දෙවෙනි කොටස
තව උදාහරනයක් විදිහට අයිරිස් මර්ඩොක්ව කියන්න පුළුවන්. මර්ඩොක් මුලින් දාර්ශනිකාවක් වෙන්න පුහුණු වුනා. එයා දාර්ශනික ලේඛන කළා. ඊට පස්සෙ නවකතා ලියන්න පටන් ගත්තා. ඒක ගොඩක් සාර්ථක වුනා. එතකොට අපි අයිරිස්වත් සෙක්ස් ගැන කතා කරපු මහා දාර්ශනිකයන් අතරට ගන්නවද? එහෙම නං අපිට තව නවකතාකරුවො ඉන්නවා. උදා විදිහට පිලිප් රොත් සහ ඩොරිස් ලෙසින්ග් වුනත් අපිට මේ එලීට් කන්ඩායමට ගන්න වෙනවා. අයිරිස්ගෙ බ්ලැක් ප්‍රින්ස් කතාවෙ ප්‍රධාන චරිතය බ්‍රැඩ්ලි පියර්සන් කියන අවුරුදු 60ක විතර බුද්ධිමතා එයාට වඩා අවුරුදු 40ක් බාල කෙල්ලෙක් ගැන ආදරෙන් ආශාවෙන් වෙළිලා ඉන්න අතරෙ මෙහෙම කල්පනා කරනවා.
“සැබෑ ආදරයේ තියෙන සදාකාලික බව තමයි නොලැබෙන ආදරයක් වුනත් තෘප්තිමත් එකක් බවට හරවන හේතුව. මනුස්ස ආත්මය මේ සදාතනිකත්වයට දැඩි ලෙස ආශා කරනවා. ඇතැම් දුර්ලභ ආගමික අද්භූත සිද්ධිවලින් බැහැරව මේ හැඟීම යන්තමින් හෝ ලබාදිය හැක්කේ ආදරයට සහ කලාවට පමණයි. ආදරය එය සමග මමත්වය දුරු කිරීමේ තත්වයක් ගේනවා. ආදරනීය කොල්ලෙක් වැළඳගැනීමෙන් ඔහු තමන් යහපත කරා ඇති මාවතේ සිටින වග ප්ලේටොට හිතෙන එක කොයිතරම් නිවැරදිද? මං මෙතන මමත්වයෙන් තොර බවේ විෂන් එකක් කියල කියන්නෙ අපේ පැටලුම් සහගත ස්වභාවය විසින් ඕනෑම අරමුණක ශුද්ධභාවය ඉක්මනින්ම පහතට ඇද දමන නිසයි. නමුත් එවන් දැනීමක්, මොහොතකට වුනත් ලොකු වාසනාවක්. එහි තියුනු බව නිසාම සදාකාලිකව පවතින වටිනාමකමක් එයින් එකතු කරන්න පුළුවන්. ඇයි මේ මමත්වයෙන් ලැබෙන නිදහසෙන් අපිට අලුත් තැනකට ළඟාවෙන්න බැරි? තව තවත් ඒ වගේ අය එකතු වෙමින් අපි හැමෝම අපේ මමත්වයෙන් මිදුනු ජනාවාසයක් දක්වා විශාල වෙන්න බැරි? ප්ලේටොගේ හීනය වුනේ ඒකයි”
මෙතනදි අපි තේරුම් ගත යුත්තේ සාහිත්‍යයට යම් අවධානයක් දීමෙන් ලිංගිකත්වයේ ඉතිහාසය සහ දර්ශනය ගවේෂනයට කිසි අගතියක් නොවෙන බවයි. මර්ඩොක් විසින් නගන මනෝවිද්‍යාත්මක ප්‍රශ්නය වෙන්නෙ ඇගේ ප්‍රධාන චරිතය ඔහුගේ සාක්ෂාත් කළ නොහැකි බැඳීම දැඩිලෙස සාධාරනීකරනය කරන්න යාම ඇතුලෙ රළු තාර්කිකත්වයේ ගොදුරක් බවට පත්වුනාද කියන එකයි. ඒක අපිට ඔහුගේ මනෝවිශ්ලේෂකයාට ඉතුරු කරන්න පුළුවන් කාරණයක්.
පැරණි ග්‍රීකයෝ
බටහිර ලිංගිකත්වය ගැන දාර්ශනික සාකච්ඡාව ඉතාම කුඩා වුනත් ඒක ආරම්භ වුනේ ප්ලේටෝ සහ කිවිඳියක් වුනු සෆෝ ආදීන් වෙතින්. ඒක කිසිසේත්ම නොතකා හැරිය යුතු එකක් නෙමෙයි. සෆෝගේ අදහස් පසුකාලීන මහා දාර්ශනිකයන් අතින් පවා නැවත ලියවෙනවා.
මොහොතකට හෝ
ඔබ වැළඳගත් ඇසිල්ලෙන්
මා ගොළුව යනවා
මගේ දිව පලකට නැති වෙනවා
ගින්දරක් මා සිරුර තුල දුවනවා
ඇස් අඳව යනවා
දෙසවන් නින්නාද වෙනවා
මට උණ ගැනෙනවා
දැඩි ලෙස ගැහෙනවා
තණපත් වලටත් වඩා මා සුදුමැලිව
උමතුවෙන්. අඩක් මියගොසින්.
-කාර්මන් 1904-
සෆෝ ගොළුවෙනවා. ගල්වෙනවා, ශෘංගාරයෙන්. පිස්සු වැටෙනවා ඒ සුන්දරත්වයෙන්. මේක අපි ලිංගිකත්වය පිළිබඳ දර්ශනයේ ඉතිහාසය පුරාම දකිනවා. ශෘංගාරය විසින් සදාතනිකව අතාර්කික චර්යාවන් ඇති කරනවා. ඇමරිකානු ජනාධිපතිවරයෙක් ධවල මන්දිරය වටේ ලිංගික අත්දැකීම් හොයමින් ඇවිදින්නෙ ඇයි? සුන්දර හෙලන් ඇගේ පවුල දරුවා සහ සැමියා අත්හරිමින් කඩවසම් පැරිස්ට බැඳෙන්නේ ඇයි? ඇයව පොළඹවාගත්තාද, පැහැර ගත්තාද? මර්ඩොක්ගේ බ්‍රැඩ්ලි පියර්සන් ශෘංගාරයෙන් ගොළුව නොගියත් දණින් වැටී ඔහුගේ තරුණ කෙල්ල සිටගෙන සිටි පාපිස්ස පවා සිපගන්නේ ඇයි?
ප්ලේටොගෙ සිම්පොසියම් සංවාදයෙදි ඉරොස් නැත්තං ආදරය ගැන කතා කරනවා. ප්ලේටොට අනුව ආදරය කියන්නෙ යහපත සහ සුන්දරත්වය පමණක් දරන්නක්. සිම්පොසියම් කියන්නෙ ලිංගිකත්වයේ දර්ශනය හදාරන්න කියවන්නම ඕන පදනමක්. ප්ලේටො ලිංගික හැඟීම පිළිබඳ සානුකම්පිත වෙන්නෙ නෑ. පසුකාලීන ක්‍රිස්තියානියේ ලිංගික විරෝධී අදහස්වල පදනම ප්ලේටොගෙ දකින්න තියෙනවා. සිම්පෝසියම් සංවාදයේ ප්ලේටො වනචර ආදරය සහ ආධ්‍යාත්මික ආදරය ගැන කතා කරනවා.
මුලින්ම පෝසෙනියස් විසින් මතු කරන (ෆ්‍රොයිඩ්ගෙ වචනවලින් ඉතාම පහත් දේ දෙස පවා ඔහු ගරුත්වයෙන් බලනවා) ඊට පස්සෙ සොක්‍රටීස්ගෙ ගුරුවරිය වුනු ඩයොටිමා පූජකවරිය විසින් වඩා විස්තරාත්මක කරන (ඇය පෝසෙනියස්ට වඩා වෙනස්) මේ ආදරයන් දෙක අතර වෙනස අපිව පොළඹවන්නෙ අපේ පුද්ගලික සම්බන්ධතාවලින් ලිංගික ක්‍රියා ඈත් කරන්නයි. ඒ වෙනුවට අපේත් අපේ සහකරුවන්ගේත් සදාචාරාත්මක, බුද්ධිමය වර්ධනය ඇති කරන දේට උනන්දු වෙන්න කියලයි. වනචර ආදරයට වෙනස්ව දිව්‍යමය ආදරය ආශාවෙන්, කෑදරකමින් සහ අනුරාගයෙන් තොරයි. දිව්‍යමය ආදරයේදි මේ මනසින් සුන්දර වූ ආදරවන්තයන්ගේ මූලික උනන්දුව වෙන්නෙ යහපතේ යෙදෙන්නයි. ප්ලේටොගෙ රිපබ්ලික් වල සොක්‍රටීස් ග්ලොකන්ට කියනවා, නිවැරදි ආදරයේදී ලිංගික ආතතියක් ඇතිවෙන්න බෑ කියල. ප්ලේටො එයාගෙ සංකීර්ණ ෆේද්‍රස් සංවාදයෙදි මේ ලිංගිකත්වය ප්‍රතික්‍ෂේප කිරීමේ ගුනයම විදහා දක්වනවා. ඒකෙ ප්‍රධාන චරිතය වෙන සොක්‍රටීස් අවධාරනය කරනවා නියම ආදරවන්තයො නම් ඒ අය යහපතම හොයාගෙන යන අය කියල. මේ අරමුණ දුර්වල වීමෙන් හෝ වයින් වීදුරුවකින් අවකල් වීමෙන් තමයි ඔවුන් ලිංගික ක්‍රියාවට වැටෙන්නෙ.