මෑත දවසක මම ලියන ලිපි කියවන ගෑණු ළමයෙක් මට කතා කළා.
‘ඔයා ඇයි සෙක්ස් හරියට ආධ්‍යාත්මික මාර්ගයක් වගේ ලියන්නෙ? ඒක හරි විකාරයක්. සෙක්ස් කියන්නෙ සෙක්ස්. මං කැමති අනංමනං නැතුව සෙක්ස් විදිහට සෙක්ස් විඳින්න. ඒක පහලට දාන්න ඕනත් නෑ ඕනවට වඩා උඩට දාන්න ඕනත් නෑ’

එයා කිව්වෙ තරමක චෝදනාත්මක ස්වරයෙන්.

‘මට සෙක්ස් කියන්නෙ ඒ වගේ දෙයක්. මට ඒක දැනෙන්නෙ ඔයාට වඩා වෙනස් විදිහට’
මං එයාට කිව්වා.

මේ අපි කතා කරන්නෙ අපේ ශෘංගාර වෙනස ගැන. ඒකට කියන්නෙ අපේ ඉරොටික් බ්ලූ ප්‍රින්ට් එක කියල. ජයීයා-මා කියන සම්මානලාභී සෙක්සොලොජිස්ට් තමයි එයාගෙ පර්යේෂණ හරහා මේ ශෘංගාර වෙනස්කම සළකුනු කරන්නෙ. අපේ ශෘංගාර මුද්‍රාව අපි දැනගත්තොත් අපිට පුළුවන් වඩාත් ගැලපෙන සම්බන්ධතා හොයාගන්න. ඒ වගේම ඒ සම්බන්ධතාවල ගැඹුරු ආස්වාදයක් ලබන්න. මේ ශෘංගාර මුද්‍රා නැත්තං ඉරොටික් බ්ලූප්‍රින්ට් පහක් තියෙනවා.

1. එනර්ජටික්.

මේ ශෘංගාර කලාපයේ අය අවදි වෙන්නෙ ශක්තීන්ගේ හුවමාරුවෙන්. බලාසිටීමෙන්, යාන්තම් ස්පර්ශයකින් ඒ වගේම ප්‍රසන්ස් එකෙන්. ඒ කියන්නෙ පවතින බව දැනීමෙන්. යෝග, තන්ත්‍ර භාවනා හරහා ශෘංගාරය ලබන්න නැඹුරු වෙන්නෙ මේ ශක්ති ශෘංගාරිකයන්. ඒ අයට ස්පර්ශයට වඩා දේවල් දැනෙන්නයි උවමනා වෙන්නෙ. කාව්‍යාත්මක ප්‍රේමයන් අයිති වෙන්නෙත් මේ කලාපයට.

මේ අයට පුළුවන් ස්පර්ශයකුදු නොලබාම වුනත් සුරතාන්තයට පත්වෙන්න. ඒ වගේම ශෘංගාරයේදී වෙනත් මානසික කලාපයන් ස්පර්ශ කරන්න. ගැඹුරු සම්බන්ධයක් සහ සමීපත්වයක් මේ අයට දැනෙනවා.

නරක තියෙන්නෙ ඒ නිසා මේ අය හිතනවා අනිත් ශෘංගාරයන්ට වඩා තමන්ගේ එක වඩා උසස් කියල. අනෙක් ශෘංගාරයන් නොගැඹුරුයි කියල. ඒ වගේම අනෙකා පූර්ණව ඒ මොහොතේ තමන් හා පවතිනවා කියල දැනෙන්නෙ නැත්නම් මේ අයගේ ආශා දොරටු එසැණින් වැසී යනවා. අනුරාගී ස්පර්ශ කිරීම්වලදි එහෙම වෙව්ලන්න උණගන්න පවා ඉඩ තියෙනවා.

2. සෙන්ෂුවල්

ඉන්ද්‍රියමය ශෘංගාරය කියන්නෙ දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන් ආස්වාදය ලබන ශෘංගාරයට. මේ ශෘංගාර මුද්‍රාවෙ අය සුන්දර දර්ශන දැකීමෙන්, මියුරු සංගීතය ඇසීමෙන්, රස දේ කෑමෙන්, නර්තනයෙන්, සම්බාහනයෙන් උපරිම තෘප්තියට ළඟා වෙනවා. මේ අයට සුඛෝපභෝගීත්වය, දිව්‍යමය බව ඉන්ද්‍රියයන් හරහා දැනෙන්න ඕන.

ඉන්ද්‍රිය ශෘංගාරිකයන්ගේ සුරතාන්තය පූර්ණ ශරීරමය එකක්. ඒ අයට පුළුවන් සුන්දර ඉර බහින දර්ශනයකින් වුනත් උත්තේජනය ලබන්න. රසවත් කෑමකින්, කැමති සංගීතයකින් ඒ අය පිබිදෙනවා. පූර්ණ ඉන්ද්‍රිය තෘප්තියක් වෙනුවෙන් ඒ අය කැපවෙනවා.

මේ ශෘංගාරිකයන්ට ආස්වාදය ලබන්න පූර්ණ විවේකයක් අවශ්‍ය වෙනවා. සිතෙන් ගතෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න උවමනා කරනවා. පරිසරය අවුල් නම්, ඔලුවෙ මොකක් හරි ප්‍රශ්නයක් නම් තෘප්තිය ලබන්න බැරි වෙනවා. ඒ වගේම උවමනාවටත් වඩා දේවල් සැලකිලිමත් වෙන්න යන නිසා ගොඩක් ශෘංගාරයන් බාධා වෙනවා.

3. සෙක්ෂුවල්

ලිංගිකමය ශෘංගාරිකයන් උත්තේජනය වෙන්නෙ නිරුවත් ශරීර දැකීමෙන්මයි. ලිංගික අවයව ස්පර්ශ කිරීමෙන්, සංසර්ගයේ යෙදීමෙන්, පෝර්න් බැලීමෙන් වගේ දේවල් වලින්. මේ අය ඉතා බහුලව ලිංගික ක්‍රියාවල යෙදෙනවා.

බොහෝ විට ලිංගික ශෘංගාරිකයන් සැහැල්ලුයි. විනෝදයි. ඒ අය සමග ලිංගිකව එක්වීම පහසුවක් වගේම නිදහසක්. ලිංගික දේ ගැන ලැජ්ජාවෙන් සහ විනිශ්චයෙන් තොරයි. සෙක්ස් කියන්නෙ මේ අයට ෆන් එකක්. හැමෝම හැම වෙලාවකම කළ යුතු හරිම විනෝද වැඩක්. ඒකෙ ලොකු ගැඹුරකුත් නෑ, කිසිම නරකකුත් නෑ.

මේ හින්දම ලිංගික ශෘංගාරිකයන්ට සෙක්ස් ගැන දැනෙන පරාසය පටු වෙන්න පුළුවන්. ලිංගික සංසර්ගයක් නැත්තං සෙක්ස් නෙමෙයි කියල ඒ අය හිතන්න පුළුවන්. කවි ලියමින්, නටමින් ශෘංගාරයට කාලය ගත කිරීම මේ අයට විහිලුවක් වගේ. ඇයි කෙලින්ම අවශ්‍ය දේට යන්න බැරි? ඒ අය කැමති වටේ නොයන කෙලින් අයට. සුරතාන්තය ලැබීම තමයි ලිංගික ශෘංගාරිකයන්ගේ එකම අරමුණ වෙන්නෙ. ඒ නිසා ශෘංගාර සම්බන්ධතා ගොඩනැගීම පැත්තෙන් දුර්වල වෙන්න පුළුවන්.

4. කින්කි

කින්කි කියන එකට ගැලපෙන සිංහල වචනයක් හොයාගන්න බැරි නිසා ඉංග්‍රීසි වචනෙම පාවිච්චි කරමු. මේ අය උත්තේජනය වෙන්නෙ අසම්මත දේවලින්. නෝටි වැඩවලින්. තහනම් ස්පර්ශයන්ගෙන්. කින්කි ශෘංගාරිකයන්ට සෙක්ස් කියන්නෙ නිර්මාණශීලී රඟ මඩලක්. ඒ අය විවිධ පර්යේෂණ අත්හදා බැලීම් කරනවා.

කින්කි කියන්නෙ ඉතාම ක්‍රියේටිව් ඉරොටික් ප්‍රින්ට් එකක්. නිවැරදිව කින්කි ශෘංගාරයේ යෙදෙන අයට ඉතාම ගැඹුරින් තමන්ගේ මනස සුවපත් කරගැනීමටත් වෙනත් සමාජ මානසික පරිවර්තනයන් ලබන්නත් හැකියාව තියෙනවා. ඒක ආර්ට් තෙරපි එකක්.

මේ ශෘංගාරයේ මූලයන් ගැඹුරු නිසාම බොහෝ දෙනෙක් වරදවා තේරුම් ගන්නත් බියපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම සන්නිවේදනයෙදි ඉතා දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. බොහෝ විට තමන්ගේ පෙම්වතුන් සමග හෝ තමන්ගේ ශෘංගාරය ගැන විවෘතව කතාබහ නොකොට කින්කි ශෘංගාරිකයන් ඉතාම දුක්බර සිරගත ජීවිත ගත කරනවා.

5. ශේප් ෂිෆ්ටර්

වේශ ශෘංගාර මුද්‍රාව කියන්නෙ කලින් කියපු ඕනෑම මුද්‍රාවක් බවට පරිවර්තනය වීමේ හැකියාව තියෙන අයට. මේ අය ලබන ආස්වාදය උපරිමයි. ඒ වගේම අලුත් අමුතු ශෘංගාර අත්දැකීම් හඹායන්න පෙළඹෙනවා. ඒ වගේම ඒවා ගැන කැමැත්ත මොහොතින් මොහොත වෙනස් වෙනවා.

මේ අය ශෘංගාරය රසවිඳීම අතින් ඉතාම උසස්. එක එක විදි වලින් සුරතාන්තයන් අත්විඳින්න හැකියාව තියෙනවා. ඕනෑම ශෘංගාර මුද්‍රාවක කෙනෙක් එක්ක ඒ මුද්‍රාවට සමවැදීමෙන් ආස්වාදය ලබනවා. වේශ ශෘංගාරිකයන් දන්නවා අනිත් හැම කලාපයකම අය විඳින රසය ගැන.

නරකකට තියෙන්නෙ මේකම සංකීර්ණ තත්වයක් ගන්න එක. නිතර තමන්ගේ පෙම්වතියගේ ශෘංගාර මුද්‍රාව බවට පරිවර්තනය වීමෙන් තමන් තුල අතෘප්තියක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආශා ස්වරූපයන් පරිවර්තනය වීම ඒ අයටත් ඒ අය සමග සම්බන්ධතා පවත්වන අයටත් පැටලිලිසහගත වෙන්න පුළුවන්.

ඉතින් අපි අනෙකාගේ ශෘංගාර ස්වරූපය ප්‍රශ්න කරන්න හෝ එයින් අවුල් වෙන්න උවමනා නෑ. අපේ ශෘංගාර කලාපය නිවැරදිව අවබෝධයෙන් හඳුනාගැනීමයි වැදගත් වෙන්නෙ. ඒකට ඉවසිල්ලෙන් අපේ ආශාව අනුරාගය දිහා බලාගෙන ඉන්න ඕන. ඒ වගේම සම්බන්ධතාවයකදි අනෙකාගේ ආශාවේ අනුරාගයේ ස්වරූපය තේරුම් ගැනීම සවිඥානක වෙන්නත් ඕන.