එයා බැඳලා නම් එතනින් ඔයා නවතින්න ඕන. ඒක තමයි සම්මතය. සම්මතය තියෙන්නෙ එකම දේ කරමින් සතුටු වෙන අයට. ජීවිතේ කියන්නෙ ඇඩ්වෙන්චර් එකක් විදිහට ගන්න අයට සම්මතය තියෙන්නෙම කඩන්න. ඇත්තටම ආදරේ තියෙන්නෙ සම්මතෙන් එලියෙ. අපි සමූහයාගේ සම්මුතියෙන් බැහැරව අපේ සම්බන්ධතා ගොඩනගන තැනදි. ඒක අන්තරායකරයි. කසාද බැඳපු අය සමඟ ප්‍රේමයන් නිසා පවුල් පිටින් විනාස වෙලා ගිහින් තියෙනවා. අපි නැව යාත්‍රා කරන්නෙ කුණාටුවක් මැද්දට. අපේම හැඟීම් පවා පිස්සු කෙලින්න ගන්නවා.

ඒත් ඒ ආදරය ඒ තරම් වටිනවා. අවසානයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව, ගොඩනගා ගත් සියලු සමාජ සම්බන්ධතාවලට පිටස්තරව, පිටුවහල්ව නිර්මාණය කරන හැඟුම්මය ජීවිතයක්. කොයිතරම් කාලෙකටද කියන්න බෑ. කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ. ඒක සමාන්තර විශ්වයක් වගේ. ඒ තරම්ම සුන්දර පාපයක්.

මේ වගේ ආදරයක් එක එක හේතු නිසා උපදින්න පුළුවන්. සමහර විට දැක්කම ඇතිවෙන ආශාව. සෙක්ස් කරන්න උවමනාව, සමහර විට හොරකම් කරගෙන, තමන්ගේම කරගෙන වනාන්තරේක ගල්ගුහාවක හංගගෙන ඉන්න හිතෙන්නත් පුළුවන්. එයා ගැන ඇතිවෙන කුතුහලය, එයා නිසා අපේ හිතේ ඇතිවෙන සුන්දර සතුටුමය හැඟීම්, කිසිම හේතුවක් නැතුව එයා දැකීමෙන් විතරක් ඔයා සතුටින් පිරෙනවා වගේ දේවල් නිසා ආදරේ හිතෙන්නත් පුළුවන්.

ඉතින් අපිට එහෙම නීතියෙන්ම අන්සතු හිතක් ගැන ප්‍රේමයක් ඇතිවුනොත් ඒක දිනාගන්න අපි ළඟ ඕනතරම් ප්‍රේම සැලසුම් තියෙන්න පුළුවන්. අපිට අනිවාර්යෙන්ම ඕනවෙනවා ඒ ආදරයට මැප් එකක්. එයාව ලබාගන්නවද නැද්ද කියන එකට නෙමෙයි, අපි සුන්දර හැඟුම්බර ගමනකට ලෑස්ති වෙන්න ඕන. මේ ලියන්නෙ එක්තරා ප්‍රේම සැලසුමක යෝජනාවක්. මේක තියෙන්නෙ පිරිමියාගෙ පැත්තෙන්. අත්සනින් අන්සතු පෙම්වතියක් ගැන අනුරාගයෙන් බැඳුනු පෙම්වතෙකුට යෝජනා පහක්.

1. ඉස්සෙල්ලම ඔයා පැහැදිලි වෙන්න.
ඇයගෙන් තමන් බලාපොරොත්තු වෙන්නෙ මොන විදිහක සම්බන්ධතාවයක්ද කියන එක ගැන නිරවුල් කරගන්න. තමන්ටම බොරු කර නොගෙන ඒක සන්නිවේදනය කරගන්න තරමට හදවතත් එක්ක කුළුපඟ සම්බන්ධයක් තියාගන්න එක වැදගත්. සරල කායික ආශාවක්ද, අත්‍යන්ත බැඳීමක්ද, අයිති කරගැනීමක්ද කියන දේවල් ගැන තමන්ම තමන්ගෙන් විමසා තේරුම් ගන්න. සම්බන්ධතාවයක් කඩලා ආයිමත් ඒ වගේම එකක් හදන, හිත් තුවාලවෙන ආදරයකට වඩා හැමෝගෙම ජීවිත වඩා පරිණත සම්බන්ධතාවලට ගෙනියන ආදරයක් පරිකල්පනය කරන්න පුළුවන් නම් වටිනවා.

2. කසාද බැඳපු මිනිහට ගරු කරන්න
ඇය සමග ජීවත්වෙන පිරිමියාට හෝ ගැහැණියට ගරු කරන්න බැරි නම් මෙවන් සම්බන්ධතාවයකට ඔයා නුසුදුසුයි. ඒක තමයි පලවෙනි කොන්දේසිය. ඇය සමග ජීවත් වෙන අනෙකාට ගරු කිරීම. ඔහු ඇගේ ආදරය ලැබුවෙක්. ඇය සමග ජීවිතය බෙදාගන්නෙක්. ඔහුගේ අඩුපාඩුවක් නිසා ඇය තමන් ළඟට එනවා කියන පරණ ගොං මනස්ගාතයට රැවටෙන්න එපා. හැමෝගෙම ජීවිතේ අනිවාර්යයක් වෙන ඒකාකාරීබව, සම්බන්ධතාවල කිතිකැවෙන මුල්යුගය වෙනත් අවධියකට පරිවර්තනය වීම නිසා ඒ මුල්කාලෙ දැනුනු හිරිමල් හැගීම් මිස් වීම, අලුත් ලෝකයන් ගැන කුතුහලය, නිර්මාණශීලීත්වය මේ ගොඩක් දේවල් ඇය ඔහුගෙන් පිටත ඇතිකරගන්න සම්බන්ධයකට පාදක වෙන්න පුළුවන්. ඇය හොයන්නෙ ඇගේ ලෝකය සම්පූර්ණ කළ හැකි තවත් ආදරයක්, අනුපූරණයක් මිස පවතින ආදරයට හුවමාරුවක් නෙමෙයි. ආදරේට ආවස්තික පිරිවැයක් තියෙන්න බෑ.

ඒ වගේම පවතින ආදරෙන් ගැලවීමේ උවමනාව නිසා ඔයාට ආදරය කරන කෙනෙක් එක්ක සම්බන්ධය භයානක වෙන්න පුළුවන්. ඇය එන්නෙම මෙහෙයුමක් එක්ක. ඒක දෙන්නෙක් අතර නිදහසේ ගොඩනැගෙන සම්බන්ධයක් නෙමෙයි. ඔයාට කාලයත් එක්ක ඇගේ උවමනාව වෙනුවෙන් පාවිච්චි වුනා වගේ හැඟීමක් එන්න ඉඩ තියෙනවා.

3. ඇගේ මිතුරා වෙන්න
ඇයට යවන සීනිබෝල ටෙක්ස්ට් පනිවුඩ, කවිකෑලි වලින් ඇගේ ජීවිතේට ඇතුල්වෙන්න ලැබෙයි කියල හිතන එක නොතේරුම්කමක්. කෙල්ලෙක් ආස දේවල්වලින් කසාද බැඳපු ගැහැණියකගෙ හැඟීම්වලට කතා කරන එකමත් ඇයව අවතක්සේරු කිරීමක්. ඇය මේ වෙද්දි පිරිමි ගැන දන්නවා. ඇතුල්පිට කණපිට දෙකම. ඉතින් ළඳබොළඳ ආයාචනා වෙනුවට ඇයව තේරුම් ගන්න යටහත් වෙන්න. ඇගේ රිද්මය, ඈ දේවල් දකින කියවන විදිහ, ඇගේ කැමති අකමැති දේවල්, ඇගේ හුස්මවල වේගය, මේ දේවල් දැනෙන තරමට ඇයට ළංවෙන්න. ඇගේ ජීවිතය බෙදාගන්න. ඇගේ ශරීරයට ඇතුල්වීමේ පටු දොරටුව වෙනුවට ඇගේ ජීවිතයට ඇතුල්වීමේ විශාල කවුළුව තෝරගන්න. ඇයව මනුෂ්‍යයෙක් විදිහට තේරුම් ගන්න, ඇයව විනිශ්චය නොකරන, ඈ දිහා බලාසිටින්නෙක් සිටින වග දැනවීමෙන් ඇගේ සිත සතුටු කරන්න. ආදරය කියන්නෙම මේ බෙදාගැනීමට.

4. ඇගේ හොඳම සවන්දෙන්නා වෙන්න.
ගැහැණියකට පවුල් ජීවිතයක් ඇතුලෙ නොලැබෙනම දේ වෙන්නෙ තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක්. ආදරයක මුල්කාලෙදි තියෙන අනෙකාගේ සියල්ල සාවධානව අසා සිටීමේ ගුණය ඇසුරක කාලයත් සමග වියැකෙනවා. බොහෝ විට පිරිමියා කියන කතාව දිගටම අහන් ඉන්න, ඒ කතාවට දේවල් එකතු කරන්න ගැහැණියට සිද්දවෙනවා. ඇගේ කතාව එලියට එන්නෙ නැති තරම් වෙනවා. ඒ හින්ද මේ සමාන්තර ලෝකෙදිවත් ඇයට අසා සිටින්නෙක් ලබාදෙන්න ඔයාට පුළුවන් නම් ඒකට එයා ගොඩක් කැමති වෙයි.
අවධානය කියන කාරණයයි මෙතනදි වැදගත්. එයාගෙ හැම පුංචි දෙයක් ගැනම අවධානය දෙන්න ඔයාට පුළුවන් නම් ඒක එයාට ගොඩක් ලස්සන හැඟීම් උපද්දවයි. එයාගෙ පරණ වුනු ඇසුර එක්ක නොපෙනී ගිය පුංචි දේවල් තාමත් පේන කෙනෙක් ඉන්න එක ඇගේ ප්‍රේමාන්විත මතක අලුත් කරාවි. ඒ සුන්දර ආදර කාලය නැවත නැවත ගත කරන්න ඕනම කෙනෙක් කැමතියි.

5. ඇයට ගරු කරන්න.
ගරු කිරීමේ පළමු පියවර අවංකවීමයි. ඇය ගැන ඔයාගෙ තියෙන හැඟීම් අවංකව ඇයට කියන්න. රවට්ටන්න, වසන් කරන්න යන්න එපා. ඇයට ප්‍රේමය බාරගැනීමේ හෝ ප්‍රතික්‍ෂේප කිරීමේ පූර්ණ නිදහස දෙන්න. ඒ වගේම ඇගේ තීරණය මොකක් වුනත් ඒක බාරගන්න තරමට ඇයට ආදරේ වෙන්න.

ඇය ප්‍රේමයේ යෝජනාව බාරගත්තොත්,

ඒ අවදානම්කාරී අඩවියට ආදරය වෙනුවෙන් පැමිනීම ගැන ඇයට හැමදාටම ගෞරවනීය වෙන්න. ඇගේ විශ්වාසය රකින්න. නිතර මතුවෙන හැඟුම්මය ආවේගයන් දරාගැනීම පුහුණු කරන්න. ඒක මේ වගේ ආදරයක ස්වභාවය බව තේරුම් ගන්න. ඒ ආදරය ඔබේ උපරිම නිර්මාණශීලීත්වයෙන් හැඩගන්වන්න. ඇයව ඔබේ පරිකල්පනයන්ගේ සොඳුරුතම ඉසව් කරා ගෙනියන්න. ඒ අසම්මත නිමේෂය හැමවිටම උපරිමයෙන් දල්වන්න.

ඒ වගේම ඕනෑම මොහොතක ආපසු හැරීයාමේ නිදහස ඇයට දෙන්න. ඒ මොහොතේ කිසිවිටක ඇයව ප්‍රශ්න නොකරන්න. මේ වගේ සම්බන්ධතාවයන් ඇතිවෙන පවතින නැතිවෙන කාලය ගැන කිසිදෙයක් කියන්න කාටවත් පුළුවන්කමක් නෑ. ඒකෙ සුන්දරත්වය තියෙන්නෙත් මේ අවිනිශ්චිතතාවෙමයි.
මේ සියලු දුෂ්කරතා මැද මෙවන් ආලයකට එළඹීමේ ඇති සතුට මොකක්ද? හුදු හඹායාමේ සතුටට ඔබ්බෙන් ඔයා ඇත්තටම මේ ආදරේ පිළිබඳ සතුටක් විඳිනවද කියල ඔයාගෙන්ම විමසා බලන්න ඕන. සියල්ලෙන් නිදහස් සාමාන්‍ය කෙල්ලෙකුට වඩා බොහෝ දේ මේ අසම්මත ආදරය ඇතුලෙ ඇයට බෙදාගන්න පුළුවන්. ඒ වගේම අත්දැකීම් සහ පරිණතබව නිසාම සෙක්ස් වගේම සංවාදත් ගැඹුරට අරන් යන්න ඇයට පුළුවන්. ඇය ඇගේ ජීවිතේ උපරිම නිදහස විඳින තැන ඔයා නිසාම ඒක පාරාදීසයක් දක්වා අරන් යන්න ඔයාට පුළුවන්.

ඉතින් ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් විදිහට ඇයට ආදරය කරන්න. ඇය ආරධනාව ප්‍රතික්‍ෂේප කලොත් මෙතරම් හැඟීමක් ඔයා ඇතුලෙ දැල්වීම වෙනුවෙන් ඇයට ස්තුතිවන්ත වෙන්න.