරීම නෙමෙයි. ප්‍රජනනයෙන් බාහිර සෙක්ස් නෙමෙයි. පර්වර්ට් කියන්නෙ ආකෘතියෙන්ම වෙනස් දෙයක්” කියල ලැකාන් කියනවා.

    රංජන්ගෙ කෝල් ආන්ඩුවෙන් ලීක් කරලා ඒවායේ ඉන්න මිනිස්සු අපහසුතාවයට පත් කළා මිස ඒවා පටිගත කිරීම හරහා රංජන් කොයිවෙලාවකවත් ඒ අයව පීඩාවට ලක් කළේ නෑ. ඒ හැම කෝල් එකකම අනිත් පැත්තෙ මනුස්ස සම්බන්ධයක් තියෙනවා. ඒ මනුස්සයාට හානි නොකිරීමේ උවමනාවක් තියෙනවා. සම්මත සදාචාරයට එකඟ නැති වුනත් රංජන් කරන්නෙ මානව විරෝධී දෙයක් නෙමෙයි. එයා පවුල කියන ආකෘතියෙන් එලියෙ ඉඳන් යහපත් විදිහට වල්කම් කරනවා. රංජන් කියන්නෙ හොඳ වලත්තයෙක්. එයා අශ්ශීල නෑ.

    රංජන් ඇතුලෙ ඉඳිද්දි දුමින්ද සිල්වා නිදහස් වෙනවා. සම්මුතියේ රාමුව පිළිගන්න එකා ඇතුලෙ ඉඳිද්දි සම්මුතියේ රාමුව කැඩීමෙන් ප්‍රමෝදය ලබන්නා එලියට එනවා. එතකොට සමාජයේ සමස්තයට තමන් සංකේත ලෝකය කියල විශ්වාස කරපු නීතිය, යුක්තිය, සදාචාරය ගැන අවුලක් ඇතිවෙනවා. පෝය දවසෙ යහපත ගැන පොදු හැඟීම අර්බුදයට යනවා . ඒ අපි විශ්වාස කරන සංස්කෘතික පද්ධතිය අපේ සම්මුතිය අපි හිතන දේ නෙමෙයි කියල අපි දකිනවා. මේ අශ්ශීලබව සමාජය නරුම කරනවා.

    ඒකාධිපති බලය තමන්ට අභියෝග කරන අකීකරු කොල්ලට වඩා තමන්ගේ අඳුර, පාතාලය මුදාහරින පර්වර්ට් කොල්ලට කැමතියි. මොකද ඒකාධිපති බලය කියන්නෙමත් පර්වර්ස් එකක්.

    ඒක හින්ද පොසොන් පෝය, දුමින්දාගමනය, රංජන්ට ඇප නැති වීම කියන්නෙ මේ වෙලාවෙ අපේ සමාජ මනස තේරුම් කරන රූපකමය පිහිටීමක්. හිස්ටරිකයා සිරගත කොට විපරීතයා මුදාහැරීම කියන්නෙ කතන්දරයක්.

    හිස්ටරිකයා සමාජයේ අශ්ශීලබව ප්‍රතික්‍ෂේප කරනවා. විපරීතයා ඒ අශ්ශීලබව නියෝජනය කරනවා. අපි නිදහස් කරන්නෙ කාවද කියන එක මත අපේ සමාජ පිහිටීම ලකුණු කරනවා.

  • තව පෝයක් ඕන

    තව පෝයක් ඕන

    පෝය කියන දවස හරිම ලස්සන දවසක්. කාලයක් මම ආගමික පටු අර්ථයකින් පෝය දිහා බලලා මේ තේරුමක් නැති නිවාඩුව ගැන විවේචන කළා. ඒත් දැන් මට පෝය කියන්නෙ බෞද්ධ දවසක් නෙමෙයි. මිනිස්සු සිස්ටම් එකෙන් ගැලවෙන අමුතු දවසක්. සති අන්ත නිවාඩුව කියල කිව්වට සෙනසුරාදාත් දවස් පහටම ඈඳිලා ඉවරයි. ඉතුරු වුනේ ඉරිදා විතරයි. ඉරිදා කියන්නෙ අතීතයේ ඉඳන්ම සූර්ය දෙවියන්ට පූජා පිනිස වෙන් කරපු දවස. ඒක හෝලිඩේ නැත්තං ආගමික දවසක්. ඒ ආගමික දවස් තියෙන්නෙ අපේ පුංචි වෙමින් යන ජීවිතේ විශාලත්වය මතක් කරන්න. අපි ජීවිතේට වඩා බරට කරට අරන් තියෙන වැඩවලින් නිදහස් වෙලා තමන් ගැන, තමන් වටවුනු විශාල විශ්වය ගැන කල්පනා කරන්න තියෙන දවස්. ඒත් ඉරිදා කියන්නෙත් මේ වෙද්දි ඒ ආධ්‍යාත්මික අදහසින් සම්පූර්ණයෙන් බැහැර වුනු සාමාන්‍ය දවසක්. සතියෙ අනිත් දවස් හයේම ඉතුරු වැඩ ටික ඉරිදාට පැවරෙනවා.

    පෝය කියන්නෙ චන්ද්‍රයාගේ දවස. ඒක මාසෙකට වරක් අතරමැද දවසක අහම්බයක් විදිහට එනවා. සියලු බාහිර විනෝදයන් අහිමියි. කඩසාප්පු ඔක්කොම වැහෙනවා. මිනිස්සු වැඩ කරන්නෙම නෑ. අත්ඇරලා දාපු දවසක් වගේ. එකම කරදරේට තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකර් එක. එහෙම නැත්තං පෝය කියන්නෙ අපිට ඇතුලතට හැරෙන්න බලකරන දවසක්. ඒක අපිව මොහොතකට නතර කරනවා. අපිට ආධ්‍යාත්මික නිවාඩුවක් ගන්න කියල පණිවුඩයක් දෙනවා.

    එහෙම දවස් මනුස්සයන්ට ඕන. තමන් ගත කරන ජීවිතෙන් වෙන් කරන අපේ පැවැත්ම සිහිපත් කරන දවස්. අපි වෙහෙස වන කෘතිම දේවල්වලින් දවසකට හරි මිදෙන දවස්. මිනිස්සු ඉපදෙන්නෙ වැඩකරන්න නෙමෙයි. මිනිස්සු වැඩ කරන්න ඕන තමන් ඒ වැඩෙන් තෘප්තිමත් වෙනවා නම් විතරයි. ඒත් අපි වැඩකරන්නෙ වැඩේ ගැන අතෘප්තියෙන්, වැඩෙන් ලැබෙන මුදල ගැන තණ්හාවෙන්. අපි අතෘප්තියෙන් දවස් විසි නවයක් වැඩකරනවා එක පඩි දවසක තෘප්තිය වෙනුවෙන්. ඒක ජීවිතය ගැන හොඳ සැලසුමක් නෙමෙයි. අපි නොදැනුවත්ව අපේ යහපත වෙනුවෙන් කියල නිර්මාණය කරගත්ත සිස්ටම් එක අපිවම භෞතික ශ්‍රමයකට වැඩි දෙයක් නොවන තැනට ඌනනය කරලා තියෙනවා. අපිට ඒ සමාජමය සංස්කෘතිකමය ආර්ථිකමය හිරගෙයින් එලිය දකින්න තියෙන පුංචි විවරයක් තමයි පෝය කියන්නෙ.

    පෝය ඇත්තටම ආගමික අර්ථයකින් ගැලවිලා ආධ්‍යාත්මික අර්ථයකට පෙරලෙන එක වැදගත්. පෝය කියන්නෙ අපේ මිනිස් පැවැත්ම ගැන සිහිපත් කරන දවසක් වෙන්න ඕන. දානයේ, මිනිස් ඇසුරේ, ශරීර ස්පර්ශයේ, විවේකයේ, භාවනාවේ සහ පූජාවේ දවසක් විදිහට පෝය ගතවෙන්න ඕන. අපි ආගමිකව කියන්නෙ සත්‍යය හොයාගෙන යනවා කියලනෙ. ඒ සත්‍යය කියන්නෙ සමාජ ජීවිතය වෙනුවෙන් අපි යටපත් කළ, ඩයිවර්ට් කළ ආශාවන්ගේ සත්‍යය. ඒ ආශාවන්ට නිරුවත්ව සිහියෙන් යුතුව මුහුණදීම. ඒවා ගැන සවිඥානක වීම. එතනදි ඒ ආශාවන් නිදහස් කිරීම හෝ ඒ ආශාවන් දැනුවත්ව පාලනය කිරීම මාර්ගයන් විදිහට තෝරගන්න පුළුවන්. නමුත් අපි අපේ ගැඹුරු මිනිස් පැවැත්ම බාරගන්නවා. ඒ සත්‍යය වෙනුවෙන් පෝය දවස වෙන් වෙන්න ඕන.

    කෙනෙක් ඒක සංගීතයෙන් කරන්න පුළුවන්. කෙනෙක් එක්ක සිත්තමක් එක්ක කරන්න පුළුවන්. සමහර විට ආරාමයක. සමහර විට සංවාදයෙන්, සංවාසයෙන්, සයිකඩෙලික් උදව්වකින්, මේ මොනම ආකරයකින් වුනත් බාහිර ලෝකය වෙනුවට තමන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි වැදගත්.

    අපි දුප්පත් කියන්නෙ අපි කරන කැපකිරීම් වැඩියි කියන එක. අපි අපේ ජීවිතයේ ලොකු කොටසක් සමාජයත් එක්ක ජීවත්වීම වෙනුවෙන් කැපකරලා තියෙනවා. අපේ පවුල්, අධ්‍යාපනය, රස්සාව වෙනුවෙන් කැපකරලා තියෙනවා. කොයිතරම් කැපකරලා තියෙනවද කියල කිව්වොත් අපි ඒකට ජීවිතය කියලත් කියනවා. ඒ හැමදෙයක්ම කරලා අන්තිමට දරුවන්ට කියනවා අපි උඹලා වෙනුවෙන් කෙරුවා කියල. දරුවොත් ඒකම කරනවා. අපි කම්කරුවො හෝ වහල්ලු වෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක් හින්ද නෙමෙයි. අපිට ඊට වඩා දෙයක් නිර්මාණය කරගන්න බැරිවුන හින්ද. අපි අපේ තෘප්තිය හොයාගෙන යනවා වෙනුවට අනාගත තෘප්තියක් වෙනුවෙන් කැපකිරීම තෝරගත්ත හින්ද. හැමදාම වර්තමානය කැපකිරීමයි දුප්පත්කම කියන්නෙ. අනාගතය ගැන ලොකු හීන තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. පෝසත් මිනිස්සු කියන්නෙ වර්තමානය සංතෘප්තියෙන් ගතකරන අයට. බුදුන් පොහොසත් වෙන්නෙ එහෙමයි. ඒ ගතකරන මොහොත පරිපූර්ණව ගත කරන්න තෝරාගැනීම හින්ද. තමන්ගේ මිනිස් පැවැත්මේ ගැඹුර ස්පර්ශ කරන ජීවිතයක් තෝරගත්ත හින්ද. අපි වර්තමානය තෝරාගන්නා මොහොතේදී අපි කම්කරුබවෙන් නිදහස් වෙනවා. මේ මොහොතේ අත්විඳිය යුතු තෘප්තිය මේ මොහොතේ අත්විඳීමට තීරණය කරන තැනින් අපි මොහොතක හෝ පොහොසත් බවක් විඳිනවා.

    කම්කරුවෙක් හවසට බොන එක ගැන මං සතුටු වෙන්නෙ ඒ හින්ද. ඒක ඒ මනුස්සයා තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ගන්න එකම හිතුවක්කාර තීරණය හින්ද. එයාගෙ ජීවිතේ එයා ගත කරන එකම පොහොසත් මොහොත ඒක. ඒ මුදලත් නැවත අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියන එක මේ සිස්ටම් එකේ වහල්බව විසින් මතුකරන තර්කයක්. ජීවිතය තියෙන්නෙ තෘප්තිය පැත්තෙ මිස අතෘප්තිය පැත්තෙ නෙමෙයි. පැවැත්ම තියෙන්නෙ විවේකය පැත්තෙ මිස කාර්යබහුල වීම පැත්තෙ නෙමෙයි.

    මේ දේවල් ගැන හිතන්න විවේකය දෙන පොහොසත් දවසක් පෝය කියන්නෙ.

    ඒත් මං කැමතියි පෝය කැලන්ඩරයෙ ලකුණු වෙලා නොතිබුනා නම්. පෝය කියන්නෙ සැලසුම් කළ නොහැකි දවසක් වුනා නම්. මාසෙකට වරක් එන සම්පූර්ණයෙන් අහම්බ දවසක්. ඊට කලින් දවසේ රාත්‍රියේ පමණක් නිශ්චිතව කිව හැකි දවසක්. අපේ වැඩ නතර වෙන වෙලාව ගැන අපිට කිසිම සැලසුමක් නැති කරන ඩිස්රප්ෂන් එකක්. පෝය එහෙම වුනා නම් ඒකෙ ආධ්‍යාත්මික ගුණය තවත් වැඩි වෙනවා. දවස ගැන සැලසුමක් නැති තැනදි අපි අපේ පැවැත්මේ හිස්තැනට ඇදවැටෙනවා. අපිට වර්තමානය බලහත්කාරයෙන් වුනත් බාරගන්න වෙනවා. ඉර හඳ ගැන කෘෂිකාර්මික යුගයක විශ්වාස මත පදනම් වුනු ඒ ආධ්‍යාත්මික අවකාශයන් නූතන වපසරියට ගැලපෙන විදිහට නැවත නිර්මාණය කරන්න පුළුවන් වුනා නම් වටිනවා.

    එහෙම වුනා නම් අපිට තව අලුත් පෝයක් නිර්මාණය කරගන්න තිබුන. කැලන්ඩරයේ නැති අපිට ජීවිතය මුනගැහෙන පෝයක්.


    චින්තන ධර්මදාස

  • SQUIRT ආශාවේ රිදී වැස්ස

    SQUIRT ආශාවේ රිදී වැස්ස

    ස්ක්වර්ට් කරනවා කියන්නෙ ස්ත්‍රී මෝචනයට. ඒත් ඒ වචනෙන් ස්ක්වර්ට් එකක තියෙන ආශ්චර්ය දනවන්න බෑ. ඒක හින්ද අපි පාවිච්චි කරමු රිදී වැස්ස කියල.

    ගැහැණියකට ස්ක්වර්ට් කරන්න පුරුෂ ලිංගයක් අවශ්‍ය නෑ. ඒකට ඇත්තටම ඕන කරන්නෙ යුරේත්‍රාවක්. යුරේත්‍රාව කියන්නෙ මුත්‍රා එලියට අරන් එන නාලය.

    හැබැයි ස්ක්වර්ට් කරද්දි එලියට විදින්නෙ මුත්‍රා නෙමෙයි. මුත්‍රා යම් ප්‍රමාණයක් එක්ක තවත් ශ්‍රාවයන් මේ මුත්‍රා විවරය තුලින් එලියට විදින එකයි සිද්ද වෙන්නෙ. එහෙම වෙන්නෙ උපරිමයට ලිංගිකව අවදි වෙලා ඉන්න තත්වයකදි හෝ සුරතාන්තයකදි. මේක යෝනි මාර්ගය තෙත් කරන ශ්‍රාවයන්ට වඩා වෙනස්.

    රිදී වැස්ස අපි හිතනවට වඩා සුලබ එකක්. ඉතා සුළු ප්‍රමාණයක් යොදාගෙන කරපු පර්යේෂණයක් අනුව කාන්තාවන් 233කින් 126ක්ම ජීවිතේ එකවතාවක් හරි ස්ක්වර්ට් කරලා තිබුන. ඒ කියන්නෙ 54%ක් විතර ප්‍රතිශතයක්.

    ස්ත්‍රී මෝචනයයි රිදී වැස්සයි කියන දෙකම එකක් විදිහට සලකන්න පුළුවන්ද කියන එක ගැනත් පරස්පරතා තියෙනවා. ගොඩක් අය මේක දෙකක් විදිහට අත්විඳිනවා. රිදී වැස්ස වහින එක ස්ත්‍රී මෝචනය සිද්ද වෙනවට වඩා බහුලයි කියලයි කියන්නෙ.

    එතකොට ස්ත්‍රී මෝචනයක මොනවද පිටවෙන්නෙ? මෝචනයකදි පිටවෙන්නෙ සුදු පැහැති කිරි වලට හුරු ශ්‍රාවයක්. එහි අඩංගු සමහර දේ පිරිමි ශුක්‍රානුවලටත් සමානයි.

    ස්ත්‍රී මෝචනයක් සිද්ද වෙන්නෙ ස්කීන්ගේ ග්‍රන්ථිය කියල හැඳින්වෙන කොටසින්. යුරේත්‍රාව වටේටයි මේ ග්‍රන්ථි පිහිටන්නෙ. මේකට කියනවා ස්ත්‍රී ප්‍රොස්ටේට් එක කියලත්. මේ ග්‍රන්ථිවලින් යුරේත්‍රාවට ශ්‍රාවයන් පිටකළ හැකි විදිහට විවෘත වීම් තියෙනවා. 1800දි ඇලෙක්සැන්දර් ස්කීන් තමයි මේ ග්‍රන්ථි ගැන පළවෙනි වතාවට විස්තර කරන්නෙ.

    ඉතින් මෝචනයකදි පිටවෙන්නෙ මුත්‍රා නෙමෙයි. ගොඩක්ම ප්‍රොස්ටේට් එන්සයිම. හැබැයි රිදී වැස්සකදි මේ මෝචනය වෙන ශ්‍රාවයන් මුත්‍රා සමග මිශ්‍රවෙලයි ඒ වැස්ස නිර්මාණය වෙන්නෙ.

    කෙනෙකුට මිලි 150ක් විතර ප්‍රමාණයක වැස්සක් වස්සන්න පුළුවන් කියලයි පර්යේෂණවලින් පෙන්නන්නෙ. මේ තරම එකඑක්කෙනා අනුව සහ අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒ වගේම මෝචනයකදි දැනෙන හැඟීමත් ඒ ඒ අයට වෙනස්. සමහර කෙනෙකුට සාමාන්‍ය සුරතාන්තයක් වගේම වෙද්දි තව කෙනෙකුට ඒක කකුල් වෙව්ලන තරමෙ ආස්වාදජනක එකක්.

    මේ රිදී වැහි පැණි රසයි කියලයි කියන්නෙ. ඒ හින්දම පැරණි ඉන්දියාවෙ මේ දියට සුරයන්ගේ අමෘතය කියලත් කිව්වා.

    සැබෑ මෝචනයක් නම් වෙන්න ඕන සුරතාන්තයක් එක්කම වුනත් ජී-ස්පොට් එක උත්තේජනය කිරීම මගින් සුරතාන්තයට බැහැරින් මෝචනය ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඕගසම් එකකට නොගිහින් ස්ක්වර්ට් වෙන්න පුළුවන්. මේකට බලපාන්නෙ ඉන්න ඉරියව්ව සහ තාක්‍ෂණය.

    යෝනිය ඇතුලෙ ඉදිරිපසට වෙන්න ඉහළින් ජී-ස්පොට් එක පිහිටනවා. ඇඟිල්ලක් ඇතුලට දැම්මොත් ස්පොන්ජ්මය ප්‍රදේශයක් විදිහට මේක අඳුරගන්න පුළුවන්. මේ ජී-ස්පොට් එක සහ ක්ලිටෝරිසය එකවර උත්තේජනය කිරීමෙන් ගොඩක් අය ස්ක්වර්ට් එකකට යනවා. ජී- ස්පොට් කිව්වට මේක එහෙම හුදකලා තැනක් නෙමෙයි. ක්ලිටෝරල් නෙට්වර්ක් එකේම කොටසක් විදිහටයි පවතින්නෙ. ඒ කියන්නෙ ඔයා ජී-ස්පොට් එක උත්තේජනය කරනවා කියන්නෙ ඔයා ක්ලිටොරිස් එකේ කොටසක් උත්තේජනය කරනවා කියන එක. මේක එක එක ශරීරවල පිහිටන තැන වෙනස්. ඉවසිලිවන්තව ඒක හොයාගන්න වෙනවා.

    මුල් කාලෙදි ගැහැණු ස්ක්වර්ට් කරන එක ලැජ්ජාවක් කියල හිතලා ඒක පාලනය කළා. පිටවෙන්නෙ මුත්‍රා කියල හිතලා ඒ ගැන ලැජ්ජා වුනා. ඒත් කාලයත් එක්ක ඔවුන් සමග රමණය කරන පිරිමින් මේකෙන් ලබන ආස්වාදය තේරුම් ගැනීමත් එක්ක දැන් රිදී වැස්ස උත්කර්ෂවත් වෙලා තියෙනවා.

    මේකට පුරුෂ ලිංගයක් හෝ ඩිල්ඩෝවක් අවශ්‍යම නෑ. ඒ වෙනුවට ඇඟිලි සහ දිව එකට යොදාගෙන වඩා ආස්වාදනීය රිදී වැසි වස්සන්නත් පුළුවන්.

    එක පාරක් ස්ක්වර්ට් කළොත් ඒක දිගටම කරන්න පුළුවන් වෙනවා. එහෙම දිගට පුහුණු කළ කෙනෙකුට හිතන ඕනම වෙලාවක ඒ වැසි වැස්සීමේ මායා බලය ලැබෙනවා. යෝනියක් තියෙන ඕනම කෙනෙකුට ස්ක්වර්ට් කරන්න පුළුවන් කියලයි කියන්නෙ. ඒත් යෝනියක් තිබූ පමණින් ස්ක්වර්ට් කරනවා කියන එක අනිවාර්යයක් නෙමෙයි.

    ඇඳන් තෙමෙන්න, සමහර වෙලාවට බිත්තිවලට වැදෙන්න මේ ආශාවේ දිය දහර විදිනවා. ඒ වැස්සෙ තෙමෙන්න පෙම්වතුන් ආශාවෙන් පෙළෙනවා.

  • ආදරණීය හිස්ටීරියා

    ආදරණීය හිස්ටීරියා

    ස්වර්ණා සහ සමිතා ගැන සිරිමල් විජේසිංහ පෝස්ට් එකක් දාලා තිබුන. ඒ පෝස්ට් එක ගැන අදහසක් විදිහට තවත් කෙනෙක් දිග පැහැදිලි කිරීමක් කරලා තිබුන. සිරිමල් ඒ පැහැදිලි කිරීම හඳුන්වලා තිබුනෙ දීප්ති කුමාර ගුණරත්නගේ අදහස් මත පාදක වුනු එකක් විදිහට. සිරිමල් හෝ දීප්ති ඒ ගැන නැවත නිවැරදි කිරීමක් නොකරන තාක් අපිට පුළුවන් ඒ ස්වර්ණා සහ සමිතා කියන ගැහැණුන් දෙදෙනා ගැන දීප්තිගේ කියවීමක් හැටියෙන් සලකන්න. ඒ අදහස සම්පින්ඩනය කරලා දක්වන කොටසක් තමයි මේ.

    “මේ දෙදෙනා තුළම පවත්නා පොදුසාධකය නම් ඔවුන් හිස්ටරික වීමය. එනම් තමන් කවුද යන්න නිශ්චිත පිලිතුරක් තමාගෙන් ම අසමින් සිටින්නියන්ය. තමා තුල ඇති සංකේතීය පිලිවෙල අහිමි වීමෙන් තමාට අර්ථයක් නොමැති බව හැගෙන විට හිස්ටරිකත්වය තුළින් වන්නේ තමාගේ ආත්මීය හඩට ඇහුම්කන් දීමය. බොහෝ විට මෙබදු පිරිස් තමාගේ රහසිගත අශ්ශීල විනෝදය හෙලිදරව් කරන්නේ තමාට අර්ථයක් ලබා තනු පිණිසය.

    හිස්ටරිකයන් තමාගේ අශ්ශීල ජීවිතය (යථ හෙවත් සැබෑව) යථාර්ථය තුළ හෙලිකල විට සමාජයෙන් – නීතිය හෝ සදාචාරය ඔස්සේ ගැරහුම් ගෙන දේ මේ ගැරහුම හෙවත් පරපීඩිතබව (අනෙකාගෙන් බාහිරින් එන පීඩා) දැනෙන විට පමනි.

    හිස්ටරිකයෙකුට තමාට අර්ථයක් ඇති යැයි හැගෙන්නේ ද හිස්ටරිකත්වය ට සදාචාරයක් අවශ්ය වන්නේ නැත්තේ එනිසාය. යමෙක් තමාගේ අශ්ශීල විනෝදය හෙලිකරයි නම් ඇය රැඩිකල්වාදී ස්ත්‍රියක් නොව පිලිවෙල අහිමි වූ හිස්ටීරිකාවකි” – දීප්තියානු අදහස

    හිස්ටීරියා කියන වචනෙ හැදෙන්නෙ හිස්ටෙරා කියන ග්‍රීක වචනයෙන්. ඒකෙ තේරුම ගර්භාෂය කියන එක. මුල් කාලෙදි හිස්ටීරියාවට හේතුව විදිහට තේරුම් ගත්තෙ ගැහැණුන්ගෙ මේ ගර්භාෂය ශරීරය ඇතුලෙ එහෙ මෙහෙ ගමන් කිරීම කියල. ඉතින් හිස්ටීරියාව කියන වචනයට තියෙන්නෙ අතීතයෙ ඉඳන්ම කාන්තාවන් ඉලක්ක කරගත්, කාන්තාවන් යටපත් කරන පිරිමි බලයක ඉතිහාසයක්.

    එක්ස් කණ්ඩායම තියෙන කාලෙදි මේ වචනෙ ෆ්‍රොයිඩියානු අදහස විකෘති විදිහට පාවිච්චි කරමින් පිරිමි ගැහැණු චරිත හැම එකකටම පහර දුන්නා. මානසික රෝගීන් විදිහට හැඳින්නුවා. මේ නැවත අපි දකින්නෙ ඒ පරණ සාම්ප්‍රදායික පිරිමියෙක් විසින් මනෝ විශ්ලේෂණයේ බලය පාවිච්චි කරන තැනක්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් කියන අන්ත දක්ෂිණාංශික මුග්ධ පිරිමියාත් හිස්ටීරියාව පාවිච්චි කරලා කාන්තා නැගීසිටීම් වලට පහර දුන්නා. මාර්තු අටවෙනිදා කාන්තා අයිතීන් වෙනුවෙන් විරෝධතා දක්වපු අයව පිස්සියන්, පිස්සු ස්ත්‍රීවාදීන් විදිහට හැඳින්නුවා. ඒ විරෝධතාවයන් මීඩියා හිස්ටීරියාවක් කිව්වා. මේ ගැහැණු හිස්ටරිකයන් වන නිසාම අඬනවා කෑ ගහනවා ඇරෙන්න වෙන කිසිදෙයක් දන්නෙ නෑ කියල අපහාස කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දීප්ති කුමාර ගුණරත්න අතර පේන මේ සම්බන්ධතාව හරි අපූරු එකක්. එක්කෙනෙක් ඇමරිකානු දක්ෂිනාංශය. අනෙකා ලංකාවෙ වාමාංශය.

    ට්‍රම්ප් මෙතනදි පෙන්නන්න හැදුවෙ මේ ස්ත්‍රී විරෝධතා කියන්නෙ තාර්කික දේවල් නෙමෙයි ප්‍රතිකාර කළ යුතු මානසික ආබාධයක ලක්ෂණයක් කියල. දීප්ති ඉහත පෙන්වන්න හදන්නෙ අර ගැහැණුන්ගේ ජීවිතය ඒ අයගේ අරගලයක් නෙමෙයි ඒක මානසික ප්‍රතිකාර කළ යුතු රෝගයක් කියල.

    මේ විදිහට ගැහැණුන්ව හිස්ටීරියාවෙන් යටපත් කිරීමට අඳුරු ඉතිහාසයක් තියෙනවා. මේ වචනය ඇතුලෙ හැමදාම ප්‍රකාශමාන වුනේ ගැහැණියගේ ශරීරයට එරෙහි වීමක්. ඇගේ ශරීරයම රෝගයක් හැටියෙන් ගනිමින් ඇයට ස්වාධීනත්වයක් අහිමියි කියන තැනට පත්කිරීමේ බලහත්කාරයක් මේ වචනෙ පිටිපස්සෙ තිබුන. කෙනෙක් උමතුයි කියන්නෙ එයාට යමක් ගැන අදහසක් දැක්වීමේ අයිතිය අහිමි කරන අසාධාරණ බල දිගුවක්. හිස්ටීරියාවෙදි ඒක විද්‍යාවේ නමෙන් ගැහැණිය දිහාවට දිගුවුනා.

    මේක අවිද්‍යාත්මක ඓතිහාසික පිරිමි උරුමයක්. පිරිමි තාර්කිකයි, පිරිමින්ගේ අනසකෙන් මිදුනු වහාම ගැහැණු හිස්ටරිකයි. ඔවුන් ප්‍රසිද්ධ ජීවිතයට නුසුදුසුයි. ෆ්‍රොයිඩ්ට කලින් හිස්ටීරියාව කියන පොතේ හෙලන් කින්ග් ලියනවා ග්‍රීක යුගයෙදි ප්ලේටෝ සහ හිපොක්‍රටීස් හිස්ටීරියාව ගැන හිතපු විදිහ.

    ‘ගර්භාෂය ශරීරය පුරා ගමන් කරමින් කාන්තාවගේ පැවැත්ම අවුල් කරනවා. මේ අසනීපය ගර්භාෂ තෙරපුම කියල හඳුන්වනවා’

    මේ නිසා කාන්තාවගේ චර්යාව විශ්වාස කළ නොහැකි යැයි ඒ ගොල්ලො කිව්වා. මේකට ප්‍රතිකාරයක් විදිහට කිව්වෙ ඇයව නිතරම ගර්භනීව තැබිය යුතුයි කියල. ගැහැණුභාවයෙන් මාතෘභාවයට පත් කළ යුතුයි කියල.

    මධ්‍යතන කාලෙ වෙද්දිත් ස්ත්‍රිය පිළිබඳ සාම්ප්‍රදායික වටිනාකම්වලට එකඟ නොවෙන ගැහැණු රෝගීන් විදිහට හැඳින්වීම කළා. 2021දි දීප්ති කරන්නෙත් ඒකමයි. 17 වෙනි සියවස වෙනකල් බටහිර වෛද්‍ය විද්‍යාවේ න්‍යායන්ට පාදක වුනු ග්‍රීක වෛද්‍යවරයෙක් වූ ගැලන් කියනවා කාන්තාවකගේ සංසේචනය නොවුනු ඩිම්බ නරක් වීමෙන් ඇය රෝගී වෙනවා කියල. මේ නිසා ඇයව ගැබ් ගැන්වීමෙන් කාර්යබහුල කළ යුතුයි කියල. ගැලන්ගේ තියරිවලින් වෛද්‍ය විද්‍යාව මේ වෙද්දි ගැලවුනාට දිගටම ඒ විද්‍යාව ඇතුලෙ මේ අවිද්‍යාවෙ සද්දෙ ඇහුනා. 1883දි ඔගස්ටෙ ෆේබර් කියන ප්‍රංශ වෛද්‍යවරයා කියනවා, හැම ගැහැණියක්ම හිස්ටරිකයි. හැම ගැහැණියක්ම හිස්ටීරියාවේ බීජ දරාගෙනයි ඉන්නෙ’ කියල.

    ඇත්තටම හිස්ටීරියාව කියන වචනෙ මුලින්ම එන්නෙ මධ්‍යතන කාලෙ මායාකාරියන් දඩයම් කිරීමත් එක්ක. 17 වෙනි සියවසේදි මේ දඩයම ඉහළින්ම සිදුවෙද්දි යුරෝපයේ කසාද බඳින්න උනන්දු නැතිවීම සහ දැඩි ලිංගික ආශාවන් පැවතීම කාන්තාවකගේ හිස්ටරික ලක්ෂණ විදිහට සැලකුනා. මේ අය සාතන් සමග සම්බන්ධ හැටියට සැලකලා ඇතැම් විට මරාදැමුනා.

    19 වෙනි සියවසේදි මායාකාරියන් කියන තැනින් ගැලවිලා හිස්ටීරියාව ස්නායු රෝගයක් බවට පත්වුනා. 1800 වෙද්දි ඕනම දෙයක් හින්ද ගැහැණියක් හිස්ටරිකයෙක් විදිහට ලේබල් කරන්න පුළුවන් වුනා. එතනදි ප්‍රධානම එකක් වුනේ ස්ත්‍රීවාදී පෙරමුණුවලට එකතු වීම.

    පීතෘමූලිකභාවය අභියෝග වෙමින් විප්ලවකාරී දූවරුන් කැම්පස් යන්න, රස්සා කරන්න, චන්දෙ දාන්න අයිතිය ඉල්ලද්දි ලේසිම දේ වුනේ ඒ අය මානසික ආබාධයකින් පෙලෙන හැටියට සලකුණු කරන එක. ශ්‍රීමත් ඒ. ඊ රයිට් කියන සුප්‍රකට වෛද්‍යවරයා ලිපියක් ලියනවා, මානසික ආබාධයක් කාන්තාවන් පෙරමුණ ගැනීමක් හැටියෙන් වරදවා වටහා ගැනීමක් සිදුවෙලා තියෙනවා කියල.

    “මේ අයට ඕන වෙලා තියෙනවා විවාහයෙන් සහ මාතෘභාවයෙන් බාහිර වෙනත් වටිනාකම් ආරෝපනය කරගන්න. මේ සමතැන ගැන ආශාව කියන්නෙම රෝගයක්. ආත්ම ගරුත්වය ගැන කාන්තාවන්ගේ හැඟීම අනතුරුදායක විසක්. නමුත් කලබල විය යුතු නෑ. ප්‍රතිකාර තියෙනවා. ඒ තමයි එයාගෙ සැමියාගේ නිවසට වෙලා විවේක ගන්න එක” – ශ්‍රීමත් ඒ.ඊ රයිට්

    19 වෙනි සියවසේ චාලට් පර්කින්ස් ගිල්මන් කියන ලේඛිකාවත් මේ විදිහෙ විවේක ප්‍රතිකාර සඳහා නියම කළ කෙනෙක්. මේ අය ඇඳටම වෙලා ඉන්න ඕන. මේදය වැඩි ආහාර ගන්න ඕන. එහෙම ගන්නෙ නැත්නම් බලෙන් කවන්න ඕන. කතා කිරීම, ලිවීම සහ ඇඳුම් මැසීම ආදිය ඒ අයට තහනම්.
    පුළුවන් තරම් ගෘහනියකගේ ජීවිතයක් ගත කළ යුතු අතර පෑනක් පැන්සලක් හෝ පින්සලක් ජීවිත කාලය පුරාම අතින් ඇල්ලීම තහනම්.

    මේ ප්‍රතිකාරවල අදහස වුනේ ගැහැණිය තමන්ගේ සැමියා යටතේ කීකරුව සිටින දරුවෙකුගේ මානසිකත්වයට පත්කිරීම. ඒත් මේක සාර්ථක වුනේ නෑ.

    1880දි වෛද්‍ය ජෝසෆ් මෝටිමර් ග්‍රැන්විල් මේකට ප්‍රතිකාරයක් විදිහට වයිබ්‍රේටර් එක හඳුන්වාදෙනවා. ඒ මගින් හිස්ටරිකල් පැරොක්සිසම් එකක් හෙවත් සුරතාන්තය ඇති කිරීමෙන් රෝගය සුව අතට හැරෙන බව කියනවා. අද වෙද්දි ඒක ගැහැණු නිදහස සංකේතවත් කරන ස්ත්‍රීවාදී සෙක්ස් ටෝයි එකක්.

    ඉතිහාසෙ ඉඳන් හැරිලා බලනකොට අපිට හිතෙන්න පුළුවන් අද ගැහැණියගේ තත්වය කොයිතරම් මානුෂික වෙලාද කියල. ඒත් දීප්තිලා වගේ ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අයත් දරන මේ වගේ අදහස් අපිව ඒ සුවදායී සිහිනයෙන් ඇහැරවනවා. තාමත් මවක්, කීකරු බිරිඳක්, හොඳ ගෘහණියක් කියන සීමාවෙ නොරැඳෙන ගැහැණියක් හිස්ටරික රෝගියෙක් හැටියෙන් ලේබල් කරනවා. ඇගේ ප්‍රසිද්ධ ජීවිතය උමතුවක් හැටියට අවලංගු කරනවා.

    ඔබේ බිරිඳට රස්සාවට යන්න ඉඩදෙන්න එපා. ඒක භයානකයි.
    – ඩොනල්ඩ් ට්‍රම්ප් –

    1950දි ඇමරිකානු මනෝවිද්‍යා සංගමය හිස්ටීරියාව මානසික රෝගයක් හැටියෙන් බැහැර කරනවා. ඒත් අද වෙනතුරුත් සම්ප්‍රදාය අභියෝග කරන ගැහැණුන්ට මේ ලේබලය ඉලක්ක වෙනවා. විශේෂයෙන්ම ගැහැණිය එලිපිට තමන්ගේ ආශාව හොයාගෙන යද්දි කලබල වෙන ගතානුගතික පිරිමියා ඇයව රෝගියෙක් කරන්න මේ වචනයේ බලය පාවිච්චි කරනවා.

    ඔයාට සාම්ප්‍රදායික නොවූ හැඟීම්, ආශාවන් තියෙනවා නම්, ඒවා බය නැතුව විවෘතව බාරගන්නවා නම්, ඔයා හිස්ටරික, පිස්සු ගැහැණියක්. ඒකයි දීප්ති උඩ කියන ලැජ්ජා නැති අදහස.

    ස්වර්ණා සහ සමිතා කියන ගැහැණු චරිත දෙකම සමාජයට බොහෝ සුන්දර දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ අයගේ පුද්ගලික ජීවිත අර්බුද ඇතුලෙ වුනත් ඔවුන් රටේ බොහෝ දෙනෙකුට රසවිඳින්න දේවල් නිෂ්පාදනය කළා. මෙතනදි ස්වර්ණා ගැහැණියක් විදිහට ඉතාමත් නිර්භීත ඇඩ්වෙන්චරීය ගමනක් ආවා වුනත් මං හිතන්නෙ ඇගේ අවසාන අරමුණ වුනේ සාම්ප්‍රදායිකව පිළිගන්නා මවක් බවට පත්වීම. ඒ තරම්ම සමාජ පීඩනය විසින් ඇයව දුර්වල කරන්න ඇති. හුදකලා කරන්න ඇති. මං දකින්නෙ ස්වර්ණා තමන් ගත කළ අසම්මත, කැරලිකාර ස්ත්‍රී ජීවිතය ආඩම්බරෙන් බාරගත්තෙ නෑ කියල.නමුත් සමිතා මෙතනදි වෙනස්. ඇය ලංකාවෙ ගැහැණියක් හැටියට ආශාව සහ නිදහස වෙනුවෙන් විප්ලවීය වැඩ කොටසක් තනියම නොදැනුවත්ව කරනවා. ඒක නිසා ලැබෙන ටොන් ගණන් අපවාදවලට මුහුණ දෙනවා. ඇය තමන්ගේ අසම්මත ප්‍රේමයේ අරගලය කරන්නෙත් සම්භාව්‍ය ඉඩකඩක නෙමෙයි ජනප්‍රිය අවකාශයක.

    මෙතනදි සමිතා ගැහැණියක් පිළිබඳ සම්මතයන් ගණනාවක්ම අභියෝග කරනවා. පිළිගන්නා සම්මත විවාහය අභියෝග කරන ඇය සුන්දර යැයි සම්මත ස්ලිම් සිරුරක් හෝ ප්‍රේමවන්ත යැයි සම්මත වයසක් හෝ පයිසයකට මායිම් නොකර සිනාමුසුව තමන්ගේ ආදරය සහ ආශාව වැළඳගන්නවා. ලංකාවෙ ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ නිදහස් රොමාන්තික අවකාශයක් සමිතා විසින් විවෘත කළා කියන එකයි මගේ පිළිගැනීම.

    මේ ගැහැණුන්ට හිස්ටරිකයි කියන නිරෝගී දීප්ති සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියන එක ඕන නම් ඒ එක්ස් සංස්කෘතියෙ පිරිස් අතර යන සංවාදයකදි තේරුම් ගන්න පුළුවන්.

    ෆ්‍රොයිඩ්ගෙ වැදගත්ම මැදිහත්වීම සිද්ද වුනේ හිස්ටීරියාව කියන එක කායික රෝගයක් නෙමෙයි මානසික රෝගයක් හැටියෙන් තේරුම් කිරීමෙන්. ඒ වගේම හිස්ටීරියාව කියන්නෙ කාන්තාවන්ට පමණක් හැදෙන රෝගයක් නෙමෙයි, කුඩා කාලයේ ලිංගික අතවරයකට, ට්‍රෝමැටික අත්දැකීමකට, බරපතල ලිංගික යටපත් කිරීමකට, දඬුවමකට පාත්‍ර වුනු කෙනෙකුගේ ඒ යටපත් අත්දැකීම නිසා පසු කාලයක ශාරීරිකව ප්‍රකාශමාන වන ව්‍යාධිමය තත්වයන් හැටියෙන් ෆ්‍රොයිඩ් විස්තර කළා. ඒ කියන්නෙ හිස්ටීරියාව යනු පුද්ගලික රෝගයක් නෙමෙයි ඒක සමාජයෙන් ඇති කරන රෝගයක් කියන තැන ලකුණු කරන්නෙ ෆ්‍රොයිඩ්. ඒ යටපත් බියජනක අත්දැකීම සිහිකැඳවීම හරහා ඒ රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් කියල ෆ්‍රොයිඩ් අනාවරණය කළා.

    එතකොට හිස්ටීරියාව කියන්නෙ සමාජය ඇතුලෙ පවතින ලිංගික යටපත් කිරීම සහ බලහත්කාරය සම්බන්ධ රෝගයක්. හිස්ටීරියාව සැබවින්ම ප්‍රකාශමාන වෙන තැනකදි වුනත් ඒකෙන් ඒ පුද්ගලයා ලේබල් කිරීම, එය ඔහුගේ හෝ ඇයගේ අශ්ශීල ආශාවන්ගේ ප්‍රතිඵලයක් හැටියට දැක්වීම කියන්නෙ අශිෂ්ටකමක්. අශ්ශීල කියන වචනෙ හරියට ගැලපෙන්නෙ එතනට.

    කෙනෙක් තමන්ගේ දේශපාලනය ඇතුලෙ ගැහැණුන්ට පුද්ගලිකව මානසික රෝගීන් හැටියට අපහාස කරනවා කියන්නෙ ඒ මනුස්සයාගේ දේශපාලනයෙ රෙදි ගැලවෙන තැනක්.

  • ආදරයෙන් අවබෝධයට තන්ත්‍ර යෝග

    ආදරයෙන් අවබෝධයට තන්ත්‍ර යෝග

    අද ලෝක යෝග දිනය. යෝග කියන්නෙ සම්බන්ධ වීම, ඒකත්වය කියන තේරුම. යෝග කිව්වම අපිට මුලින්ම මතක් වෙන හථයෝග වුනත් කර්ම යෝග, ඥාන යෝග, රාජ යෝග ආදී තවත් යෝග සම්ප්‍රදායන් තියෙනවා. ඒ වගේම තන්ත්‍ර පැත්තෙන් තන්ත්‍ර යෝග විදිහට හඳුන්වන විශ්වය සමග අපේ ඒකාත්මිකත්වය ඇති කරන පුහුණුවීම් තියෙනවා. හථ යෝග වලදි අපි ගොඩක් වෙලාවට එක ඉරියව්වක ආසනයක බොහෝ වේලාවක් හිඳීම පුහුණු කරන අතර තන්ත්‍රවලදි එක ඉරියව්වකින් අනෙකට චලනය ගැන අවධානය යොදනවා. ඒ වගේම භාවනා, මන්ත්‍ර, ප්‍රාණයාම ආදී සියල්ලත් මේ ශාරීරික පුහුණුව ඇතුලට ගේනවා.

    අපි තන්ත්‍ර යෝග කියපු ගමන් හිතන්න පෙළඹෙන්නෙ ලිංගික විලාසයන් ගැන. ඒ බටහිර ගොඩක් ජනප්‍රිය වුනු තන්ත්‍රවල කුඩා කොටසක්. ඒකට කියන්නෙ රක්ත තන්ත්‍ර කියල. තමන්ගේ ප්‍රේමය සමග කයින් එකතු වීමෙන් ඒ ආස්වාදය තුලින් ශාරීරික සීමාවන්ගෙන් ඔබ්බෙහි වූ ඒකත්වයක් සොයායාමේ සාධනාව. අනෙක් කොටසට කියනවා ශ්වේත තන්ත්‍ර කියල. ඒ පුහුණුව තියෙන්නෙ තනිවම. තමන් තුලින් තමන්ව සොයාගෙන යාමෙන් විශ්වය සමග ඇති ඒකත්වය අවබෝධ කරගැනීමේ සාධනාව. තමන් තුල මේ සෙවීම ප්‍රගුණ කළ කෙනෙකුටයි ප්‍රේමාන්විතයා සමග සම්භෝග සමාධියට යන්න පුළුවන් වෙන්නෙ. ශ්වේත යෝග කියන්නෙ තමන්ට ප්‍රේම කිරීමේ අභ්‍යාසයක් විදිහටත් දකින්න පුළුවන්.

    තන්ත්‍ර යෝග ගැන ගොඩක් කතන්දර සම්බන්ධ වෙන්නෙ පරිපූර්ණ විඥානය මූර්තිමත් කරන ශිවට. තන්ත්‍රවල බොහෝ පුහුණුවීම් සහ උපදෙස් ලැබෙන්නෙ ශිවගෙන් පාර්වතීට. පාර්වතී අහන ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. ඒවා ආදර සංවාද.

    ශිව පාර්වතී ආදරය ගැන කතාවත් හරිම ගැඹුරු තේමාවන් ස්පර්ශ කරන එකක්. ඒක පටන් ගන්නෙ මෙහෙම.

    ශිව ගැඹුරු ධ්‍යානයකට සමවැදිලා බොහෝ කාලයක් එකම ඉරියව්වෙන් භාවනාවේ ඉන්නවා. ඒත් ශිව කියන්නෙ මේ විශ්වයේ එක්තරා විශේෂ කාර්යයක් භාර කෙනෙක්. ලෝකයට අවශ්‍ය නොවෙන දේවල් ඉවත් කිරීම, විනාශ කිරීම සිදු කරන්නෙ ශිව. එතකොට ශිව මේ විදිහෙ උග්‍ර භාවනාවලට ගියාම ලෝකයේ සමතුලිතබව නැති වෙනවා. හැමදේකම පාලනයක් නැති වෙනවා. ඉතින් දෙවිවරු කලබල වෙනවා.

    ඒ අයට ඕන වෙනවා ශිවගේ දැහැන බිඳින්න. ඒක කරන්න පුළුවන් එක විදිහයි තියෙන්නෙ. ඒ තමයි ශිව ආදරයෙන් මුසපත් කරන එක.

    මේක කරන්න පුළුවන් එක්කෙනයි දෙවිවරු දන්නෙ. ඒ තමයි මහා මාතාව ශක්ති. එයා ඉන්නෙ එයාගෙ කඳුවැටියක. දෙවිවරු ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිනවා ශක්තිගෙන් ශිවගේ මනුෂ්‍ය පෙම්වතිය වෙන්න කියල.

    ඇය කියනවා මගේ පෙම්වතා වෙන්නෙ ශිව නම් මම ඔහු වෙනුවෙන් කාලය සහ අවකාශය අතරට යන්නම්. මම ඔහුගේ සදාතනික පෙම්වතිය වෙන්නෙම්, කියල.

    ඇය කඳුකර රජෙකුගේ දියණියක් විදිහට මනුස්ස රූපයකින් ඉපදෙනවා. කඳුකර දියණිය කියන අදහස ඇතුව ඇයට පාර්වතී නම ලැබෙනවා. අවුරුදු දාසයක් ගතවුනු තැන පාර්වතී ශිව භාවනා කරන අසපුවට යන්න ගන්නවා. එතන වතාවත් කරනවා. භාවනා කරනවා. වැඩිවෙලාවක් ශිව දෙස බලාගෙනම ඉන්නවා. ඒත් ශිව නෙමෙයි එකවරක්වත් දෑස් විවර කර බලන්නෙ.

    මේක දකින දෙවිවරු කලබල වෙනවා. මේ ආදරයට ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්න කල්පනා කරනවා. ඒ ගොල්ලො ආශාවට අධිපති කාම කැඳවනවා. කාම ළඟ තියෙනවා උක්දඬුවලින් හදපු මල් හී පහක්. ආශාව ඇති කිරීම, සිත වියවුල් කිරීම, ආශාවෙන් ඇවිලීම, පිපාසය සහ විනාශය කැඳවීම කියන්නෙ ඒ හී පහට කරන්න පුළුවන් වැඩ. එයා දෙවියන්ගේ ඉල්ලීම අනුව ශිවගේ හදවතට මල් හීයක් විදිනවා.

    ඒ හීයෙන් ශිව ආශාවෙන් පිරී යනවා. කාම ගින්නෙන් දැල්වෙනවා. එයා ඇස් ඇරලා බලද්දි සුන්දර පාර්වතී එයාගෙ ඇස් දිහා බලාගෙන ඉන්නවා.

    ඒත් මේ නිකම්ම අන්ධ වෙන පෙම්වතෙක් නෙමෙයි. ශිවට සැක හිතෙනවා මේ හැඟීම ගැන. මේක සැලසුමක් කියල හිතනවා. එතකොට එයා කාම දකිනවා.

    මුගෙ අම්මට… කියල තුන්වෙනි ඇස විවර කරන සැනින් කාම එතනම අළුවෙලා වැටෙනවා. ශිව ආපහු දැහැනට සමවදිනවා. ආදරය අමතක කරනවා.

    පාර්වතී දැනගන්නවා තමන්ට තිබුණු අවස්ථාව ගිලිහුනු බව. එයා යෝගිනියක් වෙනවා. උග්‍ර ව්‍රතයන් පුරන්න පටන් ගන්නවා. තනි පයින් සීත හිම මත අවුරුදු ගණන් හිටගෙන මන්ත්‍ර කියනවා.

    ඕම් නමහ් ශිවාය ශිවාය නම ඕම්..

    මේ ව්‍රතයේ බලයෙන් මුලු පරිසරයම උණුසුම් වෙන්න ගන්නවා. ශිවට තමන්ගේ දැහැනේ ඉන්න බැරි තරමට උණුසුම දැඩි වෙනවා. ශිව එයාගෙ ඇස් ඇරලා බලනවා. මේ උණුසුමට හේතුව පාර්වතී බව දකිනවා. ඒ ඇගේ ආදරයේ අරගලය බව තේරුම් ගන්නවා. ඇගේ හිත තවත් පරීක්ෂා කරන්න ශිවට ඕන වෙනවා.

    එයා රාජ කුමාරයෙකුගේ වෙස් අරගෙන පාර්වතී මුනගැහෙන්න යනවා. පාර්වතී දුටු ගමන් ඇගේ රුව වර්ණනා කරනවා. ඇගේ හදවත පැහැර ගත් පෙම්වතා කවුද කියල විමසනවා.
    ඇය ශිවගේ නම කියනවා.

    අයියෝ, ඔයාට අර කන්දක් උඩ ඉන්න මිනිහද? එයාට පවුලක් ගැන හැඟීමක්වත් නෑ. කොච්චර කාලයක් තිස්සෙ තනියම ඔහොම ඉන්නවද. ගොඩක් වෙලාවට හෙළුවෙනුත් ඇවිදිනවා. ඔයාට පුළුවන් නෙ විෂ්නු වගේ ඔයාව සැපෙන් සුවෙන් තියන්න පුළුවන් කෙනෙකුගෙ පෙම්වතිය වෙන්න. මේ පිස්සු හිඟන්නෙක් පස්සෙ යන්නෙ නැතුව.

    රාජ කුමාරයා කියනවා. මේකට පාර්වතීට හොඳටම තරහ යනවා. ඇගේ ඇස්වලින් ගිනි පිටවෙනවා.
    ශිවට පවුලක් නැත්තෙ ශිව සම්මතය සහ ආකෘතිය ඉක්මවා පවතින නිසයි. ශිව නිරුවතින් ඉන්නෙ ඔහු පිරිසිදු විඥානයම හැර අන් කිසිවක් නොවන නිසයි. මම ආදරය කරන්නේ ඒ කන්ද උඩ ඉන්න පිස්සාටම විතරයි.

    මෙයින් ශිවගේ ආදරය ගැන සැක හැරෙනවා. ඔවුන් පෙම්වතුන් වෙනවා. කෛලාශ කූටය ඔවුන්ගේ ප්‍රේමයේ අසපුව වෙනවා. අවුරුදු 33000ක් එක දිගට ශිව සහ පාර්වතී රමණය කරනවා. ඒ රමණය අතර තුර විරාමයේදී ඔවුන් සත්‍යය ගැන සංවාද කරනවා. තන්ත්‍ර කියන්නෙ ඒ රමණ අතර සත්‍යය සොයන සංවාදයට.

    හරියටම කිව්වොත් තන්ත්‍ර කියන්නෙ පාර්වතීගේ කොට්ටෙ උඩ වැතිරිලා මහායෝගී ශිව කියන විශ්වයේ ඒකාත්මිකතාවය ගැන කතන්දර.

    තන්ත්‍ර යෝග බිහිවුනේ අන්න එතනදි කියලයි මිත්‍යා කතාවල කියන්නෙ.

  • තාත්තා

    තාත්තා

    අද ලෝක පියවරුන්ගෙ දිනය. ඒක නිසා හැමෝම වගේ තමන්ගේ තාත්තා ගැන මතක් කරලා සුබපැතීම් කරනවා. මේ අතරෙ අපිට පුළුවන් කල්පනා කරන්න අපිට තාත්තාව මුනගැහෙන තැන. ඒ කියන්නෙ ඉපදුනු දවස නෙමෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව අපිට තාත්තාව මුනගැහෙන්නෙ අපේ ඊඩිපස් සංකීර්ණය ඇතුලෙදි. ඒ කියන්නෙ අපේ අවුරුදු 03-05 දක්වා කාලෙදි.

    අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා අපේ ළමා කාලය හරිම සුන්දර එකක් කියල. ඒත් ෆ්‍රොයිඩ් අපේ මනස ඇතුලෙන් හොයාගත්තෙ ඊට වඩා ගොඩක් වෙනස් ළමා කාලයක්. ඒ කාලෙ අපිට ඉතාම තදබල ආශාවන් තියෙනවා. ඒ වගේම ඒ ආශාවන් නිසා හටගත් බය, ආතතිය දැනෙනවා. ඊඩිපස් සංකීර්ණයත් එක්කම අපි ආදර සම්බන්ධතාවලට ඇතුල්වෙනවා. මේ ආදර සම්බන්ධතා ඇතුලෙ අපි ජීවිතේ ලොකුම ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

    මේ කාලෙදි අපිට සිද්ද වෙනවා අපි ආස කරන දේ කැප කරන්න. දේවල් අත්හරින්න. අපි කීකරු වෙනවා. කීකරු වෙනවා කියන්නෙම අපේ ආශාවන් රිප්‍රෙස් කරනවා. අපේ කීකරුබව, විනය ඇති කරන්නෙ තාත්තා විසින්. අපිට ජීවිතේ මුලින්ම මුනගැහෙන අධිකාරී බලය තමයි තාත්තා කියන්නෙ.

    පොඩි එකෙක් ඉපදෙද්දි ඌට ලෝකෙ රජා විදිහට දැනෙන්නෙ ඌව. කැමති හැමදෙයක්ම ඒ වෙලාවෙම ඉටු කරගන්නයි ඌට ඕන. විශේෂයෙන්ම අම්මව තමන්ට අයිති වස්තුවක් විදිහටයි පොඩි එකා දකින්නෙ. මේ ඊඩිපස් කාලෙදි ඌ තේරුම් ගන්නවා අම්මව තමන්ට අයිති නෑ කියල. අපිට ඕන විදිහට හැමදේම සිද්ද වෙන්නෙ නෑ කියල. මේ හරිම ප්‍රචන්ඩ අත්දැකීමක් දරුවෙකුට.

    හැම දරුවෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නෙ මේ ඊඩිපස් සංකීර්ණය තරණය කිරීමේ මහා අභියෝගය දෑතින් අරගෙන.

    සෑහෙන කාලයක් යනකල් මේ ඊඩිපස් කම්ප්ලෙක්ස් කියන එක තේරුම් අරගෙන තිබුනෙ වැරදියට. ගොඩක් අය මේ ගැන හිතුවෙ දරුවෙක් තමන්ගේ විරුද්ධ ලිංගික මව හෝ පියා වෙත ආකර්ශනය වෙමින් සමලිංගික පාර්ශ්වය සමග ගැටීමක් ඇති කරගැනීම කියල. ඒක ඊඩිපස් කම්ප්ලෙක්ස් එක සිම්ප්ලෙක්ස් එකක් කිරීමක්. සංකීර්ණයක් කියන්නෙ තත්වය ඒ තරම් සරල නෑ කියන එක.

    ෆ්‍රොයිඩ් මේක නිවැරදි කරනවා. එයා කියනවා පිරිමි වුනත් ගැහැණු වුනත් දරුවෙක් ආදරෙන් බැඳෙන්නෙ තමන්ගේ මවත් සමග කියල. පියා සමග ඇතිකරගන්නා බැඳීමට ඉලෙක්ට්‍රා සංකීර්ණය යනුවෙන් සංකල්පයක් පාවිච්චි කිරීම පවා තේරුමක් නෑ කියල ෆ්‍රොයිඩ් පසුව කියනවා.

    දරුවෙක් මව සමග ඇති කරගන්නා සම්බන්ධය ලිංගික එකක් කියල ෆ්‍රොයිඩ් පැහැදිලිව කියනවා. නමුත් ඒ ලිංගික කියන අදහස අපි වැඩිහිටි වයසෙදි ලිංගික කියන අදහස එක්ක සමපාත එකක් නෙමෙයි. ඒක අපිට හිතාගන්න බැරි විදිහක එකක්. තමන්ට හැකි හැමදෙයක්ම මේ වෙද්දිත් දෙන, හැමවෙලාවකම ළඟ රැඳෙන, තුරුලේ රඳවන මවගෙන් තවත් දේ ආශා කිරීම කියන්නෙ ඒක වෙනස් තත්වයක්. ඉරීමෙන්, සැපීමෙන්, ලිංගේන්ද්‍රට ඇතිල්ලීමෙන් ආදියෙන් දරුවෙක් මේ ආශාව තෘප්තිමත් කරගන්නවා. ඒක වෙනස් පරිමාණයක ලිංගික උවමනාවක්.

    ඊඩිපස් කාලෙදි දරුවෙක් තේරුම් ගන්නවා අම්මාගේ සම්පූර්ණ ලෝකයම තමන් නෙමෙයි කියන එක. තමන්ගෙන් බාහිර ලෝකයක් මවට පවතිනවා කියන එක. අම්මාගේ ආදරය ලබාගැනීමේ තරගය ඇති වෙනවා. ඇගේ ආදරය ලබන වෙන ඕනම කෙනෙක් එක්ක ඊර්ශ්‍යාව, තරහව ඇති වෙනවා. මෙතන බොහෝ විට ඉන්නෙ තාත්තා. නමුත් තාත්තා හෝ සහෝදර සහෝදරියක හෝ කවුරුන් හෝ මේ බාධකය වෙන්න පුළුවන්.

    දරුවෙකුට තමන්ව මවගෙන් වෙන් කරන ජීවිතයේ වේදනාකාරීම බාධකය වෙන්නෙ තාත්තා. දරුවෙකුගේ ජීවිතේ පරිපූර්ණම ප්‍රේමය අසම්පූර්ණ කරන්නෙ තාත්තා.

    දරුවෙක් තමන්ගේ ආශාව ගැන බයට පත්වෙනවා. ඒක දැනගත්තොත් මොනවා කරයිද කියල. තමන්ගේ ආදරයේ වස්තුව තමන්ට අයිති නෑ කියල දරුවෙක් තේරුම් ගන්නවා.

    තාත්තා කියන්නෙ අම්මා සහ දරුවා වෙන් කරන කවර හෝ බාධකයකට.

    ෆ්‍රොයිඩ් කියන්නෙ අපි ගැහැණු හෝ පිරිමි බවට පත්වෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙන් පස්සෙ කියල. ඒ කියන්නෙ තාත්තා මුනගැහීමෙන් පස්සෙ. තාත්තා පිරිමි විදිහටත් අම්මා ගැහැණු විදිහටත් අපිට මෙතනදි මුනගැහෙනවා. පුරුෂ ලිංගයක් හිමි දරුවා තාත්තාට වඩා පිරිමිබව මඳක් අඩුවෙනුත් පුරුෂ ලිංගයක් අහිමි දරුවා මවට වඩා ස්ත්‍රීභාවය මඳක් අඩුවෙනුත් තමන්ව පිහිටුවා ගන්නවා. ඊඩිපස් සංකීර්ණය කියන්නෙම අපිට පූර්ණ පිරිමියෙක් හෝ ගැහැණියක් විය නොහැකියාවට. අපේ අසමත් වීමට. කිසි කෙනෙක් මේ සංකීර්ණය නිවැරදිව විසදාගන්නවා කියල එකක් නෑ. හැමකෙනෙක්ම මෙතනදි ඩැමේජ් වෙනවා. අපි සමාජගත වෙන්නෙම ඩැමේජ් ජීවිත විදිහට.

    අපේ තාත්තා වඩා බලවත් වෙද්දි අපේ කීකරුබව යටත්බව වැඩිවෙනවා. සමාජයට අවනත, සම්මතය බාරගන්නාසුලු දරුවන් බිහිවෙනවා. අපි අපේ තාත්තා වීරයෙක් හැටියට දකිනවා. ඒ තාත්තා ඇතුලෙ අපේ ආරක්ෂාව රැකවරණය හොයනවා.

    තාත්තාට බයෙන් යටපත් ආශාවන් ජීවිත කාලය පුරාම අපිව බයට පත් කරනවා. අපේ සම්බන්ධතා ඇතුලෙ හොල්මන් කරනවා. ඇත්තටම මනුස්සයෙකුගේ ජීවිතය කියන්නෙ පවුල ඇතුලෙ අත්විඳි භීතීන්ගෙන් නිදහස් වෙන එකට.

    තාත්තා අපිට මුනගැහෙන්නෙ ආගමික සංස්කෘතික ආධිපත්‍යයක් විදිහට. තාත්තා තමයි සමාජය අරගෙන එන්නෙ. එයා තමයි අපේ ආශාව වාරණය කරන්නෙ. අම්මයි දරුවයි අතර තියෙන ස්වභාවික අපචාරී සම්බන්ධය බිඳින්නෙ තාත්තා මැදිහත් වීමෙන්.

    ඊට පස්සෙ අපි අපේ ඇතුලෙ වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. අපි ඇතුලෙම සදාචාරයක් අධිකාරියක් හදාගන්නවා. අම්මා අපේ ජීවමය උපත වුනාට අපේ සංස්කෘතික උපත සලකුනු කරන්නෙ තාත්තා.

    ඉතින් හැම සංස්කෘතික දුවෙක්ම පුතෙක්ම ඒ තාත්තාට සුබ පතන්න ඕන. වීරයෙක් ලෙස බාරගැනීම මිස කළ හැකි අන් කිසිවක් නොමැති ජීවිතයේ සොඳුරුතම දුෂ්ටයා වීම වෙනුවෙන්.

    සුබ පියවරුන්ගේ දිනයක් වේවා.