2002දි ඩෙරිඩා එක්ක කරපු ඩොකියුමෙන්ටි්‍රයක ඒකෙ ඩිරෙක්ටර් ඇමි සීරින්ග් කොෆ්මන් මේ දාර්ශනිකයගෙන් අහනවා ප්‍රශ්නයක්.

කාන්ට්, හයිඩගර්, හෝ හේගල් ගැන කරන ෆිල්ම් එකක ඔයා දකින්නම ආස මොනවද?
ඩෙරීඩා ටිකක් වෙලා ගන්නවා උත්තර දෙන්න. ඊට පස්සෙ එයා කියනවා,
ඒ ගොල්ලොන්ගෙ ලිංගික ජීවිතය.

කොෆ්මන් ආපහු ප්‍රශ්න කරනවා.

ඒ ඇයි?

ඩෙරීඩා කියනවා මේ දාර්ශනිකයො කවදාවත් ඒ ගොල්ලොන්ගෙ දර්ශනය ඇතුලෙ ඒ අයගෙ ලිංගික ජීවිතය ගැන කතා කරන්නෙ නෑ. ඒ ගොල්ලො පෙනී ඉන්නෙ හරියට ඒසෙක්ෂුවල් වගේ. ඒත් ඩෙරීඩා කල්පනා කරනවා ඒ අයට සහ ඒ අයගෙ ලිවීම්වලට ඒ අය ආදරේ කරපු අය, සෙක්ස් කරපු අයට වඩා වැදගත් වෙන්නෙ මොනවද කියල. දර්ශනයට ආදරය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර විට දර්ශනය පටන්ගන්න ඇත්තෙම ඒ ප්‍රශ්නෙත් එක්ක.
ආදරය කියන්නෙ මොකක්ද?

ඒත් ඩෙරීඩා කියන්නෙ තනි තනි දාර්ශනිකයො ඒ අයගෙ ආදර ජීවිත ගැන ඒ අයගෙ දාර්ශනික සටහන් අතර කතා කරන්නෙ හරිම අඩුවෙන් කියල. දර්ශනය කියන්නෙ තාර්කික සහ විශ්වීය සිතීම් පද්ධතියක් ඇතුලෙ කරන අපුද්ගල ගොඩනැංවීමක්.   සාම්ප්‍රදායිකව කෙනෙකුගෙ ජීවිතේ ඇතුලෙන් එන දේට දර්ශනය තුල ඉඩක් දිය යුතු නෑ කියලයි විශ්වාස කරන්නෙ. ඒත් දාර්ශනික ඉතිහාසය බලද්දි කෙනෙකුට තේරෙනවා මේ දාර්ශනිකයන්ට තමන්ගෙ දර්ශනයට බලපාපු ලිංගිකත්වය ගැන කොයිතරම් දේවල් කියන්න තියෙන්න ඇද්ද කියල.

ප්ලේටොගේ සහ ඇරිස්ටෝටල්ගෙ ලියවිලි ග්‍රීක ආදරය ගැන කතාවලින් පිරිලා තියෙනවා. මේ ලියලා තියෙන චරිත අතර සම්බන්ධතා හැමතිස්සෙම ප්ලෙටොනික වර්ගයේ (පරමාදර්ශී) ඒවා නෙමෙයි. දේවධාර්මික දාර්ශනිකයෙක් වුනු ශාන්ත ඔගස්ටයින් ලිවීමේදී පාපොච්චාරන ශෛලියක් දර්ශනයට හඳුන්වලා දෙනවා. එයා බ්‍රහ්මචාරී වෙන්න කලින් බොහෝ කාන්තාවන්ගෙ පෙම්වතා වුනු යුගය ගැන ලියනවා.

දෙවියනි,මට බ්‍රහ්මචර්යාව දෙන්න. හැබැයි දැන්ම නෙමෙයි.. එයා කියනවා.මධ්‍යතන බුද්ධිමතෙක් වුනු පීටර් අබෙලාර්ඩ් සහ එයාගෙ පෙම්වතා වුනු දාර්ශනික අලොයිස් ඩාජෙන්ටුඅයිල්ගෙ කතාව බොහොම ප්‍රසිද්ධ එකක්. ඒ ගොල්ලොන්ගෙ ආදර කවි බටහිර ලේඛන සාහිත්‍යයේ බොහොම වැදගත් විදිහට ගන්නවා. ඇබෙලාර්ඩ්ගෙ ආදර කවි එයාගෙ දීර්ඝ දාර්ශනික ලිවීම් තරමටම සම තත්වයෙන් ගන්න පුළුවන්.

ජෝ ජාක් රූසො එයාගෙ ‘ජුලි ඕර් ද නිව් හෙලොයිස්’ කියන ලිපිමය නවකතාවෙ මේ ගැන සඳහන් කරනවා. රූසොගෙ ගොඩක් දේවල් වගේම මේ නවකතාවත් ප්‍රබන්ධය සහ දාර්ශනික අදහස් එකතු වුනු කෘතියක්. එයාගෙම පාපොච්චාරන වලදි රූසො අපිට කියනවා එයාගෙ ආදරයන් සහ විරහවන් ගැන. මැඩම් ඩි වොරන්ස්ගෙ ගෙදර අයට සහ එයාගෙ පෙම්වතාට රූසො සේවකයෙක් විදිහට වැඩකරපු හැටි එයා කියනවා. රූසොට වගේම  එයාගෙන් පස්සෙ එන කාන්ට්ටත් ස්වයං වින්දනය ගැන කියන්න පුදුම තරම් දේවල් තිබුන. කාන්ට් එයාගෙ දර්ශනය ඇතුලෙ විෂම ලිංගික විවාහයේ අයිතීන් ගැන දීර්ඝ වශයෙන් ලියනවා වගේම ස්වයං ප්‍රේමයේ සදාචාරාත්මක නොවන පැත්ත ගැන දැඩි විදිහට කතා කරනවා.

තවත් හොඳ උදාහරණයක් තමයි සොරෙන් කියකගාර්ඩ්ගෙ ‘සෙඩියුසර්ස් ඩයරි’ කියන පොත. ඒකෙ තියෙන්නෙ තරුණ කෙල්ලෙකුගෙ අනුරාගී පෙළඹවීම් ගැන. සරලවම එතන කියවෙන්නෙ කියකගාර්ඩ් රෙජින් ඔල්සෙන් එක්ක තිබුනු සම්බන්ධතාවය.

ෂොපෙන්හවර් ගැහැනිය පිළිබඳව දීර්ඝ විශ්ලේෂනයක් ලියනවා. හැබැයි මේක කොහෙත්ම පිරිමි දාර්ශනිකයෙකුගෙ තමන්ගෙ ශෘස්ත්‍රීය ස්වාධීනත්වය, පවුල් සංතුෂ්ටිය ගැන ආශාව සහ දහඅටවන සියවසේ තිබුන ස්ත්‍රිය පහත් කොට දකින දෘෂ්ටිය අතර දෝලනයකට වැඩි දුරක් යන්නෙ නෑ.

හේගල්ට තිබුන ගොඩක් දේවල් කියන්න. ක්‍රිස්තියානි පවුල, විවාහය සහ ලිංගිකත්වය ගැන දාර්ශනිකව සහ වාරණමය විදිහට. ඒවා හරියට එයා ලියපුවා නෙමෙයි වගේ. මේවා එයා එයාගෙ සහෝදරියට සහ අනෙක් අයට ලියන ලියුම්වලට සීමා කළා. මේ සමහරක් ලියුම් එයාගෙ දරුවන් විසින් පුළුස්සා දැම්මා. ඒ ගොල්ලො කිව්වෙ හේගල් එයාගෙ නිවෙස්හිමියාගෙ බිරිඳගේ නීත්‍යානුකූල නොවන දරුවාට තාත්තා වීම ගැන වැරදි වටහාගැනීමක් ඇති කරගනීවී කියල ඒවා පිච්චුවා කියලයි.

විසිවෙනි සියවසේදී හයිඩගර් එයාගෙ දර්ශනයට ගේනවා ‘කෙයාර්’ නැත්තං පරිස්සම කියල තේමාවක්. ඒත් එයාගෙ ශිෂ්‍යාවක් වුනු හැනා ඇරන්ඩ්ට් එක්ක තිබුනු සම්බන්ධය ගැන කිසි දෙයක් කියන්නෙ නෑ. ඒකත් නවකතාවක් විදිහට ප්‍රකාශයට පත්වෙන තවත් දාර්ශනික ආදර සම්බන්ධයක් විතරයි.  අයිරනියක් වෙන්නෙ ඇරන්ඩ්ට් හයිඩගර් යටතේ ලියන තිසීසය ලියන්නෙ ශාන්ත ඔගස්ටයින් සහ ආදරය ගැන.

ෂන් පෝල් සාත්‍ර සහ සිමොන් ඩි බොවාට ගොඩක් දේවල් තියෙනවා ඒ දෙන්නාගෙ ආදරය සහ ඒ දෙන්නා අනිත් අය එක්ක පවත්වපු ආදර සම්බන්දතා ගැන කියන්න. කැමුගෙ වගේම ඒ වගේ දේවලුත් එලියට එන්නෙ ප්‍රබන්ධ ඇතුලෙන්.  රෝලන්ඩ් බාත්ගෙ මාර ප්‍රසිද්ධ ආදරවන්තයෙකුගෙ කතිකාව, ‘අ ලවර්ස් ඩිස්කෝස්’ කියන ප්‍රකාශනය ඇත්තටම එයාගෙ මරණයෙන් පස්සෙ ප්‍රසිද්ධ වුනු බාත් ලිංගික සම්බන්ධතා පවත්වපු අය එක්ක පෙලට තියාගෙන කියවිය යුතු එකක්.

මිෂෙල් ෆුකො  ලිංගිකත්වය පිළිබඳ විශිෂ්ටතම දාර්ශනිකයා  වෙළුම් තුනක් ලියනවා ලිංගිකත්වයේ ඉතිහාසය ගැන. ඒ  1984 එයා ඒඩ්ස් හැදිලා මැරෙන්න කලින්. ඩෙරීඩා එයාගෙ ඇත්ත ජීවිතේ ආශාවන් සහ ලිංගික අත්දැකීම් ‘ද පෝස්ට් කාර්ඩ්’ වගේ දාර්ශනික ලියමනක කේන්ද්‍රය කර ගත්තට ෆුකො කිසි දවසක එයාගෙ නිදන කාමරයේ දර්ශනය (මාකි ඩි සාද්ගෙ වදනක්) එයාගෙ පොත්වලට ගේන්නෙ නෑ.

ඉතිහාසය පුරාම මේ විදිහට දාර්ශනිකයන්ගෙ සිතීමට ඒ අයගෙ ලිංගික ජීවිතය බලපාපු හැටි හොයන්න අසීරු නෑ. වැදගත් ප්‍රශ්නය වෙන්නෙ මේ අවස්ථා කොහොමද ඒ අයගෙ දාර්ශනික කෘති තේරුම් ගන්න උදව් වෙන්නෙ කියන එක. මං හිතන්නෙ නෑ නියැල් ෆර්ගියුසන් කියන ඉතිහාසවේදියා මේනර්ඩ් කීන්ස් ගැන කියනවා වගේ ‘ලිංගිකත්වය සිතීමේ සියල්ල පැහැදිලි කරයි’ කියන කාරණය මෙතනදි ඒ තරම් සුදුසුයි කියල. ඒක තරමක ඌනිත කියවීමක්. ඒත් අපිට දකින්න පුළුවන් කියකගාර්ඩ්, ඩිබොවා, හෝ ඩෙරීඩා වගේ දාර්ශනිකයන්ගෙ ලිංගිකත්වය සම්බන්ධ සිද්ධීන් ඒ ගොල්ලොන්ගෙ දාර්ශනික තේමාවන්ගෙ මායිමේ අත්හැර දැමූ සාහිත්‍යයක ස්වරූපයෙන් පවතිනවා කියන එක.

සාහිත්‍ය විසින් දර්ශනය නිරුවත් කරනවා. දර්ශනය වෙන්නෙ මේකයි නොවෙන්නෙ මේකයි වශයෙන් පනවා ගන්නා  සීමාවන් ප්‍රතික්‍ෂේප කරනවා. දාර්ශනිකයන්ගෙ ලිංගික ජීවිත කියන්නෙ දර්ශනයෙ අවසර ලත් සහ අවසර නොලත් කියන බෙදීම සලකුනු කරන තැනක් වීම අහම්බයක් නෙමෙයි. දර්ශනය යනු කුමක්ද කියන එක එන්නෙ මේ බැහැර කිරීමත් එක්ක.
මං හිතන්නෙ නෑ ලේඛකයාගෙ ලිංගික ජීවිතය දැනගැනීමෙන් මේකට උත්තරයක් ලැබෙනවා කියල. ඒත් ඒකෙන් අපිට පුළුවන් වෙනවා මේ ප්‍රශ්නෙ නැවත නැවත අහන්න. ඒ හරහා දර්ශනයේ ප්‍රතිවිරෝධතා සහ සංකීර්ණතා තහවුරු කරමින් අදට ගැලපෙන විදිහට දර්ශනය කියවාගන්න.

මාර්ටින් මැකිලන්ගේ සටහනක් ඇසුරෙන්.