Tag: sex

  • ලිංගික කටයුතු අමාත්‍යධූරයක්?

    ලිංගික කටයුතු අමාත්‍යධූරයක්?

    2017දි ස්පාඤ්ඤයෙ පළමු වරට ලිංගික අමාත්‍යධූරයක් ඒ කියන්නෙ මිනිස්ටර් ඔෆ් සෙක්ස් කියල පදවියක් ඇති කළා. එදෙල්මිරා බැරීරා තමයි පළමු අමාත්‍යවරිය විදිහට පත්වුනෙ. මේ අමාත්‍ය ධූරය ඇති කරන්න බලපෑවෙ ස්පාඤ්ඤයෙ ජනගහනය එන්න එන්නම අඩුවෙන්න පටන් අරගෙන තිබුන හින්ද. ළමයි හදන්න ජනතාව උනන්දු කරවීම තමයි මේ ඇමතිට පැවරිලා තිබුන රාජකාරිය.

    Edelmira Barreira

    ස්පාඤ්ඤ තරුණයො දවසම වැඩ කරලා, රෑ වෙනකල් පාටිදාලා මහන්සි හින්ද සෙක්ස් කරනවා අඩුයි කියලයි කියන්නෙ. ස්පාඤ්ඤයට සෙක්ස් විශේෂයෙන් ප්‍රවර්ධනය කරන්න ඕන කියල තේරුනෙ 2015දි උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහල යන්න පටන්ගත්තම. ජීවිතේට වඩා මරණය ඉස්සර වුනාම. සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයෙ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 82ක්.

    2018දි බැරීරා මේ තනතුරෙන් ඉවත්වෙලා ඉසොරා ලීල් ෆර්නැන්ඩස් එතනට පත්වෙනවා.

    ස්පාඤ්ඤය හැමතිස්සෙම කතෝලික රටක් වුනත් ලිංගික කාරණා ගැන ඉතාම ප්‍රගතිශීලී තීන්දු තීරණ ගත්ත රටක්. ඒත් 2021දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ 40වෙනි සංවත්සරයෙදි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රො සැන්චෙස් පොරොන්දු වෙනවා ඒ රටේ ගණිකා වෘත්තිය තහනම් කරනවා කියල. මේ සමාජවාදීන් කියන්නෙ ගණිකා වෘත්තිය මගින් කාන්තාවන්ගෙ ජීවිත වහල්භාවයට ඇදදමනවා කියලයි.

    සමාජවාදී කම්කරු මුහුණුවරකින් ආවත් මේ පිටුපස පැහැදිලිව පෙනෙන ආගමික, දක්ෂිනාංශික නැඹුරුව ගැන ගොඩක් අය විරෝධය පළ කරනවා. 2005දි ස්පාඤ්ඤය තමයි මුලින්ම කතෝලික රටක් විදිහට සමලිංගික විවාහය නීතිගත කරන්නෙ. සැන්චෙස් කියන්නෙත් ලිබරල් අයිතීන් වෙනුවෙන් බය නැතුව පෙරමුන ගත්ත චරිතයක්. පහුගිය අවුරුද්දෙ එයා යුතනේෂියා හෙවත් තමන්ගේ කැමැත්තෙන් ජීවිතය අත්හැරීමේ අයිතිය නීතිගත කරනවා. ඒ වගේම ලිංගික අනන්‍යතාවය පිළිබඳ වඩාත් විස්තරාත්මකම නීති සම්පාදනය කරමින් LGBTQ අයිතීන් වෙනුවෙන් ලෝකයේම පෙරමුණ ගන්නත් සැන්චෙස්ගෙ කැබිනට්ටුවට පුළුවන් වෙනවා. මේ අනුව අවුරුදු 14දි ළමයෙකුට තමන්ගේ අභිමතය පරිදි ලිංගය වෙනස් කිරීමේ සැත්කම් කරගැනීමට හැකියාව ලැබෙනවා. ඊට තිබුනු සීමාවන් ඉවත් කරනවා.

    Pedro Sánchez

    මෙහෙම සැන්චෙස්ගෙ ගණිකා වෘත්තිය තහනම් කිරීමේ සමාජවාදී ප්‍රවේශය ගැන දෙස් විදෙස් ගොඩක් අය කලබල වෙනවා. ස්පාඤ්ඤයේ ලිංගික ශ්‍රමිකයන් සඳහා වූ එකම වෘත්තිය සමිතියේ ලේකම්වරිය කියන විදිහට මේ තහනමෙන් සිද්ද වෙන්නෙ මාෆියාවක් නිර්මාණය කරන එකයි. ඒ වගේම ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිය වෙනුවෙන් වූ සංවිධාන 100ක පමණ එකතුවක් වන යුරෝපීය ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් සඳහා වූ සාමූහිකයේ ප්‍රකාශිකාවක් කියන්නෙ, කොවිඩ් නිසා ස්පාඤ්ඤයේ වගේ ලෝකයේම ලිංගික ශ්‍රමිකයන් බරපතල විදිහට අපහසුතාවයට පත්වුනා. ගොඩක් අයට ඉන්න හිටින්න තැන් පවා නැති වුනා. ඒ හින්ද සැන්චෙස් කළ යුත්තෙ මේ අය නියෝජනය කරන සංවිධාන සමග සාකච්ඡා කිරීමෙන් ඒ අයගේ ප්‍රශ්නවල සැබෑ විසඳුම් ලබාදෙන ප්‍රතිපත්ති සැකසීමයි.

    සැන්චෙස් මුලින්ම මේ අදහස පළකළේ 2019දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ ස්ත්‍රීවාදී ප්‍රකාශනය එලිදක්වමින්.

    ස්පාඤ්ඤයේ තුන්වන බලෙවේගය හැටියට නැගී එන නව දක්ෂිනාංශික පක්ෂයක් වන වොක්ස් මගින් සියලු ස්ත්‍රීවාදී දේශපාලනයන්ට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ වඩාත් කාන්තා ආකර්ශනය දිනාගැනීමේ අපේක්ෂාවෙන් සැන්චෙස් ආණ්ඩුව වාමාංශික මුහුණුවරකින් දක්ෂිනාංශික තීන්දු ගැනීමට පෙළඹිලා තියෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නෙ.

  • Sex බදාගන්න නෙමෙයි බෙදාගන්න

    Sex බදාගන්න නෙමෙයි බෙදාගන්න

    Forbes සඟරාව විසින් නිකුත් කරපු ලිපියක සදහන් වෙනවා sex වලදි අඩුවෙන්ම සුරාන්තයකට පත් වෙන්නේ විශමලිංගික සම්බන්ධතා ඇතුලේ ඉන්න කාන්තාවන් කියලා.

    ඒක ඇත්තටම පුදුම වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි.

    ගොඩක් වෙලාවට, ගැහැණියක් සුරාන්තයකට පත් වෙනවා කියන්නේ මොකද්ද කියලාවත් පිරිමි දැනුවත් නැහැ.. එහෙම දැනුවත් උනත්, ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනීමක් ඇත්තෙම නැති තරම්.

    පිරිමි තියා, සමහර වෙලාවට කාන්තාවන් පවා තමන්ගේ ශරීරය පිලිබඳව හරිහැටි අවබෝධයක් නැහැ.. sex කියන්නේ සංසර්ගය යෙදීම පමණයි කියලා හිතන් ඉන්න කාන්තාවන් අපේ වගේ රටවල් වල බහුලයි.

    Sex කියන ක්‍රියාව හැම වෙලාවකම ‘give and take’ මත සිදු වෙන්න ඕනෙ කියලා මම හිතනවා.. ඒ තරාදිය සමාන වන තරමට, ලිංගික ජීවිතයේ සතුට දෙදෙනාටම උපරිමයෙන් විඳින්න පුලුවන් වෙනවා. අනිත් කෙනාගෙ pleasure points මොනාද, විශේෂයෙන්ම කාන්තාවකට තෘප්තිය ලැබෙන දේවල් මොනවද කියන එක ගැන තමන්ගේ සතුට හා සමානවම හිතනවා නම්, ඒ තුලින් තමන්ටත් වෙනදාට වඩා සතුටක්, ආස්වාදයක් ලබන්න පුලුවන් වෙනවා.

    Sex කියන්නේ තව දුරටත් විනාඩි 15ක්, 20ක් සංසර්ගයේ යෙදී සුරාන්තයකට පත් වීම නොවී, නැවුම් ලිංගික අත්විදීම් ලබන ක්‍රියාවක් බවට පත් වෙනවා.

    ඒ තුලින් සිද්ධ වෙන්නේ sex කියන එක ගවේෂණයක් බවට ඉබේම පත් වීම. අලුත් අත්දැකීම්, අලුත් ඉසව් සොයා යන්න හිතෙන එක.

    කාන්තාවක් සුරාන්තයකට පත් කරන්න නම් ඇයගේ ලිංගික අවයව ගැන දැනුමක්, ලිංගික තෘප්තියක් ඇයට දැනෙන්නේ කොයි ආකරයෙන්ද කියන කාරණා ගැන නිසි වැටහීමක් තිබීම වැදගත්.

    පිරිමියෙක් ට වඩා කාන්තාවකට සුරාන්තයකට පත් වෙන්න කාලය ගත වෙනවා.. සංසර්ගය යෙදීම විතරක් එයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ.. ඊට කලින් ඇය ලිංගිකව උද්දීපනයක් ලබන්න (wet වෙන්න) අවශ්‍යයි.. එහෙම වෙන්න නම්, සංසර්ගයේ ‍යෙදෙන්න පෙර ‘foreplay/ make out’ විශාල වශයෙන් උදව් වෙනවා.. ගොඩක් වෙලාවට කාන්තාවකට sex වලදි සුරාන්තයකට පත් වෙන්න බැරි වෙන්නේ මේ කිසි දේකින් තොරව සංසර්ගයේ පමණක් යෙදෙන්න පිරිමින් sex තුලදි පෙලඹෙන නිසයි.

    කසාද ජීවිතවල ඉන්න ගොඩක් කාන්තාවන්, තමන්ගේ ස්වාමියාව සතුටු කරනවා ඇරෙන්න, තමන්ගේ සතුට ගැන සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා.. orgasm gap කියන තත්වයට ප්‍රධානතම හේතුව තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ගැන එකිනෙකා අතර කතාබහක් ඇති කර නොගැනීමයි.

    මම පෞද්ගලිකව හිතනවා sex කියන්නේ හැම මනුස්සයෙක්ටම තියෙන ප්‍රධානතම ආසාව කියලා. හැබැයි, ඒක විඳින්නේ කොයි ආකාරයෙන්ද, ඒ හරහා ආසාවේ තරම, ගැඹුර වෙනස් වෙනවා. ඕනෑම දෙයක් විඳින්න දන්නවද කියන එක උඩයි ඒ තුලින් වින්දනයක් ලබනවාද කියන එක තීරණය වෙන්නේ.

    යම්කිසි කාන්තාවක් ශරීරය නිරාවරණය කෙරෙන කොට ගවුමක් ඇදන් යනවා නම්, ඒ ලස්සන, සුන්දරත්වය පාඩුවෙ විඳින එකයි, එහෙම ඇන්දේ ඇයි කියලා බනින එකයි තමයි දෙයක් විඳින්න දන්න එක සහ නොදන්න එක අතර තියෙන පැහැදිලි වෙනස.

    ‘මටත් ඒ වගේ කාන්තාවක් විඳින්න තිබුනා නම්’ කියලා ඇති වෙන ආසාව, බනින, නොබනින හැමෝටම පොදුයි.

    හැබැයි, ඒ හා සමානවම ඇයට ආස්වාදයක් ලබා දෙන්නත් ආසාව තිබිය යුතුයි.
    තමන්ගේ ශරීරය ගැන ඉගෙන ගන්න, තමන්ගේ සහකාරියට/ සහකරුවාව සතුටට පත් කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් වෙන්න.

    ලිංගික ජීවීතේ සතුට උපරිම විඳින්න නම් බෙදාගන්න ඕනේ, බදාගත්තාට වැඩක් නෑ, sex කියන්නේ jumbo peanuts නෙමෙයි!


    ශේනි විජේසුරේන්ද්‍ර ලියයි

  • රමණයේ භාවනාව

    රමණයේ භාවනාව

    මිනිසුන්ට ලිංගිකත්වය ගැන තියෙන්නෙ අමුතු දෙබිඩි සිතුවිල්ලක්‌. ඔවුන්ට එක්කො එය නොවැදගත් දෙයක්. නැත්තන් ඔවුන් තුළ මහා භීතියක් ඇති කරන තරමට වැදගත් දෙයක්. තමන්ගෙ දැක්මේ වෙනසක් ඇති කර ගත්තොත් ඔබට මේ දෙකේ මැද බිමක් හොයා ගන්න හැකි වේවි. ලිංගිකත්වය නිකන්ම නිකන් උත්තේජනයක් ලෙස හිතුවොත් එය කාලයත් එක්ක වයසට යනවා, පරණ වෙනවා, නීරස වෙනවා කියල ඔබට හිතේවි. ඒත් එය අපූරු ට්‍රාන්ස් තත්වයක්, දැහැන්ගත තත්වයක් ලෙස සැලකුවොත් ඔබට එය භුක්ති විඳින්න අලුත් මං පෙත් හොයා යන්න හැකි වේවි. ලිංගිකත්වය ඇත්තෙන්ම කුතුහලය පදනම් කර ගත්ත අමුතු දෙයක් බව ඔබට වැටහේවි. ඒ අමුත්ත අගය කරන්න ඔබ ඉගෙන ගනීවි.

    මේ කියන්න යන්නෙ රමණයේ භාවනාව ගැන. ඒ කියන්නෙ සෙක්ස් සරල භාවනාවක් විදිහට අත් විඳීම ගැන. ස්නායු විද්‍යාඥයෙක් වන Adam Safron ට අනුව, ලිංගික රිද්මයන්, ලිංගික සහකරුවන්ගේ ශරීර, අත් සහ ඇඟිලිවල චලන, ස්පර්ශයන් සමාන රිද්මයකට ගැනීමෙන් (entrainment) මොළයේ රිද්මයන් හා සම්බන්ධ කිරීමට හැකිවෙනවා . එයින් අවධානය එක තැනකට ගෙන එන අතර තෘප්තිමත්, ධ්‍යාන සමාධිගත තත්වයක් දක්වා මෙය ගෙන යා හැකි බව ඔහු කියනවා. එහි තනිකර තිබෙන්නේ රිද්මය බව Safron පවසනවා. ඔබේ මොළයේ රිද්මය බාහිර උත්තේජකයක් සමඟ සින්ක් වන විට, ඔබට ඒ උත්තේජකය සමග ඒකාත්මික විය හැකි බව ඔහු කියනවා. ඒ වගේම ඔබ වැඩි වැඩියෙන් එම උත්තේජකය සමග සම්බන්ධ වෙන තරමට, ඔබට ඒ රිද්මයන් හා සමපාත වීම පහසු වෙනවා.

    සංගීතය වගේ රිද්මයානුකූල අත්දැකීම් අපට වඩා කිට්ටුවෙන් දැනෙන්නෙ ඇයි කියලා මෙයින් පැහැදිලි කළ හැකි බව ඔහු පවසනවා. එතනදී සංගීතය ගැන අවධානය විසින් ඔබේ වෙනත් දේවල් කෙරේ තිබෙන අවධානය සම්පූර්ණයෙන් සොරාගන්නවා.

    මිනිසුන් මෙම අත්දැකීම් වලට කැමති වෙන්නේ ඔවුන් දඩි අවධානයකින් ඔවුන්ට ඉතා ප්‍රසන්න දෙයක් කරමින් ඉන්න නිසා. එහි දැහැන්ගත විය හැකි නිසා. රැකියා, බිල්, බදු හෝ රෙදි සේදීම වගේ අමිහිරි දේවල් ගැන සිතීම ඒ වෙලාවට අත් හරින්න පුළුවන් නිසා.

    “මම කියන්නේ එය භාවනාවක් වගේ දෙයක් කියලා.” Safron කියනවා. එමගින් භාවනාව ඔබේ නිදන කාමරයට ගෙන එනවා. “ලිංගිකත්වය භාවනා ක්‍රමයක් ලෙස අත්හදා බැලීම ඇත්තෙන්ම හොඳ අදහසක් විය හැකියි.” ඔහු කියනවා. භාවනාව වගේම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගන්නවා වගේම සෙක්ස් කියන්නෙත් කාලයත් සමඟ ඔබ වැඩිදියුණු කරන දෙයක්. ඔබ ඒ අත්දැකීමට වඩා හොඳින් සමවදින්න සහ අවධානය වෙනතකට යොමු නොකර ඉන්න ඉගෙන ගන්නවා.

    ලිංගිකත්වයත් එහෙම පුහුණුවක් ලෙස හිතන්න (කාර්ය සාධනයක් නෙවේ), සමහර විට ඔබට රිලැක්ස් වෙන්න පුළුවන් වේවි. භාවනාවෙන් අදහස් කරන්නේ ඒ මොහොතේ සිටීම: සිතුවිලි ඇති වුවහොත්, ඔබ ඒවා කෙටි මොහොතකට පිළිඅරන් ඒවාට යන්න දෙනවා. ඔබ ආතතියෙන් නොසිටින නිසා ඔබ ඉන්නෙ හොඳ මානසිකත්වයක. ඒ මොහොතෙ ඔබ ඇඳ මත සිටීම, ඔබේ හුස්ම, ඔබේ සම මත ඇගේ සම ගැටෙන ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කිරීම වගේ දේවල් හොඳ හැඟීමක් ඇති කරන අතරම, කාංසාව සහ ලිංගික දුර්වලතා ඇති කරන මානසික තත්ව දුරු කරන්නත් උදව් වෙනවා. මේ සියල්ලට ලිංගික අත්දැකීමක් ඉතා ප්‍රබල මට්ටමකට වැඩිදියුණු කළ හැකියි. ඔබ දෙදෙනාගේ රිද්මයට සමපාත වන විට, ඔබට වඩාත් පහසුවෙන් අවධානවත් විය හැකියි. එමඟින් සතුට තුලට ඔබව නිදහස් කරනවා. මෙය ලිංගිකත්වය වඩාත් විනෝදජනක කරනවා පමණක් නෙමෙයි ඔබේ සහකරු සමඟ ඔබේ සම්බන්ධතාවයත් ගැඹුරු කරනවා. පුද්ගලයන් දෙදෙනෙකු එකම රිද්මයකට සමපාත වන්නේ නම්, ඔවුන් ස්නායු පද්ධති හරහා සින්ක්‍රොනයිස් වන බව Safron පවසනවා. එමඟින් ඔබේ සහකරු සමඟ සන්නිවේදනය පරාසය විශාල කරනවා.

    කාමරයක දෙපැත්තේ ඉඳන් කරන eye contact තුලින් එකිනෙකාගේ මනස ගැන ආසන්න කියවීමක් දක්වා යන පමණට දියුණු කරන්න පුළුවන්. ඔබට මෙය හමුදාවක් එකට ගමන් කරන මාර්ච් එකකදි, නැටුමක සහකරුවන් අතර සහ යුගල වාදනය කරන සංගීතඥයින් තුළ දැක ගන්න පුළුවන්. ඔවුන් සියලු දෙනාම මෙම සමීපත්වය (intimacy) වර්ධනය කරනවා. Safron කියනවා. යාන්ත්‍රණයක් විදිහට එහිදී ඔවුන්ගේ පද්ධති synchronize වෙනවා කියල.

    මෙය රිද්මයේ ඇති ලිංගික වැදගත්කම අවධාරණය කරනවා. එබැවින් කනිලින්ගස් අතරතුර ඔබේ දිවෙන් ප්‍රසන්න රිද්මයක් ස්ථාපිත කිරීම සහ ඔබේ සහකරු කෙරෙහි අවධානයෙන් සිටීම වඩාත් ප්‍රතිඵලදායක බව ඔහු කියනවා. එය ලිංගිකත්වය හරහා විඥානයේ වෙනස් තලයකට ඔබව ගෙන යනවා. මේ කාලය පුරාම, ඔබ සිතා සිටින්න ඇත්තේ සෙක්ස් කියන්නෙ සුරතාන්තය (orgasm) විතරක්ම බව. නෑ සෙක්ස් කියන්නෙ ඒ කරා යන ගමනයි.

    Adam Safron වගේම සුරතාන්තය පිළිබඳ පර්යේෂණ අධ්‍යයන සිදු කරන Jerilyn Covert තම අත්දැකීමක් ඔස්සේ මෙය පැහැදිළි කරනවා. සුරාන්තය පිළිබඳ පර්යේෂණ ලෝකයට මං ගිය ගමන මගේ මානසිකත්වය වෙනස් කළා පමණක් නෙවෙයි මගේ ජීවිතයේ හොඳම ලිංගික අත්දැකීම් ලබන්න හේතු වුණා. මම LA සිට ආපසු පැමිණි පසු එක් රාත්‍රියක මගේ සැමියා සමග ලිංගිකව එක් වුණා. මම ඔහුව සිපගන්න පටන් ගත්තා. අපි බොහෝ වේලාවක් සිප ගත්තා. වෙන කවරදාටත් වඩා දිගු වෙලාවක්. මට පුදුමයට කරුණ නම්, ඔහුත් එයට ඉතාම කැමැත්තෙන්ම සම්බන්ධ වීමයි. අතීතයේ අපි සිප ගැනීමට ඕනවට වැඩි කාලයක් ගත කරනවාදැයි මං කනස්සල්ලට පත් වුණ වාර තිබුණා. දැන් ඒ බිය පදනම් විරහිත බව මං තේරුම් ගත්තා. තෘප්තිය, ප්‍රීතිය යනු එහි ගිලී යා යුතු දෙයක් මිස රේස් එකක් දිවීමක් නෙමෙ‍යි. මම මේ මොහොත සරලව භුක්ති විඳීමටත්, මගේ අපේක්ෂාවන් නිශ්ශබ්ද කිරීමටත්, මගේ සැමියාගේ අපේක්ෂාවන් ගැන පූර්ව නිගමන නොකිරීමටත් තීරණය කරා. එය ඉතා මන්දගාමීව ගොඩනැගුණු අත්දැකීමක්. එක පාරට අමුතු සිද්ධියක් වුණා. අපි දෙදෙනා පමණක් ඉතුරු වෙලා පිටස්තර ලෝකය මැකී ගියා. මං ගොඩක් රිලැක්ස් වුණා. හරියට සමාධියකට ඇතුල් වුණා වගේ. ඔහුටත් එහෙමම දැනුණ බව මට තේරුණා. අපි ඒකත්වයකට ඇතුල් වුණා. එය ජීවිතය වෙනස් කරනසුළු ලිංගික අත්දැකීමක් වුණා. මං ඒ හැම මොහොතක්ම විඳ ගත්තා. එය අන්තිම තත්පර විස්සේ සුරතාන්තය පමණක් වැදගත් වෙන අත්දැකීමක් නෙමෙයි.

    දැන් අපි සෙක්ස් නොකරන අවස්ථා වන් පවා ගොඩක් අනුරාගීයි. පුංචි හාදු හා ස්පර්ශ වල පවා ලොකු අගයක් දැනෙනවා. දැන් වෙනදාට වඩා අපි අතර සෙක්ස් සිද්ද වෙන නිසා අත්හදා බැලීම් කරන්න ලැබෙන අවස්ථාද වැඩියි. අපි ලිංගික උන්මත්තකයො වෙලා නෙවෙයි. අපිට තාමත් රැකියා කරන්න වෙනවා එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් අපි දැන් වඩාත් සමීපයි.
    “අපි වැඩිපුර සෙක්ස් කරන්න ගත්ත දා ඉඳන් මං ඔයාට ගොඩක් ආදරෙයි වගේ දැනෙනවා.”

    මගේ සැමියා එසේ කියද්දි ඒක ඇත්ත බව මං දන්නවා. Jerilyn Covert පර්යේෂණවේදිනිය පවසනවා.


    මාලි හෙට්ටිආරච්චි ලියයි.

  • සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    උදයකාන්ත වර්ණසූරිය ආපහු වැඩිහිටි සිනමාවට ඇවිත්. උදයකාන්ත කියන්නෙ අපේ සිනමාවෙ අමුතු වැඩකාරයෙක්. ගිනිඅවි සහ ගිනිකෙලි, බහුබාර්යා, රාජ්‍ය ‍සේවය පිනිසයි වගේ සිරාම ෆිල්ම් හදපු පොරක්. ඒ වගේම හිරිපොද වැස්ස, රෝස වසන්තය, ආසයි මං පියාඹන්න වගේ රොමැන්ටික් කොමර්ෂල් වැඩත් කරපු, යකඩ පිහාටු වගේ ඉතා හොඳ මට්ටමේ කොපිත් කරපු බඩුවක්. කොස්තාපල් පුන්‍යසෝම, බහුබූතයෝ හරියට එනකොට උදයකාන්තට අහුවෙනවා ලංකා‍වට වැඩකරන ලෝබජට් තියරියක්. උදයකාන්ත ස්වයං රැකියාවක් විදිහට චිත්‍රපටි හදන්න පටන් ගන්නවා. පොඩි ප්‍රොඩක්ෂන් ටීම් එකක් එක්ක, නැගලා යයි කියල හිතෙන ඕන විදිහක ප්ලොට් එකක් ගහලා බලන්න එයා පෙළඹෙනවා. ඒ වගේම ඒවායින් සාර්ථකත් වෙනවා.

    ඉතිං අපිට සෞන්දර්යාත්මක අර්ථවලින් මොන විවේචන තිබුණත් උදයකාන්තගේ සිනමාව ෆේල් නෑ. තාමත් ජරාවක් කළත් ඒකෙ මොකක් හරි කොලිටියක් තියෙනවා.

    උදයකාන්ත තමන්ගෙ ෆිල්ම් ගේම් එක ගැහුවෙ සිනමාව ඇතුලෙ. රජකතා බණකතා වගේ පොලිටිකලි පුම්බපු මාර්කට්වලට එයා ෆිල්ම් ගැහුවෙ නෑ. ඒක නිසාම එයා චිත්‍රපටි කලේ ඇත්තට පවතින සිනමා ප්‍රේක්ෂාගාරයකට. කෘතිමව ක්‍රියේට් කරපු එකකට නෙමෙයි.

    බහුබාර්යා කියන්නෙ මං උදයකාන්තගේ ඉතා කැමති චිත්‍රපටයක්. අනූ ගනංවල ඇඟ සීතල කරපු ශෘංගාරයක්. සංගීතා වීරරත්නගේ අනුරාගී රංගනයත්, උදයකාන්තගේ වැඩිහිටි සිනමාවත් එතනින් ඉවර වුනා. ඊට පස්සෙ වෙන වෙන ජොන්රා ගානක වැඩ කරලා එයා දැන් ආයිමත් ඇවිත් ඉන්නවා ඉරොටික් ත්‍රිලර්ස් වලට.

    උදයකාන්ත වර්ණසූරියත්, සෝමරත්න දිසානායකත් දෙන්නම තමන්ගේ වැඩිහිටි තේමා රැගත් චිත්‍රපට නිකුත් කරන්න තීරණය කිරීම මට අනුව ලාංකේය ප්‍රේක්ෂාගාරය කොටහළු වුනා කියන එකට හැඟවුමක්. සෝමරත්න කියන්නෙ ළමා චිත්‍රපටවලින් පටන් අරගෙන දේශපාලනිකව පුම්බපු සිනමාවෙ ඒ අතට මේ අතට පීනපීන හිටපු කෙනෙක්. ජාතියම පුළුවන් තරම් කාලයක් ළමා මානසිකත්වයක තියාගන්න සෝමරත්න තමන්ගේ නිර්මාණ හරහා උත්සාහ කළා කියලයි මං හිතන්නෙ. ඒත් අවසානයේ එයාටත් සිද්ද වෙලා තියෙනවා වැඩිහිටි වෙන්න.

    සෝමරත්න දිසානායකගේ ජංගි හොරා ගැන පස්සෙ ලියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙද්දි ජංගි හොරා කියන නමවත් කොතනකවත් කියන්නෙ නෑ. පිටින් වාරණයක්ද නැත්තං ස්වයං වාරණයක්ද කියල දන්නෙ නෑ. කොහොම හරි මේ වෙද්දි ඒක අන්ඩර්පෑන්ට් තීෆ් වෙලා.

    මේ සටහන උදයකාන්ත වර්ණසූරියගේ ගිනිමල් පොකුරු ගැන. ඒ ෆිල්ම් එකට ප්‍රචාරක උපක්‍රමය වුනේ චුලක්ෂිගේ ලීක් එකක් විදිහට ෆිල්ම් එකේ කෑල්ලක් එලියට දාන එක. ඒක අතිසාර්ථක මෙහෙයුමක්. සහ චුලක්ෂි කියන්නෙ වැඩේට නිවැරදිම තෝරාගැනීම. ගිනිමල් පොකුරු ෆිල්ම් එක කියන්නෙම චුලක්ෂි.

    මුලින්ම මේ ෆිල්ම් එක බලන්න අපේ අම්මයි තාත්තයි ගියා.

    ‘පුතේ උදයකාන්ත වර්ණසූරියගෙ අලුත් ෆිල්ම් එක හොඳයි වගේ නේද? අපි බලන්න යන්න ඉන්නෙ’

    අම්මයි තාත්තයි දෙන්නම හතරපෝයට සිල්ගන්න, කුසල් වඩන අය. ඒ හින්ද ගිනිමල් පොකුරු කියන්නෙ ඉරොටික් ෆිල්ම් එකක් කියල අනතුරු ඇඟවීමක් කරන්න හිතුනත් බැලුවට පස්සෙ එන කම්පනය රසවිඳීමේ කාලකණ්ණි සතුට වෙනුවෙන් මං ඒක නොකර හිටියා.

    ‘ආහ් ඔව් අම්මෙ, මාත් තාම බැලුවෙ නෑ. බලන්න ඉන්නෙ’
    දවස් කීපෙකට පස්සෙ දෙන්නම ගිහින් ෆිල්ම් එක බැලුවා.

    කොහොමද අම්මෙ ෆිල්ම් එක?

    ‘ඉතාම හොඳයි පුතා. සමාජයට හොඳ පණිවුඩයක් දෙනවා. ඇත්තම කතාවකිංනෙ කරලා තියෙන්නෙ. ඔහොම දේවල් කොච්චර වෙනවද. පොලිස්කාර‍යො කොයිතරම් කරදරේ වැටුන ගෑනුන්ව තවත් අමාරුවල දානවද? ටිකක් සෙක්ස් සීන් නං වැඩියි. හැබැයි ඒ කතාවට ගැලපෙන විදිහට, මේ සමාජෙ ඇත්තට වෙන දේ පෙන්නන්නයි ඒවා පාවිච්චි කරලා තියෙන්නෙ. මං මගේ යාළුවන්ටත් කතා කරලා රෙකමන්ඩ් කළා.’

    මගේ වයර් මාරු වුනා. ඒ ෆිල්ම් එක සාම්ප්‍රදායික මහා සමාජයට යන්නෙ ඒ විදිහට. වල් ෆිල්ම් එකක් වුනත් හොඳ පණිවුඩයක් දෙන එකයි වැදගත්. එතකොට වල් ටික ගන්න එන අපි වගේ උන් වල් ටික බලනවා. අනිත් අය හොඳ ටික අරගෙන යනවා. අපි කරන ෆිල්ම්වල තියෙන ලොකුම අවුල ඔය පණිවුඩය නැති එක.

    උදයකාන්ත පළවෙනි ඇණය සාර්ථකව ගහනවා. රාගය මුසු වූ සමාජ පණිවුඩයක් දෙන කතාවක්. මේක මං හිතන්නෙ ලංකාව වගේ රටක ශෘංගාර සිනමාවෙදි වැදගත් කාරණයක්. ප්‍රේක්ෂකයාට තමන් වල් ෆිල්ම් එකක් බැලුවා කියන ගිල්ටිය නොදෙන එක. ඇගේ වෛරය ෆිල්ම් එක ආවෙත් කාන්තා විමුක්තියේ දෝංකාරය කියල.

    අම්මාගේ අනපේක්ෂිත ප්‍රතිචාරය මගේ උනන්දුව වැඩි කළා. මාත් පීවීආර් එකේ ෆිල්ම් එක බලන්න ගියා.

    ෆිල්ම් එක පටන් ගන්න කලින් ‘කෝල්ඩ් ඕපන්’ එකක්, අනංමනං මොකුත් නෑ. අමුවෙන්ම ටයිට්ල් එක වැටෙනවා. එතනින් ෆිල්ම් එකට. අසූ ගනංවල රූපරාමු වලින් තමයි කතාව කියන්නෙ. කලාත්මක රූපරාමු, සංස්කරණ මොකුත් නෑ. කතාවම විතරයි.

    මට හිතෙන්නෙ මේ ෆිල්ම් එක ටාර්ගට් කරන්නෙ කාවද කියන අදහස නැතුව ෆිල්ම් එක කියවන එක තේරුමක් නෑ. පැහැදිලිවම ඒකෙ ඕඩයන්ස් එක ‘මාස්’. සිනමා සාක්ෂරතාවයක් ඇති අය නෙමෙයි කොහොමවත්ම. කොයිතරම් පර්වර්ට් කතාවක් උදයකාන්ත විසින් හොඳ පණිවුඩ දවටනයක ඔතලා දෙනවද කියන එකයි මාව චූන් කරපු කාරණය.

    ගිනිමල් පොකුරු ෆිල්ම් එක දුවන්නෙ ගෑණු තුන්දෙනෙක් උඩ. කතාවෙ ප්‍රධාන නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට එන්ට්‍රන්ස් එක හදන, දූෂනයට ලක්වෙන ස්ත්‍රිය. ඊළඟට චුලක්ෂි. අනිත් කෙනා චුලක්ෂිගෙ නංගි. මේ ගැහැණු තුන්දෙනාව ශෘංගාරකරණය (ඕන නං ඔබ්ජෙක්ටිෆයින්ග් කියලත් කියන්න පුළුවන්) කිරීම තමයි චිත්‍රපටියේ කේන්ද්‍රීය කාරණය.

    මේක බලලා තමන්ගෙ අදහස් ලියපු කීපදෙනෙක්ම මේකෙ සෙක්ස් නෑ වගේ ඒවා කියල තියෙනවා මං දක්කා. ඒත් මට අනුව නම් ගිනිමල් පොකුරු ඉතාම සරාගී චිත්‍රපටයක්. වෙන විදිමකින් කිව්වොත් ඒක තනිකරම සෙක්ස්. සෙක්ස් කියන්නෙ නිරුවත ප්‍රදර්ශනය කිරීම නෙමෙයි. සෙක්ස් කියන්නෙ මූඩ් එක, තේමාව, කතාව සහ රූප රාමු කැරකෙන කේන්ද්‍රය. ඇත්තටම නිරුවත පෙන්නීමට වඩා නිරුවත නොපෙන්නීමයි ඉරොතික වෙන්නෙ. නිරුවත දකින මොහොතෙම ප්‍රේක්ෂකයාගේ ආශාව කූටප්‍රාප්තවෙලා ඉවර වෙනවා. ඉරොතික චිත්‍රපටයක තියෙන වැදගත්ම කාරණය ඒ ශෘංගාරය අවසානය දක්වා අරගෙන යන්නෙ කොහොමද කියන එකයි. උදයකාන්ත අර ගැහැණු ශරීර තුන මතින් ආස්වාදය කතාව පුරාම පවත්වාගන්නවා.

    මේ කතාව හරියට ගත්තොත් රේප් සීන් තුනක්. පළවෙනි එක ගැන්ග් රේප් එකක්. දෙවෙනි එක තමන්ගේ බලය, තත්වය පාවිච්චි කරලා කරන රේප් එකක්. තුන්වෙනි එක මනෝ ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් රේප් කරන්න උත්සාහ කිරීමක්.

    රේප් එකක් රෑපයට නගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ රූප හරහා අපිට ඒ රියල් එක අත්විඳින්න සැලැස්වීම. ඉරෙවර්සිබල් වගේ ෆිල්ම් එකකදි කරන්නෙ ඒක. එතකොට අපේ කාමය ලොප් වෙනවා. අනුරාගය ලෙෆ්ට් වෙනවා. අනිත් විදිහ තමයි රේප් එක පුළුවන් තරම් රියල් එකෙන් ඈත් කිරීම. පෝර්න්වලදි කරන්නෙ ඒක. එතනදි රඟපෑම දුර්වල වීම, ඒ චරිතයේ හැඟීම් මතු නොකිරීම, බිහිසුණු බව මගහැරීම වගේ තාක්ෂණයන් වැඩකරනවා. ඒ අතර අඟපසඟ අනුරාගීව පෙන්නීම, ආශාව ගොඩනැගීම හරහා අපිට ඇගේ අකමැත්ත පවා ශෘංගාරයට පෙරලන්න පුළුවන්. උදයකාන්ත අනුගමනය කරන්නෙ මේ දෙවෙනි පිළිවෙත.

    කතාව පටන්ගනිද්දි මිනිහෙක් මරාදමන රිය අනතුරට කතාව ඇතුලෙදි ලැබෙන සැලකිල්ලම මේ එළඹුම සනාථ කරනවා.

    ගිනිමල් පොකුරු කියන්නෙ රේප් තුනක් තිබ්බත් රේප් තුනම ඉතාම තෘප්තිමත් හැඟීමකින් නිමා කරන චිත්‍රපටයක්. හැපි එන්ඩින්ග් එකක්. පළවෙනි රේප් එක කරන මෝටිවේෂනල් අප්පච්චි ඇතුලු පිරිස පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. එතනදි වීරයා බවට පත්වෙන පොලිස් නිලධාරියා අතින් තමයි කතාවෙ මූලිකම පරිශ්‍රය වන දෙවෙනි රේප් එක වෙන්නෙ. මානසිකව රෝගී නැගෙණිය ගොදුරු වෙන්න යන තුන්වෙනි රේප් එකේදි ඒ දුෂ්ටයා බවට පත්වුනු නිලධාරියා කතුරු පාරක් කනවා. කොහොම හරි ප්‍රේමය දිනනවා, යුක්තිය ජයගන්නවා (වාහනේ හැපිලා මැරුනු මිනිහට හැර)

    ෆිල්ම් එක කරද්දි උදයකාන්ත තමන්ගේ ඕඩියන්ස් එක ගැන පට්ට දැනුවත්. වාහනේ පදවන අතරෙ ඇතුලත සීන් key කරලා තියෙන හැටි අජූතයි. ඒ මදිවට වීදුරුවෙන් එලියෙ පේන දේයි පැති කන්නාඩියෙන් පේන දේයි ෆුල් මඤ්ඤං. ඒත් උදයකාන්ත දන්නවා තමන්ගෙ ප්‍රේක්ෂකයා බලන් ඉන්නෙ ඔය මොකක්වත් දිහා නෙමෙයි චුලක්ෂි දිහා විතරමයි කියල.

    රංගනය පැත්තෙන් කතා කරන්න දෙයක් තියෙන්නෙ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ විතරයි. මං මීට කලින් දැකලා නැති නළුවෙක් වුනත් පොලිස් නිලධාරියාගෙ චරිතය ඉසුරු හොඳට දැනෙන්න කරනවා. ඒ වගේම හින්දි සිනමාවෙ විතරක් දැකලා තියෙන කෙල්ලො මැරෙන්න හදන හැන්ඩි පොලිස්කාරයා ලංකාවෙ සිනමාවටත් ගේනවා.

    රංගනය දුර්වල වීම ඇතුලෙ අනුරාගය වැඩියෙන් මතුවෙනවා කියල මට හිතෙනවා. එතකොට අපිට ඒ අයව මිනිස්සු විදිහට දැනෙනවට වඩා අපේ අනුරාගයේ වස්තු විදිහට දකින්න ඉඩ වැඩියි. ඔබ්ජෙක්ටිෆයි කරනවා කියන්නෙ ඕකට. ෆිල්ම් එක පුරාම චුලක්ෂි කියන අනුරාගී වස්තුව අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ විදිහට පාවිච්චි කරනවා.

    සමහර තැනක රූප සහ ශබ්ද අතිපිහිත කිරීම්වලින් අපේ හිත ඇතුලෙ වල්කම මවන්න ගන්න උත්සාහයත් ආතල්. චුලක්ෂි තුවාය කඩලා දානකොටම අපි දකින්නෙ ඉසුරුගෙ මූන. හැබැයි අපිට දැනෙන්නෙ චුලක්ෂි තුවාය කඩලා දැම්මම තමයි කියල. තව තැනක ‘මට ඇති’ කියන්නෙ බත්. ඒත් ඒක කැපෙන්නෙ සෙක්ස් එක්ක. මේ වගේ අමුතු තැන්වල උදයකාන්ත සෙල්ලං කරනවා. එක තැනකදි නංගි ගැන පොලිස් නිලධාරියාගේ ආශාව වඩවන ජනෙල් රෙදි නැටුමක් තියෙනවා. ඒ කාමෝද්දීපනය කරන ජනෙල් රෙදි පැටලුම උදයකාන්තගේ විශ්වයකම සිද්ද වෙන්න පුළුවන් දෙයක් විතරයි.

    චිත්‍රපටයෙ ගිනිමල වෙන්නෙ චුලක්ෂි. චුලක්ෂිගේ වඩාත්ම අනුරාගී කලාපය වෙන්නෙ එයාගෙ තොල් කියලයි මං හිතන්නෙ. ඒ දෙතොල් කාමාතුරව සිපගැනීමම ආශා අවුළුවන දසුනක්. නිතර දකින, සිපගන්න පතන ඒ දෙතොල් කාමාතුර පොලිස්කාරයෙකුට අවනත වෙනවා දැකීම ප්‍රේක්ෂකයා උන්මාද කරවන්නක් බව අධ්‍යක්ෂ දන්නවා.

    චුලක්ෂි පොලිස් නිලධාරියාගේ සිතැඟිවලට ඉඩදීමේ අවස්ථාවෙදි , උදයකාන්ත රේප් පෝර්න්වල ඉතා සුලබව දකින, මුලින් අකමැතිව පස්සෙ කැමති වීමේ ප්‍රපංචය ගේනවා. එක විදිහකට ඒක ස්ත්‍රී මනෝභාවයේ යතාර්ථයකුත් කියන්න පුළුවන්. කාන්තාවකගේ මනසට අවශ්‍ය දේ සහ ශරීරය ප්‍රකාශමාන කරන දේ අතර පරතරය මේකට හේතු වෙනවා. පොලිස් නිලධාරියා සමග සිද්ද වෙන ලිංගික එක්වීම ස්ත්‍රී දූෂණයක් වෙන්නෙ ඒ හින්දයි. ඒක කැමැත්තකට වඩා යටත්වීමක්.

    ඒ වගේම මානසික අසමතුලිතතාවකින් පෙළෙන සරාගී නැගෙණිය පිළිබඳ පර්වර්ට් ආශාවත් චිත්‍රපටිය ඇතුලෙ ඇවිලෙනවා. ගැන්ග් රේප්, ෆෙටිෂ් ඔක්කොම මැද්දෙන් තමයි ගිනිමල් පොකුරු පිපෙන්නෙ.

    මේ චරිතය බය නැතුව බාරගැනීම ගැන චුලක්ෂිට මගේ ගෞරවය හිමිවෙනවා. ඒ වගේම සහෝදරියගේ චරිතය කරන දිල්රුෆා ෂානාස්ගෙත් නිර්භීතබව අගය කරන්න ඕන. ලංකාව වගේ රටක වැඩිහිටි චිත්‍රපටයක රඟපානවා කියන්නෙ ලොකු අභියෝගයක්.

    ලිංගික දර්ශන රූගත කරද්දි උදයකාන්ත අනුගමනය කරන්නෙ මල්ලු චිත්‍රපට සම්ප්‍රදාය. මිරිකෙන අත්, පැටලෙන කකුල්, හැපෙන තොල්පෙති, වැහෙන ඇසිපිය වගේ දේවල් කැමරාවට හසුකර ගන්න එක. නිතරම ඇඟ වටා එතුනු කොහොමවත් නොගැලවෙන රෙද්දක් තියෙනවා. ඒක සිනමාවක් විදිහට ගොඩනැගුනු, අපිට හුරු ශෘංගාර රසයක්.

    මං කලින් කිව්වා වගේ ස්ත්‍රී ශරීර තුනක අනුරාගය උඩ දුවන කතාව මට තාම තේරුම්ගන්න බැරි විදිහට හතරවෙනි වස්තුවක් වටෙත් කැරකෙනවා. ඒ තමයි අනතුර සිදුකරන ජීප් එක. මේ ජීප් එක නිදහස් කරගන්න කියල ඉං‍ජිනේරුවෙක් වන චරිත් අබේසිංහ හෙන මොංගල් පාර්ට් එකක් දානවා. මට හිතෙන්නෙ ජීප් එක අදාල වෙන්නෙ ෆිල්ම් එක අවශ්‍ය තරමට දික්කරගන්නයි. පැය දෙකකටවත් වැඩි නැත්තං ලංකාවෙ හෝල්වල ෆිල්ම් දුවන්න බෑ.

    වැදගත්ම දේ මේ අතිබිහිසුණු ස්ත්‍රී දූෂණ පිරුනු කතාවක් වුනත් අවසානය ඉතාම සාමකාමී වීම. සියල්ල සතුටින් විස‍දෙනවා. ජෝඩුව බැඳලා කවදාවත් ලංකාවෙ එයාර්පෝර්ට් එකක බාන්නෙ නැති ෆ්ලයිට් එකක රට යනවා. පොලිස් නිලධාරියාට අලුත් දඩයමක් හම්බුවෙනවා.
    අර මානසිකව දුර්වල නංගිව මඩමකට දානවා.

    රට ගැන, කොළඹ ගැන, පවුල් සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා ගැන අපේ ප්‍රායෝගික දැනීම මේ ෆිල්ම් එක බලද්දි අමතක කරන්න වෙනවා. ඒ තිරය උඩ පිලිගන්වන යතාර්ථය සද්දෙ වහලා බාරගන්න වෙනවා. මේ ශෘංගාරාත්මක සමාජ පණිවුඩය විඳින්න කෙනෙකුට ලැබෙන්නෙ එතකොටයි.

    ගිනිමල් පොකුරු බලලා එද්දි මට අදහසක් ආවා. ඒ අනිවාර්යෙන්ම ගිනිමල් පොකුරු 2 කරන්න ඕන කියන එක. ඒ කතාව අර මඩමට ගිය නංගිගෙ. ඒ අනුරාගී උමතු කෙල්ල දවසක එලියට එන්නෙ සීරියල් කිලර් කෙනෙක් විදිහට. පිරිමි එක්ක යහන්ගත වෙලා ඒ අයව කතුරෙන් ඇනලා මරන කාමාධික කෙල්ලෙකුගේ කතාවක් ඒක.

    මට පුළුවන් ලියලා දෙන්න. හැබැයි එ්ක ඩිරෙක්ට් කරන්න ඕන උදයකාන්තමයි. මොකද මේ දෙන ආතල් දෙන්න මට නං කීයටවත් බෑ.


    චින්තන ධර්මදාස

  • 2022 වසරේ ශෘංගාර පලාපල – සක්වල පතුල සිට ඔබ හඹා එන රතිරහස් දැනගන්න

    2022 වසරේ ශෘංගාර පලාපල – සක්වල පතුල සිට ඔබ හඹා එන රතිරහස් දැනගන්න

    කුම්භ

    කුම්භලග්න හිමියන් සෙක්ස්වලදි හිතෙන් මවාගන්නා කොටස විශාලය. ක්‍රියාව අල්පය. ඔවුන්ට ෆැන්ටසිය සැබෑ අත්දැකීමට වඩා ආස්වාදනීය විය හැකිය. මේ වසරේ කුම්භලග්න හිමි ඔබ අනිත් අය සතුටු කරනවා වෙනුවට ඔබව සතුටුවන දේ කරන්න පටන් ගනී. එයට කැමති අය ඔබ සමග රැ‍දෙන අතර නැති අය වෙන්ව යනු ඇත. සෙනසුරු ලග්න රාශියට පැමිනීම නිසා ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා මෙන් හැ‍ගේ. කිසිම දවසක බලාපොරොත්තු නොවුනු අයෙකු සමග අනුරාගී සම්බන්ධතාවයක් පටන් ගන්නවා ඇත. ඔබ මොනොගමික හෙවත් ඒකභාර්යා/පුරුෂ අයෙකු නම් ඔබේ සම්බන්ධතාවය විවෘත එකක් බවට පෙරලේවී. නොඑසේ නම් ඔබ ඔබේ නිදහස හොයාගෙන යාවි.

    මීන

    ගුරු හෙවත් බ්‍රහස්පති, සියලු යහඵල දෙන ග්‍රහයා ඔබේ ලග්න රාශිය හරහා ගමන් කරන්න ගන්නවාය. ඔබ ඔබගේ අනන්‍යතාවය සහ ජීවිත අවස්ථාවන් ගැන හොඳින්ම හිතාබලන්න පෙළඹෙනවාය. ඔබ අදහාගෙන සිටින සමාජ වටිනාකම් ප්‍රශ්න කරන්න ගන්නවාය. ඔබ එයින් නිදහස වැළඳගත්තත්, දැඩි කැපකිරීම් ඇති සම්බන්ධතාවයකට ගියත් මෙය ජිවිතය වෙනස් කරන අවුරුද්දක් බව නිසැකය. මීන යනු ග්‍රහ වළල්ලේ සිටින වඩා හැගීම්බරම රාශියයි. මේ හැඟීම් පිටකිරීමට හැකි දොරටු විවෘත කරගැනීමට සිදුවෙයි . නොබියව ඔබේ ප්‍රකෘතිම ලිංගික ශක්තීන් අවදි කරගන්න උත්සාහ කරන්න. මේ ලිංගික අත්දැකීම් තුලින් අනිත් කිසිවෙකුටත් වඩා ආධ්‍යාත්මික අවදිවීම් ලබන්න ඔබට හැකිවනු ඇත. ඔබගේ අධික හැඟීම්, කායික අත්හදාබැලීම් සමග මුසුකරන්න බය වෙන්න එපා. මීන ලග්නහිමියන් නිතර පතුල් එක්ක සම්බන්ධයි. ඒ නිසා ෆුට් මසාජ්, ෆුට් ෆෙටිෂ් වගේ දේවල් ඉතා උත්කර්ෂවත් විය හැකියි.

    මේෂ

    රාශි චක්‍රයේ මුල්ම එකය. ආවේගකාරීය, අනුරාගීය. බ්‍රහස්පති රාශිය හරහා ගමන් ගන්නා කාලය ඇතුලත තෘප්තියේ දිශාවන් නොසිතූ පරිදි පුළුල්වීමට පටන් ගනු ඇත. මේ කාලය තුල ආදර සබඳතා වර්ධනය, නව අවස්ථාවන් උදාවීම සහ නොහිතූ ආස්වාදයන් විවෘත වීම සිදුවිය හැකිය. දීර්ඝ කාලීන සම්බන්ධතා පටන් ගැනීමට හොඳ කාලයකි. නොකලදී නොතැනදී සෙක්ස් කරන්න වගේ උවමනාවන් ඇතිවෙන්න නියමිත අතර ඒවා ආරක්ෂිතව හසුරුවාගැනීමට සිදුවේ.

    වෘෂභ

    නැවත ඔබ ඔබේ දෛවය සමග සම්බන්ධ වන වසරක් ලෙස කිව හැකිය. මේ වසර සුබ කරගත හැකිවන්නේ ආදරය සහ සුන්දරත්වයට අධිපති සිකුරු සමග නිරන්තරව සබඳතා පැවැත්වී‍මෙනි. එනම් ඔබ වඩා ආදරයට සහ සුන්දරත්වය දෙසට නැඹුරු විය යුතුය. වෘෂභ කියන්නෙ වඩාත්ම ශෘංගාර රාශියකි. ස්පර්ශය, ශබ්දය, රසය සහ දැකීමෙන් ඉන්ද්‍රිය උද්දීපනය කිරීමේ විසල් හැකියාවක් ඔබ සතු වෙනවා. වෘෂභ රාශියට ශාරීරික සන්තර්පනය අවශ්‍යමය. එමෙන්ම ඒ කායික සම්බන්ධතා වඩා සුවපහසු, රමණීය පරිසරයන් වල විඳින්න පෙළඹීමද මේ ලග්නහිමියන්ගේ හැටියක්. වෘෂභ රාශිය හිමි අයගේ අනුරාගී කලාපයන් වන්නේ බෙල්ල යට ප්‍රදේශය බව සිහි තබාගන්න.

    මිථුන

    මිථුන යනු දඟ දෙපලකි. මේ වසරේ ඔබේ රාශියේ බොහෝ වෙනස්කම් සිදුවෙන්න නියමිතය. ඒ නිසා සබඳතා පවත්වන අයත් එක්ක ගැඹුරු සමීප කතාබහක් ඇති කරගන්න උත්සාහ කරන්න. ඔබට දැනෙන සියලු දේම ඒ අය සමඟ බෙදාගැනීමට හැකිවන්නේ එවිටයි. එමෙන්ම මිථුන රාශිය බෙහෙවින්ම අනුරාගී විහිළු, අත්හදාබැලීම් සහ බුද්ධිය අවුස්සනසුලු කතාවලින් කාමෝද්දීපනය ලබනසුලුයි. තෘප්තිය සහ සෙල්ලක්කාරබව කියන රාශියේ ගුණය නිසි ලෙස පුහුණු කිරීමෙන් වසර වඩා ශෘංගාරාත්මකව සාර්ථක කළ හැකියි.

    කටක

    රාශියේ ලකුණ කකුළුවා මෙන්ම ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්නෙ දුෂ්කර තත්ව මගහැර පැත්තකට වී යන්නයි. නමුත් ලබන වසරේ ග්‍රහ බලපෑම්වලින් ඔබට මගහැර යාම අපහසු විය හැකියි. සංචාර, ගවේෂණ, සහ ආහ්ලාදජනක අවස්ථා රැසකට මුහුණ දෙන්න සිදුවේවි. කටක ලග්න හිමියන්ට ඇති ලොකුම නිදහස වන්නේ තමන් සැඟවී සිටින ආවරණ පසෙක ලෑමයි. ඔබේ සැබෑ ඇත්ත ස්වභාවය නිරාවරණය කිරීමෙන් විශාල තෘප්තියක් ඔබට ලද හැකි බව මතක තබාගන්න. ඔබ කැමති කින්කි හෝ බීඩීඑස්එම් හෝ ලිංගික චර්යාවන්ට නම් බය නැතුව එය අනෙකාට හෙලිකරන්න. අනෙකා සමග විශ්වාසය, කුළුපගබව ගොඩනගා ගන්න. චන්ද්‍රයාගේ බලපෑමෙන් ඇතිවන දැඩි ලිංගික ආශාවන් ගැන වැඩිය බයවෙන්න උවමනාවක් නෑ. මේ අවුරුද්දෙ බය නැතුව නිරුවත් වෙන්න.

    සිංහ

    නොනවතින නිර්මාණශීලීත්වයේ සහ ක්‍රියාත්මක වීමේ ලකුණයි සිංහ. ඔබේ පැවැත්ම වන්නෙම ජීවිත රසය වෙනුවෙන් ඉදිරිපත්වීමයි. සිංහ ලග්න හිමියන් බෙහෙවින් ප්‍රදර්ශනකාමීයි. පිරිස් ආස්වාදයට කැමතියි. ඒ නිසාම තමන්ව ප්‍රාර්ථනා කරන බව දැනීමෙන්ම සිංහ ලග්න හිමියන් විශාල උද්දීපනයක් ලබනවා. මේ ලග්නය හදවත සහ කොඳු නාරටිය එක්ක සම්බන්ධයි. ඒ නිසා ආදරණීය වදන් තෙපලීමෙනුත්, කොඳු නාරටිය දිගේ ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කිරීමෙනුත් සිංහ ලග්නහිමියන් ප්‍රමුදිත කළ හැකිය. මේ අයට පුටුවක ඉඳගෙන සෙක්ස් කළත් ඒක අනුරාගී සිංහාසනයක් බවට පත් කිරීමට පුළුවන.

    කන්‍යා

    කන්‍යා ලග්නයේ ඉන්නෙ නිතරම රතිය ගැන හිතන පිරිසකි. ඔවුන් සිටිනුයේ ඇවිස්සුනු ගතියෙනි. 2022 කියන්නෙ කන්‍යා ලග්න හිමියන්ට තමන්ගෙ ක්‍රෂ් එක ඊළඟ ලෙවල් එකට අරන් යන්න පුළුවන් වෙන වසරකි. සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, හිතමිතුරුකම් හැමදෙයක්ම අනුරාගයේ ඵලදරන්න ගන්නවා ඇත. අප්‍රේල් විශේෂයෙන්ම හිතේ හිරකරගෙන ඉන්න හැම ශෘංගාර ආශාවක්ම නිදහස් කරන්න පුළුවන් මාසයක් බවයි පැවසෙන්නෙ. කන්‍යා අයගෙ වඩාත් සංවේදී ප්‍රදේශය වෙන්නෙ බඩ ප්‍රදේශයයි. ඒ පෙදෙස ස්පර්ශ කිරීමෙන් වැඩි උද්දීපනයකට ගෙන යා හැකියි.

    තුලා

    සම්බන්ධතාවල සමතුලිතබව පවත්වාගැනීමේ දක්ෂයෝය. ඇඳ උඩදි වුනත් සාධාරණ, සම, තෘප්තියක් හොයාගෙන යන පිරිසක්. තුලා අය තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට කලා නිර්මාණයකට වගේ සලකනවා. ඒ අයගේ සිතුවිලි අගය කරනවා. ශරීරයන් වර්ණනා කරනවා. මේ අවුරුද්දෙ තුලා ලග්නහිමියන් වඩාත් කැපවුනු සම්බන්ධතාවලට යොමුවෙනවා කියලයි කියන්නෙ. හැම සම්බන්ධතාවයකම අර්ථය පරීක්ෂා කරලා බැලීමට පෙළඹෙනු ඇත. තුලාවෝ ශෘංගාරයේදී ඉතාම ත්‍යාගශීලීය. නමුත් තමන් දෙනු ලබන තෘප්තිය හා සමානම තෘප්තියක් අපේක්ෂා කරන්නෝය. 69 කියන්නෙ තුලාවට ගැලපෙනම රති ඉරියව්වක් බැව් සිහිතබාගන්න.

    වෘශ්චික

    ගම්මිරිසුයි ලුණුයි යනු වෘශ්චික සහ ලිංගික බැඳීමට නිදසුන්ය. ඉතාද දැඩි රති නැඹුරුවක් ඇති පිරිසකි. වෘශ්චිකයො අඳුරට මුවාවුනු සෙවැනැලි ශාංගාරය ප්‍රිය කරනවා. තහනම් ඉරියව්වලට, අඩවිවලට ආශක්ත වෙනවා. සීමාවන් අතික්‍රමණය කරනවා. 2022 වෘශ්චික ලග්නයට ආදරය සහ අනුරාගය නොමඳව ලැබෙන කාලයක්. ප්ලූටෝගෙ බලපෑමත් එක්ක රෝල්ප්ලේ, බොන්ඩෙජ් ආදී ඕනෑම කින්කි ආශාවක් ලුහුබඳින්න බය නැති වෙන බවයි පැවසෙන්නෙ. ඒකට හරියන්න අපිරිමිත අවස්ථාවනුත් විවෘත වෙනවා කියන්නෙ.

    ධනු

    ධනු යනු ඇඩ්වෙන්චරීය බවය. ත්‍රිලම හඹා යාමය. දුනුවායාගේ සංකේතයය. මේ අය දාර්ශනිකය. ගවේෂනයට බරය. 2022 අවුරුද්ද පටන් ගන්නෙම අලුත් ගවේශනාත්මක ජීවිත අත්දැකීමක් එක්කය. ඒ හරහා අනිවාර්යෙන්ම පෙර නොතිබුනු පරිණතබවක්, පුළුල්බවක් අත්පත් කරගන්නවා ඇත. කාලයක් මුන නොගැහුනු ආදරවන්තයන් හොයාගෙන යන්න ගත්තොත් පුදුම වෙන්න එපාය. අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීමේ ආහ්ලාදය නොමඳව විඳින්නට පුළුවන. ධනු අය වඩාත් කැමති එලිමහනේ සෙක්ස් කරන්නයි. ආසා දේ කිරීමට වාතාවරණය හදාගන්න නිබය විය යුතුය.

    මකර

    මකර කියන්නෙ අධිපතීන්ය. 2022 ඒ අයගෙ වටිනාකම්, මුදල් සහ මූල්‍ය තත්ව හොඳින් වැඩකරන්න ගන්නවාය. මේ වැඩිවෙන ආදායම ජීවිතේ පොහොසත් කරන අත්දැකීම් වෙනුවෙන් වියදම් කරන්න මතක තියාගත යුතුය. දවසම වැඩ වෙනුවෙන් කැප කරනවා නම් රාත්‍රිය හෝ තෘප්තිය වෙනුවෙන් නිදහස් කර යුතුය. මකර ලග්නෙ අයගෙ දෘෂ්‍යමාන පිලිවෙලසහගත ගතිය යටින් කින්කි ආශාවන්ට නැඹුරු ඇතුලතකුත් පවතී. මකර ලග්නහිමියන් සංසර්ගයෙන් හෝ ස්වයං වින්දනයෙන් තමන්ගේ ආතතීන් ඉහිල් කර නොගත්තොත් ලෙඩවෙන්න පවා පුළුවන. මේ අය නිතර සම්බන්ධතාවලදි දුර ඉලක්කයන් තියාගනී. කැපවීමක්, තියුණු ආස්වාදයක් අපේක්ෂා කරයි. දැඩි අනුරාගී මොවුන් සෙක්ස්වලදි තමන්ගේ ඇති හැකියාවන් පිළිබඳ ආඩම්බරය. අනුරාගයත්, කාර්යබහුලත්වයත් හරියට තුලනය කරගත්තොත් මේ අවුරුද්දෙ ජීවිතේ උණුසුම් ආස්වාදනීය එකක් කරගැනීමට පුළුවන.


    කාමජ්‍යොතිශඥ රතන බන්දුසීල විසිනි.

  • අසභ්‍ය ආණ්ඩුවේ අසභ්‍ය නීතිය

    අසභ්‍ය ආණ්ඩුවේ අසභ්‍ය නීතිය

    අධිකරණ ඇමති අලිසබ්‍රි එයාගෙ අසභ්‍ය පණත ගැසට් කරලා තිබුන. ඒත් ඒකෙ තව සංශෝධන කරන්න තියෙනවා කියල ඒක ආපහු රිවර්ස් කරලත් තිබුන. ඊට පස්සෙ එයාගෙ ලේකම් කෙනෙක් කතා කරලා, නෑ එහෙම ලොකු වෙනස්කම් නෙමෙයි, ළඟ තබාගැනීම වරදක් නෙමෙයි කියන එක විතරක් සංශෝධනය කරනවා කියල කිව්වා. දැනට ගැසට් වෙච්ච පණතෙ සංශෝධනය කරන්න තියෙන්නෙ එච්චරද?

    අසභ්‍ය දේ සම්බන්ධයෙන් නීති පනවනකොට මූලිකම ප්‍රශ්නෙ එන්නෙ අසභ්‍ය යනු කුමක්ද කියන එකයි.

    මේ පණතෙ හැටියට යම් අසභ්‍ය ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ දෙයක් ගැන කතා කරනවා. ඒකට ලියවිල්ලක්, චිත්‍රයක්, මුද්‍රණයක්, සිතුවමක්, මුද්‍රිත ද්‍රව්‍යයක්, පිංතූරයක්, පෝස්ටරයක්, ලාංඡනයක්, ඡායාරූපයක්, සිනමාරූපී සේයාපටයක්, හෝ යම් මාධ්‍යයක් ඇති යම් දත්ත ඇතුලත් වෙනවා.

    එතකොට ඒක අසභ්‍යයි කියල තීරණය කරන්නෙ යම් සාධාරණ තැනැත්තෙකුගේ මනස කෙලෙසීම හෝ දූෂණය කිරීම සිදුවෙනවා කියන එක මත. දැන් කවුද ඔය සාධාරණ මනුෂ්‍යයා කියල අපිට කල්පනා කරන්න වෙනවා. කවුරුන් හෝ ප්‍රකාශයට පත් කරන ඉහත කී කිසිවකින් හෝ කෙලෙසෙන, දූෂනය වෙන සිත් ඇති කිසි කෙනෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්ද? එහෙම කෙනෙක් නිශ්චිතවම අමු මෝඩයෙක් වෙන්න ඕන.

    ජෝන් රෝල්ස් කියන ඇමරිකානු යුක්තිය පිළිබඳ දාර්ශනිකයා කියන විදිහට මේ සාධාරණ මනුෂ්‍යයා නිර්මාණය කරන්න නම් එයා තමන්ගේ සියලු සංස්කෘතික සමාජ දැනුමෙන් වියුක්ත වෙලා ඉන්න ඕන කියලයි. එයා ඒකට කියනවා ‍’වේල් ඔෆ් ඉග්නොරන්ස්’ කියල. තමන්ගේ සමාජ සංස්කෘතික පිහිටීම ගැන දැනුවත් කිසිම මනුෂ්‍යයෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්නෙ නෑ. ඒ අයට අගතීන් පිහිටනවා. එතකොට අලිසබ්‍රිගේ නීතිය අනුව අසභ්‍යයි කියන එක තීරණය කරන මනුස්සයා කොයි විදිහෙ අගතීන්වල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්ද?

    මෙතනදි වැදගත් කාරණය වෙන්නෙ අසභ්‍ය නීති හරහා ආණ්ඩුව අපිට වහන්න හදන්නෙ මොනවද කියන එකයි. ඕනම සමාජයක දැනුමේ ආකෘතීන් නිර්මාණය කරන්නෙ නොදැනුවත් බව විසිනුයි. ඒ කියන්නෙ අපේ නොදන්නාකම හෝ මෝඩකම මතයි ලංකාවෙ දැනුම කියන එක ආකෘතිගත වෙලා තියෙන්නෙ. ඉතින් ඕනම ආණ්ඩුවක් උත්සාහ කරනවා ජනතාව යම් නොදැනුමක පවත්වාගන්න. ඒ නොදැනුම නැති වුනොත් ජනතාව ආණ්ඩුව විශ්වාස කරන එක නවතිනවා. හරියට ආගමක් වගේම.

    මේ ආණ්ඩුව ගත්තොත් කොවිඩ් පැණියෙ ඉඳන්, කැළණියෙ නාගයා හරහා, දෙරණ හිරු පෙරටුකොටගෙන කොයිතරම් නොදැනුවත්කමක් උවමනාවෙන් පවත්වාගෙන යනවද කියන එක පැහැදිලි කාරණයක්. ඒ අතරෙ මැදගොඩ අබේතිස්ස, කිරිබත්‍ගොඩ ඥානානන්ද වගේ චරිත ලිංගික නොදැනුවත්කමක මිනිස්සුන්ව ගිල්ලලා තියාගන්නත් අරගල කරනවා. අලිසබ්‍රිගෙ පණත උදව් වෙන්නෙ මේ අබේතිස්සලාගේ අන්තගාමී ප්‍රතිපදාවටයි. මිනිස්සුන්ව ලිංගික කාරණාවලින් ඈත් කිරීම හරහා අතෘප්තිය පවත්වාගැනීම. ඒ අතෘප්තිය සදාචාර, ආගමික, ජාතිවාදී බෝම්බයක් ලෙස ඕනම වෙලාවක පාවිච්චියට ගැනීම. සියලු බොරු පවත්වාගෙන යන්න නම් ලිංගිකව පසුගාමී සමාජයක් පවත්වාගෙන යායුතු බව ආණ්ඩුව දන්නවා.

    මේ වෙද්දි අපි අන්තර්ජාලය හරහා ලෝකයත් එක්ක නිරන්තර සංස්කෘතික සම්බන්ධයකයි ඉන්නෙ. භූගෝලීය වශයෙන් පිහිටීම වෙනස් වුනත් සංස්කෘතික අතින් අපි එක කලාපයක් බෙදාහදා ගන්නවා. පෝර්න් සහ අසභ්‍යයි කියන කැටගරිය අයිති වෙන්නෙත් ඒ කලාපයට. ලංකා‍ව හැම වසරකම නොවැරදීම ජයග්‍රහණය කරන එක තැනක් තමයි වැඩියෙන්ම සෙක්ස් කියන වචනය සර්ච් කිරීම. එතකොට සබ්‍රි හදන්නෙ මේ හැම මනුස්සයෙක්ම එක මොහොතකින් වරදකාරයෙක් කරන්න. ඇතුලට ගන්න ඕන කාවද කියල තීරණය කරන්න ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට පුළුවන්.

    අපේ සංස්කෘතික නිර්ණායක පදනම් විය යුත්තෙ අපි ඇසු‍රු කරන ලෝකයට සාපේක්ෂවයි. අරාබිකරයේ දෘෂ්ටියෙන් සංස්කෘතිය දිහා බලනවට වඩා විවෘත බාරගන්නා බටහිර දැක්මකින් ඒ දිහා බැලීමයි මානවවාදී වෙන්නෙ. එහෙම නැත්තං තලේබාන් අන්තගාමී පීඩාකාරී සංස්කෘතික පාලනයක් පැත්තටයි අපි අඩිය තියන්නෙ.

    මේ අසභ්‍ය ද්‍රව්‍ය, වස්තු හෝ දේවල් යම්කිසි කලාත්මක, විද්‍යාත්මක, අධ්‍යාපනික, සමාජ ප්‍රගමනයට දායක වන තත්වයක් දරනවා නම් අසභ්‍යකරණයෙන් නිදහස ලබනවා කියලත් කියනවා. ඔය කියන වටිනාකම් කිසිවක් අඩංගු නොවන කිසිම ප්‍රකාශනයක් ලෝකෙ තියෙන්න පුළුවන්ද?  උදා විදිහට පහන්තුඩාවෙ වීඩියෝව කලාත්මක නෑ කියන්නෙ කොහොමද? ඒ තරම් පිරිසක් ඒක නැරඹීම හරහා සමාජයට යම් තෘප්තියක් එයින් අත්පත් කර දුන්නෙ නැද්ද? ලිංගික අතෘප්තිය සමනය කිරීම සමාජ ප්‍රගමනයට දායක වීමක් නෙමෙයිද? ඒ වීඩියෝව හරහා පහන්තුඩාවට සංචාරක ආකර්ශනය වැඩිවීමක් සිද්ද වුනේ නැද්ද?

    පෝර්න් නිසා නෙමෙයි නම් ලංකාවෙ පවුල් ජීවිත බොහොමයක් තාමත් ගෙවෙන්නෙ මළකඳන් වගේ. ගෑණු බ්ලෝජොබ් එකක් දෙන්න පවා ඉගෙන ගත්තෙ පෝර්න්වලින්. එහෙම ලිංගික ආස්වාදය විඳීම ඉස්කෝලවල උගන්නන්නෙ නෑ. ඒක උත්පත්තියෙන් එන ප්‍රතිභාවක් නෙමෙයි. කාමසූත්‍රය කියන්නෙ අධ්‍යාපනික ග්‍රන්ථයක් සබ්‍රි.

    ඉතිං මේ කලාත්මක, විද්‍යාත්මක, සමාජ ප්‍රගමනාත්මක වටිනාකම් තීරණය කිරීමේ මහා සංස්කෘතික සංවාදයක් මේ වගේ නඩුවකදි පැන නගිනවාද? ඒවා තීරණය කරන්නෙ කවුද? අර කලින් සඳහන් කළ යුතෝපියානු සාධාරණ මිනිස්සුද?

    බිහිසුණුම කාරණය මේ වරද වෙනුවෙන් අවුරුදු දහයක් දක්වා සිරදඩුවම් පැනවීමට යෝජනා කිරීමයි. ප්‍රකාශනයක් කියන්නෙ මූලිකවම නිර්මාණයක්. යමක් ප්‍රතිනිර්මාණය කිරීම කියන මූලික මොහොතේම එතන කලාව බිහිවෙනවා. ඒ කලාව අවරගණයේද උසස් ගණයේද කියන එක සංවාදයක්. කවර හෝ ප්‍රතිනිර්මාණයක් කිරීම අවුරුදු දහයක් හිරේ යන වරදක් බවට පත්කරනවා කියන්නෙ ඒ සමාජය සම්පූර්ණයෙන්ම ප්‍රකාශනයේ නිදහස අවහිර කරනවා.

    වරද තියෙන්නෙ එවන් ප්‍රකාශනයක් හරහා යම් කෙනෙකුගේ ජීවිතයකට බලපෑමක් ඇතිවෙනවද කියන එකයි. ළමා, කාන්තා, හෝ සත්ත්ව අපහරණයක්, අපයෝජනයක් සිදුවෙලා තියෙනවද කියන එකයි. ඒ වරදට දඩුවම් කරන්න දැන් තියෙන නීති හොඳටම ඇති. ඒ නීති විධිමත්ව ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නෙ. බොරු අණපනත් ගෙනත් රටේ සංස්කෘතික කතිකාවන් අභියෝග කරන මිනිස්සු හිරේ දාන්න සැලසුම් හදන එක නෙමෙයි.

    අනවශ්‍ය කාරණයකට, අනවශ්‍ය අනපණත් ගේනවා කියන්නෙම පීඩාව ක්‍රියාත්මක කරනවා කියන එකයි. රටේ ජනතාවගෙන් අසභ්‍ය පණතක් රජයෙන් ඉල්ලා සිටියෙ කවුද? මැදගොඩ අබේතිස්ස සහ ඩෑන් ප්‍රියසාද් කියන දෙන්නයි. ඒ දෙන්නෙකුගේ ඉල්ලීම වෙනුවෙන් පණතක් ගේන ආණ්ඩුව ඇත්තටම මේ හදන්නෙ ජනතාව මොකකින් ආරක්ෂා කරන්නද? ගෙවල්වල ගෑස් බෝම්බ පුපුරුවන ආණ්ඩුවක් ජනතාවගේ හිත් දූෂණය වෙයි කියල හිතලා අනපණත් ගේන එක කෙ‍ායිතරම් අසභ්‍ය විහිලුවක්ද නේද?

  • මොනවද මේ සෙක්ස් ටැබ්ලට්?

    මොනවද මේ සෙක්ස් ටැබ්ලට්?

    සෙක්ස් කරන්න මිනිස්සු පාවිච්චි කරන විවිධ බෙහෙත් වර්ග ටිකක් ගැනයි අද උඹලට කියල දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් සිරාවටම මේවා ඕන වෙන එවුන් ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම.

    කොච්චර පොර ටෝක් දුන්නත් සමහර උන් සෙක්ස් කරන්න ගියාම ඒකි ඉස්සරහ මල්ලි ඔලුව උස්සයිද , ලැජ්ජාව බය වගේ දේවල් එක්ක එයා සතුටු වෙයිද, යකඩයක් වගේ උන්නැත්තන් එයා හිනා වෙයිද, ඒකිගෙ පරන කොල්ලට වඩා මට සැපක් දෙන්න පුලුවන් වෙයිද, මට බැරි වෙලා කෙල්ල පිට යයි ද, ඒකි එෆ්බී එකෙ චැට් කරලා අහු උන කොල්ලට මට වඩා ලොකු එකක් තියෙනවද, (සංසාරේ) ඔන්න ඕවා තමයි කල්පනා කරන ප්‍රශ්න.

    ඉතින් සමහරු වැඩේ කරන්න කලින් හොරෙන්ම මෙයින් එකක් ගසනවා. ඒ ගැහුවට පස්සෙ මොනා කල්පනා කරත් මල්ලි බහින්නෙ නැති නිසා, හනුමා දර පලනවා වගේ වැඩේ කරගෙන යන්න තියෙන්නෙ එක දිගට.

    “හපෝ අපිටනම් මේවා ඕන්නෑ” කියලා කමෙන්ට් දන්නෙපා. මෙවා ඕන වෙන එකෙක් ඉන්නවනම්, නොදන්න එකෙක් ඉන්නවනම් දැනගන්න ලිව්වේ ඈ.

    (කෙල්ලන්ට වැදගත් වෙන ටැබ්ලට්ස් ගැන ඊලග පෝස්ටෙකේ දාන්නම් ඈ..)

    1. #Silagra 50mg / 100mg (මිල රු 30.00 / 50.00)

    මේක තමයි ලංකාවෙ ඔය සම්බන්දව වැඩිපුරම බොන පෙත්ත, ගොඩක් කොල්ලො ෆාමසියකට ගිහින් “මල්ලි 50හෙ පෙත්තක්, “පිරිමි පෙත්තක්.” කියලා කන ලගට කරලා හොරෙන් ඉල්ලන් එන පෙත්ත මේක තමයි,

    මම දන්න තරමින් ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා. මේ පෙත්තෙ තියෙන්නෙ sildenafil කියන රසායනිකය. මේ සිලාග්‍රා පෙත්ත ලංකාවෙ ටිකක් ප්‍රසිද්දයි අනිත් ඒවට වැඩිය. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ ප්‍රාණවත් වීම ඒ කියන්නෙ නගින එක පොඩ්ඩක් අඩු පිරිමි අයට , සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක, ඊට පස්සෙ ඉතින් කෙල්ලෙක්ගෙ කොන්ඩ ගහක් දැක්කත් සොකඩෙ ඉතින් යකඩෙ වගේ වෙනවා.

    මල්ලි නගින එක අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න ඉක්මනට අයෙ මල්ලිව නැගිට්ට ගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම මල්ලිව කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්.

    Side Effects – හෘදස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හයියෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පාවිච්චි කරපු අය නම් දන්නවා ඇති. මාත්‍රාව වැඩි උනොත් පට්ට අවුල්,

    මගේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති බාගයක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. පුරුදුකාරයෙක් නම් පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මිලි 100 පෙත්ත.

    ඒ වගේම මේක බීලා කෑම කෑවොත් බෙහෙත හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති බාගයක් ගහන්න. මේකත් එක්කම විටමින් ඊ කරලක් බිව්වොත් ඔලුව දෙදරණ වගේ එක අඩුවෙයි.

    ඊට පස්සෙ බය නැතුව කෙල්ල ලගට යන්න, වෙනද ක්ලච් බැලන්ස් කරන් ඕන තැන් ටොප් එකේම අදින්න පුලුවන් වෙයි.

    2. #Viagra (පෙත්තක මිල 600.00 – 2,800 දක්වා)

    නම ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ. ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් ඉතා ලොවපුරා ප්‍රසිද්දයි, ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි. බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් ඒවට වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන්. ඒ වගේම Vigra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ,

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න බඩු. ජෝන් ඇමතිතුමාලාවගේ පොරවල් ගහන්නෙ මේක තමා..

    3. #Enogra 50/100 mg (පෙත්තක මිල රු.30/50)

    කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, ඒත් මේකෙ පෙත්ත කටේ දියවෙනවා. ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉකමනට වැඩ කරනවා. කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එක. එතකොට විනාඩි 5 න් වැඩ කරනවා සාමන්‍යයන් විනාඩි 30 ක් යන එක. (හදිසිකාරයො)

    4. #Cupid 100mg (මිල රු 135/ 185)

    ලංකාවෙ කොල්ලො පාවිච්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක්.. මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම උන් මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ.

    5. #Silden 50 (මිල රු.125.00)

    මුස්ලිම් අය අතරේ ටිකක් ජනප්‍රියයි. හැම ෆාමසියෙම නෑ. අනික් ඒවා වගේමයි වෙනසක් නෑ. ගාන වැඩි ඇයිද කියලා නම් දන්නෑ.. සයිඩ් ඉෆෙක්ට්ස් පෙර සේමයි.

    6. #Megafil 10mg / 20 mg (පෙත්තක මිල රු.150/160)

    මේකත් පාවිච්චි කරන්නෙ අර වැඩේටම උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් tadalafil කියලා, මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා,

    ආයෙ maxdura / Tribull / vigomax වගේ මල්ටි විටමිනුත් තියෙනවා කොහොම උනත් අවසානෙට කියන්න තියෙන්නෙ මේවා බොනවනම්.. බිව්වට පස්සෙ අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලාවල් ගැන කතා මම අහලා තියෙනවා.අතුරු ප්‍රතිපල වගෙම දීර්ගකාලින ප්‍රතිපලත් තියෙනවා. ටැබා නැතුවම බැරි වෙනව වගේ වෙන්නත් පුලුවන්.

    මම කලේ දැනුවත් කිරිමක් විතරයි.
    කියෙව්වට තෑන්ක්ස්.


    මිගාර දෙව්වන්ගේ ලියමනක් උපුටාදැක්වීමකි.

  • ෆැන්ටසියට බයවෙන්න එපා!

    ෆැන්ටසියට බයවෙන්න එපා!

    Sexual fantasies කියන්නේ සැබෑ කරගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි කියන එකත් සැබෑ කරගන්න දේකට තව දුරටත් fantasy එකක් කියලා හදුන්වන්න බැරි බවත් තමයි sex fantasy එක ඇතුලේ මම දකින සුන්දරතම ලක්ෂණය.

    ගොඩක් වෙලාවට, බහුතරයක් ලංකාවෙ ජීවත් වෙන කාන්තාවන් තමන්ගේ පෙම්වතා ගෙන් හෝ ස්වාමියා ගෙන් පිට වෙන දෙයක් ගැන Fantasy එකක් තියෙන එක වැරද්දක් විදිහට සලකනවා, යම්කිසි වරදකාරි හැගීමක් විදිහට ඒක බාරගන්නවා.
    ඒක හරිම බොලද, අනුවණ සිතිවිල්ලක්.

    Fantasies තිබීම තුලින් සිද්ධ වෙන්නේ ලිංගික ජීවිතය තව තවත් ආස්වාදජනක වෙන එක ඇරෙන්න ඒ තුලින් නරකක් වෙයි කියලා හිතන්න හරිම අමාරුයි.

    අනිත් වැදගත්ම කාරණය තමයි, තමන් හිතන විදිහ හෝ තමන්ගේ personal thinking space කියන එකට කවුරුවත්ම නිසා බාධා ඇති කර ගන්න හොද නැති බව තේරුම් ගැනීම.

    Sexual fantasies ගැන ‘Journal of sexual medicine’ විසින් නිකුත් කරපු සමීක්ෂණයක පැහැදිලිව කියනවා ගොඩක් කාන්තාවන්ට තියෙන fantasies සැබෑ ජීවිතයේදි අත් හදා බලන්න බහුතරයක් වෙලාවට ඒ කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැති බව.

    එහි දත්ත අනුව ගොඩක් කාන්තාවන් ඉමහත් ලෙස submissive, එහෙමත් නැත්තන් ලිංගික ඇසුරකදි පිරිමියාට යටත් වෙන්න කැමැත්තක් දක්වන බව සදහන් කෙරෙනවා.

    තවත් එකක් තමයි සාමාන්‍යයෙන් sex නොකරන තැනක sex කරන එක, පොදු තැනක් වෙන්න පුලුවන්, එළිමහන් තැනක වෙන්න පුලුවන්, පූජනීය තැනක් වෙන්නත් පුලුවන්.

    ඒ සමීක්ෂණයේ මගේ හිත් ගත්ත ආකර්ශනීයම කාරණය තමයි, Sexual fantasy එකක් විදිහට submissive වෙන්න කැමති කාන්තාවන්ගේ ලිංගික ජීවිතය එහෙම නොවන කාන්තාවන්ගේ ලිංගික ජීවිතයට වඩා ඉතා තෘප්තිමත් බව. ඒකෙන් කියවෙන්නේ fantasies තමන්ගේ ලිංගික ජීවිතයට දෙන ධනාත්මක බලපෑම.

    තව එහි සදහන් කෙරෙනවා submissive වෙන එක වගේම, පිරිමියා විසින් තමන්ව masturbate කරන එක, පිරිමියාව masturbate කරන එක, ඔහුව oral sex මගින් සතුටු කරවන එක, තුන් දෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් එක්ක sex කරන එක වගේ දේවල්.

    බහුලවම කැමති fantasies වලට අමතරව තවත් කිහිපයක් එහි සදහන් කරනවා.

    කාන්තාවක් තවත් කාන්තාවන් දෙන්නෙක් සමග sex කරන එක, වෙනත් කාන්තාවන් දෙන්නෙක් sex කරන එක නරඹන එක, නන්නාඳුනන දෙන්නෙක් sex කරනවා නරඹන එක, නන්නාදුනන කෙනෙක් එක්ක sex කරන එක, විරුද්ධ ලිංගික ඇදුම් අදින එක, එකිනෙකාගේ ශරීර මත මුත්‍රා කරගන්න එක, සතෙක් සමග ලිංගිකව හැසිරීම වගේ ආසාවන්.

    මේ මොනයම් ආකාරයේ fantasies මනුස්සයෙක්ට තිබුනත්, වෙන කෙනෙක්ට හිරිහැරයක් නොවන තාක් ඒ හැම fantasy එකක්ම වලංගුයි සහ අහිංසකයි කියන නිගමනයට අපි හැමෝටම එන්න පුලුවන් වෙන්න ඕනේ.

    Fantasies තුලින් කියවෙන්නේ තමන්ගේ ලිංගික ජීවිතයේ නිර්මාණශීලීත්වයයි.. එය සුබවාදී නොවන්න හේතුවක් නැත්තේ ඒ නිසයි.


    ශේනි විජේසුරේන්ද්‍ර

  • සිංහල සිනමාවෙ සෙක්ස්

    සිංහල සිනමාවෙ සෙක්ස්

    ලංකාවෙ ෆිල්ම්වල කිස් කරන හැටි ගැන ඉන්ටරෙස්ටින් පෝස්ට් දෙකක් ෆේස්බුක් එකේ තිබුන. එකක් ගුනසිරි සිල්වාගෙ. අනික කපිල ගල්පිහිල්ලගෙ. ගුනසිරි කිස් එකට වුන දේ ගැන කියද්දි කපිල සෙක්ස්වලට වුන දේ කියනවා.

    හාද්දට බයේ මුහුණ – නහය – කට ඇතුල්ලූ කාලේ – ගුණසිරි සිල්වා

    සිංහල සිනමාවට හාද්ද – ලිංගිකත්වය තහනම් දෙයක්ව තිබුණු කාලේ ‘සිංහල සිනමාවට හාද්ද ඕනෑද? එපාද?’

    ‘නිරුවතක ඕනෑද’එපාද?’ ආදී වශයෙන් එදා සිනමා පත්‍ර පිටු පුරා සංවාද වලට ජනප්‍රිය මාතෘකා වූයේය.

    ඒ කාලේ හින්දි සිනමාවටද හාද්ද තහනම්ව පැවැති නිසා මල් ගස් වටේ දුව දුවා සිංදු කියු පෙම්වතුන් සිප ගන්නා අකාරය ‘සංකේතාත්මකව’ තිරයේ පෙන් වූයේ, මලක රොන් ගන්නා බඹරෙකි! නැතිනම් මලක් මත වසා සිටින සමනලයෙකි!

    ඒ බඹරාත් සමනලයාත් පසුව අපේ සිනමාවටද බෝ විය.

    එසේ හාද්දට බය වුණු කාලේ සිංහල සිනමාපටයක පළමුවෙන්ම දෙතොල් සිප ගැනීමක් රූ ගත කළේ සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව’ චිත්‍රපටය තුළින් බව කීවද එය සෘජුව ප්‍රදර්ශනය කෙරුණේ නැත. ඒ තරමටම අපේ ‘සුචරිතවාදීන්’ හාද්දට බය වූ නිසා සුගතපාල සෙනරත් යාපාටද එය සෘජුව පෙන්වීමට, කපන මණඩලයෙන් අවසර නොලැබෙන්නට ඇත. ඒ නිසා එම දෙතොල් සිප ගැනීම පෙන්වූයේ චලනය වන සෙවනැලි දෙකක බොඳවූ රූප රාමු කිහිපයකිනි. එසේ වුවද ඒ ගැන එකල සිනමා පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සුගතපාල සෙනරත් යාපා කීවේ තම චිත්‍රපටය රූපගත කිරීමෙදී එහි අවසාන දර්ශනය වෙනුවෙන් විජයත් ස්වර්ණාත් සිත් සේ දෙතොල් සිප ගත් බවකි.

    ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් අනතුරුව සෘජුව දෙතොල් සිප ගැනීමක් ඉදිරිපත් කළේ මණික්සන්ද්‍ර සාගර ය. ඒ, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කළු දිය දහර’ චිත්‍රපටයේ ඉන්දිරා ජොන්කොලොස් සහ රවීන්ද්‍ර රන්දෙණිය ගේ දෙතොල් සිප ගැනීමය.

    1970 දී ‘හන්තානේ කතාව’ මගින් හාදු තහනම කඩන්නට සුගතපාල ට කොන්දක් තිබුණද, ඉන් වසර කිහිපයකට පසු නිපදවූ ‘සමනල සිහින’ චිත්‍රපටයේ මෙබඳු සෘංගාරාත්මක පෙම් රැගුමකදීවත් දෙතොල් සිප ගන්නට ඉඩක් නැතිව විජයටත් ස්වර්ණාටත් මෙසේ නහය – මුහුණ – දෙතොල අතුල්ල අතුල්ලා ඉන්නට සිදුවූ සැටියි මේ!.

    සිංහල සිනමාවේ ලිංගික කර්තව්‍යය සැකෙවින් – කපිල ගල්පිහිල්ල

    1. ගැහැණියගේ ලිංගික එකතුවීමට ඇති අකමැත්ත. මෙය නානාප්‍රකාරයෙන් ඇය ඉදිරිපත් කරයි, කාන්තාවන් විසින් සෑම අවස්ථාවකදීම ලිංගික එකතුවීමක් ප්‍රතික්ෂේප කල යුතුය වැනි අදහසක් මින් හුවා දැක්වීමට උත්සාහා කරයි.සැමියා තම බිරිඳ සමග එක්වීමට උත්සාහා කලත් සිංහල සිනමාවේදී තත්ත්වය එසේමයි.

    2. ලිංගික කර්තව්‍යය. මුහුණ සිප ගැනීමේදී එයට ඉඩ නොදී විරැද්ධ අතට මුහුණ හරවයි. තොල් සිප ගැනීමකදී දත කට පූට්ටු වූ ආකාරයෙන් දෙතොල් තද කරගෙන එකිනෙකට හේත්තු කරයි. කාන්තාවගේ දණහිසේ සිට අඩියක් පමණ උඩටකලවා දිගේ අත ගෙනියයි. පියයුරු වල සිට නාබිය දක්වා සිපගන්නා බව පෙන්වීමට කට අතුල්ලගෙන යයි. ඉඳහිටක පියයුරැ මතුපිටින් බෝම්බයක් උඩින් අත තියන ආකාරයේ බියකින් අත තියයි කිසිම අවස්ථාවක ගැහැණිය පිරිමියාව සිප ගැනීමක් හෝ අඩුම තරමින් ඇඟට අතක්වත් නොතැබීමට වග බලාගයි.. ගැහැණිය බෙඩ් ෂීට් එක මිරිකාගෙන සිටිය යුතුය. ගැහැණිය කෙඳිරි ගාන අතරතුර පිරිමියා තදින් හුස්ම ගයි. ඇත්තේ එකම ලිංගික ඉරියව්වකි.

    3. ලිංගික කර්තව්‍යයෙන් පසු සීන් එක. ගැහැණිය ඇඬිය යුතුය. පිරිමියා ඇඳේ දිගාවී සිගරට් එකක් ගැසිය යුතුය.

  • හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    Exit Bag ෆිල්ම් එක ගැන පෝස්ටර් එක දැක්කට ඒක බලන එක පස්සට දදා හිටියෙ ජෝ දිසානායකගෙ කලින් වැඩේ moment මගේ බලාපොරොත්තු කඩකරපු හින්ද. හුදු රූපමය සෞන්දර්යයකට සහ තාක්ෂණික හැකියාවකින් ඔබ්බට කතාවක් හරියට කියාගන්න බැරි ගතියක් ඒකෙ තිබුන. ජීවිතේ අල්ලන නාඩියෙ දුරස් බවකුත් දැනුනා. ඒ හින්දා දෙවෙනි එක බලන්න ඒ තරං උනන්දුවක් ඇතිවුනේ නෑ.

    ඒත් ෂා , සමනලී මට මේ ෆිල්ම් එකේ ලින්ක් එක එව්වා.
    ‘මේක බලලා කතා කරන්න දෙයක් තියෙනවා කියල හිතනවා නම් විතරක් ලියන්න..’ එයා මට කිව්වා.

    මං ‘හා’ කිව්වා.

    Exit Bag මාව පුදුමයට පත් කළා. ඒ වගේ ෆිල්ම් එකක් ලංකාවේ නිර්මාණය වීම ගැන පවා මං ආඩම්බර වෙනවා. ඒක පරිපූර්ණ විශිෂ්ට නිර්මාණයක්.

    ෆිල්ම් එක තියෙන්නෙ රිවෙන්ජ් නැත්නම් පලිගැනීමක් ගැන.

    මෙතනින් එහා ටික කියෙව්වොත් ෆිල්ම් එක බලන ආතල් එක නැති වෙනවා. ඒ හින්දා ඒක බලලා තියෙන අය විතරක් මෙතනින් පහලට කියවන්න.

    ඒක අනිවාර්යයෙන්ම දෙපාරක් බලන්න ඕන ෆිල්ම් එකක්. පලවෙනි පාර කතාවෙ කෙලවරදි තේරුම් ගන්න දේවල් එක්ක ආපහු කතාවෙ මුල ඉඳන් ඩීටේල් කියවන්න ඕන. එතකොටයි ඒක පූර්ණව විඳින්න හම්බුවෙන්නෙ.

    මට Exit Bag කියන්නෙ රිවෙන්ජ් පෝර්න් එකක්.

    තමන්ගේ බිරිඳ තමන්ගේ නිවසේම වෙන කවුරුන් හෝ සමග රමණය කළ වීඩියෝවක් සැමියා අතේ තියෙනවා. ඒ සිදුවීම ගැන දරුණු වේදනාවකින් සහ පලිගැනීමේ ආස්වාදයකින් සැමියා පෙළෙනවා. තමන් දැඩිව ආදරය කළ ගැහැණිය සහ තමන්ව අමු අමුවේ පාවාදුන් ගැහැණිය (සම්මත මිම්ම අනුව) එකම ශරීරයක පිහිටීමේ දරාගත නොහැකි ට්‍රෝමැටික අත්දැකීමක ඔහු ආතුරව ඉන්නවා.

    මේ අතර ගැහැණියගේ සංකීර්ණ මනෝභාවයන් අතර චාරිකාවක අපිව අරන් යනවා. මේ සැමියා කතා කරන වල් ගැහැණිය අපිට චිත්‍රපටියෙ මුනගැහෙන්නෙ නෑ. අපි දකින්නෙ තමන් කළ වරද ගැනත් (ඒ ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ උමතු පිරිමියා කියන සෙක්ස් කතාව විතරයි), තමන් දැන් විඳින ජීවිතය ගැනත්, ඒ වගේම දැන් නරුමයෙක් බවට පත්ව සිටින පෙරදී තමන් බෙහෙවින් ආදරය කළ පෙම්වතා ගැනත් දුක්වෙන හැඟුම්බර ගැහැණියක්.

    කතාව පටන් ගන්නෙම ඇගේ ජීවිතය කොයිවගේද කියන එක අපිට සජීවීව විඳින්න පුළුවන් තරමෙ රූප රාමුවකින්. ඇගේ මුහුනට පොලිතින් බෑග් එකක් දාලා හුස්ම හිරකිරීමකින්. එතකොට අපි දකිනවා පූස් පැටියෙක් වගේ ගුලිවෙලා නිදන සැමියෙක්.

    කතාව එලිදරව් වෙන්නෙ ටිකෙන් ටික. අපි දකින ලෝකය වෙනස් වෙන්නෙ අපිට නොදැනීම. අන්තිමට බලද්දි අපි මේ බලන් ඉන්නෙ වධකාගාරයක් දිහා. ගැහැණියක් තමන්ගේ කැමැත්තෙන් කළ රමණයක වරදට පිරිමියෙක් විසින් ඇයව ජීවිතාන්තය දක්වා වධයට නියම කරලා තියෙනවා.

    ඒත් ෆිල්ම් එක යන්නෙ තියරි උඩ නෙමෙයි. ඒ වෙනුවට නිශ්චිත නැති, වරින්වර මාරුවෙන, හැඟීම් කුනාටු අතර ඉන්න මිනිස්සු දෙන්නෙක් අතර.

    සමනලීගේ සහ රන්දිකගෙ රංගනය අතිවිශිෂ්ටයි. ඒ සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශ කිරීම් මයිල් කෙලින් කරනසුලුයි. ඒ චරිතවලට කළ හැකි උපරිම සාධාරණයක් මේ නළුනිළි දෙපල විසින් කරනවා. ඕන නම් ලේයර්වලට ගලවමින් කතා කරන්න පුළුවන් තරමෙ බඩු ඒ චරිත තුල පේනවා.

    අනික කැමරාව. රූප රාමු අනායාසයෙන්ම භාවය විසින් ඉල්ලන තැන පිහිටනවා. බොරු ආයිත්තම් නෑ. වර්ණ හැඩතල, රාමුවේ ප්‍රමාණය, චලනය හැමදෙයක්ම කතාවේ කොටසක්.

    ෆිල්ම් එකේ සංගීතය පාවිච්චි වෙන්නෙ අවසාන දර්ශනයෙදි විතරයි . එතකල් අපි ඉන්නෙ හිස්කම සහ සද්ද බද්ද එක්ක. සංගීතය නිකංම රසකාරකයක් විදිහට පාවිච්චි වෙනවා වෙනුවට තවත් යටිපෙල වියමනක් හැටියට මෙහෙයවෙනවා. ඒකෙන් ෆිල්ම් එක විශාල වෙනවා.

    බිරිඳ ෆිල්ම් එකේ අන්තිමට විතරක් හිනාවෙනවා. එතෙක් ඇය සිරකොට ගසා ඇති බඳු කම්බි දැල ඈ වීණාවක් වගේ වයනවා.

    මේ ලිංගික ඊර්ෂ්‍යාව ගැන කතාව මාව කම්පනය කරපු ලංකාවේ රිවෙන්ජ් පෝර්න් එකක් එක්ක මාව ගැටගහනවා. ඒ පසුබිම් කතාවත් මේකමයි. පෙම්වතා විසින්ම ලීක් කරන්න ඇතැයි හිතන්න පුළුවන් ඒ පෝර්න් එක මාව තිගැස්මකට ලක් කළා. ඒ කවුරු හෝ හරි හෝ වැරදි කියන අදහසින් නෙමෙයි . ඒ පෝර්න් එක ඇතුලෙ මං දැකපු මිනිස් හැගීම් පොදිය හින්ද. ඒ චරිතවලට වෙන හානිය නොවේනම් ඒ ක්ලිප් එක ඉදිරියෙන් සහ පසුපසින් ටයිට්ල් කීපයක් දැමීමෙන් විශිෂ්ට කෙටි චිත්‍රපටයක් කරන්න තිබුන. ඒ තරම් සංකිර්ණ මිනිස් භාවයන් අපිට ලියලා රූගත කරලා අල්ලන්න බෑ කියලයි මට හිතුනෙ. Exit Bag ඒ අත්දැකීම ඊට වඩා ගැඹුරු සෞන්දර්යාත්මක අත්දැකීමකට ගෙනියනවා කියලයි මට දැනුනෙ.

    ප.ලි – සැමියා විසින් බිරිඳට පහරදෙන සීන් එක ගැන යමක් නොලියා අවසන් කිරීම අසාධාරණයක්. ඒක ලංකාවේ මං චිත්‍රපටයක මෙතෙක් දැකපු දරුණුම ප්‍රචණ්ඩ දර්ශනය වග කියන්න ඕන. ඒක බලන්න අමාරු තරම් රිදෙන්න කරලා තියෙනවා.


    චින්තන ධර්මදාස