Category: Features

  • ‘එයා දැන් බැඳලා’ බැලුවද?

    ‘එයා දැන් බැඳලා’ බැලුවද?

    පහුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය විසින් ටෙලි කලාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදුවා. මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා. ටීවී එකේ වාරණය වූ තේමාවක් වන ‘ලිංගිකත්වය’ ටෙලි රෙසිපි මැද්දට කැදෙව්වා. සාලෙ මැද තියලා තියෙන ටීවී එකේ ගණිකාවක් ගැන කතාවක් සතිපතා ප්‍රචාරය කළා. වෙනදා එන සදාචාර පැමිණිලි වෙනුවට මෙදා පාර පැසසුම් හෝ ගාලා එන්න ගත්තා. නැවත තමන්ට වැඩිහිටියෙකුගේ අයිතිය ලැබීමේ ප්‍රීතියෙන් ටෙලි ප්‍රේක්ෂක ජනතාව ප්‍රීතිගෝෂා නැගුවා.

    රූපවාහිනී මහගෙදර බඳු ITN එක පළවෙනි වතාවට ගමට එරෙහිව සෙක්ස් කැරැල්ලක් ගැහුවා. විස්මය දනවන කාරණය වුනේ ඒක මිනිස්සු උඩ පැනලා බාරගත්ත එක. ජනතාව මාරු වෙලාද නැත්තං සමාජ බලය මාරු වෙලාද?

    ලංකාවේ දෙවෙනි ඉණිම බලන ස්වභාවික ප්‍රේක්ෂකයා තමන් නරඹන දේ ගැන කළකිරිලා ‘ එයා දැන් බැඳලා’ බලන්න පෙලඹුනා කියන එක බාරගන්න මට තරමක් අමාරුයි.‘මචං ෆේස්බුක් එකේ හැමෝම බලන්නෙ ‘එයා දැන් බැඳලා. ඒත් එලියට බැහැලා ඇහුවොත් ඔක්කොම බලන්නෙ ’දෙවෙනි ඉණිම’. කොහොමද බං එහෙම වෙන්නෙ?’ මගේ යාලුවෙක් මගෙන් ඇහුවා.

    ඒක වෙන්නෙ මෙහෙමයි.
    සෝෂල් මීඩියා හරහා රැල්ලක් නිර්මාණය කරලා ඒ රැල්ලට ප්‍රේක්ෂක බලයක් හදාගන්න ‘එයා දැන් බැඳලාට’ පුළුවන් වුනා. ඒක නොබැලුවොත් කොන්වෙන තත්වයක් හැදුනා. ඒක නැරඹීම හින්දම තමන් යම් උසස් රසිකත්වයක් ඇති කෙනෙක් බව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුනා. ඉන් කුල්මත් වුනු ජනතාව ඒ වෙනුවෙන් ස්වාධීනව සම්මාන දෙන්න පවා ගත්තා. කෘතිමව නිර්මාණය වුනත් ඒක අගය කරන්න ඕන තත්වයක්.
    ‘මං පිට්ටනිය හැදුවා. දැන් ගහන්නයි තියෙන්නෙ’ කියල ප්‍රසන්න ජයකොඩි කියන්නෙ මේ කාරණය වෙන්න ඕන. ඒ අලුත් ප්‍රේක්ෂක අවකාශය / බලය නිර්මාණය කිරීම.

    කොහොම වුනත් මේ අධික උණුසුම නිසාම මං ඒක බලන එක පුළුවන් තරම් පස්සට දැම්මා. යමක් ගැන ඇතිවෙන සාමූහික උමතුව මාව ඒ නිර්මාණයෙන් ඈත් කරනවා. සියල්ලන්ගේ සුරතාන්තයට ඉඩදීලා බලන් ඉඳලා මං අන්තිමට දවසක් ඉඳගෙන එක දිගට කොටස් 27ම බලලා ඉවර කළා.

    මේක බලද්දි මට එකපාරටම මතක් වුනේ සර්ජි ලියොනේ විසින් කරපු Once upon a time in the West කියන ෆිල්ම් එක. මේ ලංකාවෙ සුද්දිගෙ චරිතය මට ඒ ෆිල්ම් එකේ නිව් ඔර්ලියන්ස් ඉඳන් එන ජිල් එක්ක සමීපව පෙනුනා. මේ දෙන්නා කොහෙත්ම සමාන නෑ. ඒත් ලංකාවෙ මේ ගැහැණියගේ චරිතය සහ බටහිර මේ ගැහැණියගේ චරිතය එකට තියලා බලන්න වටිනවා.

    කවුද මේ ගැහැණිය? නගරයේ ගණිකාවක්ව හිඳ ගමට ඇවිත් පවුලක්ව ‘යහපත්’ වීමට උත්සාහ ගන්නා ගැහැණිය. ප්‍රසන්නගේ කතාවෙ කේන්ද්‍රීය සරාගි වස්තුව වෙන්නෙත් ඇය.

    එයා දැන් බැඳලා කියන්නෙ ලංකාවෙ බහුල ලිංගික මනෝ ව්‍යාධීන් සහ දුර්වලතාවයන් ප්‍රදර්ශනය කරන නාට්‍යයක්. ඒ දුර්වලතා දෙස බලා සිටින්න අපි තුල ඇල්මක් ඇති කරන්නේමත් ඒවා අපිට ආමන්ත්‍රණය කරන හින්දමයි. නැත්නම් ප්‍රසන්නගේ අනෙකුත්‍ ටෙලි/සිනමා කෘතිවලට සාපේක්ෂව මේක දුර්වල වියමනක්. පිටපත දියාරුයි. එකතැන ගතවෙනසුලුයි. සමහර තැන් ක්‍රින්ජ් පවා.

    එයා දැන් බැඳලා සාර්ථක වෙන්නෙ ඒකෙ කතා කරන්නෙ සෙක්ස් හින්ද.

    පිටපත දුර්වල වුනත් ප්‍රසන්න ඉතා ප්‍රබල චරිත නිර්මාණයක් කරනවා. මනියා, පීතර, සිරි, සුද්දි කියන චරිත ඒ රඟපාන නළුනිළියන් විසින් මැනවින් හුස්ම පොවමින් පණ පිහිටුවනවා. විශේෂයෙන්ම පීතර ඒ චරිතයේ අපූර්වත්වයත් එක්ක පිටපතේ දුර්වල තැන් මතින් නාට්‍යය ඉස්සරහට ඇදගෙන යන්න ලොකු වැඩකොටසක් කරනවා.

    පීතර කියන්නෙ ලංකාවෙ අපචාරී පියා. මේ අපචාරී පියා විසින් දුර්වල පිරිමියෙක් වන ‘සිරි’ ව නිර්මාණය කරනවා. සිරි කියන්නෙ අම්මා හොයමින් ඇවිදින මැදිවියේ පුතෙක්. එයා වෛශ්‍යාවක් තුලින් අම්මාව හොයාගන්න හදනවා. ලිංගික ශ්‍රමිකයෙක්ව ලිංගිකහරණය කරන්න උත්සාහ ගන්නවා.

    මේ වෛශ්‍යාව තුලින් අම්මා හෙවීම ලංකාවෙ ගොඩක් බහුල මානසික තත්වයක්. අපේ ගණිකාවන් ගැන ලියවුනු සිංදු බොහොමයක් අරගෙන බැලුවත් ඒ ලියන්නා මේ වෛශ්‍යාව ශුද්ධ වූ මාතෘත්වය දක්වා ඔසවා තැබීමේ අසහනයෙන් පෙලෙන බව තේරුම් ගන්න පුළුවන්. අපිට ගණිකාවකගේ විවෘත ලිංගික ප්‍රකාශනය දරාගන්න අමාරුයි.

    අපේ කතාවෙ ප්‍රධාන චරිතය සිරි මේ විදිහට පියාගේ අපචාරීත්වය විසින් ලිංගික වශයෙන් දුර්වල කරන ලද ගැමි නෝන්ජල් පිරිමියෙක්. ලිංගිකත්වයට බයෙන් හැංගෙන, එය වසා උත්තරීතර සළු පොරවන්නට තනන සියලු පිරිමි මේ අවුලෙන් පෙලෙනවා.

    අපේ වීරවරිය එයා පොදු ගැහැණියක් වීම නිසා ජීවිතේ පුද්ගලික ආදරය අහිමිවීම ගැන තැවෙන ගැහැණියක්. අපි හැමෝම දුක්වෙන්නෙ අපිට නැති දේ ගැන. එයා ඒ පුද්ගලික ආදරය සොයාගැනීම වෙනුවෙන් තමන්ගේ ලිංගික ජීවිතය කැප කරන්න තීරණය කරනවා. කසාදය නමින් තමන්ගේ ස්පර්ශය සීමා කරනවා.

    සිරි එන්නෙ වෛශ්‍යාවක් බඳින්න. සුද්දි එන්නෙ පත්තිනියක් වෙන්න.
    නාට්‍ය ඇතුලෙ අපි නැවත නැවත මුහුණ දෙන ප්‍රශ්නය වෙන්නෙ සුද්දි පතිවත් රකින ගැහැණියක් කියල පිළිගන්න ලෑස්ති කවුද කියන එක. හැමෝම බලන්නෙ රෙද්දෙ තුත්තිරි දිහා. ඇය ගණිකාවක් වීමේ අනුරාගය, ආකර්ශනය වඩා ප්‍රබලයි. බිරිඳක් කියන්නෙ දුර්වල ගැහැණියක්. ගණිකාවක් කියන්නෙ නිදහස් ගැහැණියක්.

    එයා දැන් බැඳලා වඩා ජනප්‍රිය වෙන්න සේමිනී මේ චරිතය කරන එකත් බලපෑවා කියල මං හිතනවා. පහුගිය කාලෙ සේමිනීගේ නම ගැටගැහෙමින් අනුරාගී හඩපට කීපයක් සමාජජාලාවල මෝචනය වුනා. ෆෝන් එකෙන් ෆෝන් එකට ඒවා මාරු කරමින් ජනතාව ස්වයං වින්දනයක් ලැබුවා. ඊට ටික කාලයකට පස්සෙ සේමිනී ගණිකාවක් විදිහට ටීවී එකෙන් එනවා. මේක මේ චරිතයට ආශක්ත කරන්න අවිඥානක හෝ බලපෑමක් කරනවා. නාට්‍යයේ චරිත සුද්දිට පිස්සු වැටෙන හේතුවටම නාට්‍යය නරඹන්නා නාට්‍යයට පිස්සු වැටෙනවා. අවුරුදු ගානක් පහු වුනත් ප්‍රසන්නගෙ නාට්‍යය ඉතාම නිවැරදි වෙලාවට ස්ථානගත වෙනවා.

    සුද්දි තමන්ගේ ගණිකා වෘත්තියෙන් පිටත පවුල තුල ඇතැයි කියල හිතන සදාචාරයක්, ශික්ෂාවක් ඔලුවෙන් හදාගෙන ඇතුල් වෙන්නෙ ලංකාවෙ ගමේ අශිෂ්ට ව්‍යභිචාර පවුල ඇතුලට. ඒ පවුලෙ තාත්තාගෙන් පුතාලගෙ ගෑනු පරිස්සම් කරන්න ඕන. සහෝදරයන්ගෙන් පරිස්සම් කරන්න ඕන. එලියෙදි පි‍ට පිරිමින්ගෙන් පරිස්සම් කරන්න ඕන. සිරි සියලු වැඩ දෙවෙනි කොට තමන්ගේ බිරිඳ පරිස්සම් කිරීමේ ක්‍රියාවට එළඹෙනවා.

    පවුල පවතින්නෙ සෙක්ස් කිරීමේ ‘සීමාව’ පැනවීම මත. ඒ සීමාව සළකුනු කරන්නෙ ලැජ්ජාව සහ අපවාදය විසින්. ඒ ලැජ්ජාව විසින් ගැහැණිය දුර්වල කරනවා. මුලින් පිරිමින්ට පමණක් වෙන්වූ වැඩ‍ මොනවා දැයි අසමින් ඒ පිරිමි මානයන් වෙනස් කරන ‘අතීත’ වෛශ්‍යාව අන්තිමට නාකි පිරිමියෙකුගේ අත ගසා දාන්නවත් බැරි ගෘහනියක තත්වයට පත්වෙනවා.

    මේ චරිතවල ඉමෝෂනල් ගමන පිටපතේ සාර්ථකව ගොඩනැගෙන්නෙ නෑ. නිකංම දෙබසකින් වගේ ලොකු ඉමෝෂනල් පිමි මාරු වෙනවා. ඊට අදාල වෙන විශ්වාසනීය තත්ව ගොඩනැගීමක් වෙන්නෙ නෑ. මූනු මත නිකරුනේ ගොඩක් වෙලා රැදෙන කැමරාව අපිට නොතේරෙන යමක් මෙතන වෙනවා යැයි හැගීමක් ඇති කරන්න හිස් මහන්සියක් ගන්නවා.

    නිතර ගමේ වෙනත් අය ගැන කතා ඇහුනත් ‘එයා දැන් බැඳලා’ කතාව ඇතුලෙ අපිට ගමක් මුනගැහෙන්නෙ නෑ. වැටක් අයිනෙං යන හුදකලා ගැහැණියක්, ත්‍රීවීල්කාරයො කීපදෙනෙක් වගේ තමයි අපිට ගම කියල දකින්න තියෙන්නෙ. ඒ ගමෙන් ඇත්තට සිද්ද වෙන බලපෑමක් නෑ. ඒ වෙනුවට සියල්ල සිද්ද වෙන්නෙ පවුල ඇතුලෙන්මයි. අපේ ලෝකය කියන්නෙ නැවත අපේ පවුලමයි වගේ ඇතුලතට හැරීමක් ප්‍රසන්න යෝජනා කරනවා වගේ.

    කොහොමටත් මුලු ටෙලි නාට්‍යයම ඉතාම අවමතාවාදීයි. කතාව මූලිකව දිගහැරෙන්නෙ ගෙදර, පතල, මුරමඩුව කියන තැන් තුන අතර. ගෙදර කියන්නෙ පවුල/අපචාරය/නිදහස අවම කලාපය. මුර මඩුව කියන්නෙ නිදහස, රසය, ආදරය. ඒක තියෙන්නෙ පවුලෙන් පිට. පතල කියන්නෙ රස්සාව. සිරි කියන්නෙ එතනදි බිම් පණුවෙක්.

    එයාට තමන්ගේ ජීවිතේ අර්ථය මුනගැහෙන්නෙ මුරමඩුවෙ තමන්ගේ සහෝදරයයි තවත් මිතුරෙකුයි එක්ක ගණිකාවක් හවුලේ රස විඳින මොහොතෙයි. මේකෙන් තේරුම් ගන්න ඕන කාරණය කෙනෙකුට ස්පා එකකදී වුනත් අවබෝධය ලැබෙන්න පුළුවන් කියන එකයි.

    ප්‍රසන්න මේ නාට්‍යයෙදි පාවිච්චි කරන අවමතාවාදී රීතිය ලංකාවෙ ටෙලිවලට ඉතා මැනවින් ගැලපෙනවා කියන එක පැහැදිලියි. ගොඩක් විච්චූර්ණ, පැටලිලිසහගත සංස්කරණ වෙනුවට චරිත කීපයක් එක්ක තැන් කීපයක දිගහැරෙන කතා ප්‍රේක්ෂකයා එක්ක ලේසියෙන් බැදෙනවා. සමහර විට ඒ විස්තර අතර මහන්සි වෙන්න දෙයක් නැති හින්දම වෙන්න ඇති. එහෙම සුළු චරිත ටිකක් එක්ක, මේ තරම් පුංචි කතාවක් කොටස් විසි හතක් දක්වා අරගෙන යාම ප්‍රසන්නගෙ දක්ෂකම.

    මෙතනදි තෝරාගන්න ලොකේෂන් එකත් (සීතල රිවර්ස්ටන් වගේ කඳුකරය) නරඹන්නාව බැඳ තියාගන්න හොඳ රැහැනක් වෙනවා. ඒ සුන්දර වටපිටාව බලන් ඉන්න ආසයි. ඒ කඳු අතර දිගහැරෙන්නෙ අතර ආර්ථික හෝ දේශපාලන ආදී හෝ වෙනත් ප්‍රශ්නවලින් පීඩා නොවිඳින ඩිස්ටෝපියානු පවුලක කතාවක්. ඒ පවුලේ එකම ප්‍රශ්නය සෙක්ස්. ඇත්තටම අපෙත් ලොකුම ප්‍රශ්නෙ සෙක්ස්. ඉතින් ඒ කඳු මිටියාවත අතරදි ප්‍රසන්න අපිට අනෙක් සැරසිලි අයින් කරලා අපේ ඇත්ත අවුල මුනගස්සනවා කියන්න පුළුවන්. අපිට අපේ රෝගය මුනගැහෙනවා. ‘එයා දැන් බැඳලා’ කියන්නෙ ඒ රෝගය.

    ප්‍රේමයේදී ගණිකාවක් කසාද බඳින්න තරම් එඩිතර පිරිමියා කසාදයේදී ළමයා තමන්ගෙද කියන සැකෙන් තැති ගන්නවා. මේ අතර කඳු නාය යනවා, ළමයි ලොකු වෙනවා වගේ එකපාර සිද්ද වෙන අද්භූත සිද්දිත් තියෙනවා.

    කතාවෙ මූලික හරය වෙන්නෙ ලංකාවෙ සමාජය (ගම) දරාගත නොහැකි තරමේ ලිංගික අහේනියකින් පෙලෙනවා කියන එකයි. ඒ ගමේ ලස්සනක් ඇති ගැහැණු පරාණයක් නැති බව පැහැදිලියි. පිට පොත්ත සුදුවීම නිසාම සුද්දී යැයි නම් ලබා ඇය අනුරාගී වස්තුවක් බවට පත් කරන්නෙත් ඒ හිගයයි. ඒ කාම අහේනිය එක්ක, එක තැන ගතවෙනි ජීවිතවල කාංසාව අපිටත් දැනෙන තරමට ඒ කදුකරය, මීදුම අපිවත් ඊට ඇතුල් කරගන්නවා.

    එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කැමරාව ඉතාම දුර්වල බව කියන්න වෙනවා. ඒ වගේම සංස්කරණය කාලය දිගු කිරීම සඳහාම සිද්ද වෙන බවක් පේන්න ගන්නවා. ඒ කිසිවක තියුණු බවක්, අලුතෙන් යමක් එක් කිරීමක් දකින්න ලැබෙන්නෙ නෑ. තේමා සංගීතය ඉතාම ආකර්ශනීය වන අතර මැද තැන තැන ඇහෙන ට්‍රාන්ස්/සයිකඩෙලික් සංගීත ඛණ්ඩය මේ චරිතවල අභ්‍යන්තරය මතු කරන්න උත්සාහ ගන්නවද, ඒක එහෙම වැඩ කරනවද කියන සැකසහිතයි.

    මේක බලලා ඉවර වුනාම මට ඉස්සර අපේ ගෙවල් පැත්තෙ හිටපු සිරිට සමාන කම්මල්කාරයෙක් මතක් වුනා. මේ මනුස්සයාගෙ බිරිඳ නිතරම වෙන පිරිමි එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. මේ මනුස්සයා ඒවා ගැන දැනගත්තත් ඊට විරුද්දව මොකුත් කරන්න පුළුවන්කමක් එයාට තිබුනෙ නෑ. වරින් වර මේ කාන්තාව අර සෙක්ස් පිනිසම තමන් හො‍යාගෙන එන පිරිමි එක්ක පැනලා යනවා. ඉතිං අර සැමියා ඉතාම දුකසේ කාලයක් ගත කරනවා. කොහොම හරි මිනිහා බිරිඳ ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයාගන්නවා. කරන වැඩ සියල්ල අත්හැර ඇයව හොයාගෙන ගිහින්, එතන ලැගලා අඩලා දොඩලා කොහොම හරි ආපහු එක්කගෙන එනවා. හරිම ආදරෙන් ටික කාලයක් මේ දෙන්නා ඉන්නවා. ආපහු ගෑනි පැනලා යනවා.

    මේක නිතර නිතර සිද්ද වුනත් අර පිරිමියා ගැහැණිය තුලින් දැකපු මැජික් එක කවදාවත් ඉවර වුනේ නෑ. කොයිතරම් පිරිමි එක්ක නිදාගත්තත් අර පිරිමියාට ඒ ගැහැණියගේ කිසිම අඩුවක් දැනුනෙ නෑ. පළාතෙම මිනිස්සු පොන්නයා කියද්දි ඒ මනුස්සයා හැමදාම එක වගේ තමන්ගේ බිරිඳට ආදරය කළා. ඇයව දැකීමෙන් පවා පිනාගියා. කොයි පිරිමි එක්ක ගියත් නැවත තමන් ගෙදර එනකල් බලන් ඉන්න පිරිමියෙක් ඉන්නවා කියල ඒ බිරිඳත් හදවතින් දැනගෙන හිටියා.


    චින්තන ධර්මදාස

  • මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    එංගලන්තෙ ජීවත් වෙන මාලිමාවට බැතිමත් තරුණයෙක් පෝස්ටුවක් දමමින් මේ ලංකාවට එන්නෙ රුසියානු බඩු බවත් ඒ අය ටුවරිස්ට්ලා නොවන බවත් ප්‍රකාශ කරලා තිබුණ. ඒ වගේම එංගලන්තෙ වගේ රටවල මේ රුසියානු ‘බඩු’ වලට ඇතුල්වෙන්න පවා නොදෙන බව මේ තරුණයා ප්‍රකාශ කරලා තිබුනෙ ආඩම්බරෙන්. වඩාත් ආකර්ශනීය විදිහට මේ තරුණයා විසින් රුසියානුවන් ‘නියම සුද්දන්’ නොවන බවත් නියම සුද්දා කවුද යන්න තමන් දන්නා බවත් තමන්ගේ එංගලන්තවාසී බව ඇතුලෙ ඉදිමෙමින් සළකුණු කරනවා. මේ ප්‍රකාශ ඇතුලෙ මට පැහැදිලිව පේන කාරණා කීපයක් තියෙනවා.

    එකක් ලිංගික ශ්‍රමික වෘත්තිය සම්බන්ධයෙන් ඔහු තුල ඇති පහත් පිලිගැනීම. ඒ හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව එයා මේ යුවතියන් ‘බඩු’ බවට ඌනනය කරනවා. මේක ලංකාවෙ අපි ‘බයි’ සංස්කෘතිය කියලා විවේචනය කරපු මිසොජිනිස්ටික් තත්වයක්. ලිංගිකව නිදහසේ හැසිරෙන ගැහැණුන් පහත් විදිහට තේරුම් ගැනීම. පිරිසිදු නැති, වටිනාකමක් නැති, ඇතුල්වෙන්න පවා අයිතියක් නැති කොටසක් විදිහට දැකීම.

    මෙතන තවත් වැදගත් දෙයක් වෙන්නෙ මේ සියලු රුසියානු තරුණියන් ‘බඩු’ බව තීරණය වෙන්නෙ කිසිම සමීක්ෂණයකින් හෝ වාර්තාවකින් නෙමෙයි. උදයංගගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන පිංතූර දාන හින්ද. මේ අය ලිංගික ශ්‍රමිකයන් වෙන්න පුළුවන්, නිරූපිකාවන් වෙන්න පුළුවන්, උදයංගගෙ මිතුරියන් වෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණවේදීන් වෙන්න පුළුවන්. වෙන ඕනම කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ සියලු තත්වයන් අතරින්, උදයංග පිංතූරයක් පළ කරන සැණින් මේ තරුණයා තීරණය කරනවා පැමිණෙන සියල්ලන් ‘බඩු’ බවට. මේකත් බයි ලක්ෂණයක්. දකුණු පළාතේ ඉතා කුප්‍රකට මිනීමැරුම කුරාම් ෂීක් සිද්දිය සිද්ද වුනෙත් මේ එංගලන්තවාසී තරුණයාට සමාන උපකල්පනයක් මත. කුරාම්ගේ රුසියානු පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නා ‘බඩුවක්’ විදිහට රාජපක්ෂවාදී සම්පත් විදානපතිරණ නිගමනය කරලා තිබුන.

    දෙවෙනුව මේ මාලිමාකාමී තරුණයාගෙ ඔලුවෙ ‘නියම සුද්දන්’ ඉන්නවා. ඒ සුද්දන් යනු වැඩියෙන් ඩොලර් වියදම් කරන අයයි. මේ කතාවම මේ පක්ෂයේ ආර්තිකය සම්බන්ද විශේෂඥ සුනිල් හඳුන්නෙත්තිත් කියනවා. එයා කියන විදිහට අපිට දැන් එන්නෙ, අපෙන් කාලා, අපේ තැන නිදාගෙන, අපේ බීච් එක පාවිච්චි කරලා යන සංචාරකයො. එහෙම අයගෙන් ආර්ථිකයට වැඩක් වෙන්නෙ නෑ. අපි සංචාරකයෙක් මනින්න ඕන එයා දෙන ටිප් එකෙන්. වියදම් කරන ප්‍රමාණයෙන්. (මේ කියන හඳුන්නෙත්ති කන බොන අඳින විදිහ ගැන එයාගෙම ප්‍රකාශ සංසන්දනය කිරීමෙන් වැඩි ආනන්දයක් ලබන්න පුළුවන්)

    ලංකාවට වියදම් කිරීමේ හැකියාව නැති, විවිධ නිර්මාණශීලීත්වයන්ගෙන් හෙබි විදේශිකයො ගොඩක් එනවා. ඒ අය ලංකාවෙ මිනිස්සු එක්ක එකතු වෙලා විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා. ලංකාව ගැන යූටියුබ් චැනල් කරනවා. වැදගත්ම දේ මේ අය ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු එක්ක මුහු වෙනවා. ඒ හින්ද වඩාත් සංචාරක හිතැති සංස්කෘතියක් නිර්මාණය වෙනවා. ඒ අවශ්‍යතා සහ ආශාවන්ට වඩා නිවැරදිව සමීප වෙන්න පුළුවන් අවස්ථා නිර්මාණය වෙනවා. තමන්‍ට හුරු, සමීප සංස්කෘතියක ජීවත්වෙන අය විසින් ලබන අත්දැකීම් විඳින්න තවත් විදේශිකයන් පෙළඹෙනවා. ඒ අය කරන්නෙ ඇත්තටම මිළ කළ නොහැකි සංචාරක ප්‍රවර්ධනයක්.

    මෙතනදි හඳුන්නෙත්ති කතා කරන්නෙ තමන්ගේ අතට ලැබෙන මුදල පමණක් ගණං කරන හෝටල්කාරයෙක් වගේ. Eco System එකක් ගැන කිසිම දැනීමක් නැතිව. අපේ රටට එන හැම විදේශිකයාම අපිට වැදගත්. ඔවුන් වියදම් කරන මුදල කියන්නෙ ප්‍රධාන සාධකය නෙමෙයි.

    අපි ආපහු මාලිමාකාමී තරුණයාගේ කතාවට එමු.

    වඩාත් හාස්‍යජනක කාරණය වෙන්නෙ එංගලන්තයට ගිහින් ඒ රටේ ආර්ථිකය මත යැපෙන මේ තරුණයා එය මහා ආඩම්බරයක් හැටියෙන් පිළිගනිමින් ලංකාවේ ශ්‍රම රැකියාවක් පිණිස එනවා යැයි ඔහු උපකල්පනය කරන කාන්තාවන් දෙස අවඥාවෙන් බැලීමයි. ලංකාවෙන් වෙන රටවලට පෝලිමේ පනින අතර වෙන රටකින් ලංකාවෙ රස්සා පිණිස එන එකට විරුද්ධ වීම කුහකයි. ඒ කුහකකම රාජපක්ෂවාදයේ ලකුණක්. අපේ උත්සාහය විය යුත්තේ ඕනෑම කෙනෙකුට ලෝකෙ ඕනෑම රටකට ගිහින් තමන් කැමති ඕනෑම රැකියාවක් කිරීමේ අවස්ථාව නිර්මාණය කිරීම මිස දේශසීමා අඳිමින් මිනිස් සංචරණය සීමා කිරීම නෙමෙයි. නිදහස් වෙළඳපොලක වැදගත්ම කාරණයක් මිනිස්සුන්ට ඕනම තැනක ගිහින් තමන් කැමති රැකියාවක් කිරීමේ නිදහස. ඒ අය එක්ක එන්නෙ මුදල් විතරක් නෙමෙයි. දැනුම, සංස්කෘතිය, අදහස්, ජාන, ජීවන සහ සිතීමේ විලාස.

    ගණිකා වෘත්තිය කියන්නෙ අපේ රටේ ආඩම්බරෙන් කරන වෘත්තියක් නෙමෙයි. ඒ වගේම ඒ වෘත්තීය පුහුණුවෙන් සහ දැනුමෙන් අපි ඉන්නෙ අන්තිම පහත් අඩියක. නමුත් සංචාරක කර්මාන්තයේ වර්ධනයට මේ ආශා කර්මාන්තයේ පැවැත්ම අනිවාර්යයක් වෙනවා. මෙතනදි රුසියානු ලිංගික ශ්‍රමිකයන් කියන්නෙ මේ කර්මාන්තයේ ඉතාම ප්‍රවීනයන් හැටියටයි පිළිගන්නෙ. ඒ අය ලංකාවට ඇවිත් තමන්ගේ වෘත්තියෙහි යෙදීම අපිට සලකන්න වෙන්නෙම ආයෝජනයක් හැටියට.

    මේ මාලිමාභක්තික තරුණයා විසින් කරපු ප්‍රකාශය වෙනුවෙන් මාලිමාවේ ෆේස්බුක් ප්‍රචාරක හැටියට නිල වශයෙන්ම පෙනී සිටින දර්ශන ඩයසුත් පෙනී ඉන්නවා. එයාට අනුව මේ ලිංගික ශ්‍රමිකයන් ලංකාවට පැමිනෙන එකෙන් ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා අඩුවීම නිසයි මාලිමාව මේ රුසියානු කාන්තාවන්ට විරුද්ධ වෙන්නෙ. ඒක අන්තිම ආරක්ෂණවාදී පිළිවෙතක්. තමන්ගේ රටේ වෘත්තියක් වශයෙන් පිළිනොගත් ක්ෂේත්‍රයක රැකියාවක් පිණිසවත් වෙන රටක කෙනෙක් එන එකට විරුද්ධ වීම විකාරසහගතයි. අපි ඒක පැත්තකින් තියමුකො. වැදගත් කාරණය වෙන්නෙ මාලිමාව ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. (වෘත්තියක ආරක්ෂාව ගැන හිතන කෙනෙක් මුලින්ම උත්සාහ කරන්නෙ ඒ වෘත්තිය නීතිගත කරන්නයි) අවාසනාවට මං තාම කිසිම තැනක මාලිමා ප්‍රධානියෙක් ඔය සම්බන්ධයෙන් කතාවත් කරනවා අහලා නෑ. නමුත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් මාලිමාව ඉදිරිපත් වෙනවා නම් අපි එකපයින් ඒකට සහයෝගය දෙනවා.

    නමුත් මාලිමාවාසීන් දැනගත යුතු කාරණයක් වෙන්නෙ වෘත්තියක් නීතිගත කිරීමට කලින් ඒ වෘත්තිය සම්බන්ධයෙන් ගරුත්වයක් ඇති කිරීමේ වැදගත්කමයි. කාන්තාවන් ‘බඩු’ බවට පත් කිරීමේ සංස්කෘතියක් ඇතුලෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න පුළුවන් වෙන්නෙ නෑ. පළමුව ලිංගික ශ්‍රමිකයෙක් යෙදෙන වෘත්තිය ගරුත්වයක් ඇතුව පිළිගන්න කියන එක මාලිමා බැතිමතුන්ට දේශනා කරන්න. දෙවෙනුව ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කිරීමට පියවර ගන්න. තෙවනුව ලිංගික සෞඛ්‍යය පිළිබඳ තත්ව තහවුරු කිරීමට අරගල කරන්න. ඊට පස්සෙ පුළුවන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ක්‍රියාත්මක වෙන්න.

    මාලිමාවට සම්බන්ධ අයගේ මෙවන් අනියම් ප්‍රකාශ වැදගත් වෙන්නෙ ඒවා තුලින් මාලිමාවේ අවිඥානය කියවෙන නිසයි. ඒ කාලෙ X කණ්ඩායම කිව්වෙ ‘ඔබේ අවිඥාණය අපි’ කියල. ඒ වගේ කාන්තාවන් දිහා බලන දෘෂ්ටිය, මුදල් සම්බන්ධයෙන් ඇති ආකල්පය, බටහිර ධනපති දියුණුව ගැන ඇති ආශාව, ආඩම්බර වෙන්න මොකුත්ම නැත්තං බටහිර රටක ඉන්න එක ගැනවත් ආඩම්බර වෙමින් ලංකාව ආරක්ෂා කරන්න ගන්න උත්සාහය මේ ආදී ලක්ෂණ අපි නැවත නැවත සිහියෙන් කියවාගන්න ඕන. මේ ලක්ෂණ අපිට මතක් කරන්නෙ අපි දන්න පරණ ‘බයියාව’. එතකොට අපිට මාලිමාව මොනවා කිව්වත් ඒ පිටිපස්සෙ පවතින සාමූහික අවිඥානය තේරුම් ගන්න පුළුවන් වෙනවා.

  • කෝච්චියේ දමා ගිය දරුවා කාගෙද?

    කෝච්චියේ දමා ගිය දරුවා කාගෙද?

    කෝච්චියේ ආදරෙන් ඔතා තබා ගිය බිළිදෙක් ගැන ප්‍රවෘත්තියක් එක්ක සමාජ මාධ්‍යවල අනුකම්පාව, දාරක ප්‍රේමය උතුරා යන්න පටන් ගත්තා. මේ විදිහට දරුවන් කූඩවල දාලා තියලා යන එක අපේ ඉතිහාස කතාවල ඉඳන් එනවා. සුරංගනා කතාවලත් කියවෙනවා. ඒ කාලෙත් දරුවා හදාවඩා ගැනීම අසීරු තැනදි අම්මලා දරුවන්ව කූඩවල දාලා කවුරුන් හෝ යහපත් කෙනෙක් අතට පත්වේවා කියල ප්‍රාර්ථනාවෙන් ගඟවල්වල පා කරලා ඇරියා. ඒක සම්ප්‍රදායක්.

    ඒත් නූතන නීති ප්‍රකාරව ඒක වරදක්. දරුවෙකුව නොතකා හැරීම, දරුවාගේ ජීවිතය අවදානමේ හෙලීම ආදී තව ගොඩක් කාරණා ඔතනට කියන්න පුළුවන්. ඒත් ඉතාමත් සරලව කාරණා දෙකක් පැහැදිලියි.

    1. මේ මවට සහ පියාට දරුවා හදාවඩා ගැනීමේ අර්බුදයක් පවතිනවා.
    2. දරුවාට හානියක් නොවී යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව ඔවුන් සතුව තිබෙනවා.

    පළවෙනි කාරණය ගත්තොත් එතනදි මේ දරුවා අනවශ්‍ය ගැබ්ගැනීමක් කියන එක පැහැදිලි වෙනවා. එතනදි අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති නොවන ආකාරයට ලිංගිකව හැසිරීම පිළිබඳ දැනුම ලබා නොදෙන, එවන් ලිංගික අධ්‍යාපනික දැනුමක් අවහිර කරන හාමුදුරුවරු, දොස්තරවරු (වි‍ශේෂයෙන් සඳහන් කරන්න ඕන) සහ තවත් අධිපති බල ඇති සදාචාර මහත්වරු මේ වගකීමේ වැඩි කොටසක් බාරගන්න ඕන.

    ඒ වගේම දරුවෙක් හදාවඩා ගැනීම කියන්නෙ ලොකු ආර්ථික සමාජ කාර්යයක්. එතනදි විවාහයකට බැහැරින් සිදුවන ලිංගික එක්වීමකින් ලැබෙන දරුවෙක් ගැන දෙමව්පියන්, නෑදෑයන්ගෙ ඉඳන් වි‍ශේෂයෙන් මේ කාන්තාව ඇසුරු කරන සමාජය දක්වන ප්‍රතිචාරය අපි සැලකිල්ලට ගන්න ඕන. ඒක කිසිසේත්ම සුබවාදී එකක් නෙමෙයි. ඇයගේ රැකියාව, ඇයට ඇති අනාගත බලාපොරොත්තු, ඇගේ සහ පෙම්වතාගේ ආර්ථිකය, මේ සෑම දෙයක්මත් අර දරුවාගේ උපත මත තීන්දු වෙලා තියෙනවා.

    තුන්වෙනුව ඇයට දරුවෙක් අනවශ්‍ය නම් ඒ මුල්කාලයේදීම ඇයට ගබ්සාවක් කරගැනීමේ අයිතිය ලබා නොදීම කියන කාරණය. ඒ ගබ්සාවේ අයිතිය දරුවා බිහිකරන අම්මාගෙන් උදුරා ගන්නා නීතියටත්, ඒ නීතිය රකින, ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු ජනතාවටත් ඒ දරුවා මග දමා යාමේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ.

    මේ සියලු කාරණා තමයි දරුවා කෝච්චි පෙට්ටියක තබා යා‍මේ හේතු කාරණා වෙන්නෙ. එතනදි මේ මවට හෝ පියාට දරුවාගේ ජීවිතය අවදානමේ හෙලීම සම්බන්ධයෙන් පැවරෙන වගකීම ඉතාම අල්පයි. මොකද ඊට වඩා විශාල නීති, සංස්කෘතික, සදාචාර පරිසරයක් විසින් මේ අකාරයෙන් බිහිවන දරුවෙකුගේ ජීවිතය අවදානමේ දමා අවසන්.

    දෙවෙනි කාරණය, ඔවුන් දරුවාගේ යහපතක් අපේක්ෂා කරමින් මේ අත්හැර යාම සිදු කර ඇති බව. මේ දරුවාට තමන්ගේ අර්බුදකාරී ජීවිතයෙන් ගැලවී යම් හොඳ වතාවාරණයක් යටතේ ලොකු මහත් වෙන්න අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අර රෙදිවල ඔතලා ප්‍රවේශම් සහගතව, ඇස ගැටෙන මානයක, දරුවා තබා යාමෙන් පේනවා.

    ඒ වගේම දරුවෙක් ඉතාම ආදරෙන් හදාවඩා ගැනීමේ අපේක්ෂාවෙන්, සියලු තත්වයන් සාධනය කරගෙන මගබලා සිටින දරුවන් අහිමි, දෙමාපිය සිත් ඇත්තන් ඉන්නවා. මේ අතර දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කියල පනවා ඇති ඉතාම අකාර්යක්ෂම නීති ක්‍රමවේදයක් පවතිනවා.

    දරුවෙක් මේ ආකාරයෙන් දමා යාම දඩුවම් දිය යුතු වරදක් කරනවාට වඩා රාජ්‍යයක් විසින් දරුවන් බාරගන්නාසුලු මෘදු ක්‍රමවේදයක් සකස් කිරීමයි වැදගත් වෙන්නෙ. දරුවෙක් ලොකුමහත් කරගැනීමට නොහැකි වීම රාජ්‍යයේ වරදක් බව පිළිගන්න වෙනවා. ඒ වගේ ආර්ථික හෝ සංස්කෘතික අපහසුතා ඇති අයට රාජ්‍යය සංවේදී විය යුතු වෙනවා. දරුවෙක් කියන්නෙ අම්මලාට බරක් නොවිය යුතු යැයි කියනවා නම්, දරුවෙක් රාජ්‍යයටත් බරක් නොවිය යුතුව තියෙනවා.

    ළමා නිවාසවල, පොදු රැකබලා ගැනීම් යටතේ දරුවන්ගේ ජීවිත නාස්ති නොකරන, ඉතාම කඩිනමින් ඒ දරුවන් බාරගත හැකි දෙමව්පියන් සමීපයට ඔවුන් පත් කරන ක්‍රමවේදයන් සකස් කරන්න ඕන. ඒ දරුවන් පිළිබඳ වරින්වර සොයා බලන්න සමාජ සේවිකාවන්ට පුළුවන්.

    මෙවන් අසරණ තරුණ දෙමව්පිය යුවළක් වරදකරුවන් හැටියට අල්ලාගෙන, වෙනත් අයට ආදර්ශයක් වනු පිණිස යැයි සිතමින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න යාම අගතියට පත් කිසිම පාර්ශ්වයක සුබසිද්ධියට හේතුවන තත්වයක් නෙමෙයි. ඒකෙන් චූන් වෙන්නෙ මෙවන් තත්වයන්ට සැබවින් වගකිව යුතු සදාචාර ප්‍රේක්ෂකයො විතරයි. නීතියක් ක්‍රියාත්මක විය යුත්තේ යම් කිසි හෝ පාර්ශ්වයක යහපත, ප්‍රතිඵලය වෙනුවෙනුයි. හැමෝටම තව තවත් හානි පමුණුවන නීති ක්‍රියාත්මක වෙනවා නම් ඒවා යල්පැනගිය ඒවා හැටියෙන් හඳුනාගන්න වෙනවා. හැමදේකටම කලින් මනුෂ්‍යත්වය කියන රාමුව මෙවන් සිදුවීමකදී ඉස්සරහට ගන්න වෙනවා.

  • හරියට kiss කරන්නෙ කොහොමද?

    හරියට kiss කරන්නෙ කොහොමද?

    හරියට හෝ වැරදියට kiss කරනවා කියල දෙයක් නෑ. ඕනම kiss එකක ඒ අදාල හැගීම අ‍නෙක් පාර්ශ්වයට සන්නිවේදනය වෙනවා නම් ඒ kiss එක නිවැරදියි කියන්න පුළුවන්. වැරදි සන්නිවේදනයක් යනවා ඒක අවුල්. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණයක්. ඒත් අපි නිකංම තොල් දෙක උලාගන්නවා හරි හපා කනවා හරි කියන එකට වඩා kiss එකක් ගැන සාවධාන වුනොත්, ඒක තවත් සංවේදී කරන්න පුළුවන් විදි ගැන හිතුවොත් ඒ අත්දැකීම වඩා විචිත්‍ර වූත් ආස්වාදනීය වූත් එකක් කරන්න පුළුවන්.

    එක්කෙනෙකුගේ ෆැන්ටසිමය හාද්දක් තව කෙනෙකුට භයානක අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් ඒක හාද්දක් වෙන්න නම් දෙපාර්ශ්වයටම ඒ සිපගැනීමේ හැගීම දැනෙන්න ඕන. ඒකෙන් රසවත් වෙන්න ඕන. ඊට සහභාගි වෙන්න ඕන.

    පහුගිය කොවිඩ් කාලෙ සිපගැනීම තහනම් වුනා. ඒක ආදරය වෙනුවට මරණය දනවන සංඥාවක් වගේ වුනා. අපිට නැවත දෙතොල් විකසිත කරලා ආදරයෙන්, අනුරාගයෙන් සිපගන්න නිදහස ආවෙ අවුරුදු ගානකට පස්සෙ.

    චර්යාවේදයේ විශේෂඥයන් කියන විදිහට අපි ඇයි මේ විදිහට තව කෙනෙකුගේ දෙතොල් සිපගන්නෙ කියන එක ගැන නිශ්චිත හේතුවක් හිතාගන්න බෑ. ඒක අපිට ආස්වාදය දනවන්නෙ ඇයි කියන එක ගැන පැහැදිලි කිරීමක් නෑ. ඇත්තටම සිපගැනීමක් ඒ තරම් ආශ්චර්යමත් සහ ආස්වාදනීය වෙන්නෙම ඒ හින්දයි. ඒකට කිසිම තේරුමක් නැති හින්දයි. අපි තවත් කෙනෙකුගෙ දෙතොල් අතර, එයාගෙ ඛේටයෙන් තෙත්වෙමින්, තොල්වල අණසකට නතුවෙමින්, ඇතැම් විට දිවෙන් මුව තුල ස්පර්ශ කරමින් ගතවෙන දිව්‍යමය මොහොතක් තියෙනවා. ඒ තමයි kiss කරන මොහොත.

    2021 සෙක්ස් ඇන්ඩ් මැරිටල් ජර්නලයේ පළවුනු වාර්තාවක් අනුව ඔයා සහ ඔයාගෙ සහකරුවා හෝ සහකාරියගේ සම්බන්ධය එකිනෙකාට කොයිතරම් තෘප්තිදායකද කියන එක රඳා පවතින්නෙ ඔයා අනෙකාට කොයිතරම් ආදරය කරනවද කියන එකම මත නෙමෙයි. ඔයා කොයිතරම් අනෙක් කෙනාව සිපගන්නවද කියන කාරණය මත. සිපගැනීමක් තරම් අපි එක්ව පැවතීම ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙනත් ආකාරයක් නෑ.

    Kiss එකක් වඩා ආස්වාදනීය වෙන්නෙ කොහොමද කියන එක ගැන විවිධ සොයාබැලීම් කරලා තියෙනවා. ඒ පිළිබඳව ලෝකයේ විවිධ රටවල මිනිස්සු හෙළිදරව් කළ කාරණා අනුව kiss එකක තෘප්තිය පිළිබඳව අපිට සිතා බැලිය හැකි කාරණා කීපයක් තියෙනවා.

    1. ඔබේ සහකරුවා/සහකාරියගේ කැමැත්ත.
    ඕනම ඉන්ටිමේට් ස්පර්ශයකදි වැදගත්ම දේ තමයි අනෙක් පුද්ගලයාගේ අනුමැතිය. මේක කොලේක ලියලා, වචනයෙන් ස්ථිර කරලා ගන්න එකක්ම නෙමෙයි. නමුත් ඒක ස්ථිරව දැනගත යුතු දෙයක් වෙනවා. කෙනෙක්ව සිපගන්න කලින් එයා ඒ හැගීමෙන් ඉන්නවද කියල අපි දැනගන්න ඕන. නැත්තං ඒක බලහත්කාරයක්.

    ඇත්තටම සිපගන්න කලින් ඒක අහන එක වුනත් අනුරාගය වැඩිවෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක ගොඩක් අයට ගෞරවය පිළිබඳ හැගවීමක් වෙනවා. ඒකෙන් kiss එකක් වඩාත් උණුසුම් වෙන්න ඉඩ තියෙනවා.

    2. Kiss කරන වෙලාවෙ සිහියෙන් ඉන්න.
    ආදරයක මුල් කාලයේදී kiss එකක තියෙන අවධානය, අනුරාගය කාලයත් එක්ක වෙනස් වෙනවා. අපිට හුරුපුරුදු පෙම්වතා හෝ පෙම්වතිය සිපගන්න අතර තුර තව නොයෙක් තැන මනස ඇවිදිනවා. අපි එතන ඒ kiss එකේ පවතින්නෙ නෑ. ඒක තමයි සිපගැනීමකට කරන්න පුළුවන් ලොකුම අගෞරවය.

    තව කෙනෙක් සිපගන්න විටෙක දැනීම, ඇසීම, දැකීම, සුවඳ විඳීම, සහ රස බැලීම යන සියලු ආකාරයෙන් අපි ඒ අත්දැකීම තුල පවතින්න ඕන. සමහර අය මේක විස්තර කරනවා සිපගැනීම යනුම භාවනාවක් බඳුය කියල. එක රිද්මයකට සමපාත වන හුස්ම, අවට සියල්ල නතර වන මොහොත, අපි අනෙකා තුලට ගිලී යන නිදහස මේ හැම දෙයක්ම විඳින්න දැනෙන්න අපි සාවධාන වෙන්න ඕන.

    3. දෙතොල්වලට බොහෝ වේලා රැ‍දෙන්න ඉඩදෙන්න
    උදේ ඇදෙන් නැගිටිද්දි නළලතට දෙන පුංචි හාදුවක් වෙන්න පුළුවන්, පැය ගණන් දිග අනුරාගී සිපගැනීමක් වෙන්න පුළුවන් මේ දෙකටම පොදු කාරණයක් වෙන්නෙ හැකිතරම් වෙලා දෙතොල් ස්පර්ශයේ රැදෙන එකේ වැදගත්කමයි. හාද්දක් දිගුවෙන තරමට ඒ හාදුවේ මහිමය වැඩියි. අපේ දොතොලින් අපි අනෙකා එක්ක සම්බන්ධ වෙනවා. එයාගේ රිද්මය හා සමපාත වෙනවා. ඒ හුස්ම විඳින්න ගන්නවා. මේ ‘සින්ක්’ එකට වෙලාව ගතවෙනවා. සිපගැනීමක අරමුණ වෙන්නෙම අනෙකා සමග එකම රිද්මයකට සමපාත වීමයි. මොහොතක් එක්ව පැවතීමේ ශෘංගාරයයි.

    Kiss එකකදි අපේ ශරීරයේ ’බොන්ඩින් හෝර්මෝන’ නිදහස් වෙන්න පටන් ගන්නවා. හැම හාද්දක්ම අපිව අනෙකාට වඩාත් ළංකරනවා. කෝර්ටිසෝල් අඩු කරනවා. සතුටේ හෝමෝනය වන ඩෝපමින් මුදාහරිනවා. අපිව යුෆෝරියාවක අතරමං කරනවා.

    4. දිව ගැන වැරදි වැටහීමක් නැත්නම් සෙමෙන් ඉඩ දෙන්න.
    දිවෙන් සිපගැනීමට සාමාන්‍යයෙන් කියන්නෙ ෆ්‍රෙන්ච් කිස් කියලා. ඒක ඉතා මනරම් සිපගැනීමක්. ඒත් සමහරු ඒකට අකමැති වෙන්න පුළුවන්. ඔබේ සහකරුවා/සහකාරිය ඊට කැමති බව හොඳටම දන්නවා නම් ඔයාට පුළුවන් දෙතොල් සිපගන්නා අතරතුර දිව සෙමෙන් අනුරාගී ලෙසින් ඇගේ හෝ ඔහුගේ මුව තුලට ඇතුල් කරන්න. ඔබ දෙන්නාම කැමති වඩා ප්‍රචන්ඩ වූ ආකාරයෙන් දිව පාවිච්චි කරමින් සිපගැනීමට නම් එහි කිසිම නරකක් නෑ. අනපේක්ෂිත පරිදි දිව මුව තුලට විත් කරන දඟයත් ආස්වාදනීය වෙන්න පුළුවන්.

    සිපගැනීමකදි දිවෙන් මුව තුල සැරීම ඔබ අතර බැඳීම තවත් වැඩි කරනවා. ඒක විනිවිදීමක්. හරියටම සංසර්ගයක් වගේම කිළිපොලා යන හැගීමක්.

    දිවෙන් සිපගැනීම් කරනවා නම් අනෙත් කෙනා එය කොයි ආකාරයකින් කොයිතරමකින් රස විඳින්න ලෑස්තිද කියන එක දැනගෙන ඉන්න එක වැදගත්.

    5. එකිනෙකාගේ ඛේටයෙන් මත්වෙන්න.
    දිවෙන් සිපගැනීම හෙවත් ෆ්‍රෙන්ච් කිස් එකෙනුත් එහාට ගිහින් අපිට පුළුවන් එකිනෙකාගේ කෙළ හුවමාරු කරගන්න. සමහර විට ඒක සිපගැනීම් පාඨමාලාවේ සෑහෙන කාලයක් අධ්‍යනයෙන් පසු කරන්න ඕන වැඩක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඉතාම දැඩි තෘප්තියක්, ආස්වාදයක් දෙන කාරණයක්. අනෙකාගේ කෙළ පවා ආදරයෙන් රස විඳීම කියන්නෙ අපි කොයිතරම් දැඩිව, ගැඹුරින් අනෙකාව බාරගන්නවද කියන බව දැනවීමක්.

    6. ශරීරයේ අනෙක් කොටස් අමතක කරන්න එපා.
    ඔබ දෙතොල් සිපගන්නා අතර තුර අත්වලින් මොනවද කරන්නෙ කියන එකත් වැදගත්. අත්වලින් ඔබ දැඩිව අනෙකාව වැළඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඇය හෝ ඔහු වඩා කැමති එබඳු දැඩි සිරගත සිපගැනීමකට වෙන්නත් පුළුවන්.

    නමුත් ඔබට තව බොහෝ දේ කරන්න පුළුවන්. ඇගේ හෝ ඔහුගේ වඩා සංවේදී කලාප ඔබට ඇගිලිවලින් ස්පර්ශ කරන්න පුළුවන්. සමහරුන්ගේ කන්පෙති, සමහර විට ගෙල යට, සමහර විට පිට පුරා දිවෙන ඇගිලි ඇයව කුල්මත් කරන්න පුළුවන්. දෙතොලින් බැඳී ඇති අතර ඇගිලි සැරිසැරිය යුතු ආස්වාද කලාප ගැන හොඳින් තේරුම් ගන්න. ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ශෘංගාර කලාප හඳුනාගැනීම කියන්නෙ ඒකට.

    7. හපනවා නම් මෘදුව හපන්න.
    සමහරු කැමතියි සිපගන්න අතරෙ දෙතොල් සපන්න. එය හැගීම් තවත් උත්සන්න කරන්නක්. වැදගත්ම දේ අනිත් කෙනාත් ඒ තරමට උණුසුම් වූ හැගීමක ඉන්නවද කියල දැනුවත්ව මේක කරන එකයි. නැත්තං ඔක්කොම කණපිට හැරෙන්න පුළුවන්.

    දොතොල් සැපීම මෘදුව කළ යුත්තක්. මේක ඩ්‍රැකියුලා වර්ගයේ සපාකෑමක් නෙමෙයි. ශෘංගාර චුම්බනයක් තවත් අනුරාගී ඉසව්වට කැඳවීමක්. අනෙකාව කිළිපොලා යන පරිදි මෘදු සැපීම් කරන එක තරමක් පුහුණු විය යුතු කාරණයක්.

    8. දෙතොල් තෙත්ව, නැවුම්ව තබාගන්න.
    වියළි පැළුණු දෙතොල්වලින් සිපගැනීම තරම් අනුරාගය බිඳින සුළු දෙයක් නැති වෙන්න පුළුවන්. ඊට වඩා යමක් වෙන්න පුළුවන් නම් ඒ තමයි මුඛයෙන් දුර්ගන්ධයක් වහනය වීම. මේ නිසා සිපගැනීමකට කලින් දෙතොල් තෙත්ව, මෘදුව පවත්වාගන්න. ඒ තෙත්බව තමයි kiss එකක පදනම. ඒ වගේම චුයින්ගම් එකක් හරි හපලා මුව නැවුම්ව තබාගන්න. කොයිතරම් උදේට දත් මැදලා ආවත් ගතවෙන කාලයත් එක්ක දුර්ගන්ධයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අනෙකාට නැවුම් හුස්ම විඳින්න පුළුවන්, එහි දැවටෙන්න තැවරෙන්න පුළුවන් ශෘංගාරමය සුවඳක් මුවින් වහනය වෙනවා නම් කොයිතරම් රමණීයද?

    9. සිපගැනීම ගැන ප්‍රතිචාර විවෘතව බාරගන්න.
    ඔබ කෙනෙකුට නරක සිපගන්නෙක් වෙලා තවත් කෙනෙකුට විස්මිත සිපගන්නෙක් වෙන්න පුළුවන්. ඒක ඉතාම පුද්ගලික දෙයක්. ඒ නිසාම සිපගැනීම ගැන විවෘතව අනෙකා එක්ක කතාබහ කරන්න. එයා තවත් කැමති නොකැමැති ආකාර ගැන දැනගන්න. හාදුව තව තවත් ගැඹුරට අනුරාග ඉසව් වලට ගෙන යන්න.

    මේ වගේ දේවල් විවෘතව අනෙකාට කියන මට්ටමට ඔබේ සම්බන්ධතාවය පරිණත කරගන්න. හිතේ දේවල් හංගගෙන ඉන්න වේදනාවෙන් අත්මිදෙන්න.

    Kiss එකක් කියන්නෙම විවෘත බවේ, නිදහසේ, බාරගැනීමේ සංඥාවක්. ඒ බව සිහිපත් කරමින් නැවත නැවත සිපගන්න.

  • චන්ද්‍රාචුඩ් – ඉන්දියානු අධිකරණයේ කැරලිකාර විනිසුරුවා

    චන්ද්‍රාචුඩ් – ඉන්දියානු අධිකරණයේ කැරලිකාර විනිසුරුවා

    2018 ඉන්දියාවෙ ශ්‍රේෂ්ටාධිකරණය අනාචාරයේ යෙදීම, නැත්නම් කාන්තාවක් විවාහකව සිටියදී වෙනත් පුරුෂයෙක් සමග ලිංගිකව හැසිරීම අපරාධයක් හැටියෙන් සැලකූ නීතිය අවලංගු කරනවා. ඒ වෙලාවෙදි විනිශ්චයකාර චන්ද්‍රාචුඩ් වැදගත් ප්‍රකාශයක් කරනවා.

    ‘විවාහ වීමෙන් කාන්තාවකගේ ලිංගික අයිතිය පිරිමියාට පැවරෙන්නෙ නෑ. ඒ වගේම විවාහය කියන්නෙ කාන්තාවක් වෙනත් අය සමග ලිංගිකව හැසිරෙන්නෙ නැති වගට ඇති කරගන්නා එකග වීමක් නෙමෙයි’

    මේ ප්‍රකාශයත් එක්ක චන්ද්‍රාචුඩ්ට එරෙහිව ඇවිලෙමින් තිබුනු #NotMy CJI ඒ කියන්නෙ, මගේ අගවිනිසුරු නොවේ යනුවෙන් ප්‍රතිගාමී ඉන්දියානු සංස්කෘතිය රකින්න දඟලන පිරිසගේ සටන තවත් බුරබුරා නගිනවා.

    D Y චන්ද්‍රාචුඩ් කියන්නෙ මේ වෙද්දි ඉන්දියාවේ අගවිනිසුරුවරයා. අධිකරණයේ නීතිය ක්‍රියාත්මක වීමට ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් දැක්ම, තේරුම් ගැනීම අනිවාර්යෙන් අවශ්‍යයි කියල චන්ද්‍රාචුඩ් සෑහෙන කාලයක ඉඳන් සටන් කරනවා. මේ නිසාම සාම්ප්‍රදායික මතවාද කරින් ගත් ඉන්දියානුවෝ චන්ද්‍රාචුඩ් විසින් විෂසහිත ෆෙමිනිස්ට් අදහස් නීතියට ඇතුල් කරනවා කියල චෝදනා කරනවා. ඉන්දියාවෙ සංස්කෘතියට මේ ස්ත්‍රීත්වයට ගරු කරන අදහස් හරි වේදනාකාරී විදිහට දැනෙනවා.

    චන්ද්‍රාචුඩ්ට විරුද්ධව සෝෂල්මීඩියා කැරැල්ල පටන්ගත්තෙ එයා දිල්ලිවල ජාතික නීති විශ්ව විද්‍යාලෙ ශිෂ්‍යශිෂ්‍යාවන් අමතමින් ඔබ නීතිය පුහුණු වන විට නිතරම ස්ත්‍රීවාදී දැක්ම අඩංගු කරගන්න කියලා ඉල්ලා සිටීමත් එක්කයි.

    මේ උපාධි ප්‍රදානෝත්සවයෙදි එයා කරන කතාව හරිම වැදගත්.

    ‘නීතිය කියන්නෙ හරියට තේරුම් ගත්තොත්, හරියට ක්‍රියාවට නැගුවොත්, පීතෘමූලිකබව, කුලවාදය සහ ආබාධිතයන්ට වෙනස් ලෙස සැලකීම ආදී අධිපතිවාදී ව්‍යුහයන්ට එරෙහිව ආරක්ෂාවට ඇති යාන්ත්‍රණයක්’ ඔහු එතනදී කියනවා.

    නීතිවේදීන් සහ ස්ත්‍රී ක්‍රියාකාරීන් චන්ද්‍රාචුඩ්ගෙ මේ ප්‍රකාශයන් ඉතා ඉහළින් බාරගත්තා. ඒ නිර්භීතකම අගය කළා. නමුත් සාම්ප්‍රදායික බහුතරයේ ප්‍රතිචාරය වුනේ වෙනස් එකක්.‘මිනිස්සු මේ ස්ත්‍රීවාදී සිතීම කියන එක වරදවා අරගෙන තියෙන බව පේනවා. ස්ත්‍රීවාදය කියන්නෙ එක එක අයට එක එක තේරුම් දෙන වචනයක් වෙන්න පුළුවන්. ඒත් මූලිකවම ස්ත්‍රීවාදය කියන්නෙ කාන්තාවට සම අයිතීන් ලබාදීම කියන එකයි’ ජ්‍යෙෂ්ට නීතිවේදිනියක් පැහැදිලි කළා.

    ‘මේ ප්‍රකාශය ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන. පිරිමි විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ කාන්තාවක් විත්ති කූඩුවේ ඉන්නවා නම් අර පිරිමි විනිශ්චයකාරවරයා තමන්ට තමන්ගේ ලිංගිකත්වය- ජෙන්ඩර් එක විසින් උගන්වා ඇති සියලු දේ බැහැර කරමින් අර ගැහැණියගේ මනස තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි කියන එකයි’
    නීතිවේදියෙක් තවදුරටත් විස්තර කරනවා.

    චන්ද්‍රාචුඩ් කියන්නෙ මීට කලින් ඉඳන්ම ඉන්දියානු ප්‍රතිගාමී සංස්කෘතියට බෝම්බ දානවා වගේ තීන්දු දුන් කෙනෙක්. එයා සමලිංගිකත්වය වරදක් යැයි සැලකෙන නීතිය නිෂ්ප්‍රභා කරනවා. කාන්තා හමුදා නිලධාරිනියන්ට හමුදාවේ උසස් තනතුරු ලබාගැනීමේ අයිතිය ඇති බව ප්‍රකාශ කරනවා. ගබ්සා කිරීමේ අයිතිය විවාහක සහ අවිවාහක කාන්තාවන්ට ලබාදෙනවා.

    මේ නිසා චන්ද්‍රාචුඩ් බටහිර සංස්කෘතියට ඇබ්බැහි වුනු ඉන්දියාවේ සදාචාරය විනාශ කරන කෙනෙක් විදිහට හංවඩු ගැහෙනවා. පවුල් ජීවිත විනාශ කරන්නෙක් කියලා චෝදනා නැගෙනවා.

    ‘ඉන්දියාවෙ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන වාර්තා අසතුටුදායකයි. කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පැත්තෙන්, කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුලත් කරගැනීම පැත්තෙන් වගේම නායකත්ව තනතුරු ලබාදීම පැත්තෙනුත් ඇති තත්වය ගැන කොහෙත්ම සතුටු වෙන්න බෑ. අපිට ඇත්තටම වෙනස් වෙන්න ඕන නම් රටේ ජනගහනයෙක් බාගයක් ඉන්න කාන්තාවන් ක්‍රියාකාරීව සම්බන්ධ කරගැනීම අත්‍යාවශ්‍යයි. නැත්තං මේක ජාතික නාස්තියක්. පටු කණ්ණාඩිවලින් බලලා ඉදිරියේදී නීති සම්පදානය නොකළ යුතුයි. මේ නිසා අනිවාර්යෙන්ම නීති සම්පාදනයේදී කාන්තාවගේ දැක්ම අඩංගු කරගත යුතුමයි. චන්ද්‍රාචුඩ් කරන මේ කාර්යය වඩාත් අගය කළ යුත්තේ ඒ නිසයි’
    ප්‍රගතිශීලි සමාජ ක්‍රියාකාරිනියන් පෙනී සිටිනවා.

    මේ කතාව ඉන්දියාවෙ. ඇත්තටම අපේ රටේ නීතිය තාම තියෙන්නෙ කොතනද? අපේ විනිශ්චයකාරවරුන් පෙනී ඉන්නෙ කොයි පාර්ශ්වය වෙනුවෙන්ද? අපේ රටේ චන්ද්‍රාචුඩ් වගේ විනිසුරුවරුන් පහළ නොවන්නේ ඇයි?

    ඒ තමයි ලිංගිකත්වය ගැන අපේ රටේ නීතියට දැනෙන තරම.

  • තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල) ගාඩි ෆිල්ම් එක බලන්න ලැබුන. ප්‍රසන්න කියන්නෙ ලංකාවෙ ඉන්න ඉවසිලිවන්තම, පිළිවෙලම, වෘත්තීයම සිනමාකරුවා කියල පුළුවන්. එයා තමන්‍ගේ චිත්‍රපට නිර්මාණයට අමතරව චිත්‍රපටි නිෂ්පාදනය ගැනත් ලොකු දැනුමක්, පරිචයක් ලබාගත්තා. කලාපයේ විවිධ දක්ෂතා ඇති පිරිස් එක්ක සිනමා නිර්මාණ කරමින් ලංකාවෙ සිනමාව කලාපීය සිනමාවත් එක්ක සම්බන්ද කරන්න ලොකු උත්සාහයක් ගත්තා. අපේ සිනමා කර්මාන්තයට බිහිකරන්න පුළුවන් වුනේ එහෙම එක්කෙනයි.

    ප්‍රසන්න සෑහෙන කාලයක් තිස්සෙ ගාඩි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ලංකාවෙ පීරියඩ් සිනමාව ඇතුලෙ නිර්මාණාත්මකව මෙතෙක් උසස්ම මට්ටම අත්පත් කරගන්න ගාඩි සමත් වෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. ඒ තරම් කැත නැතුව, දෙබස් ආදියෙන් පවා ඒ කාලයත් මේ කාලයත් දෙකම දැරිය හැකි අවකාශයක් නිර්මාණය කරගන්න ප්‍රසන්නට පුළුවන් වෙනවා. මං හිතන්නෙ එතනදි වැදගත්ම දේ ප්‍රසන්න ඉතිහාසයේ අතුරු කතාවකින් හැරෙන එකයි. ගාඩි චිත්‍රපටියට විෂය වෙන කතාව ඉතිහාසයේ වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක ඇහැලේපොලගේ පරිවාර නිළමෙ කෙනෙකුගෙ බිරිඳක් ගැන කතාවක්. ඒත් ඉතිහාසය වෙනස් වීම ගැන ඉතාම සුවිශේෂී මානුෂීය කතාන්දරයක් ගාඩි ඇතුලෙ තියෙනවා.

    කතාව දිගහැරෙන්නෙ රාජසිංහ රජු පන්නන්න ඇහැලේපොල සෙට් එක කුමන්ත්‍රණය කරන දවස්වල. ඉංග්‍රීසින් එක්ක (ඩොයිලි එක්ක) එකතු වෙලා මේ ගහන කැරැල්ල පරාජයට පත්වෙනවා. නිළමෙලාගෙ පවුල් පිටින් රාජ උදහසට ලක්වෙනවා. ඒ නිවෙස්වල ගැහැණුන්ට එක්කො දියට පැන දිවි නසාගැනීම හෝ ගාඩි රැහැට එකතු වීම තෝරාගන්න ලැබෙනවා.

    මේක හරිම ලස්සන තෝරාගැනීමක්. එක්කො සංස්කෘතිය නැත්තං ජීවිතය කියන දෙක අතර. තමන්‍ගේ කුල ගෞරවය ගැන ජීවිතයට වඩා හිතන අය ගඟට පනිනවා. ඒත් කුලයට එපිටින් ජීවිතය ගැන තාමත් බලාපොරොත්තු සහගත අය අඩියක් පස්සට ගන්නවා.

    ඒ ඉහළ කුලවතිය ලබාගන්න රොඩියෝ ගඟ හරහා පීනනවා. හරියට ශුක්‍රාණු වගේ. ඇය තමන්ගේ කරගන්නේ මුලින්ම ඇගේ මුවට තමන්‍ගේ බුලත් හපය ලන රොඩියායි.

    තමන්ට බල්ලන්ට මෙන් සළකන ඉහළ වංශයෙන් නෙරපා හරින කාන්තාවක් තමන්‍ගේ කරගැනීම සඳහා තරගවදින රොඩී මානසිකත්වය අසිරිමත් එකක්. එක්කො නිකං දෙන ඕන දේකට පොරකාලා ගන්න පුරුද්ද රැහැක් විදිහට තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ඔවුන්ගේ ආශාව හැමදාම පවතින්නෙ ඒ උසස් වාංශික කාන්තාවන් ගැන වෙන්න පුළුවන්. හරියට කලු අයගේ ආශාව සුදු ගැහැණුන් මත පවතිනවා වගේ.

    ඒ කොහොම වුනත් මේ වැළඳගැනීම අනිත් පැත්තෙන් අත්හැරීමක්. කුල මුසුවීමක්. ඒ වංශවත් කුලයේ කාන්තාවට දෙවැනිව පවතින්න තෝරාගැනීමක්.

    මං දැකලා තියෙනවා ලංකාවෙ පිරිමි බොහොමයක් තමන්ට වඩා සංස්කෘතිකව බලවත් ගැහැණියක් පාවා ගන්න බයකින් පසුවෙනවා. ඒ තමන්‍ට හුරු සංස්කෘතිය අත්හරින්න වෙනවා කියන බයට. නැත්තං හීනමානයට. සමහරු උගත්කම්වලින් පවා තමන් අභිභවා යන කාන්තාවක් විවාහ කරගන්න බයයි. ඒක තමන්‍ගේ පිරිමිකම දුර්වල කරන තත්වයක් විදිහට ඒ අයට හැගෙනවා. මුදල් අතින් තමන්ට වඩා ඉහළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින ආකර්ශනය වෙන අරමුණක්. ඒත් සංස්කෘතිකව තමන්ට වඩා උසස් ගැහැණියක් තෝරාගැනීම කියන්නෙ පිරිමි ගොඩකට අභියෝගයක්.

    මෙතනදි මේ රොඩී කොල්ලා ඒ අභියෝගය ගන්නවා. එහෙම තැනකදි දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක, පිරිමියා විසින් ගැහැණිය තමන්ට නතු කරවාගෙන තමන්ගේ සංස්කෘතියට අඩංගු කරගැනීම. දෙවෙනි එක ගැහැණියගේ සංස්කෘතිය තමන් විසින් වැළඳගැනීම. ඒ සංස්කෘතියට ගරු කිරීම. ඒ වෙනුවෙන් තමන්ගේ සංස්කෘතිය හෝ වර්ගයා අත්හැරීම. ඒක ගැහැණුන්ගෙ පැත්තෙන් නිතර සිද්ද වෙන දෙයක්. නමුත් පිරිමියෙකුගේ පැත්තෙන් දරුණු අභියෝගයක්. ඉන්න ස්තිර තැනක් පවා අහිමි රොඩී කොල්ලෙකුටම මිස වෙනකෙකුට බොහෝ දුෂ්කර විය හැකි කාර්යයක්.

    ඒත් කුලයක් හෝ වර්ගයක් වෙනස් වෙන්න ගන්නෙ ඒ පාවාදීම ඇතුලෙයි. හැම වර්ගයකම ඊලග පැවැත්ම තීරණය කරන්නේ ඒ වර්ගය උසස් සංස්කෘතියක් වෙනුවෙන් පාවා දෙන්නා විසිනුයි.

    ප්‍රසන්නගෙ කතාවම පදනම් වෙන්නෙ තන වැස්ම මත. රොඩියන්ව පහත හෙලන කාරණය වෙන්නෙ තන වැස්මක් ඇඳීම තහනම් වීමයි. උසස් කුලයෙන් පිටුවහල් කරන නිළමේ බිරිඳ තමන්ගේ තන වැස්ම ගැලවීමට එරෙහිව සටන් කරනවා. මෙතනදි පියයුරු කියන්නෙ ශෘංගාරය හෝ ආශාව පිළිබඳ කාරණයක් නෙමෙයි කුල ගෞරවය පිළිබඳ කාරණයක්.

    තනපට බලහත්කාරෙන් ඉවත් කරන දර්ශනවලදී පවා ඇ‍ගේ පියයුරු වසන් කරන්නට ප්‍රසන්න අධ්‍යක්ෂවරයා විදිහට තීරණය කරනවා. කතාවෙ ඇයව නිරුවත් කළත් ප්‍රසන්න ඇගේ ගෞරවය රකිනවා.

    නමුත් අනෙක් රොඩී ගැහැණුන්ගේ පවා පියයුරු දර්ශනය වෙන්නෙ කලාතුරකින්. බොහෝ අවස්ථාවල යම් යම් දෙයින් ඒවා උවමනාවෙන් ආවරණය කරපු බවක් පේනවා. ඒකට හේතුව මං හිතන්නෙ අපේ සිනමා ශාලාවලට නරඹන්නො ගෙන්වා ගැනීමම වෙන්න ඕන. කාන්තා නිරුවත ප්‍රදර්ශනය වුනු ගමන්ම ප්‍රේක්ෂාගාරය බාගෙට අඩුවෙනවා. විශේෂයෙන් කාන්තාවන් චිත්‍රපටය නැරඹීම ප්‍රතික්ෂේප කරනවා.

    ගාඩි කොල්ලයි මේ වංශවත් කෙල්ලයි මුණගැහෙන්නෙ රොමාන්තික ආදරයට පෙර යුගයෙදි. ඇල්මක් ගැන දැනීමක් මිස ආදරය ගැන වැල්වටාරම් නැති කාලෙක. සියල්ල සම්ප්‍රදාය විසින් තීරණය කරන කාලෙක. එතනදි සම්ප්‍රදාය අත්හරින්න බලකරන ගැහැණියක් සහ සම්ප්‍රදාය අත්හරින තීරණය ගන්නා පිරිමියෙක් මුනගැහෙනවා.

    ඒ මුනගැසීම ආදරයක්ද කියන්න අපි දන්නෙ නෑ. මොකද ඒ හැගීමට ඒ වකවානුවෙ වචනයක් තිබුනෙ නෑ. ඒත් බැඳීමක් තිබුන.

    ඇය මුලු කාලය පුරාම සටන් කරන්නෙ ඇගේ කුලපට හෙවත් තනපටය රැකගන්න. එක තැනකදි ඇය තීරණය කරනවා ඒ තන පටය අත්හරින්න. ඒ තමන් වෙනුවෙන් වර්ගයා අත්හළ පිරිමියාගේ වරිග පැවැත්ම වෙනුවෙන්. ඔවුන්ගෙන් ආරම්භ වෙනවා අලුත් රොඩී පරපුරක්. ඒ රොඩීන් කියන්නෙ තමන්ගේ වර්ගය ‘ආදරය’ වෙනුවෙන් පාවා දුන් පරපුරක්.

    ප්‍රසන්න තමන්‍ගේ සිනමාකරණය තුල හැගීම් දැනීම් දනවන්න ඉඩක් තියන්නෙ අඩුවෙන්. ඒ කියන්නෙ රොමැන්ටිසයිස් කරන්නෙ අඩුවෙන්. මට හිතෙන්නෙ මේ කතාව මීට වඩා රොමැන්ටික් කතාවක් කියලයි. ඒක තව උපරිමයෙන් පපු හීරෙන්න දෙන්න තිබුන කියලයි.

    රංගනය පැත්තෙන් හැම කෙනෙක්ම වගේ විශිෂ්ටයි. අල්පය ඇතුලෙ මහා දෙය නිරූපණය කරන්න ප්‍රසන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම රගපාන්නම බැරි රවීන්ද්‍ර රන්දෙණිය පවා සිරාවට රගපානවා. මං හිතන්නෙ මේ ඇක්ට් එක අමාරු එකක්. සාම්ප්‍රදායික උස් හඩින් කතා කරන, නිකට උස්සගෙන කැරකෙන, අධිතාත්වික වංශවතා නිරූපණය කරන්න ලේසියි. ඒත් යතාර්ථවාදී නිළමෙ චරිතය කරන්න අමාරු එකක්.
    සජිත ඇන්තනි සහ ඩිනාරා තමන්ගේ චරිත ඉතාම ආකර්ශනීය විදිහට නිරූපණය කරනවා. සජිත දකින කොට ජැක්සන්ව මතක් නොවී තබාගැනීම හරිම දුෂ්කර දෙයක්. සජිත නිසා සිහිපත් වුනු ජැක්සන්ගේ ඒ නළු පෞර්ෂය මාව මො‍හොතකට චිත්‍රපයටයෙන් එළියට අරගෙන ගියා.

    ගාඩි චිත්‍රපටයට බටහිර ක්ලැසිකල් මියුසික් යොදාගැනීම නම් ලොකු නොගැලපීමක්. සංගීතය පාවිච්චි වෙන්නෙ චරිතවල ආත්මය පැත්තෙන් නෙමෙයි ඩොයිලිගේ පැත්තෙන් වගේ. ඒක ඒ චරිත හුදකලා කිරීමක් වගේ දැණුනා.

    ගාඩි කියන්නෙ ලොකු කතාවක්. එපික් එකක් අවමතා රීතියෙන් කරන්නෙ කොහොමද කියල උත්සාහයක්. ඒ හින්දම ආකර්ශනීය වැඩක්.

    දැනුත් අපි නොයෙක් අයගෙ ලීක්වෙන, තනපට ඉවත් කළ වීඩියෝ බලනවා. ඒවා ෂෙයාර් කරනවා. ඇත්තටම ඒ පිටිපස්සෙ තියෙන්නෙ නූතනවාදී හැගීමක් වුනු ශෘංගාරයද නැත්තං අර පරණ කුලවාදී නිගරු කිරීමමද?

  • ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි

    ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි

    ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන. ඒ අනුව මින් පසු සම්බාහන ආස්වාදය විඳින්නට ඉඩ ලැබෙන්නේ සමරිසි අයට පමණයි. සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් යටතේ මේ ප්‍රමුඛතාවය හිමිවීම සුවිශේෂයක් වෙනවා.

    කොමසාරිස්වරයා කියන්නේ සම්බාහන ආයතන මගින් ලිංගික රෝග බෝවීමේ අවදානම මැඩලීම සඳහා මේ පියවර ගන්නා බවයි. ලිංගික රෝග බෝවීම නතර කරන්න සම්බාහන ආයතන සමලිංගික කළ යුතු යැයි නීති පනවන්න හදන කොමසාරිස්වරුන් වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු, ඊට නුසුදුසු මානසික මට්ටම් ඇති අය බව රජයක් තේරුම් ගත යුතුයි. මේ රට විනාශයට ඇදගෙන යන්නේ ඔය වැනි පටු නූගත් මානසිකත්වයන් ඇති බලධාරීන් විසිනුයි.

    ස්පා හෙවත් සම්බාහන ආයතන මේ වන විට ඉතාම සාර්ථකව රටේ ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක්. රජයෙන් කිසිදු සහනාධාර හෝ වෙනයම් පහසුකම් හෝ නැතිව, පොලිසිවල විවිධ අකටයුතුකම්, බලහත්කාරයන් මැද, මේ ආයතන මිනිස්සු ස්වෝත්සාහයෙන් කරගෙන යනවා. විශාල කාන්තාවන් පිරිසක් මේ ආයතනවල රැකියා කරනවා. මේ රැකියා කරන කාන්තාවන්ගෙන් යැපෙන පවුල් විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙම තියෙද්දි ලිංගික රෝග පිළිබඳ මුග්ධ කතා කියමින් ආයුර්වේද කොමසාරිස්වරයා උත්සාහ කරන්නේ මේ හොඳින් ලාබ උපයන ව්‍යාපාරය බංකොලොත් කිරීමටයි. අර කාන්තාවන්ගේ රැකියාවන් අහිමි කරමින් ඔවුන්ගේ දරුපවුල් පවා දුෂ්කරතාවයන්ට ඇද දැමීමටයි. ලංකාව වගේ ලිංගික ආස්වාදය ගැන කුහක සදාචාර වත් පුරන සමාජයක මේ වගේ දේවල් වලින් ලකුණු දාගැනීම පහසුයි. ඒ වගේම මෙවන් වාරණ තහංචි වලින් කාට හෝ වැඩි පුර කොමිස් මුදලක් ලබාගැනීමේ ක්‍රමවේදයන් සකස් කරගැනීමත් ඉතාම ප්‍රකටයි..

    ලිංගික රෝග බෝවීම වළක්වා ගන්න නම් කළ යුත්තේ කොන්ඩම් පාවිච්චිය අනිවාර්ය කරන නීති ගෙන ඒමයි. නීතිවලටත් වඩා ඒ පිළිබඳව දැනුවත් භාවිතයන් හුරු කිරීමට පියවර ගැනීමයි. ඒ වගේම ස්පා වල සේවය කරන පිරිමි හෝ කාන්තා පිරිස්වලට ලිංගික රෝග පරීක්ෂාවන් නිශ්චිත කාලසීමාවන්ට අනුව සිදුකරගැනීමේ පහසුකම් සැලසීමයි. ස්පාවලට ආරක්ෂිත, ගෞරවනීය රැකියා ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමක් ලබාදීමයි. ඒ වෙනුවට මේ කරන්නෙ ස්පා එකකට ගිහින් තමන්ගේ වෙහෙස, ආතතිය නිවාගන්නා සාමාන්‍ය මනුස්සයෙකුගේ සතුටට කෙළවන අතරම එම සේවය සපයන අයගේ ජීවිතද අවදානමේ හෙලීමයි. කලාතුරකින් වැළ‍ඳීමට ඉඩ ඇති ලිංගික රෝගවලට වඩා එදිනෙදා මිනිස්සු පෙළෙන බඩගින්න, ආතතිය භයානක රෝග බව කොමසාරිස්වරයා දැනගත යුතුයි.

    ලංකාවෙ මාත් ඇතුලු බොහෝ දෙනෙක් තායිලන්තයේ ගියොත් විශාල ආස්වාදයක් ලබන දෙයක් තමයි ඒ රටේ ඉතාම විධිමත්ව පවත්වා‍ගෙන යන ස්පා අත්දැකීමක් ලැබීම. ‘හැපි එන්ඩින්’ හෙවත් අවසානයේ සුරතාන්තයක්ද සහිතව ලබාදෙන මේ ආස්වාදජනක අත්දැකීම ලබාගන්න තායිලන්තයට එන පිරිස් විශාලයි. දැන් කංසා නීතිගත කිරීමත් එක්ක මේ සංචාරකයන් ඉලක්ක කරගත් විනෝදාස්වාද කලාපයන් තවත් සාර්ථකව පවත්වාගෙන යන්න තායිලන්තයට පුළුවන් වෙනවා. ප්‍රධාන හේතුව ඒ රටේ මේ සම්බන්ධ බලධාරීන් පුහු සදාචාර සීමාවලට හිරවුණු නූගතුන් නොවීමයි. අපේ රටේ බලධාරීන් බලන්නෙ පවතින කුහක සදාචාරයට මුවාවෙලා තමන්ගේ මඩිය තර කරගන්න ක්‍රමයක් සකස් කර ගැනීම මිස අර කර්මාන්තයට සුබසිද්ධියක් අත් කරදෙමින් එය රටේ ආර්ථිකයට වැඩදායි තත්වයකට දියුණු කරන විදිහක් නෙමෙයි.

    මේ රට බංකොලොත් වෙන්නෙ මේ වගේ බංකොලොත් නිලධාරීන් නිසාමයි.

  • ලාල්ගේ කැරැල්ල

    ලාල්ගේ කැරැල්ල

    ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට ඇතුල්වෙන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. ජවිපෙ ශෘංගාරයට සහ සෙක්ස්වල අසීමිත බයක් දක්වන පක්ෂයක්. ඒක හරිම ආගමික පක්ෂයක්. සෙක්ස්වලින් ඒ පක්ෂයේ බොහෝ දේවල් අවුල් කරන්න පුළුවන්.

    ඒ වගේම ජවිපෙ නායකයාගේ පටන් කාන්තාවන් ගැන අතිශය නොසැලකිල්ලක් දක්වපු පක්ෂයක්. විජේවීර විප්ලවය කරන අතර දරුවන් උපද්දන විදිහ සැලකිල්ලට ගැනීමම ප්‍රමාණවත්. ඒ ගැහැණියගේ ජීවිතය ගැන කිසිම හැගීමක් විජේවීර කියන ශ්‍රේෂට විප්ලවවාදියා තුල තිබුනෙ නෑ. ඒක දරුවන් හදන මැෂිමක්, නැත්තං තමන්ගේ උවමනාව සපුරා ගැනීමට ඇති වැදගත් නොවන (විප්ලවය තමයි වැදගත්ම) යමක් වගේ දැනීමක් තමයි විජේවීර ප්‍රකට කරන්නෙ. ජවිපෙ කියන්නෙ ලංකාවෙ සිංහල බෞද්ධ ලිංගික කුහකත්වයේ තරුණ ප්‍රවේශයක්.

    මේ වෙද්දි අනුර කුමාර විසින් ජවිපෙ සෑහෙන තරම් ලිබරල් තත්වයකට ගෙනත් තියෙනවා. ජවිපෙ විසින් රාජ්‍ය සේවකයො අඩු කරන්න- රජය කුඩා කරන්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ආදී දේට වචනෙන් හරි එකග බව කියනවා. මේ අතර ලාල්කාන්ත ජවිපෙ ඉතාම තීරණාත්මක නිලය ස්පර්ශ කරනවා. ලාල් ශෘංගාරය තමන්ගේ දේශපාලනය ඇතුලට ගේනවා.

    ලාල්කාන්ත හෙදියන් අමතා කළ කතාවෙ ප්‍රධානව දකින්න තියෙන්නෙ කාරණා දෙකයි. එකක් ජිම් යාමෙන්, ව්‍යායාම කිරීමෙන් තමන්ගේ නිරෝගී බව ආරක්ෂා කරගන්න කියන එක. අනික පුන් පයෝධර, සිහිනිඟසුග ඇතිව තමන්ගේ ශෘංගාරය පවත්වාගන්න කියන එක. තමන්‍ගේ රෝගීන්ට හෙදකමට අමතරව වසඟයද පවත්වාගන්න කියන එක. මේක ඉතාම සුන්දර ආරාධනයක්. විශේෂයෙන් ලෙඩ්ඩුන්වම දකින, ජීවිතේ අනිත්‍යබව සමගම ගැටෙන හෙදකම ශෘංගාරකරණයකට ලක් කිරීම අවශ්‍ය දෙයක්.

    මේ ගැන බොහෝ ලිබරල්, පොලිටිකලි කරෙක්ට්, සෙක්ස්වලට බය ඉවුරෙ පිරිස් තමන්ගේ කණස්සල්ල පළ කරලා තිබුන. මේ අයට අනුව මේ ලාල්කාන්ත තමන් ආශක්ත කාන්තාව පිළිබඳ ප්‍රකාශ කිරීම අනෙක් තඩි, මහත, හෝ හීනි කාන්තාවන් පහත් කොට සැලකීමක් වෙනවා. පිරිමියා පතන ස්ත්‍රිය බලහත්කාරයෙන් ආරෝපණය කිරීමක් වෙනවා. ඒ අතරෙ කාන්තාව තමන්ගේ වෘත්තිය ඇතුලෙ ශෘංගාරකරණයකට ලක්කිරීම මහා පිරිමි පාපයක් වෙනවා.

    මේ කතාවම ජෙන්ඩර් රිවර්ස් කරලා බලන්න. පිරිමි හෙදියන්ට කරන කතාවක්.
    ‘ඔය ගොල්ලො ජිම් ගිහින් සික්ස් පැක් හදලා සෙක්සි විදිහට ඉන්න ඕනි. ඇදේ ඉන්න ලෙඩා ඔය ගොල්ලොන්ව දැක්කම නැගිට්ටෙන්න ඕන..’මේකෙන් පිරිමි කවුරුවත් තමන්ව ඔබ්ජෙක්ටිෆයි කළා හෝ පහත්කොට සැලකුවා හෝ වගේ අර්බුදයකට යනවද? ඒක තමන්‍ගේ බෙස්ට් වර්ෂන් එකෙන් ඉන්න කියල කරන යෝජනාවක්. තමන්ගේ පෙනුම, ශරීරය ගැන හිතන්න කියලා මතක් කිරීමක්. තමන්‍ගේ අනුරාගයේ බලය තමන් වෙත රඳවා ගන්න කියල මෝටිවේට් කිරීමක්.

    හෙදියක් දැකීමෙන් ඇඳක ඉන්න රෝගියෙක් ලිංගිකව ප්‍රාණවත් වීම පාපයක් නෙමෙයි. ඒක ආස්වාදජනක දෙයක්. ජීවිතේ ගැන ආශාව දැල්වීමක්.

    හෙදියකට අනුරාගය විතරක් නෙමෙයි කරුණාව සහ දැනුම ආදී දේවලුත් අවශ්‍ය බව කවුරුත් දන්නවා. ඒ දේවල් ගැන ඕනවටත් වඩා කතා කරනවා. ඒත් නිතර අනුන්ගේ සෙම් සොටු ලේ කැත කුණු අතපත ගාන හෙදියන්‍ට තමන්ගේ ජීවිතයේ අනුරාගය, ශෘංගාරය අත් නොහැර ජීවත් වන ලෙස ඉල්ලීම වැරැද්දක් වෙන්නෙ කොහොමද?

    මේක ශෘංගාරභීතිය විසින් අපේ වගේ ලිංගිකව කුහක සමාජ ඇතුලෙ ඇති කරන තත්වයක්. වඩාත්ම භයානක වෙන්නෙ මේක හරිම ප්‍රගතිශීලී එළඹුමක් විදිහට ඉස්මතු වෙන එකයි. අවසාන වශයෙන් ඒ විරෝධයේ පවතින්නෙ ශෘංගාරයට, ලිංගික ආස්වාදයට ඇති ප්‍රතික්ෂේපයම විතරයි.මේ කතාව ලාල්කාන්ත එදා නර්ස්ලට කිව්වට එය ජවිපෙ දේශපාලනය ප්‍රචන්ඩ විදිහට ප්‍රසාරණය කිරීමක්. මේ කතාව ජවිපෙ ජාජාබෙ කියන අලුත් ලිබරල්ස්ලා වගේ ජවිපෙ පරණ සෙට් එක වෙන සිංහල බෞද්ධ මාක්ස්වාදියාත් තිගැස්සුමට ලක් කරනවා.

    දේශපාලනය ඇතුලට විවෘතව ශෘංගාරය කැඳවීම විප්ලවීය වැඩක්. ජවිපෙ කියන්නෙ කො‍හෙත්ම මේ ශෘංගාර අර්ධය නිරූපණය නොකරන වමේ කණ්ඩායමක්. ඒ අයගෙ දේශපාලනය පවතින්නෙම දුක පැත්තෙ. අනෙකා විඳින සතුටට ඉරිසියා කිරීම පැත්තෙ. තමන්ගේ සතුට අනෙකා විසින් සොරාගෙන ඇතැයි ඇදහීම පැත්තෙ. තමන්ගේ පුද්ගලික සුඛ විහරණය, කාමාස්වාදය වරදක් යැයි හිතන පැත්තෙ. මේ අතරෙ තමන්ගේ සුඛය ගැන ශෘංගාරය ගැන, ආස්වාදය ගැන හිතන්න කියල හෙදියන්ට ලාල්කාන්ත කියද්දි ඒක කැරැල්ලක්.

  • ජීවිතේ කියන්නෙ ලස්සන විකාරයක්

    ජීවිතේ කියන්නෙ ලස්සන විකාරයක්

    සිරිමල් විජේසිංහ කාලෙකට පස්සෙ

    ප්‍රශ්නය – ධර්මසිරි බණ්ඩාරනායක වෙනුවෙන් උපහාර දක්වමින් ඔහුගේ සිනමාව අති උත්කර්ෂයට නගමින් ඇගයෙන මේ දිනවල ඔබ ධර්මසිරිගේ සිනමාවේ ප්රතිගාමී දෘෂ්ටඨිවාදය පිළිබඳව ප්රශ්න කරනවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව ගැන ඔබේ විග්රහය මොකද්ද ?

    සිරිමල් – ඔහුගෙ ‘හංස විලක්’ සහ ‘තුන්වෙනි යාමය’ කියන්නෙ ආකෘතික වශයෙන් මෙ රට සිනෙමාවෙ හි සංධිස්ථාන. එහෙත් සන්දර්භය අතින් වික්ටෝරියානු සදාචාරවාදීයි. පවුල්වාදීයි. දීර්ඝව කරුණු දැක්වීම මේ මොහොතෙ බැහැ.

    ප්‍රශ්නය – ධර්මසිරිගේ සිනමාව ගැන කතා කරද්දි ප්රේමසිරි කේමදාසව නොතකා හරින්න බැහැ. මීට වසර ගණනාවකට පෙර ප්රේමසිරි කේමදාස වෙනුවෙන් ඔබ දැක්වූ ‘උපහාරයක’ ඉතිහාසයේ සටහන්ව පවතිනවා. ඒ පිළීබඳ ආවර්ජනය කරමින්ම කේමදාසගේ සංගීත භාවිතාව ගැන කතා කළොත්.

    සිරිමල් – මාස්ටර් සහ මම යාලූවො. ඔය මම කණ පැලෙන්න ගහල කරපු කොමඩියක්නෙ. මාස්ටර්ට අපහාස කරන්න නෙමෙයි ඒක කළේ කීයටවත්. ඒත් ආරංචිය ගියෙ නෙගෙටිව් විදිහට. ඊට පස්සේ දවසක මාස්ටරුයි මායි බිව්වත් එක්ක.

    ‘කේමදාස’ කියන්නෙ මෙ රට සිනමා සංගිතයෙ හි නවීකාරකයා. සරල සංගීතය උනත් වෙනස්. පොඩි අවුලකට තියෙන්නෙ එයාගෙ සිංදුවක් යනකොට අපිට තේරෙනව ඒක කේමදාගෙ කියල. ඒ වයලින් පාර්ට්ස් වල එහෙම ඒකමතියක් තියෙනව. ඒ කියන්නෙ වෙනම අනන්යතාවක් තියෙනව. අමරදේවගෙ උනත් එහෙමයි. මම කියන්නෙ මේ අනන්යතාවය අවුලක්. එහෙම වීම තුල විවිධත්වය විනාශ වෙනව. දැන් බලන්න. රෝහණ වීරසිංයන්ගෙ තාල නාද එකිනෙකට වෙනස්. ඒකීය අන්යයතාවයක් නැහැ. ඒක නම් මාර වැඩක්. ඔහු කරල තියෙන සිංදු 3500 ම එකිනෙකට වෙනස්. ඒ වගෙම අනර්ඝයි. මට නම් කේමදාස තරමටම රෝහණත් වැදගත්.

    ප්‍රශ්නය – මිනිසාගේ ලිංගික විවිධත්වය ගැන ලියා ඇති – ඔබ විසින් සංස්කරණය කළ Subcultural Sex Practices To Try Before You Die කෘතියේ pdf පිටපත් ඔබ නොමිලේ ලබා දීමට කටයුතු කළා. හිරුණිකා ප්රේමචන්ද්ර විසින් ආශු මාරසිංහට කරන චෝදනාවත් සමඟ – හිරුණිකා පිළිබඳ ඔබේ කියවීම ?

    සිරිමල් – හිරුණිකා කියන්නෙ චන්දෙ ලැබෙනව නම් ඕනෙම කක්ක ගොඩක් විකුණන්න සූදානම් ගැහැණියක්. ඉස්සෙල්ලම තාත්තගෙ මිනිය වික්ක – පස්සෙ දුමින්ද සිල්වා වික්ක – ඊටත් පස්සේ අරගලය වික්ක – දැන් රනිල් සහ ගෝලයො ටික විකුණන්න අරන්.

    ඔය ආශුගෙ වීඩියෝවෙ ඇති මගුලක් නැහැ. නිකන් සෙල්ලමට බල්ලෙකුට විහිලුවක් කරනව විතරයි. දැන් ඉතින් ඒ මිනිහගෙ සායම ඉවරයිනෙ. පව් පොර.

    මිනිසාගෙ ලිංගික ජීවිතය හරිම ගුප්තයි. තමාට මොනවද ඕනෙ කරන්නෙ කියල දන්නෙ තමන්ම විතරයි. අනික සත්තු එක්ක ලිංගිකව හැසිරීම ගල් යුගයෙ ඉ`දලම තිබුණ දෙයක්. ලෝකෙ පුරාම ගල්ලෙන් වල බිතුසිතුවම් පවා තියෙනව. ඉන්දියාවෙ කජිරාවෝ පන්සලෙත් අඹපු පිලිම දැක ගන්න පුලූවන්. මහලොකු අරුමයන් නෙමෙයි ඕව.

    ඩෙන්මාර්කයෙ හි සතුන් එක්ක ලිංගික කි්රයා නීති්යානුකූලයි. එහෙ වෙනම ගොවිපොලවල් තියෙනව ඒ වෙනුවෙන් පුහුණු කරපු සත්තු ඉන්න. ඕනෙම ස්ත්‍රියකුට හෝ පුරුෂයකුට පුලූවන් ඒ සේවාව ලබා ගන්න.

    මිනිසා ශිෂ්ඨ වීමත් එක්ක – ලිංගිකය සංස්කෘතික වුන නිසා අපි මේව දිහා බලන්නෙම ඇදේට. ලිංගිකය කියන්නෙ කනවා – බොනවා – මැරෙනවා වගෙම අති සාමාන්‍ය කාරියක්.

    ප්‍රශ්නය – ඇතමුන්ව බොහීමියානුවන් ලෙස හඳුන්වනවා. තමන් විසින්මත් එසේ හඳුන්වා ගන්න අවස්ථා අපි සුලබව දකිනවා. ඔබවත් ඇතමුන් බොහීමියානුවකු ලෙස හඳුන්වනවා. බොහීමියානු කියන සංකල්පය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද ? ඔබ බොහීමියානුවෙක් ද ?

    සිරිමල් – බොහීමියානුවා කියන්නෙ අතීතය හෝ අනාගතය ගැන හිතන්නෙ නැති – ඒ මොහොතෙ පමණක් ජීවත් වෙන – සමාජ සම්ප්‍රදායන්ට විරුද්ධ – අසම්මත ජීවිතයක් ගත කරන – කලාවන් සහ විලාසිතාවන්ට කැමති කෙනාට.

    ඒ අර්ථයෙන් මම බොහීමියානුවෙක් තමයි. හැබැයි සම්පූර්ණ නැහැ. මොකද මට ඕනෙ හිපියෙක් වගෙ ඔහේ ඇවිද ඇවිද සංචාරය කරමින් – ලෝකයේ නොයෙක් මිනිසුන් සහ සංස්කෘතීන් විනිවිදිමින් ජීවිතය රස විදින්න.

    ඒත් ඒක කරන්න විදියක් නැහැ මම දරු පවුල් කාරයෙක් හින්ද. උනුත් හිපියො වෙන්න ලැස්ති නම් ඉතින් වැඬේ ගොඩ.

    අනික හිපියෙක් වගෙ – අඩු ගානෙ ඉන්දියාව පුරාවත් ඇවිදින්න සල්ලි කප්පරක් ඕනෙ. වැඬේ කොහොමත් කෙරෙන්නෙ නැහැ. ඉතින් මම අර්ධ බොහිමියානුවෙක්.

    ප්‍රශ්නය – ‘අපි හදිසි අනතුරකින් මිය නොගියොත්’ – ජීවිතේ අවසාන අවදිය සහ මරණය සම්බන්ධව ඔබට දැනෙන හැඟීම කොයි වගේ එකක්ද ?

    සිරිමල් – ජීවිතය කියන්නෙ විකාරයක් – ලස්සණ විකාරයක්.

    වැඩිකල් ජීවත් වෙනව කියන්නෙම වේදනාවන් තව තවත් හදවතට තුරුලු කර ගැනීමයි. 60 ක් ජීවත් වෙලා මම ඒ වේදනාවන් තොග පිටින් එකතු කරමින් ඉන්නෙ. නිදසුනක් ලෙස සමහර හොදම යාලූවන්ගෙ වෙස් මූණු හෙළි වෙන්නෙ දැන්. අපේ සමීපතයන් මියයාම බලන්න වීමත් දුකක්. වේලාසනින් එලොව ගියා නම් ඒ දුකවල් නැහැ.

    ඒත් ගොඩක් මිනිස්සු ඒ වේදනාවෙන් යම් සතුටක් ලබනව. ඒක නිසා මේක අවුලක් කියල උන්ට තේරෙන්නෙ නැහැ.

    මට ඕනෙ මේ ලෝකෙන් ඉක්මනට යන්න. ඒත් දරු පවුල නිසා දිවිනහ ගන්නත් බැහැ. උන්ටනෙ අපකීර්තිය සහ දුක. අර මගේ යාලූවෙක් මේ ලගදි කර ගත්ත වගෙ එක්කො බිල බීලම මැරෙන්න පුලුවන් නම් හොදයි. ඒකටත් ඉතින් සල්ලි ඕනනෙ. බොනව කියන්නෙ දැන් අධි සුඛෝපභෝගී වැඩක්.

    ඉතින් මම ජීවිතය නැමැති විකාර උගුරෙ හිරවෙලා – ඔහේ ඉන්නව.

    ප්‍රශ්නය-. ඔබට යම් ස්ථීර ජීවන දර්ශණයක් තියෙනවද ?

    මම සමාජයීය වශයෙන් භෞතිකවාදියෙක් – මාක්ස්වාදියෙක් – දේශපාලනික සත්ත්වයෙක්.

    ඒත් ආධ්‍යාත්මික වශයෙන් බුදුන් – තිලෝපා – ලා ඔට්සූ – නාගාර්ජුන – ඕෂෝ ආදී මුනිවරුන්ගෙ චින්තනයට කිට්ටු වෙමින් – යම් මානසික පුහුණුවක ඉන්න කෙනෙක්. ‘මම’ නැමැති යක්ෂයා හෙවත් ‘මනස’ නැමැති කෝළම පරාජය කිරීමට උත්සහ ගන්න කෙනෙක්. ඒ හරහා මේ දුක් සහිත ලෝකයෙ හිඳිමින්ම සතුට සහ නිවන සොයා යන කෙනෙක්.

    දැන් හිතන්න. අපි සතුට සදහා චිත්‍රපටි බලනව – පොත් කියවනව – සිංදු අහනව. ඒ බාහිර මොකක් වත් නැතිව සතුට තම මනස තුලින්ම ලංකර ගන්න පුලූවන් නම් – ඒක තමයි අධ්‍යාත්මික සහනය.

    හැබැයි මොනව නැතත් ලිංගික ජීවිතය නම් මිනිසාට අවශ්‍යයි. ඒ ඒක බාහිර නොවන ස්වභාවික දෙයක් නිසා. ඒක මනසින් පාලනය කරන්න ගියොත් වෙන්නෙ විකෘතියක්. පැවිද්දන්ට පවා ලිංගික ජීවිතයක් තිබිය යුතුයි. මොකද එය අපේ අධ්‍යාත්මික ජීවිතය හා කෙළින්ම සම්බන්ධයි.

    මම එකිනෙකට පරස්පර දර්ශන දෙකක තමයි පිහිටා ඉන්නෙ. ඒත් අපි හැමෝම ජීවත් වෙන්නෙ මේ පරස්පරය හෙවත් දයලෙක්තිකය නඩත්තු කරමින්නෙ.

    ප්‍රශ්නය – අපේ ලිංගිකය – අධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කළොත් ?

    අපේ ‘සුරතාන්තය’ කෙළින්ම අපේ ‘මනස’ හා සම්බන්ධයිනෙ. මනසෙහි අවධානය නැත්නම් සුරතාන්තය ලබන්න බැහැ. ඒ වගෙම අපිට පුලූවන් වෙන්න ඕනෙ අපේ පාට්නර් එක්ක ලිංගිකව ඒකාත්මික වෙන්න. ‘මගේ මම’ සහ ‘අනෙකාගේ මම’ එකිනෙකා තුල දිය කර හරින්න. එවිට අපිට පුලූවන් ලිංගිකය හරහා යම් ආධ්‍යාත්මික විමුක්තියක් ලබන්න. සල්ලාලයකුට හෝ සල්ලාලියකට වුනත් මේක කරන්න පුලුවන්. ඕෂෝ මේ ගැන ලස්සණට කියල තියෙනව.

    ඒකයි මම කිව්වෙ පැවිද්දෙකුට උනත් ලිංගික ජීවිතයක් තියෙන්න ඕනෙ කියල. ඒක යම් මොහොතකදි අධ්‍යාත්මිකව උසස් තැනකට ගන්න පුලූවන්.

    ප්‍රශ්නය -. ඔබේ ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ නැමැති කෘතියෙන් ඔබ ආදරය සහ ගැහැණිය පිළිබදව වෙනස් කියවීමකට යනව.

    සිරිමල් – ‘ආදරය’ නම් දෙය ලස්සන තමයි. ඒත් ‘ස්ත්‍රී පුරුෂ ආදරය’ කියන්නෙ අපිම හිතින් හදා ගෙන – ඕනෙ නම් අපිම කඩා බිඳ දා ගන්නා එකක්. මිත්‍යාවක්. තණ්හාවක්. ඕකෙ වැඩිපුර එල්ලෙන්න ගියොත් මංමුලා වෙනව. නමුත් ආදරය කියන්නෙ අපට අවශ්‍ය දෙයක්. යම් ජීවන හුස්මක්.

    කොහොමත් බල්ලෙක් මිනිහෙකුට දක්වන ආදරය තරම් පිරිසිදු නැහැ ඔය මොනම ආදරයක් වත්.

    ‘මනුස්ස සම්බන්ධකම්’ තමයි තමයි මේ ලෝකෙ තියෙන ලස්සනම දේ. ඔය ඊනියා ආදරයට වඩා ඒක ඉහළයි. ඒත් අපි මේ සම්බන්ධකම කැත කර ගන්නව බොහෝ විට.

    ප්‍රශ්නය – ගැහැණිය ගැන කතාව යට ගියානෙ ?

    ‘ස්ත්‍රිය’ නම් මට කවදාවක් තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ. පඹ ගාලක පැටලෙන එක විතරයි වෙන්නෙ.

    ගැහැණුන් ඉන්නෙ තේරුම් ගැනීමට නෙමෙයි. අර ආදරය නැමැති කෙහෙල්මල කිරීමට පමණයි.

    පිරිමියකු ලෙස මට ‘ස්ත්‍රිය’ කියන්නෙ භයානක සත්වයෙක්. කොයි වෙලාවෙ මොනව හිතනවද – මොනව කරනවද කියල කියන්න ආමාරුයි.

    ප්‍රශ්නය – ස්ත්‍රියගේ තේරුම් ගන්න බැරි එක කාරණයක් හෝ කියන්න.

    සිරිමල් – බොහෝ කාන්තාවන්ට පුලූවන් ලිංගික ජීවිතය එක පාරට අත් හරින්න හෝ ජිවිතාන්තය දක්වා ලිංගික ජිවිතයක් නැතිව ඉන්න. මම දන්න ගැහැණුන් අනන්තවත් ඉන්නව එහෙම. සමහරු හරි විදග්ධ කට්ටිය.

    මිය යන්න අවුරුදු 15 කට විතර ඉස්සර සුනිලා අබේසේකරයන් මට කියල තියෙනව එයා දැන් සෙකස් කරන්නනෙ නහැ. සෙක්ස් නැතිව ඉන්න පුලූවන්. ඒක මනසට සහනයක් කියල. මට නම් එය තේරුම් ගත නොහැකි විශ්වයක්.

    දීප්ති කුමාරයන්ට නම් ඉතින් ඒකටත් විග්‍රහයක් තියෙනව. එයාගෙ චින්තනයට සාපේක්ෂව. න්‍යාය ඇතුලෙ එයා කොහොමත් ගැහැණු තේරුම් අරන්නෙ ඉන්නෙ. අඩු ගාණෙ අභිසාරිකාවන් නොවන ගැහැණු පහළොවක් එක්කවත් සෙක්ස් කරල තිබුණ නම් ඔය මතවාදය වෙනස් වෙලා ‘‘අම්මෝ මට නම් මුං තේරුම් ගන්න බැරියෝ’’ කියල දුවනව.

    ප්‍රශ්නය – මේ දවස් වල ඔබ මොනවද කරමින් ඉන්නෙ ?

    කොරෝනාව නිසා අපේ ඔක්කොම ආදායම් එන වැඩ අවුල් උනා. දැන් බෙහෙත් හේත් කර ගන්න පවා අමාරුයි. ණය තුරුස් වල හිරවෙලා පීඩිතයි. මගෙ ගෑණි තමයි වැඩියෙන්ම දුක් විඳින්නෙ. ඒක මට විශාල තැවුලක්.

    ඉතින් නිර්මාණ කාරියක් කරන්න තරම් මනස නිදහසක් නැහැ. ලියන කියන ඒව අතරමග නැවතිල.

    හැබැයි රටේ මිනිස්සු නම් මොන ආර්ථික ප්‍රශ්ණෙ තිබ්බත් හෙණ ජොලියෙන් ඉන්නෙ. නත්තල් කනව – අවුරුදු කනව – චිත්‍රපට බලන්න යනව – කානිවල් යනව – සති අන්තෙට ට්‍රිප් යනව – සල්ලි නැතත් වන් ගෝල්ෆේස් බලන්න හරි යනව. නැව ගිලූණත් බෑං චූන්. එහෙම තමයි ඉන්න ඕනෙ. බොහීමියන් ටයිප්.

    මට කොහොමත් සතුට කියන දේ මේ දවස් වල නැහැ. මොකද මගෙ බොක්කෙ යාලූවෙක් හදිසියෙ මළා. ඒ කම්පනය මාර දරුණු එකක්. මැරුණු එකාට නිවන – සැනසීම ලැබුණත් වේදනාව තියෙන්නෙ ජිවත් වෙලා ඉන්න කෙනාටනෙ. ඒත් ඒ පවුලෙ අය ඇතුලූ මිත්‍රයො කියන්නෙ ‘‘ඌ ගෙනාව ආයුෂ ඉවරයි – යන්න ඕනෙ වෙලාවට යන්න ඕනෙ’’ වගෙ කතා. මට එහෙම සරලව හිත හදා ගන්න අමාරුයි. හොඳ යාලූවෙක් කියන්නෙ ලොකු සම්පතක්.

    මේ දුක යනකම් එක දිගට බොන්නත් වත් ආණ්ඩුව අපිට ඉඩ දීල නැහැ. හැමදාම ගාණ වැඩි කරනව. මළ සාපයක්.

    ප්‍රශ්නය – එක්ස් කණ්ඩායම විසින් ලංකේය සමාජය සම්බන්ධව ඉටුකළ ඓතිහාසික කාර්යභාරය පිළීබඳ අද වන විට ඔබේ අදහස මොකද්ද ? ඒ තුළ තමන්ගේ දායකත්වය ඔබ දකින්නෙ කොහොමද ?

    සිරිමල් – එක්ස් කණ්ඩායම සහ ඔවුන්ගේ මාතොට සගරාව විසින් අලූතින් හිතන පතන පරම්පරාවක් බිහි කළා. එය වාම දේශපාලනිකව ප්‍රගතිශීලී කාරියක්. උන් ගැන මගේ විවේචනයක් තියෙනව. ඒත් ඒක මෙහෙම සරලව කියන්න පුලූවන් දෙයක් නෙමෙයි.

    එක්ස් කණ්ඩායමට මගේ ඇති එකම දායකත්වය තමයි එහි නායක දීප්ති කුමාරව මාක්ස්වාදියෙක් කිරීම.

    සමාජවාදයට පෙර මෙහි ධනේෂ්වර ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඒ සඳහා වන අනගි දැනුමක් දීප්තියන්ට තියෙනව. රනිල් ඔහුව ඊට අදාල ඇමති කෙනෙක් හෝ කළ යුතුයි.

    දීප්තියන්ට විරුද්ධව මම මේ දවස් වල ඇටෑක් කරන එක වෙනම පුද්ගලික කාරණයක්.

    ප්‍රශ්නය – ගෝටා ගෝ හෝම් විරෝධතා ව්යාපාරය පැවති වකවානුවේ ඔබ ජනප්‍රිය නොවූ මතකයක් දරමින් පැහැදිලි දැඩි ස්ථාවරයක දිගින් දිගටම රැඳී සිටියා. ආපසු හැරිලා බලද්දි ගෝටා ගෝ හෝම් විරෝධතා රැල්ල පිළිබඳව ඔබේ අවසන් නිගමනය මොකද්ද ?

    සිරිමල් – මම ජනතා අරගලවලට විරුද්ධ නැහැ. ඒත් කොරෝනාවට රට වහපු නිසාත් – තෙල් – ගෑස් – විදුලිය නැති වීම නිසාත් – විදේශ සංචිත හීන වීම නිසාත් රට තිබුණෙ දරුණු අර්බුදයක. ඒ වගේ වෙලාවක ජනතාවගේ වගකීම තමයි අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා තියෙන මොනම ආණ්ඩුවකට හෝ සාමූහිකව සහය දීම. ඉන්න පාලකයින් හොරු වෙන්න පුලූවන්. ඒත් ඒ මොහොතට ඒක අදාල නැහැ.

    අනික අරගල කළේ රටේ සමස්ත ජනතාව නෙමෙයිනෙ. කොලූ කුරුට්ටො ටිකකුයි – ඊනියා මධ්‍යම පංතියෙ කුඩා කොටසකුත් විතරයි. බහුතර ජනතාව හිටියෙ ගෙදර.

    මොන සෙල්ලම් දැම්මත් – මුලූ ගෝල්ෆේස් පිටියම පුරවන්න ඕනෙ වෙන්නෙ අසූදහකට අඩු සෙනගක් විතරයි. ඉතින් ඒකටද මහජනතාව කියන්නෙ. මුලු පිට්ටනිය පිරෙන්නවත් පිරිස හිටියෙ නැති කොට.

    පළාත්බදව පෙළපාලි ගියේ දේශපාලකයින්ගෙ හෙංචයියො. උන්ගෙන් අරගලයෙ පරිමාව මනින්න බැහැ.

    මේ අරගලයෙ ආකර්ශනීයම දේ තමයි ඒක පරාජය කරන්න රාජපක්ෂලා ගෑසු මාර ගේම.

    උන් කිව්ව – උඹලට ඕනෙ අගමැති අස්වෙන්නද ? ඔන්න අස් වුණා. උඹලට ඕනෙ බැසිල් අස් වෙන්නද ? ඔන්න අස් වුණා. අවසානෙ උඹලට ඕනෙ ජනාධිපති අස් වෙන්නද ? ඔන්න අස් වුණා.

    ඊට පස්සේ උන් හොඳ ටොපියක් දුන්න අරගලකරුවන්ට සූප්පු කර කර ඉන්න. ඒ තමයි ‘රනිල්’. දැන් ඉතින් කාලම වරෙල්ලකො.

    අන්තිමට වුනේ – මරං කන්න හිටපු රාජපක්ෂ පවුල ආරක්ෂා වීමත් – රාජපක්ෂ ආණ්ඩුව වඩා ශක්තිමත් වීමත් යන දෙක.

    දැන් රාජපක්ෂලා රට පුරා රැස්වීම් තිය තියා යනව කිසිම බාධාවක් නැතිව. කෝ අර උන්ව මරං කන්න හිටපු අරගලකාරයො ටික. ලොවෙත් නැහැ.

    මං අහන්නෙ කොහොමද මහින්දලාගෙ ගේම කියලයි ?. මුලු ලෝකෙම එහෙම ගේමක් ගහල නැතුව ඇති කවුරුවත්. මොළෙන් දුන්නෙ වැඬේ.

    ගෝඨා අයින් උනේ අරගලකාරයින්ට බයේ නෙමෙයි. රාජලක්ෂලා අරගලකරුවන්ට කීයටවත් බය වුනේ නැහැ. අයියල මල්ලිල අයින් වුනෙම ජාමෙ බේර ගන්න. නැත්නම් ඔය වෙඩි දෙක තුනක් තිබ්බ නම් අරගලකාරයො ගෙදර.

    එදා වෙඩි තිබ්බ නම් ජාත්‍යන්තරය මොකුත් කියන්නෙත් නැහැ. ඇයි කඩාකප්පල්කාරයො ත්‍රස්ත්රවාදීව මහජන දේපොල ආක්‍රමණය කරලනෙ හිටියෙ. ත්‍රස්තවාදීන්ට වෙඩි තැබීම ජාත්‍යන්තරයට ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් රාජලක්ෂලා උණ්ඩයෙන් නැතිව කපටිකමින් ප්‍රශ්ණෙ විස`ද ගත්තා.

    ඒ වගෙම පොහොට්ටුවෙ චන්ද පදනම ඔය කියන තරම් දෙදරලා කියලත් මම හිතන්නෙ නැහැ. පුංචි චන්දෙන් බලා ගන්න පුලුවන් ඔය කාගෙ කාගෙත් තරම. ජෙප්පන්ට නම් සියයට තුනට වඩා ලැබෙන්නෙ නෑ කීයටවත්.

    ප්‍රශ්නය-. මේ දිනවල කවුරුත් කතා වෙන්නෙ එන පාර ජවිපෙට වැඩි බලයක් එයි කියලනෙ ?

    රෙද්ද තමයි ඉතිං. රටේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක හරි – චන්දයක් ලංවෙනකොට හරි – ජනතාව අපූරු කතාවක් කියනව. ‘‘මේ පාර අපි ඔය මොකාටවත් දෙන්නෙ නැහැ. ජේවීපී එකට තමයි දෙන්නෙ’’ කියල. ඒත් චන්දෙ දාට ගිහින් ගහන්නෙ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට. මේ පාරත් ඒ වගෙම තමයි. මගෙ ගණන් වැරදි නම් උන් උපරිමව සියයට 6 ක් ගනියි. එච්චරයි තමයි.

    එන ජනපතිවරණයෙදි මහින්දගෙ ආශිර්වාදයෙන් රනිල් ඉල්ලනවා. සජිත්ගෙ ගොබිලො ටිකත් යනව පොර පස්සෙ. යූඑන්පීය යළි ඔලූව උස්සනව. ඉතින් පොහොට්ටුවයි – අලියයි එකතු උනාම රටේ ප්‍රධාන පක්ෂ දෙක එක ගොඩේ ශක්තිමත්. රනිල් දිනනවා. අනිත් උන් අනාථයි.

    ප්‍රශ්නය – ලංකාවෙ ‘වම’ සහ ‘වම’ ලෙස පෙනී සිටින්නන්. පිළිබඳව ඔබේ අදහස.

    සිරිමල් – අර නලින් ද සිල්වා මහත්තය කියනව වගෙ ලංකාවෙ දැන් වමක් නැහැ. ජේආර් විසින් එය නැත්තටම නැති කළා. ඒත් අපි කීර්තිමත් වමාංශික ව්යාපාරයක් තිබුණුු රටක්. ඒ උස්ණෙ තාම අපේ ඇඟවල්වල තියෙනව. ඒ නිසා අලුත් වමක් හදන එක ආමාරු දෙයක් නෙමෙයි. ඒත් මේ ජෙප්පොයි පෙරටුගාමියොයි ඉන්නකං ඒක කරන්නත් බැහැ. ඇයි වම කියල උන් නටන්නෙ පිස්සුනෙ. මීඩියා පොලිටික්ස්. බල්ල පිදුරු කන්නෙත් නැහැ – කන ගොනාට දෙන්නෙත් නැහැ.

    දෙයියන්නාන්සෙ හරි ඇවිත් ටීවී ඇතුලූ ජනමාධ්‍යයි – ඔය මයික් කටවල් ටිකයි අතුරුදහන් කළොත් ජෙපි – පෙරටු තොගයම චුතයි. හොයා ගන්න නැහැ.

    අනිත් අතින් වාමාංශිකව හිතන පතන කට්ටිය දැන් ඉන්නෙ මහින්ද – මෛත්‍රී සහ රනිල් එක්ක. උන්ව කඩා ගන්න නම් මාර ගේමක් දෙන්න වෙනව. ජනප්‍රිය – ලිබරල් වමේ නායකයෙක් බිහි වෙන්න ඕනෙ ඒකට.

    දීප්ති හොඳයි මේ වැඩේට. ඒත් මිනිහ ගාව ජනප්‍රිය වන ගති ලක්ෂණ නැහැනෙ. එයා ඊගෝ සෙන්ට්‍රික්. ආඩම්බරයි. විජේවීර සහ ප්‍රභාකාරන් ද ඊගෝකාරයො තමයි. එහෙත් උන් දෙන්න දීප්තිට වඩා පරිස්සම් උනා.


    විමර්ශී වෙබ් අඩවිය වෙනුවෙන් – තක්ෂිලා ස්වර්ණමාලී

  • පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ)

    පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ)

    බුද්ධික පතිරණගේ යැයි කියන ආදර්ශා සමග වූ කතාබහක හඩපටයක් සමාජ මාධ්‍යවලට ලීක් වෙලා තිබුණ. කෙනෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතය කොයි ආකාරයකට ගතවුනත් එය ප්‍රසිද්ධ අපහාසයක් හෝ වෙනත් ආකාරයක පහත හෙලීමක් වෙනුවෙන් භාවිතා කරනවා කියන්නෙ ඒ විනිශ්චය කරන කෙනාගේ අශිෂ්ටත්වය විදහා දැක්වීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ වගේම සදාචාරවාදයේ සුදු රෙද්ද යට හැංගුනු දෙබිඩිබව ඉහලට ඔසවා තබන ප්‍රතිරූප බිමහෙලීම සඳහා එවන් ඕපාදූප පාවිච්චි කිරීමේ දේශපාලන වැදගත්කමත්, අපි නොකළත් එය අවතක්සේරු කරන්නේ ද නැත.

    කෙසේ වෙතත් පතිරණ – ආදර්ශා කතාවේ අපිට ලිංගික යමක් නැති බව කියන්න ඕන. ඒක ලිංගිකත්වය කොයිතරම් පීඩාවක්, අසරණබවක් විදිහටද මේ සංස්කෘතිය ඇතුලෙ පාවිච්චි වෙන්නෙ කියන එකට උදාහරණයක්. ඇමති කෙනෙක් වුනත් තමන්ට ආශා කරන ගැහැණියක් එක්ක විවෘතව නිදාගන්න බැරිවෙලා තියෙනවා. ඒ ආශාව නිසා වද විඳිනවා. අසරණ වෙනවා. ලිංගිකත්වය මේ තරම් අවුලක්ද?

    පතිරණ කිසි දවසක බීලා නෑ කියන එක පැහැදිලියි. ඒ වගේම පතිරණට කාන්තා ඇසුරෙත් කිසිම පුරුද්දක් නැති වගත් පැහැදිලියි. ඒ හින්දම හංගගෙන ඉන්න උවමනාව අහස පලාගෙන යන තරම් කියලත් පැහැදිලියි.

    පතිරණට ඕන ආදර්ශා කැමති දෙයක් බොන්න දීලා ඇයව බදාගෙන ඉන්නයි. තමන්ගේ ලිංගික ආශාව එළිපිට ප්‍රකාශ කරන්න පවා පැකිලෙන අසරණ පිරිමියෙක් තමයි පතිරණගෙන් පේන්නෙ. මත්පැන්, කෑම, බිල්, මුදල් සහ සමාධි පදනම තමයි ශෘංගාර කතා ඇතුලෙත් ඇහෙන්නෙ.

    සමහර විට ගැහැණියක් බදාගෙන සිටීම පවා පතිරණ වගේ කෙනෙකුට ලොකු දෙයක් වෙන්න පුළුවන්. සමහර විට සෙක්ස් කියල කරන්නෙමත් එච්චරක් වෙන්න පුළුවන්.

    මේ සිදුවීම ත්‍රීසම් එකක් විදිහටත් සමහර අය අර්ථකතනය කරනවා දකින්න ලැබුන. ඒත් මෙතන ත්‍රීසම් එකක් තියා අවම ලිංගික ක්‍රියාවක්වත් සිද්ද වෙයිද කියල විශ්වාස කරන්න අමාරු තත්වයක්. ඒ තරමට පිරිමි පාර්ශ්වය දුර්වලයි.

    අනෙක් පැත්තෙන් ගැහැණියගේ ඉල්ලීම ඊටත් වඩා දුක්ඛිතයි. ඇය කියන හැටියට ඇයට උවමනා බීලා කාව හෝ බදාගෙන වැළපෙන්නයි. ඈට වෙන ආකාරයකින් පිටකර ගත නොහැකි විශාල වේදනාවක් පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ඇයට මුණගැහෙන්නෙ බදාගත්ත ගමන් ආශාවෙන් සසලව යන පුහු සදාචාරය විසින් කාමයෙන් නිරාහාර කොට ඇති වේදනාත්මක පිරිමියෙක්.

    සමහර විට ඇයට පිරිමියෙක් හා ලිංගික එක්වීමකට අවශ්‍ය උත්ප්‍රේරකය වෙන්නෙ බීලා දුක කියන එක වෙන්න පුළුවන්. එතකොට දුක අහන අයියලා ගොඩක් ඇයට මුණගැහෙන්න පුළුවන්. ලංකාවෙ බහුලව සෙක්ස් කියල සිද්ද වෙන්නෙ දුක කියන සහ දුක අහන අයියලා නංගිලාගේ කතන්දර. ඒක සතුට නිදහස පිළිබඳ මුනගැහීමක් නෙමෙයි.

    බාගෙ වොඩ්කා බෝතලයක්, බෙදාගෙන කන ෆ්‍රයිඩ් රයිස් එකක්, දුක කියල බදාගෙන අඩන්න ඕනකමක්, දුකට බදාගත්තම කෙලින් වෙන ශිෂ්නයක්. මේ අපිට කාමරයක් ඇතුලෙ මුණගැහෙන ඛේදවාචකයක්.

    තමන්ගේ සිංහල බෞද්ධ සදාචාරය ඇතුලෙ හිරකරගෙන ඉන්න ලිංගික තෙරපුම පතිරණගේ පැවැත්ම ඇතුලෙ දැඩි ලෝභයක් දක්වා පරිවර්තනය වෙලා තියෙනවා. සියල්ලට ඉහළින් පවතින මුදල් ලෝභය ගැන සංඥා කරනවා. තමන්ගේ ජීවිතයේ පරම හිඟකමෙන් පෙලෙන ස්ත්‍රී ඇසුරට පවා හෙට්ටු කරමින් මුදල් වියදම් කරන කුණුකමක් පතිරණගෙන් පළවෙනවා.

    මේක ලංකාවෙ රූපකයක් විදිහට සලකන්න ඕන. අඩුවැඩි වශයෙන් අපේ ලිංගික ඇසුරන් බොහොමයක මේ සංස්කෘතික අසරණක‍ම, කාලකණ්ණිකම බෙදාගැනීමයි සිද්ද වෙන්නෙ. ඒවා ආශාවෙන් පිරුණු, ශෘංගාරයෙන් මත්වුණු, මිනිස්සු නිදහස් කරන වර්ගයේ ඇසුරු කිරීම් නෙමෙයි. දෙදෙනාගේ මුණගැහීම සිද්ද වෙන්නෙ මග වැරදුණු උවමනාවන් එක්ක.

    පතිරණත් පව්. ආදර්ශාත් පව්. ඒවා ෂෙයාර් කරන අපිත් පව්.

    ආදර්ශා පස්සෙ මේ ඇසුරු කිරීම් එක්ක විසකුරු ගැහැණියක් දක්වා පරිවර්තනය වෙනවා. ඒ විසකුරු බව අතීතයේ තමන් සමග නිරුවත් වුනු හැම පිරිමියෙකුගේම රෙදි ගලවනවා.