අපේ රොමාන්තික සංස්කෘතිය විසින් අපි මත පවරපු ලොකුම කරදරයක් තමයි දීර්ඝ කාලීන සම්බන්ධයක් හොඳට පවතින්න නම් ආදරය සහ ලිංගික තෘප්තිය කියන දෙකම ඒක ඇතුලෙ හරිහරියට ගැලපිලා තියෙන්න ඕන කියන එක. අපි ලොකුමහත් වෙන්නෙ සම්බන්ධතා පටන්ගන්නෙ ඔය හීනයත් එක්ක.

මේ ලස්සන සුවපහසු අදහස අපි හැමෝගෙම ඔලුවෙ බලාපොරොත්තුවක් හදනවා. අවුරුදු ගානක් දෙන්නෙක් එකට ඒ දෙන්නට උදව් කරමින්, ඒ දෙන්නගෙ වියහියදම් කළමනාකරණය කරගනිමින්, එකට පවුලක් වෙලා, විනෝදවෙමින්, නිවාඩු ගතකරමින්, ඒ වගේම දෙන්නා දෙන්නගෙ ප්‍රශ්න හොඳින් තේරුම් ගනිමින්, දෙන්නාගෙ දුර්වලතා දරාගනිමින්, ඒ දෙන්නාගෙ යාළුවො දෙමව්පියො එක්ක හොඳ සම්බන්ධතා පවත්වමින්, ඒ අතරෙ දෙන්නා කරන රැකියා අංශවලිනුත් දියුණු වෙමින් ගත කරන ජීවිතයක් ගැන. නිකං කියවගෙන ගියත් විකාරයි වගේ නේද? පොඩ්ඩක් ඉන්න, මේ එක පැත්තක් විතරයි.

අනිත් පැත්තෙන්, ඒ දෙන්නා දෙන්නාට ආකර්ශනීයම ලිංගික සහකරුවන් වෙමින්, නිතර ආල අනුරාගයෙන් පැටලෙමින් වෙලෙමින්, අවශ්‍ය වෙලාවට ප්‍රචන්ඩ විදිහටත් අවශ්‍ය වෙලාවට මෘදුවත් ශෘංගාරය බෙදාගනිමින්, ජීවිත කාලයක් පුරා ගෙවන ශෘංගාර ඇඩ්වෙන්චර් එකකුත් කරන්න තියෙනවා.

මෙන්න මේ අදහස හින්ද අපි සම්බන්ධතා පවත්වාගෙන යන අතර එක තැනකදි අපි බය වෙනවා. ඒක හැම සම්බන්ධතාවයකම වගේ වෙනවා. සෙක්ස් කාලයත් එක්ක ඒ තරම් ආකර්ශනීය නැති වෙනවා. ඒ වගේම සිද්ද වෙන ප්‍රමාණය අඩුවෙනවා. සමහර වෙලාවට බලාපොරොත්තු කඩකරනවා. පොතක් කියවලා, එකට ප්‍රවෘත්ති හෝ ටීවී සීරීස් එකක් බලලා නිදාගන්න යන තරම් සැනසීමක් නැති වෙනවා.

දැන් මේක මහා විනාශයක් වගේ පේන්න පුළුවන්. සම්බන්ධතාවයක් කැඩිලා බිඳිලා යන්න හදන තැනක් වෙන්න පුළුවන්.

හැබැයි මේක ඇත්තටම අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සංස්කෘතික නැරටිව් එකේ දුර්වලතාවයක්. ආදරයක් වඩා හොඳින් පවත්වාගෙන යන්න හේතුවෙන දේවල් සෙක්ස් වඩා හොඳින් පවත්වාගෙන යන්න හේතු නොවෙන්න පුළුවන්. ඇත්තටම ඒක ඇන්ටිඩෝට් එකක් වෙන්නත් පුළුවන්. මේක දෙපැත්තටම මෙහෙමයි. හොඳ සෙක්ස්වලට ඕන කරන චරිතය පෞර්ෂය අතරයි සාර්ථක ආදරයකට ඕන කරන පෞර්ෂය අතරයි ගලපගන්න බැරි මූලික අවුලක අපි ඉන්නෙ.

සම්බන්ධතාවයක් කාලයක් පවතින්න නම් මෘදුබව, නම්‍යශීලීබව, සිහිය, ප්‍රායෝගික බුද්ධිය, වගේම තමන්ගේම වූ පුද්ගලික කාලයන් පවත්වාගැනීම අවශ්‍ය වෙනවා. අනෙකාගෙ හැඟීම් පරිස්සමෙන් තේරුම් ගන්න ඕන, අපේ මූඩ්ස් හොඳින් සන්නිවේදනය කරන්න ඕන. අවුල් රිදවීම් වගේ දේවල් දරාගන්න ඕන. යම් විදිහක අපි ගැන නිශ්චිත හැඟීමක් අනෙකාට දෙන්න ඕන.

සෙක්ස් ඒකෙ අනිත් පැත්ත. එතනදි ඕනම දෙයක් වෙන්න පුළුවන්. කුණාටුවක් තරම් ප්‍රචණ්ඩ වෙන්න වගේම ගැඹුරු මුහුදක් තරම් සංසුන් වෙන්නත් පුළුවන්. ඉතාම උත්කෘෂ්ට තැන්වලදි සෙක්ස් කියන්නෙ ඇතැම් විට වගකීම් විරහිතබව. තව වෙලාවක නපුරු වෙන එක. යටත් වෙන එක. ආධිපත්‍ය පතුරන එක. එතන උස් පහත් සංස්කෘතික සීමා නෑ. අපි අපේ ප්‍රාථමිකම තැන්වල ගතවෙන්න පුළුවන්. සෙක්ස් එක්සයිටින් වෙන්නෙ එතකොට.

දීර්ඝ කාලීන සම්බන්ධතා ගැන අපි ගොඩනගාගෙන ඉන්න සංස්කෘතික රූපය තනිකරම නොමග යවනසුලුයි. මේ හින්ද අපේ හැම සම්බන්ධයක් ඇතුලෙම අසමත්බවක් පවතිනවා. මේ එකට පැවතිය නොහැකි පැවැත්මේ තේමාවන් දෙකක් අපි අමාරුවෙන් එකට ගැටගහන්න හදනවා. ඒක කොහෙත්ම යතාර්ථවාදී උත්සාහයක් නෙමෙයි.

වඩා බුද්ධිමත් ලෝකයක නම් අපි සාමූහිකව අවබෝධ කරගනීවි ආදරයයි සෙක්ස් කියන එකයි ඔය කියන විදිහට ගැලපුනු පරමාදර්ශී සම්බන්ධතා කියන්නෙ ඉතාම විරල දෙයක් කියල. ඒක කොහෙත්ම අපේ සාමාන්‍ය සම්බන්ධතා එක්ක ගලපන්න පුළුවන් තත්වයක් නෙමෙයි කියල. ඒ වෙනුවට දීර්ඝ කාලීන සම්බන්ධයක් ඇතුලෙ තමන්ගේ ලිංගික උත්කර්ෂය කැප කරලා, අඩු ප්‍රමාණයකින් අඩු ආස්වාද මට්ටමකින් සෙක්ස් පවත්වාගෙන යන නමුත් ආදරයෙන් උපරිමව දැල්වෙන ජීවිත අපි අගය කරන්න, තේරුම් ගන්න උනන්දුවේවි. සමහර විට ඒ කරන කැපකිරීම ඔවුන්ට ඊට වඩා තෘප්තියක් ළඟා කරනවා වෙන්න පුළුවන්.

අනිත් අතට මේ දෙක දෙකක් විදිහට පවත්වාගෙන යන සම්බන්ධතා. ආදරෙන් එකට පවතින අතර තමන්ගෙ මුරන්ඩු ආශාවන් නිදහසේ විඳින්න අවකාශයන් නැත්තං වෙනස් ජීවිත ආඛ්‍යානයන් ගොඩනගා ගත්ත මිනිස්සු ගැන අපි කතා කරාවි. ඒ අයගෙ ජීවිත හරහා අපිට නිර්මාණය කරගත හැකි අපිරිමිත සම්බන්ධතා ස්වරූපයන් අපි තේරුම්ගනීවි.