1994 දි ලිංගික අධ්‍යාපනවේදිනියක් වුනු ජැනට් හාර්ඩි උණ ගැනිලා මාසයක් විතර ඇඳේ ඉන්නවා. ජැනට් කියන විදිහට ලෙඩේට කොඩේන් කෝෆ් සිරප් බීලා එයා හොඳටම ‘වැදිලා’ ඉන්නෙ. ඒ අතරෙ ටීවී එකේ යන ඉන්ඩීසන්ට් ප්‍රපෝසල් ෆිල්ම් එක එයා දකිනවා. ඩේවිඩ් සහ ඩයනා කියන විවාහක යුවළ ජෝන් කියන බිලියනපතියාගේ සදාචාර විරෝධී යෝජනාවෙන් කැළඹිලා යනවා. එක රාත්‍රියක් ඩයනා එක්ක ගත කරන්න ජෝන් ඩොලර් මිලියනයක් දෙන්න ලෑස්තියි. ජැනට් හාඩිගෙ වයස මේ වෙද්දි 62ක්. අවසානවරට කසාදයක හිටියෙ අවුරුදු 10ට කලින්. එදා ඉඳන් ජැනට් කවදාවත් ඒකභාර්යා විවාහයක් ඇතුලට ගියේ නෑ. මිලියනය ගන්න බැරුව අර දෙන්නා දඟලන එක දැක්කම ජැනට් හිතනවා එයා මේ උණ විකාරෙන් දකින හීනයක් කියල.

මම ඉඳගෙන බලාගෙන හිටියා. ‘මේ මොකක්ද වෙන්නෙ?’ ඩොලර් මිලියනයක් දෙනවා. රොබර්ට් රොබර්ට් රෙඩ්ෆර්ඩ් එක්කයි ඉන්න තියෙන්නෙ. මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නෙ? මේක ජැන්ට්ට තේරෙන්නෙම නැතුව යනවා. ජැනට් කියන විදිහට ප්‍රධාන ධාරාවෙ ලිංගික ආචාර ධර්ම ගැන නොදැනෙන තරම් දුරට තමන් ගිහින් කියල එයාට තේරෙන්නෙ මේ වෙලාවෙදි.

ජැනට් එයාගෙ යාලුවා සයිකොතෙරපිස්ට් කෙනෙක් වෙන ඩොසී ඊස්ටන්ව හම්බුවෙන්න යනවා. එයාට ඕන වෙන්නෙ මොනොගමි නොවීම ගැන පොතක් ලියන්න. ජැනට් සහ ඩොසී මීට කලින් පොත් දෙකක එකට වැඩ කරලා තියෙනවා. ඒ ‘කින්ක්’ සංස්කෘතිය ගැන. ඒ පොත් බීඩීඑස්එම් කව ඇතුලෙ ගොඩක් අය කියවනවා. මේ දෙන්නම නිශ්චිත නොවූ ලිංගික අනන්‍යතා තියෙන පොලියමරස් ඒ කියන්නෙ බහුපුරුෂ සම්බන්ධතා පවත්වන අය. ඒ දෙන්නට ඕනවෙනවා ‘ස්ලට්’ කියන වචනෙ ආපහු ගෞරවනීය තේරුමකට අරන් එන්න. මේ දෙන්නා ඒ දෙන්නගෙ විවෘත සම්බන්ධතා ඇතුලෙ ගතවුනු නොයෙක් ලිංගික සම්බන්ධතා, ඕර්ජීස් සහ ඒ එක්කම පොරබදන ඊර්ශ්‍යාව ගැන ලියනවා. ජැනට් හාර්ඩිගෙ පුංචි ප්‍රකාශන සමාගමෙන් 97දි එතිකල් ස්ලට් පොත එලියට එනවා. එතිකල් ස්ලට්-අසීමිත ලිංගික පරාසයක් සඳහා මගපෙන්වීමක් ඒකයි පොතේ නම. මේ පොත පිටපත් ලක්ෂ දෙකකට වඩා විකිණෙනවා.
මේ කොටස් වශයෙන් පළවෙන්නෙ ඒ පොත

යහපත් වලත්තී

මාලි හෙට්ටිආරච්චිගේ පරිවර්තනයක්

පළවෙනි පරිච්ඡේදය:
යහපත් වලත්තියක් කියන්නෙ කවුද?

විවෘත ලිංගික ජීවිතයක් ගතකරන්න බොහෝ දෙනෙක් හීන දකිනවා. ඒ තමන්ට උවමනා ආදරය, ලිංගිකත්වය, මිත්‍රත්වය සියල්ලම ලබා ගැනීමටයි. ගොඩක් අය උත්සාහ කරන්නෙම නෑ. එහෙම ජීවිතයක් ප්‍රායෝගිකව පැවතිය නොහැකි කියල විශ්වාස කරනවා. උත්සාහ කරන අයගෙන් බොහොමයක් මුහුණදීමට සිදුවන අභියෝග සහ දුෂ්කරතා නිසා ව්‍යායාමය මගදී අත්හැර දානවා. ඒ අතර කීපදෙනෙක් දිගටම එහි රැඳී ඉන්නවා. ඔවුන් විසින්, විවෘතව ලිංගිකව හා සමීපව සිටීම කළ හැකි දෙයක් පමණක් නොව, ඔවුන් සිතුවාටත් වඩා එය ප්‍රතිලාභදායී බව අවබෝධ කර ගන්නවා.

මිනිස්සු දශක ගණනාවක් තිස්සේ නිහඬව වැඩි හාහෝවක් නැතිව නිදහස් ආදරයන් සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා. අපි මේ පොතෙන් කරන්නෙ ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වුන තාක්‍ෂණයන්, කුසලතා සහ පරමාදර්ශයන් බෙදා ගැනීමයි.

එහෙනම් යහපත් වලත්තියක් යනු කවුද? ඒ අපියි. තවත් බොහෝ අයයි. සමහර විට ඒ ඔබද විය හැකියි. ඔබ නිදහස ගැන, ලිංගිකත්වය ගැන, සීමාවක් නැති මිත්‍රත්වයන්, ෆ්ලර්ට් කිරීම්, ඒවා කැමැත්ත ඇතුව ජයගැනීම් ගැන සිහින දකිනවා නම්, ඔබේ ආශාවන් ලුහුබැඳ ඒවා ඔබව රැගෙන යන දිශාවට යාමට සිහින දකිනවා නම් ඔබ දැනටමත් පළමු පියවර තබා අවසන්.

අපි මේ නම තෝරා ගත්තේ ඇයි?

ඔබ මේ පොත දුටු හෝ ඒ ගැන ඇසූ මොහොතේ සිට සමහර විට තේරුම් ගන්න ඇති මෙහි ඇති සමහර යෙදුම් පාවිච්චි වෙන්නෙ ඔබට හුරු පුරුදු අර්ථයන්ගෙන් නොවන බව.

තමන්ට වලත්ත යැයි අමතාගැනීමෙන් සතුටු වන්නේ කවුද? ඒ වගේ කෙනෙක් ඔහුගේ ආචාර ධර්ම වලට අනුව ඔහුව පිළිගැනීමක් ලබාදෙන මෙන් බල කරන්නේ ඇයි?

ලෝකෙ බොහෝ රටවල “වලත්තිය” කියන්නෙ අතිශය අපහාසාත්මක යෙදුමක්. කාන්තාවකගේ නම් ඒක කෑදර, නින්දාසහගත හා කිසි වගවිභාගයක් නැති ලිංගික හැසිරීමක් දනවන්න භාවිතා කරන වදනක්. ඒත් මේකෙ සමාන සහ ප්‍රතිවිරුද්ධ වචනය වෙන ස්ටඩ් කියන එක පාවිච්චි වෙන්නෙ ලිංගිකව ඉතාම ආකර්ශනීය පිරිමියෙකුට. ඒක පිලිගැනීමක් ලබන, ඊර්ෂ්‍යාව දනවනසුලු යෙදුමක්. ඔබ පිරිමියෙකුගේ සදාචාරය ගැන ඇහුවොත් ඔබට අහන්න ලැබෙන්නෙ ඔහුගේ අවංකකම, පක්ෂපාතීත්වය, ප්‍රතිපත්තිගරුක බව සහ උසස් ගුණාංග වගේ දේවල් ගැනයි. ඔබ කාන්තාවකගේ සදාචාරය ගැන ඇසුවොත් ඔබට අහන්න ලැබෙන්නෙ ඇය සංවාසයේ යෙදුනේ කා සමගද, ඒ කුමන තත්වයන් යටතේද වගේ දේවල් ගැන. අපිට ඒක ප්‍රශ්නයක්.

ඒ නිසා ”වලත්තිය” කියන වචනය පිලිගැනීමක් විතරක් නෙමෙයි ආදරය දනවන යෙදුමක් ලෙසිනුත් නැවත ශිෂ්ටත්වය කරා අපි ගේන්නෙ ආඩම්බරෙන්. අපට වලත්තිය කියන්නෙ සෙක්ස් ලස්සනයි. තෘප්තිය ඔබට හිතකරයි කියන රැඩිකල් අදහසට අනුව ජීවත් වෙන්න බය නැති ඕනෑම ලිංගිකයෙකුටයි. වලත්තියකට ඕනෑ නම් තමා සමග පමණක් හෝ මුලු පස්වන බලඇණිය සමගම හෝ ලිංගිකව හැසිරෙන්න තෝරගන්න පුළුවන්. ඒ තෝරා ගන්න කෙනා විෂමලිංගික, සමලිංගික, ද්විලිංගික, රැඩිකල් ක්‍රියාකාරී හෝ සාමකාමී නාගරික ඕනෑම කෙනෙක් විය හැකියි.

ආඩම්බර වලත්තියන් ලෙස අපි විශ්වාස කරනවා ලිංගික ක්‍රියාව සහ ලිංගික ආදරය යහපත් ක්‍රියාවල මූලික බලවේගය කියල. බැඳීම් ශක්තිමත් කරන්න, ජීවිත වැඩි දියුණු කරන්න, අධ්‍යාත්මිකව අවදි කරන්න, සමහර විට ලෝකය වෙනස් කරන්න පවා සෙක්ස්වලට පුළුවන්. ඒ වගේම අපි පිළිගන්නවා ඕනම කැමැත්ත ඇතුව සිදුවන ලිංගික සම්බන්ධයක මේ හැකියාව තියෙනවා කියල. දැනුවත්ව තෝරාගෙන සිහියෙන් යුතුව අනුගමනය කරන ඕනෑම ලිංගික මාවතකට පුළුවන් පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවන්ගේ ජීවිත වඩා ධනාත්මක හා නිර්මාණාත්මක කරන්න.

වලත්තියක් ලිංගිකත්වය බෙදාගන්නෙ හරියට දානපතියෙක් එයාගෙ මුදල් බෙදාගන්නා ආකාරයටමයි. එයා ළඟ ගොඩක් තියෙනවා, ඒ වගේම බෙදාගැනීමෙන් එයා සතුටු වෙනවා, එහෙම බෙදාහදා ගැනීම ලෝකය වඩා යහපත් තැනක් කරනවා. වැඩි වැඩියෙන් ලිංගිකත්වය හා ආදරය ලබා දෙන තරමට, ඔවුන්ටද එය ලැබෙන බව වලත්තියො දන්නවා. පාන් සහ මාළු ප්‍රාතිහාර්යයේ වගේ සෑම කෙනෙකුටම වැඩි වැඩියෙන් ලැබීම සඳහා කෑදරකමට සහ ත්‍යාගශීලිත්වයට අත්වැල් බැඳගන්න පුළුවන්. ලිංගිකත්වයේ අසීමිත නිදහස ඇති ලෝකයක ජීවත්වීම මොහොතකට සිතෙහි මවාගෙන බලන්න!

ලිංගික ඇඩ්වෙන්චරලෝලීත්වය

ලෝකය සාමාන්‍යයෙන් වලත්තියන් දකින්නේ නිරෝගී ඒකභාර්යා විවාහයක් කරගත නොහැකි යම් මානසික රෝගයකින් පෙළෙන, පහත්, නීච, වැදගැම්මකට නැති, ජරා, දුරාචාරී, විනාශකාරී, අයාලේ යන පිරිසක් ලෙසයි. අනිවාර්යෙන්ම එහෙම එකක් යහපත් කියල කියන්න බෑ. අප අපව දකින්නේ ලිංගිකත්වය තුලින් සවිඥානකබවක් සොයායාමට කැපවුනු, අපේ ලිංගිකත්වය විඳීම සඳහා අපගේ ජීවිත නිදහස් කරන, අප එකිනෙකාට ගැලපෙන හැම ආකාරයකින්ම එය බෙදා ගන්නා පිරිසක් විදිහටයි. උත්සාහ කරන්නෙ නැතුව වඩා ගැලපෙන්නෙ මොකක්ද කියල අපි දන්නෙ නෑ. ඒ නිසා අපි කුතුහලයෙන් සහ ඇඩ්වෙන්චරීය බවෙන් යුතුයි.

අපට ආශාවක් දනවන කෙනෙක් දැක්කම නිදහසේ ප්‍රතිචාර දක්වන්න අපි කැමතියි. අපේම ප්‍රතිචාරය දිගේ ගිහින් අපට එහෙම දැනෙන්න හේතු වුනු එම පුද්ගලයාගේ විශේෂත්වය හොයාගන්න අපි කැමතියි. අපි ආසයි මිනිස්සු එක්ක බැඳෙන්න. එක එක විදිහෙ මිතුරන් ඇසුරු කරන්න, අපි එකිනෙකාගෙ වෙනස්කම් කොයිතරම් අපේ සීමාවන් පුළුල් කරනවද, අපිට අපිව අලුතෙන් හොයාගන්න උදව් කරනවද කියල දකින්න.