ඊයෙ පේරාදෙනිය කැම්පස් එකේ විභව කියල කට්ටියක් අලුත් විදිහෙ වැඩකට මට කතා කළා. ඒ ගොල්ලො පළවෙනි වතාවට විශ්ව විද්‍යාල මට්ටමෙන් මීම් කම්පිටිෂන් එකක් කරලා තිබුන. ඉතින් මට කතා කළේ මීම්ස් ගැන සංවාදෙකට.
විශ්ව විද්‍යාලයක මීම්ස් ගැන කතා කරන්න උනන්දු වෙනවා කිව්වම මට ඊට වඩා උනන්දුවක් ඇතිවුනා. අපි කතා කරන පරණ සියවසේ මාතෘකා වෙනුවට අලුත් මාතෘකාවක් විශ්ව විද්‍යාලෙක කට්ටියකට හදාගන්න පුළුවන් වීමම පුදුමයට කාරණයක්. ගොඩක් උන් තාම කලාව යනු කුමක්ද කියල අහඅහ එක තැන ළතවෙද්දි මේ අලුත් උන් ටික මීම් යනු ආර්ට් එකක්ද කියල හොයන්න හදන එක මරු. මං තමයි එතන හිටපු එකම පරණ ජොකියා. මාත් එක්ක මනියා සහ රවී ජේ ඔය ගැන කතා කරන්න නියමිතව තිබුන.
මීම් කියන්නෙ මේ යුගයෙ පොදුජන කලාව. අනිත් හැම කලාවක්ම මීම්ස් හින්ද තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක මාධ්‍ය කරගෙන බිහිවෙන මේ අති සරල තත්පර ගානක ඇටෙන්ෂන් එකක් ඉල්ලන, කලාවක් නොවන කලාව විසින් සියලු කලාවන් යළි අර්ථකථනය කරන්න පටන් ගන්නවා.
මීම් එකකින් කරන වැදගත්ම දේ තමයි අවධාන කාලය නැත්තං ඇටෙන්ෂන් ස්පෑන් කියන එක පුදුම තරමට පටු කරන එක. ඒ වේගයට අනුගත වුනාට පස්සෙ අපිට අනෙක් සාම්ප්‍රදායික කලාවන් රසවිඳින්න බැරි වෙනවා. අපේ ටෙම්පො එක වෙනස් කරනවා. මීම්වලට වේගය අනිත් ආර්ට් ඇතුලෙ ඕන කරනවා. ඒ කියන්නෙ විශාල කාලයක්, සමාධියක්, සාකච්ඡාවක් ඉල්ලා සිටින කලාව කියන පවතින ආකෘතිය බිඳවැටෙන්න ගන්නවා. මීම් කියන්නෙ ඇන්ටයි ආර්ට් එකක්. කලා විරෝධී කලාවක්.
අපි මේ තාම කතා කරගෙන යන්නෙ සෝෂල් මීඩියාවල අපි දකින මීම්ස් ගැන. හැබැයි මීම්ස් කියන දේ තේරුම් ගන්න නම් අපිට සිද්ද වෙනවා මීට වඩා වෙනස් තලයක කියවීමකට යන්න. මීම් එකක් යනු කුමක්ද කියන දේ ගැන කොම්පියුටර්/ෆෝන් ස්ක්‍රීන් එකෙන් එලියෙ වටහාගැනීමකට යන්න.
මීම් එකක් කියන්නෙ ඒ වර්චුවල් හතරැස් පෝස්ට් එකක් විතරක් නෙමෙයි. මීම් එකක් කියන්නෙ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට හුවමාරු වෙන අදහසක්, රූපයක්, වීඩියෝවක්, චර්යාවක් ඔය මොකක් හරි දෙයක්. මේ මීම් කියන වචනය මුලින්ම හඳුන්වාදෙන්නෙ රිචර්ඩ් ඩෝකින්ස්. එයාගෙ සෙල්ෆිෂ් ජීන් නැත්තං ආත්මාර්ථකාමී ජානය කියන පොතේ එයා මීම් කියන දේ ජානවලට සමාන කරනවා. අපේ ජීව විද ්‍යාත්මක දේවල් පරපුරෙන් පරපුරට අරන් යන්නෙ ජාන නම් අපේ සංස්කෘතික දේවල් මොලේකින් මොලේකට අරන් යන්නෙ මීම්ස් කියල ඩෝකින්ස් පැහැදිලි කරනවා. කොටින්ම මීම්ස් කියන්නෙ සංස්කෘතික ජානවලට.මේවා ජානවලට අතිශයින්ම සමානයි. මේවායේ එකම උවමනාව වෙන්නෙ පුළුවන් තරම් කොපි ගහන එක. ඒ වගේම මේවා පීඩනවලට මුහුණ දෙනවා, විකෘති වෙනවා, බෝවෙනවා. අදහසක් හෝ චර්යාවක් විදිහට පැතිරෙනවා. සමස්ත සංස්කෘතියම පවතින්නෙ මීම්ස් විදිහට.
සංස්කෘතිය මීම්ස් ආකාරයෙන් අධ්‍යනය කිරීමේ විෂයක් තියෙනවා. ඒකට කියන්නෙ මීමෙටික්ස්. මේක ඇකඩමික් පද්ධතිය විසින් අලුත් දෙපාර්තමේන්තුවක් විදිහට ඇති කරපු එකක් නෙමෙයි. ඇකඩමික් විදිහට මීම්ස් අධ්‍යනය කරන්න පුළුවන්ද කියන එක ගැනත් ලොකු ප්‍රශ්න කිරීම් තියෙනවා. මොකද ඇකඩමික් කියන්නෙත් එක මීම් එකක්.
ඩෝකින්ස්ට පස්සෙ එන්.කේ හම්ෆ්‍රි කියන ස්නායුවේදියා මීම්ස් ගැන අපූරු කතාවක් කිව්වා. එයා කියන විදිහට මේවා පණ තියෙන ජීවීන් හැටියටම සළකන්න ඕන. මේවා පවතින්නෙ අපේ මොළේ ඇතුලෙ. මීම්ස් පවත්වාගැනීම වෙනුවෙන් අපේ ජීවමය ශරීර පවතිනවා වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මිනිස්සු කියල හඳුන්වන්නෙ මීම් මැෂින්.
ඊට පස්සෙ සුසෑන් බ්ලැක්මෝර් මීම් මැෂින් නමින් පොතක් ලියනවා. එතනදි එයා මීම් එකක් කියන්නෙ යුනිවර්සල් රෙප්ලිකේටර් එකක් හැටියට හඳුන්වාදෙනවා. ඒ කියන්නෙ ලෝකෙ ඕනම තැනකදි මීම් එකක් ප්‍රතිනිෂ්පාදනය වෙන්න පුළුවන්. හොඳ උදාහරණයක් හැපි බර්ත්ඩේ සිංදුව. ලෝකෙ ඕන තැනක උපන්දිනයකදි අපි සමරන මීම් එකක්.මේ විදිහෙ යුනිවර්සල් රෙප්ලිකේටර් එකක් වෙන්න නම් මීම් එකකට කාරණා තුනක් බලපානවා කියල බ්ලැක්මෝර් කියනවා. එකක් විශ්වාසනීය විදිහට ප්‍රජනනය. ඒ කියන්නෙ ඒ මීම් එකේ සුජාත දරු පරපුරක් ඇති කිරීම. දෙවෙනි එක බෝවීමේ හැකියාව. ඒ කියන්නෙ වේගයෙන් පැතිරෙන්න පුළුවන් වීම. තුන්වෙනි එක කල්පැවැත්ම. මීම් එක කොයිතරම් කාලයක් පරිණාමීයව ආරක්ෂා වෙනවද කියන එක.
මීම්ස් කියන්නෙත් අපේ පරිණාමයට සමානම පරිණාමයක් සිද්ද වෙන දෙයක් කියල බ්ලැක්මෝර් විස්තර කරනවා. ඒ කියන්නෙ වෙනස් වෙනස් මීම් පද්ධතීන්ගේ පැවැත්ම පිණිස කරන අරගලයක් විදිහට සංස්කෘතිය තේරුම් ගන්න ඕන කියල එයා කියනවා. කාලයත් එක්ක සමහර මීම්ස් වඳවෙලා යනවා. තව ඒවා වඩාත් අලුත් මුහුණුවරින් එන්න පටන් ගන්නවා.
දැන් කවුරු හරි මීම් කියන්නෙ ආර්ට් එකක්ද කියල ඇහුවොත් ඒ ප්‍රශ්නෙ කිසි තේරුමක් නැති එකක්. අපිට බලන්න සිද්ද වෙන්නෙ අපි ආර්ට් කියන්නෙ කොයිවගේ මීම් එකක්ද කියල. ආගම කියන්නෙ ඉතාම හොඳින් පවතින පැතිරෙන මීම් එකක්. අපි තනි තනි පුද්ලයනුත් මීම් එකක් හෝ මීම් පද්ධතියකට අයිති වෙනවා. මගේ කොන්ඩෙ කපන විදිහෙන්, කතා කරන අඳින පළඳින විදිහෙන් මම මීම් එකක් පවත්වාගෙන යනවා. මගේ මීම් එක තවත් අය අනුකරණය කරනවා. මාත් තව කාගෙ හරි මීම් එකක කොපියක්. අපි හැමෝම එහෙමයි.
අපි ආර්ට් කියල කතා කරන කලාපෙ ඇතුලෙදි නිතර කලබල වෙන දෙයක් තමයි කොපි කිරීම කියන්නෙ. අනුකරණය කියන දේට ආර්ට් කියන සම්ප්‍රදායික කලාපය අතිශයින් බයයි සහ වංචනිකයි. මේ මීමෙටික් කියවීමකදි අපිට පේන දෙයක් තමයි කිසිම දෙයක් එහෙම ඔරිජිනල් නැති වග. ඒක මොළෙන් මොළේට සම්බන්ධ වුනු මීම් පද්ධතියක කොටසක්ම විතරයි. අනුකරණයෙන් තොර නිර්මාණ නෑ. ඒත් අපි ආර්ට් කියන මීම් එක හදලා තියෙන්නෙ අනුකරණයට ප්‍රතිවිරෝධයක් විදිහට. හරියට මිනිස්සු කොයිතරම් සෙක්ස් උඩ පදනම් වුනත් සමස්ත ශිෂ්ටාචාරයම සෙක්ස්වලට විරුද්ධව නිර්මාණය කරගත්තා වගේ. එතනදි සෙක්ස් ඉස්මතු වෙන ඕනම තැනකදි ශිෂ්ටාචාරය කැළඹෙන්න ගන්නවා. අනුකරණය ඉස්මතු වෙන ඕනම තැනකදි ආර්ට් කැළඹෙන්න ගන්නවා. මොකද අනුකරණය කියන්නෙ ආර්ට්වල රහස.
අපි සහ සතුන් අතර ඇති වෙනස මොකක්ද කියල සුසෑන් බ්ලැක්මෝර් ප්‍රශ්න කරනවා. ඒක අපේ බුද්ධිමත්භාවය, නැත්තං සවිඥානක ස්වභාවය වගේ තර්කන කොයිතරම් පටු සීමාවක නතරවෙනවද කියල එයා පෙන්වා දෙනවා. ඒ වෙනුවට අපි සහ සතුන් අතර ඇති වෙනස, නැත්නම් මිනිසා මිනිසා ලෙස සංවර්ධනයට හේතුව අනුකරණය කියල බ්ලැක්මෝර් පෙන්වා දෙනවා. ලෝකෙ අනුකරණ හැකියාව තියෙන එකම සත්ව වර්ගය මිනිසා වෙන්න පුළුවන්. තව ඉතා සීමිත සත්ව වර්ග කීපයක් මේ හැකියාව දැරුවත් ඒ හැකියාවන් ඉතාම ප්‍රාථමික තලයක තියෙන්නෙ.
අපි ඉගෙනීම කරන ආකාර දෙකක් තියෙනවා. එකක් අත්හදා බලමින් උත්සාහය සහ වැරදීම් තුලින් ඉගෙනීම. මේක සත්තුත් කරනවා. අනික තමයි අනෙකා කරලා සාර්ථක වෙන හැටි බලන් ඉඳලා ඉගෙනීම. අපි පොඩි එකෙක් එක්ක පොඩි වෙලාවක් සෙල්ලම් කළොත් අපිට තේරුම් ගන්න පුළුවන් හෝමෝ සේපියන්ස් අනුකරණ හැකියාව කොයිතරම් විස්මිතද කියල. මීම්ස් පවතින්නෙ මේ අනුකරණය තුලින්. සංස්කෘතිය කියන්නෙම අනුකරණය. අපි ඉමිටේට් කරන හැම වතාවකම අපි දැනුමක් හුවමාරු කරනවා.
මෙන්න මේ මීම් ලක්ෂණ අපිට සුපැහැදිලිව පෙන්වා දෙමින් අපේ අනෙක් තිරෙන් පිට මීම් පද්ධතීන් හොල්ලා දමමින් වැඩෙන අලුත් ප්‍රවණතාවයක් තමයි මේ සෝෂල් මීඩියා මීම්ස්. යූටියුබ්වල, ටික්ටොක්වල, ෆේස්බුක්වල සියදහස් ගණන් කොපිවෙන ආකෘති.
මේ මීම්ස්වලට අයිතිකාරයො නෑ. ඒවා කර්තෘත්වයක ගෞරවය ඉල්ලා සිටින්නෙ නෑ. ඊළඟ තැනට මාරුවීම, බෝවීම විතරයි එතන අරමුණ. ඒ මීම්ස් විසින් අපිට අලුත් සමාජ ක්‍රියාකාරීත්වයක් හඳුන්වා දෙනවා. පාරේ බෝඩ් උස්සන් කෑ ගහන විප්ලවවාදී මීම් එක ෂෙයාර් බොත්තමකට මාරු වෙනවා.
මේ මීම්ස්වල තියෙන වැදගත්ම දෙයක් තමයි ඒක ආර්ට් එකක් විදිහට හැදෙන්නෙම අනන්‍යතාවය දියකර හරිමින්. අනන්‍යතාවයක් කියන්නෙ පැතිරීමට බාධාවක්. අපි ගොඩක් වෙලාවට දකිනවා කවුරු හරි ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මම තව කවුරු හරි ඒක නම නොදා තමන්ගෙ වගේ පළකරනවා. මේකෙන් කුපිත වෙන මුල් අයිතිකාරයා වලියට එනවා. මෙතන ඒ මීම් එක ක්‍රියේට් කරපු කෙනාට අසාධාරණයක් වෙන අතරම මීම් එකට ලොකු සාධාරණයක් වෙනවා. එක එක අය ඒ පෝස්ට් එක තමන්ගෙ විදිහට ෂෙයාර් කිරීම කියන්නෙ ඒ හැමෝම ඒ මීම් එක බවට පත්වෙනවා. ඒක පැතිරීමකට තියෙන හොඳම විදිහක්. මීම් එකකට අදාල වෙන්නෙ ෂෙයාර් වීම විතරයි. ඒකෙ නිර්මාණකරුවා කවුද කියන එක ඒකට අදාලම නෑ.
අපි දැන් ලංකාවෙ මීම්ස් කියල පාවිච්චි කරන්නෙත් ලෝකෙ වටේම පාවිච්චි කරන මීම්ස්. ඒවට අපි අපේ දෙබසක්, ඒ කාලෙ ජනප්‍රිය වදනක් බස්සන එකයි කරන්නෙ. ඒ බලිරූප, එක එක ෆිල්ම්වල, කොමඩිවල කෑලි මුලු ලෝකෙ පුරාම තම තමන්ගේ සංස්කෘතික මීම්ස් බවට පරිවර්තනය වෙනවා.
මේක පොදුජන කලාවක්. ඒක හින්දම වැදගත්ම දේ වෙන්නෙ පුළුවන් තරම් සරල වෙන එක. ඕන කෙනෙකුට තමන්ගෙ මවුස් එක කරකවලා අඳින්න පුළුවන් කුරුට්ටක්. සාම්ප්‍රදායික ආර්ට් එකක් වඩාත් සංකීර්ණ වෙන්න ක්‍රම හොයද්දි මීම් එකක් හොයන්නෙ වඩාත් බේසික් වෙන්නෙ කොහොමද කියන එක. මේ මීම් දිහා හොඳට බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් අපි ඉස්සර වැසිකිලිවල දැකපු කුරුටු බලි, තාප්පවල දැකපු ස්ප්‍රේකෑන් වැකි එක්ක මීම්වල තියෙන ළඟකම. ඕන කෙනෙකුට ඕන තැනක ඉඳගෙන මීම් එකේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන් වෙන එකයි වැදගත්කම.
මේ ඩිජිටල් මීම් අනිත් ආර්ට් වගේ මහා කාලයක් පවතින්නෙ නෑ. මීම් එකක් පවතින්නෙ පැය ගානක් වෙන්න පුළුවන්. ඒ මීම් එක මැරිලා ඊළඟ මීම් එක ඉපදෙනවා. මීම් එකකට තියෙන්නෙ මේ මොහොත. මීම් එකක් රසවිඳින්න අනිවාර්යෙන්ම ඊට සහභාගිවෙන කෙනාත් අදාල වෙනවා. මීම් එකක් එකවිට විශ්වීය කොටසක් සහ ඉතාම දේශීය වූ කොටසක් දරනවා. ඒක හරිම අමුතු පැවැත්මක්.
ගොඩක් අය උත්සාහ කරනවා මීම්වල ආර්ට් එක හොයන්න. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ආර්ට් කියන්නෙම අපි දන්නා වූ රසයන්ට. මීම්වලින් කතා කරනවා අපි නොදන්නා වූ රසයන්ට. සමහර මීම්වල දැනෙන විනෝදයට තාර්කික හේතුවක් නෑ. සමහර මීම්වල තේරුමක් නෑ. ඒත් ආස්වාදයක් තියෙනවා. ඒ රසයන් අපි මීට කලින් විඳලා නෑ. ඩිජිටල් මීම්ස් හරහා හඳුන්වාදෙන්නෙ අලුත් රස කලාපයක්. ඒ කලාපයන් අපිට පුරුදු ආර්ට් කියන සංවේදනවලින් නිශ්චය කරන්න බැරි වෙනවා.
ඉතින් මීම් කියන්නෙ අපි වඩාත් උනන්දුවෙන් අධ්‍යනය කරන්න, සහභාගි වෙන්න ඕන කරන කලාපයක්. මීම් එකක් කියන්නෙ කිසිම තේරුමක් නැති පිස්සු රූපකයක්ද නැත්තං ජාන වලට පස්සෙ මානව ස්වභාවයේ විශිෂ්ටතම හඳුනාගැනීමද කියන එක අනාගතයට බාර කාරණයක්.
අපි කොයි විදිහක මීම් එකක්ද කියන එකයි අපිට හොයන්න තියෙන වැදගත්ම දේ වෙන්නෙ.