‘මගේ ජීවිතේ ලොකුම බය ජීවිතේ බේසික් වෙන එක. හරියටම කිව්වොත් ආපහු බේසික් එක දක්වා අපගමනය වෙන එක. මං නිතර දකින බයවෙන හීනයක් තියෙනවා ,දවසක මං ඇහැරෙද්දි මං හස්බන්ඩ් කෙනෙකුයි, ළමයි දෙන්නෙකුයි, අගනාගරික පුංචි ගේකුයි එක්ක ජීවත් වෙමින් ඉදී කියල. මං එතනට කොහොම ආවද කියල මට මතක නෑ. නිකං හරියට ඒක මගේ ඉරණම වගේ. මේ හීනෙ ඇත්ත වෙන එක වලක්වන්න මෙතෙක් මගේ ස්ට්‍රැටජිය වුනේ මේ ලක්ෂණ පහල වුනු ගමන් මගේ සම්බන්ධතා විනාශ කරලා දාන එක. මේ රොමැන්ටික් කඩාබිඳ දැමීමේ මං 100%ක් සාර්ථක වෙලා තියෙනවා “

-කාර්ලි සියොර්ටිනෝ-

සෙක්ස් පොසිටිව් කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් නැති වුනත් ඒ වෙනුවෙන් කරපු කැම්පේන් ගොඩක් අය දැකල ඇති. උදා විදිහට #freethenipple වගේ ට්‍රෙන්ඩ්ස්. ඒත් නිරුවත, ත්‍රීසම්, නිතර කරන ලිංගික රෝග පරීක්ෂාව වගේ දේවල්වලට  වඩා ලොකු කතාවක් සෙක්ස් පොසිටිව් කතිකාවෙ තියෙනවා . ඒක ජීවිත විලාසයක් වෙනවා. ලැජ්ජාව කියන දේ තෘප්තිය කියන දෙයිනුත්, විනිශ්චය කියන දේ නිදහස කියන දෙයිනුත් රිප්ලේස් වීමක් එතනදි වෙනවා.

සෙක්ස් පොසිටිව් කියන එකේ මූලික අදහස සෙක්ස් කියන දේ මනුස්ස ජීවිතේට පොසිටිව් හැටියෙන් බාරගැනීම. ඒ වගේම මිනිස්සුන්ට තමන්ගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න, අත්හදා බලන්න, ඒ ගැන ඉගෙන ගන්න අවකාශ තිබිය යුතුයි කියල විශ්වාස කිරීම.

කිසිවෙක් විනිශ්චය නොකිරීම සහ සියලු ලිංගිකත්වයන්ට ගරු කිරීම කියන්නෙ සෙක්ස් පොසිටිව් ශික්ෂාවක්. ලිංගික හැසිරීමක් සදහා එකිනෙකාගේ කැමැත්ත නැත්තං කන්සෙන්ට් එක තියෙනව නං එච්චරයි. එවැනි ක්‍රියාවක කිසි නරකක්  නෑ. 

අපිට හිතෙන්න පුළුවන් ‘අයියො ඕක සාමාන්‍ය දෙයක්නෙ’ කියල. ඒ අපි ජීවත් වෙන්නෙ ස්වභාවයෙන්ම සෙක්ස් නෙගටිව් සමාජයක කියල නොදන්නාකම. දවස ගානෙ ගොසිප් පිටු පුරා බෙදන්නෙ සෙක්ස් නෙගටිව් රෝග ලක්ෂණ. ආගම, සදාචාරය හරහා අපිට උගන්නන්නෙ සෙක්ස් නෙගටිව් වීම සාමාන්‍යයක්, නැත්තං එතනිනුත් එහාට උසස් ඵලයක් වගේ තත්ත්වයක් කියල.

කෙල්ලන්ට කොටගවුං අදින්න එපා කියන්නෙ සෙක්ස් නෙගටිව් සංස්කෘතියක ලක්ෂණ. බීච් එකක ලව් කරන ජෝඩු පොලිසියෙන් අල්ලන්නෙ සෙක්ස් නෙගටිව් නීතියක ලක්ෂණ .

ගණිකා සේවයේ නියුතු අයට, ට්‍රාන්ස් ජෙන්ඩර් සහ අනෙක් විකල්ප ලිංගිකයන්ට, කාන්තාවන්ට සිදුවන අතවර, ලිංගික අධ්‍යාපනයට විරෝධය , කන්‍යාභාවය පිලිබද, හොද/නරක කෙල්ලො පිලිබඳ අදහස් ආදිය අපි ජීවත් වෙන්නෙ සෙක්ස් නෙගටිව් වටපිටාවක කියන එක ගැන මතක් කිරීම්.

ඉන්ස්ටා, ෆේස්බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය පවා තන පුඩුවක් පෙන්නීමේ සිට ලිංගික අධ්‍යාපනය බෙදන ක්‍රියාකාරීන් දක්වා වාරණය කරන්නෙ ඒ සෙක්ස් නෙගටිව් ඇටිටියුඩ් එකට ඇති බලය හින්ද.

සෙක්ස් ගැන බයක්, පීඩනයක්, ලැජ්ජාවක් හෝ වරදකාරී හැගීමක් පැනවෙනවා නම් ඒක සෙක්ස් නෙගටිව්. සෙක්ස් නෙගටිව් අදහසට අනුව සෙක්ස් කියන්නෙ  කැත, භයානක, අප්‍රසන්න, අස්වාභාවික , හානිකර, අන්තරායකර, පාලනය කර ගත නොහැකි දෙයක්.

මේ මෑතක මං ත්‍රීවිලේක එන ගමන් ඒ ඩ්‍රයිවර් මා එක්ක කතාවට වැටුන. කලින් සම්බන්ධයක් තිබුනු, ඒ නිසා කන්‍යාභාවයද නැති කරගත් කෙල්ලෙක් සමග තමන්ගේ යාලුවෙක් පටන්ගත් සම්බන්ධයක්  ගැන ඌ මට කියනවා. 

‘ වැඩක් නෑ මහත්තයා. ගෑනියෙක් දෙවෙනි මිනිහා එක්ක ඉන්නවා කියන්නෙ ඒ ගෑනිව එතනින් නවත්තන්න බෑ. මොකද ඒ ගෑනිගෙ බය නැති වෙනවා. ඊට පස්සෙ ඕනම මිනිහෙකුට කකුල් දෙක පලල් කරනවා ඈ..’

ගැහැනියක් සතෙක් මෙන් කොටුකර බයකර තබාගැනීමේ වැදගත්කම ඌ මට පැහැදිලි කරන්නෙ තමන් කියන ඒ දේ ගැන කිසිම සැකයක් ඇතුව නෙමෙයි . ඒක තමයි ලංකාවේ සාමාන්‍ය පිරිමි ඇදහිල්ල.

අපි උපතින්ම සෙක්ස් නෙගටිව්. අම්මගෙ බඩෙන් ආපු අය මිස යෝනියෙන් බිහිවුනු අය නෙමෙයි .

සෙක්ස් පොසිටිව් කියන වචනය හැදෙන්නෙ 1920 දි විල්හෙල්ම් රීච් කියන මනෝවිශ්ලේෂකයා අතින්. ඒ කාලෙ පැවතුනු ජනප්‍රිය සෙක්ස් නෙගටිව් අදහස්වලට විරුද්ධව යමින් එයා කියනවා සෙක්ස් කියන්නෙ ඇත්තටම හොද නිරෝගී දෙයක් කියල.

මේ අදහස ඒ කාලෙ ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ. ඒත් 1960 හිපි අරගලය එක්ක මේ අදහස පුනරුත්පත්තිය ලැබුවා. ඒ වගේම පහුගිය ට්‍රම්ප් පාලනය විසින් ලිංගික ශ්‍රමිකයන්ගේ, ට්‍රාන්ස් සහ විකල්ප ලිංගිකයන්ගේ අයිතිවාසිකම් නොතකා හැරීම නිසා සෙක්ස් පොස්ටිව් රැල්ලක් පැන නැගුනා. 

ඒ කියන්නෙ  දැන් හැමෝම සෙක්ස් පොසිටිව් වෙන්න ඕනද?

කොහෙත්ම නෑ. ඒක ඔයාගෙ තෝරාගැනීම. ඒත් අනිත් අයට තමන්ගේ කැමැත්තෙන් , තමන්ට රිසි පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න නිදහස තියෙනවා කියල ඔයා අවංකව පිලිගන්නවා නම්, එච්චරයි අවශ්‍ය.

ඩොසී ඊස්ටන් සහ ජෙනට් හාඩිගෙ එතිකල් ස්ලට්, කාර්ලි සියොර්ටිනෝගෙ ස්ලට් එවර් වගේ පොත්, බ්ලොග්, සෙක්ස් පොසිටිව් සංස්කෘතිය වගේම විශේෂයෙන් ස්ත්‍රිය පිලිබද සමාජ දෘෂ්ටිය වෙනස් කරන මේ ධාරාවෙ ප්‍රශස්ත ව්‍යායාම් වෙනවා.