මිනිසුන්ට ලිංගිකත්වය ගැන තියෙන්නෙ අමුතු දෙබිඩි සිතුවිල්ලක්‌. ඔවුන්ට එක්කො එය නොවැදගත් දෙයක්. නැත්තන් ඔවුන් තුළ මහා භීතියක් ඇති කරන තරමට වැදගත් දෙයක්. තමන්ගෙ දැක්මේ වෙනසක් ඇති කර ගත්තොත් ඔබට මේ දෙකේ මැද බිමක් හොයා ගන්න හැකි වේවි. ලිංගිකත්වය නිකන්ම නිකන් උත්තේජනයක් ලෙස හිතුවොත් එය කාලයත් එක්ක වයසට යනවා, පරණ වෙනවා, නීරස වෙනවා කියල ඔබට හිතේවි. ඒත් එය අපූරු ට්‍රාන්ස් තත්වයක්, දැහැන්ගත තත්වයක් ලෙස සැලකුවොත් ඔබට එය භුක්ති විඳින්න අලුත් මං පෙත් හොයා යන්න හැකි වේවි. ලිංගිකත්වය ඇත්තෙන්ම කුතුහලය පදනම් කර ගත්ත අමුතු දෙයක් බව ඔබට වැටහේවි. ඒ අමුත්ත අගය කරන්න ඔබ ඉගෙන ගනීවි.

මේ කියන්න යන්නෙ රමණයේ භාවනාව ගැන. ඒ කියන්නෙ සෙක්ස් සරල භාවනාවක් විදිහට අත් විඳීම ගැන. ස්නායු විද්‍යාඥයෙක් වන Adam Safron ට අනුව, ලිංගික රිද්මයන්, ලිංගික සහකරුවන්ගේ ශරීර, අත් සහ ඇඟිලිවල චලන, ස්පර්ශයන් සමාන රිද්මයකට ගැනීමෙන් (entrainment) මොළයේ රිද්මයන් හා සම්බන්ධ කිරීමට හැකිවෙනවා . එයින් අවධානය එක තැනකට ගෙන එන අතර තෘප්තිමත්, ධ්‍යාන සමාධිගත තත්වයක් දක්වා මෙය ගෙන යා හැකි බව ඔහු කියනවා. එහි තනිකර තිබෙන්නේ රිද්මය බව Safron පවසනවා. ඔබේ මොළයේ රිද්මය බාහිර උත්තේජකයක් සමඟ සින්ක් වන විට, ඔබට ඒ උත්තේජකය සමග ඒකාත්මික විය හැකි බව ඔහු කියනවා. ඒ වගේම ඔබ වැඩි වැඩියෙන් එම උත්තේජකය සමග සම්බන්ධ වෙන තරමට, ඔබට ඒ රිද්මයන් හා සමපාත වීම පහසු වෙනවා.

සංගීතය වගේ රිද්මයානුකූල අත්දැකීම් අපට වඩා කිට්ටුවෙන් දැනෙන්නෙ ඇයි කියලා මෙයින් පැහැදිලි කළ හැකි බව ඔහු පවසනවා. එතනදී සංගීතය ගැන අවධානය විසින් ඔබේ වෙනත් දේවල් කෙරේ තිබෙන අවධානය සම්පූර්ණයෙන් සොරාගන්නවා.

මිනිසුන් මෙම අත්දැකීම් වලට කැමති වෙන්නේ ඔවුන් දඩි අවධානයකින් ඔවුන්ට ඉතා ප්‍රසන්න දෙයක් කරමින් ඉන්න නිසා. එහි දැහැන්ගත විය හැකි නිසා. රැකියා, බිල්, බදු හෝ රෙදි සේදීම වගේ අමිහිරි දේවල් ගැන සිතීම ඒ වෙලාවට අත් හරින්න පුළුවන් නිසා.

“මම කියන්නේ එය භාවනාවක් වගේ දෙයක් කියලා.” Safron කියනවා. එමගින් භාවනාව ඔබේ නිදන කාමරයට ගෙන එනවා. “ලිංගිකත්වය භාවනා ක්‍රමයක් ලෙස අත්හදා බැලීම ඇත්තෙන්ම හොඳ අදහසක් විය හැකියි.” ඔහු කියනවා. භාවනාව වගේම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගන්නවා වගේම සෙක්ස් කියන්නෙත් කාලයත් සමඟ ඔබ වැඩිදියුණු කරන දෙයක්. ඔබ ඒ අත්දැකීමට වඩා හොඳින් සමවදින්න සහ අවධානය වෙනතකට යොමු නොකර ඉන්න ඉගෙන ගන්නවා.

ලිංගිකත්වයත් එහෙම පුහුණුවක් ලෙස හිතන්න (කාර්ය සාධනයක් නෙවේ), සමහර විට ඔබට රිලැක්ස් වෙන්න පුළුවන් වේවි. භාවනාවෙන් අදහස් කරන්නේ ඒ මොහොතේ සිටීම: සිතුවිලි ඇති වුවහොත්, ඔබ ඒවා කෙටි මොහොතකට පිළිඅරන් ඒවාට යන්න දෙනවා. ඔබ ආතතියෙන් නොසිටින නිසා ඔබ ඉන්නෙ හොඳ මානසිකත්වයක. ඒ මොහොතෙ ඔබ ඇඳ මත සිටීම, ඔබේ හුස්ම, ඔබේ සම මත ඇගේ සම ගැටෙන ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කිරීම වගේ දේවල් හොඳ හැඟීමක් ඇති කරන අතරම, කාංසාව සහ ලිංගික දුර්වලතා ඇති කරන මානසික තත්ව දුරු කරන්නත් උදව් වෙනවා. මේ සියල්ලට ලිංගික අත්දැකීමක් ඉතා ප්‍රබල මට්ටමකට වැඩිදියුණු කළ හැකියි. ඔබ දෙදෙනාගේ රිද්මයට සමපාත වන විට, ඔබට වඩාත් පහසුවෙන් අවධානවත් විය හැකියි. එමඟින් සතුට තුලට ඔබව නිදහස් කරනවා. මෙය ලිංගිකත්වය වඩාත් විනෝදජනක කරනවා පමණක් නෙමෙයි ඔබේ සහකරු සමඟ ඔබේ සම්බන්ධතාවයත් ගැඹුරු කරනවා. පුද්ගලයන් දෙදෙනෙකු එකම රිද්මයකට සමපාත වන්නේ නම්, ඔවුන් ස්නායු පද්ධති හරහා සින්ක්‍රොනයිස් වන බව Safron පවසනවා. එමඟින් ඔබේ සහකරු සමඟ සන්නිවේදනය පරාසය විශාල කරනවා.

කාමරයක දෙපැත්තේ ඉඳන් කරන eye contact තුලින් එකිනෙකාගේ මනස ගැන ආසන්න කියවීමක් දක්වා යන පමණට දියුණු කරන්න පුළුවන්. ඔබට මෙය හමුදාවක් එකට ගමන් කරන මාර්ච් එකකදි, නැටුමක සහකරුවන් අතර සහ යුගල වාදනය කරන සංගීතඥයින් තුළ දැක ගන්න පුළුවන්. ඔවුන් සියලු දෙනාම මෙම සමීපත්වය (intimacy) වර්ධනය කරනවා. Safron කියනවා. යාන්ත්‍රණයක් විදිහට එහිදී ඔවුන්ගේ පද්ධති synchronize වෙනවා කියල.

මෙය රිද්මයේ ඇති ලිංගික වැදගත්කම අවධාරණය කරනවා. එබැවින් කනිලින්ගස් අතරතුර ඔබේ දිවෙන් ප්‍රසන්න රිද්මයක් ස්ථාපිත කිරීම සහ ඔබේ සහකරු කෙරෙහි අවධානයෙන් සිටීම වඩාත් ප්‍රතිඵලදායක බව ඔහු කියනවා. එය ලිංගිකත්වය හරහා විඥානයේ වෙනස් තලයකට ඔබව ගෙන යනවා. මේ කාලය පුරාම, ඔබ සිතා සිටින්න ඇත්තේ සෙක්ස් කියන්නෙ සුරතාන්තය (orgasm) විතරක්ම බව. නෑ සෙක්ස් කියන්නෙ ඒ කරා යන ගමනයි.

Adam Safron වගේම සුරතාන්තය පිළිබඳ පර්යේෂණ අධ්‍යයන සිදු කරන Jerilyn Covert තම අත්දැකීමක් ඔස්සේ මෙය පැහැදිළි කරනවා. සුරාන්තය පිළිබඳ පර්යේෂණ ලෝකයට මං ගිය ගමන මගේ මානසිකත්වය වෙනස් කළා පමණක් නෙවෙයි මගේ ජීවිතයේ හොඳම ලිංගික අත්දැකීම් ලබන්න හේතු වුණා. මම LA සිට ආපසු පැමිණි පසු එක් රාත්‍රියක මගේ සැමියා සමග ලිංගිකව එක් වුණා. මම ඔහුව සිපගන්න පටන් ගත්තා. අපි බොහෝ වේලාවක් සිප ගත්තා. වෙන කවරදාටත් වඩා දිගු වෙලාවක්. මට පුදුමයට කරුණ නම්, ඔහුත් එයට ඉතාම කැමැත්තෙන්ම සම්බන්ධ වීමයි. අතීතයේ අපි සිප ගැනීමට ඕනවට වැඩි කාලයක් ගත කරනවාදැයි මං කනස්සල්ලට පත් වුණ වාර තිබුණා. දැන් ඒ බිය පදනම් විරහිත බව මං තේරුම් ගත්තා. තෘප්තිය, ප්‍රීතිය යනු එහි ගිලී යා යුතු දෙයක් මිස රේස් එකක් දිවීමක් නෙමෙ‍යි. මම මේ මොහොත සරලව භුක්ති විඳීමටත්, මගේ අපේක්ෂාවන් නිශ්ශබ්ද කිරීමටත්, මගේ සැමියාගේ අපේක්ෂාවන් ගැන පූර්ව නිගමන නොකිරීමටත් තීරණය කරා. එය ඉතා මන්දගාමීව ගොඩනැගුණු අත්දැකීමක්. එක පාරට අමුතු සිද්ධියක් වුණා. අපි දෙදෙනා පමණක් ඉතුරු වෙලා පිටස්තර ලෝකය මැකී ගියා. මං ගොඩක් රිලැක්ස් වුණා. හරියට සමාධියකට ඇතුල් වුණා වගේ. ඔහුටත් එහෙමම දැනුණ බව මට තේරුණා. අපි ඒකත්වයකට ඇතුල් වුණා. එය ජීවිතය වෙනස් කරනසුළු ලිංගික අත්දැකීමක් වුණා. මං ඒ හැම මොහොතක්ම විඳ ගත්තා. එය අන්තිම තත්පර විස්සේ සුරතාන්තය පමණක් වැදගත් වෙන අත්දැකීමක් නෙමෙයි.

දැන් අපි සෙක්ස් නොකරන අවස්ථා වන් පවා ගොඩක් අනුරාගීයි. පුංචි හාදු හා ස්පර්ශ වල පවා ලොකු අගයක් දැනෙනවා. දැන් වෙනදාට වඩා අපි අතර සෙක්ස් සිද්ද වෙන නිසා අත්හදා බැලීම් කරන්න ලැබෙන අවස්ථාද වැඩියි. අපි ලිංගික උන්මත්තකයො වෙලා නෙවෙයි. අපිට තාමත් රැකියා කරන්න වෙනවා එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් අපි දැන් වඩාත් සමීපයි.
“අපි වැඩිපුර සෙක්ස් කරන්න ගත්ත දා ඉඳන් මං ඔයාට ගොඩක් ආදරෙයි වගේ දැනෙනවා.”

මගේ සැමියා එසේ කියද්දි ඒක ඇත්ත බව මං දන්නවා. Jerilyn Covert පර්යේෂණවේදිනිය පවසනවා.


මාලි හෙට්ටිආරච්චි ලියයි.