අධිකරණ ඇමති අලිසබ්‍රි එයාගෙ අසභ්‍ය පණත ගැසට් කරලා තිබුන. ඒත් ඒකෙ තව සංශෝධන කරන්න තියෙනවා කියල ඒක ආපහු රිවර්ස් කරලත් තිබුන. ඊට පස්සෙ එයාගෙ ලේකම් කෙනෙක් කතා කරලා, නෑ එහෙම ලොකු වෙනස්කම් නෙමෙයි, ළඟ තබාගැනීම වරදක් නෙමෙයි කියන එක විතරක් සංශෝධනය කරනවා කියල කිව්වා. දැනට ගැසට් වෙච්ච පණතෙ සංශෝධනය කරන්න තියෙන්නෙ එච්චරද?
අසභ්‍ය දේ සම්බන්ධයෙන් නීති පනවනකොට මූලිකම ප්‍රශ්නෙ එන්නෙ අසභ්‍ය යනු කුමක්ද කියන එකයි.
මේ පණතෙ හැටියට යම් අසභ්‍ය ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ දෙයක් ගැන කතා කරනවා. ඒකට ලියවිල්ලක්, චිත්‍රයක්, මුද්‍රණයක්, සිතුවමක්, මුද්‍රිත ද්‍රව්‍යයක්, පිංතූරයක්, පෝස්ටරයක්, ලාංඡනයක්, ඡායාරූපයක්, සිනමාරූපී සේයාපටයක්, හෝ යම් මාධ්‍යයක් ඇති යම් දත්ත ඇතුලත් වෙනවා.
එතකොට ඒක අසභ්‍යයි කියල තීරණය කරන්නෙ යම් සාධාරණ තැනැත්තෙකුගේ මනස කෙලෙසීම හෝ දූෂණය කිරීම සිදුවෙනවා කියන එක මත. දැන් කවුද ඔය සාධාරණ මනුෂ්‍යයා කියල අපිට කල්පනා කරන්න වෙනවා. කවුරුන් හෝ ප්‍රකාශයට පත් කරන ඉහත කී කිසිවකින් හෝ කෙලෙසෙන, දූෂනය වෙන සිත් ඇති කිසි කෙනෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්ද? එහෙම කෙනෙක් නිශ්චිතවම අමු මෝඩයෙක් වෙන්න ඕන.
ජෝන් රෝල්ස් කියන ඇමරිකානු යුක්තිය පිළිබඳ දාර්ශනිකයා කියන විදිහට මේ සාධාරණ මනුෂ්‍යයා නිර්මාණය කරන්න නම් එයා තමන්ගේ සියලු සංස්කෘතික සමාජ දැනුමෙන් වියුක්ත වෙලා ඉන්න ඕන කියලයි. එයා ඒකට කියනවා ’වේල් ඔෆ් ඉග්නොරන්ස්’ කියල. තමන්ගේ සමාජ සංස්කෘතික පිහිටීම ගැන දැනුවත් කිසිම මනුෂ්‍යයෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්නෙ නෑ. ඒ අයට අගතීන් පිහිටනවා. එතකොට අලිසබ්‍රිගේ නීතිය අනුව අසභ්‍යයි කියන එක තීරණය කරන මනුස්සයා කොයි විදිහෙ අගතීන්වල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්ද?
මෙතනදි වැදගත් කාරණය වෙන්නෙ අසභ්‍ය නීති හරහා ආණ්ඩුව අපිට වහන්න හදන්නෙ මොනවද කියන එකයි. ඕනම සමාජයක දැනුමේ ආකෘතීන් නිර්මාණය කරන්නෙ නොදැනුවත් බව විසිනුයි. ඒ කියන්නෙ අපේ නොදන්නාකම හෝ මෝඩකම මතයි ලංකාවෙ දැනුම කියන එක ආකෘතිගත වෙලා තියෙන්නෙ. ඉතින් ඕනම ආණ්ඩුවක් උත්සාහ කරනවා ජනතාව යම් නොදැනුමක පවත්වාගන්න. ඒ නොදැනුම නැති වුනොත් ජනතාව ආණ්ඩුව විශ්වාස කරන එක නවතිනවා. හරියට ආගමක් වගේම.
මේ ආණ්ඩුව ගත්තොත් කොවිඩ් පැණියෙ ඉඳන්, කැළණියෙ නාගයා හරහා, දෙරණ හිරු පෙරටුකොටගෙන කොයිතරම් නොදැනුවත්කමක් උවමනාවෙන් පවත්වාගෙන යනවද කියන එක පැහැදිලි කාරණයක්. ඒ අතරෙ මැදගොඩ අබේතිස්ස, කිරිබත්‍ගොඩ ඥානානන්ද වගේ චරිත ලිංගික නොදැනුවත්කමක මිනිස්සුන්ව ගිල්ලලා තියාගන්නත් අරගල කරනවා. අලිසබ්‍රිගෙ පණත උදව් වෙන්නෙ මේ අබේතිස්සලාගේ අන්තගාමී ප්‍රතිපදාවටයි. මිනිස්සුන්ව ලිංගික කාරණාවලින් ඈත් කිරීම හරහා අතෘප්තිය පවත්වාගැනීම. ඒ අතෘප්තිය සදාචාර, ආගමික, ජාතිවාදී බෝම්බයක් ලෙස ඕනම වෙලාවක පාවිච්චියට ගැනීම. සියලු බොරු පවත්වාගෙන යන්න නම් ලිංගිකව පසුගාමී සමාජයක් පවත්වාගෙන යායුතු බව ආණ්ඩුව දන්නවා.
මේ වෙද්දි අපි අන්තර්ජාලය හරහා ලෝකයත් එක්ක නිරන්තර සංස්කෘතික සම්බන්ධයකයි ඉන්නෙ. භූගෝලීය වශයෙන් පිහිටීම වෙනස් වුනත් සංස්කෘතික අතින් අපි එක කලාපයක් බෙදාහදා ගන්නවා. පෝර්න් සහ අසභ්‍යයි කියන කැටගරිය අයිති වෙන්නෙත් ඒ කලාපයට. ලංකාව හැම වසරකම නොවැරදීම ජයග්‍රහණය කරන එක තැනක් තමයි වැඩියෙන්ම සෙක්ස් කියන වචනය සර්ච් කිරීම. එතකොට සබ්‍රි හදන්නෙ මේ හැම මනුස්සයෙක්ම එක මොහොතකින් වරදකාරයෙක් කරන්න. ඇතුලට ගන්න ඕන කාවද කියල තීරණය කරන්න ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට පුළුවන්.
අපේ සංස්කෘතික නිර්ණායක පදනම් විය යුත්තෙ අපි ඇසුරු කරන ලෝකයට සාපේක්ෂවයි. අරාබිකරයේ දෘෂ්ටියෙන් සංස්කෘතිය දිහා බලනවට වඩා විවෘත බාරගන්නා බටහිර දැක්මකින් ඒ දිහා බැලීමයි මානවවාදී වෙන්නෙ. එහෙම නැත්තං තලේබාන් අන්තගාමී පීඩාකාරී සංස්කෘතික පාලනයක් පැත්තටයි අපි අඩිය තියන්නෙ.
මේ අසභ්‍ය ද්‍රව්‍ය, වස්තු හෝ දේවල් යම්කිසි කලාත්මක, විද්‍යාත්මක, අධ්‍යාපනික, සමාජ ප්‍රගමනයට දායක වන තත්වයක් දරනවා නම් අසභ්‍යකරණයෙන් නිදහස ලබනවා කියලත් කියනවා. ඔය කියන වටිනාකම් කිසිවක් අඩංගු නොවන කිසිම ප්‍රකාශනයක් ලෝකෙ තියෙන්න පුළුවන්ද? උදා විදිහට පහන්තුඩාවෙ වීඩියෝව කලාත්මක නෑ කියන්නෙ කොහොමද? ඒ තරම් පිරිසක් ඒක නැරඹීම හරහා සමාජයට යම් තෘප්තියක් එයින් අත්පත් කර දුන්නෙ නැද්ද? ලිංගික අතෘප්තිය සමනය කිරීම සමාජ ප්‍රගමනයට දායක වීමක් නෙමෙයිද? ඒ වීඩියෝව හරහා පහන්තුඩාවට සංචාරක ආකර්ශනය වැඩිවීමක් සිද්ද වුනේ නැද්ද?
පෝර්න් නිසා නෙමෙයි නම් ලංකාවෙ පවුල් ජීවිත බොහොමයක් තාමත් ගෙවෙන්නෙ මළකඳන් වගේ. ගෑණු බ්ලෝජොබ් එකක් දෙන්න පවා ඉගෙන ගත්තෙ පෝර්න්වලින්. එහෙම ලිංගික ආස්වාදය විඳීම ඉස්කෝලවල උගන්නන්නෙ නෑ. ඒක උත්පත්තියෙන් එන ප්‍රතිභාවක් නෙමෙයි. කාමසූත්‍රය කියන්නෙ අධ්‍යාපනික ග්‍රන්ථයක් සබ්‍රි.
ඉතිං මේ කලාත්මක, විද්‍යාත්මක, සමාජ ප්‍රගමනාත්මක වටිනාකම් තීරණය කිරීමේ මහා සංස්කෘතික සංවාදයක් මේ වගේ නඩුවකදි පැන නගිනවාද? ඒවා තීරණය කරන්නෙ කවුද? අර කලින් සඳහන් කළ යුතෝපියානු සාධාරණ මිනිස්සුද?
බිහිසුණුම කාරණය මේ වරද වෙනුවෙන් අවුරුදු දහයක් දක්වා සිරදඩුවම් පැනවීමට යෝජනා කිරීමයි. ප්‍රකාශනයක් කියන්නෙ මූලිකවම නිර්මාණයක්. යමක් ප්‍රතිනිර්මාණය කිරීම කියන මූලික මොහොතේම එතන කලාව බිහිවෙනවා. ඒ කලාව අවරගණයේද උසස් ගණයේද කියන එක සංවාදයක්. කවර හෝ ප්‍රතිනිර්මාණයක් කිරීම අවුරුදු දහයක් හිරේ යන වරදක් බවට පත්කරනවා කියන්නෙ ඒ සමාජය සම්පූර්ණයෙන්ම ප්‍රකාශනයේ නිදහස අවහිර කරනවා.
වරද තියෙන්නෙ එවන් ප්‍රකාශනයක් හරහා යම් කෙනෙකුගේ ජීවිතයකට බලපෑමක් ඇතිවෙනවද කියන එකයි. ළමා, කාන්තා, හෝ සත්ත්ව අපහරණයක්, අපයෝජනයක් සිදුවෙලා තියෙනවද කියන එකයි. ඒ වරදට දඩුවම් කරන්න දැන් තියෙන නීති හොඳටම ඇති. ඒ නීති විධිමත්ව ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නෙ. බොරු අණපනත් ගෙනත් රටේ සංස්කෘතික කතිකාවන් අභියෝග කරන මිනිස්සු හිරේ දාන්න සැලසුම් හදන එක නෙමෙයි.
අනවශ්‍ය කාරණයකට, අනවශ්‍ය අනපණත් ගේනවා කියන්නෙම පීඩාව ක්‍රියාත්මක කරනවා කියන එකයි. රටේ ජනතාවගෙන් අසභ්‍ය පණතක් රජයෙන් ඉල්ලා සිටියෙ කවුද? මැදගොඩ අබේතිස්ස සහ ඩෑන් ප්‍රියසාද් කියන දෙන්නයි. ඒ දෙන්නෙකුගේ ඉල්ලීම වෙනුවෙන් පණතක් ගේන ආණ්ඩුව ඇත්තටම මේ හදන්නෙ ජනතාව මොකකින් ආරක්ෂා කරන්නද? ගෙවල්වල ගෑස් බෝම්බ පුපුරුවන ආණ්ඩුවක් ජනතාවගේ හිත් දූෂණය වෙයි කියල හිතලා අනපණත් ගේන එක කොයිතරම් අසභ්‍ය විහිලුවක්ද නේද?